Thursday, 04 July 2019 08:20

නිහඬ මිනිසුන් සිටින රටක ප්‍රජාතන්ත්‍රවාදය

ශ්‍රී   ලංකාවේ ථෙරවාදී බුදු දහමේ අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක හිමියන්, මහත් ආන්දෝලනයකට තුඩු දෙන අයුරින් කළ ප්‍රකාශයක් පිළිබඳ පුවත පසුගිය සතියේ අසන්නට ලැබිණි. උන්වහන්සේ විවේචනය කළ අය සේම උන්වහන්සේගේ අනුගාමිකයන් ද එකී ප්‍රකාශ බොහෝ සෙයින් වරදවා වටහා ගත් බව මගේ විශ්වාසයයි. එසේ වරදවා තේරුම් ගැනීමට ලක් වූ පූජ්‍යපාද තෙරුන්වහන්සේ කර ඇත්තේ තමන් වහන්සේගේ නැණ පමණින් රටේ සිංහල බෞද්ධයාගේ දොම්නසින් පිරි අනාගතයේ රෝග නිධානය අවබෝධ කරගෙන ඊට පිළියම් ලෙස නියමයන් දෙකක් යෝජනා කිරීමයි. 

ආරක්ෂණ උපාය මාර්ගයක් ලෙස කර ඇති පළමු යෝජනාවෙන් උපදෙස් දෙමින් වදාළා ඇත්තේ මුස්ලිම් ජාතිකයන්ට හිමි ව්‍යාපාරවලට අනුග්‍රහය දක්වමින් සිංහල බෞද්ධයා ඒවා සමග කරන ගනුදෙනුවලින් ඉවත් විය යුතු බවයි. 

ඊට හේතුව සිංහල බෞද්ධයා විනාශ කිරීමට ඉලක්ක කරගත් වැඩපිළිවෙළක් ඔවුන් සතුව ඇති බව උන්වහන්සේගේ අදහස වීමයි. අනෙක් යෝජනාව අනුමැතිය පළ කිරීමකි. එසේ වුවද හරි හැටි තත්ත්වාබෝධයක් නැති බෞද්ධ උපාසිකාවන් පිරිසක් විසින් කරන ලදැයි පැවැසෙන යෝජනාවක් සම්බන්ධයෙන් උන්වහන්සේ අකැමැත්තෙන් මෙම නියමය කර ඇති බව ද පෙනී යයි. සිංහල බෞද්ධ මවුවරුන් දහස් ගණනකට වඳ සැත්කම් කර ඇතැයි චෝදනා ලබා තිබෙන මුස්ලිම් වෛද්‍යවරයාට දඬුවමක් ලෙස ඔහු ගල් ගසා මරා දැමිය යුතුය යන මතය ඔවුන් පළ කොට ඇති බව පෙනේ. 

වඳ සැත්කම් කතාව සැබෑවක් නම් එය මනුෂ්‍යත්වයට එරෙහිව යන දරුණු අපරාධයක් වන අතර ඊට දැඩි දඬුවම් පැමිණවිය යුතු වන්නේය. එවැන්නකට දඬුවම් දිය යුත්තේ මුස්ලිම්වරුනට පමණක් බව නායක ස්වාමීන්වහන්සේ කියා නැත. එසේ කර ඇත්තේ සිංහල වෛද්‍යවරයකු නම් ඔහුව කෑලි කපා දැමිය යුතු බව ද උන්වහන්සේ කියා තිබේ. මෙම කොටස උන්වහන්සේට විවේචනය කළ අයත් උන්වහන්සේගේ අනුගාමිකයන්ටත් මඟහැරී තිබේ. 

(මෙය https://www.youtube.com/watch?v=c6gcxsWsFOQ  හි සඳහන් වේ.) 

වැරැදිකරුවකුට ගල් ගසා මරා දැමීමේ දඬුවම ප්‍රායෝගික ලෙස මේ වනවිට පවත්වාගෙන යනු ලබන්නේ ඇතැම් ඉස්ලාමීය රාජ්‍ය විසිනි. පුරාණ සිංහල රජවරුන්ගේ කාලයේ, වැරැදිකරුවකු කෑලි කපා මරා දැමීම එකල දුන් වධ තිස්දෙකෙන් එකකි. එය ද මේ හා සමානය. මෙම නියමයන් දෙකෙන් පැහැදිලි වන්නේ ප්‍රධාන සංඝනායක හිමියන් වැරැදිකරන රටවැසියකු නිවැරැදි මඟට යොමු කරවීම සඳහා දෙන දඬුවම් කෙරෙහි දැඩි විශ්වාසයක් තබාගත් හිමි නමක් බවයි. මෙය කිසිම ආකාරයකින් බුදුන්වහන්සේ පැනවූ නියෝගවලින් එකක් නොවේ. 

බුදුන්වහන්සේගේ නියමය වන්නේ විවේචකයාව සංවාදයෙන්ම ජය ගත යුතු බවයි. 

මෙය අස්ගිරි මහනායක හිමියන් ඇතිවන ඵල විපාක ගැන නොසලකා කළ වාග් ප්‍රහාරයකි. මෙය ව්‍යාපාරවල නියැළී ඉන්නා මුස්ලිම් ජනයා ඒවායින් පන්නා දැමීමේ අභිප්‍රාය සිතේ සඟවාගෙන ඉන්නා සිංහල අන්තවාදීන්ට මිහිරි සංගීතයකි. තමන්ගේ සිතැඟි මුදුන් පත් කර ගන්නට ඔවුන්ට එය ඉවහල් කරගත හැකිය. එතැන් පටන් දෙයාකාරයකින් එකී ප්‍රකාශය විවේචනයට ලක් විය. 

පළමුවැන්න නොදුටු ජීවීන්ට පවා කරුණාව පතුරුවා නිවන් මඟට පත් බුදුන්වහන්සේගේ අනුගාමිකයකු ජනතාවගේ හදවතට විස පෙවීම නුසුදුසු ක්‍රියාවකැයි යන විවේචනයයි. දෙවැන්න රටේ විවිධ ආගමික සමූහයා අතර අසමගිය ඇති කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවට රජයෙන් ඉල්ලා සිටීමයි. 

මෙම ගැටලුව විසඳා ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සුදුසු නොවන බව මගේ විශ්වාසයයි. මෙවැනි අනිටු ඵල ගෙන දෙන තත්ත්වයක් හමුවේ බුදුන්වහන්සේගේ නියමය අනුගමනය කළ යුතුය යන්න මගේ යෝජනාවයි. දීඝ නිකායේ බ්‍රහ්ම ජාල සූත්‍රයේ බුදුන්වහන්සේව විවේචනය කරන අයගේ නිග්‍රහ ඉදිරියේ උරණ නොවිය යුතු බව භික්ෂූන්ට දේශනා කර ඇත. 

බුදුන්වහන්සේ ගැන ප්‍රශංසා වදන් දොඩන විටදී භික්ෂුන් උද්දාම විය යුත්තේ ද නැත. නිග්‍රහ හමුවේ භික්ෂූන්වහන්සේලා විවේචකයන්ට එම විවේචනවල ඇති අසත්‍යතාව පහදා දිය යුතුය. ඒවා අසත්‍ය වන්නේ ඇයි දැයි කියා දිය යුතුය. ප්‍රශංසා වදන් කවුරු හෝ කියනා විට ප්‍රීතියෙන් කුල්මත් නොවී ඉතා නිහතමානීව ඔවුන් කී දේ සත්‍ය වන්නට හේතුව පහදා දිය යුතුය. 

එම නිසා ප්‍රධාන සංඝනායක හිමියන්ට උන්වහන්සේ මේ මේ කාරණා නිසා නිවැරැදි විය හැකි බවත් මේ මේ කාරණා නිසා වැරැදි වගත් පහදා දිය යුතු වේ. බුදුන්වහන්සේගේ සැබෑ අනුගාමිකයකු ලෙස උන්වහන්සේ විවෘත මනසින් මෙම පහදාදීම්වලට කන් දිය යුතු වේ. 

ප්‍රතිවිපාක සැලකිල්ලට ගත යුතු වීම

අස්ගිරිය පාර්ශ්වයේ මහා නායකහිමියන් තම කතිකා මගින් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය වෙනස් කිරීමේ හැකියාව ඇති ප්‍රබල බෞද්ධ භික්ෂුවකි. උන්වහන්සේ අමතා ඇත්තේ සිංහල බෞද්ධයන් හටය. එහෙත් ශ්‍රී ලංකාව සමන්විත වන්නේ බහු වාර්ගික බහු ආගමික හෝමෝසාෆියන් වර්ගයේ මානවයින්ගෙනි. ඒ හේතුව නිසා සිංහල බෞද්ධයාගේ යමක් අවබෝධ කර ගන්නා ආකාරය, ඔවුන්ගේ මානසිකත්වය සහ අරමුණු වෙනස් වන අවස්ථාවලදී දුර දිග යන බලපෑමක් සිංහල බෞද්ධයා කෙරෙහිත් අනෙක් ජන වර්ග සමග ඔවුන් පවත්වා ගන්නා අන්තර් සම්බන්ධතා කෙරෙහිත් ඇති වේ. 

ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිර්මාණය වී ඇති පිටතට දිස් වෙන මෙම අලුත් ආකල්පය වාසිදායක හා හානිකර යන දෙයාකාරයේම ප්‍රතිවිපාක පිටත ගෝලීය ප්‍රජාව සමග ඇති සම්බන්ධතා ආශ්‍රයෙන් හට ගනු ඇත. බුදුන් වහන්සේ දේශනාකර ඇති පරිදි අද අප අත්විඳින දෑ ඊයේ දවසේ සිදුවීම් හේතුවෙන් හට ගන්නා ඵලයයි. හෙට දවසේ උදා වෙන ප්‍රතිඵලය අද දවසේ කරන දෑ හේතුවෙන් හට ගන්නකි. මෙම පුළුල් ප්‍රතිවිපාකය නිසා ඵලදායි බහුජන කතිකාවක් (එකවර බොහෝ සහභාගී වන සාකච්ඡාවක්) පැවැත්වීම අත්‍යවශ්‍යය. මුළු රටේම අය නියෝජනය වන පරිදි සිදුවන මෙම සාකච්ඡාවෙන් මහ නායක හිමියන් පළ කළ එකී මතය නිසා හට ගන්නා කෙටි කාලීන ප්‍රතිඵලත් ඒ තුළ යම් වලංගුතාවක් ඇත්නම් එයත් හඳුනා ගත යුතු වේ. 

බොහෝ විවේචකයන් උන්වහන්සේගේ කතාව මුළුමනින්ම හෙළාදැක තිබුණ ද කිසි කෙනකු එය සවිස්තරව විවරණය කිරීමට උත්සාහ ගෙන තිබුණේ නැත. මහා නායක හිමියන් පළ කළ අදහස සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලාගෙන් සහ අනෙකුත් ආගමික නායකවරුන් වෙතින් පළ වූයේ අසාමාන්‍ය නිහඬතාවකි. 

මෙම පසුබිම තුළ ගල්කන්දේ ධම්මානන්ද හිමි තනිවම නිහඬතාව බිඳිමින් බුදු දහම අදහන ශ්‍රී ලාංකිකයන් එකිනෙකා කෙරෙහි වෛරය පතුරවන ප්‍රකාශ නොකළ යුතු බව මතක් කොට සිටියහ. එවිට පවා මහා නායක හිමියන් යෝජනා කර සිටි නියමයන් දෙක ගැන සඳහන් කොකිරීමට එහිමියන් පරිස්සම් වූහ. 

මේ ගැන වීදියේ ඉන්නා මිනිසා අවදියෙන් පසු වෙන බව 

රටේ විද්වතුන් මේ ගැන සවිස්තර ලෙස කතිකා නොකළ ද මහ පාරේ තත්ත්වය මීට බොහෝ සෙයින් වෙනස්ය. මගේ කරණවෑමියා මහනායක තෙරුන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත්ව සිටී. ඒ ගැන දැනෙන සතුට ඔහුට සඟවා ගත හැකි නොවන තරම්ය. ඔහුගේ මතය අනුව අද ශ්‍රී ලංකාව දුප්පත් වී ඇත්තේ මුස්ලිම්වරුන් ආර්ථික ආධිපත්‍යය දරන නිසාය. එය සාවද්‍ය නිගමනයක් වුව වීදියේ තත්ත්වය එසේය. මා කෙටි ගමන් යන්නට ඉවහල් කර ගන්නා ත්‍රීරෝද රථ එළවන රියැදුරන් දරන්නේ ද ඒ හා සමාන දැඩි මතයකි. 

මහා නායක හිමියන් විසින් කරන ලද නියමයන් දෙකෙහි දීර්ඝ කාලීන අනිසි ප්‍රතිඵල ගැන කවරකු වුවද කතා කරන්නේ කලාතුරකිනි. එහිමියන් කී දේ අනුමත කරන අය පවා චෝදනා ලැබූවන් වරදකරුවන් වුවහොත් නීති පද්ධතිය උඩුයටිකුරු වන්නට එය හේතුවක් වන බව සිතා නොමැත. 

අවිධිමත් බහුජන කතිකාව 

මේ පසුබිම මැද ඇතැම් කොන්ත්‍රාත් කම්කරුවන් ටයිල් අතුරන්නන් අත්උදව්කරුවන් හා සුළු සේවකයන්ගේ කතා බහට සවන් දීමේ අවස්ථාව මා හට උදා විය. එදිනෙදා ගැටලු ඔවුන් ප්‍රසිද්ධියේ කරන කතා බහට මාතෘකා වීම ඉමහත් සුගතියකි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත් වර්ධනය කිරීමටත් එවැනි විවෘත කතිකා අනිවාර්යයෙන් තිබිය යුතුය. ඉහත කී ආකාරයේ කතිකාවලට මා සවන් දුන්නේ මගේ නිවසට යාබද නිවසක ටයිල් අතුරමින් සිටි අයගේ සාකච්ඡාවකදීය. 

සමූහයන් තුළ නියෝජනය වන සත්ව චරිත 

සමූහ සාකච්ඡාවලට සහභාගී වන්නන් තුළ සාමාන්‍යයෙන් සත්ව ලෝකයෙන් උකහා ගත් ගති ලක්ෂණ පෙන්නුම් කරන චරිත හඳුනා ගත හැකි වේ. 

සමූහය තුළ ප්‍රකෝපය අවුළුවාලන මත පළ කොට සමූහය උඩු යටිකුරු කරන නරි වැනි අය වෙති. ඔවුන්ගේ ද්වේෂ සහගත ප්‍රකාශවලින් සමූහය නියමිත අරමුණුවලට නොයා පීලි පනින විට ඔවුහු අසිමිත ලෙස සතුටට පත් වෙති. ඔවුන්ට බෙහෙවින් වෙනස් වෙන විකල්ප මත පළ කරමින් උපායශීලීව නරින්ගෙන් බේරෙන හාවෝද සිටිති. අනෙක් අයගේ අදහස් කපා හරින (වාරණය කරන) කොටියෝ ද වෙති. තමන් අකැමැති යමක් සමූහය තුළ සාකච්ඡාවට ලක් වනු ඇත. කන වැකෙන විට ඔවුහු ගොරවා අනෙක් අයව බලෙන් නිහඬ කරති. 

තමන්ගේ දිගු බෙල්ල පොවා අනෙක් අය ගැන ඔත්තු බලමින් පසුවෙන මුත් සමූහ සාකච්ඡාවලදී මුනිවත රකින ජිරාෆ්ලාද සිටිති. සමූහය ප්‍රචණ්ඩ වෙන විට පරෙවියෝ සාමය උදෙසා කටයුතු කරති. 

තීන්දු දෙන අය ලෙස පෙනී සිටිනා සිංහයෝ එක් එක් පාර්ශ්ව ගහ බැණ ගන්නා විට ගර්ජනා කර ඔවුන් දෙපසට වෙන් කරති. එසේ කොට සාකච්ඡාව නොකඩවා කරගෙන යන්නට අවශ්‍ය වාතාවරණය සිංහයෝ ඇති කරති. සමූහයේ සාමාජිකයන්ගේ හිසේ සිහි නුවණ පාදා අපක්ෂපාතීවත් වෛෂයික (පුද්ගල බලපෑමෙන් තොරව විෂයට අනුගත ලෙසින්) ලෙසත් කරුණු විවරණය කොට දෙන්නෝ සිංහයෝය. 

උණුසුම් සාකච්ඡා 

මගේ අසල්වැසි නිවස ඉදිකිරීමේ කටයුතු කළ සේවක සමූහයා තුළ ඉහත සඳහන් කළ සත්ව ගති ඇති අය සියල්ලන් මට හඳුනා ගත හැකි වූයේය. 

රහසේ ක්‍රියා කරමින් ශ්‍රී ලංකා රජයේ බලය අල්ලා ගන්නට වලිකන මුස්ලිම්වරුන්  සිංහල බෞද්ධ වර්ගයාම විනාශ කරමින් ඉන්නා බව නරියා කීවේය. ඒ සමග ඔවුන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ද අල්ලා ගනු ඇතැයි හෙතෙම කියා සිටියේය. 

අස්ගිරියේ පාර්ශ්වයේ මහා නායක හිමියන්ගේ ප්‍රකාශය ප්‍රතිරාව කරමින් බෞද්ධයා මුස්ලිම් ව්‍යාපාර කඩ සාප්පු වර්ජනය කළ යුතු බවද නරියා කියා සිටියේය. දරුණු අපරාධ කළ විට ඉස්ලාමීය රටවල වරදකරුවන් ගල් ගසා මරා දමන්නාක් මෙන්, මෙරට ද ඒ ආකාරයේ දඬුවම් විධි ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පැවසීය. 

එම සමූහයේ කිසිවෙකු ඔහු කී දේ ලොකුවට ගණන් ගත්තේ නැත. ඒ මගින් තවත් ප්‍රශ්න ඇති වෙන බවත් තමන්ගේ රස්සාව පවා කරගෙන ඉන්නට ඉන් ඉඩ නොලැබෙන බවත් ඉතා ගරුසරු ඇතිව හාවා කීවේය. කොටියා ඊට කැමති නොවූ නිසා එසැනින්ම ගොරවා හාවාට තවත් කතා කරන්නට නොදී නිහඬ කළේය. 

ජිරාෆ් හා සමාන එක් අයෙක් ඒ සමූහයේ සිටියේය. ඔහු සැම දෙනාගේ මුහුණ මාරුවෙන් මාරුවට බලමින් එකම වචනයක් හෝ කටින් පිට නොකර උන්නේය. කරගෙන යන කතාව ගැන ජිරාෆ්ට අවබෝධයක් නොවූ බව පිටතට පෙනුණේය. එම සමූහයේ සිංහයාගේ කාරිය භාරවූයේ මැද පෙරදිග ඉස්ලාමී රටක සේවය කොට මෙරටට පැමිණි තරුණ නිවෙස් හිමියාය. ඔහුට අයත් කාරිය වූයේ සමූහයේ සාමාජිකයාගේ සිහි නුවණ පාදා දීමයි. එහෙත් ඔහු අසාමාන්‍ය ලෙස නිහඬව සිටියේය. සමූහය තුළ ප්‍රචණ්ඩතාව ඇති නොවූයෙන් පරෙවියකු ඕනෑ වූයේ නැත. පැය භාගයකට පමණ පසු එම ගැටලුව සාකච්ඡා කිරීමෙන් වෙහෙසට පත් ඔවුහු මාතෘකව වෙනස් කළහ. 

සිංහයාගේ අමුතු නිහඬතාව 

මෙම බහුජන සංවාදයේ අසාර්ථකත්වයට බලපෑවේ සිංහයාගේ නිහඬතාව බව ඉඳුරාම කිව හැකිය. සමූහයේ බුද්ධිමතා අනෙක් සාමාජිකයන් හට ග්‍රහණය කර ගන්නට පහසු වන ලෙසින් ගැටලුව විවරණය කොට ඉදිරිපත් කළ යුතුය. ආර්ථිකය ඉතා පහත් අඩියට වැටී තිබියදී සැවොම ඉන් පීඩා විඳින මුත් ඔවුන් අසීරුවට පත් කිරීම පිළිබඳ වගකීම දැරිය යුතු දුෂ්ටයකු සොයන්නට සැමදෙනා පෙළඹෙති. 

2019 ජුනි 24DAILY FT හි පළ වූ ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජයවර්ධන ලියූ Boycotting Muslim Businesses and Stoning Offenders; Democracy Fails When Citizens Fail to Speak Up ලිපියේ 

(ලන්කාදීප)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website