Wednesday, 10 July 2019 09:05

ත්‍රස්ත මර්දනයට නව උපායමාර්ග

මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ප්‍රජාවට සේම ඔවුන්ගේ නායකයන්ටද මේ අවස්ථාවේදී ඉටු කිරීමට විශාල කාර්යභාරයක් පැවරී තිබේ. මෙවැනි අන්තවාදී මතිමතාන්තර හා ප්‍රචණ්ඩත්වයන්, සාමය හා ඉවසීම ප්‍රගුණ කරන්නට උගන්වන සිය ඉස්ලාම් දහමේ විපරිවර්තනයක් ලෙස ලෝකයට පෙන්වාදිය යුත්තේ ඔවුන්ය. මුස්ලිම් යැයි කියා ගන්නා පිරිස් මෙවැනි තුච්ඡ ක්‍රියාකාරකම්වලට පොළඹවන හේතු අවබෝධ කර ගැනීමට මෙන්ම අනාගතයේදීද එවැනි ක්‍රියා යළි සිදු නොවීම තහවුරු කෙරෙන ප්‍රතිඵලදායක උපායමාර්ග සැලසුම් කිරීමටද ඔවුන් පියවර ගත යුතුය.

ලයනල් විජේසිරි

එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් පිළිබඳ මහා කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් නිකුත්කොට ඇති අංක 32 දරන “මානව අයිතීන්, ත්‍රස්තවාදය හා ත්‍රස්ත විරෝධය“ නමැති ශීර්ෂයෙන් යුතු තොරතුරු පත්‍රිකාවට අනුව ත්‍රස්තවාදය විස්තර කර ඇත්තේ මෙසේය,

ත්‍රස්තවාදය පැහැදිලිවම මානව අයිතීන් කෙරෙහි සෘජුවම බලපෑමක් ඇතිකරන්නේ ජිවිතය, නිදහස හා භෞතික ඒකාග්‍රතාව යනාදිය භුක්ති විඳීම සඳහා ඇති අයිතිය කෙරෙහි විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරමිනි. පුද්ගලයන් වශයෙන් දරන්නට සිදුවන මෙම බලපෑම්වලට අමතරව, පවත්නා රජයන් අස්ථාවරකොට, සිවිල් ජනසමාජය පීඩාවට පත්කොට, සාමය හා ආරක්ෂාව උවදුරෙහි හෙළා, සමාජීය හා ආර්ථික සංවර්ධනයට තර්ජන එල්ල කිරීමටද ත්‍රස්තවාදයට හැකියාව තිබේ. අයි.එස්. ත්‍රස්තයන් විසින් සිදුකළ ප්‍රහාර මාලාවකින් නොසිතූ ලෙස සලකුණු වූ ශ්‍රී ලංකාවේ මෑතකාලීනව සිදුවු සිද්ධි දාමය මඟින් මෙම ප්‍රකාශයේ සත්‍යතාව ඛේදනීය අයුරින් තහවුරු කොට තිබේ.

උසස් අධ්‍යාපනයක් ලැබූ, දැනඋගත්කම් ඇති තරුණයන් පිරිසක් (හෙවත් වෙනත් ඕනෑම නමකින් හඳුන්වන පරිදි) එවැනි සිත්පිත් නොමැති කුරිරු විනාශයක් සිදුකළේ කෙසේද යන්න අද සමස්තයක් වශයෙන් ජාතියම දවාලන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. මේ ප්‍රශ්නයට යම්තාක් දුරකට හේතු දැක්වීමක් 2007 වසරේ මැයි මස මනෝවිද්‍යාව හා ස්නායුවිද්‍යාව යන ක්ෂේත්‍රවල නියැලී විද්වතුන් සයදෙනෙකු විසින් සිදුකොට, ‘මානව විද්‍යාව හා චර්යාධර්ම‘ (Nature Human Behaviour) නමැති ජාත්‍යන්තර ජර්නලය ඔස්සේ ප්‍රකාශයට පත්කළ නවතම අධ්‍යයනයකින් ලබාදෙයි. එම අධ්‍යයනයෙන් කියැවෙන පරිදි,

ත්‍රස්තවාදියකුගේ සදාචාරාත්මක හේතුදැක්වීම මුලික ලෙසම සෙසු අයවළුන්ට වඩා වෙනස් වන්නකි. යම් සිදුවීමක අවසානය ඊට පදනම් වූ කල්ක්‍රියාව සාධාරණීකරණය කරන බවට ඔවුන් තුළ වන විකෘතිකරවනු ලැබු සදාචාරාත්මක හේතු දැක්වීම, ත්‍රස්තවාදී මනස සකස්වී ඇති ආකාරයේ අනන්‍යතා ලකුණයි. එසේම සදාචාරාත්මක වශයෙන් ඔවුන් ගනු ලබන තීන්දු තීරණ අප වැනි සෙසු අයවළුන්ට පමණක් නොව, සෙසු ප්‍රචණ්ඩකාරී අපරාධකරුවන් සියල්ලන්ටමද වඩා වෙනස්ය.“

ත්‍රස්තවාදීන් ඔවුන්ගේ සමකාලීන අනෙකුත් අපරාධකරුවන්ට වඩා ප්‍රචණ්ඩකාරී වන්නා සේම, සෙස්සන්ගේ හැඟීම් දැනීම හඳුනාගැනීමෙහිලා ද ඊටත් වඩා භයානක බවට විද්වතුන් සිදුකළ අනාවරණයන් ඇතැම්විට පුදුමයක් නොවනු ඇත.

කලක් ත්‍රස්තවාදීන්ව සිටි පිරිස් පිළිබඳ අධ්‍යයනය කළ බුවනෝස් අයර්ස්හි ‘ෆ්‍රැවලෝරෝ විශ්වවිද්‍යාලයේ‘ මනෝවිද්‍යාඥවරියක වන සැන්ඩ්‍රා බේයර්ස්ගේ නායකත්වයෙන් මෙහෙයවනු ලැබූ විද්‍යාර්ථීන් කණ්ඩායමක් විසින් කළ පර්යේෂණයකට අනුව, “ත්‍රස්තවාදීන්ගේ සදාචාරාත්මක විනිශ්චයන් බොහෝදුරට සමාන වන්නේ ඉතාම කුඩා දරුවන් හෝ මොළයේ ලලාට හා ශංඛක කලාපවලට හානි සිදුවූ අය ගනු ලබන තීරණවලටය. ඒ වගේම අපි හොයාගෙන තියෙනවා ත්‍රස්තවාදීන් එයාලගේ දෘෂ්ඨියට අනුකූල අවසානයක් ගැන විතරක් උනන්දුවෙන, එයාලගේම කල්පිත දැක්මක් මතම එල්බගත් පිරිසක් කියලත්. එයාලගේ චින්තනයට අනුව අහිංසක ජීවිත විනාශ කිරීම මඟින් එයාලට එයාලගේ කාල්පනික ඉලක්ක සපුරාගන්න පුළුවන් නම්, එවැනි විනාශ එයාලා සලකන්නේ සදාචාරාත්මකව සාධාරණයි කියලයි.

අපේ අධ්‍යයනවලින් ලැබු ප්‍රතිඵලවලට අනුව ත්‍රස්තවාදින් අනුන්ගේ ක්‍රියාකාරකම් ගැන තීන්දු දෙන්නේ ඒවායේ ප්‍රතිඵල සැලකිල්ලට ගැනීමෙන් කියලා ඔප්පුවී තිබීමෙන් පෙනී යන්නේ එයාලගේ සදාචාරාත්මක සම්මතයන් ප්‍රමුඛත්වය දෙන්නේ ක්‍රියාවට වඩා එහි අවසන් ප්‍රතිඵලයට කියලයි.“

උපායමාර්ග වෙනස් කිරීම

මෙකල රටේ සෑම පුරවැසියෙකුගේම පාහේ මුවඟ රැඳෙන එක් පොදු ප්‍රශ්නයක් තිබේ. ඒ අනාගතයේදීත් සිදුවිය හැකි මෙවන් ප්‍රහාර වැළැක්වීමට රජය ගෙන ඇති පියවර මොනවාද? යන්නය. බහුතරයකගේ විශ්වාසය වී තිබෙන්නේ 2009දී කළාක් මෙන් මෙම අලුත්ම ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයද ජය ගැනීමේ වගකීම රජයට පැවරී ඇත කියාය. එය පහසු කාර්යක් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. එල්.ටී.ටී.ය. සමඟ යුදවැදුණු කාලයේදී මෙන් නොව, මෙකල යටපත් කරගත යුතු නිශ්චිත බල ප්‍රදේශ අප හමුවේ නැත. සතුරු බල ප්‍රදේශ, කඳවුරු හෝ බංකර නැත. සතුරා රට තුළ ඕනෑම තැනක සිටිය හැකිය. භයානකම දේ වන්නේ ඔහුව නිශ්චිතව හඳුනාගැනීමටද හැකියාවක් නොමැති වීමයි. එල්.ටී.ටී.ය. සමඟ කළා මෙන් මෙම යුද්ධයද සම්ප්‍රදායික ආකාරවලින් ජයගැනීම කළ හැකි නොවන්නේ එබැවිනි. ඒ සඳහා උපායමාර්ග වෙනස් කිරීම අවශ්‍යව තිබේ.

සරළව කිවහොත් ත්‍රස්තවාදය යනු සැබවින්ම එක්තරා උපක්‍රමයක් මිස සතුරා නොවේ. එය මුලිනුපුටා දැමීමට උත්සාහ දැරීම යනු ඊට සැබෑ ලෙසම වගකිව යුත්තන් ඉලක්ක නොකෙරෙන අමනෝඥ ක්‍රියාවලියකි. ත්‍රස්තවාදයට එරෙහිව සාර්ථකව සටන් කිරීමට නම් අමානුෂික ම්ලේච්ඡකම් කිරීමට ත්‍රස්තයින් පෙළඹෙන්නේ කුමක් නිසාද යන්න පළමුව අවබෝධ කරගත යුතුය. එසේ නොකිරීමෙන් අප සියල්ලෝම ත්‍රස්තවාදයට වඩාත් හේතුපාදක වූ සමාජ වටාපිටාවක් නිර්මාණය කිරීමට නොදැනුවත්ව වුවද දායක වන්නෝය.

විශ්වාස ත්‍රිත්වය

ගෝර්ඩ්න් බ්‍රවුන් එක්සත් රාජධානියේ අගමැතිව සිටි සමයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඔහුගේ උපදේශකවරයා වූයේ බ්‍රෙන්ඩන් කොක්ස්ය. පුරා පස් වසරක් මුළුල්ලේ හේ මනෝවිද්‍යාඥයින්, කලකදී අන්තවාදීන්ව සිටියවුන්, බන්ධනාගාරගතව සිටි චූදිත ත්‍රස්තවාදීන් සමඟ සමීපව ඇසුරු කළ වුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් හා වින්දිතයින් සිය ගණනක් සම්මුඛ සාකච්ඡාවන්ට ලක්කළේය. ඒවායින් ලද සාක්ෂි සියල්ලම පාහේ සීරුවෙන් අධ්‍යයනයට ලක්කළ හේ පවසන්නේ “අනාගතයේදී ත්‍රස්තවාදියකු ලෙස කරළියට බසින්නේ කවරෙකුද කියා කල් ඇතිව අනාවැකි පළකිරීම අතිශයින්ම අසීරු බවය. ඊට හේතුව වන්නේ එවැනි කාණ්ඩයන් ප්‍රමාණයෙන් කුඩාවීම නිසාවෙන් අර්ථාන්විත රටාවන් තිබේදැයි නිරීක්ෂණය කිරීම අපහසුවීමය.“

කෙසේවුවද ත්‍රස්තවාදීන් එලෙස ක්‍රියාකිරීමට පොළඹවන්නේ කුමක් විසින්ද කියා අනාවැකි පළකිරීමට යොදාගත හැකි ආකෘති අපට තිබේ. ඒ අතරින් වඩාත්ම ප්‍රකට ආකෘතිය වන්නේ මාටින් ෆිෂ්බේන් හා අයිසෙක් අජ්සන් විසින් ගොඩනගන ලද ‘තර්කානුකූල ක්‍රියාව පිළිබඳ න්‍යායයි‘. මෙම ප්‍රවේශයට අනුව කිසියම් ක්‍රියාවකින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබීමට නම් විශ්වාසයන් තුනක් පැවතිය යුතුය. ඉන් පළමුවැන්න වන්නේ පුද්ගලයාගේ ‘චර්යාත්මක විශ්වාසයයි‘. ඒ අනුව එම පුද්ගලයාගේ විශ්වාසය වන්නේ ත්‍රස්තවාදය නිවැරදි දෙයක් බවත්, එමඟින් තමා බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබෙන බවත්ය. එකී විශ්වාසය මූලික වශයෙන් රඳාපවත්නේ ආගමික හා පරමාදර්ශි පදනමක් මතය. ඇතැම්විට එය ද්වේශය හා බලාපොරොත්තු ඉටුනොවීම නිසා හටගත් අසහනය නිසාවෙන් පුද්ගලික මට්ටමින් ඇතිවූ උත්තේජනයක් විය හැක. දෙවැන්න වන්නේ එකී පුද්ගලයාගේ ‘පාලක විශ්වාසයයි‘. එනම් තමාට කිසිදු බාධාවකින් තොරව සාර්ථක ලෙස සිය මෙහෙවර සම්පූර්ණ කළ හැකි බවට ඔහු තුළ වන විශ්වාසයයි. තෙවැන්න වන්නේ එම පුද්ගලයාගේ ‘ප්‍රාමාණික විශ්වාසයයි‘. ඉන් කියැවෙන්නේ තමා අසීමිත ලෙස ගරුකරන පුද්ගලයන් විශේෂයෙන්ම සිය ගුරුවරුන් තම ක්‍රියාකාරකම්වලට අනුබල දෙනු ඇති බවට වන විශ්වාසය ගැන එම පුද්ගලයා තුළ වන තදබල ඇදහීමයි.

චර්යාත්මක ඇදහීම්

බ්‍රෙන්ඩන් කොක්ස් පවසන ආකාරයට ඕනෑම රටකට ත්‍රස්තවාදය පිටුදැකීමට මෙකී ආකෘතිය යොදාගත හැකිය. පළමුකොටම කළ යුතු වන්නේ ජනතාවගේ චර්යාත්මක ඇදහිලි රටාව හැඩගැස්වීමය. 2001 සැප්තැම්බර් 11 දා සිදුවූ නිව්යෝක් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉස්ලාමීය වාගාලංකාරයන් සිය දේශපාලනික න්‍යායයන් හැඩගැස්වීමෙහිලා ඒකරාශි කරගත් කණ්ඩායම් විසින් භාවිතකළ ඉස්ලාමීය දේශපාලනික ප්‍රචණ්ඩත්වය, ගෝලීය ත්‍රස්තවාදයක් හැඩගැස්වීමෙහිලා සම්ප්‍රයුක්තයක් බවට පත්විය. ත්‍රස්ත ප්‍රහාර පවා සිදුකරන අන්තයක් දක්වා මුස්ලිම් ප්‍රජාව පෙරළියකට ලක්කිරීමට හේතුවූයේ මෙම අන්තවාදී ඉස්ලාමීය පරමාදර්ශ බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. ඉස්ලාමීය ප්‍රතිපත්ති අන්තවාදී මඟකට නැඹුරු කරමින් ඒවා වැරදි ලෙස අර්ථකථනය කරන්නාවූ ජිහාද් කණ්ඩායම් පසුගිය දශක හතර තුළදී සාමාන්‍ය මුස්ලිම් ජනතාව අතරද සිය ව්‍යාප්තිය තහවුරුකර ගත් බව මෙම විද්‍යාර්ථීන් පෙන්වා දෙයි.

මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ප්‍රජාවට සේම ඔවුන්ගේ නායකයන්ටද මේ අවස්ථාවේදී ඉටු කිරීමට විශාල කාර්යභාරයක් පැවරී තිබේ. මෙවැනි අන්තවාදී මතිමතාන්තර හා ප්‍රචණ්ඩත්වයන්, සාමය හා ඉවසීම ප්‍රගුණ කරන්නට උගන්වන සිය ඉස්ලාම් දහමේ විපරිවර්තනයක් ලෙස ලෝකයට පෙන්වාදිය යුත්තේ ඔවුන්ය. මුස්ලිම් යැයි කියා ගන්නා පිරිස් මෙවැනි තුච්ඡ ක්‍රියාකාරකම්වලට පොළඹවන හේතු අවබෝධ කර ගැනීමට මෙන්ම අනාගතයේදීද එවැනි ක්‍රියා යළි සිදු නොවීම තහවුරු කෙරෙන ප්‍රතිඵලදායක උපායමාර්ග සැලසුම් කිරීමටද ඔවුන් පියවර ගත යුතුය. “අන්තවාදයට එරෙහිව ඉස්ලාමීය මධ්‍යස්ත මතධාරීන් නැඟි සිටින්නේ කවදාද ? “ යන්න වර්තමානයේ ලාංකීක දනන් තුඩඟ නිතර රැව්දෙන පුනරුක්තිය බවට පත්ව තිබෙන්නෙකි. දැන් එළැඹ තිබෙන්නේ ඔවුන් සියල්ලන් එක්ව විශ්වාසය හා සහජීවනය වෙනුවෙන් සාමුහිකව නැඟී සිටිය යුතු කාලයයි.

පාලක ඇදහිලි

දෙවනුව අප කළ යුත්තේ අන්තවාදීන්ගේ පාලක ඇදහිලිවලට එරෙහිව සටන්වැදීමය. පොලිස් හා සන්නද්ධ හමුදාවන්ට ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන ලබාදීමෙන්ද, අන්තවාදීන්ගේ ඉලක්කයන්ට ලක්විය හැකි පිරිස් ආරක්ෂා කිරීමෙන් , හා පුපුරණ ද්‍රව්‍ය හා ගිනිඅවි ලබාගැනීමට ඇති මාර්ග අවහිර කිරීමෙන්ද මෙය සිදුකළ හැක. දැවැන්ත පෙරළියකට ලක්වූ රටේ ආරක්ෂක අවශ්‍යතාවයන්ට උචිත පරිදි වැඩිදියුණු කළ යාවත්කාලීන නව බුද්ධි පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් පියවර ගත යුතුය. අනාවැකි පළකළ හැකි එදිරිවාදින්ට එරෙහිව සටන්කිරීම සඳහා නිර්මාණය කළ උපායමාර්ග එලෙස කල් ඇතිව දැනගෙන නොසිටි අපරාධකරුවන්ගෙන් එල්ලවන තර්ජන සඳහා යොදාගැනීම උගහටය.

සිදුවන්නට තිබූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් කල් ඇතිව ලැබී තිබුණු තොරතුරු නිවැරදි පුද්ගලයන්ට නිවැරදි වේලාවේදී ලබාදීමට ලංකාවේ බුද්ධි අංශ පද්ධතිය අසමත් වූ බව ස්වාධීන විශ්ලේෂකයන් විසින් දැන් හදුනාගෙන තිබේ. එසේම එලෙස අනාවරණය කරගත් තවත් වැදගත් තොරතුරක් වන්නේ බුද්ධි අංශ හා බුද්ධි අංශ නොවන අදාළ ආයතන අතර තොරතුරු හුවමාරුකර ගැනීම සම්බන්ධයෙන් බරපතළ අන්දමේ ගැටලු පවතින බවයි.

ප්‍රාමාණික ඇදිහිලි

වඩාත්ම වැදගත් සාධකය වන්නේ අන්තවාදීන්ගේ ප්‍රාමාණික ඇදහිලි නමැති තෙවැන්නයි. සමාජයක් වශයෙන් අපට වැඩිම බලපෑමක් ඇතිකළ හැක්කේ මෙම කාණ්ඩයේ ඇදහිලි කෙරෙහි වන්නේ ඒවා ඔවුන්ගේ විශ්වාස නොව සමස්තයක් වශයෙන් අප සියල්ලන්ගේම විශ්වාස වන බැවිනි. මේ සම්බන්ධයෙන් කළ යුතු දෑ තවත් බොහෝ ඉතිරිව තිබේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය විසින් සිදුකරන ද්වේශ සහගත අදහස් වැපිරීම හා ජනතාව එවැනි ප්‍රකෝපකාරී ආකල්ප වෙත නැඹුරු කරවීම වැනි ප්‍රවේශ වෙනස් කළ යුතුය. දේශපාලනඥයින් විසින් සිදුකරන නිෂ්ඵල ප්‍රලාපවලට කෙතරම් බලපෑමක් ඇතිකළ හැකිද කියා පෙනෙන්නේ සමාජයක් වශයෙන් එවැනි අර්ථ විරහිත එදිරිවාදී ප්‍රකාශ එකහෙළාම හෙළාදුටු කලය.

රටේ වෙසෙන සෑම වැඩිහිටියකුටම ඉටුකරන්නට වගකීම් කොටසක් පැවරී තිබේ. ත්‍රස්තවාදියකු යැයි නම් දැරූවකු අපට කෙදිනකවත් මුහුණට මුහුණ හමුවිය නොහැකි විය හැකිය. නමුත් පිරිස් හා කණ්ඩායම් අතර වෛරය හා ද්වේෂය පතුරන හෝ ඊට උල්පන්දම් දෙන අයවලුන් අප දන්නවා හෝ හමුවිය හැකිය. ඇතැම්විට එවැනි පුද්ගලයන්ව නොසලකා හැර සිටීම පහසුයැයි හැඟෙනු ඇත. නැතිනම් සමාජ මාධ්‍ය ඔස්සේ කර තිබෙන එවැනි ද්වේශසහගත ප්‍රකාශ නොදුටුවා සේ හෝ නෑසුණා සේ සිටීමටත්, තවත් විටෙක ඊට එකඟතාව පළකිරීමටත් අප පෙලඹෙන්නේ ගැටුමකට අවතීර්ණවීමෙන් වැළකීමට විය හැකිය. නමුත් එලෙස කරන සෑම වාරයක් පාසා නොදැනුවත්ව වක්‍රාකාරයෙන් හෝ අප කරන්නේ අන්තවාදයට වඩාත් සහෝපකාරී වන්නාවු පරිසරයක් ගොඩනැඟීමය.

අනෙක් අතට වෛරී අදහස්වලට එරෙහිව අප අභියෝග කරන විට අප දායකවන්නේ අනාගතයේදි ත්‍රස්ත ප්‍රහාර සිදුවීමේ අවම සම්භාවිතාවක් ඇති ප්‍රාමාණික පරිසරයක් ගොඩනැගීමටය.

ඇයි නොවේ කෙසේද

ත්‍රස්තවාදය පිළිබඳ හසළ දැනුමැති විද්වතකු වන ජෝන් හෝර්ගන් පවසන පරිදි ත්‍රස්තවාදය ගැන ඇසිය හැකි වඩාත්ම පලදායක හා පාලනය කිරීමට පහසුම ප්‍රශ්නය වන්නේ ඇයි කියා නොව කෙසේද?, කොහේද ? හා කවදාද ? යන ඒවාය. මේ කියන පුද්ගලයා මේ කියන සංවිධානයට සම්බන්ධ වුණේ කොහොමද ?, ඔහුට එලෙස ඊට බැඳෙන්නට සහාය වූ සංවිධානගත ජාල කවරේද ? එවැනි ජාලවලට ඔහු ප්‍රවේශ වුණේ හා ඒවා සොයාගත්තේ කෙසේද ? මෙවැනි ප්‍රශ්න මඟින් අප ත්‍රස්තවාදයේ එකිනෙක හා බැඳුණු සිදුවීම් දාමය වෙත මිස, ත්‍රස්තවාදීන්ගේ ඇතුළාන්ත ලෝකය වෙත රැගෙන නොයාම නිසාවෙන්, ඒවා විද්වතුන්ට බුද්ධිමය වශයෙන් දමනය කිරීමට හැකිවා පමණක් නොව, ත්‍රස්තයින් බඳවාගැනීම වළක්වා ලීමට හා නැවැත්වීමට ගන්නා උත්සාහයට ද වඩාත් සෘජුව සම්බන්ධ කළ හැකිය. නීතිය බලාත්මක කරන බලධාරින්ට ත්‍රස්ත ක්‍රියාකාරකම් පිටුපස වන පෙළඹවීම විනාශකිරීමට නොහැකි විය හැක. නමුත් නිවැරදි බුද්ධි තොරතුරු හා නිපුණතා ඇසුරෙන් ත්‍රස්තයින් බඳවාගැනීමේ සංවිධානගත ජාල විනාශ කිරීමට ඔවුන්ට බැරි නැත.

(19/06/2019 දින ඩේලි නිව්ස් පුවත්පතේ පළකොට තිබූ “New Strategies to combat terrorism”) නමැති ලිපිය ඇසුරිණි.)

(දිනමිණ)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website