Friday, 05 July 2019 08:45

ලෝකයේ ඇස් සිරිලකට යොමු කළ ලෝන්ලි ප්ලැනෙට් ලිපිය

කොළඹ සිට දුර පළාත්වලට සංචාරය කරන විට මඟ දෙපස හමුවන කුඩා ප්‍රමාණයේ භෝජන හල්වලින් සංචාරකයන්ට ලැබෙන්නේ අමුතුම අත්දැකීමකි. එවායෙහිදී විඳිය හැකි වන්නේ නිවෙසක ඉදෙන බතක, වෑංජනයක රසයම ය. එවැනි භෝජනහල්වලින් හොඳම ආහාර වේලක් භුක්ති විඳිය හැකි බව කැත්රිනා සිය ලිපියේ සඳහන් කරන්නේ ඒවා රස විඳි පුරුදුකාරියක මෙනි.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් පසු කඩා වැටුණු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට නව ප්‍රාණයක් එකතු කරන ලිපියක් ලෝක ප්‍රකට "ලෝන්ලි ප්ලැනෙට්" (Lonely Planet) ජාත්‍යන්තර සමාගම සිය වෙබ් අඩවියේ පළ කර ඇත. "Why I won't give up on Sri Lanka and you shouldn't either" ශීර්ෂය සහිතව ලෝන්ලි ප්ලැනෙට් ලේඛිකා කැත්රිනා රිසෝමලිස් (Caterina Hrysomallis) රචනා කර ඇති මේ ලිපිය, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය අපේක්ෂා කරන බොහෝ දෙනකුගේ විශේෂ අවධානයට ලක්ව තිබේ. මේ ලිපිය සඳහා පාදක වී තිබෙන්නේ ඇගේ පෞද්ගලික අත්දැකීම් සමූහයක් බව පැහැදිලි වේ. ඈ සිය ලිපිය ආරම්භයේදීම අපව අවධි කරන්නේ කලබලකාරී කොළඹ නගරයේ ජීවත් වන සාමාන්‍ය මිනිසකුගේ මුවින් නැඟෙන අව්‍යාජ සදාදරණීය, පිළිගැනීමක් තමන්ට අසන්නට ලැබුණු බව සඳහන් කරමිනි. ඒ සදාදරණීය පිළිගැනීමේ ගැබ්ව තිබූ ශෝභනත්වය, කරුණාව, අනුග්‍රහය සහ ලාලිත්‍ය හරහා උද්දීපනයක් ලබන කැත්රිනා ශ්‍රී ලාංකේය අපේ උරුමයන් ඇගේ සටහන තුළ අපූරුවට සිතුවම් කරන්නී ය.

දූපත් රාජ්‍යයකට සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආර්ථික ශක්තිය අතිමහත් ය. සීෂෙල්ස්, ෆීජි, ශාන්ත ලුසියා, ශාන්ත බාර්ත්, මාලදිවයින වැනි දූපත් රාජ්‍යයවල සංචාරක ව්‍යාපාර දියුණු තලයකට පත්ව ඇති සැටි සලකා බලන විට ඒ බැව් පෙනී යයි. ශ්‍රී ලාංකාව සම්බන්ධයෙන් ද මේ තත්ත්වය නො සෙල්වෙන සත්‍යයකි. පසුගිය අප්‍රේල් මාසයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් කුඩු පට්ටම් වී පොළොවට ම සමතලා වනතුරුම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයත් කැපී පෙනෙන මට්ටමක පැවතියේ ය. සංචාරකයකු අවශ්‍යයෙන්ම දැක බලාගත යුතු යැයි ප්‍රකට කෙරුණු බොහෝ වර්ගීකරණයන්වල හෝ ශ්‍රේණිගත කිරීම්වල හෝ ශ්‍රී ලංකාවේ නමත් මේ නිසා සඳහන්ව තිබිණ.

2018 වසර අගදී ලෝන්ලි ප්ලැනෙට් සමාගම ප්‍රකට කළ, 2019 වසරේදී සංචාරකයකු නැරඹිය යුතුම රටවල් ලයිස්තුවේ ශ්‍රී ලංකාවේ නමත් සඳහන් ව තිබීම එයට හොඳම උදාහරණයයි. එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මේ තත්ත්වය උඩු යටිකුරු වූ අන්දම සංචාරක උපදේශනය සපයන "ෆෝවර්ඩ්කීස්" (ForwardKeys) වැනි ආයතනවල දත්තවලින් පිළිබිඹු වන්නේ යැයි කැත්රිනා පෙන්වා දෙන්නී ය. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුවන රටක්ය යන අනාරක්ෂිත බව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්වරම පතළ වූයෙන් සංචාරකයෝ මෙහි පැමිණීමට බිය පළ කළහ. සංචාරකයන් නැරඹිය යුතුම ස්ථාන ගැන සඳහන් ලැයිස්තු බොහොමයකින් ශ්‍රී ලංකාවේ නම ඉවත් කෙරිණ. අනෙකක් තබා ලෝන්ලි ප්ලැනෙට් ලැයිස්තුවෙන් ද අපේ රටේ නම කපා හරින ලදී. මෙරට සංචාරයන් සඳහා කෙරෙන පූර්ව වෙන්කර ගැනීම් ප්‍රමාණය ප්‍රහාර මාලාවෙන් සතියක් ඉක්ම යන්නට පළමුව ශීඝ්‍රයෙන් පහළ වැටුණේ ය. සංචාරක පූර්ව වෙන්කර ගැනීම් 186%කින් පමණ පහළ වැටුණු බව ෆෝවර්ඩ්කීස් තොරතුරුවලින් සනාථ වේ. බලවත් යැයි කියන ඇතැම් රාජ්‍යයන්, ශ්‍රී ලංකාවේ තත්ත්වය අවදානම් සහගත බව දක්වමින් ප්‍රකාශ නිකුත් කළේ ය. මෙරට සංචාරක ව්‍යාපාරයේ හදිසි බිඳ වැටීමට එයත් බරපතළ ලෙස බලපෑ බව කැත්රිනා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

ත්‍රස්ත ක්‍රියා මැඩපවත්වමින් සාමකාමී වාතාවරණයක් ඇති කරන්නට මෙරට රජය සහ ආරක්ෂක අංශ ගත් ක්‍රියා මාර්ග පැසසිය යුතු ය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ගිය, පළමුව කී රළු පිළිවෙත සෑහෙන දුරකට බුරුල් කරන්නට ලොව බලවත් රාජ්‍යය කිහිපයක්ම පසුගිය සතිය වනවිට එනිසා පියවර ගෙන තිබිණ. එක්සත් රාජධානියේ විදෙස් පොදු රාජ්‍යය මණ්ඩල කාර්යාලය (UK Foreign Commonwealth Office), මෙරට සංචාරය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කර තිබූ සංචාරක අවදානම් තත්ත්වය ලිහිලනය කිරීම එහිලා කැපී පෙනෙයි. ලෝන්ලි ප්ලැනෙට් මඟින් ප්‍රකාශිත 2019 වසරේ සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවේ නම නැවත එකතු කිරීමට එම සමාගම නැවත වරක් කටයුතු කිරීම සැබවින්ම සාධාරණ බැව් මේ ලේඛිකාව සිය සටහනෙන් වෙසෙසින්ම ඉස්මතු කර ඇත.

2019 වසරේ සංචාරයට සුදුසු රටවල් අතර මුල් තැන ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන්නේ කවර සුවිශේෂී කාරණා නිසා ද යන්න කැත්රිනා ලෝකයාට යළිත් මතක් කරදෙන්නී ය. එහිලා මෙරට ආහාර පානවලට හිමි වන්නේ අසම සම තැනක් බව ඇගේ අදහසයි.

අහාර පාන රසය

අපේ සංස්කෘතියට අනන්‍යය වූත් ඓතිහාසික වශයෙන් වැදගත් වන්නාවූත් ආහාර පාන වර්ග මෙහි ස්ථාපිත ය. බත් සහ ව්‍යංජන වර්ග එහිදී කැපී පෙනෙයි. ව්‍යංජන පිස ගැනීමේදී ලුණු, දුරු, ලූණු, මිරිස්, රම්පෙ, කරපිංචා ආදී වශයෙන් එකතු කෙරෙන බොහෝ දෑ ගැන අමතක කළ නොහැකි ය. ඒවා එකතු කෙරෙන්නේ අපටම ආවේණික පරිමාණවලිනි. අපේ ආහාර පානවල රසය රඳා පවතින්නේ ඒ මත ය. ඉතා හොඳ කුරුඳු, එනසාල්, ඉඟුරු, කහ ආදී කුළුබඩු වර්ග මෙහි ඇත. එවැනි කුළු බඩු වර්ග රාශියක් බැද කුඩු කර සකසා ගත් මිශ්‍රණයක් යොදා පිස ගන්නා මස් හෝ මාළු හෝ ව්‍යංජනයක රසය බලන්නට ඇතැම් පිටරැටියෝ අකමැති නොවෙති. කුළු බඩු මිශ්‍ර කර පිසින ලද එළවළු පිරවුමක් යොදා, සහල් පිටියෙන් සැකසූ දෝසා ද වෙසෙසින්ම රසවත් ය. අපට අසල්වැසි ඉන්දීය කෑමක් වුවත් දෝසා මෙරට ජනයාගේ ද විදේශිකයන්ගේ ද රස නහර පිනවන ජනප්‍රිය කෑමකි. අපටම ආවේණික රසයක් එහි තිබීම විශේෂත්වයයි. කොස් මාළුවක, ගම්මිරිස් යෙදු කුකුළු මස් ඉස්ටුවක වගේම බොහෝ දෙනකු රස විඳින්නට කැමති කොත්තු රොටියක වුව අපේම ඉවුම් පිහුම් කලාව සහ රසය ගැබ්ව ඇති බව කැත්රිනා පෙන්වා දෙන්නී ය.

කොළඹ සිට දුර පළාත්වලට සංචාරය කරන විට මඟ දෙපස හමුවන කුඩා ප්‍රමාණයේ භෝජන හල්වලින් සංචාරකයන්ට ලැබෙන්නේ අමුතුම අත්දැකීමකි. එවායෙහිදී විඳිය හැකි වන්නේ නිවෙසක ඉදෙන බතක, වෑංජනයක රසයම ය. එවැනි භෝජනහල්වලින් හොඳම ආහාර වේලක් භුක්ති විඳිය හැකි බව කැත්රිනා සිය ලිපියේ සඳහන් කරන්නේ ඒවා රස විඳි පුරුදුකාරියක මෙනි.

කෝච්චි ගමන් සහ සොබාදහම

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ විනෝදාස්වාදය කෝච්චියෙන් ගමන් බිමන් යෑම් - ඒම් කිරීම මඟින් වැඩි කෙරේ. අක්කර ගණන් දිගට විහිදෙන තේ වතුවල සදා හරිත පැහැයත්, සිසිලසත් ලොව අන් තැනෙකින් විඳිය නොහැකි තරම් ය. කොළඹ සිට නුවර, නානුඔය, ඇල්ල - බදුල්ල දක්වා දුම්රිය ගමන කෙතරම් ප්‍රියජනකදැයි කියා කැත්රිනා සිය ලියැවිල්ලෙන් ඉස්මතු කර දක්වා ඇත. ඈ පවසන්නේ හපුතලේ - ඇල්ල ගමන අතරතුර හමුවන ස්වභාවික දසුන්, ලොව වෙනත් කිසිදු තැනෙක දැකිය නොහැකි තරමට සුන්දර බවකි. කඳුරට තේ කර්මාන්තයේ ඓතිහාසික වැදගත්කම ගැනත්, කඳුකරයේ ස්වභාවික වනාන්තර ගැනත් සටහනක් තබන්නට කැත්රිනා අමතක කර නැත. එපමණක් නොව "පුංචි එංගලන්තයේදී", සංචාරකයන්ට ලැගුම් ගන්නට හැකි හෝටල් පහසුකම් ගැනත් ඈ සිත් ගන්නා සුළු සඳහනක් කර තිබේ.

කොළඹ සිට දකුණට විහිදී ඇති දුම්රිය මඟේ ගමන් කරන සංචාරකයකුට ශ්‍රී ලංකා වෙරළ තීරයේ විචිත්‍රත්වය අභ්‍යන්තරීකරණය කරගන්නට පුළුවන. වැලිගම, හික්කඩුව, මිරිස්ස, උණවටුන මුහුදු තීරයන්හිදී සංචාරකයන්ට හොඳ හැටි විනෝදවන්නට ඉඩ ලැබේ. ජල ක්‍රීඩාවල යෙදෙන්නටත්, හිරු රශ්මිය ආස්වාදනය කිරීමටත් පිටරැටියෝ බොහෝ කැමැත්තෝ ය. දකුණු වෙරළ තීරය ඔවුන්ගේ ඒ අභිරුචිය සඳහාම කළාක් මෙනි. එකී කලාපයේ ඇති හෝටල්වලින් ලබා ගත හැකි මූදු ආහාර වර්ග ද අපමණ ය. ඒවායෙහි රසය විඳිය හැකි වන්නේ එහි පිවිසීමෙන් ම පමණි. කඳු වළලු අතරින් හිරු නැඟෙන, බැස යන දර්ශනත්, හිරු මුහුදේ ගිලෙන දර්ශනත් එතරම් ම අපූරුවට වින්දනය කළ හැකි බව කැත්රිනා අමුතුවෙන්ම සඳහන් කර තිබෙන්නේ මහත් උද්‍යෝගයකිනි.

2019 වසරේදී සංචාරකයකු, නැරඹිය යුතු රටවල් අතරට ශ්‍රී ලංකාවේ නම අවශ්‍යයෙන්ම එකතු වියයුතු බව කැත්රිනා රිසෝමලිස් අවධාරණය කරන්නේ එකී හේතූන් නිසා ය.

සංචාරකයන්ට මඟ පෙන්වන රටක්

ශ්‍රී ලංකාවේ ඓතිහාසික නගර, මුහුදු තීර සහ ආහාර පාන ගැන තොරතුරු ඇතුළත් වීඩියෝ පට කිහිපයක් ද ලෝන්ලි ප්ලැනෙට් වෙබ් අඩවියෙන් නරඹන්නට පුළුවන. එම වීඩියෝ පට මෙන්ම කැත්රිනාගේ මෙම ලිපියත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බෙහෙවින්ම වැදගත් වේ.

ලෝන්ලි ප්ලැනෙට් ආයතනය සංචාරක මාර්ගෝපදේශන ග්‍රන්ථ නිරන්තරයෙන්ම ප්‍රකාශයට පත් කරන ආයතනයකි. 2014 සිට මේ දක්වා ප්‍රකාශයට පත් කරන ලද සංචාරක මාර්ගෝපදේශන පොත් මිලියන 120ක් අලෙවි වී ඇති බව ආයතනික වාර්තාවලින් සනාත වේ. සංචාරකයන්ගේ කටයුතුවලට ඉවහල් වන ඇප්, මිලියන 11කට අධික පිරිසක් අතට පත්ව ඇති බවත් සඳහන් වේ. සංචාරක කටයුතුවල නියැළෙන පිරිස ලෝන්ලි ප්ලැනෙට් සමඟ කෙතරම් සම්බන්ධ වී සිටින්නේ ද යන්න මෙමඟින් තහවුරු කෙරේ. 2019 වසරේදී සංචාරකයකු අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ලෝන්ලි ප්ලැනෙට් ශ්‍රේණිගත කිරීමට ශ්‍රී ලංකාවේ නම එක් කිරීමත් මෙහි සංචාරය කරමින් වින්දනයක් ලැබිය හැකි වන්නේ කෙසේ ද යන්න ගැන සඳහන් කිරීමත් මේ නිසා සුළුවෙන් සැලකිය නොහැකි ය. ශ්‍රී ලංකාව හැරුණුවිට සංචාරකයකු නැරඹිය යුතු ම අනෙක් රටවල් අතර තිබෙන්නේ ජර්මනිය, සිම්බාබ්වේ, පැනමාව, කිර්ගිස්තානය, ජෝර්දානය, ඉන්දුනීසියාව, බෙලරුසියාව, සාඕ තොමේ හා ප්‍රින්සිපේ සහ බෙලීස් යන රාජ්‍යයන් ය. එම රටවල නම් සඳහන් වන්නේ ශ්‍රී ලංකාවට පසුව වීම තවත් වැදගත් කරුණකි.

(දිනමිණ)

Last modified on Friday, 05 July 2019 08:46

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website