Tuesday, 27 August 2019 10:47

සිරිමාවෝ ඝාතනය කර වසර 39යි

‘‘මාගේ දේශපාලන ජීවිතය මෙතැනින් හමාර වුවත්, එවැනි ගර්හිත කෝලම් ආදියට හෝ අමනෝඥ මඩගැසීම් නැවත ප්‍රදර්ශනය කිරීම්වලට හෝ භාජන වීමට අකමැති බව නිර්භයව ප්‍රකාශ කරමි. මා එසේ නින්දා අපහාසවලට භාජන වීම මේ රටේ ජනතාවට කරන අගෞරවයකි. මා දැරූ අගමැති පදවියට අගෞරවයකි. අගමැති වැනි උසස්තම පදවියකට මා පත් කළ ජනතාවට කරන අගෞරවයකි. මදිපුංචිකමකි. ජනතාව දෙන ඕනෑ තීරණයක් කවදත් වෛරයෙන් හා ද්වේශයෙන් තොරව මම හැම විටම භාරගතිමි. අනාගතයේදී පැවැත්වෙන නිදහස් මැතිවරණයකදී රටේ නායකත්වයට මා නුසුදුසු යැයි රටේ ජනතාව තීරණය කරනවා නම් ප්‍රීතියෙන් එම ජනමතයට හිස නැමීමට මා සූදානම්ය. එහෙත් මා දේශපාලනිකව විනාශ කර දෙවනුව දේශපාලන නිදහසත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කිරීමට කෛරාටික උපක්‍රම යොදන, මේ රටේ අධිකරණය මගින් මා ගැන සාධාරණ තීන්දුවක් දීම වළකා දමා ඇති නමුදු අවසානයේදී අප දෛවය තීරණය කරන මේ රටේ බහුජනතාව ලවා තීන්දුවක් ලබා ගැනීමට මා ඔවුනතරට පිය නඟා යමි.’’

මේ තම ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා එවක ජේ.ආර්ගේ එජාප රජය පත්කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1980 මැයි 7 වැනිදා කළ අතීත ප්‍රකාශයෙන් උපුටා ගත් කොටසකි.

ජේ.ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව සිය පාලන කාර්යයන් ආරම්භ කළේ විරුද්ධවාදීන්ගේ ගෙවල් ගිනි තැබීම්, රැකියා අහිමි කිරීම්, පහරදීම් හා මිනීමැරුම් සිදුකරමිනි. පොලිසිය එම සිදුවීම් දෙස නිහඬව බලා සිටියේ මැතිවරණයට පෙර ජේ.ආර්. විසින් තමන් ජයග්‍රහණය කිරීමෙන් පසු පොලිසියට සතියක් නිවාඩු ලබා දෙන බව කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
ආණ්ඩුව පිහිටුවා සය මසක් ගත වෙන්නටත් පෙර ජනාධිපති පරීක්ෂණ විශේෂ කොමිෂන් සභා නීතිය සම්මත කර ගන්නා ලද අතර විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පිහිටුවීම, ඒවාට සාමාජිකයන් පත් කිරීම හා ඒවායේ බලතල හා ක්‍රියා පරිපාටි නියම කිරීමට ජනාධිපතිවරයාට බලය ලබා දුන්නේය.

ඡන්ද බලය කටුගා ප්‍රජා අයිතිය අහෝසිකර මහජන ඡන්දයෙන් තෝරන නියෝජිකත්වයකට නුසුදුස්සෙකු කොට දේශපාලනයෙන් පිටමං කිරීමට දරන නීත්‍යානුකූල නොවූ පරීක්ෂණයකට සහභාගිවීමට අදහස් නොකරන බව ප්‍රකාශ කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විශේෂ ජනාධිපති කොමිසමෙන් පිටව ගියාය.

බණ්ඩාරනායක මැතිනිය ප්‍රකාශයක් පමණක් කොට පරීක්ෂණ කටයුතුවලට සහභාගි නොවී පිටව ගියේ ඊට පෙර අධිකරණයෙන් තමන්ට ලබාදුන් සහන අහෝසි කිරීමට රජය ගත් අසාධාරණ පියවර නිසාය.

1972 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය පැනවීමට පෙර කාලය තුළ කරන ලද ක්‍රියාවක් හෝ නොකර හැරීමක් හේතුකොටගෙන තමන් ප්‍රජා අශක්නුතාවකට භාජන කළ යුතු බවට නිර්දේශ කිරීමේ බලය එම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා සභාවට පවරා නැතැයි යන හේතුව මත කොමිසමට එරෙහිව රිට් තහනම් ආඥාවක් නිකුත් කරන ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියාය.

මෙම තර්කය අභියාචනා අධිකරණය විසින් අවිවාදයෙන් පිළිගත් අතර අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු විමලරත්න මෙසේ ප්‍රකාශ කළේය.

‘‘විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නීතිය අතීතයටද බලපාන සේ ක්‍රියාත්මක කළ යුතු බවට නිශ්චිත විධිවිධාන එහි අඩංගු නොවේ. භාවිත භාෂාවද මෙම නීතිය අතීතයටත් බලපාන සේ ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාදායකය අදහස් කළේ යැයි නිගමනය කිරීමට තුඩු දෙන්නේ නැත. අවට සාක්ෂිද අතීතයට බලපාන්නේ නැතැයි උපකල්පනය ව්‍යර්ථ කිරීමට තරම් ශක්තිමත් නොවේ. නීතිය හුදෙක් අනාගත වාසි වෙයි. එය අපේක්ෂා කරනුයේ ඉදිරි කාලයේ සිද්ධීන්ට සහ චර්යාවන්ට යෙදවීමටය.’’

නීතිය පැනවූ දිනට පෙර පුද්ගලයන්ගේ චර්යාව පරීක්ෂා කොට වාර්තා කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාවට බලය පවරා ඇති වොරන්ට් බලපත්‍රය නීතිය ඉක්මවා ගොස් දෙන ලද්දකි. මේ නිසා රිට් තහනම් ආඥාවක් ලබා ගැනීමේ හිමිකම බණ්ඩාරනායක මැතිනිය සතුවේය යන අභියාචනා අධිකරණයේ තීන්දුව ඒකමතික තීන්දුවක් විය. මෙහි ප්‍රතිඵලය වූයේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව තවදුරටත් පවත්වාගෙන යාම නීත්‍යානුකූලව කළ නොහැකි වීමත් කොමිසමේ සියලුම කටයුතු අනිවාර්යයෙන්ම නවතා දැමීමට සිදුවීමත්ය. එහෙත් සිදුවූයේ එය නොවේය.

1978 අංක 4 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා විශේෂ විධිවිධාන පනතින් නීතිමය ප්‍රතිවිපාක තුනකට ආසන්න ප්‍රමාණයක් ඇතිවිය. ඒ හැම එකක්ම සමාජයේ ස්ථිරසාර සාරධර්ම විනාශ කර දැමීමටද හේතුවිය. එම අනර්ථකාරී ව්‍යවස්ථාවෙන් සිදුවූයේ ජනාධිපති කොමිෂන් සභාවක් පවත්වාගෙන යාමට විරුද්ධව බණ්ඩාරනායක මැතිනිය අපේක්ෂා කළ සහනය ලබාදීමට අභියාචනා අධිකරණය ලබා දුන් තීන්දුව නොපිට පෙරළීමය. එම ප්‍රතිඵලය ලබා ගැනීමට සම්මත කරගත් ව්‍යවස්ථාව අතීතයටද බලපාන සේ ක්‍රියාත්මක කරන ලදී. බණ්ඩාරනායක මැතිනියට අදාළ වූ කරුණුවලට සමාන කරුණුවලදී රිට් තහනම් නිකුත් කිරීමට අධිකරණ බලය අභියාචනා අධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මාරු කරන ලද අතර එසේ කරන ලද්දේ ඉදිරි කාලය සඳහා පමණක් නොව අභියාචනා අධිකරණය ඉදිරියේ ඒ වන විටත් විභාග වෙමින් පැවති නීති කාර්යයන් සඳහා බලපාන ආකාරයෙනි.

ශ්‍රී ලංකාවේ අටවන පාර්ලිමේන්තුවට සදාතනික අපකීර්තියක් අත්කර දුන් යෝජනාව වන බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ සහ එතුමිය පාර්ලිමේන්තුවෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා ලද්දේ කොමසාරිස්වරුන්ට සිය විරෝධතා සහ දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට කාලය දෙමිනි. ඒ ශ්‍ර්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය නිකුත් කිරීමෙන් පැය 24කට පසුවය. එම ක්‍රියාමාර්ගයේ නීති විරෝධීභාවය පිළිබඳ පාර්ලිමේන්තුවට එම යෝජනාව ඉදිරිපත් කළ සැණින්ම නැගී සිටි එවකට විරුද්ධ පක්ෂ නායක ඒ අමිර්තලිංගම් මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් අධිකරණයක විනිශ්චයකට භාජනය වී තිබෙන කිසිම කරුණක් පිළිබඳව හෝ අධිකරණමය තීන්දුවක් දිය යුතුව තිබෙන කිසිම කරුණක් පිළිබඳ 84(vi) දරන ස්ථාවර නියෝග අනුව කිසිදු මන්ත්‍රිවරයකු සඳහන් නොකළ යුතු බවට තර්ක කළේය.
විපක්ෂ නායක අමිර්තලිංගම් මහතා පාර්ලිමේන්තුවේදී මෙසේ ද පැවැසීය.

‘‘ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සහ එහි උගත් කොමසාරිස්වරුන්ගේ නිගමන වූ කලී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින සර්ටියෝරාරී තහනම් ආඥාවක් ලබා ගැනීමට ඉදිරිපත් කර ඇති අයදුම්පතක විෂය කරුණු වී තිබෙන බැවින් මෙම මෝසම ඉදිරිපත් කරන්නා වන අගමැතිතුමාද ඇතුළුව මන්ත්‍රීවරුන් අධිකරණ විනිශ්චයට භාජනව තිබෙන කරුණු පිළිබඳ සඳහන් කිරීමෙන් වැළකිය යුතු බව 84 (vi) දරන ස්ථාවර නියෝගය නියම කරන බව මම ඉදිරිපත් කරමි. (පාර්ලිමේන්තු වාර්තාව 1980-1-16)

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලුම් පත්‍රයේ අරමුණ වූයේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව විසින් එතුමියට විරුද්ධව වාර්තා කරන ලද නිගමනවල වලංගු භාවය අභියෝගයට ලක් කිරීමය. එහෙත් පාර්ලිමේන්තුව විසින් එම කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ යෝජනාව සම්මත කිරීමට තීරණය කිරීමෙන් පසු පාර්ලිමේන්තුවෙන් අදාළ කටයුතු උසාවිය වෙත ඉදිරිපත් කිරීම නිසා එය භාර ගැනීමට හෝ එහි කුසලතා ඇගයීමට හෝ උසාවිය සතු අයිතිය වැළකී යන බැවින් පසු අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීම නිෂ්ඵල ක්‍රියාවක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය

තමන් ඉදිරිපත් කළ නීති ප්‍රශ්නය ප්‍රතික්ෂේප වීමෙන් පසුව යෝජනාවට එරෙහිව කතා කළ එවක විපක්ෂ නායක අමිර්තලිංගම් මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට එරෙහිව ක්‍රියා කිරීමක් වන අතර මෙම දඬුවම දේශපාලන මිනීමැරුමක් ලෙසින් හඳුන්වා දුන්නේය.
ව්‍යවස්ථාවක් මගින් දේශපාලන මිනීමැරීමක් කරන්නට මෙම යෝජනාවෙන් සූදානම් වන බවට එජාප රජයට චෝදනා කළ අමිර්තලිංගම් මහතා එදා අත්තනගල්ල මන්ත්‍රිනියට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළත් ඇය එයට කරුණු පැහැදිලි කළ බවත් දැන් එජාප රජයට ගල්රෝල් වැඩි ඡන්දයක් තිබෙන නිසා ඇය එයට යටකර දමන්නට මෙම යෝජනාව මගින් සූදානම් වන බවත් පැවසුවේය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය සත් වසකට තහනම් කිරීමත් දස දහකට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයගත් අත්තනගල්ල ආසනයේ මන්ත්‍රී පදවිය අහෝසි කිරීමටත් අගමැතිවරයා පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 121කින් සම්මත විය. ඒ 1980 ඔක්තෝබර් මස 16 වන දිනය.

ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනෙද්දී 2500කට ආසන්න පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂක වළල්ලක් පාර්ලිමේන්තු මන්දිරය වටකොට තිබිණි. එම පෙදෙසට ඇතුළුවීමට හැකිව තිබුණේ විශේෂ අවසරයක් ලබාගත් අයට පමණකි. පැරණි පාර්ලිමේන්තුව ඉදිරිපිට මුහුදේ නාවික හමුදා බෝට්ටු ආරක්ෂක සේවයේ යෙදුණු අතර ගුවන් හමුදා හෙලිකොප්ටර්ද ගුවනින් එම පෙදෙසේ සෝදිසි කිරීමේ නිරත වූහ.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුව සිරිමා බණ්ඩාරනායක මහත්මියට ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීම සහ ඇය පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීම ආණ්ඩුව මුහුණපා ඇති ආර්ථික ගැටලුවලින් ජනතා අවධානය අන් අතකට යොමු කිරීම අරමුනු කරගත්තක් බව බොහෝ දෙනාගේ මතය වී ඇතැයි බ්‍රිතාන්‍යයේ ප්‍රබල පුවත්පතක් වන ‘‘ෆයිනෑන්ෂල් ටයිම්ස්‘‘ සඳහන් කර තිබිණි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමිකර ඇය පාර්ලිමේන්තුවෙන් නෙරපා හැර ඇතත් එය දැන් ජයවර්ධන ආණ්ඩුවට ආපසු කැරකී එන පාරාවළල්ලක් වී ඇතැයි ඉන්දියාවේ ස්ටාර් පුවත්පත සඳහන් කර තිබුණේය.
ශ්‍රී ලංකාවේ හිටපු අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය සහ දේශපාලන අයිතිවාසිකම් අහිමි කිරීම පිළිබඳ තමා අතිශයින් කනගාටුවන බව ඉන්දීය අගමැතිනි ඉන්දිරාගාන්ධි මහත්මිය සඳහන් කළාය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දේශපාලන වශයෙන් ඝාතනය කිරීමට එජාප ආණ්ඩුව ගත් තීරණයට ලෝකයේ ජනනායකයන් මෙන්ම නොබැඳි සමුළුවට සම්බන්ධ රාජ්‍යවල නායකයන්ද බලවත් විරෝධය පළකොට තිබිණි.
බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීම මෙරට ප්‍රබුද්ධ කලාකරුවන් ද අනුමත කළේ නැත.

මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීන්දුව වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු, යන ලිඛිත ආයාචනය ප්‍රේමසිරි කේමදාස, විජය කුමාරතුංග, ඩබ්.ඩී. අමරදේව, නන්දා මාලිනී, සුගතපාල ද සිල්වා, ලෙස්ටර් ජේම්ස් පීරිස්, කරුණාසේන ජයලත්, සුමිත්‍රා පීරිස්, ඩී.බී. නිහාල්සිංහ, සුමිත්ත අමරසිංහ, එල්සන් දිවිතුරුගම, ආරියවංශ පතිරාජ, ඇතුළු බොහෝ කලාකරුවන්ගේ අත්සනින් රජයට ඉදිරිපත් කළහ.

එම ඉල්ලීමට ජේ.ආර්. ආණ්ඩුව ප්‍රතිචාර දැක්වූයේ ගුවන් විදුලි සංගීත පර්යේෂණ අංශයේ ප්‍රධානින්ව සිටි ඩබ්.ඩී. අමරදේව, සුගතපාල ද සිල්වා, නන්දා මාලිනී. පී. වැලිකළ, ජිනසේන යකුපිටිය, රංජිත් ධර්මකීර්ති යන කලාකරුවන්ට ගුවන්විදුලිය තහනම් කිරීමෙනි. විජය කුමාරතුංග, ප්‍රේමසිරි කේමදාස, මහාචාර්ය එදිරවීර සරච්චන්ද්‍ර යන අග්‍රගණයේ කලාකරුවන්ගේ නම් පවා ගුවන් විදුලියෙන් ප්‍රකාශ කරන්නට ඉඩ නොදීමෙනි.

ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කිරීමට පෙර අධිකරණයේ පිහිට පතන්නට බණ්ඩාරනායක මහත්මිය ගත් උත්සාහය පාර්ලිමේන්තුවේ හයෙන් පහක වැඩි ඡන්දයෙන් යට කළද විශේෂ ජනාධිපති කොමිෂන් සභාව නීත්‍යනුකූලව ස්ථාපිත වී නොමැති බව 1982-10-18 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම දෛවයේ සරදමක් විය.

විශේෂ ජනාධිපති කොමිෂන් සභා නීතිය පැනවීමට පෙර ශ්‍රී ලංකාවේ පුරවැසියකුගේ ප්‍රජා අයිතිය අහෝසි වීමෙන් පාර්ලිමේන්තු ආසනය අහිමි වී ගියේ රටේ පැවැති සාමාන්‍ය උසාවි මගින් පවත්වන ලද නඩු විභාගයකින් පසුව පමණි. එවැනි දඬුවමක් පැමිණ විය හැකි චෝදනා කල් තබා නීතිය මගින් පැහැදිලි කර තිබිණි. චෝදනා අදාළ නීති පොත්වල පැහැදිලිවම විග්‍රහ කර තිබූ අතර චෝදනා ඔප්පු කර ප්‍රජා අයිතීන් අහිමි කිරීම සිදු කරන ලද්දේ සම්මත අධිකරණ පිළිවෙත් අකුරටම පිළිපැදීමෙනි. සෑම අයෙකුම කල් තබා චෝදනා හා දඬුවම් මොනවා දැයි දැන සිටියේය.

සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශය ලබා දී වසර 39ක කාලයක් ගත වී තිබේ.
දැන් යළිත් රට පාලනය කරන්නේ එජාප ආණ්ඩුවකි. මේ ආණ්ඩුව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සූදානම් වන බවට පසුගිය දිනවල ආරංචි පැතිර ගියේය. ආණ්ඩුව එවැනි පියවරක් ගතහොත් ජේ.ආර්. ආණ්ඩුව සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම නිසා අත්විඳි ප්‍රතිවිපාක විඳිනු ඇත්ද යන්න තීරණය වනු ඇත්තේ අනාගතයේදීය.

(Aruna)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website