Tuesday, 09 July 2019 07:23

ඉඩෝරයෙන් පල්ලම් බහින ආර්ථිකය

දිව්‍යමය ජලය අප රැකගන්න පොළව තෙමා පස සශ්‍රීක කරන්න -රිග්වේදය

නව කෘෂිකාර්මික යුගයක් සහ අපනයනය පදනම් කැරගත් කෘෂිකර්මාන්තයක් ගැන අසන්නට ලැබේ. කවර අන්දමේ කෘෂිකාර්මික කටයුත්තකට වුවද ජලය අවශ්‍යය.

මේ වනවිට ප්‍රධාන කෘෂිකාර්මික නිෂ්පාදන රාශියක් ඉඩෝරයට ගොදුරුව තිබේ. කුඩා වැව් රාශියක් පිහිටි වයඹ පළාතේ, ආරච්චිකට්ටුව, මුන්දලම, නවගත්තේගම, වනාත විල්ලුව , කරුවලගස්වැව, මහකුඹුක්කඩවල සහ පල්ලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මේ අවුරුද්දේ ජනවාරියේ සිට හරිහමන් වර්ෂාවක් නැත. ලැබී ඇති වාර්තාවනට අනුව පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තණකොළ පවා ගිනිගන්නා තත්ත්වයකි. පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 10000 ක පුද්ගලයෝ 34149 ක් පසුගිය සති අන්තය වනවිට ඉඩෝරයෙන් පීඩා විඳිති.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොළ, ගල්ගමුව මාස්පොත සහ පොල්ගහවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව ඉඩෝරයට මුහුණ දෙන්නේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ සිටය. පොල්පිතිගම පුද්ගලයෝ 6300ක් පමණ නියඟයට මුහුණ දී සිටිති. දිස්ත්‍රික්කයේ පවුල් 4400 කට අයත් පුද්ගලයන් 14227 ක් නියඟයෙන් පීඩා විඳින බව ගිය සති අන්තය වනවිට වාර්තා වී ඇත. වයඹ පළාතේ ගිය සති අන්තය වනවිට නියඟයට ගොදුරුව සිටි පවුල් සංඛ්‍යාව 14838 කි. එසේ 48300 කට අධික පිරිසක් නියඟයෙන් පීඩා විඳිති.

උතුරට බලපෑම

නියඟයෙන් දැඩි ලෙස පීඩා විඳින්නේ උතුරු පළාතේ ජනයා ය. යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 21078 ක 70596 ක ජනතාවක් ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 19262 ක් පමණ ජනතාවක් ද, යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 21078 කට අයත් 70596 ක් වූ ජනකායක් ද, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 12787 ක 40097 ක් වූ ජනතාවක් ද වව්නියා දිස්ත්‍රික්කයේ සුළු පිරිසක් ද, මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 67800 කට අයත් 63115 ක් ද නියඟයට මුහුණ දී සිටිති. සමස්තයක් වශයෙන් ගත්කල උතුරු පළාතේ 193174 ක් දෙනා පසුගිය සති අන්තය වනවිට නියඟයට මුහුණ දී සිටිති.

මේ හැර රත්නපුර දිස්ත්‍රික්කය කෑගල්ල දිස්ත්‍රික්කය සහ මාතලේ දිස්ත්‍රික්කයට ද නියඟයට මුහුණදීමට සිදුව ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, දඹුල්ල, යටවත්ත සහ රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතර, මාස දෙකක සිට නියඟයෙන් පීඩා විඳියි. වැඩියෙන්ම හානි සිදුව ඇති රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්තු අග භාගයේ සිට වැස්ස නැත.

උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද, දිඹුලාගල සහ ලංකාපුර යන දිසා ලේකම් කොට්ඨාස මාසයක පමණ කාලයක සිට වැසි බලාපොරොත්තු වෙයි. එනිසා 11223 ක් පමණ පිරිසක් හිරිහැර විඳිති.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉඩෝරයෙන් පීඩා විඳින පවුල් සංඛ්‍යාව 915 කි. උතුරු මැද පළාතේ පවුල් 4438 ක 14554ක් පමණ පිරිසක් මේ වනවිට ඉඩෝරයට මුහුණ දෙමින් සිටිති. පලුගස්දමන සහ පදවියට අන්තිමට වැසි ලැබී ඇත්තේ අප්‍රේල් දෙවැනි සතියේ ය.

හම්බන්තොට දිස්ත්‍රික්කයට සුළු වශයෙන් නියඟ බලපා ඇති අතර නැගෙනහිර පළාතේ අම්පාර, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක තුනට අයත් පීඩා විඳින පිරිස 155703 කි. ඔවුහු පවුල් 37511 කට අයත් ය.

වැඩියෙන්ම නියඟයට ගොදුරුව තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයයි. අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල්, උහන, දෙහිඅත්තකණ්ඩිය, පොතුවිල්, මහඔය, අම්පාර, අක්කරපත්තු, පදියතලාව, ලාහුගල ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ජනතාවට මාර්තු මාසයේ සිට හරිහැටි වැස්සක් නැත. ප්‍රධාන වාරි කර්මාන්තයන්හි ජල මට්ටම ද පහළ බැස තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ නියඟින් පවුල් 11536 ක පුද්ගලයෝ 69957 ක් පීඩාවට පත්ව සිටිති.

නැ‍ඟෙනහිර පළාතේ 155703 ක් පීඩාවට පත්ව ඇතැයි පසුගිය සෙනසුරාදා වනවිට වාර්තා වී තිබුණි. නැ‍ඟෙනහිර පළාතේ පීඩාවට ලක් වූ පවුල් සංඛ්‍යාව 37511 කි. මඩකළපු දිස්ත්‍රික්කයේ පවුල් 23500ක සාමාජිකයෝ 77000ක් පීඩාවට පත්ව ඇත. සමහර ප්‍රදේශයනට අවසාන වරට වැසි ලැබී ඇත්තේ අප්‍රේල් දෙවැනි සමයේ ය. මුළු දිවයිනේම තත්ත්වය අනුව පවුල් 125244 ක පුද්ගලයෝ 453600 ක් පීඩාවට ලක්ව සිටිති.

2019 මැයි මාසය වනවිට ඉඩෝරය නිසා දුකට පත්ව සිටියේ ලක්ෂ 3ක් පමණ ජනතාවකි. ඒ අනුව මාසයක් ඇතුළත ලක්ෂ එකහමාරක පිරිසක් පීඩා විඳින්නන් බවට පත්ව තිබේ.

ඉඩෝරය සමඟ එය ඍජුවම ආහාර නිෂ්පාදනයට බලපායි. කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.වීරකෝන් මහතා මාධ්‍යයට පවසා තිබුණේ දැනටම වගා බිම් ප්‍රමාණය අඩුවන ලකුණු පෙන්වන බවයි. බඩඉරිගු වගාවට ගන්නා බිම් ප්‍රමාණය අඩුවන නිසා සත්ත්ව ආහාර නිෂ්පාදන අඩුවීමෙන් පශු කර්මාන්තය පිරිහෙන බවට ගොවිපොළ හිමියෝ මැසිවිලි නගති. පානීය ජලය සැපයීම සඳහා ආරක්ෂක හමුදාවන්ගේ සහාය ලබාගැනීම් සිදුවේ.

එසේම පවතින උෂ්ණත්වය නිසා විවිධ රෝග, අසනීප පැතිරීමට ඉඩ තිබෙන අතර 0112675303 දුරකතන අංකයෙන් ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට සෞඛ්‍ය අංශ ඉදිරිපත්ව සිටී. පසුගිය වර්ෂ තුනක කාලයක සිට නියඟයෙන් හානි සිදුවීම් වාර්තා විය. වාසනාවට මෙන් මෙවර පවතින ඉඩෝරය පෙර වසරවලදී මෙන් බරපතළ තත්ත්වයකට පත්ව නැත.

ඉඩෝරය සහ සංවර්ධනය අතර ඇති සබඳතාව ලෝක ආහාර සංවිධානය මෙන්ම වෙනත් ජාත්‍යන්තර ආයතන විසින් ද සාකච්ඡාවට බඳුන් කර ඇත. එසේම ප්‍රතිකර්මද යෝජනා කෙරේ.

ප්‍රධාන වශයෙන් ඉඩෝරය හා නියං තත්ත්වය ගොවි ජනතාවගේ ජීවිත පැවැත්මට ඍජු බාධාවකි. වගාව වැනසීම ගොවියාගේ ආදායම් අහිමි කිරීමකි. ගොවි ජනතාවට අවශ්‍ය ජල පහසුව හීනවත්ම ගොවි ජනතාවට ජලපහසුව සඳහා කරන වියදම තවත් වැඩි කිරීමට සිදුවේ. මෙය ගොවියාගේ ආර්ථික ශක්තිය හීන කරයි. සත්ත්ව පාලනයේ යෙදෙන්නන්ට සත්ත්ව ආහාර සපයා ගැනීමට අමතර වියදම් දැරීමට සිදුවේ. එසේම කෘෂි නිෂ්පාදන සමාගම් මෙන්ම කෘෂි ආම්පන්න නිෂ්පාදන සමාගම් ද සිය නිෂ්පාදන අලෙවිකරගැනීමේ ගැටලුවලට මුහුණ දෙයි. එහෙයින් ව්‍යාපාරික අංශය ද කඩා වැටීමට ලක්වේ.

අප්‍රිකාවේ නියඟ සහ ඉන් හටගන්නා වෙනත් අතුරු ආබාධ පිළිබඳව ඔක්ස්ෆැම් ආයතනය සකස් කළ වාර්තාවක් ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් කර ඇත. ඉන් කියැවෙන අන්දමට අප්‍රිකාවේ වනසතුන්ගේ ප්‍රජනනය සහ පැවැත්ම අතර ද සතුන්ගේ වාර්ෂික සංක්‍රමණික ගමන් චර්යාවට ද නියඟ හේතුවේ. එසේම තෙත්බිම් අඩුව ජලජ පරිසරය වෙනස් වේ. ලැව්ගිනි පැතිරීම් බහුල වේ. එසේම ගොවියෝ වගාබිම් අතහැර නගර වෙත සංක්‍රමණය වීමට පුරුදු වෙති. කාන්තාරකරණය ව්‍යාප්තවීමෙන් වගාබිම් ප්‍රමාණය අඩුවේ. අවසාන වශයෙන් ගොවි ජනයාගේ ආර්ථික ශක්තිය දුර්වලව යයි.

ජල පහසුව ඇති කිරීම

මේවා අප්‍රිකාවට පමණක් පොදු ප්‍රශ්න නොවේ. ඉඩෝරයට මුහුණ දෙන සියලු ජනතාවට පොදු මේ ගැටලුවට ඇති ප්‍රධාන විසඳුම ජල පහසුව පුළුල් කිරීම යි.

ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්ත හා ජල කළමනාකරණයේ ඉතිහාසය ඉතා ඈතට විහිද යයි. අපේ වාරි කර්මාන්තයේ ඉහළම තාක්ෂණය බිසෝකොටුවයි. එසේම එල්ලංගා වැව් පද්ධති නිර්මාණයයි. ඉංග්‍රීසි පාලන යුගයේ දී හෙන්රි වෝඩ් සහ ග්‍රෙගරි ආණ්ඩුකාරයා පැරැණි වැව් ප්‍රතිසංස්කරණය ඇරැඹූ අතර රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදී මින්නේරිය වැව් ප්‍රතිසංස්කරණය මගින් පුරාණ වාරිකර්මාන්ත සහ නව ගොවි ජනපද සංස්කෘතියකට මග පෑදිනි. ගල්ඔය ව්‍යාපාරය, මහවැලි සංවර්ධන ව්‍යාපාරය සහ තවත් වාරිකර්මාන්ත ව්‍යාපෘති රාශියක් ඉඩෝරය සමග කැරෙන සටන මුවහත් කරයි.

ගංගා 103ක් සහ කුඩා ගංගා 65ක් ශ්‍රී ලංක‍ාවේ ජලජ සම්පතට අයත් ය. එසේම ගංගා සහ කුඩා ගංගාවලට අමතරව අතුගංගා 289 ක් ඔස්සේ ජලසම්පත ඇදී යයි. එල්ලංගා වැව් පද්ධති 1166 ක් ද ග්‍රාමීය වැව් 12,000කට අධික සංඛ්‍යාවක් ද ජල අවශ්‍යතා සපුරයි. මධ්‍යම සහ සුළු පරිමාණ ජලාශ 278 ක් ද අමුණු ජල සැපයුම් 508 ක් ද සක්‍රීය ජල සම්පාදනයක යෙදෙයි. මීට අමතරව මහවැලි සංවර්ධන ව්‍යාපාරයට අයත් ජලාශ පද්ධතියකි. ශ්‍රී ලංකාවේ මෙතෙක් පහළ වූ සියලුම ආණ්ඩු ගොවියාට අවශ්‍ය ජල සම්පාදනය සැපයීමට උත්සුක වූ බව සත්‍යයකි. එමගින් රටේ පානීය ජල පහසුවද, කෘෂිකාර්මික ජල අවශ්‍යතාවද විදුලිබල උත්පාදනයද,මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ද අවසාන වශයෙන් ජනතාවගේ ආර්ථික සංවර්ධනයද සාක්ෂාත් කර ගන්නා ලදී.

පසුගිය සතියේදී සාරවත් දේශයක වාපි සංග්‍රාම නම් ජල සංරක්ෂණ වැඩසටහනක් ඇරැඹිණ. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක වේ.

අනුරාධපුර අඹගහවැව එල්ලංගා පද්ධතියට වැව් අටකි. මේ වැව් ජාලය ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් දස ලක්ෂ 550.3 ක් වියදම් වන බවට ඇස්තමේන්තු කර ඇත. එයින් සියඹලාකැටිය වැවට රුපියල් දසලක්ෂ 35ක් වැය වේ. කිඹුල්පැටියාව වැව ප්‍රතිසංස්කරණයට රුපියල් දසලක්ෂ 50 කි. හෙවත් ලක්ෂ 500 කි. ලේනවැවට රුපියල් දසලක්ෂ 90 ක වියදමක් යන බවට ගණන් බලා තිබේ. දිවුල්ගස්වැව සඳහා වැය වන මුදල රුපියල් දස ලක්ෂ 77 කි. පහළ ගල්කිරියාගම වැව සඳහා රුපියල් දසලක්ෂ 90ක් ද, ඉහළ ගල්කිරියාගම වැව සඳහා රුපියල් දසලක්ෂ 100ක් ද නයි වැව සඳහා රුපියල් දසලක්ෂ 36 ක්ද, ඇලපත්ගම වැව සඳහා රුපියල් දසලක්ෂ 68 ක්ද වැය වේ.

මේ හැර අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නාබඩගස්දිගිලිය වැව, ඉහළ ඇතා වැව, දුනුමඩලාව වැව, මහ මිල්ලගොල්ලව වැව, හැළඹ වැව සහ නොච්චියාගම ගලහිටියාව වැව් දැනටම ප්‍රතිසංස්කරණය කර හමාර ය.

මිහින්තලේ බුලත්කුලම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු දැනට නිමවෙමින් තිබේ. කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහාය ද හිමිවීම විශේෂත්වයකි.

දීර්ඝ කාලයක් තිස්සේ නොසලකා හැරීම, අපද්‍රව්‍ය බැහැර කිරීම් ආදි මිනිස් ක්‍රියාකාරකම් නිසා වැව් රාශියක් ජරාවාසව තිබෙන අතර එල්ලංගා වැව් පද්ධතියක් යනු වැවකින් තවත් වැවකට ජලය ගෙනයන පුරාණ වාරිකර්මාන්ත නිර්මාණයකි.

රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශය ද අද කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ නවතම අංශ කෙරේ උනන්දුවෙයි. විශේෂයෙන් කෘෂි නිෂ්පාදන අපනයන අංශය, බීජ නිෂ්පාදනය සහ නව වගා ක්‍රම හඳුන්වාදීම කාර්යක්ෂමව ඉටු කිරීමට පෞද්ගලික අංශය වඩා සක්‍රිය දායකත්වයක් දක්වන බව රහසක් නොවේ.

සම්ප්‍රදායානුකූල ගොවිතැන් ක්‍රම ඉතා අධික ජල පාරිභෝජනයකින් යුක්තය. ජලය අවශ්‍ය වන්නේ එක පැළෑටියකට වුවත් මුළු වගා බිමම ජලයෙන් පුරවා දැමීමේ ක්‍රමවේදයක් රටපුරාම පවතී. ජල පරිභෝජනය අවම කිරීම සඳහා විවිධ උපක්‍රම හඳුන්වා දුන් නමුත් ගොවි ජනතාව ඒවාට නැඹුරු වූයේ ඉතා සෙමෙනි.

අරපිරිමැස්මට තාක්ෂණය

ජලය පිරිමසා ගැනීමේ ක්‍රම රාශියක් ඉන්දියාව සහ බංගලිදේශ කෘෂිකර්මාන්තයේ දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ ගොවියා ඉන්දියානු තාක්ෂණ ක්‍රම මගින් ජල අරපිරිමැස්මට පුහුණු කිරීමේ නියමු ව්‍යාපෘතියක් කාගිල්ස් කෘෂි අංශය විසින් අරඹා ඇත. දැන් එමගින් සාර්ථක ප්‍රතිඵල අත්කරගත් ගොවීන් විශාල පිරිසක් තඹුත්තේගම ප්‍රදේශයේ වගාකටයුතු කිරීමේ නිරත වෙති.

කුඩා පරිමාණ ගොවීන් 80ක් ‍තෝරාගෙන ඔවුන් ඉන්දියාවට යවා එහිදී නව ජල තාක්ෂණය පිළිබඳව පුහුණුවක් ඔවුනට ලබා දී ඇත. බෝග 20ක් සඳහා නව තාක්ෂණය සුදුසු බවද තණමල්විල සහ නොරොච්චෝල දක්වා මේ නියමු ව්‍යාපෘතිය පුළුල් කිරීමට ද නියමිතය.

කොළඹ කොටස් වෙළෙඳ පොළ

දීර්ඝ කාලයක් අලසව පැවැති කොළඹ කොටස් වෙළෙඳ පොළ පසුගිය සතියේ සක්‍රිය විය. මේ තත්ත්වය BULL MARKET තත්ත්වයක් ලෙස සැලකේ.

සඳුදා සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 4.33 කින්ද, අඟහරුවාදා ඒකක 14 කින්ද, බදාදා ඒකක 20කින්ද ඉහළ ගිය අතර බ්‍රහස්පතින්දා ඒකක 97 කින් ඉහළ ගියේ ය. සිකුරාදා වර්ධනය ඒකක 6.84 කි.

සිකුරාදා ලාබ අත්කර ගැනීම සඳහා කොටස් හිමියන් කොටස් විකිණීමට ඉදිරිපත් වූ බව මෙම ඉකොනොමි නෙක්ස්ට් වාර්තාව කියයි. සිකුරාදා සමාගම් 85 ක කොටස් මිල ඉහළ ගියේ යැයි ද එම වාර්තාව කියයි.

සඳුදා පිරිවැටුම රුපියල් දසලක්ෂ 252 කි. අඟහරුවාදා රුපියල් දසලක්ෂ 507 ලෙස වාර්තා වූ පිරිවැටුම බදාදා රුපියල් දස ලක්ෂ 644 කි. බ්‍රහස්පතින්දා පිරිවැටුම රුපියල් දසලක්ෂ 858 කි. සිකුරාදා රුපියල් දස ලක්ෂ 505 කි. සතිය ආරම්භ වනවිට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5372 කි. සතිය අවසන් වන විට එම දර්ශකය ඒකක 5515 දක්වා වර්ධනය ව තිබුණි.

කොළඹ කොටස් වෙළෙඳ පොළේ සක්‍රියවීම පිළිබඳ විවිධ වාර්තා පළවිය. ශ්‍රී ලංකා මහ බැංකුව සිය මුල්‍ය මණ්ඩලයේ තීරණය පරිදි වාණිජ බැංකු සඳහා වන පොලී අනුපාත වෙනස් කිරීමට තීරණය කරන ලදී.

පොලී අනුපාත අඩුවීම නිසා වැඩි ලාභයක් ලබාගැනීම සඳහා ආයෝජකයන් කොටස් වෙළෙඳ පොළ වෙත ආකර්ෂණීය වූ බව පෙනෙන්නට තිබේ යැයි බාට්ලිට් රෙලිගේට් අලෙවි කළමනාකරුවකු වූ වජිර මුණසිංහ මහතා කියයි.

රටේ පවතින විවිධ දේශපාලන කටකතා නිසා වෙළෙද පොළ සක්‍රිය වූ බවත් සිකුරාදා ලාබ ඉවත් කරගැනීම් සිදු වූ බවත්, කුඩා පරිමාණ ආයෝජකයෝ කියති. රුපියල් 135.00 ට මිල දී ගත් ජේ.කේ.එච්.කොටස් රුපියල් 145.00 බැගින් විකුණා ගැනීමෙන් කොටසකින් රුපියල් 10.00 ක ලාභයක් අත්කරගත් බව කුඩා පරිමාණ කෙටිකාලීන ආයෝජකයෝ කියති.

මේ සතිය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොටස් වඩාත් සක්‍රිය වෙතැයි අපේක්ෂා කෙරේ. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, මධ්‍යම අධිවේග මාර්ග ව්‍යාපෘතිය සහ නුවරඑළිය කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ගත් තීරණය නිසා ඉදිකිරීම් අංශය වර්ධනය වෙතැයි විශ්වාසයක් පවතී.

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website