Monday, 05 August 2019 10:31

පරමාණු බෝම්බ­ ප්‍රහාරයට අවු­රුදු 74

ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර දෙක ලෝක ප්‍රකට වන්නේ, 1945දී එල්ල වූ පරමාණුක බෝම්බ ප්‍රහාර නිසා ය. බෝම්බ හෙළීම් සිදුවූයේ පිළිවෙළින් අගෝස්තු 6 සහ අගෝස්තු 9 යන දිනවලදී ය. මානව ඉතිහාසයේ සිදු වූ ම්ලේච්ඡතම අපරාධ හැටියට මේ බෝම්බ හෙළීම් දෙක සැලකේ. ඉන් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව ලක්ෂ ගණනකි. වඩාත් බරපතළම කාරණය, මේ ප්‍රහාරවල බලපෑම් අද උපත ලබන පරම්පරාවලට පවා විඳින්නට සිදුවීම ය.

පොඩි කොල්ලා ‍

හිරෝෂිමාවට හෙළූ පරමාණුක බෝම්බය හැඳින්වෙන්නේ "පොඩි කොල්ලා" යන අරුත ඇති "Little Boy" නමිනි. මානව ඉතිහාසයේ න්‍යෂ්ටික බෝම්බයක් පාවිච්චියට ගැනුණ පළමු අවස්ථාව හැටියට වාර්තා වන්නේ "පොඩි කොල්ලා" හෙළීම ය. මේ පරමාණුක අවිය කිලෝග්‍රෑම් 4,400ක් බරැති එකක් විය. යුරේනියම් -235 සමස්ථානිකයෙන් කිලෝ ග්‍රෑම් 64ක් එහි රඳවා තිබුණේ ය. "පොඩි කොල්ලා" හෙළුවේ "බෝයිං B-29 සුපර්ෆෝට්‍රෙස් එනෝලා ගයි" (Boeing B-29 Superfortress Enola Gay) නැමැති යානයෙනි. යානය පැදවූයේ කර්නල් පෝල් ඩබ්ලිව්. ටිබෙට් නමැති නියමුවා ය.

හිරෝෂිමාවට පරමාණුක බෝම්බය හෙළුවේ පෙරවරු 8.15ට පමණ ය. බෝම්බය හෙළීමෙන් තත්පර 44.4කට පසුව ගිනි ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ විය. බෝම්බය ස්ඵෝටනය වූයේ හිරෝෂිමා නගරයට අඩි 1,968ක් ඉහළ අහසේදී ය. මේ පරමාණුක බෝම්බයේ ප්‍රබලතාව, නාගසාකියට හෙළූ පරමාණුක බෝම්බයේ ප්‍රබලතාවට වඩා අඩු බව සඳහන් වේ. එසේ වුවත්, "පොඩි කොල්ලා" නිසා අහිමි වූ ජීවිත සංඛ්‍යාව සාපේක්ෂව බොහෝ ය. තුවාල ලැබූවන් සංඛ්‍යාව ද සාපේක්ෂව වැඩි ය.

ප්‍රහාරයෙන් හිරෝෂිමාට සිදු වූ විනාශය නිශ්චිතවම කෙතෙක් ද යන්න පැවසීම අදටත් අපහසු ය. එසේ වුවත් ස්ඵෝටනයෙන්, ගිනි ගැනීමෙන් සහ විකිරණ බැහැර වීමෙන් ජීවිත විනාශ වූ බව නම් සත්‍යයකි. බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 80,000කට ආසන්න සංඛ්‍යාවක් එකණෙහිම ජීවිතක්ෂයට පත් වූ බව දැක් වේ. හිරෝෂිමාවට අහිමි වූ මුළු මිනිස් ජීවිත සංඛ්‍යාව 90,000ත් 166,000ත් අතර යැයි පසුව කළ ගණන් බැලීම්වලින් තහවුරු විය. ජීවිතක්ෂයට පත් පිරිසෙන් 30%ගේ මරණවලට හේතුව විකිරණවලට නිරාවරණය වීමයි. පුද්ගලයෝ 69,000කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන්ගෙන් 30%ක් පීඩා විඳිමින් සිටියේ ද විකිරණ නිසා ඇති වූ තුවාලවලිනි. තුවාලකරුවන් සෑහෙන පිරිසක් මරණයෙන් ගලවා ගන්නට ජපාන සෞඛ්‍ය බලධාරීහු සමත් වූහ. එසේ වුවත්, එයින් බහුතරයක් පසු කාලයේදී පිළිකාවලට ගොදුරු වූවෝ ය.

පොඩි කොල්ලාගේ ගින්න

"පොඩි කොල්ලා" ඇති කළ ගිනි බෝලය මීටර 370ක පමණ විශ්කම්භයෙන් යුක්ත ය. එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 6,000ක් තරම් විය. ගිනි බෝලය පොළොවට පතිත වීමත් සමඟම ගිනි ගැනීම් ආරම්භ විණි. පිපිරුමෙන් මිනිත්තු 20කට පමණ පසුව හිරෝෂිමා නගරය එක ම එක ගිනි මැලයක් බවට පත්ව තිබුණි. කිලෝ මීටර 3.2ක විශ්කම්භයෙන් යුත් සරියක් ගින්නෙන් දැවිණ. ගින්න බුර බුරා නැඟෙන්නට හේතු වූයේ, ගොඩනැඟිලිවල දැව ය. අනෙක් අතට, නිරිත දිග සුළඟ පැවැති හෙයින් ගින්න නගරය හරහා ශීඝ්‍රයෙන් ව්‍යාප්තව ගියේ ය.

හිරෝෂිමාවේ ගොඩනැගිලිවලින් 60,000කට අධික ප්‍රමාණයක් "පොඩි කොල්ලා" විනාශ කර දැම්මේ ය. නගරයෙන් 90%ක් දවා අළු කර දමන්නට පොඩි කොල්ලා සමත් වූ බව තවත් තැනෙක දැක් වේ. අමෙරිකාවේ ගණන් මිනුම්වලට අනුව, හිරෝෂිමා නගරයේ වර්ග කිලෝ මීටර 12ක පෙදෙසක් "පොඩි කොල්ලා" නිසා විනාශයට පත්ව තිබිණ.

හිරෝෂිමාවට සහ නාගසාකියට බෝම්බ හෙළන්නට පළමුව අමෙරිකාව ඒ ගැන අනතුරු ඇඟවීම් කර තිබිණ. එය සිදුකර තිබුණේ ගුවනින් අත්පත්‍රිකා මිලියන 5කට අධික සංඛ්‍යාවක් බිම හෙළමිනි. එම අත්පත්‍රිකාවල සඳහන්ව තිබුණේ, අමෙරිකාව, ජපානයේ නගර කිහිපයකට බෝම්බ හෙළන්නට සැලැසුම් කර ඇති බවකි. තමන් ඉලක්ක කරන නගරවල, හමුදා කඳවුරුද, හමුදාවට අවශ්‍ය දෑ නිපදවන වැඩබිම් ද තිබෙන බව අමෙරිකාව පැවැසුවේ ය. සාමාන්‍ය ජනයාට එම නගරවලින් ඉවත් වන මෙන් කළ ඉල්ලීම් ද එම අත්පත්‍රිකාවල සටහන්ව තිබිණ. අත්පත්‍රිකා බිම හෙළා තිබුණේ අගෝස්තු 6 වැනිදා පෙරවරු 7.31ට පමණ ය. ගුවන් විදුලි පණිවිඩ මඟින් ද, සෑම මිනිත්තු 15කටම වරක් අනතුරු ඇඟවීම් නිවේදනය කෙරිණි. දිනපතා කාර්යයන්හි නිරතව සිටි බැවින්, සාමාන්‍ය ජනයාගේ අවධානය මේ පණිවිඩ වෙත යොමු වුණේ නැත.

වෙනස් තාක්ෂණ දෙකක්

හිරෝෂිමාවටත්, නාගසාකියටත් හෙළූ පරමාණුක බෝම්බ එකිනෙකට වෙනස් ය. නාගසාකියට හෙළූ පරමාණුක බෝම්බය හැඳින්වුණේ "ෆැට් මෑන්" යනුවෙනි. එහි තිබුණේ ප්ලූටෝනියම්-239 සමස්ථානිකයයි. බෝම්බ දෙකෙන් කුමක් වඩා ප්‍රබල ද යන්න ගැන අමෙරිකාව එවක අත්හදා බැලීම් කරමින් සිටියේ ය.

ත්සුතොමු යමාගුචි නමැති ජපන් ජාතිකයා 1945 අගෝස්තු මාසය වනවිට සේවය කරමින් සිටියේ මිත්සුබිෂි ආයතනයේ ය. රාජකාරි කටයුත්තකට ඔහු අගෝස්තු 6 වැනිදා හිරෝෂිමාවට පැමිණියේ ය. පරමාණුක බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලත් හෙතෙම, අනූ නවයෙන් දිවි ගලවාගෙන ඊ ළඟ දිනයේදී නාගසාකි නගරය බලා පිටත් වූ බව දැක් වේ. ඔහු නාගාසාකියට ඇතුළු වූවා පමණි. ඒ නගරයටත් පරමාණුක බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. පරමාණුක බෝම්බ ප්‍රහාර දෙකටම මැදි වී දිවි ගලවා ගත් අතළොස්ස අතර, යමාගුචි ද ඉතිහාසගත විය. 2010 වසරේදී ජීවිතක්ෂයට පත්වන විට හෙතෙම 93 හැවිරිදි වියේ පසුවිය.

හිරෝෂිමා සාම අනුස්මරණ උද්‍යානය, හිරෝෂිමාවේ ඉදි කෙරුණේ ලොව පළමු න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයේ අනුවේදනීය මතකය තවත් වසර ගණනාවකින් පසුව වුව පහළ වන අයට සිහිපත් කර දීම සඳහායි. උද්‍යානය ගොඩනැඟුණේ හිරෝෂිමා පිපිරීම සිදුවුණු භූමිය මැදිකරගෙන ය. 1954දී විවෘත කෙරුණු මේ උද්‍යානය වසරේ සෑම දිනෙකම විවෘතව ඇත. වසරකට එහි පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියනයකට අධික ය. උද්‍යානයේ එක් තැනෙක සාම ගිනි සිළුව නොනිවී දැල් වේ. පෘථිවිය, න්‍යෂ්ටික අවිවලින් නිදහස් තැනක් බවට පත්වන තුරු මේ ගිනි සිළුව දැල්වෙනු ඇත.

න්‍යෂ්ටික ප්‍රහාරයෙන් දුහුවිලි බවට පත් හිරෝෂිමාවේ පළමුවෙන් ම පිපුණේ කනේරු මලකි. මේ නිසා, හිරෝෂිමාවේ නිල පුෂ්පය තවමත් කනේරු මල ය.

(Dinamina)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website

අමතන්න

+94 777 303 270