Monday, 26 August 2019 10:31

ඇල්ල ගින්න : "මෙහෙම ගියොත් අපි හිඟමනට වැටෙනවා"

"සහරාන් ගෙ බෝම්බෙන් පස්සේ නැවතුන රටේ සංචාරක කර්මාන්තය යන්තම් හරි ගොඩ එන්න පටන් ගත්තේ ඇල්ල නිසා. ඒත් මේ කාලකන්ණි ටිකදෙනෙක් කරන වැඩ නිසා පරිසරයත් විනාශ වෙලා රටත් විනාශ වෙලා අපිත් හිඟමනට වැටෙනවා".

ඇල්ල සංචාරක කලාපයට පැමිණෙන විදෙස් සංචාරකයින්ට අත්කම් නිර්මාණ අලෙවිකරන සෝමලතා පෙරේරා ඇල්ල රක්ෂිතයේ පැතිර ගිය ගින්න සම්බන්ධයෙන් පළ කළේ එවන් අදහසකි.

ලොව එක් පසෙක "ඇමසන්" වනාන්තරය දැවෙද්දී ශ්‍රී ලංකාවේ ඇල්ල රක්ෂිතයේ "ඇල්ල රොක්" නමින් හැඳින්වෙන කඳු ශිඛර ප්‍රදේශයේ හටගත් ගින්නද දැඩි කතාබහකට ලක් විය.

මිනිස් ක්‍රියාකාරකමක් එම ගින්නට හේතුව බව පොලිසිය මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද තහවුරු කළහ.

ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට යම් බලපෑමක් ඇති කරමින් දෙදිනක් පුරා පැවති ගින්න මේ වනවිට පාලනය කර ඇත. අක්කර 20 ට අධික භූමි ප්‍රමාණයක් මෙයින් විනාශ වී තිබේ.

මෙම ආපදාව මිනිස් ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් වුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු හෝ අත්අඩංගුවට ගෙන නොමැත. පොලිසිය පවසන්නේ සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවය.

ශ්‍රී ලංකාවේ වනාන්තර ආශ්‍රිත ස්වභාවික ගිනි ගැනීම් සිදුවේද ?
ශ්‍රී ලංකාවේ වන ඝනත්වය සමස්ත භුමි ප්‍රමාණයෙන් 29.5% කි.

ඝන වනාන්තර නොමැති නිසා ස්වභාවිකව වනාන්තර තුළ හටගන්නා ගිනි හෙවත් ළැව් ගිනි හට ගැනීමේ සම්භාවිතාව ඉතා අවම බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අංශයේ මහාචාර්ය හේමන්ති රණසිංහ පවසන්නීය.

ඇයට අනූව ස්වභාවික වනාන්තරයක ස්වභාවික ගින්නක් හටගැනීමට නම් තවත් සාධක රැසක් සම්පුර්ණ කළ යුතුය.

වියලි පරිසරය, දැඩි සුළං ප්‍රවාහය මෙන්ම එකිනෙක ස්පර්ශවීමකින් ගින්නක් උපදවිය හැකි විශාල ප්‍රමාණයේ වෘක්ෂ ලතා වලින් පුර්ණ ඝන වනාන්තර මේ අවදානමට නිතර ලක්වන බව පැවසේ.

නමුත් ශ්‍රී ලංකාව තුළ එවැනි වනාන්තර නොවේ.

කෙසේවෙතත්, ගින්නෙන් දැවී නිරාවරණ වූ භූමිය වර්ෂා කාලයේදී අස්ථාවර වී නාය යාමේ අවදානම ඉස්මතුවීම, මහාචාර්යවරිය විසින් පෙන්වා දෙනු ලබන තවත් කරුණකි.

" බදුල්ල, නුවරඑළිය සහ මොණරාගල වගේ දිස්ත්‍රික්ක මේ අතරින් විශේෂයි. හේන් වගාව, දඩයම, ඉඩම් අත්පත් කර ගැනීම මේවායේ අරමුණු. මේ හේතුව නිසා සමස්ථ පරිසර පද්ධතියම විනාශ වෙනවා. දැන් මේ විනාශවන අක්කර ප්‍රමාණය යළි සාමාන්‍ය තත්ත්වයට පත්වන්න වසර කීයක් ගතවෙයිද? මේ කලාපය ආශ්‍රිතව ජීවත්වන සත්ත්ව ප්‍රජාව මිය යන්නේ තවත් පරම්පරාවකට ජීවය නැතිව. වැස්ස කාලෙට දැඩි අවදානමක් පවතිනවා මේ ආශ්‍රිතව. මොකද මේ ප්‍රදේශ නිතර නිතර වර්ෂාව වාර්තාවන පළාත්" ඇය පවසන්නීය.

ඇමසන් වන විනාශයට ජනපතිගේ 'සහය'
වනාන්තර ගිනිතැබීම් සහ නීති ක්‍රියාත්මක නොවීම

මෙවැනි සිදුවීම් පාලනයට විධිමත් මැදිහත්වීමක් නොමැති බවට පරිසරවේදීහු චෝදනා කරති.

වසරකට මෙවැනි අපරාධ සම්බන්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් අටදෙනෙකු වත් අත්අඩංගුවට ගන්නා බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එළෙස අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට දඬුවම් දීමේදී ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම තුළින් අපේක්ෂිත අරමුණු ඉටු නොවෙන බව පරිසරවේදීහු අවධාරණය කරති.

"කැලේ ගිනි තියල අක්කර ගානක් විනාශ උනාට පස්සේ ඒ මිනිස්සු අල්ලලා වැඩක් නෑ. ත්‍රස්තවාදය මැඩලන්න වගේ මේකටත් බුද්ධි අංශයේ සහය අවශ්‍යයි. කොච්චර මේ තැන් ගැන දැනුවත් කළත් නීතියට බය නැති පිරිසක් ඉන්නවා. සමහරු මේ වගේ වැඩ කරන්නේ විනෝදෙට. ඇල්ල සංචාරක පාරාදීසයක් බවට පත්වෙලා. මේ සුන්දරත්වය නැති කරන්නේ පිටරටින් එන සංචාරකයෝ නොවෙයි. අපේම මිනිස්සු. තමන්ගේ ආර්ථිකය තමන් විසින්ම විනාශ කරගන්නවා," පරිසරවේදී නයනක රන්වැල්ල පවසන්නේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ඇල්ල රක්ෂිතයේ ගින්න ගැන මෙසේ අදහස් පළකළේය.

"හමුදාව, පොලීසිය සහ ගම්වාසීන් එක්ව මේ ගින්න නිවාගත්තා. උපරිම උත්සහ දැරුවා පැතිරීම පාලනය කරන්න. නමුත් එය පහසු කටයුත්තක් නොවෙයි. අපි වසරක් පාසා ඇල්ල රක්ෂිතයේ ප්‍රජාව දැනුවත් කරනවා. දැන්වීම් පුවරු අලවලා තිබෙනවා. මේ මොනදේ කළත් මේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නෑ. ඇල්ල රක්ෂිතයේ පමනක් නොවෙයි හෝර්ටන් තැන්න වගේ ප්‍රදේශ ගැනත් අපි නිතර අවධානයෙන් ඉන්නේ. සමහරු විනෝදෙට මේ දේවල් කරන්නේ. පුදුම කලකිරීමක් දැනෙනවා මේ සිදුවීම් සම්බන්ධයෙන්."

මෙලෙස ගිනිතැබීම් වලට ලක්වන බොහෝ ප්‍රදේශ සංචාරක ආකර්ෂණයෙන් අනූන ප්‍රදේශ වේ.

කලක් හෝටන් තැන්න ආශ්‍රිතව ද වරින් වර මෙවැනි ගිනි තැබීම් වාර්තාවිය.

නමුත් ඒ ආශ්‍රිතව ජනාවාස නොමැති නිසා එහි අසිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ට දැඩි නීති පැනවිණ.

කෙසේ වෙතත් ඇල්ල රක්ෂිත කලාපය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ප්‍රචලිත බැවින් ප්‍රදේශවාසීන්ගේ මෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව උදෙසා විධිමත් පරිසර ආරක්ෂණ වැඩපිළිවලක අවශ්‍යතාව පවතී.

"දැන් හදිසි අනතුරක් නිසා කොයි මොහොතේ ගින්නක් පැතිරෙයිද කියන දේ අපි අවධානයට ගතයුතුයි. එවැනි ගින්නකදී කැලේ ඇතුළේ ප්‍රමිතියෙන් තොරව සංචාරකයින් වෙනුවෙන් ඉදිකර ඇති පැල්පත් වැනි දෑ අවදානම් මට්ටමක තිබෙන්නේ. සංචාරකයින්ට යම් හානියක් වෙන්න තිබෙන අවදානම ඉහළයි. හදිසි ගින්නක් පාලනයට අදාළ පුර්ව ක්‍රියාමාර්ග නොගතහොත් අපි ජාත්‍යන්තරවත් අපකීර්තියට ලක්වෙනවා. පරිසරවේදී නයනක රන්වැල්ල පෙන්වා දෙන්නේය.

ඇල්ල
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, ඉතිහාසයේ වෙරළබඩ කේන්ද්‍ර කරගනිමින් පැවතිය ද පසු කලෙක රට අභ්‍යන්තරයට විහිදුණි.

දැනට දශකයක පමණ කාලයක සිට බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රදේශය සංචාරකයින් අතර ප්‍රචලිත වූ අතර ඊට හේතු කිහිපයකි.

ඇල්ල, කිලෝමීටර් 200 ක් (සැතපුම් 120) කොළඹට නැගෙනහිරින් පිහිටා ඇති අතර එය මුහුදු මට්ටමේ සිට මීටර් 1,041 (අඩි 3,415) ක උසක පිහිටා තිබේ.

ජෛව විවිධත්වයෙන් අනූන මේ ප්‍රදේශය විවිධ ශාක හා සත්ත්ව විශේෂ රැසකින් සමන්විතය.

'ලෝන්ලි ප්ලැනට්' අනුව ශ්‍රී ලංකාවේ නැරඹිය යුතු ම ස්ථාන
භූ විද්‍යාඥයින්ට අනූව ඇල්ල පිහිටා ඇත්තේ සුළං කපොල්ලක් මධ්‍යයට වන්නටය.

වලාකුළු, වනාන්තර හා තේ වතුවලින් වැසී ඇති කඳුවලින් වටවී ඇති ඇල්ල නගරය, පහත් බිම්වලට වඩා සිසිල් දේශගුණයකින් යුක්ත වීම එය එක් ප්‍රධාන හේතුවකි .

මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 20ක තරම් අගයක් ගනී.

බෝගොඩ පාලම, ආරුක්කු නවය පාලම, කුඩා ලෝකාන්තය, දෝව විහාරය ඉහළ විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථාන වේ.

ඇල්ල , අධික සුළං මෙන්ම පිරිසිදු වාතාශ්‍රයකින්ද යුක්ත වන අතර උඩරට වියළිකලාපයේ දේශගුණික ස්වභාවයට වඩා වෙනස් කාලගුණ තත්ත්වයක් මේ ප්‍රදේශය ආශ්‍රිතව පවතී.

රක්ෂිතය යම් ගිනි ගැනීමකට ලක්වුවහොත් එය පාලනය කිරීමට අපහසු වන්නේද මේ සුළං සහිත ස්වභාවය හේතුවෙනි.

මේ සෞම්‍ය පරිසරය නිසා පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය (Ecotourism), ත්‍රාසජනක ක්‍රීඩා ආශ්‍රිත සංචාරක කර්මාන්තය (Adventure tourism) වැනි සංචාරක ක්‍ෂේත්‍රයේ විවිධ ඉසව් රිසි සේ අත්විඳීමට ඇල්ල, කදිම තෝතැන්නකි.

ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අන්තර්ජාලය හරහා දකින විදෙස් සංචාරකයෝ කිසිදු අතරමැදි සංචාරක මග පෙන්වන ආයතනයක සහය නොමැතිව මෙහි පැමිණ නිදහසේ කාලය ගතකිරීමට පෙළඹ සිටිති.

පාස්කු ප්‍රහාරයෙන් පසුබෑමට ලක්වූ සංචාරක පැමිණීම යළිත් ඉහළට
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත අනුව මෑත භාගයේ දිවයිනේ සීඝ්‍රයෙන් ප්‍රචලිත වූ සංචාරක කළාපය ඇල්ල බවට හඳුනාගෙන තිබේ. ඇල්ල ආශ්‍රිතව දියුණුවන සංචාරක කර්මාන්තය නිසා සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා රැසක් ද බිහිවෙමින් තිබේ. සැළකියයුතු සංචාරක හෝටල් ප්‍රමාණයක් ද මේ ආශ්‍රිතව පවතින අතර අලුතින් ඉදිවන හෝටල් සමූහයක් ද පවතී.

ස්වභාවික පරිසර කලාපයක හදිසියේ හටගන්නා ගින්නක් පාලනය කළ හැක්කේ කෙසේද ?
"දැන් මේ වගේ සංචරකමය වශයෙන් වැදගත් ප්‍රදේශ මුලින්ම හඳුනාගෙන ඒ සඳහා පිළියම් කරන්න ඕන. ගිනි පටි දැමීම හොඳ ක්‍රමවේදයක්. ගිනි පටි කියන්නේ පැතිරෙන ගින්න අඩාල කරන්න ස්වභාවිකව කළහැකි වගාවක්. වනයේ තැනින් තැන පටියක් ආකාරයෙන් හෙළි කිරීමක් කරනවා. එවිට පැතිරෙන ගින්න එතැනින් එහාට යන්නේ නෑ. දැනුවත් කිරීම් නිතර කළ යුතුයි. ඒ වගේම දඬුවම් දීම ලිහිල් නොකළ යුතුයි.

වන ගිනිතැබීම්වලට එරෙහිව පවතින නීති මොනවාද ?
"වනසංරක්ෂණ ආඥා පනත සහ වනසත්ත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ ආඥා පනත යටතේ මීට වැරදිකරුවන් වන පුද්ගලයින්ට දඬුවම් කළ හැකියි. වැදගත්වන්නේ මේ දඬුවම් මෙන්ම අය කරන දඩ මුදල වැඩි කළ යුතුයි. දැන් හෝර්ටන් තැන්න ගිනි තැබීමට ඉස්සර දඩය රුපියල් 2500 ක් තිබුණේ. ඉතින් මෙවැනි පියවර ගත්තොත් පරිසරය මෙන්ම සංචාරක කර්මාන්තයත් බේරගන්න පුළුවන්." මහාචාර්ය වරිය පැහැදිළි කලාය.

(BBC)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website