Thursday, 11 July 2019 03:42

භූ දේශපාලනය

ආචාර්ය සුනිල් රණසිංහ (මානවවිද්‍යා Anthropology සහ සත්ව චර්යාවිද්‍යාව Ethology)

ගෝලීය මානව සමාජය ඉතා වේගයෙන් වෙනස් වෙයි. තාක්ෂණික සහ සමාජ පිම්ම (technical and social leap) යනුවෙන් මෙම වෙනස හැඳින්වෙයි. බොහෝ රාජ්‍යයන් හි දේශපාලනය ඉතා අර්බුදකාරී සහ ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන ඇත.

ආර්ථික සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ චීනයේ ඉදිරි පිම්ම, 2018 මැදභාගයේ යුරෝපයේ ජාතිකවාදයේ මෙන්ම අන්ත දක්ෂිණාංශයේ නැ‍ඟීම, පරිවාර රාජ්‍යයන් ගේ අසමත්භාවය වර්තමානයේ දක්නට ලැබුණ විශේෂත්වයකි. එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 දෙසැම්බර් 04 දින රුසියාව සමඟ අත්සන් කළ අන්තර් මහාද්වීපික පරමාණු මිසයිල ගිවිසුමෙන් (Intermediate-range Nuclear Forces Treaty) 2019 පෙබරවාරි මස ඉවත්වන බව ප්‍රකාශ කිරීම තුන්වන ලෝක යුද්ධයක අනතුර වෙත සමස්ත ගෝලීය ප්‍රජාව කැඳවා යාමකි. ඉහත ප්‍රකාශය නිසා උක්ත ගිවිසුමට අනුව කි. මී. 500 - 5500 අතර දිග දුර විදිය හැකි භූමි පාදක මිසයිල නිපදවා නොසිටීමේ පොදු එකඟතාව උල්ලංඝණය වේ. 1987 දී අත්සන් තැබූ මෙම ගිවිසුමට අනුව එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය යුරෝපයේ තිබුණු මධ්‍යම ප්‍රමාණයේ පරමාණු මිසයිල දහසක් පමණ අක්‍රීය කිරීම සහ නැවත නිපදවීමෙන් වැළකීම ගෝලීය සාමය සඳහා ගත් වැදගත් පියවරකි. ගිවිසුම තවමත් වලංගුය. අත්සන් නො තැබූ චීනයට ද මෙම ගිවිසුමෙන් අවි නිෂ්පාදනය සඳහා සීමා අවස්ථා පනවා තිබිණ. සුවිශාල අවි ගබඩාවක් මෙන් ම නවීන තාක්ෂණික මිසයිල පද්ධතියක් චීනය සතුය. 2013 වසර සිට රුසියාව භුමි පාදක කෲෂ් මිසයිල නිපදවන්නේ යැයි අමෙරිකාව චෝදනා නැ‍ඟීය. 1991 සෝවියට් දේශය බිඳවැටීමත් සමඟ දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු සීතල යුද්ධය අවසන් වූව ද ලෝක ආධිපත්‍යය සඳහා වූ අරගලය සහ විරසකභාවයේ නිමාවක් ඇති නො වීය. එය අළුයට ගිනි පුපුරු මෙන් වරින් වර උණුසුම් විය.

ආර්ටික් අර්බූදය

ආර්ටික් මුහුද සහ යුක්රේනය මුල්කරගත් භූ දේශපාලනික අර්බුදය රුසියාව සහ එක්සත් ජනපදය අතර විරසකයක් නිර්මාණය කර ඇත. වර්තමානයේ දියුණුව ලබා ඇති උසස් තාක්ෂණයට අනුව මෙම ගිවිසුම බලරහිත වීමෙන් රුසියාවට, එක්සත් ජනපදයට පමණක් නොව චීනයට ද පරමාණු මිසයිල නිපදවීමට අවස්ථාව ලැබේ.

මෙම අර්බුදය තුළ බටහිර සහ නැගෙනහිර යුරෝපයේ ප්‍රතිචාර ඉතා වැදගත්ය. මක් නිසාද යත් ඔවූහු පරමාණු අවි සංචිතකයක උරුමකරුවන් බැවිණි. යුක්රේනයට රුසියානු මැදිහත්වීම නිසා එක්සත් ජනපදය ආර්ථික සහ දේශපාලන සම්බාධක පනවා ඇත. එමෙන්ම ජනපති ට්‍රම්ප් 2018 වසර අවසානයේ රුසියානු ජනපති පූටින් සමඟ සාකච්ඡා ප්‍රතික්ෂේප කිරීම නිසා ක්‍රෙම්ලින පරිපාලනය එක්සත් ජනපදය වෙත යහපත් ප්‍රතිචාරයක් නො දැක්වීමට තීරණය කළේය. පසුගිය කාලය පුරා විදේශ රාජ්‍යයන්ගේ මැතිවරණ සඳහා රුසියානු මැදිහත්වීමක් දක්නට ලැබිණ. බොල්කන් සහ පැරණි සොවියට් දේශයෙන් බින්න වූ රාජ්‍යයන් වෙත මෙම බලපෑම විවිධ අවස්ථාවල පැහැදිලි ව ප්‍රදර්ශනය විය. මේ අතර ඇෆ්ගින්ස්තානයෙන් සහ සිරියාවෙන් සිය හමුදා සේනාංක ඉවත් කර ගන්නා වග 2018 වසර අවසානයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. එය සැබවින්ම රුසියාව දීර්ඝ කාලීන ව අපේක්ෂා කළ දේශපාලනික උපායමාර්ගයකි. රුසියානු සහ එක්සත් ජනපද දේශපාලන විරසකය රාජ්‍යයන් දෙකටම යුද අවි නිෂ්පාදනය සහ භූ දේශපාලනික මැදිහත්වීම්වලට විශාල අවකාශයක් නිර්මාණය කරනු ඇත.

බදු සටන

G 20 සමුළුවේ දී ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනපති ෂි ජින්පින්ග්, දින 90 ක් පුරා දෙරට අතර අර්බූදයක්ව පැවැති චීන ආනයන වෙළෙඳ භාණ්ඩ මත පැනවූ ඩොලර් බිලියන 200 අමතර බදු 2019 පෙබරවාරි මස අවසන් කිරීමේ එකඟතාවයකට පැමිණියහ. මෙය වෙළෙඳ පොළ යුද්ධය ලෙස හැඳින් වේ. එහෙත් එක්සත් ජනපද වෙළෙඳ දෙපාර්තමේන්තුව වාහන ආනයනය ආරක්ෂාවට තර්ජනයක් යැයි ප්‍රකාශ කරයි. මෙම තත්ත්වය මත ලෝක වෙළෙඳ සංවිධානයේ තාක්ෂණික නීතී මඟහරිමින් චීනයෙන් කාර් ආනයනය සඳහා විශාල බද්දක් අයකිරීමට අමෙරිකාව තීරණය කර ඇත. නව බදු ක්‍රමය නිසා යුරෝපයේ විශේෂයෙන් ම ජර්මනියේ වාහන නිෂ්පාදකයන් ද අසීරුතාවට පත්වනු නියතය. වාහන අපනයනයට තහංචි පැනවීමෙන් එක්සත් ජනපදය යුරෝපා සංගමය සමඟ සීතල වෙළෙඳ යුද්ධයකට අවතීර්ණය ව සිටී. ආර්ථික අවපාතය නිසා යුරෝපා සංගමයේ සාමාජික රාජ්‍යයන් හි ජාතිකවාදී දේශපාලනය හිස ඔසවයි. බොහෝ රාජ්‍යයන් හි අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් සහ නව නාසිවාදයේ අවතාර සක්මන් කරයි.

2015 සිට න්‍යෂ්ටික අවි නිපදවීමේ සැකය මත ඉරානයට පනවා ඇති වෙළෙඳ සහ දේශපාලනික සම්බාධක අන්තර් මහාද්වීපික පරමාණු මිසයිල ගිවිසුමෙන් එක්සත් ජනපදය (Intermediate-range Nuclear Forces Treaty) ඉවත්වීමෙන් බල රහිත වේ. තවද ඊශ්‍රායලය, සවුදි අරාබිය සහ එක්සත් අරාබි ජනරජයට ඉන් කුමන වාසි අත්වේදැයි තක්සේරු කර නැත. යම් අයුරකින් ඉරානය නැවත න්‍යෂ්ටික අවි නිපැයුම කෙරෙහි අවධානය යොමු කළහොත් එය මැදපෙරදිගට මෙන්ම ගෝලීය සාමයට තර්ජනයකි. තවද සම්බාධක හේතුවෙන් හොමූෂ් සමූද්‍ර සන්දියේ නාවුක ගමනාගමනය අවහිර කිරීමට ඉරානය පියවර ගතහොත් ලෝකයේ තෙල් ප්‍රවාහනයෙන් 30% ක් අහිමිවනු ඇත. 2018 වසර වන තෙක් උතුරු කොරියාවේ හැසිරීම ගෝලීය ආරක්ෂාවට තර්ජනයක් යැයි එක්සත් ජනපදය නිරතුරු ව කියා සිටියේය. 2018 ජූනි සමුළුවෙන් පසු බැලස්ටික් මිසයිල අත්හදාබැලීම අවසන් කිරීමට උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් එකඟතාව පළකිරීමෙන් න්‍යෂ්ටික උණුසුම තරමක් පහව ගිය ද න්‍යෂ්ටික අත්හදාබැලීම් අත්හළ බවට තවමත් සහතිකයක් දී නැත. රුසියානු විශේෂ කාර්ය බලකාය අෂාව් මුහුදේ දි යුක්රේන නාවික යාත්‍රා තුනක් අත්අඩංගුවට ගැනීමත් සමඟ නැගෙනහිර යුක්රේන නිද්‍රාවට පත් ගැටුම 2018 නොවැම්බර් මාසයේ නැවතත් උණුසුමු විය. යුක්රේනයට භාණ්ඩ ප්‍රවාහනය කරන වෙළෙඳ නෞකාවලට රුසියාව සැප්තැම්බර් මාසයේ සම්බාධක පනවා තිබිණ.

නව සේද මාවත

චීනයේ ආර්ථික සංවර්ධනය හා දේශපාලනික බලපෑම නව සේද මාවත “Belt and Road”සැලසුම මත ඉතා පැහැදිලි ව සටහන් ව ඇති අතර චීනය 21 වන සියවසේ නව අධිරාජ්‍යයක් ගොඩනගමින් සිටී. මෙම ආර්ථික සැලසුම රාජ්‍යයන් ගිල ගන්නා ණය උගුලකින් හා වෙළෙඳ මායාවකින් ආවරණය වී ඇත. දැනටමත් චීන ජනපති ෂි ජින්පින් සිය අභිලාසය මත ලෝක ගෝලයේ අඩක් නව සැලසුමට අන්තර්ග්‍රහණය කර අවසන්ය. ෂි ජින්පින් නව සැලසුම 2013 වසරේ ප්‍රථමවරට යෝජනා කළේය. මෙම සැලසුම තුළ විදේශ ප්‍රතිපත්ති සහ ආර්ථික උපායමාර්ග සටහන් වී ඇත. නව සේද මාවත ව්‍යාපෘතියට එක්සත් ජනපදය සහ ජපානය තුළ දිනෙන් දින විරෝධය ගොඩනැගෙමින් පවතී.

බලවතුන් අතර ඇතිවන විවිධ දේශපාලන වුවමනා හේතුවෙන් වඩාත් අපහසුතාවට මෙන්ම පීඩාවට පත්වන්නේ දුප්පත් රාජ්‍ය පද්ධතිය ය. ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය, පකිස්තානයේ ග්වාඩර් වරාය, මියන්මාරයේ සිත්වේ වරාය, කෙන්යාවේ මොම්බාෂා වරාය, ග්‍රීසියේ පිරාවුස් වරාය සහ මැලේසියාව දැනටමත් චීන බලයට යටත් වී ඇත. ඒවා චීන ණය උගුලේ දැවටුණ රාජ්‍යයන්ය. මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් චීන ණය ව්‍යාපෘතියට අනුව දුම්රිය මාර්ග හා ඉන්ධන නළ මාර්ග සංවර්ධනය සඳහා වීන ණය සහ සේවක මැදිහත්වීම මැලේසියාවේ ආර්ථිකයට කිසිදු ප්‍රතිලාභයක් ලබා දී නැතැයි පවසයි. නව සේද මාවත සඳහා මාර්ග, දුම්රිය මාර්ග, බලශක්ති මධ්‍යස්ථාන සඳහා ඩොලර් ත්‍රිලියන 1.3 ක් යෙදවීමට චීනය අපේක්ෂා කරයි. ඒ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙයුම මත අප්‍රිකාවේ හා ආසියාවේ චීන රාජ්‍ය හා සමාගම් ක්‍රියාත්මක වේ. මෙම වසරේ දකුණු අමෙරිකාව කැරිබියන් දූපත් හා ආර්ක්ටික් ප්‍රදේශයට නව සේද මාවතේ දිගුව ඇතුළු වේ. එමෙන්ම මෙම සියලු රාජ්‍යයන් චීනයේ නව චන්ද්‍රිකා මාර්ග සිතියමකින් සංජාල ගත කරයි. තවද මාලදිවයන් සමූහයට බල ශක්තිය, පැපුවා නිව් ගිනියාවට හා පිලිපීනයට වාරිමාර්ග පද්ධතියක් වැනි විශාල ව්‍යාපෘති මගින් සියලු රාජ්‍යයන් එකම ආර්ථික සහ වෙළෙඳ පොළ රැහැනකින් බැඳ දමයි. නව සේද මාවත වැඩසටහන මගින් දකුණු අමෙරිකා, අප්‍රිකා සහ ආසියා රජ්‍යයන් 76 කට චීන ආර්ථික සහ වෙළෙඳ පොළ ආධිපත්‍යය මත යැපීමට සිදු වේ.

2016 වසරේ විදේශ ණය බර නිසා ග්‍රීසිය දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පෑවේය. අවසන් විසඳුම ලෙස රාජ්‍ය සතු දේපොළක් වූ පිරාවුස් පුරාණ වරාය චීන රජයට අයත් China Cosco Shipping Corp සමාගමට විකුණා දැමීය. එය නව සේද මාවත සඳහා චීනය අපේක්ෂා කළ දෙයකි. මක්නිසාදයත් පිරාවුස් යුරෝපයේ වසර 2500 පැරණි ඉතා අගනා වරාය මුවදොරකි. ඩොලර් මිලියන 429. 5 ක් අගයක් ඇති මෙම ගනුදෙනුවෙන් 67% ක් වරායේ අයිතිය චීන සමාගම සතුවිය. 2017 වසරේ චීනය පකිස්තානයට අයත් හිමාල අඩවියේ විශාල වාරි යෝජනා ක්‍රමයක් සඳහා ඩොලර් බිලියන 14 ක් ආයෝජනය කළේය. නමුත් පකිස්තානය වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදයත් සමඟ එම ණය මුදල ආපසු ගෙවීමට හැකියාවක් නැත.

ණය ආයෝජන

පකිස්තානය ද ලංකාව මෙන්ම එම ණය උගුලට හසු විය. එමෙන්ම ඉම්රාන් ඛාන් රජය පන්ජාබ් ප්‍රාන්තයේ ගමනා ගමන ව්‍යාපෘතියක් සඳහා තවත් ඩොලර් බිලියන ගණනක මුදලක් අයෝජනය කිරීමට නියමිතය. චීනය, රුසියාව, ඉරානය වැනි රාජ්‍යයන් එකත්පසව භූ දේශපාලන අවශ්‍යතා මත ගෝලීය ආර්ථිකය හා වෙළෙඳ පොළ අත්පත් කර ගැනීමට දැවැන්ත ණය මුදල් හඹා යාමට සියලු මහාද්වීපවල දුප්පත් රාජ්‍යයන් පොළඹවන අතර, එක්සත් ජනපදය අනෙක් පසින් හමුදා ශක්තිය හා පාර ජාතික සමාගම් යොදා ගනිමින් ලෝක ආධිපත්‍යය සඳහා තරග වදිනු ඇත. යුරෝපා සංගමය ද සිය භු දේශපාලනික අවශ්‍යතා මත හැසිරෙයි. එහෙත් කිසිවෙක් සැබෑ ගැටලුව වූ පෘථිවියේ පාරිසරික බිඳ වැටීම හා දේශගුණික වෙනස පිළිබඳ අනාගත අවධානම වෙත අවධනය යොමු නො කරති. වර්තමානයේ ධනතන්ත්‍රවාදය මෙන්ම සමාජවාදය ද එකම න්‍යාය පත්‍රයක් මත ක්‍රියාත්මක වේ.

ඔබට ප්‍රතිසංස්කරණ මගින් ජනයාට ඉඩම් ලබා දිය නො හැකි වූ විට ඔවුන්ට දෙමුහුන් hybrid ගවයන් ලබා දෙන්න. ළමයින් පාසලට යැවිය නො හැකි වූ විට අවිධිමත් අධ්‍යාපනයට වෙර දරන්න. ජනයාට මූලික සෞඛ්‍ය පහසුකම් ලබා දිය නො හැකි වූ විට සෞඛ්‍ය රක්ෂණය ගැන කථා කරන්න. ඔවුනට රැකියා ලබා දිය නො හැකි වූ විට රැකියා අවස්ථා නමැති වදන නැවත නිර්වචනය කරන්න. ළමයින් වහල් මෙහෙවරේ යොදවන විට කරදර නොවන්න. ළමා ශ්‍රමයේ තත්ත්වය වර්ධනය වීම ගැන කථා කරන්න. ඒ හඬ ඉතා යහපත් ය. ඔබට එමගින් පවා මුදල් ඉපයිය හැකිය.”

(දිනමිණ)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website