Monday, 05 August 2019 14:56

අපි ඉල්ලන්නේ සාකච්ඡාවක්

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි

උපාධිධාරීන් 16800කට රජයේ රැකියා ලබා දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිය දී ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය විසින් විරෝධතාවක් ද පවත්වන්නට යෙදුණි. එකී විරෝධතාවට හේතු මොනවාද? උපාධිධාරීන්ට රැකියා ඉල්ලමින් නිතර දෙවේලේ මහමඟට බහින්නට සිදු වී තිබීමට හේතු කවරේද? උපාධිධාරීන් රජයේ රැකියා කෙරෙහිම ඇල්මක් දැක්වීමට හේතු මොනවාද? අද එහා ඉවුරට එක්වන ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි'සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමිගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළෙමු.

* උපාධිධාරීන් 16,800කට රජයේ නව පත්වීම් දීමට වත්මන් රජය කටයුතු කළා. එහෙම තිබියදී ඔබ වහන්සේලා පාරට බැස්සේ ඇයි?

අපි පත්වීම් නොදෙන්න කියලාවත්, ඒ පත්වීම් දෙන එක වළක්වන්නවත් විරෝධතා පළ කළේ නෑ. අපි අහන්නේ මේ පත්වීම් දෙනකොට අභ්‍යන්තර බාහිර කියලා බෙදුවේ ඇයි කියලා විතරයි. මේ බෙඳීම දෙවන වටයේදීවත් නොකර ඉන්න කියන ඉල්ලීම තමයි අපි කළේ. අවුරුදු හතක් අපි මහ පාරේ අරගල කළේ මේ පත්වීම් ගන්න. අපි දැන් කරන්නේ සාධාරණ ඉල්ලීමක්. ඇයි එහෙම බෙඳීමක් කළේ. කුමන පදනමින් ද ඒ දේ කළේ කියන එක අපි ආණ්ඩුවෙන් අහනවා.

* අභ්‍යන්තර හා බාහිර උපාධිධරයන් අතර වෙනසක් ඇති කරලා තියෙනවා කියල ද ඔබ වහන්සේ චෝදනා නඟන්නේ?

අපි කියන්නේ මේ ආණ්ඩුව ඒක කළා. 16/92 චක්‍රලේඛයේ ආ. වගන්තියේ සඳහන් වෙනවා, අභ්‍යන්තර හෝ බාහිර උපාධිය වෙනසක් නොමැතිව සමාන ලෙස සැලකිය යුතුයි කියලා. මේ චක්‍රලේඛය ආණ්ඩුවේ ප්‍රකාශනයක්. චක්‍රලේඛය පැත්තකින් තියලා බැලුවත් උපාධියට අභ්‍යන්තර සහ බාහිර කියලා බෙඳීමක් නැහැ. මේ අභ්‍යන්තර බාහිර කියලා ආණ්ඩුව බෙඳීමක් කරනවා නම් ඒකෙ පදනම කොහෙද කියලා අපි දන්නෙ නැහැ. අද පත්වීම් දෙනකොට ඉතිහාසයේ කවදාකවත් චක්‍රලේඛයක නොතිබුණ පදනමක් ආවේ ඇයි කියන එකයි අපි අහන්නේ. අපි නිතරම කියන්නේ අභ්‍යන්තර බාහිර බෙදීමක් අවශ්‍ය නැහැ. උපාධිය ගත්තු වර්ෂය බලන්න. ඒක ප්‍රශ්නයක් නැහැ.

* ඔබ වහන්සේලාගේ ඉල්ලීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළේ නැහැ කියල ද කියන්නේ?

මාධ්‍යවේදීන් වගේම සමාජ ක්‍රියාකාරිකයන් බොහොමයක් අපෙන් අහන එකම ප්‍රශ්නය තමයි මේ. නිතරම අහන්නෙ ඇයි හැප්පෙන්නම යන්නෙ කියලයි. හැමෝම දකින්නෙ අපි හැප්පෙන තැන විතරයි. හැප්පෙන්න කලින් අපි කරපු කිසි දෙයක් කවුරුත් දකින්නෙ නැහැ. පහුගිය කාලය පුරාම අපිට සාකච්ඡා දෙන්න කියලා අපි ලිපි යැවුවා. මේ ආණ්ඩුව ආපු දවසේ ඉදලා අපි මේ කාරණා ගැන කතා කරන්න ඕනෑ කියලා කියනවා. මේ ආණ්ඩුවේ ඉන්න ලේකම්වරු, අතිරේක ලේකම්වරු, මාණ්ඩලික කියලා ලේකම්වරු වගයකුත් ඉන්නවා ඒ හැමෝටම යවන්න පුළුවන් තරම් ලියුම් යවලා තියෙනවා. බැරිම තැන අපි මේ වැඩේ කරන්න ඕනෙ මෙහෙමයි කියලා සිංහල දෙමළ භාෂා දෙකෙන් පිටු හතරක ලිපි දෙකක් නිකුත් කළා. එතැනදී අපි සරල යෝජනා ටිකක් ඉදිරිපත් කළා. ලේකම්වරු හම්බ වුණා. සාකච්ඡා කළා. එතැනින් එහාට අපිට කරන්න දෙයක් නැහැ. අපි උපාධිධාරීන්, ඒ නිසා රස්සා දෙන්න කියලා පොල් ගහන්න වුවමනාවක් අපිට නැහැ.

* ජනාධිපති ලේකම් කාර්යාලය වටකරන්න ගියේ ජනාධිපතිතුමාට මේ වැඩේ කරන්න පුළුවන් කියලා හිතාගෙන ද?

එදා අපි උදේ 9ට ආවා. ඇවිත් අහනකොට කිව්වා, ජනාධිපතිතුමා පොළොන්නරුවේ ඉදලා 5ට එන්නෙ කියලා. හරි අපි ඉන්නම් කියලා පොලිසියේ මහත්තුරුන්ට කිව්වා. ඒ අය කිව්වා අගමැතිතුමා නම් ඉන්නවා. ජීප් එකත් මෙතැන තියෙනවා ඕනෑ වෙලාවක යන්න පුළුවන් කියලා. පළාත් 9න් අපේ අය එනකොට 11 වුණ නිසා , අපි අගමැතිවරයා හමුවෙන්න යන්නම් කියලා අපි උදේ 11ට පොලිසියේ මහත්තුරුන්ට කිව්වා.

එතකොට පොලිසියෙන්, දැන් අගමැතිතුමා හම්බවෙන්න බෑ කිව්වා. ඊට පස්සේ එයාලා කිව්වා අපි ගෙනාපු ලියුම අතිරේක ලේකම්ට දීලා අගමැතිතුමා හම්බ වෙන්න දිනයක් දාගන්න කියලා කිව්වා. ඔය වැඩේ අපි කී දවසක් නම් කළා ද? අපි බේරේ වතුර නාන්න ආසාවට කොළඹට ආවේ නැහැ. අපි කාගෙන්වත් පරිභව නොලබපු මිනිස්සු. අපිත් ආසයි පන්සල්වලට වෙලා ඉන්න. ඒ වුණාට මේ ප්‍රශ්න විසඳන්න පාලකයෝ ලෑස්ති නෑ. කියන්නෙම පාරට වරෙල්ලා කියලයි. දැන් ඔයා මම හොයාගෙන ඇවිත් මේ ලියන්නෙ අපි ගුටි කාපු හින්දනේ. ඒ නිසා ජනාධිපතිවරයා හෝ මේ ඇත්ත ප්‍රශ්නය දැක්කට පස්සේ හරි සාධනීය උත්තරයක් ඕනෑ කියන මතයේ අපි ඉන්නවා.

* කොහොම නමුත්, රජය උපාධිධාරින්ට පත්වීම් දෙන්න පටන් අරගෙන තියෙනවා. එතැනදී ජ්‍යෙෂ්ඨත්වයට පත්වීම් දෙන්න කියල ද කියන්නෙ?

මෙතැන තර්ක ගොඩක් තියෙනවා. අපි කියන්නෙ උපාධිය ගත්තු වර්ෂය අනුව පත්වීම් දෙන්න කියලා. මෙතෙක් පැවැති ආණ්ඩු ක්‍රියාත්මක කළේ ඒ ක්‍රමවේදය තමයි. අපි බලාපොරොත්තු වෙන්නෙ උපාධිධරයාට වර්ෂයට අනුව අසාධාරණයක් නොවන ආකාරයේ පත්වීම් ලැබෙයි කියලා.

* බඳවා ගන්නා උපාධිධරයන් අතරින් ගුරුපත්වීම් දෙනවා කියලත් සඳහන් වුණා. ගුරු ව්‍යවස්ථාවට අනුව ඒක කරන්න පුළුවන් ද?

මෙතැන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ජාතික බඳවා ගැනීම්, අනෙත් එක දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන බඳවා ගැනීම්. ඒ බඳවා ගැනීම් වර්ග දෙකට අනුව දැනට 11,000කට ආසන්නව ගුරු පත්වීම් ඒ ඒ පළාත් මට්ටමින් ලැබිලා තියෙනවා. එතැනදී බඳවා ගැනීමේ තරග විභාගයක් තියනවා ද නැද්ද යන්න තීරණය කරන්නෙ ඒ ඒ පළාත් සභාව. ඒකෙ ගැටලුවක් නැහැ. නමුත්, ජාතික මට්ටමේ බඳවා ගැනීම් කරද්දී පාලකයෝ හැමදාම මොනවා හරි අවුලක් හදනවා.

මේ බඳවා ගැනීම් කරද්දීත් කුරුවිට නාම ලේඛනය තවම නැහැ. එහෙම වෙන්නෙ කොහොම ද? ලේකම්වරු කී දෙනෙක් ඉන්නවා ද? රාජ්‍ය ඇමැතිවරු කී දෙනෙක් ඉන්නවා ද?. ඇමැතිවරු කී දෙනෙක් ඉන්නවා ද? මේ තරම් පිරිසක් ඉන්නකොටත් මේ වගේ ප්‍රශ්න මතුවෙන්නේ ඇයි. අපි මේ කතා කරන්නෙ උපාධිධාරීන් ගැන විතරයි. එතැනින් එහාට ගියොත් උපාධියක් ගන්න බැරි වුණ තරුණ පිරිස් කොයි තරම් මේ රටේ ඉන්නවා ද? ඕලෙවල් අසමත් වූ තරුණයෝ කොච්චර ඉන්නවා ද? ඒ අයට රැකියා ලබාදෙන ක්‍රමවේදයක් මේ ආණ්ඩුවලට තියෙනවා ද? මේ රටේ විරැකියාව දිනෙන් දින වැඩි වෙනවා. අපි කියන්නේ මේ හැම දේකටම ක්‍රමයක් හදන්න කියලයි.

* අපේ රටේ උපාධිධාරීන් ආණ්ඩුවේ රැකියාම ඉල්ලලා අරගල කරන්නේ ඇයි?

එක පැත්තකින් රජයේ තියෙන පුරප්පාඩුත් එක්ක තමයි අපි මේ අරගලය කරන්නේ. ජනාධිපතිතුමා කිව්වා සංවර්ධන නිලධාරීන්ගේ 43,000ක පුරප්පාඩු තියෙනවා කියලා. අකිල විරාජ් කාරියවසම් ඇමැතිතුමා ගිය අවුරුද්දේ පාර්ලිමේන්තුවේ දී කිව්වා 40,000ක පමණ ගුරු පුරප්පාඩු තියෙනවා කියලා. ඔය කියන පුරප්පාඩු ටික පුරවන්න අපේ රටේ උපාධිධරයින් ඉන්නව ද කියලා මම දන්නෙ නැහැ.

අපි මහන්තත්වයෙන් උපාධිය ගැන කතා කරන්නෙ නැහැ. ඒලෙවල්වලින් හරි මේ පුරප්පාඩු පුරවන්න පුළුවන් නම් අපි ඒ ගැන කතා කරන්නෙ නැහැ. නමුත් රජයේ මේ පුරප්පාඩු ටික ගන්න අපිට අයිතියක් තියෙනවා. අපිට පුහුණුවක් නැහැ කියනවා නම් රජයට පුළුවන් මාස හයක හරි පුහුණුවක් දෙන්න. අපි ඒකට අකමැති නැහැ. එහෙම නැතිව උපාධිධාරියා රැකියාව ගත්තම අයිස් ගහනවා, වැඩ කරන්නෙ නැහැ කියලා චෝදනා කරලා හරියන්නෙ නැහැ. පරිපාලනය කරන්න හොඳ උගත්තු ටිකක් ඒකට ඉන්නවා. එයාලා වැඩේ හරියට කරන්න ඕනෑ. එහෙම නැතිව උපාධිය අරන් පාරට ආවට පස්සේ ඒක වලංගු නෑ කියලා කියන්න එපා. එයාලා කියපු උපාධිය තමයි අපි ගත්තේ. අද රටේ තරුණයන්ගේ රැකියා ප්‍රශ්නය එන්න එන්නම උග්‍රවෙලා. අපි කියන්නේ තරුණයින් එක්ක සෙල්ලම් කරන්න එපා කියලයි.

* විරැකියාව කියන්නෙ සමාජ ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය මුහුකුරා ගියොත් ඇති වන තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කොහොමද?

දැනටමත් ඒ තරුණ අසහනය මතුවෙලා තියෙනවා. ඒ ප්‍රකාශනය වෙන විදිහ මටවත් හිතාගන්න බැහැ. එදා අපේ විරෝධතාව වෙලාවෙ අපි ළඟ හිටපු කෙල්ලො කොල්ලො කොහොම ද කෑ ගැහුවෙ. බැරියර් පෙරලන්න අපි කිව්වෙ නැහැ. එදා එතැනට ආවේ මේ රටේ ගම්බද ජීවත්වෙන උගත් කෙල්ලො කොල්ලො. ඒ ගැම්ම කොහෙන්ද ආවේ. ඒ කුණුහරුප කොහෙන්ද ආවේ. මේ අසහනය පුපුරන්නේ කොතැනින්ද කියලා අපිට කියන්න බැහැ. අපි කොයිම වෙලාවකවත් කැරැලි ගහන්න කියන්නෙ නැහැ. ඒත් මේවා අපිට වළක්වාගෙන ඉන්න විදිහක් නැහැ. කොතැනදී හරි පුපුරණවා.

එහෙම පිපිරුවාම අසහනයට පත්වෙන්නෙ සමාජය, තුවාල වෙන්නෙ සමාජයට. මේ සමාජයේ ඉන්නෙ ඔබ අපි, දේශපාලනඥයෝ එතැන ඉන්නවා ද කියලා අපි දන්නෙ නැහැ. තුවාල වුණොත් ඒ ලේ තැවරෙන්නේ ඔබ ඇතුළු මේ සමස්ත සමාජයේම යි. ඉතිහාසයේ ගොඩනැඟුණා වගේ අසහනයක් අනාගතයේ දී ගොඩනැඟෙන්න ඕනෑ ද? ඇයි පාලකයන්ට මේ ප්‍රශ්නය හරිහැටි කියව ගන්න බැරි. මේකෙ එක පාර්ශ්වකරුවෙක් විදිහට ඉන්න අපිට එක සාකච්ඡාවක් දෙන්න ජනාධිපතිතුමාට හරි අගමැතිතුමාට හරි බැරි ඇයි. අපිට මෙහෙම ගහද්දිත් අපි කියන්නේ ඔබතුමාලා අපිට සාකච්ඡා කරන්න එන්න කියනවා නම් අපි එනවා කියලයි. ඒ තරම් අපි අහිංසකයි.

* නැවත වතාවක් සාකච්ඡාවකට කැඳවයි කියලා ඔබ වහන්සේ විශ්වාස කරනවා ද ?

අපි කොයිම වෙලාවකවත් සෘණාත්මකව බලන්නෙ නැහැ. පාලකයෝ කොයිම වෙලාවක හරි අපේ ප්‍රශ්නයට කතා කරනතුරු බලන් ඉන්නවා. අපි අරගල කරනවාට වඩා බොහෝම ප්‍රගතිශීලිව මේ ප්‍රශ්න විසඳගන්න කැමැතියි. ආණ්ඩුවට තරුණ අසහනය අවුරුදු පහක් නොපෙනුණත්, ඉදිරි මාස දෙක තුළ දී හෝ දුටුවොත් ඒ මාස දෙක ඇති මේ අසහනය අවසන් කරන්න. ඒකට අවශ්‍ය වෙන්නේ ගැඹුරු සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවට අපි ලෑස්තියි.

* ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙන දෙයක් තමයි උපාධිධරයා න්‍යායාත්මක කරුණු අධ්‍යයනය කළත් ප්‍රායෝගික නැහැ කියන එක. ඔබ වහන්සේ ඒ ගැන දරන මතය කුමක් ද?

කෙටිකාලීනව ගත්තොත් රජය රැකියා දෙන වැඩපිළිවෙළක් හදන්න ඕනෑ. දිගු කාලීනව ගත්තොත් විෂය ප්‍රතිසංස්කරණය කරගෙන යන්න ඕනෑ. දැන් කලා උපාධිධාරීන් ඉවත් කරමින් අයි ටී උපාධිධාරීන් ඉහළට ගෙන යමින් තියෙනවා. අයි ටී පීඨ 11ක් විතර දැනට තියෙනවා. ඒ හැම එකකම ප්‍රශ්න තියෙනවා. ඒවාට ගුරුවරු නැහැ. පරිගණක නැහැ. කලාව පැත්තකින් තියලා නවීකරණය වුණ ඒවා දිහා බැලුවොත් ඒවා හරි හැටි වෙලා නැහැ. දැන් තියෙන්නේ සෙරප්පුව පොඩියි කියලා කකුල කපන්න යනවා වගේ වැඩක්. ඒක හරියන්නේ නැහැ.

සෙරෙප්පුව පොඩි නම් වෙන සෙරෙප්පුවක් දාගන්න ඕනෑ. ඒ ඒ ආර්ථික ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපන ප්‍රතිපත්තිය කපන්නයි දැන් ලෑස්ති. ඒක හරියන්නෙ නැහැ. කලාව තියන්න, සංස්කෘතිය තියන්න, ක්‍රීඩාව තියන්න මේවා හැම එකක්ම තියලා ඉගෙන ගන්න දුන්නට පස්සේ ආණ්ඩුවට බය නැතිව කියන්න පුළුවන් දැන් රැකියා හොයාගෙන යන්න කියලා. දැන් වෙලා තියෙන්නේ ඒක ද? විද්‍යාවේදී උපාධිකාරයත් ඒජි ඔෆිස්වලට ගිහින් ඇට බෙදන්න යනවා. මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ. දැන් ඉන්න උපාධිධාරියා වෙනස් කරන්න ගිහින් හරියන්නෙ නැහැ. උපාධිධරයා බිහි කරන්න කලින් විෂයන් යාවත්කාලීන කරලා උපාධිධරයා අවශ්‍ය විදිහට හදාගන්න. ඒක ආණ්ඩුවේ දිගුකාලීන ප්‍රතිපත්තිවලට කරන්න පුළුවන්.

* ස්වාමීන් වහන්සේ නමක් විදිහට පාරට බැහැලා අරගල කරන්නේ ඇයි කියලා බොහෝ දෙනෙක් අහනවා. ඇත්තටම ඇයි එහෙම කරන්නෙ?

මට එහෙම ගොඩක් අය කියනවා. ස්වාමීන් වහන්සේලාත් අහනවා. යාළුවොත් අහනවා. මේ ප්‍රශ්නයට මම දෙන සරල උත්තරය තමයි, ඔය අහන අය මැදිහත් වෙලා මේ ප්‍රශ්නය විසඳලා දෙන්න. මම පන්සලට වෙලා ඉන්නම්. අපි අරගල කරන්නේ පොරවල් වෙන්න නෙවෙයි. මගෙ පිටිපස්සෙන් පනස් දහකට වඩා මේ රටේ උගත් ඔළු ටිකක් ඉන්නවා. ඒ අයගේ දැවෙන ප්‍රශ්න තමයි මම ඉස්සරහට ගෙනෙන්නේ. මට රැකියාවක් ඕනෙ නැහැ. අපේ පන්සලට අපේ දායකයෝ දානෙ ගේනවා. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම කතා කරන්නේ මගෙ පෞද්ගලික ප්‍රශ්න නෙවෙයි. ඔය කියන හැමෝටම මම කියන්නේ ඉක්මනට ඇවිත් මේ ප්‍රශ්නය විසඳලා දෙන්න.. මම පන්සලට යන්නම්.

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website

අමතන්න

+94 777 303 270