Monday, 05 August 2019 10:29

රට රටවල කුණු නීතියේ ස්වභාවය සහ රිංගන ආකාරය

අතීත මිනිසා ‘කසළ’ නමින් හැඳින්වූයේ භාවිතයෙන් ඉවත් කරන දේවල් ය. ඔවුහු දිරාපත්වන ද්‍රව්‍ය පමණක් තෝරාගෙන පොහොර නිෂ්පාදනයට යොදාගත්හ. අතීතයේ කසළ යනු අවසන් අවස්ථාව වුවද ලෝකය දියුණුවෙත්ම කසළ කළමනාකරණය කරමින් කළ හැකි දෑ බොහෝ ය. නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් කසළ ප්‍රතිචක්‍රීකරණය කරමින් විශාල ආදායමක් උපයා ගැනීමට නූතන මිනිසා සමත්ය. එනිසාම වර්තමාන ලෝකයේ ‘කසළ’ ප්‍රතිචක්‍රීකරණය කර්මාන්තයක් බවට පත්ව තිබෙන අතර ලෝකයේ දියුණු රටවල කසළ, දියුණු වෙමින් පවතින රටවල ප්‍රධාන ධන උල්පතක් වෙමින් තිබේ. මෙම නියාමනය තුළ ආසියාතික රටවල් කැපී පෙනෙන අතර ශ්‍රී ලංකාව ද ‘කසළ’ ප්‍රතිචක්‍රීකරණය කොට ප්‍රතිඅපනයන තුළින් ආදායම් ලබන රටකි.

විදේශයන්හි අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට 2012 මාර්තු 30 වෙනි දින මුදල් පනතේ 16, 17 සහ 18 යන වගන්තිය සංශෝධනය කරමින් 2013 ජූලි 07 වන දින ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධියට පත් කෙරුණි. එවකට ජනාධිපතිවරයා මෙන්ම මුදල් හා සැලසුම් ඇමැතිවරයා වශයෙන් ද කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා තම බලය යොදාගනිමින් 2013 අංක 1818/30 ගැසට් නිවේදනයට අනුව වරායට පැමිණෙන බහාලුම් පරීක්ෂාවෙන් රේගු ආඥාපනත, ආනයන - අපනයන පාලන පනත හා විනිමය පනත ඉවත්කොට තිබිණි. නව ගැසට් පත්‍රයට අනුව විශේෂ අපනයන කේන්ද්‍රස්ථාන කීපයක් හඳුන්වා දුන් අතර කොළඹ හා හම්බන්තොට වරාය නිදහස් වරායන් වශයෙන්ද කොග්ගල හා කටුනායක නිදහස් සැපයුම් අපනයන කලාප වශයෙන් ද නම්කොට තිබුණි. වත්තල ගුවන් තොටුපොළ හා මිරිජ්ජවිල විශේෂ අපනයන සැකසුම් ස්ථාන ලෙස නම්කොට තිබූ අතර එකී ස්ථාන දෙපාර්තමේන්තු නියෝග මගින්ද තහවුරු කොට තිබුණි. එම පනත් සංශෝධන ගැසට් පත්‍රය නිකුත් වීමෙන් පසු විදෙස් අපද්‍රව්‍ය ලංකාවට ආනයනය කිරීමටත්, ඒවා ප්‍රතිචක්‍රීකරණයකොට ප්‍රතිඅපනයන කිරීමටත් අවශ්‍ය සමාගම්වලට අදාළ බලපත් ලැබුණි.

අපද්‍රව්‍ය වෙළඳාම

2013 වසරේ සිට අප රටේ ක්‍රියාත්මක වු අපද්‍රව්‍ය ආනයනය හා ප්‍රතිඅපනයනය, ඒ වනවිටත් ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, වියට්නාමය, පිලිපීනය වැනි ආසියාතික රටවල විශාල ධන උල්පතක් බවට පත්කරගෙන තිබුණි. ඔවුන් ප්‍රතිනිෂ්පාදනය කළ හැකි භාණ්ඩවලට අමතරව දිරාපත්වන අපද්‍රව්‍ය වලින් පොහොර හා වෙනත් නිෂ්පාදනය ද කළ අතර පරිසරයටත් මානවයාටත්, සත්වයන්ට හා ජල උල්පත්වලටත් හානිවිය හැකි සායනික හා රසායනික අපද්‍රව්‍ය ආනයනය තහනම් කෙට තිබුණි. ඒ සඳහා නීති හා පනත් සම්මත කර තිබූ අතර එවන් පනත් ගෙන ඒමට ප්‍රථම විද්වත් පාර්ශ්වයන්ගෙන් උපදෙස් ලබා ගැනුණි. එහෙත් අපේ රටේ එවැනි පනත් සංශෝධනය කිරීමට පෙර රටේ විද්වතුන්ගේ උපදෙස් හා අදහස් ලබාගත්තාදැයි සැක සහිතය.

ආන්දෝලනයට ලක්ව තිබෙන එංගලන්තයේ අපද්‍රව්‍ය 2017 දී ලංකාවට ආනයනය කිරීම ආරම්භ කර තිබෙන අතර එංගලන්ත රජයේ ලියාපදිංචි වෙන්ගාඩ්ස් (wengaads) ආයතනය මඟින් ඒවා ලංකාවට අපනයනය කර ඇත. 2018 මාර්තු මාසය වනතෙක් ලංකාවට ආනයනය කර තිබෙන අපද්‍රව්‍ය බහාලුම් සංඛ්‍යාව 241කි. සිලෝන් මෙට්ල් ප්‍රොසෙසින් සමාගම එංගලන්ත අපද්‍රව්‍ය ඉල්ලුම්කරු වන අතර ඊ. ටී. එල්. කලම්බු සමාගම නැව් මඟින් ප්‍රවාහනය කර තිබේ. ගෙන්වන ලද ඝනද්‍රව්‍ය ප්‍රතිනිෂ්පාදනය කිරීම හා ප්‍රතිඅපනයනය හේලීස් ෆ්‍රීසෝන් ආයතනය මඟින් සිදුකරන අතර භාවිතයෙන් ඉවත් වූ ‍මෙට්ට ප්‍රති නිෂ්පාදනය කිරීමේ අරමුණින් මේවා ගෙන්වා ඇති බව සඳහන් වේ.

ලංකාවට මෙම අපද්‍රව්‍ය ගෙන්වීමේදී විශාල වංචාවක් සිදුකොට තිබෙන අතර අබලි මෙට්ට ගෙන්වීමේ මුවාවෙන් එංගලන්ත රෝහල්වල සායක අපද්‍රව්‍ය හා පරිසරයටත්, මිනිස් සිරුරටත් අහිතකර රසායනික ද්‍රව්‍ය ගෙන්වා ඇති බව පරීක්ෂණවල දී තහවුරු වී තිබේ. ප්‍රතිඅපනයනය සඳහා අපද්‍රව්‍ය ගෙන්වීමේ පනත මහින්ද රාජපක්ෂ රජය විසින් නීතිගත කළ ද එංගලන්ත අපද්‍රව්‍ය ආනයනය සිදුවී ඇත්තේ වත්මන් රජය සමයේදී ය. මෙම ක්‍රියාවලියට ව්‍යාපාර වශයෙන් හා දේශපාලන වශයෙන් අනුබල දුන් රැකවරණය දුන් පිරිසක් සිටිය යුතුය. ඔවුන් කවුදැයි ජනතාවට හෙළිකළ යුතු අතර තවමත් එවැනි තත්ත්වයක් සිදුව නැත. සම්මත වූ නීති යටතේ අවසරගත් පිරිසක් සිටිය යුතුය. ඔවුන් නීතිය හමුවට ගෙන ඒම රජයේ වගකීමකි.

මෙම පනත 2013 ජූලි මාසයේ ගැසට් කළ දා සිට විදේශයන්හි අපද්‍රව්‍ය ව්‍යාපාරයක් ලෙස ලංකාවට ආනයනය කළ ද මේ ආකාරයට මහා පරිමානයෙන් තහනම් අපද්‍රව්‍ය ගෙන එන ලද්දේ වත්මන් රජයේ පරිපාලනය යටතේ බැවිණි.

රජය මේ කෙරෙහි අත්‍යාවශ්‍යයෙන් මැදිහත් විය යුතුය.

මීතොටමුල්ල

ශ්‍රී ලංකාවේ රෝහල් අපද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රමයක් නොමැතිව දැඩි අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇති අතර කොළඹ ජයවර්ධනපුර රෝහල් අපද්‍රව්‍ය විනාශ කිරීමට යෑමේදී පසුගිය දිනක අංගණයක ගැටලුකාරී තත්ත්වයක් හට ගැනුණි. ඒ සඳහා ප්‍රතිකර්මයක් වශයෙන් රෝහල් අපද්‍රව්‍ය ගම්පහ දිස්ත්‍රික්කයේ එක් ස්ථානයක ආරක්ෂාකාරීව විනාශ කිරීමට පියවර ගෙන තිබේ. රෝහල් සායනික අපද්‍රව්‍යවල තිබෙන භයානකත්වය සුළු පටු නැත. ඒවා පරිසරයේ වාතයට හා ජල උල්පත් වලට මුසු වීමෙන් විශාල පරිසර හානියක් සිදුවනු ඇත. මානවයාගේ නීරෝගී බවට රෝහල් අපද්‍රව්‍ය දැඩි හානි ඇතිකරන අතර නීරෝගී පුද්ගලයන් රටකට සම්පතක්. එය රැකගැනීම වගකිවයුතු බලධාරීන්ගේ වගකීමකි.

එංගලන්තයෙන් ගෙන්වන ලද අපද්‍රව්‍ය බහාලුම් තුළ සායනික අපද්‍රව්‍ය බහුලව තිබෙන බව පරීක්ෂණවලින් තහවුරු වී තිබෙන අතර වගකිවයුත්තෝ ඒ සඳහා වැඩි අවධානයක් සිදු නොකරන්නේ නම් එය සැලකිය යුතු අපරාධයකි. මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් සිංහල, දෙමළ හා මුස්ලිම් විශාල පිරිසක් පණ පිටින් මිහිදන් වූ අතීතයක් අපට තිබේ. එම කුණු කන්ද නාය ගිය අවස්ථාවේ අදහස් ඉදිරිපත් කළ විදවත්හු ‘එය මිනී මැරුමක් ලෙස හැඳින්වූහ. එවැනි ව්‍යසනයක් සිදුවන තැනට කටයුතු කළ දේශපාලනඥයන් හා රජය එම මිනිස් ඝාතනවලට වගකිවයුතු බව ඔවුහු තරයේ ප්‍රකාශ කළහ. ඒ ආකාරයට බලනවිට ප්‍රතිඅපනයන භාණ්ඩ ගෙන්වීමේදී ඒවා පරීක්ෂාවකින් තොරව ගෙන්වීම මඟින් සිදුවන හානිය සුළුවෙන් සිතිය නොහැකිය. ප්‍රතිඅපනයන සංශෝධිත මුදල් පනත ගෙන ආ පුද්ගලයන් විසින් ආනයන භාණ්ඩ පරීක්ෂාවෙන් රේගුව ඉවත් කිරීම බරපතළ වරදකි. භාණ්ඩ බහාලුම් රේගු නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වූයේ නම් තහනම් ද්‍රව්‍ය ගෙන ඒම වළකිනු ඇත. ක්‍රියාත්මක පනත අනුව ආනයන භාණ්ඩ ශ්‍රී ලංකා ආයෝජන මණඩලය යටතේ තිබෙන අතර භාණ්ඩ නිදහස් කිරීම ඔවුන් වෙතින් සිදු කෙරෙනු ඇත. හිඩැස්වලින් රිංගා වංචනික ලෙස අපද්‍රව්‍ය ආනයනය කිරීමටත් ඒවා වරායෙන් නිදහස්කර ගැනීමටත් ව්‍යාපාරිකයන් සූක්ෂම වී තිබේ.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත අනුව යම් කාර්මික ක්‍රියාවලියක් සිදු කරන්නේ නම් ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් ‘පරිසර ආරක්ෂණ’ බලපත්‍රයක් ලබා ගත යුතු අතර අවශ්‍ය වන්නේ නම් “උපද්‍රවකාරී අපද්‍රව්‍ය” බලපත්‍රයක් ලබාගැනීමට ද පුළුවන. 2017 සැප්තැම්බර් මස සිට 2018 මාර්තු දක්වා එංගලන්තයෙන් ආනයනය කළ ප්‍රතිඅපනයන භාණ්ඩ වෙනුවෙන් අදාළ පාර්ශ්ව වන සිලෝන් මෙට්ල් ප්‍රොසෙසින්, ඊ. ටී. එල්. සහ හේලීස් ෆ්‍රීසොන් යන සමාගම් ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරියෙන් කිසිදු බලපත්‍රයක් ලබාගෙන නොමැත. අදාළ ආනයනකරුවන් මෙම භාණ්ඩ ගෙන්වී‍ෙම්දී ශ්‍රී ලංකාවේ පවතින නීතිය උල්ලංඝනය කර තිබෙන බව මෙයින් පැහැදිලිය.

ඒ අනුව ආනයනකරුවන් බරපතළ වරදක් කර ඇති අතර ඒ වෙනුවෙන් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් රජය හෝ වගකිවයුතු පාර්ශව එවැන්නක් සිදු කරන බවක් පෙනෙන්නට නැත. උද්ගතව තිබෙන ප්‍රශ්නය හමුවේ රජය වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොකොට ලිස්සා යැවීමට උත්සාහ ගන්නේ නම් මෙවැනි තහනම් අපද්‍රව්‍ය ඉදිරියටත් ශ්‍රී ලංකා භූමියේ ගොඩගැසීම වැළකිය නොහැකිය. ලංකාවේ කුණු කසළ ගැටලුවට ස්ථිර විසඳුමක් නොමැති අවධියක නාගරික කුණු ග්‍රාමීය ප්‍රදේශයන්හි වැඩි වැඩියෙන් ගොඩ ගැසෙන කාලයක විදේශයන්ගෙන් හොර රහසේ ගෙන්වන කුණු අපනයන ප්‍රවර්ධන කලාප තුළ ගොඩ ගැසුණ හොත් ශ්‍රී ලංකාව කසළ පුරවරයක් බවට පත්වීම වළකාලිය නොහැකිය.

ජනතා අයිතිය

කටුනායක හේලීස් ෆ්‍රීසෝන් ආයතනය සතු අංගණයක මේ වන විටත් ගොඩ ගසා තිබෙන අපද්‍රව්‍ය අතර ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි පරිසර දූෂණයට තුඩුදෙන දෑ බොහොමයක් තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදුකරන පරීක්ෂණ හමුවේ හෙළි වී තිබේ. මෙම අපද්‍රව්‍ය කඩිනම් කොට ලංකා භූමියෙන් ඉවත් කිරීමට බලධාරීන් අවශ්‍ය පියවර ගත යුතුව ඇත. ඊට අමතරව වරාය තුළ අංගණ කීපයකම නිදහස්කර නොගත් මෙවැනි අපද්‍රව්‍ය වලින් සමන්විත බහාලුම් 111ක් තවමත් තිබෙන අතර මේ සියල්ල ආනයනය කළ සමාගම් විසින් ඔවුන්ගේ වියදමින් ගෙන්වූ රටටම පිටත්කර හැරීම කළ යුතුවේ.

මෙම අපද්‍රව්‍ය ලංකාවෙන් පිටත්කිරීම සඳහා රජය කිසිදු ආකාරයකින් මුදල් යෙදීම නොකළ යුතුය. මක්නිසාද යත් රජය ඒ සඳහා වැය කළ යුත්තේ ජනතා මුදල් වන නිසාය. කොහේවත් තිබූ කුණු වලට අහිංසක ජනතාව වන්දි නොගෙවිය යුතුය. මේ වංචාකාරී ක්‍රියාව හමුවේ වගකිවයුත්තන් කවුරුන්දැයි රජය ජනතාවට පෙන්වාදිය යුතු අතර ඒ සඳහා අයිතියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය මඟින් පුරවැසියාට හිමි වේ. ඒ යටතේ ඕනෑම ගැසට් පත්‍රයක් පනතක් අභියෝගයට ලක්කිරීමට ජනතාවට හැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ඇතුළත්ව තිබූ පමණින් ඒවා ආරක්ෂා නොවන අතර කඩකිරිම් බහුලව සිදුවූ අදාළ පරිච්ඡේදය ගෙන ඒමේ අරමුණ සාක්ෂාත් වී නැති බව එයින් පෙනී යනවා සේම නීතියක් පමණක් තිබී‍ෙමන් සෑහීමකට පත් විය නොහැක්කේ රටේ බලධාරීන් අමු අමුවේ ඒවා උල්ලංඝනය කරන බැවිනි. පසුගිය කාලයක අධිවේගී මාර්ගයේදී රථවාහන වරදකට පොලිස් නිලධාරියකු ප්‍රශ්න කිරීමේදී නියෝජ්‍ය අමාත්‍යවරයකු අදාළ පොලිස් නිලධාරියා ප්‍රසිද්ධියේ පාර මැද දණ ගැස්වූ සිද්ධිය එක් උදාහරණයකි. එහිදී අදාළ අමාත්‍යවරයා විසින් දණගස්සන ලද්දේ රටේ නීතිය ය. ඒ අනුව බලනවිට මෝටර් රථ ආඥාපනත රටට අවශ්‍ය නැත. රටේ බලධාරීන් පුරවැසියාට ආදර්ශවත් වීම වැදගත් වේ. බලධාරීන් නීති කඩකරයි නම් පුරවැසියාට පමණක් ඒවා ක්‍රියාත්මක කළ නොහැක. ඒ අනුව අපද්‍රව්‍ය ආනයනයේ දී ද පවතින නීතිය හරිහැටි ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා සම්බන්ධවූවන්ගේ තරාතිරම නොබලා දඬුවම් දීම මඟින් අනාගතයේ දී එවැනි අපරාධ කිරීමට කිසිවකු නොසිතනු ඇත.

ගතයුතු පියවර

වැරදි ක්‍රියාවකදී පසුපෙළ පුද්ගලයන් පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පලක් නොවන අතර එම ක්‍රියාන්විතයට සම්බන්ධ මුල් පෙළ පුද්ගලයන්ද වැරදිකරුවන් කළ යුතුය. අපද්‍රව්‍ය ප්‍රතිඅපනයන ව්‍යාපාරය හරහා සිදුව තිබෙන වංචාකාරී අපනයන කටයුතු සේම නීතියේ සිදුරු හරහා භාණ්ඩ රැගෙන ඒම සුළුවෙන් සිතිය නොහැකිය. මේ ආකාරයට ඕනෑම භාණ්ඩයක් රජයට හොරා ගෙන ඒමේ හැකියාව පවතී. දොරගුලු අනාරක්ෂිත වුවහොත් ඒ හරහා අවි ආයුධ කොටස් , තහනම් ඖෂධ, රසායනික ද්‍රව්‍ය, විකිරණ වර්ග, පුපුරණ ද්‍රව්‍ය, විනාශකාරී දිලීර හා බැක්ටීරියා විශේෂ වුවද මෙරටට ගෙන ඒමට හැකියාව පවතී. එබැවින් කසළ ආනයනය කිරීමේදී උද්ගතවී තිබෙන තත්ත්වයට මේ අවස්ථාවේදී නිසි පිළියමක් යෙදීමට රජය ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවුවහොත් අනාගතයේදී එය වැරදි පූර්වාදර්ශයක් වී රටේ ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වීමට පුළුවන.

රාජපක්ෂ ආණ්ඩුව අට වසරක් පුරා බලය තනි අතට ගෙන යහපත් හෝ අයහපත් ඕනෑම කටයුත්තක් හිතුවක්කාර ලෙස ක්‍රියාත්මක කළහ. අද යම් යම් දේ විවේචනය කරන විපක්ෂ මන්ත්‍රීවරු එදා කසාය පානය කළ ගොළුවන්සේ සිටියහ. 2012 සංශෝධිත මුදල් පනත ද එහි එක් ප්‍රතිඵලයකි. එදා රාජපක්ෂවරු ක්‍රියාත්මක වූ ආකාරය පිළිකුල් කළ ජනතාව 2015 දී වත්මන් ආණ්ඩුව පත්කර ගත්හ. රාජපක්ෂවරු ආණ්ඩු කළ ආකාරය කටයුතු කිරීම ජනතාව වත්මන් රජයෙන් අපේක්ෂා නොකරන අතර ඔවුන් විසින් හිතුවක්කාර ලෙස සම්මත කරගත් රටට අහිතකර පනත් සංශෝධනය කර රටට හිතකර, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරයට සකස්කර ගත යුතුය. 2015 දී වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමෙන් ජනතාව අපේක්ෂා කළ බලාපොරොත්තු ඉටු කිරීම රජයේ වගකීමකි.

ප්‍රතිඅපනයන අපද්‍රව්‍ය ලංකාවට ආනයනය කිරීම වහාම නතර කරන ලෙස ජනාධිපතිතුමා නියෝග කළ ද පනතක් මඟින් සම්මත කරගත් ක්‍රමවේදයක් වෙනස් කළ හැක්කේ එම පනත සංශෝධනය කිරීමෙන් පමණි. ප්‍රතිඅපනයනයට අපද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමෙන් මෙම ගැටලුවට විසඳුම් නොලැබෙන අතර එය ප්‍රායෝගික ක්‍රියාවක් ද නොවනු ඇත. වර්තමානයේ කසළ ප්‍රතිචක්‍රීකරණය රටට ආදායම් වර්ධනය කරගැනීමට හොඳ මාවතකි. එහෙත් එය නිවැරදිව, ක්‍රමවත්ව, රටට යෝග්‍යවන ආකාරයෙන් සිදුකළ යුතුය. අනවශ්‍ය දේ රට තුළට පැමිණීමට ඇති දොරටු වසා දමා අවශ්‍ය දේ පමණක් ගෙන ඒමට අවශ්‍ය නීති සකස්කර, ඒවා ක්‍රියාත්මක කිරීමට නිසි බලධාරීන්ට අවසරය ලබා දිය යුතුය. එසේ නොමැතිව රටට විදේශ විනිමය ගලා එන දොරටු වසා දැමීම ප්‍රශ්නයට විසඳුමක් නොවන්නේය.

අපද්‍රව්‍ය දිවයිනට ගෙන ඒමේ කර්තව්‍යයේදී උද්ගතව තිබෙන තත්ත්වයට වගකිව යුත්තේ අදාළ සමාගම් පමණක් නොවේ. රජයේ පාර්ශ්වයෙන් ද අදාළ රාජකාරී මගහැර තිබෙන නිලධාරීන් සිටීනම් ඔවුන්ගෙන්ද ප්‍රශ්න කළ යුතුය. මෙම බහාලුම් ගෙන්වීමේ සිට වරාය භූමියෙන් නිදහස් කිරීම දක්වා වගකිවයුතු පුද්ගලයන් ද මේ අපරාධයට දායක වී තිබේ. එබැවින් සමාගම්කරුවන්ට පමණක් නොව වගකිවයුතු සියල්ලන්ටම නීතිය ක්‍රියාත්මක කළ යුතුය. නැත‍හොත් අදාළ තැනැත්තන් යළිත් එම වරදම කරනු ඇත. කැඩීගිය ඉස්තාලයකින් අශ්වයකු පැනගිය පසු පැනගිය අශ්වයාට දඬුවම් කිරීම ප්‍රමාණවත් නොවේ. කැඩී ගිය ඉස්තාලය වසා දැමිය යුතුය. එවිට තවත් අශ්වයන් එතැනින් පලා නොයනු ඇත.

(Dinamina)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website

අමතන්න

+94 777 303 270