Monday, 08 July 2019 01:22

ජී.එම්.ඕ. එක දේශපාලන සංගමයක්

ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න

කුරුණෑගල වෛද්‍යවරයාගේ වඳ සැත්කම් කතාව හේතුවෙන් මෙරට වෛද්‍ය සේවය පිළිබඳ සංවාදය නැවතත් උණුසුම් වී තිබේ. ඒ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලතලවලට පැරණි අයම පත්වීමද විශේෂත්වයකි. එම සංගමයේ නිලධාරීන්ට කළුතෙල් ප්‍රහාර එල්ල වූ බවට ද ඖෂධ දූෂණ ආදිය සම්බන්ධව ද ප්‍රවෘත්ති පළවන වටපිටාවක ශ්‍රේණිගත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න එහා ඉවුරට එක් වේ.

* වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ලවෙන වෛද්‍යවරයා සම්බන්ධයෙන් වෛද්‍ය සංගම් නිහඬ ඇයි කියලා බොහෝ දෙනෙක් අහනවා. නිහඬ බවට හේතුව මොකක් ද?

සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් නීතියටත් වඩා වැඩියෙන් පාලනය වන්නේ ආචාරධර්ම මත. ඔබ අහන ප්‍රශ්නයට අනුව වෛද්‍යවරයකුට කිසිවිටෙක එවැනි දෙයක් කරන්න බැහැ. වෛද්‍යවරු මානුෂිකත්වය මත ඉදිරියට යන්න ඕනෑ. ජනතාවට සේවය කරන්න ඕනෑ. මේ එල්ලවෙලා තියෙන්නේ චෝදනාවක්. ඉතිහාසයේ වෛද්‍යවරුන්ට එල්ලවෙලා තිබෙන ආකාරයට ම මේ වෛද්‍යවරයාටත් චෝදනා එල්ලවෙලා තියෙනවා. මේ චෝදනා සත්‍ය නම් වරද බරපතළයි. මෙතැනදී අපි නීතියට ගරු කරන්න ඕනෑ. ඒ වෛද්‍යවරයා රජයේ සේවකයෙක්. ඒ නිසා නීතියෙන් වරදකරු වෙනතුරු ඔහු වරදකරුවෙක් නෙවෙයි. චෝදනාවට ලක් වුණ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න, සෞඛ්‍ය අමාත්‍යවරයා විමර්ශනයක් ආරම්භ කළා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රාජකාරියේ ස්වභාවය අනුව එය නිවැරැදි ක්‍රමවේදයක්. ඒ විමර්ශනය කරන්නේ විහිළුකාරයෝ නෙවෙයි. ඒ ක්ෂේත්‍රයේ විශේෂඥයෝ තමයි ඉන්නේ.

* ඇමැතිවරයා පත් කළ විමර්ශන කමිටුව විශ්වාසනීයත්වයෙන් තොරයි, ඒ නිසා ජනපතිවරයාගේ විමර්ශනයක් ඕනෑ කියන මතයක් ගොඩනැඟුණා. ඒ ඇයි?

රජයේ සේවකයෙක් වරදක් කරලා තියෙනවා නම්, ඒ සේවකයා සේවය කරන අදාළ දෙපාර්තමේන්තුවේ විමර්ශනය අනිවාර්යයෙන් කෙරෙන්න ඕනෑ. ඒ විමර්ශන කටයුතු කරන ක්‍රමවේදයක් තියෙනවා. එතැන පක්ෂග්‍රාහී නොවන තීන්දු තීරණ ගන්න ඕනෑ. අද වෙනකොට ජනාධිපති කොමිසම් දාලා කී දෙනෙකුට දඬුවම් කළා ද කියලා බලන්න ඕනෑ. මෙතැනදී කරන්න හදන්නේ මේ ප්‍රශ්නය දිග්ගස්සන්න. ඒ වැඩේ කරන්න හදන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. ඔය චෝදනා එල්ල වෙන වෛද්‍යවරයා ඉන්නේ අපේ සංගමයේ නෙවෙයි. ඒ වෛද්‍යවරයා ඉන්නෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ. ඔහු ඒ සංගමයට යම් යම් උදව් පදව් කරලා තියෙනවා කියලත් දැන් ආරංචි වෙනවා.

* රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයත් මේ සම්බන්ධයෙන් නිහඬයි කියලයි කියන්නේ?

නිහඬ ඒ වෛද්‍යවරයා ඒ අයගේ සාමාජිකයෙක් හින්දයි. මුලින් ගහගෙන ආවේ රජයට ගහන්න ඕනෑ හින්දයි. පස්සෙ එකපාරටම සද්දෙ වැහුණා. අදිසි හස්තයක් හරස් වෙනවා කියනවා. අපිටත් තියෙන ප්‍රශ්නය ඒ අයට තියෙන අදිසි හස්තය මොකක්ද කියන එක තමයි. ඇමැතිවරයාගේ කොමිසම නවත්වන්න හදන්නෙ කාට වාසි ගන්නද කියලයි අපිට අහන්න තියෙන්නෙ. සාෆි වෛද්‍යවරයාත් එක්ක අපේ සංගමයට ප්‍රශ්නයක් නැහැ. නමුත්, ඒ වෛද්‍යවරයාට එරෙහිව එල්ල වෙලා තියෙන චෝදනා ඔප්පු වුණොත් වෛද්‍යවරයෙක් ඒ මට්ටමට පත්වීම ගැන ඇත්තටම අපි වෛද්‍යවරු විදිහට කණගාටු වෙනවා.

* චෝදනා එල්ල වෙන වෛද්‍යවරයා එජාප ඡන්ද අපේක්ෂකයෙක්. 21 ප්‍රහාරයේ චූදිතයන් එක්ක සබඳකම් තිබිලා තියෙනවා කියලත් කියනවා. අද වෙනකොට සැත්කමට ලක්වූ මවුවරු විශාල පිරිසක් පැමිණිලි කරලා තියෙනවා?

21 ප්‍රහාරයට අදාළ පිරිස් එක්ක වෛද්‍යවරයාට සබඳකම් තියෙනවා ද කියලා මම දන්නෙ නැහැ. නමුත්, මේ ප්‍රශ්නය මතුවුණේ 21 ප්‍රහාරයත් එක්ක. ඔහු දේශපාලනය කරලා තියෙනවා. රජයේ සේවකයකුට කරන රැකියාවෙන් ඉවත්වෙලා මැතිවරණවලට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒක ඔහුට තියෙන අයිතියක්. ඡන්දෙන් පස්සෙ ආයෙත් මේ වෛද්‍යවරයා ඉල්ලුම්පතක් දාලා පත්වීම අරගෙන ඒ රෝහලට ම යනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ ගැන කෑ ගහනවා. ඒ වෙනකොට වෛද්‍යවරුන්ගේ මාරුවීම් සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් ම කටයුතු කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. එහෙම නම් කුරුණෑගලට සාෆි වෛද්‍යවරයා ඇතුළු වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුවත්ව.

* මෙය සිංහල බෞද්ධ ජනතාව අතර භීතියක් සහ ආන්දෝළනයක් ඇති කරපු සිද්ධියක්. ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් ප්‍රකාශයක් කළා පැලෝපීය නාලය මිරිකා වඳකරන්න පුළුවන් කියලා?

මේ ප්‍රශ්නය අපි විග්‍රහ කරන්න ඕනේ ජාතීන් අනුව නෙවෙයි. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ සහ මනුෂ්‍යයෝ. එතැනදී මනුෂ්‍යයෝ කියන කාරණයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා ද කියන එකයි බලන්න ඕනෑ. ඔබ අහනවා වඳ කිරීම් ගැන. එක කාලයක් වඳ සැත්කම් කිරීම රජයේ ප්‍රතිපත්තිය වෙලා තිබුණා. ඒක වැඩිපුර කරගත්තෙ සිංහල බෞද්ධ කාන්තාවෝ නෙවෙයි ද? ඊටත් වඩා අම්මල ගබ්සාවලිනුත් මැරෙනවා.

මේ රටේ කොයිතරම් නම් ගබ්සා වෙනවා ද? ඒවා කර කර වඳ කිරීමක් ගැන කතා කරනවා. මේ කෝකත් වැරැදියි. වෛද්‍ය සාෆි ට එල්ලවෙලා තියෙන චෝදනාව අනුව වඳ සැත්කමක් අනෙක් අය නොදැනුවත්ව කරන්න බැහැ. නමුත් පැලෝපීය නාලය මිරිකීම කරන්න පුළුවන්. ඒ නිසා තමයි මේ සැකය මතුවෙලා තියෙන්නේ. තවම යන්නේ සැකයක් විතරයි. අම්මලා ඇවිත් චෝදනා කළාට ඒවා විහිළු කතා. පළමුවෙන්ම අපි ගන්න ඕනෑ දේ පළමු දරුවා ලැබුණා ද? ඇයි අම්මට සීසර් සැත්කම කළේ? හේතුව මොකක් ද? සැත්කම කළාට පස්සෙ දෙවැනි දරුවා ලැබෙන්න ප්‍රශ්න තිබුණා ද? එහෙම නම් මෙතැනදී සිංහල නාරිවේද වෛද්‍යවරයකුගේ සහ දෙමළ වෛද්‍යවරයකුගේ අංශත් වෛද්‍ය සාෆි වැඩ කළ අංශයත් අරගෙන මේ කියන කාරණාවල පැහැදිලි වෙනසක් තියෙනව ද කියලා බලන්න ඕනෑ . එහෙම වෙනසක් තියෙනවා නම් අපිට ඊළඟ පියවරට යන්න පුළුවන්.

ජනතාව හැමදේටම වෛද්‍යවරුන්ට චෝදනා කළාට වෛද්‍යවරයාට කරන්න බැරි දේ කරන්න බැහැ. අපේ වෛද්‍යවරු අයිස් ගැහුව නිසා නෙවෙයි ද සාෆි වෛද්‍යවරයා සැත්කම් මේ තරම් ප්‍රමාණයක් කරලා තියෙන්නේ. ඒකෙන්ම පේනවා අපේ අය හොරු, ඒ වෛද්‍යවරයා ඇත්තටම වැඩ කරලා තියෙනවා කියලා.

* වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයාට ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් බරපතළ දූෂණ චෝදනා එල්ල කරනවා. ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

ඖෂධ මාෆියාවට හැමෝම සම්බන්ධයි. සමහර ඖෂධ නිර්දේශ කරන්නේ වෛද්‍යවරු. එහෙම නම් වෛද්‍යවරුත් මේ ඖෂධ මාෆියාවට සම්බන්ධයි. මේකට විරුද්ධව ආවේ සේනක බිබිලේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය පැරැණි එකක් නිසා අපි ඒකට කැමැති නැහැ. නමුත් ඇමැතිවරයා ඒකට කැමැතියි. මොකුත්ම නොකර ඉන්නවාට වඩා ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන එක හොඳයි. මාෆියා එකක් තියෙනවා නම් හැමෝම ඒකට වගකියන්න ඕනෑ. ඖෂධ ගෙන්වන්න නිර්දේශ කරන කමිටුවක් තියෙනවා. ඒ නිර්දේශ මත තමයි රටට අවශ්‍ය ඖෂධ ගෙන්වන්නේ. ඒක රජයට අතගහලා ඕනෑ ඕනෑ විදිහට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ කාරණය එක එක දේශපාලන පක්ෂවල අතකොලු වුණ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඉලිප්පීමක් මිසක් සත්‍ය වශයෙන් පදනමක් නැති කතාවක්.

* මහජනතාවට විශාල වැඩකොටසක් කළා කියල සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්නලා දෙනවා. නමුත්, ඇමැතිවරයා ප්‍රතික්ෂේප කරන්නෙත් මහජනතාව?

හැම ඇමැතිවරයා යටතේම මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දිනෙන් දින ප්‍රගතියත් අත්කරගෙන තිබෙනවා. මහජනතාව වුණත් අතීතයට ගිහින් බලන්න ඕනෑ. එදා අපේ සෞඛ්‍ය සේවාවයි අද සෞඛ්‍ය සේවාවයි අතර වෙනස හොඳට පේනවා. එදා නොතිබුණ පහසුකම් අද සිය දහස් ගුණයකින් වැඩිවෙලා. එදා කාචයක්, ස්ට්‍රෙන්ත් එකක් දැම්මේ සල්ලි දීලා. අද ඒවා නොමිලේ දෙනවා. මේවා දෙන්නෙ නැති මනුස්සයාට එදා මාෆියාත් ක්‍රියාත්මක වුණා. ඒක හොඳ නැහැ කියලද කියන්නෙ. පිළිකා රෝගීනුත් එහෙමයි. අන්ත අසරණ පිළිකා රෝගීන්ට හොඳ ඖෂධයක් දෙන්න පුළුවන් ද? වෛද්‍යවරු කෑ ගැහුවට මේ ප්‍රශ්න යථාර්ථවාදීව බලන්න ඕනේ.

* රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ වෛද්‍යවරයකුගේ සායනයකට පහරදීම සම්බන්ධව ඔබ දරන මතය ?

ඒ වෛද්‍යවරයා කියනවා සෞඛ්‍ය ඇමැතිවරයා පහර දුන්නා කියලා. එහෙම ගහන්න ඕනෑ නම් සෞඛ්‍ය ඇමැතිවරයාට මේ තරම් කාලයක් ඉන්න ඕනෑ නෑ. ඔය වෛද්‍යවරයා ඒ සංගමයේ ලේකම්වරයා විදිහට පත්වුණා ම වෛද්‍යවරයාට අපේ ආචාරය කියලා ගමේ මිනිස්සු බැනර් එකක් ගහනවා. එහෙම මිනිස්සු වෛද්‍යවරයාට කළු තෙල් ගහනකොට නිදාගෙන හිටියෙ ඇයි? එතුමාගේ බැනර් එක එතුමා ම ගහගෙන ජනප්‍රිය වෙන්න දඟලනවා. ඒ වගේ ම තමයි තමුන්ගෙ වැඩ තමුන්ම කරගෙන ආදරේ කරන මැරයො ටිකක් ඇවිත් කළු තෙලුත් ගහලා ගිහින්. මේවා ඇමැතිවරයාට බැර කරන්න හදපු නාටක.

* කවුරු කොහොම කීවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිධුරයට නිතරගයෙන් පත්වුණ සභාපති වෛද්‍යවරයා ඒ කාර්යයට ඕනෑවටත් වඩා සුදුස්සෙක් විදිහටයි පේන්නෙ?

නිතරගයෙන් පත්වෙන්න හේතුව තමයි ඒ සංගමයේ ඡන්ද සම්පූර්ණ දූෂිත ඡන්ද වීම. ඒකෙ ඉන්න අනෙක් අය තරග කරලා වැඩක් නෑ, කොහොම තරග කළත් එයා තමයි පත් වෙන්න කියලා තේරුම්ගෙන ඉන්නවා. ඔය සභාපතිවරයා හැම අවුරුද්දෙම කියනවා මම මේක දාලා යනවා කියලා. ඒත් යන්නෙ නෑ තරග කරනවා. කවුරු හරි තරග කළොත් කියනවා ඒ මනුස්සයා එන නිසා මම තරග කරනවා කියලා. දැන් මේ සංගමය වෘත්තීය සංගමයක් නෙවෙයි. ඒක දේශපාලනික සංගමයක්. එහෙම එකකට තරග කරන්න වෛද්‍යවරු කැමැති නැති නිසා තරගයක් නැහැ.

* ලෝකයේ දියුණු රටවල් දෙකකට පසු අපේ රට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඊළඟ තැන හිමිකරගෙන ඉන්නවාය කියලා මාධ්‍ය වාර්තා පළ වුණා. නමුත් මේ රටේ සෞඛ්‍ය ඇමැතිවරයාගේ පුරවැසිභාවය ගැන ජනතාව ප්‍රශ්න කරනවා?

අද අපිට උදම් අනන්න පුළුවන් සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන විතරයි. ඒකට හේතුව තමයි වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල මේතාක් කාලයක් කළ කැප කිරීම්. නිදහස් අධ්‍යාපනය සහ මාධ්‍යයත් මේකට රුකුලක්. මේ තැන කාගෙත් සහයෙන් ලබාගත්තු දෙයක්. අපේ රටේ කිසිම පරිපාලන අංශයක් මේ තැන අරගෙන නැහැ, ඒ තත්ත්වයට එන්න බැරිවෙලා තියෙනවා. ඇමැතිවරයාගේ පුරවැසිභාවය අහෝසි කරන්න කියන අය මොනවා හිතාගෙන කියනවද කියල නම් මම දන්නෙ නැහැ. එහෙම කරන්න වැරැදි තියෙන්න ඕනෑ. ගොඩක් අයට සටන් පාඨ නැති වුණාම එහෙම දේවල් කියනවා.

* ඔබ සංගමයේ ඉදිරි බලාපොරොත්තු මොනවා ද?

අපි අපේ වෘත්තිය භාවය වෙනුවෙන් පෙනී ඉන්නවා. ආණ්ඩුව කරන ගිවිසුම් අපිට වැඩක් නැහැ. එදා ජේ. ආර්. ගෙනාපු ව්‍යවස්ථාවට විරුද්ධ වුණ අය අද ඒක ඕනෑ කියනවා වගේ. මොනවා හරි කරනකොට විරුද්ධ වෙන අය පස්සෙ ඒවම ඕන කියනවා. මේවා දේශපාලන කාරණා. සද්භාවයෙන් කරන වැඩවලට අපි සහය දෙනවා. අපිට වෛද්‍ය ක්ෂේත්‍රයට ඇර අනෙකුත් ක්ෂේත්‍රවලට පණ්ඩිතයෝ වගේ හොම්බ දාන්න බෑ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කරන්නෙ ඒක. බල්ලගෙ වැඩේ බූරුවා කරන්න ගියාම බූරුවාට ගුටි කන්න වෙනවා. ඒ නිසා වෛද්‍යවරුන්ට යමක් කියන්න ඕනෑ.. වෛද්‍ය වෘත්තිය භාවිතා කරලා අයුතු ප්‍රයෝජන අරගෙන වෘත්තිය පාගලා දාන සංගමයේ සාමාජිකත්වය ගැන දැන්වත් තීරණයක් ගන්න.

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website