Wednesday, 10 July 2019 08:55

19 නොදැන ජනපති පුටුව වටේ දුවන්නෝ

වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය ආරම්භ වන්නේ කවදාද යන්න ගැන පැහැදිලි කරගැනීමේ සූදානමක් ගැන දැන් දැන් මාධ්‍ය වාර්තා පළ වේ. මේ අතර ඒ සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ දෘෂ්ටි කෝණවලින් ද අදහස් පළවෙමින් තිබේ. කෙසේ වුවද ජනාධිපතිවරයාගේ විධායක බලතල කප්පාදු කෙරුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙනි. 19 වැනි සංශෝධනය සම්මත කෙරුණේ පාර්ලිමේන්තුවෙනි. එසේ කිරීමට පාර්ලිමේන්තුවට ජන වරමක් ලැබී තිබුණේ නැද්දැයි යන පදනම මත එය ජනාධිපතිවරයාට අදාළ නොවන්නේ යැයි තර්කයක් නැඟී තිබේ. කෙසේ වුවද මෙහිදී අපට පෙනී යන කාරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමට සූදානම් වන්නේ යැයි කියන මත විමසුම මීට පෙර ද කර ඇති බවය. ගැඹුරෙන් හැදෑරුවහොත් පෙනෙන්නේ එම කරුණ ගැනම වෙනස් ප්‍රශ්නයක් ඇසීමක් හැටියටය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේ තමාගේ ධුර කාලය වසර පහක් ද හයක් ද කියාය. ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට මීට පැහැදිලි නිශ්චිත පිළිතුරක් දී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ ධුර කාලය ආරම්භ වන පදනම් වර්ෂය සේ සලකා තිබෙන්නේ ජනාධිපතිවරයා ධුරයට පළමුව පත් වූ 2015 ජනවාරි 08 වැනිදාය. ඒ අනුව ජනාධිපතිවරයාට 2015 ජනවාරි 08 වැනිදා සිට ඉදිරියට හිමිවන්නේ වසර පහක් ද හයක් ද යන ප්‍රශ්නයේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ද 19 වැනි සංශෝධනය අදාළ වන බවය. ඒ අනුව 2015 ජනවාරි 08 පත් වූ ජනාධිපතිවරයාට 2015 මැයි 1 වැනිදා සම්මත කරගත් 19 වැනි සංශෝධනයේ බලපෑම පවතී. සරලව කිවහොත් ධුරයේ කාල සීමාව වසර පහකි. ඒ අනුව 2020 ජනවාරි 7 වැනිදා දක්වා මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ධුරය දැරිය හැකි බවය. අනෙක් අතට ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීරණය ගැනීමට පදනම් වර්ෂය ලෙස සලකා ඇත්තේ 2015 ජනවාරි 8 වැනිදා වූ බැවින් ධුර කාලය ආරම්භ වන්නේ කවදාද යන්න ගැන ඒ මොහොතේ ගැටලුවක් නොවීය. එනිසා තම ධුර කාලය ගැන ජනාධිපතිවරයා මීට පෙර කළ මත විමසීමම වෙනත් මුහුණුවරකින් කිරීමට උත්සාහ කිරීමක් හැටියට මෙය දැකිය හැකිය. 

කෙසේ වෙතත් මෙසේ පළ වන මාධ්‍ය වාර්තා හා දේශපාලන සිදුවීම් මගින් අපට මූලිකව පැමිණිය හැකි ස්ථාවර වේ. ඒ, ලංකාවේ දේශපාලන බල කේන්ද්‍ර ගැනය. ආණ්ඩුකරණයේදී ඉහළම බල කේන්ද්‍රවලට බලය රඳවාගැනීම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මෙහි පැහැදිලි ප්‍රකාශනයයි. සිය නීත්‍යනුකූල බලය අවසන් වීමට ආසන්න වන අවස්ථාව වනවිට ශ්‍රී ලංකාවේ පාලකයන්ගෙන් මෙවැනි තත්ත්වයක් දැකිය හැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය දරද්දී ද මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීම ඊට කදිම නිදසුනකි. ඇය ද මෙපරිද්දෙන්ම තම ධුර කාලය ආරම්භ වන දිනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් කළාය. ඒ අනුව රටේ ඉහළම දේශපාලන අධිකාරිය 19 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ගැඹුරු වියවුලකින් කටයුතු කරන බව හොඳටම පැහැදිලිය. 19 වැනි සංශෝධනය පිළිකාවක් හැටියට ජනාධිපතිවරයා කරන හැඳින්වීමෙන් එය පැහැදිලිය. මේවා පැහැදිලිවම සිය පෞද්ගලික අභිලාෂ සපුරා ගැනීමට පවත්නා නීතිය ඉඩප්‍රස්ථා සපයන්නේ නැති අවස්ථාවක පෞද්ගලික අරමුණු පසෙක නොලා නීතිය නවාගැනීමට උත්සාහ කිරීම්ය. බලයට පත්වන පුද්ගලයන්ගේ පෞද්ගලික අභිලාෂ මුදුන්පත් වන සේ ව්‍යවස්ථාව හෝ නීතිය තුළ ක්‍රියා කිරීමට ඉඩප්‍රස්ථා නොසැපයීම ආණ්ඩුකරණ ව්‍යවස්ථා සම්පාදන නීතියේදී සැලකිල්ලට ගත යුතු කරුණකි. එවැනි අවස්ථාවක නීතිය නවමින් පෞද්ගලික අභිලාෂ මුදුන්පත් කරගැනීමට පාලකයන් දරන උත්සාහ යටපත් කිරීම ව්‍යවස්ථා නීති විශාරදයන්ගේ කාර්යභාරයයි. නොඑසේව සිදුවනු ඇත්තේ ඒ ඒ දේශපාලකයන්ගේ පෞද්ගලික වුවමනා එපාකම් අනුව නීතිය අර්ථනිරූපණය කිරීමට සිදුවීමය. 

19 වැනි සංශෝධනය ගැන විවිධ විවේචන පාර්ශ්ව කීපයක් විසින් සිදුකරනු ලබයි. එහෙත් එම විවේචනවල හරය ගැන නිසි සංවාදයක් තවමත් ජන සමාජයෙහි හටගෙන නැත. දේශපාලකයන් පවා ඒ ගැන සැබෑ කරුණු කතාකරනවාද යන්න විශාල ප්‍රශ්නයකි. විධායක බලය අහෝසි කිරීම හෝ බලය කප්පාදුව 19 වැනි සංශෝධනයේ ඒකාරම්මණය නොවීය. විධායක ජනාධිපතිවරයාගේ බලය කප්පාදුව තුළ දියුණු පුරවැසි සංස්කෘතියකට උරුමකම් කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක අංගලක්ෂණ ඊට හිමි විය. එහි සැබෑ ඉලක්කය වන්නේ ජනතාවගේ බලය ශක්තිමත් කිරීමය. කෙටියෙන් කිව්වොත් ජනතා පරමාධිපත්‍යය ශක්තිමත් කිරීමය. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ බලය හා ධුර කාලය අහෝසි කිරීම යන කාරණය වගේම ජනාධිපතිවරයාට එරෙහිව මූලික හා මානව හිමිකම් පෙත්සම් යොමුකළ හැකි තත්ත්වයක් දැන් රටෙහි නිර්මාණය වී තිබේ. ඊට හොඳම නිදසුන පසුගිය ඔක්තෝබර් 26 වැනිදා දේශපාලන පෙරළියෙන් පසු තත්ත්වයයි. මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කිරීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 2018 නොවැම්බර් 9 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඉන් අනතුරුව එය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශ්ව 13ක් නොවැම්බර් 12 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික හිමිකම් පෙත්සම් ඉදිරිපත් කළහ. ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කළේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය. එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය බලරහිත කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් විය. 

මේ අතර 19 වැනි සංශෝධනයේ තවත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතියක් හැටියට ස්වාධීන කොමිෂන් සභා හැඳින්විය හැකිය. 19 මගින් වඩා බලසම්පන්න ලෙස බිහි වූ ස්වාධීන කොමිෂන් සභා හරහා ද අප දකින්නේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ශක්තිමත් වීමය. විශේෂයෙන්ම තොරතුරු දැනගැනීමේ පනතත් තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් හැටියට අන්තර්ගත කිරීමත් මීට සමාන්තරව සිදු වූ ප්‍රගතිශීලි පියවර විය. එය මේ වනවිට ඍජුවම ජනමාධ්‍යවේදීන්ගේ තොරතුරු ලබාගැනීමට ඇති ප්‍රවේශ පහසුකම මතු නොව පුරවැසියන්ට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය ද පුළුල් තැනකට ගෙනැවිත් ඇත. මේ අතර එතරම් ජනමාධ්‍යයේ අවධානයට පවා ලක් නොවූ ප්‍රජාතන්ත්‍රීය අංග ලක්ෂණ ද නැතිවා නොවේ. උදාහරණයකට ගතහොත් හදිසි පනත් ගෙනඒම දැක්විය හැකිය. මීට පෙර දින තුනක් වැනි කෙටි කාලයකදී හදිසි පනත් ගෙනැවිත් සම්මත කරගෙන ඒවා නීති බවට පත්කරගැනීමේ හැකියාවක් තිබිණි. උදාහරණයකට ගතහොත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තේ එසේ හදිසි පනතක් හැටියට ගෙනඑමිනි. අධිකරණ විමර්ශනයටත් ජනතා අවධානයටත් ඉඩ නොදී ආණ්ඩුවට වුවමනා දේ නීති බවට පත්කරගැනීම මේ සංස්කෘතියේ හරයයි. ඊට අදාළ වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කෙරුණේ 19 වැනි සංශෝධනය මගින් බව දැන් බොහෝ දෙනෙකුට මතක නැත. දැන් එසේ ජනතාවගේ ඇස් වසා හදිසි පනත් සම්මත කරගැනීමට අවස්ථාවක් පාලකයන්ට නැත. පාර්ලිමේන්තු පනත් කෙටුම්පතක් අධිකරණයට යොමුකරන්නේ නම් ජනතාවට විරෝධය දැක්වීමට කාලය තිබුණේ දින හතක් පමණි. අද වනවිට එය දින 14ක් දක්වා දීර්ඝ කර තිබේ. මේ අර්ථයෙන් බලද්දී රාජ්‍යතන්ත්‍රය ප්‍රජාතන්ත්‍රීයකරණයේදී 19 වැනි සංශෝධයේ බොහෝ යහලක්ෂණ අපට පෙන්වා දිය හැකිය. එනිසා 19 වැනි සංශෝධනය ආපසු හැරවීමක් ගැන කතා කරන්නේ නම් මේ ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණවලට අත්වන ඉරණම ගැන ද කතා කිරීම වටිනු ඇත. 

මේ බොහෝ දේශපාලන ගැටලුවලට අද මූලික හේතුව වී ඇත්තේ ජනාධිපති හා අගමැති යන බල කේන්ද්‍ර දෙකේ ගැටුමය. එක හා සමාන්තර බල කේන්ද්‍ර දෙකක් නිර්මාණය වීම ඊට හේතුවයි. වසර හතරහමාරක කාලයක් දක්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට නොහැකි වීම ගැටලුවක් හැටියට ඇතැමෙක් දකිති. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී කෝණයෙන් බලද්දී එහි ගැටලුවක් නැත. මන්දයත් මෙමගින් සීමා කර ඇත්තේ වෙනත් ඡන්දයකින් බලයට පත් වූ පාර්ලිමේන්තුවක් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ අත්තනෝමතික බලය නිසාය. එසේ බලද්දී වසර හතරහමාරේ තර්කය මතුවන්නේම දේශපාලන කෝණයෙන් බලද්දී බව පැහැදිලිය. අනෙක් අතට රාජ්‍ය නායකයන් දෙදෙනකුගේ බල කේන්ද්‍ර පිළිබඳ ප්‍රශ්නයක් හැටියට සැලකුව ද එහි ගැඹුරට යද්දී අප නැවත දකින්නේ කුමක් ද? පක්ෂ නායකයන් දෙදෙනකුගේ විරසකයකි. එහි තනිකරම තිබෙන්නේ ජනවරමක් උදෙසා ආරම්භයේ තිබූ එකඟතා සිය පෞද්ගලික අභිලාෂ නිසා විනාශ කරගත් ගමනක ප්‍රතිඵලයකි. එහෙත් රටක අනාගතය යන ගැඹුරු තැනකින් බලන්නේ නම් මේ නායකයන් දෙදෙනාම කළයුත්තේ ජනවරමක් සහිතව සිදුකළ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ දෙස බලන ඇස වෙනස් කරගැනීමය. මෙහිදී අප මූලිකව පිළිගත යුතු යථාර්ථයක් තිබේ. එනම් 19 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපති ධුරයේ බලතල පැහැදිලි ලෙසම සීමා කළ බවය. මේ මොහොතේ රටේ හටගෙන තිබෙන ජනාධිපතිවරණ උණට එක් හේතුවක් වී තිබෙන්නේ ද ප්‍රස්තුත 19 වැනි සංශෝධනයෙහි ඇති අඩුපාඩුය. සමාන බල කේන්ද්‍ර දෙකක් හටගැනීමේදී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී උද්ගත වන අර්බුදකාරී තත්ත්ව හා එය අරභයා ජනතාව අතරෙහි හටගන්නා භීතිය විසින් මේ වික්ෂිප්තභාවය නිර්මාණය කරනු ලැබ තිබේ. 19 වැනි සංශෝධනය ගැන හරියාකාරව අවබෝධයක් නැති පිරිස් සිතන්නේ රටට ශක්තිමත් නායකයකු බිහිකිරීම වැළැකී තිබෙන්නේ ඒ නිසා බවය. පෞද්ගලික ආරවුල් නිසා හටගත් අර්බුදය ප්‍රකාශ වන්නේ අරාජිකත්වයක් හැටියටය. 

අනෙක් අතට ජනාධිපතිවරණ උණට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ 19 වැනි සංශෝධනය ගැන පොදුවේ ඇති අනවබෝධයයි. 19න් කෙරුණේ විධායක ජනාධිපතිවරයාගේ තටු කැපීමය. 

ඊළඟට බලයට පත්වන ජනාධිපතිවරයාට මෛත්‍රීපාල සිරිසේන මහතාට තරම්වත් බලයක් නැත. උත්ප්‍රාසජනක ලෙස ඇතැමුන් මහා විපර්යාසකර භූමිකාවක් අපේක්ෂා කරන්නේ එවැනි ජනාධිපතිවරයකුගෙනි. ඔහුට අගමැතිවරයාගේ අනුමැතියෙන් තොරව ආණ්ඩුකරණය කළ නොහැකිය. ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමට ඔහුට බැරිය. එහි සරල අරුත නම් ශක්තිමත් නොවූ බල රහිත ජනාධිපතිවරයෙකි. ඉතින් එසේ නිර්මාණය වීමට නියමිත ජනාධිපතිවරයකු ගැන ව්‍යාජ දේශපාලන සාකච්ඡාවක් නඩත්තු කරමින් ජනතාව රැවැට්ටීම සෞඛ්‍යසම්පන්න දේශපාලනයකට තුඩුදෙන්නක් යැයි කිව නොහැකිය. එනිසා අවංකව ප්‍රකාශ කරන්නේ නම් මේ මොහොතේ ජනාධිපති අපේක්ෂකයන් යැයි කියන පිරිස් කළයුත්තේ තමන්ගේ සුදුසුකම් ගැන ජනතාවට ඒත්තුගැන්වීමට වඩා තමාගේ අගමැතිවරයා කවුදැයි කියා සොයා බැලීමය. ජනතාව ද කළයුත්තේ ඊනියා ජනාධිපති අපේක්ෂකයකු පසුපස දුවන්නේ නැතිව ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගැනීම හරහා වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් බිහිකර ගැනීමටය.

(ලන්කාදීප)

Last modified on Wednesday, 10 July 2019 09:02

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website