Thursday, 04 July 2019 08:18

ආණ්ඩුවත් සමිතිත් රට ගැන සිතන්න ඕනෑ

වැටුප් විසමතා ප්‍රශ්නයක් මත ආරම්භ කර තිබෙන දුම්රිය වැඩවර්ජනය සතිපතා සිදුකරන්නට දුම්රිය වෘත්තීය සංගම් තීන්දු කර තිබේ. සෑම සතියකම බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට සතිඅන්තයේ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීය සංගම් ප්‍රකාශ කර තිබුණි.

මෙලෙස වැඩවර්ජනය කිරීම නිසා ජනතාවට සිදුවන හානි අවම කිරීම සඳහා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය රාජ්‍ය සේවයක් බවට පත්කොට ඇතත් ඊට අවනත නොවී වර්ජනය පවත්වාගෙන යන බව වර්ජනයට එක්ව සිටින දුම්රිය රියැදුරු නියාමක දුම්රිය පාලක හා ස්ථානාධිපතිවරුන්ගේ සංගම් ප්‍රකාශ කර ඇත. මෙය රජයේ අත්‍යවශ්‍ය සේවා විධි විධාන  උල්ලංඝනයක් බැවින් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කොට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව සඳහන්ව තිබුණි.

ඊට ප්‍රතිචාර දැක්වූ දුම්රිය වෘත්තීය සංගම් කියා සිටියේ රටේ පවතින හදිසි නීතිය උපයෝගී කරගෙන දුම්රිය වැඩවර්ජනය මැඬපවත්වන්නට තැත් කළහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකිරීමටත් එයට සෙසු වෘත්තීය සංගම්ද එක් කරගෙන ඒකාබද්ධව වෘත්තීය අරගලයක් දක්වා ව්‍යාප්ත කරන්නටත් සූදානම් බවයි. දැනටමත් බැංකු සේවක සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වරාය හා ඛනිජ තෙල් අංශවල වෘත්තීය සංගම්ද මේ සඳහා සූදානමින් පසුවන බවට දුම්රිය වෘත්තීය සංගම් රජයට අනතුරු අඟවා තිබිණි.

ස්වකීය වෘත්තීය අයිතීන් දිනාගැනීම සඳහා සටන් කිරීම, අරගල කිරීම වරදක් නොවේ. මෙරටට වෘත්තීය සමිති සටන් හඳුන්වා දුන් වාමාංශික දේශපාලන නායකයන් එදා කීවේ සටනින් තොර ජයක් නැත කියායි. එහෙත් ඔවුන් තරයේම අවධාරණය කළේ වැඩවර්ජනය වෘත්තීය අරගලයක අවසන් අවිය විය යුතු බවය. දුම්රිය, බස්, ජලය, විදුලිය, වරාය ඛනිජ තෙල් වැනි අත්‍යවශ්‍ය සේවාවල නියුතු වෘත්තිකයන් මෙරට ඉතා වැදගත් සමාජ මෙහෙවරක නියුතුවූවෝ වෙති.

මේ අය වැටුප වෙනුවෙන් සේවය කරන්නන්ටත් වඩා සමාජය වෙනුවෙන් ගරුකටයුතු සාධනීය වෘත්තියක නියුතු වෘත්තිකයන් පිරිසක් ලෙස පිළිගැනීමට ලක්ව සිටිති. අන් අයට කළ නොහැකි සුවිශේෂ වෘත්තීන්හි නියැලි පිරිස් තමන්ගේ වෘත්තිය අයිතීන් දිනාගන්නට යාමේදී සමාජය ගැන වඩාත් සංවේදීව කල්පනා කළ යුතු යැයි අප පවසන්නේ ඔවුන්ගේ සේවාව මනුෂ්‍යයාගේ සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන බැවිනි.

දැනට සංකේතාත්මකව සිදුවන දුම්රිය වර්ජනය හේතුවෙන් දසලක්ෂ සංඛ්‍යාත මගීහු පිරිසක් අපහසුතාවට දුකට හා පීඩනයට ලක්වෙති. බොහෝ දෙනා සතියේ සේවය නිමවා නිවෙස් බලා යන දිනයේ ඊට අවශ්‍ය ප්‍රවාහන පහසුකම නොමැතිනම් ඇතිවන තත්ත්වය අමුතුවෙන් කිවයුතු නැත. ඇතැමුන් දුම්රියෙන් ගමන් කරන්නේ සීසන් ටිකට් හෙවත් වාර ප්‍රවේශපත්‍ර භාවිත කරමිනි. දුම්රිය නොමැති වුවහොත් විකල්ප ප්‍රවාහන ක්‍රමයක පිහිට පතන්නට වන ඔවුනට තවත් අතිරේක වියදමක් දැරීම ඉතාමත් අසීරු කටයුත්තකි. 

දෛනික දුම්රිය ගමන් කාලසටහන අනුව භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ඇතුළුව දුම්රිය ගමන්වාර 380ක් ක්‍රියාත්මකය. ඇතැම්විට මෙය ගමන්වාර 400ක් පමණ වන අවස්ථාද තිබේ. දිනකට දුම්රිය සේවාව උපයෝගී කරගෙන ගමන්බිමන් යන මගීන් සංඛ්‍යාව ලක්ෂ හතර හමාර ඉක්මවයි. මෙයින් වැඩිපුරම මගීන් ගමන් කරන්නේ කාර්යාල දුම්රියවල බව කීම නිවැරැදිය.

දිනකට කාර්යාල දුම්රිය 100ක් පමණ ක්‍රියාත්මක වෙයි. එය සමස්ත දෛනික දුම්රිය ප්‍රමාණයෙන් හතරෙන් එකකි. එහෙත් වැඩවර්ජන කාලයේ අත්‍යවශ්‍ය සේවාවක් නිසා දිනකට දුම්රිය 8ක් හෝ 10ක් පමණක් ධාවනය කරන බව වෘත්තීය සංගම් ප්‍රකාශ කර ඇත. මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට දිනකට සිදුවන පාඩුව රුපියල් පන්කෝටිය ඉක්මවන බවද සඳහන්ය.

බස් රථයටත් වඩා රජයේ කාර්යාල සේවක සේවිකාවන් දුම්රිය ස්වකීය ගමන් සඳහා තෝරාගෙන තිබේ. ගාල්ල, මාතර, හලාවත, මහනුවර, කුරුණෑගල ආදී ඈත දුර පළාත්වලින් පවා දිනපතා රාජ්‍ය සේවාවට කොළඹට පැමිණෙන මගීන් ගණන දස දහස් සංඛ්‍යාතය. මෙලෙස දිනකට හෝ දුම්රිය වර්ජනයක් සිදුවන විට නිසිකලට සිය කාර්යාලයට පැමිණීමට රාජ්‍ය සේවකයන්ට නොහැකි වීමෙන් රාජ්‍ය සේවයට සිදුවන පාඩුවද සුළු පටු නොවේ. පීඩාවට පත්වන මහජනතාවගේ වේදනාව මනින්නට ඒකකයක් නැත. එහෙත් මෙවන් අර්බුදවලදී රජය හා වෘත්තීය සංගම් කඹ අදින්නට යාමෙන් තැලී පොඩිවන්නේ අහිංසක මගී ජනතාව බව අමුතුවෙන් නොකිව මනාය. ප්‍රශ්නයක් තිබේනම් එය විසඳීමේ වගකීම රජයටත්, තිබෙන ප්‍රශ්නය මහජන පීඩාව අවම වන ලෙස විසඳාගැනීම වෘත්තීය සංගම්වලටත් පැවරෙන වගකීමයි.

දුම්රිය සේවය අදටත් දුවන්නේ පාඩුවටය. වාර්ෂිකව මහාභාණ්ඩාගාරය පොම්ප කරන මිලියන සිය ගණනක සහනාධාරය නැතිනම් දෙපාර්තමේන්තුව පවත්වාගෙන යා නොහැක. මෙබඳු මූල්‍ය තත්ත්වයන් තිබියදී ළඟදී චීනයෙන් මිලදී ගන්නට යන දුම්රිය සම්බන්ධයෙන් අධ්‍යයනයට හා නිරීක්ෂණයට දුම්රිය සේවකයෝ 100ක් මේ දිනවල කණ්ඩායම් වශයෙන් චීනයට චාරිකා කරමින් සිටිති. මේ එක් අයකුට චීනයට ගොස් පැමිණීමට සෑහෙන වියදමක් දරන්නටද සිදුවෙයි. ඒවා එසේ තිබියදී අනෙක් පැත්තෙන් දියත් කර තිබෙන වෘත්තීය සමිති සටන් නිසා පීඩාවට පත්වූ ජනතාව සිටින්නේ ආවේගයෙනි. වෙනදා දුම්රිය වර්ජනවලට එල්ල නොවූ ජනතා විරෝධය දැන් දැන් දුම්රියපොළවලදී දක්නට ලැබෙන්නේ එහෙයිනි.

කෙසේ වෙතත් රටේ රාජ්‍ය සේවාව නඩත්තු වන්නේ ජනතාවගේ බදු මුදලිනි. වාර්ෂික ආර්ථික වර්ධනය සියයට 3.2ටත් වඩා පහළට කඩාවැටී තිබෙන රටක ආණ්ඩුවකට සියලු_ වෘත්තීය සමිති ඉල්ලීම් ඉටුකරන්නටද හැකියාවක් නැත. ඒ නිසා දෙපක්ෂයටම මධ්‍යස්ථව ක්‍රියා කරනු වටී. රජයේ සහනාධාර මත ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය සේවාවක් බිත්තියටම හේත්තු කර තමන්ගේ වැඬේ කරගන්නට යාම හොඳ නැත. එසේම ආණ්ඩුවද හැකිතාක් සාධාරණව දුම්රිය සේවක අයිතීන් සුරක්ෂිත කළ යුතුය.

එසේ නොකොට සෑම වෘත්තීය ගැටලුවකටම වර්ජන අවිය භාවිත කරන්නට ගියහොත් එයින් දඬුවම් විඳින්නේ ජනතාවයි. මහජනතාව යනු රජයේ නඩත්තුවේ වැය බර දරන හාම්පුතුන්ය. අන්තිමේදී මෙවැනි වෘත්තීය අරගලවලදී සිදුවන්නේ හාම්පුතුන්ට දඬුවම් දීමය. රජයේ වෘත්තීය සමිතිද සිහිනුවණින් සාවධානව ඒ ගැන කල්පනා නොකළහොත් ඒ අය ජනතා විරෝධයේ අමිහිරි අත්දැකීම් විඳගන්නට සූදානම් විය යුතුය.

(ලන්කාදීප)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website