Wednesday, 07 August 2019 09:40

අනෙක් අයගේ ජයග්‍රහණ ගැන අහන්න කැමැතියි

‘නිව්යෝක් ටයිම්ස්’ මඟින් වැඩි ම විකුණුම් වාර්තා තැබූ කතුවරයකු ලෙස නම් කළ, ලෝක ප්‍රකට පෞරුෂත්ව සංවර්ධන උපදේශකවරයකු වන නික් වූජිසික්, නිරන්තරයෙන් ‘පුළුවන්/ හැකියි’ යන විශ්වාසය අදහන්නෙක් වීම විශේෂත්වයකි. ඔහුගේ ග්‍රන්ථකරණ කටයුතු පිළිබඳ අන්තර්ජාලයේ පළවුණ සාකච්ඡාවක පරිවර්තනයකි මේ.

ඔබගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය මොකක්ද කියා කවුරු ‍හෝ ඇසුවොත්?

මට වයස අවුරුදු 17දී මගේ මව විසින් දරුණු ආබාධයකින් පෙළෙන මිනිසකු ගැන කියැවෙන පුවත්පත් ලිපියක් පෙන්නුවා. එතැනින් තමයි මගේ ජීවිතය වෙනස් වුණේ. ඒ වෙනකොට මට සියදිවි හානිකර ගන්න හිතුණු වාර අනන්තයි. ඒත්, එදා ඒ පුවත්පත් ලිපිය කියවූවාට පසුව මම යාඥා කණ්ඩායමේදී කතා කරන්න පටන් ගත්තා. ඒ වගේම වයස අවුරුදු 21දී ග්‍රිෆින් විශ්වවිද්‍යාලයෙන් වාණිජවේදී උපාධියක් සහ ගණකාධිකරණය හා මූල්‍ය සැලසුම්කරණය පිළිබඳ ද්විත්ව උපාධියක් ලබා ගත්තා.

ඔබ ලිවීමට පෙලඹුණේ ඇයි?

දෙවියන් වහන්සේ මාගේ ජීවිතය මේ විදිහට මවා තිබෙන්නේ, ලෝකයේ බොහෝ දෙනාට, බලාපොරොත්තුවේ පණිවිඩයක් ඇසීමට, නැතිනම් ලබා දීමටයි. නැතිනම් ඔවුන්ට තවත් වේදිකාවක් සපයා දීමටයි. බොහෝ භාෂාවලට පහසුවෙන් පරිවර්තනය කළහැකි පොතක් ලිවීම, ලොවපුරා මිනිසුන්ට, පාඨකයන්ට මහඟු පිටිවහලක්. ඒකයි මම ලියන්නෙ.

ඔබ කියවීමට කැමැති පොත් මොනවාද?

මම කැමැතියි අන් අයගේ ජයග්‍රහණ පිළිබඳ කියැවෙන කතා අසන්න සහ කියවන්න. ඒ වගේම බුද්ධි වර්ධනය සඳහා බයිබලයේ එන හිතෝපදේශ පොත රස විඳිනවා.

මොකක්ද ඔබගේ පළමු ග්‍රන්ථය?

මගේ පළමු ග්‍රන්ථය ‘Life Without Limits’ නමින් තමා ප්‍රකාශයට පත්වුණේ. ඒ 2010 වසරේදී. ඒක ප්‍රකාශයට පත්කළේ ‘රැන්ඩම් හවුස්’ ප්‍රකාශන සමාගම. මේ කෘතියෙහි ඇතුළත් වෙන්නේ ‍මගේම කතාව. ලොව පුරා භාෂාවන් 30කට අධික ප්‍රමාණයකට එය පරිවර්තනය වුණා. මගේ ජීවිත කතාව ඇතුළත් නිසාදෝ එය ලොව පුරා පාඨකයන් රැසක් අතර වේගයෙන් ජනප්‍රිය වුණා.

ඔබගේ එම පළමු ග්‍රන්ථය වන ‘Life Without Limits’ ලිවීමට ඔබ පෙ‍ලඹුණේ කොහොමද? මිනිසුන් ඔබගේ පොත කියවා ලබා ගනු ඇතැයි ඔබ අපේක්ෂා කරන්නේ මොනවගේ දේද?‍

මම මේ පොත ලිව්වෙ මගේ කතාව මදක් හෝ ඔවුන් දැනගෙන, ඒ තුළින් ඔවුන් දිරිමත් කිරීමටත්, දෙවියන් කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය ගැඹුරටම ගෙනයාමටත් කියා කිව්වොත් නිවැරැදියි. දෙවියන් වහන්සේ කිසි විටෙකත් අත්නොහරින ලෙස ඔවුන් පොලඹවා ගැනීමට මට අවශ්‍ය වුණා. මගේ කතාවත් සමඟ බැලුවහම යේසුස් වහන්සේ මා බේරාගෙන, මගේ හෘදසාක්ෂිය ගැන අසා මට පිහිට වු ආකාරය, අන් අය සමඟ බෙදා ගැනීමට මට අවශ්‍ය වුණා.

ඔබ 2010දී ඔබේ පළමු පොත නිකුත් කළා. ඔබ ලිවීමට සමත්වූයේ කෙසේදැයි බොහෝ දෙනෙක් කල්පනා කරනවා. සම්මුඛ සාකච්ඡා‍වකදී කියා සිටියා ගොල්ෆ් ක්‍රීඩා කිරීමට සහ මසුන් ඇල්ලීමට කැමැති බව. ඔබ කොහොමද මේවා කරන්නේ?

ඔව්, ඇත්තටම මට ලියන්න හැකිවුණේ අපූරු සංස්කාරකවරයකුගේ, ගත්කතුවරයකුගේ, මගේ පවුලේ අයගේ, මිතුරන්ගේ සහ තවත් සහායකයන්ගේ සහයෝගය ඇතිවයි.

මම දැනටමත් ගොල්ෆ් ක්‍රීඩා කරනවා . මම මගේ උරහිස සහ නිකට අතර ගොල්ෆ් පිත්ත රඳවාගෙනයි ක්‍රීඩා කරන්නේ. මේ සඳහා මට සෑහෙන්න පුරුදු පුහුණුවීම් කරන්න සිදුවුණා. ඒත්, දැන් මට ඒක පහසු දෙයක්. ඔබට ඒක විශ්වාස කිරීමට දෑසින්ම දකිනවා නම් වඩා හොඳයි. මගේ දේශන ඇතුළත් ඩී.වී.ඩී. පටවල මම ගොල්ෆ් ක්‍රීඩා කරන ආකාරය පැහැදිලිව තිබෙනවා.

‘නිදහස’ කියන වචනය අපි ඔබගේ පොත්වල නැවත නැවත, නිතර නිතර දකින වචනයක්. ඔබ ‘නිදහස’ යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?

මගේ ජීවිතය දෙස බැලූවිට මම දෙවියන් වහන්සේ බෙහෙවින් විශ්වාස කරන අයෙක්. සැබෑ අධ්‍යාත්මික නිදහස ලැබෙන්නෙ දෙවියන් වහන්සේගෙන් පමණයි. උන්වහන්සේගේ ආත්මය තිබෙන තැන නිදහස තිබෙනවා. මගේ මේ සියලු දේ පාලනය කරන පුද්ගලයා කෙරෙහි මං බලාපොරොත්තු තබා තිබෙනවා.

ඔබගේ අනෙකුත් ග්‍රන්ථ මොනවාද?

මගේ ‘ලයිෆ් විතවුට් ලිමිට්ස්’ ග්‍රන්ථයට අමතරව තවත් ග්‍රන්ථ කිහිපයක්ම ප්‍රකාශයට පත් කළා. මේ වනවිට 2012 දී ‘යුවර් ලයිෆ් විතවුට් ලිමිට්ස්’, 2013දී ‘ලිමිට්ලස්: ඩිවෝෂන්ස් ෆෝ අ රිඩිකියුලස්ලි ගුඩ් ලයිෆ්’, 2013 දී ‘අන්සපෝටබල්: ද ඉන්ක්‍රෙඩිබල් පවර් ඔෆ් ‍ෆෙයින් ඉන් ඇක්ෂන්’, 2014 දී ‘ද පවර් ඔෆ් අන්සපෝටබල් ෆෙයික්’, 2015දී ‘ස්ටෑන්ඩ් ස්ට්‍රොන්ග්’, 2016 දී ‘ලව් විත්අවුට් ලිමිට්ස්’, 2018දී ‘බී ද හෑන්ඩ්ස් ඇන්ඩ් ‍ෆීට්’ යන කෘති රචනා කර ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඔබ ග්‍රන්ථකරණයට අමතරව පෞරුෂත්ව සංවර්ධන උපදේශකවරයකු ලෙස කටයුතු කරනවා නේද? ඒ අත්දැකීම් ප්‍රකාශ කළොත්?

ඔව්. මම මගේ ජීවිත කතාව තමයි මේ සෑම දේශනයකටම තේමාව කර ගන්නෙ. මගේ ‍දෑත් දෙපා අහිමි වුණත්, මං නිරන්තරයෙන් ‘පුළුවන්’ කියන මතයෙයි සිටින්නෙ. ඒ වගේම මං දෙවියන් වහන්සේ තදින්ම විශ්වාස කරනවා. මේ සියලු කාරණා ඇතුළත්ව මගේ තොරතුරු අන්‍යයන් සමඟ බෙදා ගන්නවා. මම, මගේ පෞද්ගලික ජීවිතය ඔවුන් සමඟ බෙදා ගන්නවා. එයින් මං විශාල සතුටක් ලබනවා.

ඒවගේම ඔබ කෙටි චිත්‍රපට සහිත ඩී. වී. ඩී. පට, සංගීතමය වීඩියෝපට පවා නිකුත් කර තිබෙනවා?

ඔව්. මම ‘ද බටර්ෆ්ලයි සර්කස්’ නමින් කෙටි චිත්‍රපටයක රඟපා සම්මාන පවා ලබාගෙන තිබෙනවා. මගේ ජීවිත කතාව ඇතුළත් වාර්තාගත කෙටි චිත්‍රපටයක් සහිත ඩී.වී.ඩී. පටයක් නිකුත් කර තිබෙනවා. ඒවායෙත් පෞරුෂත්ව වර්ධන තොරතුරු ඇතුළත්. මේවා සමඟයි මං ජීවිතය ගෙවන්නෙ.

(නික් වූජිසික් විසින් රචිත කෘති ත්‍රිත්වයක පරිවර්තන, එළැඹෙන සාහිත්‍ය මාසයේදී දොරට වැඩීමට නියමිතය. ඒ මඟින් මෙරට සිංහල කෘති කියවන පාඨකයන්ට, මොහුගේ ජීවන අත්දැකීම් සමඟ තම පෞරුෂය වර්ධනය කරගෙන ජීවිතය ජය ගැනීමට මහඟු අවස්ථාවක් හිමිවේ.)

(Dinamina)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website