Wednesday, 28 August 2019 11:21

අධිකරණයේ ශක්තියට තාක්ෂණයේ සහය

විද්යුත් ලිපිගොනු සැකසීම, විද්යුත් ක්‍රමයට නඩු තීන්දු, නඩු ගොනු කළමනාකරණය, ප්‍රකාශන පටිගත කිරීම, ශ්‍රව්‍ය-දෘෂ්‍ය පටිගත කිරීමේ පහසුව ලබාදීම යන කරුණු පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය. විසඳුම් ඉක්මනින් ලබාදීමට නීතිය බලාත්මක කළ යුතුය. නීතියේ පවතින යම් යම් විසමතා හේතුවෙන් කල්ගත වන නඩු කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීම තුළ අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසයක් ගොඩනඟා ගත හැකිය.

යුක්තිය පසිඳලීම පිළිගත් මූලධර්ම මත පිහිටා සිදුකරන ක්‍රියාවලියකි. එහෙත් වර්තමාන ලංකාවේ නීති පද්ධතිය ආරවුලකට පත් වී ඇත. යුක්තිය පසිඳලීමේ රාජකාරී කටයුතුවල යෙදෙන්නන් එය පිළිගත් මූලධර්ම හා සම්මත පළපුරුදු අනුව සිදුකරනවාද යන ගැටලුව වර්තමානයේදී පැන නැඟී ඇත.

ශ්‍රී ලංකාවේ 1978 සිට මේ දක්වා ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැවැන්ත අර්බුදයකට පත් වී ඇත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරනු ලැබුවේ මූලික වශයෙන් 1958 දී ක්‍රියාත්මක වූ ප්‍රංශයේ පස්වැනි සමූහාණ්ඩු‍ ක්‍රම ව්‍යවස්ථාව ආදර්ශයට ගැනීමෙනි. ප්‍රංශ ආණ්ඩුක්‍රමයේ ආකෘතිය සැලකිල්ලට ගත් නමුත් ප්‍රංශයේ දේශපාලන සංස්කෘතිය හා පක්ෂ ක්‍රමයේ ස්වභාවය එහිදී සැලකිල්ලට නොගැනීම දේශපාලනික වශයෙන් සිදුවූ අත්වැරැද්දක් ලෙස හඳුනාගත හැකිය. ප්‍රංශයේ මෙන් ලංකාවේ දේශපාලන සංස්කෘතියක් නොපැවතීමත්, ප්‍රංශයේ මෙන් අවම ප්‍රතිවිරෝධතා සහිත පක්ෂ ක්‍රමයක් ලංකාවේ නොපැවතීමත් යන කරුණු කෙරෙහි අවධානය යොමු නොකිරීම ගැටලු ඇතිවීමට ප්‍රධාන ලෙස බලපා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී නීති රාමුවක් ඇති රටක පැන නඟින ගැටලු නිරාකරණය කර ගැනීමට රටේ පවතින සාමාන්‍ය නීතිය භාවිත කෙරේ. දේශපාලන හෝ බාහිර බල අධිකාරීන්ගේ මැදිහත්වීමකින් තොරව නීතිය බලාත්මක කිරීමට අවශ්‍ය ශක්තිය නිසි බලධාරීන් සතු විය යුතුය. පොලිසිය, අපරාධ පරීක්ෂණ නිලධාරීන් සහ අධිකරණය සාධාරණ ලෙස කටයුතු කළ යුතුය. අපරාධ පරීක්ෂකයන්, ඒ පිළිබඳව නඩු පැවරීමේ කාර්යභාරය පැවරී ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, අධිකරණ විනිසුරුවන් මෙහි ක්‍රියාකාරී පාර්ශ්වයේ වෙති. යම් අවස්ථාවලදී විවිධ කොමිෂන් සභාවල වැඩකටයුතු පිළිබඳව ජනතාව කලකිරීමට පත්වන අතර ලැබෙන විසඳුම් පිළිබඳව ජනතා විශ්වාසය අඩු වී ඇත. අපරාධ අවම කර ගැනීමේ කාර්යයේදී බුද්ධිගෝචර නීති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමයක් ඇති කිරීමේ කාලය එළඹී ඇත.

නීතිය අවභාවිතය

ශ්‍රී ලංකාවේ තවමත් දක්නට ලැබෙන්නේ නීතිය ‍ක්‍රියාත්මක කරන ආයතන විසින් නීතිය ක්‍රියාවේ යෙදවීමේදී ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග නිසා සමාජය තුළ නීතිය අවභාවිතා කර ඇති ආකාරයකි. අපරාධ පිළිබඳව චෝදනා ලබන පාර්ශ්ව නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ගේ ග්‍රහණයට නතුවීම නිසා දැඩි අසරණභාවයට පත්වන අවස්ථා සමාජයේ නිතර අසන්නට හා දකින්නට ලැබේ. නීති පද්ධතිය හා නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි ක්‍රමවේද හා සීමා පිළිබඳ ජනතාව තුළ පවත්නා අඩු දැනුම මීට හේතු වී ඇත. නීතිය යටතට පත්වන පුද්ගලයන්ට විවිධ හිරිහැරවලට මෙන්ම බලය අනිසි ලෙස භාවිත කිරීම නිසා අල්ලස් හා දූෂණවලට ද මුහුණපෑමට සිදුවීම, නීති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයේ පවතින විනිවිදභාවය සම්පූර්ණයෙන්ම කෙළෙසා දමන අවස්ථා වේ. සාක්ෂි සඳහා තොරතුරු විමසීමේදී සැකකරුවන් බිය වැද්දීම, පහරදීම වැනි පිළිවෙත් අනුගමනය කෙරේ. ලාංකේය නීති ක්‍රමය කෙරෙහි රටේ ජනතාව අනියම් බියක් දැක්වීමේ සම්ප්‍රදායක් පැවතීම කනගාටුදායක කරුණකි. නීති ක්‍රියාත්මක කරන ඇතැම් ආයතන තුළ වධහිංසා පැමිණවීම, විවිධාකාර බලකිරීම් හරහා සාක්ෂි එකතුකර ගන්නා තත්ත්වයක් ද නිර්මාණය වී ඇත.

ඇතැම් අවස්ථාවල පුද්ගලයාට යහපත්ව ජීවත්වීමේ ඉඩකඩ ඇහිරී ඇති ආකාරය දැකගත හැකි අතර ඇතැමකුට මේ අවස්ථා නිරායාසයෙන් ම පමණටත් වඩා ලැබේ. එකම සමාජය තුළ පරස්පර ලෙස ලැබෙන - නොලැබෙන ජනතාවක් සිටීම පොදු ධර්මතාවයකි. අපරාධ සිදුකිරීම් ද, අපරාධ සිදුවීම් ද මේ හා සමානය. අපරාධ කිරීම සම්පූර්ණයෙන් ම නවතා දැමිය නොහැකිය. එහෙත් අපරාධ කරන පුද්ගලයන් නිවැරදිව විමසා බලා ඔවුන්ට පමණක් දඬුවම් කළ යුතු ය.

‍ඇතැම් පුද්ගලයන්ගේ ජීවිත අනතුරුවලට ගොදුරු වන්නේ නිල බලය හා දේශපාලන බලපුළුවන්කාරකම් නිසා ය. සමාජයට මුදාහරින ලද අසාධාරණකම්, අයුක්ති සහගත දේ මෙන් ම දූෂණ හෙළිදරව් කිරීම නිසා නොයෙක් පීඩනවලට ලක්වේ. ඇතැම් නිලධාරීන්, දේශපාලකයන්, ආගමික නායකයන් වැනි සමාජයේ ඉහළ තලයේ සිටින්නන්ගේ මැදිහත්වීම මීට හේතුවයි. තමන්ගේ මූලික අයිතිය පිළිබඳ සැලකිලිමත් වනවා මෙන්ම අන්‍යයන්ගේ මූලික අයිතීන් පිළිබඳ ද ඒ හා සමානව ම සැලකිලිමත් වීම අවශ්‍යය.

රජයක් විසින් පාලනයක් ගෙනයාමේදී සමස්ත ක්‍රියා පටිපාටියම සෑම දෙනාගේම කැමැත්ත මත සිදු නොවීම ස්වාභාවිකය. එහෙත් සමාජයක කැමැත්තෙන් තොරව බලය පමණක් ම යොදවා නීති ක්‍රියාත්මක කිරීම සාධාරණ ද යන කාරණය කෙරෙහි අවධානය යොමුකළ යුතු ය. නීතියේ ආධිපත්‍යය පිළිබඳව රටේ අපරාධ නීතිය ක්‍රියාත්මක වන ආකාරයෙන් එය තවදුරටත් පැහැදිලි වෙයි. අපරාධ නැති කිරීමට නොහැකිය. එහෙත් අපරාධ අවම කිරීමට ක්‍රියාමාර්ග ගත හැකි ය. යටත් විජිත සමයේදී අපරාධ නීතිය යටතේ නීති සම්පාදනයේදී නීති පිළිබඳ අභ්‍යන්තර එකඟතාව හා එකඟ නොවීම‍ කෙරෙහි සැලකිල්ලක් දක්වා නොමැත. එහෙත් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී නීති රාමුවක් තුළ මෙය හාත්පසින් ම වෙනස් ස්වරූපයක් ගනී.

දශක ගණනාවකට පෙර ශ්‍රී ලංකාව තුළ අඩු - වැඩි වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පැවතුණේය. නමුත් වර්තමාන තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගෙන ඇත. රටේ පැවැති යහපත් වාතාවරණය පළුදු වීමත්, සුහදතාවය, අන්‍යෝන්‍ය සහයෝගය, මානව හිමිකම් මෙන් ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පවා නැති වී යාමත් දක්නට ලැබේ.

වගවීමකින් යුතුව රටේ දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ නම් අපරාධ අඩු වෙයි. කුමන ආකාරයේ විසඳුමක් ඉදිරිපත් කළ ද ඇතැම් අන්තවාදීන් ඊට විරුද්ධත්වය පෙන්වයි. ඒ සඳහා විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරයි. ගැටලුවට නිවැරදි විසඳුම සෙවීමට නම් අදාළ පාර්ශ්ව ඇතැම් බලවේගවලට නොසෙල් වී ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වේ. අන්තගාමී ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරන තැනට ලංකාව පත්වුවහොත් එය ජාත්‍යන්තර ප්‍රශ්නයක් දක්වා වර්ධනය විය හැකි ය. ප්‍රශ්නවලට මානව හිතවාදීව පිළිතුරු සෙවීම රටේ ජනතාවට උපරිම සහන සැලසීමකි.

රට තුළ සිදු වී ඇති අපරාධ විමර්ශනවලදී ඇතැම් විට දඬුවම් ලබා ඇත්තේ දඬුවම් ලැබිය යුතු පාර්ශ්ව නොවේ. පළමුව කළ යුත්තේ සුදුසු ක්‍රමවේද දියුණු කිරීමට අදාළ පාර්ශ්ව ශක්තිමත් කිරීමයි. එවැනි තත්ත්වයක් තුළින් මරණ දඬුවම අහෝසි කළ හැකි ය. මරණ දඬුවමට නියම වූ පාර්ශ්වයකට අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් යම් සහනයක් ලබාගත හැකි අවස්ථා ද ඇත. මරණ දඬුවමට නියමවූවන් ජනාධිපතිවරයා විසින් පොදු සමාවකට යටත් කරන අවස්ථාවලදී වාසනාවකට නිදහස ලබන පුද්ගලයන් ද විරලව හමුවේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියට අනුව ජනාධිපතිවරයාට මෙම බලය හිමි වී ඇත. ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයක් මඟින් ඕනෑම වරදකට වරදකරුවකු කර දඬුවම් ලබන ඕනෑම පුද්ගලයකු කොන්දේසි විරහිතව නිදහස් කිරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන බව ඉන් දැක්වෙයි. ව්‍යවස්ථාවට අනුව පුද්ගලයකු නීතිය ඉදිරියේ වරදකරුවකු බවට පත් වූ විට ඉන් වසර හතක් ගතවනතුරු මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි වුවත් ව්‍යවස්ථාවේ 89/90 වගන්තිවලට අනුව නුසුදුසුභාවයට පත්කර අධිකරණය මඟින් දඬුවම් නියම කරන ලද පුද්ගලයකු පවා සියලු චෝදනාවලින් නිදහස් කර මැතිවරණයකට ඉදිරිපත් කිරීමේ බලය ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට හිමිකර ඇත.

යුක්තිය පමා වීම

කෙසේ වුව ශ්‍රී ලංකාවේ නීති පොතට පමණක් සීමා වී තිබූ මරණීය දණ්ඩනය යළි පැනවීම ලෝකයේ මානුෂීය ධර්මතා අගය කරන රටවල් අතර සබඳතා ගිලිහෙන්නට ද හේතු විය හැකිය. අද වන විට මරණීය දණ්ඩනය ජාත්‍යන්තරය විසින් පිළිනොගන්නා කාරණාවක් බවට පත් වී ඇත.

පුද්ගලයකුට මරණ දණ්ඩනය ලබාදීමෙන් නැවත වරද නිවැරදි කරවීමට අවස්ථාවක් නොලැබේ.

ව්‍යවස්ථාවෙන් මරණ දඬුවම සඳහා ප්‍රතිපාදන පැවතීම සහ අධිකරණය විසින් මරණ දඬුවම සඳහා නියම කිරීම් සිදුවුවද 1976 න් පසු ජනාධිපතිවරු මේ සඳහා වරෙන්තු අත්සන් කර නැත.

යුක්තිය පසිඳලීම, දඬුවම් පැනවීම අධිකරණයේ කාර්යයන් ය. අධිකරණය විසින් නීත්‍යානුකූල ක්‍රමයට යුක්තිය පසිඳලීම කළ විට වෙනත් පාර්ශ්ව ඊට බලපෑම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ක්‍රියාවකි. රටේ පොදු දේශපාලන න්‍යාය පත්‍රය, පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයට යටකිරීම ද කිසිසේත් සුදුසු නොවේ.

රටේ සංවර්ධනය, මානවීය ගුණාංග අඩපණ වන කිසිදු ක්‍රියාවක් නොකිරීමට ජනතාව වගබලාගත යුතුය. රාජ්‍ය පාලන තන්ත්‍රය ද ඊට සහය දක්වමින් රටේ ජනතාවගේ යහපැවැත්ම උදෙසා කටයුතු කළ යුතුය.

පසුගිය කාලපරිච්ඡේදයේදී මෙරට යුක්තිය පසිඳලීමේ කාර්යය පිළිබඳව ජනතා විශ්වාසය පැවතියේ අල්ප වශයෙනි. අධිකරණ ක්‍රියාවලිය තුළ යුක්තිය පසිඳලන රජයේ රස පරීක්ෂණ වාර්තා නිසි කලට නොලැබීම වැනි ගැටලුවලට අධිකරණ පද්ධතිය මුහුණ දුන්නේය. එහි ප්‍රතිඵලය ඩී. එන්. ඒ. තාක්ෂණය ප්‍රමිතිකරණයට ගෙන ඒම, නවීන විද්‍යාගාර පහසුකම් ඇතිකිරීමට පියවර ගැනීමයි. යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ගත් සාම්ප්‍රදායික ගමන් මඟ වෙනස් කරමින් ලෝකයේ දියණු රටවල්වල අධිකරණ පද්ධතිවල ක්‍රමවේද භාවිත කිරීමට කාලය එළඹ ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

කාර්මීකරණයත් සමඟ විද්‍යාව සහ තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවක් ඇතිවිය. තාක්ෂණය සහ මිනිසා අතර සම්බන්ධය අඩුවීම නිසා නොයෙක් ගැටලු නිර්මාණය වී ඇත. සමාජයක වැඩි කාර්යක්ෂමතාවයක් ඇතිවීම කෙරෙහි ජනයාගේ ස්වභාවය, තාක්ෂණයේ වැඩිදියුණුව මෙන් ම ප්‍රාග්ධනය වැඩි වශයෙන් පැවතීම යන සාධක බලපායි. විද්යුත් ලිපිගොනු සැකසීම, විද්යුත් ක්‍රමයට නඩු තීන්දු, නඩු ගොනු කළමනාකරණය, ප්‍රකාශන පටිගත කිරීම, ශ්‍රව්‍ය - දෘෂ්‍ය පටිගත කිරීමේ පහසුව ලබාදීම යන කරුණු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය. ඉක්මනින් විසඳුම් ලබාදීමට නීතිය බලාත්මක කළ යුතුය. නීතියේ පවතින යම් යම් විසමතා හේතුවෙන් කල්ගත වන නඩු කටයුතු ඉතා ඉක්මනින් අවසන් කිරීම තුළ අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසයක් ගොඩනඟා ගත හැකිය.

වර්තමානයේ රටේ නීතිය ක්‍රියාත්මක කරන සංස්ථා කෙරෙහි ඇතැම් වගකිවයුතු පාර්ශ්ව විශේෂ උනන්දුවක් නොදක්වන බව පෙනේ. මේවාට ඉතා ඉක්මනින් විසඳුම් සම්පාදනය කළ යුතුය. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය යන ත්‍රිත්වයන්හි නීති-රීති වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම, මහජන සම්බන්ධතා ක්‍රියාවලිය ශක්තිමත් කිරීම යන කරුණු තුළින් රටේ පවතින ව්‍යසනකාරී තත්ත්වයන්ට පිළිතුරු සෙවිය හැකිය.

(Dinamina)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website