Thursday, 29 August 2019 07:53

නවක වද යක්ෂයා

නවක වදය වරින් වර සාකච්ඡාවට බඳුන් වෙන මාතෘකාවකි. එහෙත් ඛේදවාචකයක් සිදුවී කාලයකට පසු ඒ කථිකාව පමණක් නොව ඒ පිළිබඳ දක්වන අවධානය සහ ක්‍රියාමාර්ග ද නවතී. ශිෂ්‍යයන් පිරිසක් විසින් සිතාමතා තවත් ශිෂ්‍යයන් පිරිසක් පීඩාවට පත් කෙරෙන්නේ නම් එතැන ඇත්තේ මානසික අක්‍රමිකතාවකි. එකී මානසික අක්‍රමිකතාවලට විවිධ හේතු බලපාන්නට හැකි වුවත් විශ්වවිද්‍යාලයක් තුළ එවැනි පරපීඩක ක්‍රියාදාමයක් සිදුවීම කිසිවිටෙක අනුමත කළ නොහැකිය. එබැවින් විවිධ පැතිකඩ හරහා ඊට විසඳුම් සෙවිය යුතුය. එහිදී මීට බලපාන මනෝවිද්‍යාත්මක කරුණු උපදේශනය, නීතිය, සමාජ විද්‍යාත්මක සහ දේශපාලන හේතු සහ විසඳුම් පිණිස ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විද්වතුන් දක්වන අදහස් වෙනුවෙන් අද දේශපාලන කොලෝසියම වෙන්වේ.

**********************

නවක වදය දෙන්නේ භින්න පෞරුෂ තියෙන අය

*කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන මනෝ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චින්තක චන්ද්‍රකුමාර

නවක වදය හොඳයි කියලා සමහරු කියනකොට තවත් අයෙක් නවක වදය නරකයි කියලා කියනවා. එකමුතුකම, සමාජශීලිබව වැනි කාරණා නවක වදය නිසා ඇති වෙන හොඳ දේ බව සමහරු කියනවා. අනෙක් පැත්තෙන් විශ්වවිද්‍යාලය දාලා යන තරමට මෙය මානසික වදයක් වෙන බවට සමහරු තර්ක කරනවා. ගීයක් ගැයීම, මලක් දීම වැනි දේ සරල කාරණා හැටියට සැලකුවත් එහි සීමාවන් කොතැනද කියන එක ප්‍රශ්නයක්. ගීතයක් ගයන්න කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඊළඟට කියයි පුටුවකට නැඟලා ගයන්න කියලා. තවත් අයෙක් කියයි අසභ්‍ය වචන තියෙන ගීයක් ගයන්න කියලා. ඒ නිසා අපට මෙහි සීමාව ගණනය කරන්න අමාරුයි. ඒ නිසා නවක වදය නවත්වන්න නම් නීතිය ක්‍රියාත්මක කිරීම වැනි සෘජු තීරණ වගේම වක්‍ර ක්‍රියාමාර්ග ගන්න වෙනවා.

ඇත්තටම විශ්වවිද්‍යාලවල නවක වදයට වැඩිපුරම සම්බන්ධ වෙන්නේ කුඩා කාලයේ පිළිගැනීමකට ලක්නොවුණ ළමයිනුයි. පාසලේදී සමිති සමාගම්වල නායකත්වය දරපු, හොඳින් බාහිර වැඩ කළ ළමයි නවක වදය ක්‍රියාත්මක කරන්න යොමුවෙන්නෙ නැති තරම්. විශ්වවිද්‍යාලයට ඇවිත් එකපාර පිළිගැනීමට ලක්වුණාම ඒක පාලනය කරගන්න ඒ අයට බෑ. ඒ වගේම අනෙක් අය පීඩාවට ලක් කරන්නේ පෞරුෂ අක්‍රමිකතා තියෙන පිරිසයි. ඒ අය බොහෝ විට සමාජ අසාධාරණයට ලක්වුණු අය. හොඳ පවුල් පරිසර නොතිබුණ අය. මේ අය තමන් වැනි පිරිසක් තෝරා ගෙන එවැනි පීඩාකාරී ක්‍රියා මෙහෙයවීමට උසි ගන්වනවා.

මේ හේතු නිසා නවක වදය දිගටම ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය නැති කරන්න විශ්වවිද්‍යාල පද්ධතියෙන්ම සියුම් උපක්‍රම යොදන්න පුළුවන්. ඇත්තටම විශ්වවිද්‍යාලය තුළ පළමු වසර, දෙවැනි වසර වගේම හැම වසරකම ශිෂ්‍යයන්ට පෞරුෂ වර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතැනදී රැග් ගැන කතා කරන්න ඕනේ නෑ. හැබැයි පළමු වසර වගේම දෙවැනි වසර ළමයින්ට පෞරුෂ වර්ධනය හරහා පරපීඩක ක්‍රියාදාමයන්වල යෙදෙන්නේ භින්න පෞරුෂ තියෙන අය කියලා අවබෝධ කර දෙන්න ඕනේ. එතකොට රැග් කරන්න හිතන කෙනා දන්නවා තමන්ට මේ දේවල් හිතෙන්නේ ඒ නිසා කියලා. රැග් වෙන කෙනා දන්නවා රැග් කරන කෙනාට තියෙන්නේ දුර්වල පෞරුෂයක් කියලා. තමන්ට තියෙන්නෙ දුර්වල පෞරුෂයක් කියලා පෙන්වන්න කවුරුත් කැමැති නෑ. මේ විදියට තමන්ට තමන් අවබෝධ කරදෙන වැඩසටහන් ක්‍රියාත්මක කළොත් මේ නවක වදය බොහෝ දුරට අවම කරන්න පුළුවන්.

මේ කටයුත්ත උපක්‍රමශීලිව කළ යුතුයි. මෙතැනදී මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ශිෂ්‍යයන්ටම අනුබල දෙන්න ඕනේ. එය ඔවුන්ගේම වැඩක් විදියට කරන්න ඕනේ. ආචාර්ය මණ්ඩලය හා පරිපාලනය ඒ සඳහා සිසුන් දිරිමත් කරලා සහයෝගය දෙන්න ඕනේ. නවක වදය නැති කරන්න නම් පෞරුෂ වර්ධනය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්.

සුමේධා නවරත්න

**********************

සිරුරට අත තැබීම පවා නීතියට විරුද්ධයි

*මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය, නීතීඥ පාලිත බණ්ඩාර සුබසිංහ

නවක වදය ලබා දීමට පෙළඹීම මානසික රෝගි තත්ත්වයක් නිසා සිදුවන්නක් බව කියන්න බැහැ. මේක ඈත අතීතයේ පටන් පැවත එන එකක්. පන්ති භේදය අවම කරන්න නවක වදය විශ්වවිද්‍යාලවලට පැමිණියා. ඒ වගේම දෙවන ලෝක යුද්ධ සමයෙන් පසු මිලිටරි සේවයේ සිට පිරිස් උසස් අධ්‍යාපනය යොමුවීමත් සමඟ ඔවුන් මිලිටරි සේවයේ අත්දැකීම් විශ්වවිද්‍යාලවලට ගෙනාවා. මේ ඔස්සේ විශ්වවිද්‍යාලවල රැග් කිරීම් ආරම්භ වූ බව කියනවා.

අපේ ගොඩක් දරුවන්ට සබකෝලය තිබෙනවා. මේක නැති කරන්න කැන්ටිමේ පුටුවක් උඩ නැගලා කතාවක් කිරීම වගේ දේවල් අපි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලයේ නවක වදය යටතේ ලබා දුන්නා. ගසක් බදාගෙන පෙම් කිරීම, සිංදුවක් කීම වගේ දේවල හානිදායක දේවල් නොවෙයි. හාස්‍ය මතු කරන ගොන්පාට් ලෙස හඳුන්වන දේවල් තුළින් ජීවිතයට යම් ඵලදායි දෙයක් ලැබුණා. අනෙක් පැත්තෙන් මේ නිසා ශිෂ්‍යයන් අතර සුහඳතාව වර්ධනය වුණා. ඒ වගේම ප්‍රභූ පවුල්වල අය හොඳට ඇඳ පැලඳ ගෙන එද්දී දුප්පත් අයට ඒ දේවල් නැති වුණාම ලොකු පන්ති බේදයක් විශ්වවිද්‍යාල තුළ පෙනෙන්න තිබුණා. හැමෝම සෙරෙප්පු දාලා කොණ්ඩ කරල් දෙකක් බැඳලා එන්න කිව්වම එතන පොඩි සමාන කමක් පෙනෙන්න තිබුණා. මේවා වැරදි දේවල් නොවෙයි.

එතනින් එහාට ගොස් ශාරීරික හා මානසික පීඩා කරන තත්ත්වයට අද විශ්වවිද්‍යාල නවක වදය පත්වීම තමයි ගැටලුව. මේ තුළින් බරපතළ මානසික පීඩාවන් ඇති වීමේ අවදානමක් තිබෙනවා. බොහෝ වෙලාවට විශ්වවිද්‍යාලයේ සිසුන් හඳුන්වන්නේ කාඩ් එකකින්. සැබෑ නමට වඩා ප්‍රසිද්ධ වෙන්නේ මේ කාඩ් එක ලෙස දෙන නම. අපේ කාලයේ ගොඩක් වෙලාවට කොණ්ඩේ පොකුටු නම් පොකුටා කිව්වා. ගමේ නමට සම්බන්ධ යමක් එකතු කර කාඩ් එක දැම්මා. එප්පාවලින් ආවා නම් පොස්පේට් කියලා කාඩ් එක දැම්මා. අද ළමුන්ගේ ශාරිරික ආබාධ මුල් කරගෙන නම් දාන තැනට පත්වෙලා. ඇසක් වපර නම් පොට්ටයා කියනවා. කතා කරන්න අසීරුතාවක් ඇත්නම් ගොතයා කියනවා. මේවායින් දරුවන් ඇතුළතින් කඩා වැටී මානසික රෝගීන් බවට පත්වෙනවා.

මෙය නතර කිරීමට නොහැකි වීමට බලපාන බරපතළම හේතුවක් තමයි නවක වදය පමුණුවන පිරිස හා ඊට ලක්වන පිරිස අතර කාලයක් ගිය විට යම් බැඳීමක් ගොඩනැගීම. යම් කණ්ඩායමක් සමඟ එකට කාලයක් ගත කරන විට ඔවුන් අතර යම් බැඳීමක් ඇති වෙනවා. විශ්වවිද්‍යාලවල නවක වදයත් සමඟ සෝෂල් ස්ටොක්හෝම් කියන මානසික තත්ත්වය මගින් මේ අය අතර බැඳීමක් ඇති වෙනවා. මේ නිසා නවක වදය අඛණ්ඩව ඉදිරියට ගමන් කරනවා. ඇත්තටම අද සිසුන් මානසික හා කායිකව පීඩාවට පත් වෙනවා. මේ නිසාම සිසුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අත්හැර දමන අවස්ථා වගේම සියදිවි නසා ගන්න අවස්ථා පවා තිබෙනවා.

දරාගන්න බැරි තරම් ව්‍යායාම අඛණ්ඩව ලබා දීමෙන් ළමුන්ගේ ශරීර අවයවවලට හානි වෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ වරප්‍රකාශ් සිසුවා මියගියේ මෙලෙස නවක වදයට ලක්ව වකුගඩුවලට හානි සිදුවෙලා. නවක සිසුවෙකුගේ ශරීරයට අත තියන්නවත් නීතිය අනුව බැහැ. අද ලිංගික අතවර දක්වා මේ තත්ත්වය වර්ධනය වෙලා. නවක වදය ලබා දීමේදී ඊට ලක්වන සිසුවා මානසික පීඩාවට පත්වෙන ආකාරයටම යම් අවස්ථාවක නවක වදය ලබාදෙන සිසුවා නීතිය ඉදිරියට පැමිණි විට ඔහුද එලෙසින්ම පීඩාවට පත් වෙනවා. ඒ වගේම ඒ දරුවන්ගෙ පවුල්වල උදවිය දැඩි මානසික පීඩාවකට පත් වෙනවා. වසර 13 ක් පාසල් අධ්‍යාපනය ලබා විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වරම් ලබන්නේ 30000 කටත් අඩු පිරිසක්. එලෙස ඉතා අසීරුවෙන් තේරී පත්වන දරුවන් විශ්වවිද්‍යාලයට එවන්න අමානුෂිත නවක වදය නිසා මව්පියෝ බයයි. ඒ නිසා මෙය කිසිසේත්ම හොඳ තත්ත්වයක් නොවේ.

(Dinamina)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website