Tuesday, 09 July 2019 07:24

විද්වතුන්ගේ ඡන්ද ගුණ්ඩු

දින දෙකක් ඇතුළත විද්වතුන් මෙහෙය වූ සම්මන්ත්‍රණ දෙකකට නිරාවරණය වීමි. ඒ සම්මන්ත්‍රණ දෙකේම අපේක්ෂාව වී තිබුණේ ජාතික ප්‍රතිපත්තියක් එලි දැක්වීම ය. ඉන් එකක් ජාතික විද්වත් සංවිධානය විසින් සංවිධානය කරන විට අනෙක ජාතික ජනතා ව්‍යාපාරය විසින් මෙහෙයවනු ලැබීය. මේ සංවිධාන දෙකම තමන්ගේ සම්මන්ත්‍රණය සඳහා සම්මත දේශපාලනඥයන් ගෙන්වාගෙන තිබුණේ නැත. එකක් පැවතියේ මාලඹේ රාහුල මහා විද්‍යාලයේ ය. අනෙක නව රඟහලේ ය. ඒ රැස්වීම් දෙක පැවැත්වූ ශාලා ප්‍රමාණයෙන් තරමක් වෙනස් වුව ද රැස්විම් දෙක සඳහා ම ඒ ඒ ශාලා පිරෙන්නට සෙනඟ රැස් වී සිටිය බව පෙනුණි. එකක් තිබුණේ ජුනි 30 ඉරිදා ය. අනෙක ජූලි 1 සඳුදා ය. එකකට පසු එකක් වශයෙන් ළඟ ළඟ ය.

මේ රැස්වීම් සඳහා පැමිණි සෙනඟ දේශපාලන පක්ෂ තම හෙංචයියන් රැස් කරන ක්‍රමයට එකතු කරන ලද අය නොවීම ද විශේෂයකි. ඔවුන් බොහෝ දෙනකු එන්නට ඇත්තේ සම්ප්‍රදායික දේශපාලනඥයන් කෙරෙහි ඇති ව තිබෙන කලකිරිම නිසා විය හැකි ය. ඒ හැම දෙනකුම රටට නස්පැත්තියක් වි ඇති බව පිළිගන්නා පිරිසකි. ඒ සඳහා යමක් කළ යුතු බව පිළිගන්නා පිරිසකි.

එහෙත් මේ නස්පැත්තිය සිදු ව ඇත්තේ කුමක් නිසා ද? එයින් ගොඩ ඒම සඳහා කළ යුත්තේ කුමක් ද? යන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන් තුළ ඒකමතිත්වයක් තිබේ ද යන්න සැක සහිත ය. ඒ සඳහා ගන්නා උත්සහයන් තුළ ඔවුන් විසිරෙන්නට ඇති අවදානමක් ඒ නිසා ම තිබේ.

සංවිධායකයන් මේ අවදානමෙන් බේරි ඇත්තේ අතිශයින් අහිංසක ප්‍රතිපත්ති ස්වල්පයක් ප්‍රකාශයට පත් කිරීමෙනි. ආන්දෝලනාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් මුණිවත රැකීමෙනි. ඒවා මතු නොකිරීමට ප්‍රවේසම් වීමෙනි.

අපි උදාහරණයක් ගෙන විමසන්නට බලමු. මේ රට කෘෂිකාර්මික ආර්ථිකයක් මත පදනම් ව දියුණු කරන්නට ජාතික ජනතා ව්‍යාපාරය ශපථ කර සිටින්නේ ය. එය ජනතාව ආකර්ෂණය කරගත හැකි කතාවකි. සටන් පාඨයකි.

එසේ කිරිම කොතරම් අභියෝගාත්මක ද? අපේ ජාතික ආර්ථිකයට මේ වන විට කෘෂිකර්මයේ දායකත්වය සියයට හතකි. එහෙත් ඒ තුළ නියැළී සිටින ශ්‍රම බලකාය වැඩකරන වයසේ ජනගහණයෙන් තුනෙන් එකකට ආසන්න ය. සියයට තිහක් එක් වි සියයට හතක් නිපදවන විට එයින් අදහස් කරන්නේ ඵලදායිකත්වය අතිශයින් දුර්වල ක්ෂේත්‍රය කෘෂිකර්මාන්තය විය හැකි බව ය.

මේ ජාතික ජනතා ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සුරක්ෂිත වෙළෙඳ පොළක් බිහි කිරීම රටට අතින් කයිට් වෙන තවත් සුභ සිහිනයක් පමණකි. අද අවශ්‍ය වන්නේ විදෙස්වලින් එන කෘෂි ආනයන තහනම් කිරීම හරහා සහ සහතික මිලක් ඇති කිරීම හරහා ඵලදායී නැති කෘෂිකර්මයකට මුක්කු ගැසීම නොවේ. කෘෂිකර්මයට මුක්කු නැතිව තනිව නැගී සිටිය හැකි තත්වයක් උදා කර දීම ය.

කෘෂිකර්මයේ අභියෝග

කෘෂි ආර්ථිකයට ඇති අභියෝග කිහිපයකි. එකක් දැනට කෘෂි ආර්ථිකය ලෙස පවතින්නේ අතිශය දුර්වල යැපුම් කෘෂිකර්මයක් වීම ය. මෙහි නියැළෙන්නන් බොහෝ විට කරන්නේ තමන් සතුව ඇති හෝ ආණ්ඩුවේ කැලෑවක් එලිකරගෙනභෝග වගා කර ගැනිම ය. එයින් කොටසක් පරිභෝජනයට ගෙන ඉතිරිය විකුණාගෙන ජිවිතය යම්තම් ගෙවා ගැනිම ය. කෘෂි ආර්ථිකය යැපුම් මට්ටමෙන් ඉහළට ගෙන යන්නේ නැතිව එය රටේ ආර්ථික පදනම ලෙස ගොඩ නැගිය නොහැකි ය. ඒ සඳහා ආර්ථික භෝග, විදේශ වෙළඳ පොළ ඉලක්ක කරගත් ආර්ථික භෝග නිපදවිය යුතු ය.

මේ යැපුම් කෘෂිකර්මය තුළ දිවි ගෙවන බොහෝ දෙනකු ඇත්තට ම යැපෙන්නේ සහනාධාර හෝ වෙනත් ක්ෂේත්‍ර තුළ කරන තාවකාලික රැකියා නිසා ය. නැත්නම් පවුලේ කෙනකු මැද පෙරදිග හෝ වෙනත් රටකට ගොස් එවනු ලබන සොච්චම් මුදල නිසා ය.

ඔවුන්ට ඇති අභියෝග කෙළවරක් නැත. එකක් කාලගුණය ය. නිසි කලට වැසි නොලැබීම ය. කෘෂිකර්මය වෙනුවෙන් ම කැලෑ කැපීම නිසා සිදු ව ඇති වන හානිය දරුණු ය. ඒ නිසා ම ජලාශවල ධාරා ප්‍රදේශයන්ට වැටෙන වැහි වතුර ඉක්මණින් ගලා යෑම නිසා ජලාශ ඉක්මණින් හිඳී යන තත්වයක් ද උද්ගත ව තිබේ. ඒ ගෝලීය උණුසුම නිසා වෙනස් වන දේශගුණය හා කාලගුණය විසින් අමතරව බැට කන අතරේ ය. අනෙක් අභියෝගය වල් සතුන්ගේ ය. කැළෑ අහිමිවීම නිසා සිය ආහාර මාර්ගයන් වසා දමනු ලැබූ වල් සතුන්ගේ ය. අලියාගේ සිට දඩු ලේනා දක්වා සියලු සතුන් විසින් කරන්නේ වගාවට හතුරුකම් ය.

ඵලදායී නොවන යැපුම් කෘෂිකර්මය සඳහා දැන් යොදා ගෙන ඇති ඉඩම්වලින් කොටසක් නැවත වන වගාව සඳහා මුදාහළ යුතු ය. ඒ සඳහා යැපුම් කෘෂිකර්මයෙන් යාන්තමට දිවි ගැට ගසා ගන්නා මිනිසුන්ට නගරයේ රැකියා විවෘත කර ඔවුන් අවශෝෂණය කරගත හැකි වන පරිදි නගර දියුණු විය යුතු ය.

ඊළගට කෘෂිකර්මයට තිබෙන අභියෝගය ඉහළ යන ඩොලරය ය. එය බලපාන්නේ ශ්‍රමය හැරුණු කොට කෘෂි ආර්ථිකයට අවශ්‍ය සියලු ආම්පන්න හා ද්‍රව්‍ය ගෙනෙනු ලබන්නේ පිටරටින් නිසා ය. ආණ්ඩුව ලවා පිටරටින් එන කෘෂි නිශ්පාදනයන්ට පනවන බදු නොවන්නට මේ අය නිපදවන සහල් ද ඇතුළු බොහෝ දේ පිටරටින් වඩා ලාබයට ගෙන්විය හැකි ය.

කුඩා ඉඩම් සමග හැප්පීම

ඵලදායී කෘෂිකර්මයකට අවශ්‍ය වටපිටාව රටේ නැත. එය කුඩා ඉඩම්වල වගා කටයුතු කිරීමෙන් තවදුරටත් ඉටු කළ නොහැකි ය. ජනපද ඉඩම් ආයෝජකයන්ට විකිණිය හැකි වන සේ සකස් කරන ලද විප්ලවකාරී ඉඩම් ප්‍රතිසංස්කරණ නැතිව මෙය ඉටු කිරීම අමාරු ය. එවැනි විවාදාත්මක කරුණු මග හැරීමට ඒ නිසා වග බලා ගැනීම හොඳ ය. නගරයේ ආර්ථිකයට වඩ වඩාත් ගමේ තරුණ තරුණියන් අවශෝෂණය කර ගැනීමෙන් තොරව, ඒ හරහා ගම්වල ඉඩම් ආයෝජකයන්ට මිල දීගත හැකි තත්වයක් නිර්මාණය කිරීමෙන් තොරව, ඉඩම් අයිතියේ වෙනසක් සිදු කළ නොහැකි ය.

ඊට වඩා ලස්සන කවදාවත් වැඩ නොකරන සෝවියට් දේශයට හෝ චීනයට පවා කරගත නොහැකි වූ සමූපකාර ක්‍රමය හඳුන්වා දීම හරහා බොරු බලාපොරොත්තුවක් දීම ය. ආයෝජකයන්ට ගැමියන්ගේ ඉඩම් බාර දීම ප්‍රතිගාමී වනවිට කිසිදා අප රටේ ගොවිතැන සඳහා අත්හදා බලා නැති සමූපකාරය, සමාජවාදි රජයන් දෙකකට ම කරගන්නට නොහැකි වූ බව වුවමනාවෙන් අමතක කර වමාරන එක ආකර්ෂණීය ය. ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකේම ඒ ගැන කියවෙන්නේ ඒ නිසා විය යුතු ය. නොකෙරෙන වෙදකම්වලට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් මදි ය. තව ටිකක් ඕනෑ ය.

කෘෂි ආර්ථිකය දියුණු කිරීමට ආර්ථිකයේ සෙසු අංශ තුළ බලවත් පෙරළියක් නොකර බැරි ය. ඒ නිසා ම කෘෂි ආර්ථිකය මත පදනම් වූ ආර්ථිකයක් යනු ආකර්ෂණීය සටන් පාඨයක් මිස කිසිදා සාර්ථක කළ නොහැකි දෙයකි.

වෙනසක් පතන බොහෝ දෙනකුට තමන් පතන වෙනස කුමක් දැයි අවබෝධයක් නැත. ඒ නිසා තමන් සිතන ආකාරයේ යම් වෙනසක් වෙනුවෙන් අවංකව පෙනි සිටිතැයි ඔවුන් සිතන කෙනකු සමග ගාල් විමට ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් නැත.

ඇතැම් විට වෙනස කුමක් ද යන්න ගැන අවබෝධයක් ඇති අය පවා ඒ පතන වෙනස්කම් මේ මහ පොළොව තුළ සාක්ෂාත් කරගත හැකි ද යන්න ගැන හරි හමන් වැටහිමක් නැත. ඒ සඳහා කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳව වැටහීමක් ද නැත. එසේ වැටහීමක් ඇතැයි සිතන අය සමග ගාල්වීමට ද ඒ නිසා මේ අයට ද ප්‍රශ්නයක් නැත.

අද වනවිට රටේ නව බලමුළු සකස් වෙමින් තිබෙන්නේ මේ ආකාරයට ය. මේ සියල්ල ඊනියා විද්වතුන්ගේ වැඩ ය. ඇස් බැන්දුම් ය. ඇතැම් විට යහපත් චේතනාවෙන් කරන මැදිහත් වීම් ය. යහපත් චේතනාවලින් පමණක් රටක් ගොඩ නැගිය නොහැකි ය. ඒ සඳහා රට පිළිබඳව පමණක් නොව, තමන්ගේ පෞද්ගලික සිහින ගැන පමණක් නොව, ලොව තුළ සිදු වන විපර්යාස පිළිබඳව ද දැනගත යුතු ය. වත්මන් සන්දර්භය තුළ කළ හැක්කේ කුමක් ද නොකළ හැක්කේ කුමක් ද පිළිබඳව ඔවුන් දැන සිටිය යුතු ය. සුන්දර යැයි ඔවුන් විසින් සිතුවේ වුව ද අතීතයේ ජීවිතය නැවත ගොඩනැගිය නොහැකි බව ඔවුන් තේරුම් ගත යුතු ය.

ජාතික විද්වත් සංවිධානය කෙතරම් ප්‍රවේසම් වුව ද තමන්ගේ සැබෑ වුවමනාවන් සැඟවීමේලා ද අපොහොසත් බව පෙනෙන්නේ ය. ඒ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ වෛද්‍ය අධ්‍යාපනය රජය විසින් පමණක් සිදු කළ යුතුය යන විශේෂයක් කිරීම හරහා ය. බළලා මල්ලෙන් එලියට පනින්නේ ඒ විදිහට ය. ඔවුන් වගබලා ගන්නේ ජාතියේ අවශ්‍යතාවන් ම නොව තමන් සමග සිටින දේශපාලන බලවේග හා කණ්ඩායම්වල අවශ්‍යතා බව ඔවුන්ට ඒ නිසා ම සැඟවීමට නොහැකි වන්නේ ය.

විචාරාත්මක මනසක් ඇති කෙනකුට ඒ ප්‍රතිපත්තිය ප්‍රශ්න ගණනාවක් මතු කරන්නේ ය. ප්‍රධාන ම ප්‍රශ්නය වෛද්‍ය අධ්‍යාපනය පමණක් එසේ විය යුත්තේ මන්ද යන්න ය. වෛද්‍යවරු සුවිශේෂි කොටසක් ද? ඒ කුමක් නිසා ද?

අමතර ප්‍රශ්න රාශියක් ද ඒ සමග ඇතිවේ. අධ්‍යාපනය රජයේ ඒකාධිකාරයක් විය යුත්තේ ඇයි? යමක් රජය විසින් ම කරන තෙක් බලා සිටිය යුත්තේ මන්ද? දැනටමත් අධ්‍යාපනය සම්බන්ධයෙන් රජය නොකරන බොහෝ දෑ පෞද්ගලික අංශය විසින් කෙරේ. ඒ ගැන මේ විද්වතුන් දරන අස්ථානය කුමක් ද?

එවැනි පටු අස්ථානයන් සමග පුළුල් ජාතික ප්‍රතිපත්ති හැදීමට ඔවුන්ට හැකියාවක් නැත. ඒ වෙනුවට අපට ඇති වන ප්‍රශ්නය වන්නේ, අපට මේ නැගෙන ප්‍රශ්න, ඊනියා විද්වතුන්ට නොහැඟෙන්නේ මන්ද යන්න ය. තමන්ගේ දේශපාලන අරමුණුවලින් ඔවුන් අන්ධ වී ඇති නිසා, මේ වගක් ඔවුන්ට නො පෙනෙන බව, ඒ අනුව අපට නිගමනය කරන්නට සිදු වේ.

ඡන්ද පතන සුන්දර වචන

අවශ්‍ය වන්නේ සුන්දර වචනවලින් එතූ කිසිදා ක්‍රියාත්මක කළ නොහැකි ප්‍රතිපත්ති සමුදායක් නොවේ. මහපොළොවේ ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්ති මාලාවකි. ඒ සඳහා අවශ්‍ය එක වර්ගයේ අදහස් තිබෙන ටික දෙනකු එකතුව වැඩිය ආන්දෝලානාත්මක නොවන කාටත් එකඟ විය හැකි ප්‍රතිපත්ති මාලාවක් කඩි මුඩියේ හැදීම නොවේ. ප්‍රතිපත්ති සම්පාදනය පහසු කරනු සඳහා ආන්දෝලානාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් රට තුළ ප්‍රබල සංවාදයක් ගොඩ නැගිම ය.

මා දුටු විද්වත් ප්‍රතිපත්ති ප්‍රකාශනයන් දෙකම සම්ප්‍රදායික දේශපාලන පක්ෂවල මැතිවරණ ප්‍රකාශන ඉක්ම වන්නේ නැත. එය ඇත්තටම සම්මත මැතිවරණ ප්‍රකාශනවල ම තවත් කාබන් කොපියක් පමණකි.

උදාහරණයක් ලෙස ජාතික විද්වත් සංවිධානය පොදු ප්‍රවාහන මාධ්‍ය ශක්තිමත් කිරීම යටතේ ප්‍රතිපත්ති 6 ක් ඉදිරිපත් කොට ඇත. එකක් ඉලක්කය ගැන සංඛ්‍යා ලේඛන ය. ඒ ඉදිරි වසර තුළ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවලින් 80% ක් පොදු ප්‍රවාහන සේවා මගින් ඉටු කිරීම ගැන ය. දෙවැන්න පිහිටවන ආයතනයක් ගැන ය. ඒ ප්‍රවාහන සේවා සම්බන්ධීකරණය කිරීමට ය. තෙවැන්න දුම්රිය හා බස් කාලසටහන් සම්බන්ධීකරණය කිරීමට ය. එය දෙවැන්නේම තවත් දිගුවක් මිස අලුත් යමක් නොවේ. සිව්වැන්න වෘත්තීය නිපුණතාවය හා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීමට ය. ඒවා ක්‍රියාත්මක කරන විදිහක් නැත. සමහරවිට ඒ සඳහාත් ආයතනයක් වුවමනා වන්නට ඉඩ ඇත. පස්වැන්න ප්‍රවාහනයේදී සිදුවන හිංසනයන් සම්බන්ධ පැමිණිලි කිරීමට ආයතනයක් පිහිටුවීමට ය. ඒ කියන්නේ තවත් ආයතනයක් එන බව ය. අවසානයට බස් හා දුම්රිය නැවතුම් පොළවල සනීපාරක්ෂක පහසුකම් සැපයීමට ය. ඒවා නඩත්තු කරන්නේ කෙසේ ද පිරිසිදුව පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්නට කතාවක් නැත. ඒකට ද ඇතැම් විට ආයතනයක් තැනිය හැකි ය.

කියන එකක්වත් ආන්දෝලානාත්මක නැත. පුද්ගලික බස් හිමියනට ද ලංගමයට ද දුම්රිය දෙපාර්තමේන්තුවට ද ඒවායේ කළමනාකාරිත්වයට හෝ සේවකයන්ට ද ඒවා තුළ කිසිදු අභියෝගයක් නැත. පොදු ප්‍රවාහන සේවයේ අඩුපාඩු නිසා කරල පැහී ඇති ත්‍රී වීලර් රියැදුරන් ද ඌබර් හා පික්මී සමාගම් හා සහෘදයන් ද කිසි දෙයක් සිදු නොවනු ඇති බවට උපකල්පනය කර හුස්මක් හෙලා ලය සැහැල්ලු කර ගන්නවා ඇත. ඇතැම් විට උඩ පනිමින් ප්‍රීති ඝෝෂා ද පවත්වනු ඇත.

මේ වෙනස්කම්වලින් පමණක් පොදු ප්‍රවාහනය සේවය හැදිය හැකි වන්නේ වෙනත් රටකින් මිනිසුන් ආනයනය කිරීමෙන් පමණකි. ආයතනම හතරක් පහක් මෙතැනම තිබේ. මෙවැනි ආයතන තවත් සෑහෙන ගණනක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සොයාගත හැකි වනු ඇත. එහෙත් ඒවා මෙතෙක් නිර්මාණය කර ඇති ආයතනයන්ගෙන් කෙසේ වෙනස් වන්නේ ද ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා මුදල් සොයා ගන්නේ කෙසේ ද යන ප්‍රශ්න ප්‍රතිපත්ති ප්‍රකාශණයට විෂය වී නැත. ඒ නිසා ම අපට උපකල්පනය කිරීමට සිදු වන්නේ සියල්ල රජය යොදවන මුදලින් කරන බව ය.

පොදු ප්‍රවාහනය

ඇත්ත කතාව නම් බොහෝ මිනිසුන් ප්‍රවාහනය සඳහා දැනටමත් සෑහෙන මුදලක් වැය කරන බව ය. ඒ පොදු ප්‍රවාහනයේ අඩුපාඩුකම් නිසා පෞද්ගලික වාහන නඩත්තු කරමින් ය. නැතහොත් ත්‍රී වීලර් භාවිතා කරමින් ය. ඌබර්, පික් මී,වල යමින් ය. කොට කොට යන්නේ නැති, පහසුකම් ඇති, වාඩි වී යා හැකි, වායූ සමීකරණය කර ඇති, බස්රථ තිබේ නම්, ඔවුන් ඒ සඳහා දැනට බස් ගමනකට ගෙවන ගාස්තුවට වඩා බොහෝ සෙයින් ගෙවන්නට වුවත් සූදානම් ය. ඔවුන්ගේ රථ මහපාරින් ඉවත් කරගත හැකි නම් සෙසු බස් මගීන්ට ද මහපාරේ රස්තියාදු නොවී යා හැකි ය. පවතින ගාස්තු අය කරමින් එය කිරීමට ආණ්ඩුවට හෝ පුද්ගලික බස් හිමියන්ට නොහැකි ය. ඒ එකදු ප්‍රශ්නයක් ගැන වත් බරපතළ විවරණයක් නොකර ලස්සණ වචනවලින් එතූ පොරොන්දුවලින් සංග්‍රහ කිරිම දේශපාලනඥයන්ට කෙසේ වුව ද විද්වතුන්ට තරම් නොවන්නේ ය.

විද්වතුන්ගේ අද කාර්යභාරය වන්නේ දේශපාලනය තමන්ගේ අතට ගැනීම නොවේ. දේශපාලන බලවේගයන්ට මග පෙන්විය හැකි දර්ශනයක් දැක්වීම ය. චර්යාවක් පෙන්විම ය. උන්ගේ නොපනත්කම්වලට අනුගත නොවී සිටීම ය. ඒවාට එරෙහි වීම ය. ඒවා පිළිබඳ ජනතාව දැනුවත් කොට දේශපාලනඥයන් වෙත පීඩනයක් එල්ල කිරිම ය. ජනතාවට තමන්ගේ අඩුපාඩු පෙන්නා දීම ය. දේශපාලනඥයන් තරමට ම ජනතාව ද මේ තිබෙන තත්වය සම්බන්ධයෙන් වගකිව යුතු බව කියා සිටීම ය.

එහෙත් පෙනෙන්නේ ඔවුන් ද ශෝචනීය ලෙස දේශපාලනඥයන් අනුයන බව ය. විද්වතුන් ලෙසින් පෙනී සිටින්නේ ද තවත් දේශපාලනඥයන් පිරිසක් බව ය. විද්වතුන් කීප දෙනෙක් අද පවතින දුක්ඛදායක තත්වය දඩමීමා කරගෙන දේශපාලනඥයන් බවට රූපාන්තරණය වෙමින් සිටින බව ය.

අතීතයේ දේශපාලනඥයන් බවට රූපාන්තරණය වූ පැරණි විද්වතුන් අවසානයේ නැවතුනේ දේශපාලන ප්‍රතිරූප රැක ගන්නට දර දිය අදින සුවච කීකරු මුර බල්ලන්ගේ තැනට පත්වීමෙන් ය. ඒ අතීත කෙරුවාව දන්නා අපට කියන්නට සිදු වන්නේ ප්‍රයෝජනයට ගත හැකි අවස්ථාවක් උදා වී තිබුන ද එයින් අවස්ථාවාදී ලෙස ප්‍රයෝජන ගැනීම විද්වතුන්ට තරම් නොවන බව ය. බොර දියේ මාළු බාන ගොඩට තවත් කණ්ඩායමක් එක් වීම මාළුවන්ගේ යහපත පිණිස නම් හේතු නොවන බව ය.

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website