Saturday, 06 July 2019 07:52

චිත්‍රපට බෙදාහැරීම යළි සංස්ථාවට

චිත්‍රපට බෙදාහැරීමට යළි රජය මැදිහත් වේ. පෞද්ගලික බෙදාහැරීමේ මණ්ඩල හතර අහෝසි වෙයි. චිත්‍රපට වර්ගීකරණය කර, ධාරා 03ක් යටතේ සංස්ථාව මගින් පමණක් චිත්‍රපට බෙදාහැරීමට නියමිතයි. දැවැන්ත පිටපත් සංඛ්‍යාවක් සමග වෙනත් ධාරාවල සිනමාශාලා ආක්‍රමණයට ඉඩ ඇහිරේ. චිත්‍රපට ව්‍යාපෘතිකරුවන් අකර්මණ්‍ය වෙයි. සිනමා ප්‍රේක්ෂකයින්ට තෝරා බේරාගෙන චිත්‍රපට නැරඹීමට ඉඩ. පෞද්ගලික බෙදාහැරීමේ මාෆියාවට තිත. 

2001 වසරේදී පැවති රජය විසින් මෙරට චිත්‍රපට බෙදාහැරීමේ කාර්යය පෞද්ගලික ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට බන්දේසියක තබා භාර දී වසර කිහිපයක් ගතවන විටම එහි ප්‍රතිවිපාක සිනමාකරුවන්, නිෂ්පාදකයින් හා සිනමාශාලා හිමියන් අත්විඳින්නට පටන් ගත්තේය.

හැටේ දශකයේ දී සිනමා ක්‍ෂේත්‍රය තුළින්ම පැන නැගුණු බලවත් ඉල්ලීම් හමුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජය විසින් 1971 අංක 47 දරණ පාර්ලිමේන්තු පනත මගින් 1972 ජනවාරි 21 දින රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවා, එතෙක් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු අත පැවති දේශීය චිත්‍රපට කර්මාන්තය සංස්ථාව යටතට පත් කෙරෙණි. 

සංස්ථාව විසින් 1979 වන විට කලින් සිංහල චිත්‍රපට සඳහා පැවති 20% ක තිරකාලය 58% දක්වා නැංවීය. මිලියන 30ක්ව පැවති වාර්ෂික ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 77.4 දක්වා වර්ධනය වුයේය. සංස්ථාව නවකයින්ට 100% ණය ආධාර සපයමින් උසස් දේශීය සිනමාවක් කරා වේගවත් ගමනක පියවර තැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස 70 දශකයේ සිනමාවට පිවිසි ප්‍රතිභාපූර්ණ නවකයින් රැසක් පසුකලෙක සිනමා ක්‍ෂේත්‍රයේ දැවැන්තයින් බවට පත්වූහ. 

ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රමුඛතම කාර්යය වූයේ චිත්‍රපට බෙදාහැරීමයි. නමුත් 2001 පෙබරවාරි 15 දින සංස්ථාවට චිත්‍රපට බෙදාහැරීම අත්හැරීමට සිදුවන්නේ 1999 දී භාණ්ඩාගාර ලේකම් විසින් නිකුත් කළ “ජාතික චිත්‍රපට ප්‍රතිපත්තිය හා ඒ පිළිබඳ මාර්ගෝපදේශය” නැමැති ලියවිල්ල නිසාවෙනි.  එකල ජනාධිපතිවරියට සමීපව සිටි මාධ්‍ය උපදේශකයින්ට චිත්‍රපට බෙදා හැරීම පෞද්ගලික ව්‍යාපාරිකයින්ට පැවරීමට පුදුම හදිස්සියක් තිබුණද, මාර්ගෝපදේශ ලියවිල්ලේ සාධනීය කරුණු චිත්‍රපට සංස්ථාව මගින් ඉටුකරවීමට, කිසිදු හදිස්සියක් හෝ ඕනෑකමක් නොවීය. 

චිත්‍රපට සංස්ථාවේ ඉදිරික්‍රියාමාර්ග ලෙස සඳහන් වී තිබූ එම කරුණු නම් ; 
1. ශ්‍රී ලාංකේය සිනමාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම. 
2. ශ්‍රී ලාංකේය චිත්‍රපට කර්මාන්තය හා සම්බන්ධ සියලුම අංශ සඳහා පාලනාත්මක බල අධිකාරියක් ලෙස ක්‍රියාත්මක වීම. 
3. ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය 
පිහිටුවා නිසියාකාරව පවත්වා ගැනීම. 
4. චිත්‍රපට අභ්‍යාස ආයතනයක් පිහිටුවා ඒ පිළිබඳ කළමනාකරණය පවත්වා ගැනීම. 
5. ජාතික චිත්‍රපට සංවර්ධන අරමුදලේ කළමනාකරණය පවත්වා ගැනීම. 
6. ජාතික චිත්‍රපට ප්‍රතිපත්තිය විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව අන්වේෂණය පවත්වා ගැනීම. 
7. වර්තමානයේ චිත්‍රපට බෙදාහැරීමේ එකම බල අධිකාරිය සංස්ථාව නොවන්නේ වී නමුදු චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රියාවලියට සක්‍රීයව සහභාගි වීම. 
8. ආනයනික චිත්‍රපටවල ගුණාත්මක තත්ත්වය පිළිබඳ අන්වේෂණය පවත්වා ගැනීමේ අටියෙන් ප්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩලය සමග සමීප සම්බන්ධතාවයෙන් කටයුතු කිරීම. 
9. චිත්‍රපට ආනයනය හා සම්බන්ධ රෙගුලාසි විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳ අන්වේෂණය පවත්වා ගැනීම. 
10. සිනමාශාලා හිමියන්, සිනමාශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් විසින් ඉදිරිපත් කෙරෙන මාසික ප්‍රවේශපත්‍ර වාර්තා විගණනයට භාජනය කිරීම.  

චිත්‍රපට සංස්ථාවේ ප්‍රමුඛතම කාර්යය වූ චිත්‍රපට බෙදාහැරීම අත්හැර දැමීම තුළ, එම ආයතනයේ ශක්තිමත් බැමි පුපුරා ගියේය. ව්‍යාපාරික පවුරු පදනම් යළි ශක්තිමත් විය. උක්ත ලියැවිල්ලේ සඳහන් පරිදි ක්‍ෂේත්‍රය නියාමනය කිරීමේ කාර්ය ගිලිහීයාමක් මිස ශක්තිමත් පාලනයක් පවත්වා ගැනීමට අපොහොසත් වීමට අලුත් තත්ත්වය බලපෑවේය. 

දේශීය සිනමාව යළි 1972 ට පෙර පැවති අඳුරු අගාධයට ඇද දැමීමේ පාපකර්මයට සිනමා ක්‍ෂේත්‍රයේම දැවැන්තයින් උත්සුක වී තිබීම ඛේදයකි.  කෙසේ වෙතත් වර්තමානයේ උදා වී ඇත්තේ ඵෙතිහාසික මොහොතකි. 2001 සිට ගොඩ නැගෙමින් ශක්තිමත්ව තිබූ 
ව්‍යාපාරික මාෆියාවේ පවුරු පදනම් දෙදරා ගොස් ඇත. වසර 19 කට පෙර පැත්තකට දමා තිබූ, 1980 අංක 45 දරණ පනතින් සංශෝධිත, 1971 අංක 47 දරණ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත වත්මන් සභාපතිතුමිය අතට ගෙන ඇත. 2019 පුනි මස 18 වැනි දින ප්‍රකාශිත පරිදි සංස්ථා පනතේ 57 වන වගන්තිය ප්‍රකාර දේශීය, විදේශීය චිත්‍රපට බෙදාහැරීමේ කාර්යය යළි සංස්ථාවට පවරා ගැනීම හේතුවෙන් පෞද්ගලික බෙදාහැරීමේ මණ්ඩල වල කාර්යය අවසන් කර ඇත. 

මෙම තත්ත්වය හදිසියේ ඇති වූවක් නොව, වසර ගණනාවක සිට ක්‍ෂේත්‍රයේ පැවති කතාබහක අවසන් ප්‍රතිඵලයයි. පසුගිය කාලයේ මෙරට චිත්‍රපට කර්මාන්තය පිළිබඳ නිකුත් වූ කමිටු වාර්තා හා විවිධ සංවිධාන වල අදහස් සලකා බැලීමේදි ලංකාවේ සිනමා කර්මාන්තයට සාපේක්ෂව පවතින අර්බුදයට එකම විසඳුම දිවයිනපුරා චිත්‍රපට බෙදාහැරීම රජය මගින්, එකම ආයතනයකින් සිදුවිය යුතු කාර්යයක් ලෙස සනාථ වී ඇත.  සිනමා ක්‍ෂේත්‍රය තුළ පැවති තත්ත්වයට බල පෑ හේතු සාධක හටගැනීම ආරම්භ වන්නේ පෞද්ගලික අංශය මගින් චිත්‍රපට බෙදාහැරීම ආරම්භ කළ 2001 වසරේ සිට වසර පහක් ගෙවීයාමටද මත්තෙනි. 

2010 වසරේ දෙසැම්බර් මස දිනෙක සිනමා කර්මාන්තයේ නියුක්තිකයන්ගේ කතිකාවක් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කෙරිණි. 1999 දී චිත්‍රපට බෙදාහැරීම පෞද්ගලිකකරණය කරමින් නිකුත් කල ලියැවිල්ල හේතුවෙන් දේශීය සිනමා කර්මාන්තයට සිදු වූ හානිය පිළිබඳව එහිදී විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල විය. චිත්‍රපට සංස්ථාව සම්පූර්ණයෙන්ම බෙදා හැරීමෙන් ඉවත්විය යුතු යැයි 1999ට පෙර හඬ නැගූ පිරිස්ම, යළි බෙදාහැරීම සංස්ථාවට පවරාගත යුතුයැයි එම කතිකාවේදී පැවසීම විශේෂත්වයකි. තමන් පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ සුරාකෑමට ලක් වී ඇති බවත්, ක්‍ෂේත්‍රයෙන් තමන්ව පලවාහැරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවටත් 
බොහෝ චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකයින් හා සිනමාහල් හිමියන්ගේ අදහස වූහ. 

ඔවුන් අතීතයේ දී පෙනී සිට ඇත්තේ මෙරට සිටින ඇමරිකානු චිත්‍රපට ඒජන්තවරුන් වෙනුවෙන් බව වැටහෙන විට චිත්‍රපට 
බෙදාහැරීම ඇමරිකාවේ කැමැත්ත පරිදි පෞද්ගලික ව්‍යාපාරිකයන් අතට පත්වී හමාරය. 

මේ කුමන්ත්‍රණයේ පළමු අදියර 1991 දී අම්බලවානර් කමිටුව හරහා මෙරට සිටින ඇමරිකානු චිත්‍රපට නියෝජිතයින් මගින් සිදුකිරීමට උත්සහ කළත් සිනමා ක්‍ෂේත්‍රයේ පිරිස් හා සංස්ථා සේවකයින්ගේ ප්‍රබල විරෝධතාවය හමුවේ පියවරක් පසුපසට ගැනීමට එවක පැවති රජයට සිදුවිය. 

නමුත් ක්‍ෂේත්‍රයේ නිහඬතාවය හා සමහරුන්ගේ සහයෝගය හමුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය කාලයේ (2001) චිත්‍රපට බෙදාහැරීම යළි පෞද්ගලිකකරණය කලාය. 2010 වසර වන විට පෞද්ගලික චිත්‍රපට බෙදාහරින්නන්ගේ අසමතුලිත ක්‍රියා කලාපයෙන් විවිධ ධාරාවන්ගේ සිනමාපට වලට වැට බැඳිණි. එම තත්ත්වය 1972 ට පෙර පෞද්ගලික සමාගම් 03ක් විසින් වැඩෙන්නට නොදී යටපත් කර තිබූ සිංහල සිනමාවේ ඛේදවාචකයක පුනරාගමනයයි. 

මෙයට වසර 10 කට පෙර සිට යළි දේශීය සිනමාවට රාජ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාවය ක්‍ෂේත්‍රයේ බොහෝ පිරිස් තේරුම් ගෙන තිබිණි. වසර 19 කට පසු අද එහි කූටප්‍රාප්තිය සිදු වී, දේශීය සිනමා කර්මාන්තය හසුරුවන එකම බලධාරියා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති බව නැවත ප්‍රකාශයට පත්කර ඇත. 

ව්‍යාපාරික මාෆියාව සමග එක් වී මස් රාත්තලම ලබා ගැනීමට විවිධ චිත්‍රපට ව්‍යාපෘති දියත් කළ බඩගෝස්තරවාදීන් මෙම තීරණයත් සමග උරණ වී ඇත. 2013, 2014 වසර වල ඉතිහාස කතා, රජ කතා සමග මෙගා පිටපත් රැල්ලක් හැදූ චිත්‍රපට ආචාරීන් විසින් බොහෝ චිත්‍රපටකරුවන් අගතියට පත් කළහ. සිනමාවට පිවිසීමට බලා සිටින විවිධ ධාරාවන්ගේ තරුණ සිනමාකරුවන්ට බාධක පැමිණවීය. පෞද්ගලික බෙදාහැරීමේ මණ්ඩල විසින් මෙරට කලාත්මක සිනමාව සිනමා ශාලාවල 4.15 දර්ශනය වැනි ප්‍රේක්ෂක අවධානයන් තොර අඳුරු අහුමුල්ලක සඟවා තැබූහ. 

ඉදින් චිත්‍රපට බෙදාහැරීම යළි චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීම නිසා විවිධ ශානර වල චිත්‍රපට හදන ප්‍රවීණ සිනමාකරුවන්ටත්, හෙට දවසේ සිනමාවට පිවිසීමට බලාපොරොත්තුවෙන් කල්බලන නවකයින්ටත් අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු තබාගත හැකිය. 70 දශකයේ දේශීය සිනමාවේ ඇති වූ පිබිදීම 20 දශකයට පුනරාගමනය වනු ඇතැයි අපේක්ෂා සහගත වෙමු. 

(ලන්කාදීප)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website