Wednesday, 14 August 2019 08:16

ඉංග්‍රීසි ජනසතු කරන රජයේ වැඩපිළිවෙළ

වත්මන් ගුරුවරුන් භාවිතයට ගන්නේ අහඹු ලෙස තෝරාගත් සාම්ප්‍රදායික ඉගැන්වුම් ක්‍රම ය. එහිදී ගුරුවරයා කතා කරන කාලය (Teacher Talking Time ) ඉතා ඉහළ මට්ටමක පවතී. ශිෂ්‍යයන්ට පන්ති කාමරයේදී වැඩ කිරීම සඳහා ලබාදෙන්නේ සුළු කාලයකි. ක්‍රමය තුළ ඉංග්‍රීසි භාෂා ගුරුවරයාගේ කතා කරන කාලය ද ඉහළ මට්ටමක පවතින නිසා වැඩ කිරීමට ඇති කාලය ශිෂ්‍යයන්ට අහිමි වේ.

එම්. ජලල්දීන් ඉස්ෆාන්
ලෝකය, නවීනකරණයට හසුව ඇත. විද්‍යාත්මක දැනුම, විදග්ධබව එහි පතළ ය. රොබෝ තාක්ෂණය සහ තවත් බොහෝ තාක්ෂණ හරහා දියුණු තලයකට ළඟා වූ ලෝකයේ ජීවත්වන මිනිසුන් ගෝලීය අභියෝගයන්ට ද මුහුණ දිය යුතුය. ඒ සඳහා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම අත්‍යාවශ්‍ය වී තිබේ. ශ්‍රී ලංකාවේද ඉංග්‍රීසි භාෂාව දෙවන භාෂාවක් ලෙස වසර ගණනාවක් මුළුල්ලේ ඉගැන්වෙන නමුත් සන්නිවේදන කුසලතාවන්හි කැපී පෙනෙන දියුණුවක් ලබා ගැනීමට අප තවමත් සමත් වී නැත. මෙරට ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම ආබාධිත තත්ත්වයකට පත් කිරීම කෙරෙහි බලපාන්නා වූ ඍජු සහ වක්‍ර සාධක ගණනාවකි. ඉන් පළමු සහ ප්‍රධානතම කාරණය නම්, අප තවමත් ඉංග්‍රීසි ඉගැන්වීමේ සාම්ප්‍රදායික ක්‍රමයේ ඇලී ගැලී සිටීමයි. අප ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ නව්‍ය තාක්ෂණය භාවිතයට නොගන්නා තරම් ය.

සිතුවිලි සහ ක්‍රියාවන්ට මුල්වන ආකල්ප වෙනස් කර ගැනීමට ශ්‍රී ලාංකිකයන් වන අපට තවමත් හැකියාවක් ලැබී නැත. මෙරට ගුරුවරු දෙලක්ෂයකට අධික පිරිසක් සිටිති. පාසල් දස දහසකට ආසන්න සංඛ්‍යාවකි. මේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව මිලියන 4.8කට ආසන්න ය. අධ්‍යාපන සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මෙරට රජය සෑම වසරක් පාසාම රුපියල් බිලියන ගණනක් වැය කරයි. එසේ හඳුන්වා දෙන ව්‍යාපෘති නිසි ඵලදායීතාවක් නොදක්වමින් පසුබසිමින් තිබේ. එතුළ සිදුවන සෑම දෙයක් සම්බන්ධයෙන්ම අපට රජයට දොස් පැවරිය නොහැකි ය. මන්ද යත්, රජයක් නව්‍ය ව්‍යාපෘතියක් හඳුන්වා දුන්විට එහි හවුල්කාර සෙසු පාර්ශ්වකරුවන් එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට උනන්දු වියයුතු බැවිනි. අධ්‍යාපනය, විද්‍යාව, තාක්ෂණය, ආර්ථිකය, කෘෂිකර්මාන්තය යනාදී ක්ෂේත්‍රවල නව්‍යමය වෙනස්කම් සඳහා පුද්ගල ආකල්ප වැදගත් වන්නේ මේ නිසයි.

නව්‍ය ක්‍රමවේද

අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකාවේ බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය සමඟ එකට එක්ව පුහුණු වැඩසටහනක් ආරම්භ කිරීමට ගත් පියවර, ගුරුවරුන්ට පුහුණුව ලබාදීම මගින් ගුරුවරුන් සංවර්ධනය කිරීමට ගත් පියවරක් හැටියට සැලකිය හැකි ය. එම වැඩසටහන හැඳින්වුණේ ‘ශ්‍රී ලංකාවේ ගුරු අධ්‍යාපනය වැඩි දියුණු කිරීම ‘ (Improving Teacher Education in Sri Lanka) හෙවත් ITES යනුවෙනි. එය පසුගිය වසරේදී ආරම්භ විය. වැඩසටහන ආරම්භ කිරීමේ එකම සහ ස්ථිර අභිප්‍රාය වූයේ, ඉංග්‍රීසි ගුරුවරුන්ට නව්‍ය ක්‍රමවේද පිළිබඳ වැඩිදුර පුහුණුවක් ලබාදීමයි.

මෙම වැඩපිළිවෙළ යටතේ සේවස්ථ උපදේශකයන් 148 දෙනකුට පුහුණුව ලබා දී ඇත. ඔවුන් හරහා දිවයින පුරා ඉංග්‍රීසි ගුරුවරුන් 10,000කට ආසන්න සංඛ්‍යාවක් මේ වසර තුළදී පුහුණු කිරීමට නියමිතය. තවත් ඉංග්‍රීසි ගුරුවරුන් 6,000ක් 2020 වසරේදී පුහුණු කෙරේ.

සේවස්ථ උපදේශකයකු වශයෙන් දින 13හි මෙකී පුහුණුව ලබන්නට මටද අවස්ථාවක් ලැබිණ. එම දින 13න් පළමු දින 5 කුලියාපිටියෙදීත් තවත් දින 3ක් පස්දුන්රට අධ්‍යාපන විද්‍යාලයෙහිදීත්, අවසන් දින 5 නැවත කුලීයාපිටියෙහිදීත් පුහුණුව ලැබීමි. මෙම පුහුණුව අන්තර් ක්‍රියා සහ ක්‍රියාකාරකම් පාදක කරගත් ඉගැන්වුම් ක්‍රමවේදයකින් සමන්විත විණ.

වත්මන් ගුරුවරුන් භාවිතයට ගන්නේ අහඹු ලෙස තෝරාගත් සාම්ප්‍රදායික ඉගැන්වුම් ක්‍රමයන් ය. එහිදී ගුරුවරයා කතා කරන කාලය (Teacher Talking Time ) ඉතා ඉහළ මට්ටමක පවතී. ශිෂ්‍යයන්ට පන්ති කාමරයේදී වැඩ කිරීම සඳහා ලබාදෙන්නේ සුළු කාලයකි. ක්‍රමය තුළ ඉංග්‍රීසි භාෂා ගුරුවරයාගේ කතා කරන කාලය ද ඉහළ මට්ටමක පවතින නිසා වැඩ කිරීමට ඇති කාලය ශිෂ්‍යයන්ට අහිමි වේ.

ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ මේ බරපතළ ගැටලුව පැන නැඟී තිබෙන්නේ කාරණා කිහිපයක් හේතුවෙනි. නිසි සැලසුමක් නැතිකම, අවිධිමත් සහ නුසුදුසු ඉගැන්වීම් ක්‍රමවේද භාවිත කිරීම, ඒ අතර ප්‍රධාන ය. අන්තර් ක්‍රියාකාරීත්වයන් සහ ක්‍රියාකාරකම්වල යෙදෙමින් මිනිත්තු 40ක පාඩම් කාලය තුළ ශිෂ්‍යයන්ට වැඩි අවස්ථාවක් සැලසෙන ආකාරයට පාඩම ඵලදායිව සැලසුම් කරගන්නේ කෙසේ ද යන්න ගැන ඔවුහු අපට පුහුණුවක් ලබා දුන්හ.

වැඩි පැහැදිලි කිරීම් සඳහා කාලය නාස්ති නොකර, පාඩමක් ඵලදායීව කියාදීමට හැකි අන්දමට, පාඩම් සැලසුම් ලිවීමට ඔවුහු අපට ඉගැන්වූවෝ ය. සිසුන් සඳහා කියැවීමේ පාඩම් සැලසුම් කිරීමට නොහැකි සමහර ඉංග්‍රීසි ගුරුවරුන් ගැන සිතන විට, එය ගිල දැමීමට අපහසු තරමේ කටුක බවක් සහිත බෙහෙත් පෙත්තක් බව සැබැවි.

කියැවීමේ අදියර

එවැනි ගුරුවරුන්, සිසුන්ට තවමත් අණ කරන්නේ තම පෙළ පොත ගෙන පෙරළා, පාඩම කියවා, එම පිටුව අවසානයේ ඇති ප්‍රශ්නවලට උත්තර ලිවීමට ය. මෙවැන්නක් සිදුවන්නේ පූර්ව සැලසුම් නොතිබීම, නව්‍ය, ඵලදායී සහ අන්තර් ක්‍රියාකාරකම් පදනම් කරගත් දැනුම හා ක්‍රමවේදයන්ගේ හිඟකම හේතුවෙනි. පරමාදර්ශී ගුරුවරයෙක් කියැවීමේ පාඩමට, අදියර තුනක් යටතේ අනුවර්තනය වෙයි. එනම්, පාඩම කියැවීමට පෙර, පාඩම කියවන අතරතුර සහ පාඩම කියැවීමෙන් පසු යන අදියර තුනයි.

මේ අදියර තුනේදී ගුරුවරයා පාඩම සැලසුම් කරන්නේ ශිෂ්‍යයන්ට, අනෙක් ශිෂ්‍යයන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට අවස්ථාවක් ලැබෙන පරිදී ය. එමෙන්ම බුද්ධි කලම්බනයටත් එම සැලසුමෙන් ඉඩක් ලැබේ. එක් එක් අදියර සඳහා තමන් කොපමණ කාලයක් ගත කරන්නේ ද යන්න ගැනත් ගුරුවරයා තුළ අවබෝධයක් තිබීම එහි ඇති වඩා වැදගත් ම කාරණයයි. ඒ නිසා, ගුරුවරයා පාඩම කියැවීමට පෙර හෝ පාඩම කියවන අතරතුරදී හෝ වැඩි කාලයක් ගත නොකරනු ඇත. පශ්චාද් කියැවීමේ අදියරේ (post-reading stage) මඳ වෙලාවක් ගත කිරීමට ඔහු ඉඩක් ලබාදෙයි. එය ඉතා වැදගත් පියවරකි. ඒ අනෙකක් නිසා නොව, එය නිෂ්පාදන අවධිය (production stage) වන බැවිනි.

දැන් සිදුවන්නේ මෙයට හාත්පසින් ම වෙනස් දෙයකි. ගුරුවරයා වැඩි කාලයක් ගත කරන්නේ කියැවීමට පූර්වයෙන් සහ කියැවීම අතරතුරදී ය. ශිෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම් සඳහා ඉතා සුළු කාලයක් ඉන්පසු ලබා දෙයි. සවන්දීම ඉගැන්වීම සඳහා පාසල් තුළ පළමුව කී ක්‍රමයම අනුගමනය කරන්නට පුළුවන. ඵලදායී පාඩමක් සැලසුම් කරන්නේ කෙසේ ද යන්න ගැන දින 13හි පුහුණුවේදී උපදේශකයෝ අපට පුහුණුවක් ලබා දුන්හ. දෙදෙනා බැගින් අත්දැකීම් බෙදාගැනීම, විවේචනාත්මක චින්තනය සහ සිසුන් කණ්ඩායම් කිරීම හා ශිෂ්‍ය කේන්ද්‍ර පන්තිකාමර යන ඉගැන්වීම් තාක්ෂණ භාවිත කර පාඩමක් කාර්යක්ෂම ලෙස කියවන්නේ කෙසේ ද යන්න ගැනත් ඔවුහු අපට ඉගැන්වූහ.

නවීන තාක්ෂණය

භාෂා ඉගැන්වීමේදී නව්‍ය තාක්ෂණය සහ ඉගෙනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලැබුණු දැනුම, පුහුණුවේ තවත් කැපී පෙනෙන අංගයක් විණ. තාක්ෂණය සෑම ක්ෂේත්‍රයකටම මේ වනවිට ළඟා වී ඇත. ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම සම්බන්ධයෙන් ද එය එසේම ය. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේදී ඇතිවන අභියෝග ජයගැනීම සඳහා ගුරවරුන් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට දැඩි අවශ්‍යතාවක් තිබේ.

පාඩම් සැකසීම, අතිරේක තොරතුරු සොයා ගැනීම සහ ගුරු වෘත්තිය පිළිබඳ දැනුම යාවත්කාලීන කර ගැනීමට ඵලදායී ලෙස තාක්ෂණය භාවිත කරන්නේ කෙසේ ද යන්න ගැන මේ පුහුණුවේදී මඟ පෙන්වන ලදී. එසේම ස්වයං අධ්‍යයන මොඩල තුළින් ගුරුවරුන් සවිබල ගැන්වීමට තාක්ෂණය භාවිත කරන ආකාරයත් පෙන්වා දුණි. නිදසුනක් ගනිමු. ‘දෙවන බස ලෙස ඉංග්‍රීසි ඉගැන්වීම’ (Teaching English as a Second Language ) යනුවෙන් මෘදුකාංගයක් ඇත. එය අංශ දෙකක් කෙරෙහි යොමු වේ. එනම්, ගුරුවරයාගේ භාෂා ප්‍රවීණතාව කෙරෙහි සහ සිසුන්ට භාෂා ඥානය ලබාදීමට විද්‍යුත් මාධ්‍ය භාවිත කිරීම කෙරෙහි ය. ‘පරිගණක ආධාරයෙන් භාෂා ඉගැන්වීම’ (Computer-Aided Language Learning) නමැති මෘදුකාංගය, භාෂා ඉගැන්වීමේදී මතුවන බාධා සහ අභියෝග ජයගැනීමට උපකාරී වන්නකි.

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ක්‍රියාවලියේ විශාල අඩුපාඩුවක් පවතී. එනම්, කතා කිරීම සහ සවන්දීම සඳහා වත්මන් ක්‍රමය තුළ ප්‍රමුඛතාවක් නොදීමයි. අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේදී ඉංග්‍රීසි භාෂාවට ‘A’ සාමාර්ථයක් ලබා ගන්නා සිසුන්, ඉංග්‍රීසි බසින් අදහස් ප්‍රකාශ කිරීමට අපොහොසත් වන්නේ මේ කාරණය හේතුවෙනි. එය සිදුවන්නේ දරුවාගේ වරදින් නොව, අප රටෙහි පවත්නා අධ්‍යාපන ක්‍රමයේ වරදිනි.

ශ්‍රවණය හා කථනය

ඉංග්‍රීසි බසට සවන් දී අවබෝධ කරගැනීමට ශිෂ්‍යයන්ට ඇති හැකියාව සහ ඉංග්‍රීසි බසින් කතා කිරීමට ශිෂ්‍යයන්ට ඇති හැකියාව අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේදී අපි කිසිවිටෙකත් පරික්ෂා නොකරන්නෙමු. අවසාන විභාගයේදී අප ඇගයීමට ලක් කරන්නේ ශිෂ්‍යයාගේ කියැවීමේ සහ ලිවීමේ කුසලතා පමණි. ඉංග්‍රීසි භාෂා ගුරුවරුන්ට නව්‍ය ක්‍රමවේද සම්බන්ධයෙන් පුහුණු ලබාදීමට මෙරට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මෙම පුහුණුවෙන් බලාපොරොත්තු වන්නේ ඉංග්‍රීසි බසට සවන්දීම සහ කථනය සම්බන්ධයෙන් වන පාඩම්, රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට ඉගැන්වීමයි. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශය ඇණයෙහි හිසටම මෙවර නිවැරදිව ම පහර දී තිබේ. තවද, ඉංග්‍රීසි බස සම්බන්ධයෙන් ශ්‍රවණ සහ කථන පරීක්ෂණ පැවැත්වීම පසුගිය වසරේ සිට ආරම්භ කර ඇත. 6,7 සහ 8 ශ්‍රේණිවල සිසුන්ගේ පරීක්ෂණවලදී ඉංග්‍රීසි කථනය සඳහා ලකුණු 12%කුත් ශ්‍රවණය සඳහා ලකුණු 8%කුත් ලබාදීම මේ වනවිට සිදු කෙරේ.

රජයේ පාසල්වල ශිෂ්‍යයන්ට ඉංග්‍රීසි ඉගැන්වීමටත් ඔවුන්ගේ ඉංග්‍රීසි කථන සහ ශ්‍රවණ හැකියාවන් පරික්ෂා කර බැලීමටත් අධ්‍යාපන අමාත්‍යංශය ගත් මේ ක්‍රියාමාර්ග කාලෝචිතය. මෙයට පෙර පත් වූ රජය ද මේ සම්බන්ධයෙන් පියවර ගත්තේ ය. එම පියවර ගත්තේ ‘ඉංග්‍රීසි යනු ජීවන කුසලතාවක්’ (English is a life skill) යන තේමාව යටතේ ය. එසේ වුවත් පවත්නා පද්ධතියත් සමඟ නිසි ලෙස පෑහීමට ඔවුන්ට නොහැකි විණ. කෙසේ වුවත්, රජය දැන් නව විෂය නිර්දේශය සහ නව්‍ය පුහුණු වැඩසටහන හඳුන්වා දී තිබේ.

වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට යන්නේ ගුරුවරුන් ය. ‘ගායකයා මිස ගීතය නොවේ’ යන කියමනෙන් කියැවෙන්නා මෙන් ඔවුන් ගුරුවරුන් මිස, වැඩසටහන සාර්ථක කරන ව්‍යාපෘතිය හෝ විෂය නිර්දේශය හෝ නොවේ. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම ලබාදීමේ නව්‍ය ක්‍රමවේද සම්බන්ධයෙන් පුහුණු වූ ගුරුවරුන් මෙරට ඉංග්‍රීසි අධ්‍යාපනය තුළ යෝධ වෙනසක් අනාගතයේදී ඇති කරනු ඇතැයි විශ්වාස කළ හැකිය.

2019.08.02 වැනි දින ඩේලි නිවුස් පුවත්පතේ පළ කර තිබුණු, එම්. ජලල්දීන් ඉස්ෆාන් විසින් රචිත (Innovative methodology in English teaching) නමැති ලිපියේ සිංහල පරිවර්තනයයි.

(Dinamina)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website