Wednesday, 03 July 2019 08:36

දුප්පත්කමේ පතුලේ සිටින මේ පවුලේ දුක අනුන්ටත් දැනේවා

දිනකට එක් වේලක් පමණ කා ඉතිරි වේල් දෙකම කහට කෝප්පයකින් පිරිමසා ගන්නා කටු මැටි ගැසූ අබලන් පැල්පතක දිවි ගෙවන අසරණ මිනිස් පවුලක් සම්බන්ධ හද පාරවන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 


හදවතේ සිදුරක් සහිත සැමියා ද හඳුනා නොගත් රෝගයකින් පීඩා විඳින බිරිඳ ද සමඟ එම පවුලේ දරුවෝ දෙදෙනෙකි. එක් දියණියකගේ වයස අවුරුදු හතකි. බාල දියණියට වයස අවුරුදු හතර හමාරකි. එම බාල දියණිය මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බව ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව කී බව මව පවසන්නීය. 

අංක 42/බී, කාවන්තිස්සපුර, තිස්සමහාරාම ලිපිනයේ පදිංචි බ්‍රාහ්මණගේ විපුලසිරි පෙරේරා නමැති පියා පවසන්නේ වසර අටක් පුරා තමන් සමෘද්ධි සහනාධාරය ඉල්ලුම් කළ ද එය මෙතෙක් නොලැබුණු බවය. මෙවර සමෘද්ධි සහනාධාර ප්‍රදානයේ දී තමන්ගේ නම අදාළ ලැයිස්තුවේ තිබුණ ද මෙවර ද එය නොලැබුණු බවය. 

මන්දපෝෂණය නිසාම මියගිය සිව් හැවිරිදි පුංචි පුතකු සම්බන්ධ පුවතක් ඉකුත් සතියේ වාර්තා වූයේ ද තිස්සමහාරාමයෙන්මය. ඒ සම්බන්ධයෙන් දැවැන්ත සමාජ කතිකාවක් නිර්මාණය වුවද යළිත් ඇති වී තිබෙන්නේ සන්සුන් නිහැඬියාවකි. ඒ නිහැඬියාව මැද මන්දපෝෂණයෙන් පෙළෙන තවත් එක් දරුවකු පිළිබඳව වාර්තා වී ඇත. බත බුලතින් පිරි සරුසාර බිමක ජීවත් වන පුරවැසියන් සිටින රටක දරුවන් බඩ ගින්නේ මිය යන්නේ නම් එය වූ කලී නොසලකා සිටිය යුතු නැත. 

මන්ද පෝෂණයෙන් මියගිය දරුවාගේ පියා සමෘද්ධි සහනාධාරය ප්‍රතික්ෂේප කළ බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එහෙත් විපුලසිරි පෙරේරා පියා වසර අටක් පුරා සමෘද්ධි සහනාධාරය ඉල්ලා සිටිය ද එය මෙතෙක් ලැබී නැත. නැති බැරි දුගී ජනයා ඇති හැකි ජනතාවක් බවට පත් කිරීමේ අරමුණෙන් අරඹා ඇති සමෘද්ධි සහනාධාරය එය ලැබිය යුතුම පිරිස් අතට පත්වන්නේ දැයි විමසිය යුතුය. 

යම් පවුලක නැති බැරිකම පොදු ප්‍රශ්නයක් සේ සලකා කටයුතු කළ යුතු දැයි ගරු කටයුතු ඇතැම් මහත්වරුන්ට විමසිය හැකිය. එහෙත් අත දිය යුතු නිසි මඟ පෙන්වීමක් කළ යුතු, විශේෂ මැදිහත් වීමක් කළ යුතු පවුල් මේ සමාජයේ වෙති. ඒ වෙනුවෙන් අවංකව කැප විය යුතුය. ඒ මිනිසුන් අමතක කර මඟ දමා යා නොහැකිය. සමාජයක වගකීම විය යුත්තේ එබඳු මැදිහත්විය යුතු අවස්ථාවල දී මැදිහත් වීමය. සාමූහික විචාර බුද්ධියෙන් අනූන, අවුළුවාගත් මහා මිනිස් අනුරාගයෙන් යුත් මිනිසුන් වෙසෙන සමාජයකින් එය අපේක්ෂා කටයුතුය. 

ගමක වගකීම දරන රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් සිටිති. පොලිස් නිලධාරියා, ග්‍රාම සේවක, පවුල් සෞඛ්‍ය සේවිකාව, සමෘද්ධි නිලධාරියා, සංවර්ධන සහකාර ආදී වශයෙන් සිටින එම නිලධාරීන්ට පැවරුණු වගකීම් ද වෙයි. තමාගේ වසම තුළ සිටින සෑම මිනිස් පවුලක්ම සම්බන්ධයෙන් වගකීමක් ඔවුන්ට තිබේ. එහිදී විශේෂ මැදිහත්වීම් කළ යුතු පවුල් හඳුනා ගනිමින් කළ යුතු දේ කිරීම ඔවුන්ගෙන් බලාපොරොත්තු විය යුතුය. එය එසේම සිදු වන්නේ නම් අප රටේ දරුවන්ට මන්දපෝෂණයෙන් මිය යාමට සිදුවන්නේ නැත. මව පියා රෝගී තත්ත්වයෙන් සිටීම හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය අතරමඟ නතර වන්නේ නැත. මවු පොළොවට බරක් වන මිනිසුන් නිර්මාණය වන්නේ නැත. 

දුගී බවම උරුම කරගත් වේල් තුනෙන් එක වේලක් කා ජීවත් වන විපුලසිරි පෙරේරා පවුලට සමෘද්ධි සහනාධාරය නොලැබීමට හේතුව කුමක්දැයි විමසිය යුතුය. එය පෞද්ගලික කෝන්තරයක් ද දේශපාලන හේතුවක් ද නැතහොත් වෙනත් හේතුවක් ද යන්න සොයා බැලිය යුතුය. රාජ්‍ය සේවය විනිවිද භාවයෙන් යුතු විය යුතුය. එය සාධාරණ විය යුතුය. 

ගමට යන එන රාජ්‍ය සේවකයා යනු මහජනයාගේ බදු මුදලින් යැපෙන්නෙකි. ඔවුන්ගේ පඩි පත ගෙවා දමනු ලබන්නේ මෙරට මහජනයාය. හදවත් සිදුරු රෝගයකින් පෙළෙමින් වුවද කුලී වැඩ කර විපුලසිරි පෙරේරා පියා උපයා සපයා ගන්නා සොච්චම ද රාජ්‍ය සේවකයාගේ පඩි පතට ඇතුළත්ය. එහෙයින් රාජ්‍ය සේවකයාට ගැලවීමක් නැත. ඔහු නිවැරැදිව තම වගකීමත් යුතුකමත් ඉටු කළ යුතුය. එය අනුල්ලංඝනීය වගකීමකි. 

සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කට මැත දෙඩවීම ජාතික සිරිතක් වශයෙන් ප්‍රගුණ කරන රටක දරුවන් මන්දපෝෂණයෙන් මිය යා හැකිය. එහෙත් එය රටක ගමන නොවේ. රටක් නිවැරැදිව ඉදිරියට යාමට නම් ඒ ඒ පුරවැසියාගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටුකළ යුතුය. එසේ ඉටු නොකරන්නේ නම් එය නිවැරැදි කිරීමට සමත් දියුණු යාන්ත්‍රණයක් තිබිය යුතුය. රට යනු කොළඹ යැයි බලධාරීන් සිතන්නේ නම් එසේ සිතන තාක් කල් රටේ ප්‍රශ්න නොවිසඳෙනු ඇත. අප තේරුම් ගත යුතු වඩාත් වැදගත්ම කාරණය වන්නේ එය ය. 

(ලංකාදීප)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website