Wednesday, 07 August 2019 09:22

අපි අරාබියට තල්ලු කරන්න එපා

බුර්කාව තහනම් කිරීමට රජය ගත් පියවර උල්ලංඝනය වන බවක් එහි දක්නට නොමැත. කාන්තාවන් සියලු දෙනා මුහුණ නිරාවරණය වන සේ ද හිස පමණක් ආවරණය කර ගනිමින් ප්‍රධාන ස්ථානවල සැරිසරන බව පෙනෙන්නට ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ඇතිවූ තත්ත්වයද සැලකිල්ලට ගනිමින් මුස්ලිම් ජනතාව තමන් එතෙක් අනුගමනය කළ අරාබි සංස්කෘතියට අදාළ බොහෝ දේ බැහැර කරමින් සිටින බව පෙනෙන අතර ජාතික හා ආගමික සමඟිය ගොඩනැඟීමේ ක්‍රියාවලිය ශක්තිමක් කිරීමට එය බොහෝ සේ උපකාරි වනු ඇත.

පාස්කු ප්‍රහාරයත් සමඟ නැඟෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය සමබන්ධව රටම කතා කරන්නට පටන් ගත්තේය. මෙම ප්‍රහාරයට පෙර අප කාත්තන්කුඩිය පිළිබඳව කතා කළේ 1990 වසරේදීය. ඒ එම වසරේ අගෝස්තු මස 03 දින ආගමික ස්ථාන තුනක වන්දනා මාන කරමින් සිටි සිය ගණනක් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් අමානුෂික ලෙස ඝාතනය කිරීම නිසාය. කෙසේ වුව කාත්තන්කුඩිය කී විට දකුණේ ජනතාවගේ සිත්වල මැවෙන්නේ පුංචි ආරාබියකි. රට ඉඳි ගස් වලින් පිරුණු පරිසරයක්ද හෙල්මට් නොමැතිව යතුරු පැදිවල නැගී යන තරුණයින් හා බුර්කාවලින් සැරසුණු කාන්තාවන්ද සිටින කාත්තන්කුඩියේ නැත්තේ ඔටුවන් පමණක් බව පසුගිය කාලය පුරා විවිධ පුද්ගලයින්ගෙන් පමණක් නොව ඇතැම් මාධ්‍යය මගින්ද අසන්නට ලැබිණි.

රාත්‍රී 10.00 ට පමණ මඩකළපුව නගරයට අප ඇතුළු වන විට එහි කඩසාප්පු බොහොමයක් වසා දමා තිබිණි. එහෙත් එහි සිට කිලෝමීටර පහක පමණ දුරකින් පිහිටි කාත්තන්කුඩිය ඒ වන විටත් පැවතියේ විදුලි බුබුළුවලින් දහවල සේ ආලෝකවත්වය. කිලෝමීටර දෙක තුනක් ඈතට දිවෙන කාන්තන්කුඩි වෙළෙඳ නගරයේ ප්‍රධාන මාර්ගය දෙකට බෙදී තිබුණේ මැද්දෙන් වැවී ඇති රට ඉඳි ගස්වලිනි. උසට වැඩී තිබුණු සිය ගණනක් රට ඉඳි ගස් අතරින් කිහිපයකම පල හට ගෙන තිබිණි. එහි නගර නිර්මාණය තුළ බැලූ බැල්මට අරාබි සංස්කෘතික ආභාසයන් ගැබ්ව තිබිණි. කෙසේ වුවත් එය කාත්තන්කුඩිය කිසිදා නොදුටු පිරිස් දකුණේ සිට මවා පෙන්වන්නට උත්සාහ දරන ආරාබි බිල්ලා තරම් බියකරු නොමැති බව කිව යුතුය.

බුර්කා නීතියට ගරුකිරීම

කාන්තන්කුඩි වැසියන්ගෙන් 75% ක් පමණම ව්‍යාපාරිකයින්ය. තොග මෙන්ම සිල්ලර වෙළෙඳාමද මෙහි සිදු කෙරෙන අතර පිට පළාත්වල සිට භාණ්ඩ මිලට ගැනීම පිණිස විශාල පිරිසක් දෛනිකව නගරයට ඇදී එති.ඉඳිකටුවේ සිට මිනිසුන් භාවිත කරන ඕනෑම භාණ්ඩයක් මෙම නගරයෙන් මිලට ගත හැකිය. ව්‍යාපාර කිරීමට මුස්ලිම් ජාතිකයින් උපන් හපනුන් බව තව තවත් තහවුරු වන්නේ කාත්තන්කුඩියේදීය. සුහද පිළිගැනීම ඔවුන්ට අමුතුවෙන් කියා දියයුතු දෙයක් නොවේ. කොළඹටත් වඩා අඩු මිලට මෙහිදී භාණ්ඩ මිලට ගත හැක්කේ තරඟකාරී මිල ගණන් යටතේ ඔවුනොවුන් වෙළෙඳාම් කරන බැවිනි. විශේෂයෙන්ම කිය යුත්තේ බුර්කාව තහනම් කිරීමට රජය ගත් පියවර උල්ලංඝනය වන බවක් එහි දක්නට නොමැතිවීමය. කාන්තාවන් සියලු දෙනා මුහුණ නිරාවරණය වන සේ ද හිස පමණක් ආවරණය කර ගනිමින් ප්‍රධාන ස්ථානවල සැරිසරන බව පෙනෙන්නට ඇත. පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ඇතිවූ තත්ත්වයද සැලකිල්ලට ගනිමින් මුස්ලිම් ජනතාව තමන් එතෙක් අනුගමනය කළ අරාබි සංස්කෘතියට අදාළ බොහෝ දේ බැහැර කරමින් සිටින බව පෙනෙන අතර ජාතික හා ආගමික සමඟිය ගොඩනැඟීමේ ක්‍රියාවලිය ශක්තිමක් කිරීමට එය බොහෝ සේ උපකාරි වනු ඇත.

කාන්තන්කුඩියේ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා යතුරු පැදිකරුවන් සියලු දෙනා හිස් ආවරණ පැලඳ ගමන් ගන්නා අයුරු පැහැදිලිව දක්නට ලැබිණි. අතුරු මාර්ගවල ගමන් ගන්නා සුළු පිරිසක් මෙම නීතියට ගරු නොකරන බව පෙනෙන්නට තිබිණි. එය එතරම් තැකිය යුතු නොවන්නේ දකුණේද මෙම තත්ත්වය දකින්නට ලැබෙන බැවිනි. තිස් වසරක් පුරා උතුරු නැගෙනහිර පැවති යුද්ධය විසින් මඩකළපුව දිස්ත්‍රික්කයේ විශාල විනාශයක් සිදුකර තිබේ. ජීවිත දහස් ගණනක්ද රුපියල් කෝටි ගණනක දේපොළ ද ඒ අතර වෙයි. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පැවති සමයේ යතුරු පැදිවලින් පැමිණ වෙඩි තබා පලා යෑමේ සිදුවීම් මෙහි බහුලව සිදුව ඇත. ඒ ඝාතකයින් හිස් ආවරණ පැලඳ යතුරු පැදිවලින් පැමිණීම නිසා ඔවුන් හඳුනා ගැනීමේ අසීරුතාව මඟ හරවා ගැනීම පිණිස එකල හෙල්මට් පැලඳීම මඩකළපුවේ තහනම් කර තිබේ. එම ආභාසය සමඟ හැදුණු වැඩුණු පිරිස් යුද්ධය නිමාවී යළි හෙල්මට් පැලඳීමේ නීතිය මඩකළපුවට හඳුන්වා දුන්නත් එය අනුගමනය නොකරන තත්ත්වයක් පසුගිය කාලයේ දක්නට ලැබුණත් දැන් ඒ සියල්ල වෙනස් වෙමින් තිබේ.

වැඩිම ජන සංඛ්‍යාව

කාත්තන්කුඩි යනු සියයට සියයක්ම මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශයකි. ග්‍රාම නිලධාරී වසම් 18 කින් යුත් කාන්තන්කුඩියේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 6.5 කි. වර්ෂ 2018 වන විට මෙම ප්‍රදේශයෙන් 48093 ක ජනගහනයක් වාර්තා විය. පිරිමි 23753 ක්ද කාන්තාවන් 24340 ක් ද මෙහි වාසය කරති. මේ අනුව මෙම ප්‍රදේශයේ එක් වර්ග කිලෝමීටරයක ජීවත්වන ජන සංඛ්‍යාව 7000 කට මදක් වැඩිය. කාන්තන්කුඩි මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී මොහොමඩ් සෙරීෆ් මොහොමඩ් ජාබීර් මහතා පවසන්නේ මෙය වර්ග කිලෝමීටරයක් තුළ ලංකාවේ ජීවත්වන වැඩිම ජන සංඛ්‍යාව බවයි. ජන ඝනත්වය අනුව ඊළඟට සිටින්නේ දෙහිවල බවත් එම අගය 3000 ක් බවත් ඔහු පැවසුවේය. සාමාන්‍යයෙන් වර්ග කිලෝමීටරයක ජීවත් විය ජන සංඛ්‍යාව 1500 ක් පමණ බවත් කාන්තන්කුඩියේ එම අගය හතර පස් ගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත් ජාබීර් මහතා ප්‍රකාශ කරයි.

සීමා නොකර ළමයින් හැදීමට මුස්ලිම් ජනතාව පෙළඹී සිටින්නේ එය දෙවියන් විසින් තමන්ට ලබාදෙන දායදයක් ලෙස සැලකීමට ඔවුන් පුරුදුව සිටින බැවිනි. උපත් පාලන ක්‍රම මගින් දරුවන් සීමා කිරීම දෙවියන්ට එරෙහි වීමක් ලෙස ඔවුහු සලකති. පසුගිය වසරේ දී කාන්තන්කුඩි මුලික රෝහලේ දරු උපත් 450 ක් සිදුව තිබේ.මේ අතරින් පස් දෙනෙකුගේ මවුවරු වයස අවුරුදු 13 ට අඩු වූවන්ය. මෙම වසරේ මේ දක්වා සිදුව තිබෙන දරු උපත් සංඛ්‍යාව 122 කි. රෝහල් කාර්ය මණ්ඩලයේ බහුතරය මුස්ලිම්ය. දෙමළ හා සිංහල අයද ඒ අතර සිටිති.හෙද කාර්ය මණ්ඩලයේ බහුතරය දෙමළ වන අතර ඔවුන් 30 දෙනෙකි. මුස්ලිම් හත් දෙනෙක් හා සිංහල හය දෙනෙක් හෙද කාර්ය මණ්ඩලයට අයත්ය. මොවුන් සියලු දෙනාගේ කැපවීමෙන් කාත්තන්කුඩි රෝහල කාර්ය සාධනය අතින් නැගෙනහිර පළාතේ ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ.

කාත්තන්කුඩියේ දේශපාලන බලය ඇත්තේ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාටය. නගර සභාවේ මන්ත්‍රී සංයුතිය අනුව එය තේරුම් ගත හැකිය. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එහි ඡන්ද කොට්ඨාස දහයේම බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටය. අත ලකුණින් තරග කළ ශ්‍රී ලනිපයට හිස්බුල්ලා මහතාගේ සහය හිමි වීම නිසා මෙම ජයග්‍රහණය ඔවුන්ට හිමිව තිබේ. ප්‍රසාද ආසනවලින් මුස්ලිම් කොංග්‍රසයට ආසන තුනකුත් ස්වාධීන කණ්ඩායමකට ආසන පහකුත් රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂයට එක් ආසනයකුත් හිමිව තිබේ.එක්සත් ජාතික පක්ෂය කාත්තන්කුඩි නගර සභාවට ඉදිරිපක් කළ නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇත.කාන්තන්කුඩි නගරයේ මුස්ලිම් ව්‍යාපාරිකයින් 1500 ක් පමණද ඉන් පිටත වෙනත් ප්‍රදේශවල ව්‍යාපාර කරන කාත්තන්කුඩියේ උපත ලැබූවන් 2000 ක් පමණද සිටින බව එහි නගර සභාපති එස්.එම් අස්ෆර් මහතා පවසයි.නගර සභාව වාර්ෂිකව ලබන බදු ආදායම රුපියල් ලක්ෂ 600 ක් බවද හෙතෙම කීය.

රට ඉඳි වගාව

නගරයේ රට ඉඳි ගස් රෝපණය කිරීමේ ව්‍යාපෘතියේ නිර්මාතෘ ඔහුය.ඒවා රෝපණය කර තිබෙන්නේ 2008 වසරේදීය. දකුණේ ඇතැමුන් මේ රටඉඳි ගස් සම්බන්ධවද ප්‍රශ්න කරන්නේ එය අරාබි සංස්කෘතිය හා බැදුණු ශාඛයක් බව මතුකර පෙන්වමිනි.මේ සම්බන්ධව නගර සභාපතිවරයා පවසන්නේ මෙසේය.

”රට ඉඳි අරාබි රටවල හැදුණට ඒක අපේ ඉස්ලාම් ආගමට සම්බන්ධ ගහක් නොවෙයි. බෞද්ධයින් බෝගස සලකන්නේ ආගමට සම්බන්ධ ගසක් ලෙසයි. මුලින් ෆාම් ගස් සිටුවන්න අදහස් කළත් එම අදහස පසුව අත්හැරියේ ඒවා විශාලව වැඩෙන නිසයි.තල් ගස් සිටෙව්වා නම් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට පවා බාධා ඇති වීමේ අවදානමක් ඇති විය හැකි බව විද්වතුන් පෙන්වා දුන්නා. මේ රටඉඳි ගස් අපි අරාබියෙන් ගෙනාව ඒවාත් නොවෙයි. මේ රටේ අම්පාර, මුලතිව්, බණ්ඩාරවෙල, කිළිනොච්චි, බදුල්ල, මහඔය, මන්නාරම වගේ ප්‍රදේශවලින් මේවා ගෙන ආවේ. මේ ගස් අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා. ඒ වගේම ශාකයට ජලය අවශ්‍ය වන්නේ ඉතාම අඩුවෙන්. මේ පහසුකම් නිසා අපි මෙහි රට ඉඳි රෝපණය කළා. මඩකළපුව දිස්ත්‍රික්කය අධික උෂ්ණත්වයකින් යුතු ප්‍රදේශයක් නිසා ඊට ගැළපෙන ගස් රෝපණය කළ යුතුයි. මේවාට වැරදි අර්ථ කථන දෙමින් ජාති, ආගම් බේද ඇති කරන්නේ මේ රටේ මාධ්‍යයයි.

කාත්තන්කුඩියට ඇතුළුවන ස්ථානයේ සිට බොහෝ ස්ථානවල අරාබි අක්ෂර දක්නට ලැබේ. රට ඉඳිගස් හා බද්ධව අරාබි අක්ෂරද තිබෙන නිසා කාත්තන්කුඩිය පුංචි ආරාබියක් යැයි නැගෙන චෝදනාවලට පිළිතුරු දුන් නගර සභාපති එස්.එම් අස්ෆර් මහතා පැවසුවේ මුස්ලිම් ජාතිකයින් පිළිම වන්දනාවක් නොකර නිසා කුරානයේ ඇති පාඨ උපුටා දක්වමින් කුරානය ලියා ඇති භාෂාවෙන්ම යම් යම් ස්ථානවල ඒවා ප්‍රදර්ශනය කරන බවයි. මේවා බොහොමයක් වැදගත් කියමන් බවත් කාත්තන්කුඩියට ඇතුළුවන ස්ථානයේ වෙල්කම් යන ඉංග්‍රීසි අදහස මතුවන සේ සිංහල, දෙමළ හා ආරාබි භාෂාවෙන් පාඨ සඳහන් කර තිබත් ඔහු කීවේය. ආගමට සම්බන්ධ සංඛේත හා පිළිම දිවයිනේ වෙනත් ප්‍රදේශයන්හි නගරවලට ඇතුළු වීමේදී දක්නට ලැබුණත් මාධ්‍යය ප්‍රශ්න කරන්නේ කාත්තන්කුඩි ගැන පමණක් බවද හෙතෙම පැවසුවේය.

කාන්තන්කුඩියට අප ඇතුළු වන විටම ඔවුහු පෞද්ගලික මාධ්‍ය දෙකක නම් කියා අප පැමිණියේ ඒවායින් දැයි විමසූහ. ඒ ඇයි දැයි අප ඇසූ විට ඔවුන් පැවසුවේ සමස්ත මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ඔවුන්ට එරෙහිව සිංහල ජනතාව උසි ගැන්වීමේ වැඩපිළිවෙළක් ඇති බවයි. මෙම මාධ්‍යය ආයතන දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව වැඩ කරන බව ඔවුන්ගේ අදහසය.කාන්තන්කුඩියට පය නොතබා ඔවුන් කරන්නේ අන්ධයින් අලියා ගැන පැවසූවක් මෙන් තමන්ට හිතෙන දේ ප්‍රකාශ කිරීම බව කීමටද ඔවුන් අමතක කළේ නැත. එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාත්මක සමයේ ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් සමස්ත දෙමළ ජනතාවට චෝදනා එල්ල නොවූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ අවිගත කණ්ඩායම් ක්‍රියාත්මක සමයේ සමස්ත සිංහල ජනතාවට චෝදනා එල්ල නොවූ බවත් පවසන කාන්තන්කුඩි නගර සභාපතිවරයා සහරාන්ගේ සිදුවීමේදී සමස්ත මුස්ලිම් ජනතාවටම චෝදනා කරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේ සහරාන්ගේ ආගමික ක්‍රියාකාරීත්වය සම්ප්‍රදායික මුස්ලිම් ජනතාවගේ ක්‍රියාකාරීත්වය නොගැළපීම 2014 වර්ෂය ආරම්භයේ සිටම කාත්තන්කුඩි ජනතාව දැන සිටි බවත් ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශවලට තමන් මැදිහත්ව තොරතුරු ලබාදුන් බවත් නගර සභාපති අස්ෆර් පැවසුවේය.

වැරදි වැටහීම

බලධාරීන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් සිදුවූ මහ විනාශය සම්පූර්ණයෙන්ම මුස්ලිම් ජනතාව මත පැටවීම අසාධාරණයක් බව කියන ඒ මහතා සිද්ධියෙන් පැය 72 ක් ගත වන්නට මත්තෙන් සහරාන් හා සම්බන්ධතා පැවැත් වූ සියලු දෙනා ආරක්ෂක අංශවල අත්අඩංගුවට අන්තවාදය පිටුදකින මුස්ලිම් ජනතාවගේ තොරතුරු ඔස්සේ බවද ප්‍රකාශ කළේය. “මුස්ලිම් ජනතාවට අවශ්‍ය මේ රටේ සාමයෙන් සමගියෙන් සිටීමටයි.තිස්වසරක යුද්ධයෙන් වැඩිපුරම බැට කෑවේ නැගෙනහිර මුස්ලිම් ජනතාවයි. එය නිමවීමෙන් පසු අපි බැලුවේ මේ රට කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියලයි. සංචාරකයින්ගේ පැමිණීම ක්‍රමයෙන් ඉහළ යද්දී ලෝකය අපේ රට කෙරහි සුබවාදිව බැලුවා. ඒ සියල්ල මේ අන්තවාදී සුළු පිරිසක් විසින් විනාශ කළා. අපි ශ්‍රී ලාංකිකයෝ. අපිව අරාබියට තල්ලු කරන්න හදන්න එපා.පාස්කු ප්‍රහාරයෙන් පසු දින කිහිපයක් ඇතුළත සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගත්තේ අපේ සහයෝගය නිසයි. ත්‍රස්තවාදීන් තමන්ගේ සුසාන භූමිවල වළ දමන්නටවත් මුස්ලිම් ජනතාව ඉඩ දුන්නේ නැහැ. ජාතිවාදය අවුස්සන ඇතැම් මාධ්‍ය මේක රටට නොකීම අවාසනාවක්” ඔහු පැවසීය.

(Dinamina)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website