Friday, 09 August 2019 07:09

සංවාදයට දොර ඇර සාමයට ආමන්ත්‍රණය කිරීම

ලෝක මුස්ලිම් ලීගයේ මහලේකම් ආචාර්ය ෂික් මොහොමඩ් බින් අබ්දූල් කරීම් අලීසා මහතා මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේ හමු වූයේ පසුගිය සතියේය. එහිදී සිදු වූ කතාබහ සිංහල, මුස්ලිම් හා දෙමළ ජනතාව අතර පළුදු වී තිබෙන සමඟිය, සහජීවනය යළි ගොඩනැඟීමට හේතුවන තරමට ප්‍රබල වූයේ මහනාහිමිවරුන්ද අබ්දූල් කරීම් මහතාද ප්‍රශ්නය හොඳින් තේරුම් ගෙන තිබුණ නිසාය.

පාස්කු ප්‍රහාරය අන්තවාදයට තල්ලු වූ සුළු පිරිසකගේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකන ලෙසත් එය මුස්ලිම් ජනතාවගේ හෝ ඉස්ලාම් ආගමේ ක්‍රියාවක් ලෙස නොසලකන ලෙසත් අබ්දූල් කරීම් මහතා කීවේය. මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන රටවලද මෙවැනි කණ්ඩායම් ජන සංහාර සිදු කරන බවත් උතුම් මනුෂ්‍යත්වයට නිගා දෙන මොවුන් සියලු ජාතීන්ගේ සතුරන් බවත් ඔහු කීවේය.

-----------

පාස්කු ප්‍රහාරය එල්ල වී ගෙවුණු කාල පරිච්ඡේදය තුළ මෙරට සමාජ, ආර්ථික හා දේශපාලනික ක්ෂේත්‍රයන්හි සුවිශාල වෙනස්කම් රැසක් ඇති විය. මේ ඔස්සේ සමාජයේ පැහැදිලි බෙදීම් රැසක් නිර්මාණය වූ අතර සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව එකිනෙකා කෙරෙහි සැකයෙන් හා බියෙන් බලන්නට පසුබිමක් රටේ නිර්මාණය වූයේය. දකුණේ සිංහල ජනතාව මුස්ලිම් ජනතාව කෙරෙහි කිසියම් ආකාරයකට සැකයෙන් බලන තත්ත්වයක් ඇතිවෙද්දී උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනතාව එලෙස මුස්ලිම් ජනතාව දෙස සැකයෙන් හා බියෙන් බලන පසුබිමක් ඇති විය.

අන්තවාදී කණ්ඩායම් මින් ප්‍රයෝජන ගනිමින් මෙම විරසකය තව තවත් වර්ධනය කිරීමට කටයුතු කරද්දී එය සමනය කිරීම පිණිස පෙරට පැමිණ කටයුතු කිරීමේ වැඩි වගකීම පැවරුණේ ආගමික නායකයන්ටය. ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා නිවේදන නිකුත් කරමින් සමඟිය හා සහජීවනය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන විට කාදිනල්තුමන් වැනි නායකයින් ද ගැටුම් අවම කර ගැනීම පිණිස සක්‍රීය දායකත්වයක් ලබාදෙනු ලැබූහ.

භික්ෂූන් වහන්සේලා පිරිසක් වෛද්‍ය සාෆිගේ සිද්ධිය මුල්කර ගනිමින් සිංහල බෞද්ධ ජනතාව තුළ මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට කටයුතු කරනු ලැබුවේ ඇතැම් පෞද්ගලික මාධ්‍යවල ද සහාය ලබා ගනිමිනි. ආරක්ෂාව සම්බන්ධ නිශ්චිත සහතිකයක් නොමැති වීම නිසා විදේශිකයින්ගේ පැමිණීම අඩුවීම මෙරට ආර්ථිකයට ප්‍රබල ලෙස බලපෑවේය. අදාළ සිද්ධි පෙළ හේතුවෙන් රටේ පැහැදිලි දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැඟුණු අතර විධායක හා ව්‍යවස්ථාදායකය අතර පැවැති විරසකය ඊට ප්‍රබල හේතුවක් විය.

සංස්කෘතික බැඳීම

සාමය, සමඟිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව මෙරට පැවැත්වූයේ මෙවැනි පසුබිමක් රටේ නිර්මාණය වී තිබියදීය. ඊට සහභාගි වීම පිණිස මෙරටට පැමිණි ලෝක මුස්ලිම් ලීගයේ මහලේකම් ආචාර්ය ෂික් මොහොමඩ් බින් අබ්දූල් කරීම් අලීසා මහතා මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේ හමු වූයේ පසුගිය සතියේය. එහිදී සිදු වූ කතාබහ සිංහල, මුස්ලිම් හා දෙමළ ජනතාව අතර පළුදු වී තිබෙන සමඟිය, සහජීවනය යළි ගොඩනැඟීමට හේතුවන තරමට ප්‍රබල වූයේ මහනාහිමිවරුන්ද අබ්දූල් කරීම් මහතාද ප්‍රශ්නය හොඳින් තේරුම් ගෙන තිබුණ නිසාය.

පාස්කු ප්‍රහාරය ඉස්ලාම් ආගමිකයින් පිරිසක් විසින් එල්ල කරනු ලැබුවත් ඊට සමස්ත මුස්ලිම් ජනතාව වගකිව යුතු නැති බව ප්‍රශ්නය දෙස මධ්‍යස්ථව බැලූ සැවොම පැවසූ දෙයකි. එසේ වුවත් අන්තවාදී සුළුතර කණ්ඩායම්වල හඬට මාධ්‍ය මගින් වැඩි ඉඩක් ලබා දීම නිසා වඩාත් වේගයෙන් ඔවුන්ගේ හඬ සමාජගත වූයේ මධ්‍යස්ථ පිරිසගේ හඬ යටපත් කරමිනි.

රජ සමයේ පටන් මෙරට වෙසෙන මුස්ලිම් ප්‍රජාව අතර සිටින ඇතැම් කොටස් ශ්‍රී ලාංකික සංස්කෘතිය නිසියාකාරව හඳුනා නොගෙන අරාබි සංස්කෘතිය වැළඳ ගැනීමට උත්සාහ කිරීම තුළින් පාස්කු ප්‍රහාරයේ වගකීම සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙත තල්ලු කර දැමීමට සිංහල අන්තවාදීන් ගන්නා උත්සාහයට ශක්තියක් හා පදනමක් වැටුණු බව කවුරුත් දන්නා කරුණකි. ප්‍රහාරයෙන් අනතුරුව මෙම ප්‍රශ්නය පිළිබඳ ඍජුව කතා කරන්නට තරම් මෙරට මුස්ලිම් දේශපාලකයින් මෙන්ම ආගමික නායකයින් ද උනන්දු නොවීම කනගාටුවට කරුණකි.

ලෝක මුස්ලිම් ලීගයේ මහ ලේකම්වරයා මහනායක හිමිවරුන් හමුවේ කළ ප්‍රකාශය වැදගත් වන්නේ මේ නිසාය. මෙරට මුස්ලිම් ජනතාව ශ්‍රී ලාංකික සංස්කෘතිය තේරුම් ගෙන ජීවත්වීම වැදගත් බව ඔහු කීවේය. ඉන් නොනැවතුණ මහලේකම්වරයා අන්තවාදී අදහස් දරන ත්‍රස්තවාදීන් කුමන ආගමකට අයත් වුවද ඔවුන් සාමයට ළැදි සියලු ජනතාවගේ සතුරන් බවද ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාරය අන්තවාදයට තල්ලු වූ සුළු පිරිසකගේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකන ලෙසත් එය මුස්ලිම් ජනතාවගේ හෝ ඉස්ලාම් ආගමේ ක්‍රියාවක් ලෙස නොසලකන ලෙසත් අබ්දූල් කරීම් මහතා කීවේය.

මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන රටවලද මෙවැනි කණ්ඩායම් ජන සංහාර සිදු කරන බවත් උතුම් මනුෂ්‍යත්වයට නිගා දෙන මොවුන් සියලු ජාතීන්ගේ සතුරන් බවත් කීවේය. රටේ සාමය ආරක්ෂා කිරීම පිණිස මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ගන්නා උත්සාහ අගය කරන බවද ඔශු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව සිංහල බෞද්ධ බවත් ඔවුන්ට නායකත්වය දෙන මහා සංඝරත්නය අතරින් අති බහුතරය පාස්කු ප්‍රහාරයෙන් පසු ඥානාන්විතව ක්‍රියා කරමින් සාමය රැක ගැනීමට කටයුතු කිරීම අගය කළ යුතු බවක් කී ලෝක මුස්ලිම් ලීගයේ මහ ලේකම්වරයා ලෝක සාමය ඇති කිරීම පිණිස ක්‍රියාත්මක වැඩපිළිවෙළට සම්බන්ධ වන ලෙස මහනාහිමිවරුන්ටද ආරධනා කරන්නටද අමතක නොකළේය.

තිස් දහසක පමණ භික්ෂූන් වහන්සේ පිරිසක් වැඩ මෙරට සිටිති. උන්වහන්සේලා අතර උපසම්පදාලාභි භික්ෂූන් වහන්සේ දස දහසක් පමණ සිටින බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි. මාධ්‍ය තුළ ජාතිවාදය හා ආගම්වාදය පතුරවරමින් කෑකෝ ගසන පිරිස මේ අතරින් පනහකටත් අඩුය. උන්වහන්සේලා ජාතික සමඟිය බිඳ දැමීම පිණිස ගන්නා වෑයමට ඇතැම් නායක හිමිවරුන්ගේ අනුග්‍රහය එළිපිට නොවුණත් අභ්‍යන්තර මට්ටමින් ලැබෙන බව ලැබෙන බව ද ප්‍රසිද්ධ රහසකි. බරපතළම කාරණය වන්නේ දේශපාලන අරමුණක් ඒ තුළ තිබීමය. ත්‍රස්තවාදයට ජාති, ආගම් හෝ කුල බේද ඇත්තේ නැත.

බෞද්ධ දර්ශනය

තිස් වසරක යුද්ධයකට මුහුණ දුන් අපේ රටේ ජනතාවට ඒ පිළිබඳ අමුතුවෙන් කියා දිය යුතු නැත. මහ බැංකු බෝම්බය ඇතුළුව එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් පොදු ස්ථානවල පුපුරුවා හරිනු ලැබූ බෝම්බවලින් යාචකයාගේ සිට සුපිරි ජීවිත ගත කළ මහ ධනවතුන්ද, පහළම කුලයේ අයද, ඉහළම කුලයේ යැයි කියා ගන්නා අයද මහ ජාතියට මෙන්ම සුළු ජාතීන්ට අයත් පුද්ගලයින්ද මරණයට පත් වූහ. ජාති, ආගම්, කුල හෝ උස් පහත්කම් කිසිවක් නොසලකා පුපුරා යන බෝම්බයකින් පසු ජනතාව ජාති, ආගම් ලෙස බෙදී එකිනෙකාට චෝදනා කරමින් කටයුතු කිරීමෙන් සිදුවන්නේ රට තව තවත් ආපස්සට තල්ලු වීම පමණකි.

ලොව ඇති සියලු ආගම් අතරින් අවිහිංසාවාදය මූලික කරගත් බෞද්ධ දර්ශනය තුළ මනුෂ්‍යයාට පමණක් නොව සතා සිවුපාවාටත් ගහ කොළටත් ආදරය දක්වන මහඟු පණිවිඩයක් ගැබ්ව තිබේ. යම් අයකුට හිංසාවක් කරන්නට පෙර එය වෙනත් අයකු විසින් තමන්ට සිදුකළහොත් තමන් පත්වන තත්ත්වය ගැන සිතා කටයුතු කරන්නැයි බුදුන් දේශනා කළහ. ඇතැම් භික්ෂූන් වහන්සේලා කටයුතු කරන්නේ බුදුන් වදාළ ධර්මය අනුවමද යන සැකය මතු වන්නේ උන්වහන්සේලාගේ ක්‍රියා කලාපය දකින විටය. ශ්‍රී ලාංකික භික්ෂුවගේ සැබෑ තත්ත්වය කුමක්ද යන්න පිළිබඳව ජත්‍යන්තරය තීන්දු තීරණ ගන්නේ මාධ්‍යය ඔස්සේ පෙන්වන දර්ශනවලිනි. එවැනි පසුබිමක මහානායක ස්වාමින් වහන්සේලා ලෝක මට්ටමින් ක්‍රියාත්මක සාම වැඩපිළිවෙළ හා බද්ධ වීම අත්‍යවශ්‍ය කාරණයක් බවසිතන්නට පුළුවන

ජනතාව බෙදීම

මෙරට සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අතීතයේ පටන් සාමයෙන් හා සමඟියෙන් ජීවත් වූ බවත් බලලෝභී ඇතැම් දේශපාලනඥයින් ඔවුනොවුන්ගේ දේශපාලන වාසි වෙනුවෙන් ජනතාව බෙදා වෙන්කර කිරීමට උත්සාහ කළ බවත් මෙහිදී මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ ඉහත හමුවේදී පැවසූහ. මෙරට බහුතර ජනතාව සිංහල බෞද්ධ බවත් එය තේරුම් ගනිමින් සුළු ජාතීන් කටයුතු කරන්නේ නම් ගැටුම් ඇති නොවනු ඇති බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. ඇතැම් සුළු ජාතික කොටස් මෙය තේරුම් නොගෙන කටයුතු කිරීම පසුගිය කාලය පුරා දක්නට ලැබුණ බවද උන්වහන්සේ කීහ.

සුළු පිරිසක් සිදුකළ එවැනි වැඩපිළිවෙළ නිසා අපහසුතාවට පත්වූයේ සමස්ත මුස්ලිම් ප්‍රජාවය. මේ නිසා මහානායක ස්වාමින් වහන්සේලාට පැවරෙන වගකීම හා සමාන වගකීමක් මුස්ලිම් ආගමික නායකයින්ට ද පැවරේ. සමාජය බේද කරන්නට, කැස කවන අන්තවාදීන් මෙල්ල කිරීම මුස්ලිම් ආගමික නායකයින්ගේ වගකීමය. මෙරට ජාතික හා ආගමික ප්‍රශ්නවලදී මහනායක හිමිවරු විවිධ අදහස් හා යෝජනා ඉදිරිපත් කළත් මුස්ලිම් දේශපාලනඥයින් විනා ඉස්ලාම් ආගමික නායකයින් එවැනි අවස්ථාවල අදහස් දැක්වීමට පෙරට නොඒම බරපතළ ප්‍රශ්නයකි. ලෝක මුස්ලිම් ලීගයේ මහ ලේකම්වරයාගේ ප්‍රකාශ තුළින් මෙරට මුස්ලිම් ආගමික නායකයින් පාඩමක් ඉගෙන ගත යුතුව තිබෙන්නේ ඒ නිසාය.

ආගමික වගකීම

සුළු ජාතීන්ගේ ඇතැම් ක්‍රියාකලාප හේතුවෙන් මහ ජාතිය කුපිත වන බවත් මෙම තත්ත්වය නැති කිරීමට මුස්ලිම් ආගමික නායකයින්ට විශාල කාර්යභාරයක් පැවරෙන බවත් මහනාහිමියන් මෙහිදී ප්‍රකාශ කළහ. එක් කාලයක් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් පීඩා විඳි රට පසුව මුස්ලිම් අන්තවාදී පිරිසකගේ ප්‍රහාරයකට ලක්වූ බවත් එවැනි දේ යළිත් සිදු නොවීම පිණිස කරුණු පහදා දීම මුස්ලිම් ආගමික නායකත්වයේ කාර්යභාරයක් බවත් මහනාහිමියෝ පැවසූහ. කටුවක් ගලවා ඉවත් කළ යුත්තේ කටුවකින්ම බවත් ඒ ආකාරයෙන්ම යම් ජාතියකට හෝ ආගමකට අයත් පිරිසක් වැරදි කරන්නේ නම් ඔවුන් ඉන් ගලවා ගැනීමට පෙරමුණ ගත යුත්තේ එම ජාතීන් හා ආගමිකයින්ම බවත් කී මහනාහිමියෝ මහනුවර මෙන්ම රිදී විහාරය ආශ්‍රිත පල්ලි නිවාස ඉදි කිරීමට ඉඩම් ලබාදී ඇත්තේ විහාරස්ථාන මගින් බවද අවධාරණය කළහ.

අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් අදහස් දක්වමින් සාමයෙන් සමඟියෙන් එකට ජීවත් වූ මුස්ලිම් ජනතාව අතර සිටි පිරිසක් අන්තවාදයට තල්ලුවී මහ විනාශයක් සිදු කිරීම පිළිබඳව සියලු දෙනා පුදුමයටත් කනගාටුවටත් පත්වූ බවත් අන්තවාදීන් යනු නොමඟ ගිය පිරිසක් බැවින් ඔවුන් යහ මඟට ගැනීම සඳහා මුස්ලිම් නායකයින්ට විශාල කාර්යභාරයක් පැවරෙන බවත් කීහ.

සාමය, සමඟිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව පසුගියදා පැවැත්විණි. රටක සාමය, සමඟිය හා සහජීවනය ඇති කිරීම සමුළු පැවැත් වීම මගින්ම කළ නොහැකිය. යුද්ධය නිමාවීමෙන් අනතුරුව සාමය හා සංහිඳියාව ඇති කිරීම පිණිස නොයෙක් වැඩපිළිවෙළ රටේ ක්‍රියාත්මක විය. ඒවා බොහොමයක් මතු පිටින් ගලා ගිය ඒවා මිස සැබෑ ප්‍රශ්නය හඳුනා ගත් ඒවා නොවීය.

අවවාදයට වඩා ආදර්ශය උතුම්ය. අවවාද දීමට අද රටේ ඕනෑ තරම් පිරිස් සිටිති. එහෙත් සාමය හා සහජීවනය සඳහා ආදර්ශ ලබා දීමට සිටින පිරිස අල්පය. සාමය අගයන සහජීවනය පතන සිංහල,දෙමළ හා මුස්ලිම් අති බහුතර ප්‍රජාවක් රටේ සිටිති. එසේ වුවත් තවමත් සිදුවන්නේ අදාළ මාතෘකා ගැන කතා කිරීම පමණි. එයට හේතුව සාමය අගයන මධ්‍යස්ථ ප්‍රජාව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමය. සාමය ඉබේ පහළ වන්නේ නැත. එයට විරුද්ධව අන්තවාදී හා ජාතිවාදී කොටස් කටයුතු කරමින් සිටින මොහොතක සාමය හා සහජීවනය පතන පිරිස සක්‍රීයව පෙරට පැමිණිය යුතු ය.

(Dinamina)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website

අමතන්න

+94 777 303 270