Saturday, 10 August 2019 10:01

තුවක්කු කාගෙද? පත්තු වෙන්නෙ කාටද?

අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හා ඔහායෝ ප්‍රාන්තවලින් වාර්තා වූ සමූහ වෙඩි තැබීම් දෙකත් සමඟ නිදහස් යයි සංස්කෘතියට වැට බැඳීම ගැන මෙන් ම, අන්තවාදය පිටුදැකීම ගැන ද කතාබහක් ඇතිවී තිබේ.

ජනාකීර්ණ වෝල් වාර්ට් සාප්පු සංකීර්ණයට කඩා වැදුණු 21 හැවිරිදි තරුණයකු, දිගට හරහට වෙඩි තබන්නට පටන් ගැනීම හේතුවෙන් මියගිය අහිංසක මිනිසුන් ගණන 22 කි. තවත් විසි ගණනක් තුවාල ලබා සිටී. ඔහායෝ ප්‍රාන්තයේ ඩේටන්හිදී තුවක්කුකරුවකු කළ වෙඩි තැබීම්වලින් 9 දෙනකු මියගිය අතර, තුවක්කුකරුවා ද මරණයට පත් විය.

මේ සිද්ධි ඇති වූ නගර දෙකෙහිම ජනාධිපති ට්‍රම්ප් හා මෙලිනියා ට්‍රම්ප්, බදාදා දිනයේ සංචාරය කළ බව ද වාර්තා වේ. ඔවුන් විපතට පත්ව සිටින ජනතාව හමුවී ඇතත්, එම අවස්ථා පුළුල් ලෙස මාධ්‍යයට විවෘත වූයේ නැත. ප්‍රහාරක ගිනි අවි තහනම් කරන ලෙස ඉල්ලමින් නගර දෙකෙහිදීම විරෝධතා පැවැත්වෙනු දැකිය හැකි විය.

ටෙක්සාස් වෙඩික්කරු පැට්‍රික් කෘෂියස් ට මිනීමැරුම් චෝදනා යටතේ දඬුවම් නියම කෙරෙනු ඇත. ටෙක්සාස් ප්‍රාන්තයට බලපැවැත්වෙන නීති යටතේ මෙවැනි අපරාධයකට මරණ දඬුවම හිමි වීමට ඉඩ ඇති බව, නීතිපති ජෝන් බාගේෂ් ගේ ප්‍රකාශයකින් පැහැදිළි වේ.

වෙඩික්කරු ප්‍රහාරයට පෙර අන්තර් ජාලයට මුදාහැර තිබූ පත්‍රිකාවක්, විමර්ශකයන්ගේ අවධානයට ලක් විය. පිටු 4ක ලියැවිල්ලක් වූ එමඟින් ඔහු සූදු අන්තවාදී මතවාදවල එල්බගත් අයකු බව පැහැදිලි වේ. ප්‍රහාරයේදී හිස්පැඩික් ජනකොටස ඉලක්ක කර එල්ලවී ද යන්න ගැන අවධානයට ලක්ව තිබේ. ප්‍රහාරය සිදු වූයේ ද මෙක්සිතා - අමෙරිකා දේශසීමාව අසන්නයේ වන අතර, මරණයට පත් වූවන් අතර මෙක්සිකානුවන් තිදෙනකු ද සිටින බව මෙක්සිකෝ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.

සුදු අන්තවාදය

ඩේටන් තුවක්කුකරු කොනර් බෙටිස් ට සමූහ ඝාතක මානසිකත්වයක් තිබුණු බව පරීක්ෂණවලින් පෙනී යන්නේ යැයි, ඩේටන් පොලිස් ප්‍රධානියා මාධ්‍යයට පවසා ඇත. ඔහුගේ හිටපු පෙම්වතියගේ ප්‍රකාශයකින් ද මේ බැව් පැහැදිලි වේ. ප්‍රචණ්ඩ, හිංසාකාරී අදහස් ඔස්සේ ඔහු ක්‍රියාත්මක වී ඇති බව පෙනෙන්නේ යැයි, එෆ්. බී. අයි. නිලධාරීහු පවසති. කෙසේ වුව ද, මෙවැන්නකට ඔහු යොමු වූයේ මන්දැයි පරීක්ෂණ නිමවන තුරු නිශ්චිතව කිව නොහැකි බව විමර්ශකයන්ගේ අදහස ය.

ටෙක්සාස් ප්‍රාන්තයේ රිපබ්ලිකන් කොන්ග්‍රස් සභිකාවක වන වෙරෝනිකා එස්කොබාර්, ජනාධිපති ට්‍රම්ප් ගේ ටෙක්සාස් සංචාරයට සම්බන්ධ වීමෙන් වැළැකී සිටියේ ‘ආයිත්තමක්’ වීමට මට වුවමනාවක් නෑ...’ යනුවෙන් පවසමිනි. ජනාධිපති ට්‍රම්ප් පළ කරන ඇතැම් අදහස් වෛර සහගත, රටට අහිතකර මෙන් ම, ප්‍රජාව තුළ බෙදීමක් ඇති කිරීමට හේතු වී ඇතැයි ද ඇය පෙන්වා දෙයි.

වෙනත් අන්තවාදයකට ප්‍රතිචාරයක් ලෙස හෝ අභියෝගයක් ලෙස සුදු අන්තවාදයක් මතුවෙමින් තිබීම, කිසිසේත් යහපත් ප්‍රවණතාවක් නොවේ. එය අනුමත කළ හැකි තත්ත්වයක් වන්නේ ද නැත. එමෙන් ම, එවැනි නැඟීමක් අන්තරාදායක ය.

වසර 2011 සිට මේ දක්වා සුදු ජාතිවාදී ප්‍රහාරවලින් මියගිය පිරිස 175 ඉක්මවා තිබේ. මේවා සුදු ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසයි. ටෙක්සාස් වෙඩික්කරුගෙන් පැහැදිළි වන්නේ, එය එම ප්‍රාන්තයේ සංක්‍රමණික ආක්‍රමණයට එරෙහි ක්‍රියාවක් බව ය. මේ පිළිබඳ අධ්‍යයනය කරන විශේෂඥයන් පවසන පරිදි, මෙය අමෙරිකාවට පමණක් සීමා වන තත්ත්වයක් ද නොවේ.

සුදු ජාතිවාදීන් බොහෝ විට ප්‍රහාර සාධාරණීකරණය කරන්නේ, ඒවා සංක්‍රමණික ආක්‍රමණයට එරෙහිව සිදු කරන බව කියමිනි. ජනාධිපති ට්‍රම්ප් ද සංක්‍රමණිකයන් හා සරණාගතයන් පිළිබඳ කතා කිරීමේදී ආක්‍රමණයක් ගැන සඳහන් කරනු දැකිය හැකි ය. එහෙත්, ටෙක්සාස් ප්‍රහාරයෙන් පසුව ඔහු එය හෙළා දුටුවේ, කවර කාරණයක් නිසා වුව ද මෙවැනි ක්‍රියාවලට සමාවක් නොතිබිය යුතු යැයි පවසමිනි.

ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී ජෝර්ජියාවේ දී ‘ජාතික සමාජවාදී ව්‍යාපාරය‘ නම් සංවිධානයක් පැවැත් වූ විරෝධතාවකට සහභාගි වුවන් නාසි ආචාරය පළ කරනු දැකිය හැකි විය. ඔවුන් පසුබිමින් දිස්වූ‍යේ ගිනිදැල්වලින් ආලෝකවත් වූ ස්වස්තිතියකි. 2017 – 2018 වසරවලදී ද සුදු ජාතිකවාදී ප්‍රහාර ගණනාවක් වාර්තා විය.

පසුගිය මාර්තුවේදී නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි සිදු වූ ප්‍රහාර ද මෙවැනි බරපතළ සිදුවීමකි. ඉන් මියගිය පිරිස 51 කි. ක්‍රයිස්ට්චර්ච් තුවක්කුකරු ආසන්න මාස 5 ක කාල සීමාව ඇතුළත අමෙරිකාවේ සිදු වූ එවැනි වෙඩිතැබීම්වලින් උත්ප්‍රේරණයවී ඇති බව පැහැදිළි විය. අප්‍රේල් මාසයේ කැලිෆෝනියාවේදී වෙඩි තැබීමකින් එක් අයකු මරාදමා, තවත් තිදෙනකුට තුවාල සිදු කළ තරුණයකු කීවේ, තමන් ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයෙන් ආභාෂය ලැබූ බවයි. මීට දින කිහිපයකට පෙර ටෙක්සාස් හි ඔහායෝ හිදී ඇතිවූ සිද්ධිවල ද ඊට සමාන තත්ත්වයක් තිබේ.

මුස්ලිම් ජාතිකයන්, යුදෙව්වන්, සංක්‍රමණිකයන්, සරණාගතයන්, කළු ජාතිකයන් වාමවාදී දේශපාලකයන් තමන්ට තර්ජනයක් වී ඇති බව සුදු ජාතිවාදී මානසිකත්වයකින් යුතු අයගේ අදහස ය. ඔවුහු ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙති.

ලෝකය මෙවැනි තැනකට ගමන් කර ඇත්තේ, ඉස්ලාම් මූලධර්මවාදය ද ඇතුළු ආගමික අන්තවාදය විසින් මෙහෙයවන ලද පුද්ගලයන්ගේ හා සංවිධානවල මනුෂ්‍යත්වයට එරෙහි හිංසන හා අපරාධ නිසා බව පවසති. එහෙත්, ඊට පිළිතුර එවැනිම ආකාරයේ ජාතිවාදී හෝ ආගම්වාදී මූලධර්මවාදයක් නොවිය යුතු ය යන්න යහපත් ලෝකයක් ප්‍රාර්ථනා කරන අයගේ පිළිගැනීම ය.

අමෙරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල ස්වදේශිකයන් සුදු ජාතිකයන් නොවන බව ද සැලකිය යුතුයි. ස්වදේශිකයන්ගෙන් ඇතැම් රටවල් අත්පත් කර ගැනීමේදී, යටත්විජිතවාදීන් ක්‍රියාත්මක වූ අයුරු මෙන් ම, ඉන් පසු නව යටත් විජිතවාදය දිගහැරෙමින් ඇති අයුරු ද සාධාරණ මනුෂ්‍යයන්ට අනුමත කළ නොහැකි ය.

බෙදා පාලනය කිරීම අධිපතිවාදී රටවල ප්‍රතිපත්තියකි. ජනාධිපති ට්‍රම්ප් බලයට පත් වීමෙන් පසු, ටෙක්සියා - අමෙරිකා දේශ සීමාව ඔස්සේ දැවැන්ත පවුරක් ගොඩනැඟුවේ අමෙරිකාවේ ආරක්ෂාවට බව පවසමිනි. සංක්‍රමණිකයන්ට ඇතුළු වීමට නොහැකි ලෙස දේශ සීමා රැකවල් තර කිරීමේ, ඔහුගේ අභිප්‍රායට බලවත් විරෝධයක් ද එල්ල වේ. රටක දේශ සීමා රැක ගැනීම පාලකයාට පැවරෙන වගකීමක් බව පවසති. එහෙත් එය කළ යුතු ආකාරය තීරණය විය යුත්තේ, බලහත්කාරය පෙරදැරිව නොවේ.

මීට මාස කිහිපයකට පෙර අමෙරිකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ, අමෙරිකාව සුදු මිනිසුන්ගෙන් පමණක් සමන්විත විය යුතු ය යන අදහස ප්‍රචාරය කිරීමේ වෑයමක් දැකිය හැකි විය. එය ව්‍යාප්ත කිරීම අවහිර කිරීමට කටයුතු නොකෙරිණි. එහෙත්, මේ අදහස් මතු කරන විවිධ ප්‍රචාර සිදුවෙමින් පවතී.

වෛරී ප්‍රහාර පිළිබඳ නිල සංඛ්‍යා ලේඛන පවා ඇති බව පෙනෙන්නට නැත.

“ඉකුත් මස දී, වෛරය හා අන්තවාදයට එරෙහි අධ්‍යයන මධ්‍යස්ථානය නම් එකතුවක් නිකුත් කළ වාර්තාවක දැක්වෙන පරිදි, 2018 දී අමෙරිකාවේ පමණක් සිදු වූ මිනීමැරුම් අතරින් 17ක් සුදු ජාතිවාදීන් සිදු කළ ඒවා ය.

ගිනි අවි සංස්කෘතිය

මේ සමඟම අමෙරිකාවේ නිදහස් ගිනි අවි සංස්කෘතියට එරෙහිව ද යළිත් විශාල හඬක් නැඟෙමින් තිබේ. මෙවැනි සෑම ප්‍රහාරයකටම පසුව එවැනි විරෝධයක් පළ වුව ද, ටික දිනකින් එය යටපත් විය. අවම වශයෙන් ආරක්ෂක අංශ අත පමණක් තිබිය යුතු ප්‍රහාරාත්මක අවි, සාමාන්‍ය පුද්ගලයන් අතට පත් වීමවත් වැළැක්විය යුතු බව පෙන්වා දී තිබේ. ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත්ව සිටින ඩිමොක්‍රටිස් පක්ෂයේ ටෙක්සාස් හි හිටපු කොන්ග්‍රස් සභික බෙටෝ ඕ රූක් ද මේ බව අවධාරණය කර තිබිණි. ඔහු තැබූ ට්විටර් පණිවිඩයක දැක්වූ‍ණේ, ටෙක්සාස් තුවක්කුකරු සතුව ප්‍රහාරක ගිනි අවියක් තිබෙන්නට ඇති බව පෙනී යන්නේ ය යන්න සහ එවැනි ගිනි අවි සංග්‍රාම භූමිවලට සීමා කිරීමට කටයුතු කළ යුතු බව ය.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, ගිනි අවි සංස්කෘතිය නිසා අමෙරිකාවට වාර්ෂිකව අහිමි වන ජීවිත සංඛ්‍යාව 40,000කට ආසන්න බව ය. මෙය කිසිසේත් අනුමත කළ හැකි තත්ත්වයක් නොවන බව ඔහුගේ අදහස ය. ඇතැම් අධ්‍යයනවලින් පෙනී ගොස් ඇති පරිදි අමෙරිකානුවන් ගේ ගිනි අවි භාවිතය 120%කි.

ටෙක්සාස් සිදුවීම මේ වර්ෂයේදී අමෙරිකාවෙන් වාර්තාවූ 5 වැනි සමූහ වෙඩිතැබීම් සිද්ධියයි. එමෙන් ම, එය එම ප්‍රාන්තයේ ඇති වූ එවැනි දරුණුම ප්‍රහාරය ලෙස ද වාර්තාගත ය. අමෙරිකා ඉතිහාසයේ ද එය මේ අන්දමේ 8 වැනි ප්‍රබල සිදුවීම ය.

ජනාධිපති ට්‍රම්ප් සිය බිරිය ද කැටුව ටෙක්සාස් හා ඔගායෝ ප්‍රාන්තවල කළ සංචාරවලදී, ආරක්ෂක අංශවලට හා සෞඛ්‍ය අංශවලට සිය බලවත් ස්තූතිය පුදකර තිබිණි. එමෙන් ම, දේශපාලන කෝණවලින් මේ කාරණය දෙස නොබැලිය යුතු බව ඔහුගේ මතය වී තිබේ. මේ සංචාරයේදී ජනාධිපතිවරයා ලැබූ ප්‍රතිචාර මිශ්‍ර ඒවා ලෙස සැලකීම වඩා සුදුසු ය. ඇතැම් අය ඔහු අගය කරද්දී, තවත් අය ඔහු විවේචනය කළහ.

සංචාරයෙන් පසු ජනාධිපතිවරයා තැබූ ට්විටර් පණිවිඩයක දැක්වූ‍යේ, වෛරය පෙරදැරි කරගත් කිසියම් හෝ කණ්ඩායමක නැඟීම ගැන තමන් අවධානයෙන් සිටින බව ය. එය සුදු හෝ අන් කවර ආධිපත්‍යයක් වුව ද, තමා ඊට නොකැමැති බව කියා සිටි ජනාධිපති ට්‍රම්ප්, ඒ ගැන දැඩි සැලකිල්ලෙන් සිටින බව ද, ඊට එරෙහිව ක්‍රියාත්මක වන බව ද පවසා තිබේ.

(Dinamina)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website

අමතන්න

+94 777 303 270