Monday, 12 August 2019 07:38

රියැදුරන් බහුතරයකට ඇස් පේන්නේ නැතිලු!

එය, මීට සති තුනකට පමණ ඉහත දී එළඹුණු හිමිදිරියකි. කොළඹ, කොට්ටාවේ බස් නැවතුම්පොළ ක්‍රමයෙන් නිදිගැට හරිමින් උන්නා ය. වේලාව අලුයම 5.40 පමණ වන්නට ඇත. කොට්ටාවේ සිට බොරැල්ල බලා යන මගීහු මාර්ග අංක 174 පෞද්ගලික බසයට නැග සිටියහ. බසය පිටත් වන්නට ඇත්තේ තව සුළු වේලාවකි. මේ අතර, තවත් පෞද්ගලික බසයක් සෙමෙන් සෙමෙන් පසුපසට එනු පෙනුණි. එකවරම එහි පසුපස කොටස ‘බොරැල්ල’ බසයේ පිටුපසට වන්නට ගැටුණේ ය.


ඉක්බිති, සැණෙකින් බිමට පැන ගත් රියදුරන් දෙදෙනා මහත් කෝපයෙන් යුතුව එකිනෙකාට බැණ අඬගසා ගන්නට වූහ.
‘යකෝ, මෙච්චර විශාල පිට්ටනියක් තියෙද්දි උඹ මෙතැන නවත්තලා තිබ්බ මගේ බස් එකේ ඇන්නේ මොකට ද යකෝ?’, බොරැල්ල බසයේ රියදුරා කෑගසන්නට විය.
බොරැල්ල බසයේ පිටුපස තහඩුවක් තැලී ගොස් ඇති ආකාරය ද පෙනෙන්නට තිබිණි. ‘මං කොහොම ද උදේ පාන්දර මේක බොස්ට කියන්නේ’ යයි එහි රියදුරා කෑ ගසන්නට විය.
‘මං හිතුවේ ගෝලයා පිටු පස්සේ ඇති කියලයි. මම උඹේ බස් එක දැක්කේ නෑ’, යන්න අනෙක් රියදුරාගේ පිළිතුර විය.
අවසන, ගැටුම සමහන් වූයේ වරද සිදු කළ රියදුරා බොරැල්ල බසයට අලාභ ගෙවන්නට එකඟ වීමෙනි.
ආරවුල සමථයකට පත් වෙද්දී, එහි සිටි බස් සේවකයෙක් වරද සිදු කළ රියදුරාගෙන් විමසුවේ, ‘මාමාට ඔච්චර පේන්නේ නැතිනම් බස් එළවන්නේ කොහොම ද?’, කියා ය. ඒ කතාවට එහි සිටි කවුරුත් සිනාසුනහ.
කොට්ටාව බස් නැවතුම්පොළ විශාල ඉඩකඩක් සහිත පිට්ටනියකි. පාන්දර ජාමයට එහි බස් රථ කොතෙක් තිබුණ ද, තවත් බසයක හප්පා ගන්නේ නැතිව, බසයක් හරවා ගන්නට බැරිකමක් නැත්තේ ය. එහෙත් අර රියදුරා තම බසය පසුපසට ගෙන ඇත්තේ අතිශයින් ම අපරීක්ෂාකාරීව ය. එනම්, ගෝලයා (කොන්දොස්තරවරයා) එහි සිටිතැයි සිතා ගෙන ය. විශාල ඉඩක් ඇති භූමියක, අනෙක් බස් රථය නො පෙනුණා පුදුම ය.
මෙය බොහොම සුළු සිද්ධියක් බව ඇත්ත ය. එහෙත් පෞද්ගලික මගී බස් රථ රියදුරන් අතර, ‘ඇහැට පොල් පරාලයකින් ඇන්නත්’ නො පෙනෙන ජාතියේ රියැදුරන් ද සිටින බව එයින් පෙනී යන්නේ ය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ පාලන වාර්තාවේ සඳහන් වන අන්දමට, රියැදුරු යෝග්‍යතා වෛද්‍ය පරීක්ෂණවල දී වැඩියෙන්ම හෙළිදරව් වන රෝගාබාධය වන්නේ දෑස් හරි හැටි නො පෙනීමේ දුර්වලතාවයයි. එය සියයට 62ක ප්‍රතිශතයක් බව වාර්තාවේ දක්වා තිබේ. මෙහි තේරුම වන්නේ ‘රියැදුරු ලෝකයේ’ සැලකිය යුතු පිරිසක් අක්ෂි ආබාධවලින් පෙළෙන බවයි.
ඉකුත් ඉරිදා (04) දිනයේ කළුතර වස්කඩුවේ දී සිදු වුණු ලංගම-පෞද්ගලික බස් රථ ගැටුමෙන් පුද්ගලයන් හය දෙනෙකු මියගියහ. තවත් පනස් ගණනක් තුවාල ලැබූහ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, ලංගම රියදුරාගේ නො සැලකිල්ල අනතුරට හේතුව බවයි. සිද්ධියත් සමගම මගී ප්‍රවාහන බස් සේවාවන් කොතෙක් ආරක්ෂාකාරී ද? යනුවෙන් සමාජ කතිකාවක් ද පැන නැගී ආවේ ය. ප්‍රවාහන අමාත්‍යංශය පවසන අන්දමට, වර්තමානයේ දී, වසරකට ජනගහනයෙන් ලක්ෂයකට 15 දෙනෙක් රිය අනතුරුවලින් මිය යන්නෝ ය! එය බරපතළ කාරණයකි.
2016 වසරේ දී මාරක රිය අනතුරු 2824ක් සිදු වුණු අතර, එයින් පුද්ගලයන් 3003 දෙනෙක් මියගියහ. 2017 වසරේ හටගත් මාරක රිය අනතුරු ගණන 2424කි. එයින් මියගිය සංඛ්‍යාව 3101කි. 2018 වසරේ දී මාරක රිය අනතුරු 2949ක් වාර්තා විය. එයින් මියගිය සංඛ්‍යාව 3097කි.
2016 වර්ෂයේ දත්ත අනුව, මාරක රිය අනතුරුවලට බලපාන හේතු සාධක කිහිපයක් ම හඳුනා ගෙන තිබේ. ඉන් අංක එකට ගැනෙන්නේ ‘ආක්‍රමණශීලීව හෝ නොසැලකිලිමත්ව’ රිය ධාවනයයි. 2016 වසරේ එබඳු අනතුරු 30,811ක් වාර්තාවී තිබිණි. ඊළඟට එන්නේ ‘අධික වේගයයි’. 2016 දී එයින් හටගත් රිය අනතුරු සංඛ්‍යාව 6287කි. ඊළඟට එන්නේ ‘බීමත්කම’ ය. 2016 දී, මද්‍යසාර භාවිතය නිසා සිදුවුණු රිය අනතුරු සංඛ්‍යාව 1949ක් විය.
ජාතික ගමනාගමන කොමිසම පවසන අන්දමට, වැරදි විනිශ්චය, අධික වෙහෙස හෝ නින්දයාම, අනවධානය හෙවත් ‘ආකූල බව’ සහ ඇස් පෙනීමේ දෝෂ යන කාරණා ද මාරක රිය අනතුරුවලට හේතු වෙයි.
පොලිසිය කියන හැටියට, මේවාට අමතරව මාරක රිය අනතුරු සඳහා බලපාන තවත් හේතු තිබේ. මාර්ග නීතිවලට අවනත නො වීම, රියදුරන්ගේ ආකල්ප, අයහපත් කාලගුණය, නිසි සුදුසුකම් නැති (රියදුරු බලපත්‍ර නැති) පුද්ගලයන් රිය පැදවීම, ආසන පටි නො පැලඳීම සහ රිය පදවන අතර ජංගම දුරකථන භාවිතය වැනි කාරණා ඒ අතර තිබේ.
රිය අනතුරු සම්බන්ධයෙන් ගත් කල, වැඩියෙන්ම අනතුරට පත් වන්නේ මෝටර් සයිකල් ය. ඊළඟට ලොරි රථ ය. එතැනින් ද ඔබ්බට, වෑන් රථ සහ ත්‍රිරෝද රථ ය. රිය අනතුරු පෝලිමේ ඊළඟට එන්නේ මෝටර් රථ, පෞද්ගලික බස් රථ සහ ලංගම බස් රථ ය. සෑම වසරක ම පාහේ ලංගම බස් රථ මෙන් දෙගුණයකටත් වඩා අනතුරට පත් වන්නේ පෞද්ගලික බස් රථ ය.
කොයි හැටි වෙතත් ලංකාවේ රියැදුරන්ගේ ලෝකයේ විශාල කොටසක් අඳුරු වෙමින් යන බව, ශ්‍රී ලංකා ප්‍රවාහන වෛද්‍ය ඒකකයේ තොරතුරු අපට පෙන්වා දෙයි. ඔවුන් කියන හැටියට, රියදුරුකම් පතා වෛද්‍ය පරීක්ෂණවලට පැමිණෙන බොහොම දෙනෙක් නිරෝගී තැනැත්තන් නොවේ.
2018 වසරේ දී වෛද්‍ය පරීක්ෂණවලට පැමිණි පිරිසෙන්, 53,665 දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වල ය. 24,081 දෙනෙක් පාලනය නො කළ දියවැඩියාවෙන් පෙළෙති. 12,522ක් අධික රුධිර පීඩනයෙන් ද, 3205 දෙනෙක් හෘදයාබාධවලින් ද පෙළෙති.
අනතුරුවලට ලක් වුණු රියැදුරන් කියන අධික වෙහෙස, නින්ද යාම ආදී කාරණා සහ මෙම රෝගාබාධ අතර සම්බන්ධයක් නැතැයි කියන්නට බැරි ය.
අයි. ජී. එච්. එම්. ප්‍රියන්ත කුමාර හේරත් (49) මහතා, වසර 14ක් මුළුල්ලේ දුර ගමන් සේවා බස් රථවල සේවය කරන පෞද්ගලික බස් රථ රියදුරෙකි. ඔහු සේවය කරන්නේ පොළොන්නරුවේ කදුරුවෙල සිට මහනුවර දක්වා දිවෙන බසයක ය. එය අලුයම 2.50ට කදුරුවෙලින් ගමන් අරඹයි.
‘දවසක් නුවර යනකොට මට පේනවා ඈතින් ටෙන්වීල් ටිපර් එකක් එනවා. එයා එන්නේ මගේ සයිඩ් එකෙන්. මිනිහා නිදි බව මට තේරුණා. මං කොයි එකටත් බස් එක පුළුවන් තරම් වමට ගත්තා. ඊට පස්සේ ‘හෙඩ් ලයිට්’ ඩිම් කරලා ප්‍රතිචාර දක්වනවා ද කියලා බැලුවා. නින්ද ගිහින් නැතිනම් හෙඩ් ලයිට් ගැහුවාම, එයත් හෙඩ් ලයිට් ඩිම් කරලා ඉස්සරහින් එන කෙනාට ප්‍රතිචාර දක්වනවා. එදා එහෙම වුණේ නෑ. මට හොඳටම බය හිතුණා. පස්සේ බස් එක වම් පැත්තේ අයිනට ම අර ගෙන, හෙඩ් ලයිට් ඩිම් කරමින් දිගටම හෝන් ගැහුවා. එතකොට එයාට ඇහැරුණා. අනූනමයෙන් ටිපර් එක එයාගේ පැත්තට කපා ගත්තා’, ඔහු සිය රාත්‍රී බස් අත්දැකීම් කියන්නේ අපගේ කුතුහලය අවුස්සමිනි.
ප්‍රියන්ත කුමාර හේරත් මහතා කියන හැටියට, බොහොම දෙනෙක් වාහනය පාරට ගත් පසුව සිතන්නේ තමන් පාරේ චණ්ඩියා බව ය. අනුන් සමග තරගයට රිය පැදවිය යුතු බව ය. එවිට ඔවුහු ආක්‍රමණශීලීව රිය පදවති. බස්වලට ද ඇත්තේ ඔරොත්තු නො දෙන තරම් තරගයකි. තරගය නම් මාරාන්තික බව ඔහු කියයි.
යාපනයේ සිට කොළඹ ඔස්සේ කතරගම, තංගල්ල, මාතර ආදී දකුණේ නගර කරා දිවෙන පෞද්ගලික බස් සේවාවන් කිහිපයක් තිබේ. එසේම, කොළඹ සිට කතරගම තෙක් දිවෙන පෞද්ගලික බස් සේවාවන් ද තිබේ. එයින් බස් රථ බොහොමයකට ම, රියැදුරන් තිදෙනෙක් සිටිති. ඉන් එකෙකු ඇත්තට ම බසයෙහි නිල රියදුරා ය. ඔහු රියදුරු අසුනේ සිට බසය පදවයි. දෙවැනි රියදුරාට සුක්කානමක් නැත. ඔහු ඉදිරිපස පාපුවරුවේ සිට වම් අත එළියට දමමින්, පාර හදමින්, රියදුරුට අණ දෙමින් බසය පදවයි!
තුන් වැනි රියදුරා, බසයේ කොන්දොස්තරවරයා ය. ඔහු සිටින්නේ පිටුපස පා පුවරුවේ ය. බසයේ ටිකට් කඩන අතරතුර පසුපසින් එන ප්‍රතිවාදී බස් රථ ගැන ඔත්තු බැලීම, ඔහුගේ කටයුත්තයි. ඔහු ද රියැදුරෙක් බඳු ය.
ඔවුන්ට මාර්ග නීති හෝ වේග සීමා බලපාන බවක් ද නො පෙනේ. ඔවුහු නිතරම අධික වේගයෙන් යන්නෝ ය. ඒ අතරේ, තමන්ට ඉදිරියෙන් හෙමින් යන වාහනයක් වෙතොත්, හප්පන්නට මෙන් ළංකර, කන්බිහිරි වන තරමේ හෝන් පාරක් ගසා, ඒ වාහනය පාරෙන් එළවා දැමීමට ද හපන්නු ය. ඒ යන ගමන, ඇතුළේ ඉන්නට බය හිතෙන තරම් ය.

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website