Thursday, 11 July 2019 03:40

සිලෝන් ටී නාමය කෙලෙසද්දී නීතියේ දෙවඟන නිදාගෙන

උපතින්ම ඉඩම් හිමි වැවිලිකරුවකු වන අනුර අතුකෝරල මහතා අතුකෝරල සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා සේම කළමනාකාර අධ්‍යක්‍ෂවරයාද වෙයි. ඇල්පිටිය ආනන්දයෙන් මූලික අධ්‍යාපනය ලබා පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණි අනුර මහතා උසස් අධ්‍යාපනය ලබා ඇත්තේ සිංගප්පූරුව හා ජපානයෙනි. ඒ රටවලින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව ඉගෙන ගත් හෙතෙම “කළයුත්තේ කුමක්ද” විශේෂාංගයෙන් අද කතාකරන්නේ තේ කර්මාන්තයේ පැවැත්ම සඳහා කළයුතු හා නොකළ යුතු දේවල් පිළිබඳව ය.

තේ වගාකරුවන්ට අද තිබෙන ප්‍රධානම ගැටලුව කම්කරු හිඟයයි. කිසිම රජයකින් හෝ තේ වගාවට සම්බන්ධ කිසිම රාජ්‍ය ආයතනයකින් එයට පිළියම් ලැබී නැත.

අතීතයේ මවුපියන්ගෙන් පසු දරුවනුත් ඊට පසු ඒ දරුවන්ගේ දරුවනුත් තේ දළු නෙළීමේ කටයුත්තට අවතීර්ණ වුවත් දැන් එසේ සිදු නොවෙයි. අලුත් තරුණ පරම්පරාව දළු නෙළීමේ කටයුත්තට අකැමැතිය. ඔවුන් කැමැති එක්කෝ කර්මාන්ත ශාලා ඇතුළේ කෙරෙන කටයුතුවලටය. නැතිනම් කාර්යාලයීය  රැකියාවලටය. තවත් පිරිසක් රැකියා සොයා එතෙර යති. එහෙයින් ශ්‍රමික හිඟය තේ කර්මාන්තයට බරපතළ ප්‍රශ්නයකි. තාවකාලික පදනම මත හෝ ඉන්දියාව වැනි රටකින් කම්කරුවන් ගෙනැවිත් දෙන්නැයි අප රජයවලින් ඉල්ලීම් කර තිබේ. එහෙත් මෙතෙක් පැවැති කිසිම රජයකින් ඒ ඉල්ලීමට සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී නැත.

තේ දළු නෙළීමට ශ්‍රමිකයන් නැතිවීම තේ දළුවල ප්‍රමිතියට බලපා තිබේ. උදාහරණයකට වගේ තේ ඉඩම්වල දළු කඩන්නේ සෑම සතියකම සඳුදා දවස්වලය. අඟහරුවාදා තවත් කෙනෙකුගේ ඉඩමේ දළු කඩයි. බදාදා දළු කඩන්නේ තවත් කෙනෙකුගේ ඉඩමක ය. ඉඩම් හිමියන් කාගේත් පහසුව සඳහා ක්‍රියාත්මක වන ඒ ක්‍රමය මත මගේ ඉඩමේ නැවත දළු කඩන්නේ ඊළඟ සඳුදාය. මේ සඳුදා මගේ ඉඩමේ දළු කැඩීමට නොපැමිණෙන කම්කරුවා නැවත මගේ ඉඩමට පැමිණෙන්නේ ලබන සඳුදාය..

එවිට මගේ ඉඩමේ දළු කැඩෙන්නේ සති දෙකකට පසුවය. එහෙත් ප්‍රමිතියෙන් යුතු දළු ලබා ගැනීමට නම් සතිපතා දළු කැඩිය යුතුය. සති දෙකින් දෙකට කඩන විට කැඩෙන්නේ ප්‍රමිතියෙන් තොර දළුය. මෝරපු දළුය. මෝරපු දළු ප්‍රමිතියෙන් තොරය. මෝරපු දළුවලින් ගුණාත්මකභාවයෙන් ඉහළ තේ නිෂ්පාදනය කළ නොහැකිය.

තේ කුඩුවල බර හා වර්ණය වෙනස් කර ගැනීම සඳහා ඇතැමුන් සීනි හා වෙනත් රසායනික වර්ග මිශ්‍ර කිරීමට පෙළඹි සිටින්නේද ගුණාත්මකභාවයෙන් තොර දළුවලින් තේ නිෂ්පාදනය කිරීමට සිදුවී තිබෙන නිසාය. එහෙත් සියලු දෙනා එසේ නොකරති. එසේ ඇතැමුන් තේ දළුවල ප්‍රමිතියක් නැතිකම නිසාම නොව කූට හා ජාවාරම්කාර අරමුණු මතම නිමි තේවලට විවිධ දේවල් මිශ්‍ර කරන බවද අසත්‍යයක් නොවේ. පුරා අවුරුදු 150ක් තිස්සේ ‘සිලෝන් ටී’ වලට ලෝකය පුරා තිබූ පිළිගැනීම නම, භක්තිය අද ක්‍රම ක්‍රමයෙන් ක්‍ෂය වෙමින් යන්නේ මේ ජාවාරම්වල මහිමයෙනි. ජපානය දැන් තම රටට ලංකාවේ තේ ගෙන්වා ගැනීම තහනම් කර තිබේ. එයට හේතු වූයේ එම්.සී.පී.ඒ. නමැති රසායනික වර්ගය අපේ තේ වගාවට යෙදීමය. එම්.සී.පී.ඒ. යනු තේ වගාවේ වල් මර්දනයට යෙදූ රසායනිකයකි. එසේම එය හෝමෝනයකි. අපේ රට වගේ නොව ජපන් රජය තම රටේ ජනතාව කන බොන දේවල් පිළිබඳව දක්වන්නේ ඉහළ සැලකිල්ලකි. එරට නිලධාරින් ලංකාවෙන් යැවූ තේ සාම්පල්වල රස පරීක්‍ෂා කරද්දී ඉහත රසායනික වර්ගය අපේ තේවලට යොදා තිබෙන බව අනාවරණය වී තිබේ. ඒ නිසා ජපානය ලංකාවෙන් එරටට යැවූ තේ නැව්පිටින්ම මෙරටට හරවා එවා තිබේ.

අතීතයේ ලංකාවේ තේවලට ජාත්‍යන්තරයේ තිබූ සහතිකය “සිලෝන් ටී” කියන නාමයයි. සිලෝන් ටී කී සැණින් එය ප්‍රමිතියෙන් ඉහළ අනර්ඝ තේ වර්ගයකි යන පිළිගැනීම එකල ජාත්‍යන්තරයේ පැවැතිණි. එහෙත් අද ජාත්‍යන්තරයේ සිලෝන් ටීවලට ඒ පිළිගැනීම නැත. අතීතයේ තේ නිපදවන අනෙක් රටවල් උත්සාහ කළේ “සිලෝන් ටී” තත්ත්වයට පැමිණීමට ය. එහෙත් අද සිදුවී ඇත්තේ අනෙක් රටවල තත්ත්වයට සිලෝන් ටී ද ඇදවැටීමය. ලෝකයේ වැඩියෙන්ම තේ නිෂ්පාදනය කරන්නේ චීනයේය. චීනයේ නිෂ්පාදනය කරන තේ වෙනත් රටවලට නොයවයි. ඔවුන් තම නිෂ්පාදනය 100% ක්ම තම රටේ පරිභෝජනයට යොදා ගනී. ලොව දෙවැනි තේ නිෂ්පාදකයා ඉන්දියාවයි. ඉන්දියාව අතීතයේ පිට රටවලට තේ නොයැව්වත් දැන් එරටද තේ අපනයනය කරයි. ලංකාවට අහිමි වන ජාත්‍යන්තර තේ වෙළෙඳපොළ අද අත්පත් කරගනිමින් සිටින්නේ ඉන්දියාව, කෙන්යාව වැනි රටවල්ය.

චීනය ලෝකයේ තේ නිෂ්පාදනය කරන රටවල් අතරින් අංක එකේ සිටියද හොඳ තේ එරටට ගෙන්වා ගනියි. ඒ නිසා අපේ සමාගම්වලට ද චීනයට තේ යැවීමේ භාග්‍යය උදාවී තිබේ. අප චීනයට තේ යවන්නේ අතරමැදියන්ගෙන් තොරව ඍජුවම ය. චීනය තම රටේ නිපදවන තේ පිටරටවලට යවන්නේම නැත. එරට නිෂ්පාදනය ඉහළ තිබුණාට එය රටේ ජනගහනයට ප්‍රමාණවත් නැත. ඔවුන් වැඩියෙන් නිෂ්පාදනය කරන්නේ “ග්‍රීන් ටී” ය. එහෙත් දැන් එරට ‘බ්ලැක් ටී’ වලට ද ඉල්ලුමක් ඇති වෙමින් පවතී. අපේ සමාගම චීනයට යවන්නේද ‘බ්ලැක් ටී’ ය. චීනය සේම ජපානය හා යුරෝපයේ රටවල් ද ඉල්ලන්නේ ප්‍රමිතියෙන් ඉහළ තේ ය. මිල ඔවුනට ප්‍රශ්නයක් නොවේ. ප්‍රමිතියෙන් ඉහළ තේවල මිල ද  ඉහළය. ඒ රටවල් ඉල්ලන්නේ මිලෙන් බාල තේ නොව ප්‍රමිතියෙන් ඉහළ තේ ය. විදේශ විනිමය අර්බුදයකින් පෙළෙන ලංකාවට අවශ්‍ය ඒ රටවල වෙළෙඳපොළය. ඒ රටවලට වැඩියෙන් තේ යැවිය හැකි නම් ලංකාවට වැඩියෙන් ඩොලර් ගෙන්වා ගත හැකිය.

එහෙත් ලංකාව දැන් වැඩියෙන් කරන්නේ රුසියාව හා ඉරනය වැනි මැදපෙරදිග රටවලට තොග වශයෙන් තේ යැවීමය. ඒ රටවලින් අපට ඉහළ මිලක් ලැබෙන්නේද නැත. ඒ රටවල් අපෙන් තේ ගන්නේ ප්‍රමිතිය මත නොව මිල මතය. මැදපෙරදිග බොහෝ රටවල දේශපාලන හා ආර්ථික ප්‍රශ්න තිබේ. විශේෂයෙන් ඉරානයට තිබෙන ජාත්‍යන්තර සම්බාධක නිසා අපෙන් එරටට යවන තේවලට මුදල් ගෙන්වා ගැනීමේදී ප්‍රශ්න මතු වී තිබේ. ඉරානය, ඉරාකය තුර්කිය වැනි රටවල පවතින ආර්ථික හා දේශපාලන ප්‍රශ්න නිසා අප තවදුරටත් ඒ රටවල් මත යැපීම ඥානාන්විත ක්‍රියාවක් නොවේ. අනෙක ඒ රටවලින් අපට ඉහළ මිලක්ද නොලැබෙයි. එහෙයින් අප අලුත් වෙළෙඳ පොළ සොයා ගත යුතුය. මගේ වැටහීම් අනුව අප රටක් ලෙස දැනටමත් පමා වැඩි ය. එසේම අතීතයේ අපට තිබී අහිමි වූ යුරෝපීය රටවල වෙළෙඳපොළ ද යළි ජයගත යුතුය. දැන් යුරෝපයේ තිබෙන්නේ වෙනත් රටවල තේ ය. දැන් ඒ රටවල තිබෙන්නේ ‘ඉන්ටනැෂනල් බ්ලෙන්ඞ්’ නමින් හඳුන්වන කලවම් තේ ය. ඒ තේ නිෂ්පාදනය කළේ මොන රටවල ද කියා කිසිවෙක් නොදනිති. ඩුබායි රට අද තේ වෙළෙඳාම් කේන්ද්‍රස්ථානයකි. එරට විවිධ රටවලින් තේ ගෙන්වා මිශ්‍ර කර නොයෙක් රටවලට යවයි. “ඉන්ටනැෂනල් බ්ලෙන්ඞ්” නමින් බොහෝ දුරට හඳුන්වන්නේ ඩුබායිවලදී මිශ්‍ර කරන ඒ තේ ය. සිලෝන් ටී නාමය කෙලෙසීමට ඩුබායිවල කෙරෙන ඒ අපරාධය ද හේතු වී තිබේ. මේ අයුරින් “සිලෝන් ටී” වලට ලෝකය පුරා පැවතුණු කීර්තිනාමය වැනසෙමින් යන්නේ අවුරුදු දහයක පමණ සිටය. බලධාරීන්ට වුවමනාවක් තියෙනවා නම් මේ තත්ත්වය නැති කිරීමට දැන් වුවත් ක්‍රියාත්මක විය හැකිය.

ජපානය ලංකාවේ තේ ගෙන්වා ගැනීම තහනම් කළ ද අපි අපේ සමාගමේ තේ ජපානයට යැවීම දිනටම කරගෙන යන්නෙමු. ඒ අපේ තේ ඉහළ ප්‍රමිතියකින් නිෂ්පාදනය කරන නිසාය. අනෙක් සමාගම්වලටද එසේ කළ හැකිය. ඒ  සඳහා ඔවුනට රාජ්‍ය ආයතනවල මඟ පෙන්වීම අවශ්‍යය ය. අප ඒ සියල්ල කරන්නේ ස්වෝත්සාහයෙනි. චීනය ද අපේ තේ ගැනුම්කරුවකු බව අපි ඉහත සඳහන් කළෙමු. එසේ යුරෝපයේ රටක් වන චෙක් ජනරජයටද අපි  ඍජුව තේ අපනයනය කරන්නෙමු. චෙක් ජනරජය හරහා යුරෝපය පුරා අපේ තේ බෙදාහැරීම අප දැනටමත් ගිවිසුම් අත්සන් කර තිබේ. අප ඒ ගිවිසුම් අත්සන් කළේ පසුගිය අප්‍රේල් මාසයේදීය. චීනය අපෙන් ගන්නේ “බ්ලැක් ටී” ය. ඊට අමතරව “සිල්ව ටිප්ස්, ගෝල්ඩන් ටිප්ස්” වැනි නම්වලින් හඳුන්වන විශේෂිත තේ වර්ග අප කියන මිලටම මිලදී ගැනීමට චීනය සූදානම්ය. මට හිතෙන හැටියට ලංකාවේ සමස්ත නිෂ්පාදනයම චීනයට දිය හැකිය. චීනය කේවල් කිරීමකින් තොරව අප ඉල්ලන මිල දීමට සූදානම්ය. රුසියාව හා මැදපෙරදිග රටවල් තේ මිලදී ගැනීමේදී කේවල් කරයි. එසේම ණයට ඉල්ලයි. ණයට ගන්නා තේවලට මුදල් ගෙවන්නේ මාස හයකින් හෝ අවුරුද්දකින් පසුවය. එයද අපේ තේ කර්මාන්තය අද මුහුණ දී සිටින බරපතළ කාරණයකි. එහෙත් චීනය, ජපානය හා චෙක් ජනරජය අත්පිට මුදලට තේ මිලදී ගැනීමට සූදානම් ය. ඒ රටවල් ඇණවුම සමග මුදල්වලින් සියට 50කුත් සැපයූ පසුව ඉතිරි 50%ක් ගෙවා දමයි. එය 100%ක් සුරක්ෂිතය. රුසියාව වැනි රටවල තේ යැවූ ඇතැමුන්ට දෙවැනි තුන්වැනි වතාවට යැවූ තේවලට මුදල් ලැබී නැති කතා ද අසන්නට ලැබෙයි. ඒ හේතු මත ඇතැම් අපනයනකරුවන්ගේ ව්‍යාපාර ද කඩා වැටී තිබේ.
එහෙයින් ගතානුගතිකව පාරම්පරිකව අප තේ යැවූ රටවල් මතම නොයැපී අප අලුත් රටවල් දෙසට යොමුවිය යුතුය. යොමු කළ යුතුය. ඇතැම් රටවල් භාවිත කරන්නේ කෝපි ය. ඒ රටවල් තේ ගැන දන්නේ නැත. අප එවැනි රටවල වෙළෙඳ පොළට ඇතුළත් විය යුතුය. උදාහරණයකට අසර්බයිජාන් හා බෙලරූස් යන රටවල් දෙස අපි දැන් යොමු වී සිටිමු. ඒ රටවල නියෝජිතයන් අපේ කර්මාන්ත ශාලාවට පැමිණ බලා අපේ තේ බී අපේ තේවලට පැහැදී අපට පුංචි ඇණවුම් දැනටත් ලබාදී තිබේ. තම රටවල තේ අලෙවි සල් විවෘත කිරීමට ද දැන් ඒ රටවල් සූදානම් වෙයි. ඒ විවෘත කිරීම්වලට සහභාගිවන්නැයි අපටද ඇරියුම් කර තිබේ. මෙරට තේ කම්හල් හිමියන් කව්රුත් දැන් කළ යුත්තේ එලෙසය. අස්ථාවර ආර්ථික හා දේශපාලන තත්ත්වයන් පවතින, ණයට තේ ඉල්ලන හා ගත් තේවලට මුදල් නොගෙවන රටවලට තව දුරටත් තේ යැවීම තේරුමක් තිබේදැයි අපේ තේ කම්හල් හිමියන් දැන්වත් කල්පනා කළ යුතුය. අතරමැදියන්ගෙන් තොරව කම්හල් හිමියාව ඍජුව තේ අපනයනය කළ යුතුය. එමගින් හොඳ ආදායමක් ද උපයා ගත හැකිය. අප එසේ  කළ යුත්තේ අපේ රට වර්තමානයේදී බරපතළ විදේශ විනිමය අර්බුදයකින් පෙළෙන හෙයිනි.

එහෙයින් සියලු අපනයනකරුවන් කළ යුත්තේ රටට වැඩි වැඩියෙන් ඩොලර් උපයා ගත හැකි ව්‍යාපාර ය. තේ කම්හල හිමියාට හොඳ මිලක් ලැබෙන විට එහි වාසිය හිමි වන්නේ කුඩා තේ වතු හිමියන්ටය. අප ලබන ආදායමෙන් 68% ක් ලැබෙන්නේ අපට දළු සපයන්නාටය. දේශීය වෙළෙඳපොළේ දී අපට තේ කිලෝවකට ලැබෙන්නේ රුපියල් 600 නම් එයින් තේ වවන්නාට හිමිවන්නේ සියයට 68කි. එහෙත් විදෙස් වෙළෙඳ පොළට ඍජුව අපනයනය කිරීමෙන් තේ කිලෝවට රුපියල් 1800ක් ලැබුණොත් එයින්ද 68%ක් තේ වවන්නාට හිමි වෙයි. ඍජුව තේ අපනයනය කිරීමෙන් තේ කම්හල් හිමියන්ට සේම අපේ තේ වගාකරුවන්ටද වාසි අත්වෙයි. අතරමැදියන්ගෙන් තොරව අප අලුත් අලුත් වෙළෙඳපොළවල් සොයා ගෙන තේ අපනයනය කළ යුත්තේ එහෙයිනි. දැන් තේ වෙළෙඳාමේ සිටින අතරමැදියන් සංඛ්‍යාව ඉතා ඉහළය. වැඩි මිලක් යන්නේ ඔවුන් අතටය. එහෙත් ඔවුහු තේ වැවිලිකරුවා හා කම්හල් හිමියන් තරම් වෙහෙස මහන්සි නොවෙති. අතරමැද සිට මහා පරිමාණයෙන් ලාබ උපයති. නීති විරෝධි කටයුතු කරමින් තේ ව්‍යාපාරය අගාධයට ඇද දමන්නෝද ඒ අතරමැදියෝය. එසේම “සිලෝන් ටී” නාමය විනාශ කළෝද ඔවුහුය. ඔවුනට තව දුරටත් මේ ජාවාරම් කිරීමට ඉඩ නොදිය යුතුය.

තේ වගාවේ හා ව්‍යාපාරයේ නියුතු අය මේ ව්‍යාපාරයට ආදරය කළ යුතුය. ඒ සියල්ලෝම යැපෙන්නේ මේ ව්‍යාපාරයෙනි. මා දකින ආකාරයට ලංකාවේ සමස්ත ජනගහනයෙන් 50%ක් පමණ තේ ව්‍යාපාරයට සම්බන්ධය. ඉන් ඇතැම් අය ඍජුවත් තවත් පිරිසක් වක්‍රවත් මේ ව්‍යාපාරයට බද්ධ වී සිටිති. වවන්නෝ පැළ සපයන්නෝ කම්හල්කරුවෝ දළු ප්‍රවාහකයෝ, තෙල් පොහොර නිපදවන්නෝ හා සපයන්නෝ තේ පැකට් කිරීමට සේම ඇසිරීමට ටින් හා පෙට්ටි නිෂ්පාදනය කරන්නෝ සහ ඒවා සපයන්නෝ ලෙස තේ ව්‍යාපාරයට සම්බන්ධ පිරිස ඉතා සුවිශාල වෙති. බැංකු හා රක්‍ෂණ ක්ෂේත්‍ර ද මීට ඇතුළත් වෙයි. සිලෝන් ටී. නාමය රැකගෙන ලංකාවේ තේ කර්මාන්තය නඟා සිටුවිය යුත්තේ එහෙයිනි. ප්‍රචාරණ කටයුතු ඉහළ නැංවිය යුතුය. ගුණාත්මකභාවය ආරක්‍ෂා කරගත යුතුමය. එය නොකළහොත් අපේ වළ කපා ගන්නේ අප විසින්මය. රට අභ්‍යන්තරය ගැන සිතා කටයුතු කිරීම අතාර්කිකය. මක් නිසාද යත් ලංකාවේ නිපදවන තේවලින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් අපනයනය කරන බැවිනි. රට ඇතුළේ පාවිච්චි කරන තේ ප්‍රමාණය ඉතා අඩුය. අපේ රටේ වැඩි පිරිසක් බොන්නේ දියුණු රටවලින් ප්‍රතික්‍ෂේප වූ රස හා වර්ණ ගැන්වූ කෘත්‍රිම බීම වර්ගය.

එහෙත්  විදේශිකයන්ට අපේ තේ ඉතා ඉහළය. ඔවුන්ට ලංකාවේ තේ තරම් ඉහළ බීමක් තවත් නැත. “සිල්ව ටිප්ස්, ගෝල්ඩන් ටිප්ස්, වයිට් ටී’ වැනි විශේෂිත තේ වර්ග ලාංකිකයන්  පාවිච්චි කරන්නේම නැත. එහෙත් චීන්නු, ජපන්නු හා යුරෝපීයයෝ අපෙන් වැඩි මිලට ඒ තේ වර්ග මිලදී ගනිති. ඒ තේවල ගුණය ඉතා ඉහළය. ඉතා අධික මිලට ඔවුන් ඒ තේ වර්ග අපෙන් මිලදී ගන්නේ එහෙයිනි. ඒ ඇතැම් තේ කිලෝවක මිල රුපියල් ලක්ෂයකට වැඩිය. ලක්‍ෂයක් වන්නේ තොග හැටියට යැවීමේදීය. කිලෝවට අඩු ප්‍රමාණවලින් වෙන වෙනම අසුරා යැවීමෙන් ඒ තේ කිලෝවකට රුපියල් ලක්‍ෂ තුනක් පමණ ලබාගත හැකිය. පුංචි පුංචි ප්‍රමාණවලින් තේ ඇසිරීමට ලංකාවේදී යන වියදම ද ඉතා විශාල ය. ඇතැම් අවස්ථාවල දී වැඩි වියදමක් යන්නේ තේවලට නොව ඇසීරීම් ද්‍රව්‍යවලට හා ඇසිරීමටය. ඇසුරුම්ද ඉහළ නිමාවකින් තිබිය යුතුය. ඇතැමුන් ගුණාත්මකභාවය තීරණය කරන්නේ ඇසුරුම මතය.

සිලෝන් ටී” නාමයේ පහරන්නේ අතළොස්සකි. රජය, අමාත්‍යංශය හා අදාළ ආයතන ඒ පුද්ගලයන්ට එරෙහිව පියවර ගත යුතුය. දියුණු රටවල් තමන් කන බොන දේවල් ගැන උපරිමයෙන් සොයා බලයි. ඔවුන් අපට ඉහළ මිලක් ගෙවන්නේ ගුණාත්මකභාවයෙන් ඉහළ මට්ටමක තිබෙන්නේය. යන විශ්වාසයෙනි. සීනි ග්ලුකෝස් හා වෙනත් රසායනික ද්‍රව්‍ය දමා සිලෝන් ටී නාමයෙහි පහරන්නන් කරන්නේ අපට දැනට තිබෙන වෙළෙඳ පොළද අහුරා දැමීමය. ඔවුනගේ ඒ කටයුතු නවතා දැමීමට අවශ්‍ය තරමට රටේ නීති ද තිබේ. ආයතන රාශියක් ද තිබේ. එහෙත් ප්‍රශ්නයකට තිබෙන්නේ නීතිත් ආයතනත් ක්‍රියාත්මක නොවීම ය.

(ලන්කාදීප)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website