Wednesday, 10 July 2019 09:03

කාබන්ඩයොක්සයිඩ් සමඟ හුස්ම ගැනීම

ලෝකයෙහි දේශගුණික විපර්යාසවලට ලක්වීමේ අවදානම සහිත රටවල් අතුරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත් ව ඇත. 2014 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාවෙහි ජල ගැලීම් සහ නියං තත්ත්වයන් බහුල විය. මේ තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් ‍සිදු වී ආහාර රටාවට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ.

දේශගුණ වෙනස්වීම් යනු වර්තමාන ‍ලෝකයේ වඩාත්ම අවධානයට ලක් වී තිබෙන ප්‍රධානතම පාරිසරික ගැටලුවකි. එසේ ම ලොව පුරා ඇතිවෙමින් පවතින දේශගුණික විපර්යාස වැළැක්විය නොහැකි පාරිසරික ගැටලුවක් බවට පත්වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ද ඈත අතීතයේ සිටම දේශගුණික විපර්යාස සිදු වී තිබේ. දේශගුණය යනු යම් ස්ථානයක පවතින දිගුකාලීන සාමාන්‍ය කාලගුණික තත්ත්වයකි. දේශගුණික විපර්යාස යනු ඒ ඒ කාලයේ දී දේශගුණයේ ඇතිවන යම් වෙනස්වීම් තත්ත්වයන් වේ.

ස්වාභාවික පෘථිවියේ කක්ෂයේ හැඩය, පෘථිවියේ අක්ෂයේ ආනතිය, සූර්ය ලප වැනි සාධක මත කාලයෙන් කාලයට පෘථිවියේ උෂ්ණ සහ ශීත කාල ඇති වේ. එමෙන් ම ඒවා දේශගුණයේ ස්වභාවික වෙනස්වීම් වේ. දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතිය (UNFCCC) මඟින් මිනිසාගේ ක්‍රියාකාරකම්වල ප්‍රතිඑලයක් වශයෙන් දේශගුණික විපර්යාස ඇති වන බව හඳුනා ගැනිණි. දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයන කළ විශේෂඥවරුන් 1960 වර්ෂයේ දී ශ්‍රී ලංකාවෙහි උසුණුම් තත්ත්වය වියැකී ගොස් ශීත කාලගුණික තත්ත්වයක් ඇති වේ යැයි බලාපොරොත්තු වුව ද 1980 වර්ෂයේ දී පරිසර උෂ්ණත්වය දිනෙන් දිනම වැඩි වන බව ඔවුන්ට තහවුරු කර ගත හැකි විය. වායූගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩිවීමෙන් ඊට හේතු වී ඇත.

පරිසර උෂ්ණත්වය වැඩි වීම

මීට වසර ගණනාවකට ඉහත දී විද්‍යාඥයින් විසින් පෘථිවියේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය දෙගුණ වුවහොත් උෂ්ණත්වය සෙල්සියස් අංශක 05 කින් වැඩි වන බව සොයා ගත් අතර දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) හි විවිධ වාර්තා මඟින් ද මෙම ශතවර්ෂය වන විට පෘථිවි උෂ්ණත්වය 3.7 වැඩි වන බව හඳුනාගෙන තිබේ. මේ හේතුවෙන් කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය හා පෘථිවි උෂ්ණත්වය අතර පැහැදිලි සම්බන්ධයක් පවතී. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වීම හේතුවෙන් පරිසර උෂ්ණත්වය වැඩි වී තිබෙන බව 1980 අගභාගය වන විට දී විද්‍යාඥයින් විසින් වටහා ගන්නා ලදී.

රියෝ හිදී 1992 වර්ෂයේ පැවැත් වූ ලෝක පෘථීවි සමුළුවෙහිදී (Rio Earth Summit) ලෝක‍යේ පවතින ප්‍රධාන පාර­ිසරික ගැටලු මොනවා ද? යන්න පිළිබඳව පැහැදිලි කෙරිණි. එහි දී දේශගුණික විපර්යාස ප්‍රධාන ගැටලුවක් බව හඳුනාගැනිණි. පරිසර උෂ්ණත්වය වැඩි වී දේශගුණික විපර්යාස ඇති වීමට පොසිල ඉන්ධන දහනය සහ කැලෑ කැපීම ප්‍රධාන වශයෙන් බලපායි. ශ්‍රී ලංකාව තුළ තිබෙන කෑලෑ මඟින් කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගන්නා අතර කෑලෑ කැපීම හේතුවෙන් ඒවා වායුගෝලයේ රැඳීම සිදු වේ. පොසිල ඉන්ධන රටට වඩාත් ප්‍රයෝජනවත් සම්පතක් වන අතර ඒවා සැදීම සඳහා අවුරුදු මිලියන ගණනක් වැය වේ. ‍පොසිල ඉන්ධන දහනය කළ පසු ඒවා වායුගෝලයේ තැන්පත් වේ. එය පරිසරය තුළට අනවශ්‍ය අපද්‍රව්‍ය එකතු වීමකි.

ස්වාභාවික කාබන්ඩයොක්සයිඩ් සහ අනෙක් හරිතාගාර වායු සමාජයට වඩාත් හිතකර ය. මෙම වායු නොතිබුණහොත් පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක -15 ක් පමණ වේ. එසේ වුවහොත් මිනිසුන්ට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් හට ගනී. කාබන්ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රජන් ඔක්සයිඩ් වැනි පෘථිවියට ඉහළින් තිබෙන හරිතාගාර වායු නමැති ස්ථරය, පෘථිවියේ පැවැත්මට වැදගත් ය. මිනිසා පරිසරයට නිකුත් කරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයෙන් ගස් කොළන් සහ මුහුදට අවශෝෂණය කර ගත හැකි වන්නේ අඩකට සමාන ප්‍රමාණයක් පමණි. ඉතිරි වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වායුගෝලයේ රැඳේ. එවිට සෑම වර්ෂයකම පරිසර උෂ්ණත්වය වැඩි වේ.

ප්‍රභාසංස්ලේෂණය සහ සිසිල් සාගර ජලයේ දියවීම යනාදී වශයෙන් පෘථිවියේ කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන යාන්ත්‍රණ දෙකක් පවතී. උෂ්ණත්වය වැඩිවීමත් සමඟ මුහුදේ රස්නය වැඩි වේ. එවිට කාබන්ඩයොක්සයිඩ් දිය වන ප්‍රමාණය අඩු වේ. ගස් වැල් කැපීම දිනෙන් දිනම ඉහළ යෑම හේතුවෙන් අවශෝෂණය කරන ප්‍රමාණයට වඩා වැඩි කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට නිකුත් වීම සිදු වේ.

එකී හේතු නිසා වර්තමානයේ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය 0.04 % ඉක්මවා ඇත. මෙය පරිසරයට ඔරොත්තු නොදෙන තත්ත්වයකි. පරිසර උෂ්ණත්වය පාලනය කිරීම සඳහා අන්තර්ජාතික වශයෙන් විසඳුම් සෙවීමට දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතිය (UNFCCC) කටයුතු කළේ ය. මෙමගින් දියුණු රටවල නිකුත් කරනු ලබන හරිතාගාර වායු ප්‍රමාණය අඩු කර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කෙරිණි. ඒ අනුව 2008-2012 අතර කාලසීමාවේ දී 1990 වර්ෂයේ දී නිකුත් කරනු ලැබූ වායු ප්‍රමාණයට වඩා 5% ක් පමණ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කර ගත යුතු බව එමගින් දැනුම් දුනි. යුරෝපා සංගමය, ජපානය වැනි රටවල් මෙම නියෝගය අනුව කටයුතු කළත්, පරිසර උෂ්ණත්වය පාලනය කිරීම ප්‍රායෝගිකව සිදු කිරීමට අපහසු නිසාවෙන් ඇමෙරිකාව ඊට තම අනුමැතිය ලබා දුන්නේ නැත.

පරිසරයට යම් වායුවක් නිකුත් කළ විට වායු‍ගෝලීය සංසරණයෙන් එම වායුව ඕනෑම ස්ථානයකට පැතිරී යාමට පුළුවන. ශ්‍රී ලංකාව හරිතාගාර වායූන් වැඩි වශයෙන් නිකුත් නොකරන රටක් වුවත් සෑම පුද්ගලයකුම පරිසරයට නිකුත් කරන දූෂිත වායූ ප්‍රමාණය අඩු කිරීමට සැලකිලිමත් විය යුතු ය.

කුඩා කාලයේ සිටම දරුවන්ට විදුලිය සහ ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට හුරු කළ යුතු ය. එමඟින් විදුලිය සහ ජලය අනවශ්‍ය ලෙස භාවිතා නොකිරීමට සෑම පුද්ගලයකුම පුරුදු වේ. අනවශ්‍ය අකාරයෙන් විදුලි පංකා භාවිතයට නොගැනීම සහ වායූ සමීකරණ භාවිතා නොකිරීමට හුරුවීමෙන් පොසිල ඉන්ධන දහනය අඩු කර ගැනීමට පුළුවන.

තමන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් පරිදි ජලය භාවිතා කිරීම ද වඩාත් වැදගත් ය. එසේ නොවුණහොත් ජලය වැඩි වශයෙන් උපයෝගී කර ගනිමින් විදුලි බලය වැඩි වශයෙන් නිපදවීම නිසා වක්‍රාකාරව පරිසර උෂ්ණත්වය ඉහළ යාම සිදු වේ. ප්ලාස්ටික්, පොලිතින් වැනි අපද්‍රව්‍ය නිසි ලෙස වෙන් නොකර ප්‍රතිචක්‍රීකරණය නොකළහොත් කසළ බිම්වල කසළ කඳු නිර්මාණය වේ. එසේ සිදුවීමෙන් නිර්වායු තත්ත්වයන් යටතේ කසළ කඳුවල තිබෙන කාබනික ද්‍රව්‍ය, මීතේන් වායුව වශයෙන් නිකුත් වේ. මීතේන් වායුව යනු කාබන්ඩයොක්සයිඩ්වලට වඩා තිස් ගුණයකින් පෘථිවිය උණුසුම් වීම කෙරෙහි බලපාන වායුවකි. ඒ නිසා කසළ බිම්වල රැඳෙන කසළ ප්‍රමාණය අවම කිරීමට මිනිසුන් තමන්ට ප්‍රමාණවත් පරිදි ආහාර පරිභෝජනය කිරීමට පුරුදු විය යුතු ය. එවිට මීතෙන් නිකුත්වීම අවම කර ගැනීමට පුළුවන. ලන්ච් ෂීට්, ෂොපින් බෑග් වැනි ද්‍රව්‍ය භාවිත කිරීම අවම කර ඒ වෙනුවට රෙදි බෑග් වැනි පරිසර හිතකාමී අමුද්‍රව්‍යවලින් නිර්මාණය කළ දෑ පරිහරණය කිරීම වඩාත් සුදුසු ය.

ප්ලාස්ටික්, පොලිතින්, වීදුරු වැනි ද්‍රව්‍ය වැඩි වශයෙන් ප්‍රතිචත්‍රීකරණය කර විකල්ප ද්‍රව්‍ය නිර්මාණය කර ප්‍රයෝජනවත් ලෙස භාවිතයට ගැනීම කළ යුතු ය. එවිට ද කසළ බිම්වල රැඳෙන කසළ ප්‍රමාණය අවම කර අනවශ්‍ය ලෙස වායුගෝලයට මුදා හරින වායු ප්‍රමාණය අඩු කර ගැනිමට පුළුවන. උදාහරණයක් වශයෙන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම පෙන්වා දීමට පුළුවන.

පෘථිවියේ උෂ්ණත්වය වැඩි වූ විට ග්ලැසියර් දිය වේ. එවිට මතුපිට ජලය ප්‍රසාරණය වී මුහුදු මට්ටම ඉහළ යයි. ඒ ‍හේතුවෙන් බොහෝ රටවල් ජලයෙන් යටවීමේ තර්ජනයට ලක් වේ. ශ්‍රී ලංකාවේ ද මේ වන විට මුහුදු මට්ටම ඉහළ ගොස් ඇත. එමඟින් කෘෂිකර්මාන්තය බිඳ වැටීම, පානීය ජලය පරිභෝජනයට බලපෑම් සිදු වීම හා බෝ නොවන රෝග පැතිරීම, ශාක හා සත්ත්ව කොට්ඨාස වඳ වී යාම ආදී දේ සිදු වේ. සෙන්ටිග්‍රේඩ් අංශක 40 ට වඩා පරිසර උෂ්ණත්වය වැඩි වීම අහිතකර තත්ත්වයකි.

දැනුවත්භාවය

ලෝකයෙහි දේශගුණික විපර්යාසවලට ලක්වීමේ අවදානම සහිත රටවල් අතුරින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට පත් ව ඇත. 2014 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකාවෙහි ජල ගැලීම් සහ නියං තත්ත්වයන් බහුල විය. මේ තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් ‍සිදු වී ආහාර රටාවට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ. නියං කාලයකින් පසුව ගංවතුර තත්ත්වයක් ඇති වීම මඟින් ගොවීන්ට තම වගා කටයුතු නිසි පරිදි සිදු කිරීමට නොහැකි වේ.

මේ වන විට කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ගොවීන්ට තම වගා කටයුතු කළ යුතු කාලසී‍මාවන් කල් වේලා ඇතිව දැනුම් දීම, ඒ ඒ කාලසීමාවන්වල දී වගා කළ යුතු භෝග පිළිබඳ දැනුවත් කිරීම සිදු කරනු ලබයි. උදාහරණ වශයෙන් නියං කාලවලදී ලවණතාවන්ට ඔරොත්තු දෙන භෝග වගා කිරීමට උපදෙස් ලබා දීම, වී වගා කිරීමට බලපෑමක් වන කාලසීමාවන්වල දි විකල්ප භෝග හඳුන්වා දීම දැක්විය හැකි ය.

පෘථිවි උණුසුම වැඩි වීමත් සමඟ භෝග වගාවන්ට පළිබෝධකයින්ගෙන් වන හානිය ද වැඩි වේ. උදාහරණයක් වශයෙන් පසුගිය කාලයේ බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් සිදු වූ හානිය පෙන්වා දීමට පුළුවන. මේ වන විට රජය විසින් විවිධාකාරයේ පළිබෝධ නාශක ක්‍රමවේද හඳුන්වා දී තිබේ.

සෑම වර්ෂයකදීම ආණ්ඩුව ගංවතුර සහ නියං තත්ත්වයන්වලින් අවතැන් වූ පුද්ගලයින් සහ නිවාස මෙන්ම ගොඩනැඟිලි යළි ගොඩනැංවීම සඳහා බිලියන ගණනක් වියදම් කරයි. එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු වේ. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් ගංවතුර තත්ත්වයන්ට ඔරොත්තු දෙන පරිදි නිවාස සහ ගොඩනැඟිලි නිර්මාණය කිරීමට උපදෙස් ලබා දීම සිදු කරනු ලබයි.

රජය විසින් හදිසි ආපදා තත්ත්වයන්වලදී හානිය අවම වන පරිදි ව්‍යාපාර කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනු ලබයි. පරිසර අමාත්‍යංශය විවිධ ආයතන සමඟ ඒකාබද්ධ වී පරිසරයට වන හානිදායක තත්ත්වයන් පාලනය කිරීම පිළිබඳ ව්‍යාපෘති සකස් කර තිබේ.

පරිසර උෂ්ණත්වය වැඩිවීම වළක්වා ගැනීම සඳහා සෑම පුද්ගලයකුම පෞද්ගලිකව සිතා බලා කටයුතු කළ යුතු ය. තව ද ජාතික මට්ටමින් යුක්තව රජය විසින් දිගුකාලීන ප්‍රතිපත්තිමය තීරණ ගැනීම අවශ්‍ය වේ. පරිසරයට අනවශ්‍ය දෑ බැහැර කිරීමට පෙර , “මේ මා ජීවත්වන පරිසරය, එය ආරක්ෂා කර ගන්නවා“ යන්න සිතා කටයුතු කිරීම වඩාත් වැදගත් වේ.

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website