Saturday, 06 July 2019 07:53

මේක මාර නඩුවක් තමයි

පහුගිය දවසක පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක සජීවී වැඩසටහනකින් කෙනෙක් කතා කරලා ඇහුවා එයාල මේ දැන් අපේ රටේ සිනමාවේ අර්බුදය ගැන කතා කරනවා ඒකට අදහස් දැක්වීමක් කරන්න පුළුවන්ද කියලා. ඉතිං ඕකට අමුතු සූදානමක් මොකටද කියලා හා කිව්වා. සිනමාවේ අර්බුදයක් තියෙනවද, ඒකට කවුද වගකියන්න ඕන, ඒකට දෙන්න පුළුවන් විසඳුම් මොනවද, චිත්‍රපට බෙදාහැරීම පිළිබඳව දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන මොකද හිතෙන්නේ, අපේ රටේ සිනමා විචාර කලාව ගැන මොකද කියන්නෙ වගේ ප්‍රශ්න හතර පහක් නිවේදකයා ඇහුවා. මේ ටිකේම සිනමාවේ මේ අවුල ගැනම ලිය ලිය හිටපු නිසා වැඬේ පහසු වුණා.

ඇත්තටම අමුතුවෙන් කියන්න දෙයක් නෑ. දැන් කාලයක් තිස්සෙම අපේ සිනමාව කියන්නෙම ප්‍රශ්න පත්තරයක්. අපේ සිනමාවේ ප්‍රශ්නයක් නොතිබුණු දවස මොකක්ද කියලයි හොයල බලන්න ඕන. එහෙම දවසක් ඉතිහාසයේ තිබිලම නෑ මං හිතන්නේ. සිද්ධ වුණේ තිබුණු ප්‍රශ්නවලට තව අලුතෙන් ප්‍රශ්න එකතු වුණු එක මිසක් ඒ ප්‍රශ්න එකකටවත් හරියාකාරව නිට්ටාවට බෙහෙතක් නොලැබීම.

දැන් තවත් අලුත් ප්‍රශ්නයක් ඇවිත්. අලුත් කිව්වට මේකත් අලුත්ම නෑ. කාලයක් තිස්සේ ඇදි ඇදී ආපු ප්‍රශ්නෙ අලුත් මුහුණුවරකින් පැමිණීමක්. නඩුහබ දක්වා දිගේලි වුණු චිත්‍රපටි බෙදාහැරීමේ ප්‍රශ්නය තමයි ඒක. දැන් ආපහු මේක ජාතික චිත්‍රපටි සංස්ථාව අතට ඇවිල්ලලු. ඒකට චිත්‍රපටි හදන සමහර අය කැමති නැතිලු. ආපහු තැන තැන ගෝරිලු මේකට. ඉතින් කොහොමද සිනමාව ගොඩදාන්නේ. එළ හරකයි මී හරකයි කරත්තෙ බැන්දා වගේ වැඩක් මේක. දෙගොල්ලො දෙපැත්තට අදිනවා. ආපහු උසාවි යනවා. උසාවියෙන් තීන්දු හම්බවෙනවා. ඒකට ආපහු කට්ටියක් අකමැති වෙනවා. ආපහු රණ්ඩු වෙනවා. මේ සෙල්ලම තව කොච්චර කල් කරන්නද දන්නෙ නෑ මේ ගොල්ලො කල්පනා කරන්නේ. මේ රණ්ඩුවලින් සිනමාවට මහ ලොකු සුගතියක් වෙයි කියල නම් හිතන්න අමාරුයි.

අපි නම් කියන්නේ සිනමා ප්‍රේක්ෂකයෝ විදියට බඩකට පිරෙන්න ලස්සන චිත්‍රපටි හදලා ඒවා ගහ මරා ගන්නෙ නැතුව හෝල්වලට පිළිවෙළකට දාල පෙන්නන්න කියන එක තමයි. කලාකාරයො කියන්නේ මාර සංවේදී කට්ටියක් කියල එයාලම තැන තැන කිය කිය යන ගමන් මේ විදියට නඩු දාගන්න එක ඒ තරම් හොඳ නෑ. සමහර චිත්‍රපටි අධ්‍යක්ෂ අයියල තමන්ගෙ වැඬේ ගැනම හිත හිත මස් රාත්තලම ඉල්ලනව කියලත් ආරංචි වෙනවා. කාටත් පිළිගන්න පුළුවන් ක්‍රමවේදයක දී තමන්ගෙ පංගුව ගැනම විතරක් හිතන එක ඒතරම් හොඳ මදි.

අපි දන්නෙ නෑ චිත්‍රපටි සංස්ථාවට ඔය කරට ගත්තු රාජකාරිය හරියාකාරව කරගෙන යන්න පුළුවන්ද කියලා. කිසිම ගැටලුවක් නැතුව කරගෙන යන එක තමයි ඒ අයට තියෙන අභියෝගය. ජාතික චිත්‍රපටි සංස්ථාව චිත්‍රපටි බෙදාහැරීමේ දී ජාතික මැදිහත්වීමක් කරන එක හොඳයි. ඒක නියාමන ක්‍රියාවලියක් වගේ දෙයක් වෙන්න ඕන කියලා ක්ෂේත්‍රයේ මේ ගැන දැනුම් තේරුම් තියෙන අය කියනවා. මේ ගැන පහුගිය කාලය පුරාම විවිධ වාද විවාද ඇති වුණා. ඒත් තාම ඒකට හරිහමන් උත්තරේ හම්බවෙලා නෑ.

සිනමාවේ මේ අවුල ලිහන්න කියලා පහුගිය කාලෙ එක එක කමිටු පත්කෙරුවා. ඒ කමිටුවලින් එන එක ජාතියේ වාර්තා අරගත්තා. මේවට සම්බන්ධ අය වරින් වර ජනාධිපති එක්ක සාකච්ඡා මේසවලටත් වාඩි වුණා. ඒත් තේ බීපු එක ඇරෙන්න ප්‍රතිඵලයක් නෑ වගේ. මේ ආණ්ඩුව යටතේ සිනමාව ඇමතිවරු තුන් හතර දෙනෙකුට වරින් වර මාරු වුණා. ගයන්ත කරුණාතිලක, රංජිත් මද්දුම බණ්ඩාර වගේ අයගෙ අතින් අතට ගියපු මේක දැන් සජිත් ප්‍රේමදාසගෙ අතට ඇවිත්. මේ ටික කාලෙට ජාතික චිත්‍රපටි සංස්ථාවට සභාපතිවරුම තුන්හතර දෙනෙක් පත්වුණා. පුදුම ආණ්ඩුවක් මේක. ගෝරියක් නැතුව කිසි තැනක වැඩක් කෙරෙන්නෙ නෑ.

කලින් තිබුණු ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් සිනමාව කියන එක පයිසෙට දාල සලකන බවට තවත් උදාහරණ අවශ්‍ය නෑ. බැරිකම නෙවෙයි තියෙන්නේ ඕන නැතිකම. සජිත් ප්‍රේමදාසට රට වටේ ගෙවල් හද හද යන්න තියෙන උනන්දුවෙන් අරික්කාලක්වත් සිනමාව ගොඩගන්න තියෙනව නම් කරන්න බැරි වැඩක් නෙවෙයි මේක. හැබැයි ඒක සරදියෙල් පන්නයේ විසඳුම්වලින් නම් ගොඩ දාන්න බෑ.

(ලන්කාදීප)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website