Monday, 05 August 2019 14:58

මුළු රටම සරසවියක් කොට ජාතියට කතා කළ මහාචාර්යවරයා

මහාචාර්ය නන්දසේන රත්නපාල

මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා මියගොස් අගෝස්තු මස 07 දිනට වසර 12 වසරක් සපිරීම නිමිත්තෙනි.

මැරෙන බව දැනගෙන ජීවත්වන මිනිසුන් අඩුය. උගතුන් යැයි කියාගන්නා බොහෝ අය ද ජීවත්වන්නේ කිසිදා නොමැරෙන උජාරු මිනිසුන් ලෙසය. එහෙත් ඒ උගත්තු ඥානවන්ත මිස ප්‍රඥාවන්තයෝ නොවෙති. ඥානවන්ත මිනිසුන් දහස් ගණනින් බිහිවන සරසවියෙන් ප්‍රඥාවන්තයකු නිර්මාණය වන්නේ කලාතුරකිනි. ප්‍රඥාවන්තයා තම දැනුමින් තමාට මෙන්ම අනුනටද වැඩදායක මෙහෙවරක් කරමින් සතුටු වෙයි. තමාගේ අඹුදරුවන් පෝෂණය කිරීම තරමටම තමාට ඉගැන්වූ රටේ ජනතාවගේ ජීවිතය සම්බන්ධව තමාගෙන් යම් වැඩ කොටසක් සිදුවිය යුතු යැයි තරයේ විශ්වාස කරයි. එම උතුම් විශ්වාසය අධිෂ්ඨානයක් කරගෙන ජීවත්වෙයි. හැකි හැම විටම ඒ සඳහා කැප වෙයි.

අදින් 12 වසරකට පෙර ජාතියෙන් සමු ගත්තේ එබඳු විරල ගණයේ ප්‍රඥාවන්ත මිනිසකු ලෙස ජීවත් වූ සම්මානිත මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ය. එතුමා මානව හිතවාදී සහ විශ්වාන්තවාදී විද්වත් මහාචාර්යවරයකු වූයේ ලබාගත් උපාධි හා ගරු සම්මානයන් නිසාම නොවේ. තමාගේ දැන උගත්කම් සමාජ දියුණුවට යොදා ඒ සඳහා අවංකව කැපවීමෙනි. නන්දසේන රත්නපාල මහාචාර්යතුමා මෙලොව උපත ලැබුවේ 1935 මැයි 9 වැනි වෙසක් මස පුර පසළොස්වක පෝදිනකය. සෑම වෙසක් දිනයක්ම තමාගේ උපන් දිනය ලෙස සැලකීමට එතුමා පුරුදුව සිටියේය. බණ්ඩාරවෙල කුරුකුදේ නමැති පිටිසර ගමේ පාසල එතුමාගේ මුල්ම පාසල විය.

 එහි නිර්මාතෘ සහ ආරම්භක විදුහල්පති වෙමින් ඌවේ පාසල් රැසක්ම ආරම්භ කළේ කීර්තිමත් විදුහල්පතිවරයකු වූ එතුමාගේ පියාණන් බව ප්‍රසිද්ධ කරුණකි. නන්දසේන රත්නපාල පොතපත කියවීම ආරම්භ කළ එම පාසලේ එතුමා පොත් සුරැකිව තබා ගත් ලී පෙට්ටිය අදද දක්නට තිබීම විශේෂත්වයකි. අද එහි දක්නට ඇත්තේ එතුමාගේ හිතවතුන් විසින් නවීකරණය කරනු ලැබූ මහාචාර්ය නන්දසේන රත්නපාල අනුස්මරණ පුස්තකාලයයි. එතුමා අධ්‍යාපනය ලැබූ පානදුර ශාන්ත ජෝන් සහ කොළඹ රාජකීය විදුහල්වල පුස්තකාලවල එක දිගට පොත් රැසක් කියවීමට රත්නපාල තරුණ ගැටවරයාට හැකියාව ලැබිණි. එතුමාගේ කියවීම වඩාත් මුවහත් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලය බව නන්දසේන රත්නපාලයන් නිතරම පැවසූවකි. ”පේරාදෙණිය පුස්තකාලයට දණගසා වැඳීමට මම කැමතියි” රත්නපාලයන් නිරතුරුවම කියූ අයුරු මට මතකය.

සියබස් මතුර නම් තමාගේ මුල්ම කෘතිය සිට මනුෂ්‍ය පේතයකුගේ කෘතිය නම් අවසන් කෘතිය දක්වා පොත් සියයකට ආසන්න සංඛ්‍යාවක් ලිවීමට එතුමෝ සමත් වූහ. එහෙත් රත්නපාල පොතේ උගතකු වූයේ නැත. පොතට සීමා වූ දැනුම ඉක්ම වූ ප්‍රායෝගික මිනිසකු විය. ඒ නිසාම දැනුම සමාජයේ යහපතට යෙදීමට මුළු ජීවිතයම කැප කළේය. නන්දසේන රත්නපාල චරිතය සෙසු විශ්වවිද්‍යාල උගතුන්ගෙන් වෙන්ව වෙනස්වන ප්‍රධාන ලක්ෂණය එය යැයි කිව හැකිය. කෙටියෙන් කියතොත් නන්දසේන රත්නපාල මහාචාර්යවරයා වචනාර්ථයෙන්ම තම ජීවිතයෙන් මෙරට ජනතාවට යමක් කළ යුතුය යන්න තරයේ විශ්වාස කර එය සිය ජීවිතයෙන් පෙන්වා දුන් උදාර ගුරුවරයෙකි. තමා සතු දැන උගත්කම ඥානය සහ සමාජ සබඳතා සියල්ල එතුමා යෙදවූයේ තමාගේ හෝ තම පවුලේ වුවමනාවන් ඉටුකර ගැනීමට වඩා තමාගේ උපකාරය පතා ආ නන්නාඳුනන පුද්ගලයන්ගේ සාධාරණ ඕනෑ එපාකම් ඉටුකර දීමට වීම විශේෂයකි.

අගනුවර ඉංග්‍රීසි කතා කරන එක්තරා සුපිරි පැළැන්තියකට පමණක් සීමා වී තිබූ සමාජ විද්‍යාව අද පොදුජන සමාජයේ ජනප්‍රිය දැනුම්වේදයක් වී ඇත්තේ එතුමාට පින් සිදුවන්නටය. අපරාධ විද්‍යාව සහ මානව විද්‍යාව මෙරටේ අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි විශ්වවිද්‍යාලවලට හඳුන්වාදීමට පුරෝගාමී වූයේ අන් කවරෙක්වත් නොව නන්දසේන රත්නපාල මහාචාර්යතුමා බව මුළු රටම දන්නා කරුණකි. එතුමා මෙරටේ නිර්මාණාත්මක සාහිත්‍යය වෙනුවෙන් කළ අපරිමිත මෙහෙය ගැන බොහෝ දෑ ලියවී ඇත. ඒ සියල්ලම අතරින් මතු වී එන්නේ එක් අදහසකි.

එනම් ලියන්නට හැකි අයෙක් ලේඛකයකු කරන්නට හොඳ මිනිසකු උදාර මිනිසකු කරන්නට එතුමා කළ අපරිමිත කැපවීමයි. ඒ නිසාම බිහිවූ උදාර ගුරුවරු, මහාචාර්යවරු, ආචාර්යවරු, ලේඛකයන්, කවීන්, කෙටි කථාකරුවන් නිමක් නැත. ඒ නන්දසේන රත්නපාල මහතා ලැබූ සුවිශේෂි ජයග්‍රහණයකි. සිඟන්නන්, ගණිකාවන් සහ ගැටකපන්නන් මෙන්ම වීදි දරුවන්ගේ සැබෑ ජීවිතය ඇසුරෙන් එතුමා කළ සමාජ පර්යේෂණ ගැන මුළු රටම දනී. ඒ සියල්ල ම එතුමා කළේ අරමුදල් අපේක්ෂාවෙන් නොවන බවත් වැඩි දෙනකු නොදන්නා කරුණකි.

දළිඳුකම ගැන පර්යේෂණය කරමින් ධනවතුන් වන පර්යේෂකයන් සිටින සමාජයක එතුමා මිනිසා දුප්පතෙක් බවට පත් කරන හේතු මුලිනුපුටා දමන්නැයි හඬගා පැවසූ අයෙකි. ”හිඟන්නකු” වූ එතුමා හිගන සමාජයේ දී තමා අත්දුටු දෑ මුදලට විකිණීම නොකර හිඟනකම නැති කිරීමට ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගත් සමාජ විද්‍යාඥයෙකි. ගණිකාවන් දෙස පිළිකුළින් බැලීමට වඩා ඔවුන් නිර්මාණය කරන බලවේග හඳුනාගැනීමේ වැදගත්කම කරුණාවෙන් පෙන්වා දුන් විද්වතෙකි. නන්දසේන රත්නපාල මහාචාර්යතුමා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් ගුරු ආකල්පවලින් පරිපූර්ණ ගුරු චරිතයක් බව යළි යළිත් කිව යුතුය. හොඳ ගුරුවරයා ඉගැන්වීම පර්යේෂණය සහ දැනුම බෙදා හැරීම යන ත්‍රිවිධ කාර්යයන් සඳහා නිරන්තරයෙන් කැප වී සිටින්නෙකි. එතුමා වසර 45 ක් මෙරට සහ එතෙර විශ්වවිද්‍යාල විෂයන් රැසක් ඉගැන්වූ දර්ශනශූරී උපාධි තුනකින් සම්මානිත වූ එකම ශ්‍රී ලාංකික මහාචාර්යවරයා බව රටම දන්නා කරුණකි. තමාගේ ශිෂ්‍යයකු තමාට වඩා උසස් තත්ත්වයකට පත්වනු දැකීමට එතුමා ප්‍රිය විය.

නන්දසේන රත්නපාල නම් උදාර මිනිසා දැන් අප අතර නැත. එහෙත් එතුමා මෙරට සමාජ සංවර්ධනයේ දීප්තිමත් යුග චරිතයක් ලෙස අපේ ඉතිහාසයට එකතු වී අවසන්ය. සේවයට කැප වූ දුක දරාගනිමින් ඉදිරියට ගිය සේවය කිරීමෙන් සතුටක් ලැබූ නන්දසේන රත්නපාලයන්ට කළ හැකි විශිෂ්ට උපහාරය අපේ විශ්වවිද්‍යාලවලින් තව තවත් එබදු උදාර මිනිසුන් බිහි කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමය. මුදල්වලට මිල දී ගත නොහැකි නිර්මාණය සැබෑ මිනිසුන් නිර්මාණය කිරීමය. තමා ගොඩනැඟූ චරිත මේ යැයි අභිමානයෙන් පෙන්විය හැකි ගුරු පරපුරක් බිහිකිරීමය. අපේ විශ්වවිද්‍යාලවලින් සැබෑ ලෙසට එම කාර්යය ඉටුවෙයිද? එය එසේ නම් නන්දසේන රත්නපාල මහාචාර්යතුමාට කළ හැකි එයට වඩා තවත් උපහාරයක් නැත.

(දිනමිණ)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website

අමතන්න

+94 777 303 270