Friday, 16 August 2019 07:57

අපි තවම නවක වධයට විකල්පයක් සොයනවා - පෙරටුගාමීන්

"ජ්‍යෙෂ්ඨ උත්තමයෝ කියා ගන්නා අය අපිට නවක වදය දෙන පළවෙනි දවසෙ ම නොසෑහෙන්න කුණුහරුපෙන් බැන්නා. ඒ වචන ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් ඒවා නෙමෙයි. ගෑණු ළමයින්ට බිමට නැමිලා, කකුල් නවාගෙන තාරාවෝ වගේ ඇවිදින්න කිව්වා සෑහෙන වෙලාවක්," මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ (NDT) ශිෂ්‍යාවක් බීබීසී සිංහල සේවයට පැවසීය.

රුහුණු විශ්වවිද්‍යාලයේ දෙවන වසර ශිෂ්‍යයෙක් නවක වධය ගැන සිය අත්දැකීම් මාධ්‍යයට හෙළි කිරීමත් සමග, සමාජය තුළ නැවතත් ඒ ගැන කතාබහක් ඇති වී තිබේ. එම සිසුවා තමාට මුහුණ පෑමට සිදු වූ අමානුෂික අත්දැකීම් හෙළි කිරීමෙන් පසු අදාළ සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයන් 19 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සියලු දෙනා අගෝස්තු 19 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වී රුහුණ විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබූ විසි දෙහැවිදිරි දර්ශ උදයංග සිසුවාට නවක වධය ලෙස ශිෂ්‍ය නේවාසිකාගාරය තුළදී ලිංගික අඩන්තේට්ටම් සහ පහර දීම් සිදු කර තිබෙන බව ඔහු මාධ්‍ය හමුවේ නිරාවරණය කළේය.

"මම වින්ද දුක කිව්වේ අම්මාට. ඒ දේවල් අම්මාට දරාගන්න බැරුව හදිසියේ අම්මා මැරුණා. මගේ ජීවිතය ම විනාශ වෙලා තියෙන්නේ මේ දේවල් නිසා. ලිංගික අඩන්තේට්ටම් නිසා මම මානසිකව සහ ශාරීරිකව දුර්වල වෙලා ඉන්නේ. මම ලේ පරීක්ෂාවක් පවා කළා HIV වෛරසය ආසාදනය වෙලා ද බලන්න," දර්ශ උදයංග පැවසීය.

"ගෙදර නතර වුණා"
උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අනුව 2016/17 අධ්‍යයන වසරවලදී සිසුන් 637 ක් සහ 2015/16 අධ්‍යයන වසරවලදී සිසුන් 1,352 ක් නවක වධය හේතුවෙන් විශ්වවිද්‍යාල අතහැර ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල නවක වධය- "මීට පස්සේ තනපට අඳින්න බැහැ යැයි කිව්වා"
පසුගිය වසරේ අගෝස්තු මස හෙළි වූ අමානුෂික ලෙස නවක වධය දීමේ සිද්ධියත් සමග එවක උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මාධ්‍ය හමුවකදී පැවසුවේ, "ශ්‍රී ලංකාවේ දරුණු ම පාතාලය පවතින්නේ විශ්වවිද්‍යාල තුළයි" යනුවෙනි.

"නවක වධය හේතුවෙන් මේ වන විට 14 දෙනෙක් මිය ගිහින් තිබෙනවා. ඒ වගේ ම මාතර විශ්වවිද්‍යාලයේදී අතිරේක ලැයිස්තුවකින් යවපු භික්ෂූන් හය දෙනෙක් තවත් භික්ෂූන් 40 දෙනෙක් විතර එකතු වෙලා නිරුවත් කරළා පසුව දා එළිවෙනකම් වද දීලා තිබුණා," හිටපු අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ පස් නමක් අත්අඩංගුවට ගත් බව ද වාර්තා විය.

මේ අතර, බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික ආයතනයේ (NDT) අධ්‍යාපනය ලැබූ සිසුවිය පැවසුවේ සිය දෙමාපියන් සමග විශ්වවිද්‍යාලයට යන පළමු දවසේ එහි සිටින ජ්‍යෙෂ්ඨයන් ඔවුන් ඉතා "ආදරයෙන්" අමතමින් දෙමාපියන් ඉදිරියේ "වෙනස් චිත්‍රයක් මවා පානවා" යනුවෙනි.

"හැබැයි ඊට පස්සේ අපිට කිසි ම හොඳ වචනයක් ඇහෙන්නේ නැහැ. කුණුහරුපෙන් විතරයි කතා කරන්නේ. ගෑණු ළමයි චීත්ත ගවුම් ඇඳගෙන යන්න ඕනේ පිරිමි ළමයි කළු කලිසම් සහ සුදු කමිස ඇඳගෙන යන්න ඕනේ. එතන ගිහින් ලැජ්ජාවෙන්, පසුගාමී විදියට හිටියොත් ඒක ඒ ගෑණු ළමයාගේ ජීවිතේ අවසානය තමයි."

නවක වධය: "විශ්වවිද්‍යාලයෙන් එළියට ආව ම බිරිඳටත් එච්චරයි"
"අමු තිත්ත කුණුහරුපෙන් බැන බැන, බකට් කරනවා කියලා කුණු වතුරෙන් නාවනවා. ඊටේ පස්සේ අපිව මුළු විශ්වවිද්‍යාලය වටේ මහා කළුවරේ දුවවනවා. මම කොළඹ ජනප්‍රිය පාසලකින් උසස් පෙළ හැදෑරුවේ. එහෙම පාසලකින් ආවා ම අපිව තවත් රැග් කරන්න උත්සහ කරනවා. මම අන්තිමට කැම්පස් යන්න බැහැ කියලා ගෙදර නතර වුණා. හැබැයි අම්මලාගේ බලකිරීම නිසා ආයේ ඒ අප්‍රසන්න තැනට යන්න වුණා," ඇය පැවසුවාය.

 

"සුන්දර මතකයක්"
බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියක පැවසුවේ, නවක වධය "මාධ්‍ය සංදර්ශනවල පෙන්වන තරමට නරක නොවන" බවය.

"රැග් සීසන් එක පවතින්නේ පොඩි කාලයක්. ඒක විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ කොටසක්. පස්සේ කාලයකදී ඒක සුන්දර දෙයක් විදියට අපිට මතක් වෙනවා. සමහර ශිෂ්‍යයෝ එක එක්කෙනාගේ වුවමනාවලට මාධ්‍යයට ඇවිත් නොයෙක් කතා කියනවා. නමුත් කැම්පස් ඇතුළේ ඔය වගේ භයානක තත්ත්වයක් නැහැ."

"මේ වගේ බොරු රඟපෑම් නිසා පාසල් යන ළමයින්ට කැම්පස් එක එපා වෙනවා. ඒක රටේ අනාගතයට හොඳ තත්ත්වයක් නෙමෙයි. හැම දේට ම දේශපාලනය රිංගාගෙන රටේ අනාගතය විනාශ කර දමනවා," ඇය තවදුරටත් පැවසීය.

පෙරටුගාමී පක්ෂය
මේ අතර, නවක වධය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගකිව යුතු බව දේශපාලනඥයන් මෙන් ම සමාජ මාධ්‍ය ජාලවල බොහෝ දෙනෙකු චෝදනා එල්ල කර තිබෙනු දක්නට හැකිය.

නමුත්, මෙම සිද්ධි පිටුපස තම පක්ෂයේ සාමාජිකයන් සිටින බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එම පක්ෂය පවසයි.

"අත්අඩංගුවට ගත්ත කිසි ම කෙනෙක් අපේ පක්ෂයට සම්බන්ධ නැහැ. අපි දේශපාලනය විශ්වවිද්‍යාල ඇතුළට ගෙනියන්නේ නැහැ. පිටත ඉඳන් අපි මේ ප්‍රශ්නයට පිළිතුරු සොයනවා. නවක වධය 1940 වසරවල ඉඳන් විශ්වවිද්‍යාලවල පවතින දෙයක්. කාලයත් සමග රැග් එකේ ස්වභාවය වෙනස් වෙලා තිබෙනවා. මෙතන තියෙන්නේ දේශපාලනය නෙමෙයි, සමහර පුද්ගලයන්ගේ මානසික ප්‍රශ්න," පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ බීබීසී සිංහල සේවයට පැවසීය.

"1950 සහ 1970 අතර රැග් එක බොහොම නිර්මාණාත්මක දෙයක් විදියට සිදු වෙලා තිබෙන බව අපි අහලා තිබෙනවා. නමුත් 1978 දී ශ්‍රී ලංකාවට නව ලිබරල්වාදය ඇතුළු වීමත් සමග හැම පැත්තකින් ම සංස්කෘතියේ වෙනස්කම් සිදු වුණා. විශ්වවිද්‍යාලය උප සංස්කෘතියෙත් යම් වෙනස් කම් වෙලා ප්‍රචණ්ඩ ස්වභාවයක් ඇති වෙලා තිබෙනවා."

පාලකයන්ට බලපෑම් කළ හැකි මහජන ව්‍යාපාර අතරින් වඩාත් ඉදිරියෙන් සිටින ශිෂ්‍ය ව්‍යාපාර ප්‍රචණ්ඩත්වය, හිංසනය මුල් කර ගත් නවක වධය වැනි ක්‍රියාකාරකම් නිසා "ශිෂ්‍ය ව්‍යාපාරවලට සමාජය ඇතුළේ සුජාතභාවයක් හදා ගන්න බාධා වෙනවා," පුබුදු ජයගොඩ පැවසීය.

මේ අතර, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ද නිවේදනයක් නිකුත් කරමින් තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ අතර සරසවිවල සිදුවන හිංසාකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස කිසි ලෙසක එකඟ නොවන බව ද අවධාරණය කළේය.

'මරණයෙන් කෙළවර වූ නවක වදය'
1975 - එවක විසි දෙහැවිදිරි වියේ පසු වූ රූපා රත්නසීලී සිසුවිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටියාය. අමානුෂික නවක වධය නිසා සරසවි ගොඩනැගිල්ලේ 'රාමනාදන්' ශාලාවේ දෙවන මහලෙන් බිමට පැන්න ඇය සදාකාලිකව ම ආබාධිත වූ අතර 2002 වසරේදී සිය දිවි හානි කර ගත්තාය.

 

1997 - දරුණු ලෙස නවක වධයට ලක් වීමෙන් පසු ව ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි වීමෙන් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය හැදෑරූ විසි එක් හැවිරිදි එස්. වරප්‍රගාෂ් මිය ගියේය.

එම වසරේ ම අම්පාරේ හාර්ඩි තාක්ෂණික ආයතනයේ කැළුම් තුෂාර විජේතුංග සිසුවා ද නවක වධයට ලක් ව ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි සිදුවීමෙන් මිය ගියේය. අධික ලෙස මත්පැන් පානය කර ශාරීරික අභ්‍යාසවල යෙදීමෙන් මෙම මරණය සිදුව තිබෙන බව නඩු වාර්තාවල දැක්වේ.

1975 සිට මේ දක්වා විවිධ අවස්ථාවලදී නවක වධය හේතුවෙන් හෝ එහි බලපෑම නිසා සිසුන් මිය ගිය හෝ සියදිවි හානි කර ගත් අවස්ථා වාර්තා විය.

"උපසංස්කෘතික අංගවලට විකල්පයක් සොයනවා"
නවක වධය නැවත් වීමට පෙරටුගාමී සමාජවාදී යම් පියවර අනුගමන කර ඇත්දැයි ඇසූ ප්‍රශ්නයට පුබුදු ජයගොඩ මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

"දළ වශයෙන් අවුරුදු 80ක් විතර රැග් එක විශ්වවිද්‍යාල තුළ පැවතිලා තිබෙනවා. එතරම් විශාල කාලයක් පැවති සංස්කෘතික අංගයක් එක පාරට අපි කිව්වා කියලා වෙනස් වෙන්නේ නැහැ කියන අවබෝධය අපිට තියෙනවා. ඕනෑ ම සමාජයක අවමඟුලකදී, මංගල උත්සව වගේ ම කොටහළු මඟුල්වලදී අනුගමනය කරන චාරිත්‍ර තියෙනවා.. ඒ වගේ ම තමයි විශ්වවිද්‍යාලය ඇතුළෙත්."

"මෙහි තිබෙන ප්‍රශ්නය අපි රැග් එක වෙනුවට මේ සිසුන්ට යෝජනා කරන විකල්පය මොකක් ද කියලා. ශිෂ්‍ය ව්‍යාපාර සමග සම්බන්ධ ශ්‍රී ලංකාවේ වමේ පක්ෂ අසමත් වුණ එක් තැනක් තමයි මේ රැග් එකට විකල්පයක් සෙවීම කියන කාරණය. රැග් එක එපා කියලා කිව්වට ඒකට විකල්පයක් තවමත් අපිට සොයාගන්න බැරි වෙලා තිබෙන එක අපේ නිර්මාණශීලිත්වයේ අඩුවක්," ඔහු තවදුරටත් පැවසීය.

නීතිය සහ දඬුවම්
1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වධය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත, නවකවධයට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මූලික ම ප්‍රතිපාදනය ලෙස හැඳින්විය හැකිය.

මෙම පනතේ දෙවන වගන්තිය අනුව, අධ්‍යාපන ආයතනයක් තුළදී හෝ ඉන් පිටතදී නවක වධය සිදු කරන හෝ නවක වධය සිදු කිරීම සඳහා සහභාගි වන අයෙකුට මෙම පනත ක්‍රියාත්මක කිරීමෙන් දඬුවම් ලබා දිය හැකිය.

එවැනි අයෙකුට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් අනතුරුව අවුරුදු දෙකක් නොඉක්මවන කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කළ හැකි අතර, නවක වධයට ලක් වූ තැනැත්තාට සිදු වූ හානියේ ස්වභාවය සලකා බැලීමෙන් පසු වන්දි ගෙවීමට නියම කළ හැකිය.

එහි තෙවන වගන්තියට අනුව, නවක වධය සිදු කරන අතරතුරදී අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යයෙකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට ලිංගික අඩන්තේට්ටම් හෝ බරපතළ තුවාල සිදු කළහොත්, එය සිදු කරන පුද්ගලයා වරදකරු වීමෙන් පසු ව අවුරුදු දහය නොඉක්මවන කාලයක් සඳහා සිර දඬුවම් ලබා දිය හැකිය.

එසේ නොමැති නම්, අගතියට පත් පාර්ශවය සඳහා වන්දි ගෙවන ලෙස නියම කරනු ඇත.

Image copyrightGETTY IMAGES
Image caption
"වධ හිංසා" යන්න අර්ථකථනය කිරීමේදී ශාරීරික හිංසා පමණක් නොව මානසික හිංසා ද ඇතුළත්ය
ලිංගික අතවර, බරපතල තුවාල සිදුකිරීම සහ මරණයට පත් කිරීම යන බරපතළ අපරාධවලට ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දැඩි දඬුවම් නියම වනු ඇත.

මීට අමතරව, මානව හිමිකම් කඩවීම යටතේ ද නඩු පැවරීමේ හැකියාව තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සඳහා වන තුන් වන පරිච්ඡේදයේ 11 වන ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, "කිසි ම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය," යනුවෙනි.

"වධ හිංසා" යන්න අර්ථකථනය කිරීමේදී ශාරීරික හිංසා පමණක් නොව මානසික හිංසා ද ඇතුළත් වන බව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දු කිහිපයක සඳහන් වී ඇත.

පැමිණිලි කරන්නේ කොහොමද?

පැය 24 පුරා පැමිණිලි කිරීමේ පහසුව:

1) දුරකතන - 0112-123700

2) අන්තර්ජාල පැමිණිලි පිටුව - www.ugc.ac.lk/rag

3) ජංගම දුරකතන මෘදුකාංගයක් හඳුන්වා දීම :

නවක වධය සිදුවීමකට මුහුණ දුනහොත් හෝ නවක වධය සිදුවීමක් දුටුවහොත් UGC EMERGENCY SAFETY APP නම් වූ ජංගම දුරකතන මෘදුකාංගයේ බොත්තමක් එබීම හරහා ඒ පිළිබඳව සිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට, විනය භාර ආචාර්යවරයාට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දීමේ හැකියාව ලැබේ. නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙම මෘදුකාංගය ඌව වෙල්ලස්ස විශ්විවද්‍යාලයේ දැනට ක්‍රියාත්මක කෙරේ.

(BBC)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website