Thursday, 11 July 2019 03:38

රෝහලේ කොන්ක්‍රීට් කණු හතරට රුපියල් ලක්‍ෂ 800 යි

ගිනස් පොතට යා යුතු පුවතක් පසුගියදා අනුරාධපුරයෙන් වාර්තා විය. ඒ අනුරාධපුරය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකක සංකීර්ණය තුළ කොන්ක්‍රීට් කණු 4ක් සෑදීමට රුපියල් ලක්ෂ 800ක් හෙවත් රුපියල් අට කෝටියක් වැය කිරීම පිළිබඳ අරුම පුදුම සිදුවීමයි. සකල සිරින් පිරි සිරි ලංකාවේ මෙවන් සෙල්ලම් සිදුවීම අරුමයක් නොවේ. මෙය මෙසේ සිදුවූ බව රටට අනාවරණය කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුරය ශාඛාවේ සභාපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් විසිනි. රජය වහා මේ ගැන සොයා බැලිය යුතු බව පෙන්වා දෙමින් ඔවුහු මේ සිද්ධිය මාධ්‍යයට කීහ.

වාර්තා වන ආකාරයට හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා මුල්ගල් තබා ඇත්තේ වසර 2017දීය. මේ මුළු ප්‍රතිකාර සංකීර්ණයම වෙනුවෙන් රුපියල් මිලියන 342ක් වියදම් කළ යුතු බවට ඇස්තමේන්තු කර තිබුණි. ඒ අනුව අදාළ ඉදිකිරීම කොන්ත්‍රාත්කරුවකුට පවරා අත්තිකාරම්ද ගෙවනු ලැබීය. එහෙත් මෙතෙක් ඔහු ඉදිකර ඇති යට කී කොන්ක්‍රීට් කණු 4ට පමණක් වියදම රුපියල් ලක්ෂ 800කි. මිලියනවලින් ගතහොත් මිලියන 80කි. ඒ මුදල හදිසි ප්‍රතිකාර සංකීර්ණය සඳහා ඇස්තමේන්තු කළ මුලු මුදල වන රුපියල් මිලියන 342න් හතරෙන් එකක් පමණ වේ. කොන්ක්‍රීට් කණු 4ට මිලියන 80ක් වැයවේ නම් වෙන්කර ඇති මිලියන 342න් හදිසි ප්‍රතිකාර සංකීර්ණය හදන්නට පුළුවන්ද යන ප්‍රශ්නය කුඩා දරුවකු වුවද විමසනු ඇත.

මේ කොන්ත්‍රාත්තුව බාරගත් අරුම පුදුම කොන්ත්‍රාත්කරුට ලක්ෂ 80ක වියදමින් ඒ කණු 4 හදන්නටත් වසර දෙකක් ගතවී තිබූ බව සිහි කටයුතුය. එම වික්‍රමය සිදුකළ කොන්ත්‍රාත්කරු ඉඩම වටකොට වැටක් ගසා කණු 4 ඉදිකොට වැඩබිම හැරදමා ගොසිනි. අඩුම තරමින් තමන් රජයෙන් ගත් මුදල වෙනුවෙන් අත්තිවාරමක් හෝ දමා නැතැයි අනුරාධපුර වෛද්‍ය සංගමය චෝදනා කළේය. එම වෛද්‍යවරුන් වැඩිදුරටත් පැවසුවේ මේ ගැන වගකිවයුත්තන් නිසි ලෙසට දැනුම්වත් කළත් කිසිම පියවරක් ගෙන නැති බවකි.

මෙලෙස මහා මූල්‍ය වංචාවක් සම්බන්ධව කරුණු හෙළිදරව් කර තිබියදීත් කොන්ත්‍රාත්කරු විසින් සිදුකරන ලද මහා විනාශයට එරෙහිව පියවරක් නොගැනීම සැකයට තුඩු දෙයි. කිසියම් බලවත් හස්තයක ආරක්ෂාව කොන්ත්‍රාත්කරුට ලැබේදැයි සිතන්නට අප පොළඹවයි. එම බලවත් හස්තය දේශපාලන හස්තයක් විය යුතු යැයි අනුමාන කිරීමටද පිළිවන.

රජයේ සංවර්ධන කටයුතුවලට වැය කරන්නේ මහජන මුදල්ය. ජනතාව රජයට ගෙවන බදු මුදලින් කොටසක් සංවර්ධන කාර්ය සඳහා ප්‍රාග්ධන වැය ශීර්ෂයට බැර කෙරේ. ආණ්ඩුවේ මුදල්වලට ඍජු අයිතිකාරයෝ නැත. පෞද්ගලික ව්‍යාපාරයක නම් ව්‍යාපාරිකයා තමන් වැයකරන අන්තිම ශතයත් හරියට වැය කරනවාදැයි ඇස ගසාගෙන සිටී. මෙවැනි තත්ත්වයක් තුළ වංචාකාරයන්ට ආණ්ඩුවේ මුදල් රෙගුලාසි අතරින් රිංගා යාම ඉතා පහසුය. මෙතැන සිදුවී තිබෙන්නේද එවැන්නකි. ඛේදයට කරුණ නම් මේවා ගැන සොයන්නට බලන්නට වගකිවයුත්තකු නොමැතිවීමයි.

කිසියම් අමාත්‍යාංශයකට අදාළ ටෙන්ඩරයක් හෝ කොන්ත්‍රාත්තුවක් කාට හෝ පැවරුවහොත් ඒ ගැන ඍජු අධීක්ෂණ වගකීම පැවරෙන බලධාරියෙක් සිටී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටින එවන් බලධාරියා කවුද? ඔහු මේ ගැන කළේ කුමක්ද? පියවරක් නොගත්තේ නම් ඊට හේතු කවරේද? පුළුල්ව බැලුවොත් මෙහි වගකීම අමාත්‍යංශයේ ලේකම්වරයාද දැරිය යුතුය. අප දන්නා පරිදි රජයේ අමාත්‍යාංශයක ප්‍රධාන ගණන් දෙන නිලධාරියා නැතහොත් ගිණුම් නිලධාරියා වන්නේ ලේකම්වරයාය. කොන්ත්‍රාත්කරුවන්ගේ වේශයෙන් එන ඇවිත් මෙලෙස රාජ්‍ය සම්පත් කොල්ලකන තෙක් ඔහු ඇස් කන් පියාගෙන සිටියේ මන්ද කියා එම විෂය බාර අමාත්‍යවරයා ඔහුගෙන් ප්‍රශ්න කළ යුතුය.

රජයේ ටෙන්ඩර් පටිපාටි මූල්‍ය රෙගුලාසි හා පරිපාලන රෙගුලාසි ආදී වශයෙන් නීති රීති සමුදායක් ක්‍රියාත්මකය. දුප්පත් මිනිසකු සමෘද්ධිය ඉල්ලාගෙන ගිය විට කෝටියක් ප්‍රශ්න අසන නිලධාරීන් මෙවැන්නන් ගැන නොසොයන්නේ මන්ද යන්න අපට නම් ප්‍රහේළිකාවකි. යට කී කොන්ක්‍රීට් කණු 4 හදන්නට වැඩිම වශයෙන් රුපියල් ලක්ෂ 25ක් වැය වූවා යැයි අනුමාන කළහොත් ඉතිරි රුපියල් ලක්ෂ 775ම කොන්ත්‍රාත්කරුවන්ගේ සාක්කුවේය. ඒ දැවැන්ත මුදල ඔහුට පරම්පරා දෙක තුනක් ජීවත් කරවන්නට සෑහෙන තරම්ය.

ගමේ භාෂාවෙන් කිවහොත් මහජන මුදල් යනු ‘පිං සල්ලිය’. මේ ‘පිං සල්ලි’ වංචාවෙන් ගසාකන තැනැත්තා පව්කාරයෙකි. මේ පව්කාර තක්කඩින්ගේ වංචාව අනුමත කරන්නා ඊටත් වඩා පව්කාරයෙකි. මේවා මේ ආකාරයට නිදැල්ලේ සිදුවන්නට ඉඩ හැරියහොත් ශ්‍රී ලංකාව නීතියක් හෝ විධානයක් නැති රටක් බවට පත්වෙයි. වත්මන් ආණ්ඩුව 2015 දී වේදිකා ගානේ අලෙවි කළ යහපාලන සංකල්පයට මේ වැඩ කොතරම් ගැළපේද යන්න සිහිනුවණින් කල්පනා කරන අයට ප්‍රශ්නයකි. මෙබඳු වංචා දූෂණවලදී සිවිල් සමාජයද වඩා ශක්තිමත්ව පෙරට ආ යුතුය. ආසියාවේ සෙසු රටවලත් යුරෝපා ආදී රටවලත් වංචා දූෂණ පසුපස හඹා යන්නේ සිවිල් සමාජයයි.

ආණ්ඩුවේ වග කිවයුත්තන් අතින් එම යුතුකම හරිහැටි ඉටු නොවේ නම් සිවිල් සමාජය හෝ යුක්තිය සාධාරණය උදෙසා සටන් කළ යුතුය. වෙනදාටත් වඩා යුතුකම් හා අයිතිවාසිකම් ගැන කතා කරන මේ යුගයේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරගත යුත්තේ ජනතාව විසින්මය. ප්‍රකට අප්‍රිකානු පිරුළකට අනුව ‘අප අපේ හතර මායිම් ආරක්ෂා කර නොගතහොත් මායිම් අප ළඟට පැමිණෙනවා ඇත.’ එහෙයින් අප පමා නොවී මේ කොන්ක්‍රීට් කණු 4ට රුපියල් ලක්ෂ 800ක් වැය කළ කොන්ත්‍රාත්කරුවා අල්ලාගෙන ඔහු නීතිය හමුවට පැමිණවිය යුතුය. එසේ නොකළොත් ශ්‍රී ලංකාව නීතියක් නැති අවනීතිය රජකරන රටක් බවට පත්වෙයි.

(ලන්කාදීප)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website