Wednesday, 14 August 2019 09:06

එක්සත් ජාතික පක්ෂ බල පොරය සේනානායක යුගයේ පටන් උරුමයක්

දේශපාලනය යනු සීමාවක් නොමැති බල අරගලයකි. දේශපාලන පක්ෂයක සහ එහි නායකයන්ගේ ඒකායන ඉලක්කය බලය අල්ලා ගැනීමය.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ක්‍රියාත්මක වෙන දේශපාලන පක්‍ෂවල නායකයෝ එම දේශපාලන බල අරගලයේ දී ද්විත්ව අරගලයකට මුහුණ දෙති. ඔවුන්ගේ පළමු සහ අවසන් ඉලක්කය රටේ බලය අල්ලා ගැනීම වන නමුත් රටේ බලය දිනා ගැනීමට පෙර ඔවුන් පක්‍ෂ අභ්‍යන්තරයේ බලය අල්ලා ගත යුතුය.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් දැන් සිටින්නේ එම අභියෝගය අභියසය. ජනාධිපතිවරණය ලංවෙත්ම එම අර්බුදය උග්‍ර වෙමින් පවතී.

එක්සත් ජාතික පක්ෂයෙන් (හෝ එක්සත් ජාතික පෙරමුණෙන්) ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා කවුරුන් විය හැකි ද?

මෙය සමකාලීන විවෘත දේශපාලන වේදිකාවේ පමණක් නොව එක්සත් ජාතික පක්ෂය තුළත් සීතල යුද්ධයකට හේතු වී ඇත.

පක්‍ෂයේ නායකත්වය සහ එමගින් රාජ්‍ය නායකත්වය දිනා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය තුළ පවතින බල අරගලය අලුත් දෙයක් නොව එය, එම පක්ෂය ආරම්භයේ පටන්ම ඔවුන්ගේ ඉතිහාසය පුරාම දක්නට ලැබෙන්නකි.

සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය යනුවෙන් ප්‍රචලිතව පවතින, 1947 ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය මගින් එවක යටත් විජිත ලංකාවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය සඳහා වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් නිර්දේශ කිරීමත් සමඟ ,එම නව දේශපාලන සංස්කෘතියට අනුගතවීම අතින් පැන නගින ලද පළමු ස්වාභාවික උවමනාවක් වුණේ දේශපාලන පක්‍ෂ ක්‍රමයක් සංවිධානය කර ගැනීමය.

ලාංකීය දේශපාලන සමාජයේ ඒ වනවිට සංවිධානය වී තිබුණේ ලංකා සමසමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ ලෙනින් -බෝල්ෂෙවික් පක්ෂය යන වාමාංශික පක්‍ෂ පමණක් වූ අතර, එම පක්‍ෂ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය සම්බන්ධයෙන් එවක විශ්වාසයක් තබන ලද දේශපාලන බලවේගයක් නොවීය.

එවැනි කොන්දේසි යට‍තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයන් ගරු කරනු ලබන දේශපාලන බලවේගයන්ට අලුත් පාර්ලිමේන්තු ගමන සඳහා ඉහත කී වාමාංශික පක්‍ෂ වෙනුවට විකල්ප දේශපාලන පක්ෂයක උවමනාවක් ඇති වූ අතර 1947 දී එක්සත් ජාතික පක්ෂය බිහිවන්නේ එම සමාජ - දේශපාලන උවමනාව සපුරා ලමිනි.

සේනානායක- බණ්ඩාරනායක සීතල යුද්ධය

එක්සත් ජාතික පක්ෂය බිහිවන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ව්‍යාපාරයට නායකත්වය දුන් ලංකා ජාතික සංගමය, එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ සිංහල මහා සභාව සහ මුස්ලිම් සංගමය එකමුතු වීමෙනි.

ඒ අනුව බිහි වූ එක්සත් ජාතික පක්ෂය, ඩී.එස්.සේනානායක ගේ නායකත්වයෙන් තරඟවදිමින් 1947 පළමු පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් ආණ්ඩු බලය දිනාගත් අතර පක්ෂයේ නායකයා වූ සේනානායක අගමැති පදවියට පත්විය.

සිංහල මහා සභාව එක්සත් ජාතික පක්ෂයට එක්වන්නේ පක්ෂයේ ඊළඟ නායකත්වය බණ්ඩාරනායක වෙත පවරන ලැබීමේ බලාපොරොත්තුව ඇතිවය.

එහෙත් තමාගේ හදිසි අභාවයකින් අගමැති පදවියේ පුරප්පාඩුවක් ඇති වුනොත්, ඒ සඳහා සිය පුත් 'ඩඩ්ලි' පත්කරන ලෙස අගමැති ඩී.එස්.සේනානායක ආණ්ඩුකාර සොල්බරිසාමිට උපදෙස් දී ඇති බව දේශපාලන ලෝකය තුළ ප්‍රසිද්ධ රහසක් බවට පත්විය.

සේනානායක පවුලේ එම අපේක්‍ෂාවන් සහ සැලසුම් අනුව තම දිගුකාලීන දේශපාලන අරමුණු ඉටු නොවන බව ප්‍රත්‍යක්‍ෂ වීමත් සමඟ පෙරට පැමිණි බණ්ඩාරනායක - සේනානායක සීතල යුද්ධය නිමවන්නේ, එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරනු ලැබීමෙනි.

සේනානායක -කොතලාවල 'අගමැති පොරය'

අගමැති ඩී.එස් සේනානායක නොසිතූ මොහොතක අසකු පිටින් බිම වැටී මිය යාමත් සමඟ පක්ෂයේ මෙන්ම රාජ්‍ය නායක්තවයේ බල රික්තයක් ඇති විය.

1952 වසරේ මාර්තු මාසයේ මුහුණ දුන් එම අවාසනාවන්ත අවස්ථාවේ ඉස්මතු වූ පළමු ගැටළුව වූයේ, පුරප්පාඩු වූ අගමැති පදවිය සඳහා අනුප්‍රාප්තිකයකු තෝරා ගැනීමය.

ඩී.එස් සේනානායක ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරයකු මෙන්ම පාර්ලිමේන්තුවේ සභානායකවරයා ද වූ, සේනානායක පවුලේ කිට්ටු ඥාතියකු ද වන ජෝන් කොතලාවල අගමැති පදවිය ලබා ගැනීමේ සටනක් ගෙන යමින් සිටිය දී, ආණ්ඩුකාර සෝල්බරි සාමිවරයා මියගිය අගමැතිවරයාට දුන් පොරොන්දුව අනුව යමින් ඔහු පුත් ඩඩ්ලි සේනානායකට එම පදවිය සඳහා අරාධනා කරනු ලැබුණි.

මෙය ජෝන් කොතලාවල ඇමතිවරයාගේ බලවත් කෝපයට හේතු වූ අතර, ඩඩ්ලි - කොතලාවල ගැටුම නිමවුණේ 'ඩඩ්ලි' විසින් එක් වතාවක කොතලාවල කැබිනට් ඇමති පදවියෙන් ද පහ කර දමනු ලැබීමෙනි.

ඩඩ්ලි සහ කොතලාවල අගමැති පදවිය සඳහා ගෙනගිය සීතල සටන පිළිබඳව ඒ දිනවල බෙදා හරිමින් තිබුණ 'අගමැති පොරය' නම් කෘතිය මගින් රටට හෙළිදරව් විය.

එම අදියරේ දී පරාජය වූ නමුත්, අගමැති ඩඩ්ලි සේනානායක 1953 හර්තාලයත් සමඟ පදවියෙන් සහ පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වීමත් සමඟ 1952 දී තමාට අහිමි වූ තත්ත්වය ඉන් වසරකට පසු සම්පූර්ණ කර ගැනීමට ජෝන් කොතලාවල සමත් විය.

ඩඩ්ලි - ජේ.ආර් අවධිය

ඉන් අනතුරුව 1960 දී යළිත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාරගත් ඩඩ්ලි සේනානායක සහ පක්ෂයේ උප නායක ජේ.ආර් ජයවර්ධන අතර ගැටුම දීර්ඝ කාලයක් දිග හැරෙමින් තිබුණ අතර, 1970 න් පසු එම බල අරගලය අධිකරණය තෙක් ගමන් ගත් තියුණු ගැටුමක් බවට පවා පත් විය.

ජේ.ආර් ජයවර්ධන වෙනුවෙන් පක්‍ෂයේ ප්‍රබලයන් කණ්ඩායමක් පෙනී සිටීම නිසා 'නායක පොරය' පක්ෂය අසීරු තත්ත්වයකට පත් කරන ලද අතර, ජයවර්ධන එජාපය අත් හරිමින් එවකට බලයේ සිටි සමඟි පෙරමුණු ආණ්ඩුවට එක්වීමේ සැලැස්මක් පිළිබඳවත් එකල තොරතුරු පැතිර යමින් තිබුණි.

එහෙත් 1973 වසරේ ඩඩ්ලි සේනානායකගේ අභාවයෙන් පසු ජයවර්ධන නායකත්වයට පත්වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ පළමු අදියරේ නායකයන්ගේ බලපොරයේ නිමාවක් තීන්දු වෙයි.

එම අවධියෙහි පක්‍ෂයේ දෙවැනි පෙළ නායකයකුව සිටි ආර් ප්‍රේමදාස විසින් 'පුරවැසි පෙරමුණ' නමින් සංවිධානයක් ආරම්භ කරනු ලැබීමත් ඩඩ්ලි සේනානායකගේ පක්‍ෂ නායකත්වයට එල්ල කෙරුණ අභියෝගයකි.

ඩඩ්ලි-ජේ.ආර් ගැටුම ස්වාභාවික ලෙස නිමවන්නේ 1973 වසරේ ඩඩ්ලි සේනානායකගේ අභාවයත් සමඟය.

ඩඩ්ලි පෙරමුණක්

1973 වසරෙන් ආරම්භ වෙන එජාප ජයවර්ධන යුගයේ දී පක්‍ෂ නායකත්වය මුහුණ දුන් එකම සහ අවසන් අභියෝගය එල්ල කරනු ලබන්නේ සේනානායක පරපුරේ දෙවැනි පරම්පරාවට අයත් රුක්මන් සේනානායක විසිනි.

ඩඩ්ලි සේනානායක අභාවයෙන් පුරප්පාඩු වූ දැදිගම අසුන සඳහා පැවති අතුරු මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසි රුක්මන් සේනානායක, ඩඩ්ලිගේ එකම සොහොයුරු රොබට් සේනානායකගේ පුත්‍රයකු වන හෙයින්, ඔහු එක්සත් ජාතික පක්ෂය තුළ බෞතීස්ම ලබන්නේ පාරම්පාරික දේශපාලන උරුමයක් ද සහිතවය.

රුකමන් වටා රොක්ව සිටි කණ්ඩායමේ ඉලක්කය වුණේ ඔහු මගින් පක්‍ෂයේ නායකත්වය යළි 'සේනානායක පවුලට' ගැනීම වූ නමුත්, ජේ.ආර්.ජයවර්ධන එම ප්‍රයත්නය ව්‍යවර්ථ කරන ලද්දේ, රුක්මන් ඇතුළු පිරිස 'එක්සත් ජාතික පක්ෂය- ඩඩ්ලි පෙරමුණ' නම් කුඩා කණ්ඩායමකට සීමා කරමින් පක්‍ෂයේ අසහාය නායකයා ලෙස අභිෂේක ලබමිනි.

ප්‍රේමදාස-ලලිත් - ගාමිණී
ආර්.ප්‍රේමදාස - ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක තුන්කොන් බල අරගලය ආරම්භ වෙන්නේ ජේ.ආර් ජයවර්ධන න්‍යාය පත්‍රය අනුව 1978 දී දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කරලියට ගෙන එමින් ශ්‍රී ලංකාවට 'විධායක ජනාධිපති ආණ්ඩුක්‍රමය' හඳුන්වා දීමත් සමඟය.

1978 ව්‍යවස්ථාව අනුව බලයේ සිටි අගමැති ජේ.ආර් ජයවර්ධන ජනාධිපති ධූරයට අනුප්‍රාප්ත වූ අතර, ඉහත නම් සඳහන් කරන ලද දේශපාලනඥයන් තිදෙනා අතර බල තරඟය ආරම්භ වන්නේ අගමැති පදවිය සම්බන්ධයෙනි.

ආර් ප්‍රේමදාස එම දේශපාලන තරඟ දිවුමේ ජයග්‍රාහකයා වූ අතර, ඔවුන් තිදෙනා අතර සැඟව තිබුණ තරඟය යළිත් මතුපිටට පැමිණෙන්නේ ජනාධිපති ජයවර්ධනගේ දෙවැනි නිලකාලය නිමාවේ පක්‍ෂයේ ඊළඟ ජනාධිපති ධූර අපේක්ෂකයා තෝරා ගැනීමේ අදියරෙහි පටන්ය.

එම තරගයෙන් ද ප්‍රේමදාස පළමුව දිනුම් කනුව පසු කරන්නේ ලලිත් සහ ගාමිණීගේ එළිපිට විරෝධයකින් තොරවය.

ප්‍රේමදාස පාලනය තුළ අගමැති පදවිය නොව කලින් දැරූ බලගතු ඇමති පදවි පවා ඔවුන් දෙදෙනාට නොලැබුණි.

ප්‍රේමදාස රජයේ වැවිලි කර්මාන්ත ඇමති පදවිය ලද ගාමිණී දිසානායකට පසුව කිසිදු ඇමති පදවියකින් තොරව පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට පවා සිදු විය.

එම බල පොරය නිමවෙන්නේ, ලලිත් ඇතුලත්මුදලිගේ මෙහෙයුමෙන් 'ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ' (රාජ අලියා) නමින් අලුත් පක්ෂයක් ද ආරම්භ වී එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමෙනි.

ලලිත් සහ ගාමිණී ගේ මැදිහත්වීමෙන් ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය පරාජය වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා ප්‍රමුඛ කණ්ඩායමක් පක්ෂයෙන් නෙරපා හරින ලද අතර ඔවුන්ගේ මන්ත්‍රී පදවි පවා අහිමි කෙරිණි.

1992 වසරේදී ලලිත් ඇතුළත්මුදලි ඝාතනයෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය ගාමිණී දිසානායක අතට පත්විය.

රනිල් - ගාමිණී සටනේ

එම වසරේ ම (1992) මැයි රැලියේ දී ජනාධිපති ප්‍රේමදාස ඝාතනය කරනු ලැබීමෙන් අනතුරුව ජනාධිපති ඩී.බී විජේතුංග පාලන සාමය උදා වූ අතර, ගාමිණී දිසානායක යළිත් එක්සත් ජාතික පක්ෂයට එක්ව එම පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අවතීර්ණ විය.

අනතුරුව පැවති 1994 මහ මැතිවරණයෙන් ජයගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අගමැති පදවියට පත්වීමත් සමඟ විපක්ෂ නායක පදවිය එක්සත් ජාතික පක්ෂයට හිමි විය.

එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායක පොරය ආරම්භ වන්නේ එම විපක්ෂ නායක පදවිය මුල්කර ගෙනය.

එම පදවිය සඳහා රනිල් වික්‍රමසිංහ සහ ගාමිණී දිසානායක දෙදෙනාම ඉදිරිපත් වූ අතර ගාමිණී ඉන් ජය ගනිමින් විපක්ෂ නායකත්වය හිමිකර ගත්තේය.

1994 ජනාධිපතිවරණයේ දී පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය ද දිනා ගත් ගාමිණී දිසානායක, මැතිවරණ ව්‍යාපාරය සමයේ ඝාතනය කරනු ලැබීමත් සමඟ පක්‍ෂයේ පාලක රැහැන්පොට රනිල් වික්‍රමසිංහ අතට පත් විය.

රනිල් -සජිත් ගැටුම් දශකයක්
Image copyrightSAJITH PREMADASA
Image caption
2019 එජාප ජනාධිපතිධූර අපේක්ෂකයා කවුරුන් විය හැකි ද? සජිත්, කරු, රනිල්
2004 මැතිවරණ පරාජයෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට පළමු අභියෝගය එල්ල වන්නේ (වත්මන් කතානායක) කරු ජයසූරියගෙනි.

2005 වසරේ ජනාධිපතිවරණ පරාජයෙන් පසු උදාවන්නේ, රනිල් වික්‍රමසිංහගේ එජාප නායකත්වයට එරෙහිව දේශපාලන අභියෝග රැසක් එල්ල වෙමින් ඇති දීර්ඝ කාල පරිච්ඡේදයකි.

රනිල්ගේ නායකත්වය වෙනස් කිරීම සඳහා කීපවරක් ගත් ප්‍රයත්නය අසාර්ථක වීමෙන් අනතුරුව, 2007 වසරේ දී පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් දහඅට දෙනකු සමඟ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක්වෙන කරු ජයසූරිය තවත් කලකට පසු 'රනිල්' පිළිගනිමින් යළිත් එක්සත් ජාතික පක්ෂයට එක්විය.

2010 ජනාධිපතිවරණ පරාජයේ පටන් කලින් කලට එජාප නායකත්වයට එරෙහිව එල්ල වෙමින් පවතින අභියෝගය පිටුපස ඇති දේශපාලන හස්තය සජිත් ප්‍රේමදාස බව නොරහසකි.

ඒ සඳහා හොඳ ම නිදසුනක් වන්නේ එම පක්‍ෂයේ 54 වන ජාතික සම්මේලනයයි.

2012දී පක්‍ෂ මූලස්ථානය වන 'සිරිකොත' වටකොට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ජල ප්‍රහාරක ලොරි රඳවමින්, යකඩ වැටවල් මැද පැවැත්වුන 54 ජාතික සම්මේලනය මගින් එක්සත් ජාතික පක්‍ෂයේ 'බල පොරය' ලෝකයට ප්‍රදර්ශනය විය.

එවක එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි විජයදාස රාජපක්ෂ විසින් පක්‍ෂ නායකයාගේ ධූර කාලය වසර හයකින් දීර්ඝ කිරීමේ යෝජනාවක් එම පක්‍ෂ සම්මේනලයට ඉදිපත් කරන ලද අතර එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඊට කෙළින්ම සිය විරෝධය පළ කළේය.

1994 සිට පක්‍ෂයට පැහැදිලි හා ශක්තිමත් ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි වූ බව කියා සිටි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, ඒ නිසා තමාගේ හෘද සාක්ෂියට එකඟව නායකත්වය වසර හයකින් දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධතාවය ප්‍රකාශ කළ බව කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස නායකත්වය ගෙන ඒමේ සැලැස්මක් අනුව, 2013 ඔක්තෝබර් මාසයේ මාතර පැවති පෙළපාලියක් කෙලවර වුණේ සන්නද්ධ ගැටුමකිනි. ඊට අදාළ ගැටුමක් තවමත් අධිකරණය ඉදිරියේ විභාගයට ගැනෙමින් පවතී.

මෙපරිද්දෙන් සජිත් - රනිල් නායක ගැටුම වරින් වර දිගින් දිගට ම ඉස්මතු වෙමින් පවතින අතර, 2019 ජනාධිපතිවරණය ළං වෙත් ම එම ගැටුම සමකාලීන පක්‍ෂ දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ (හෝ එක්සත් ජාතික පෙරමුණේ ) ජනාධිපති ධූර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටින අතර පක්‍ෂ අභ්‍යන්තරයේ ඔහු වෙනුවෙන් සැලකිය යුතු කණ්ඩායමක් ද පෙනී සිටිති.

මෙවැනි අභ්‍යන්තර බල අරගල එක්සත් ජාතික පක්ෂයට පමණක් සීමා නොවේ. කරළියට නොපැමිණිය ද, සියලු ම දේශපාලන පක්‍ෂ සහ (දේශපාලන සන්ධානත් ඇතුළුව) ඒවායේ මුල් පෙළේ නායකයන් අතර පවතින, බොහෝ විට මැතිවරණ සමයන්හි මතුපිටට පැමිණෙන එවැනි බල අරගල දේශපාලන ලෝකයට ආගන්තුක නැත.

(BBC)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website