Saturday, 31 August 2019 11:05

මුස්ලිම් නීතිය සංශෝධනය විය යුත්තේ ඇයි?

අද වන විට ශ‍්‍රී ලංකාව තුළ පවතින මුස්ලිම් නීතිය සංශෝධනය විය යුතු ආකාරය සම්බන්ධයෙන් මුස්ලිම් ජන සමාජය තුළින්ම විවිධ කතිකාවත් නිර්මාණය වී ඇත. මුස්ලිම් නීතිය අප රටේ පවතින උඩරට නීතිය, තේසවලාමෙයි නීතිය, රෝම ලන්දේසි නීතිය වැනි නීති පද්ධති වලට වඩා වෙනස් වන්නේ එය පුද්ගල නීතියක් වීමය. එය මුස්ලිම්වරුන්ට පමණක් අදාළ නීතියකි. මුස්ලිම් නීතිය අදාළ වන්නේ යම් පුද්ගලයෙකු ඉස්ලාම් ධර්මය අදහන්නේ නම් ඔහු මුස්ලිම් නීතියෙන් පාලනය වන බවට සැලකේ. එබැවින් මුස්ලිම් රටවලදි මෙම නීති පද්ධතිය කෙරෙහි බලපෑමක් නොවේ. නමුත් ශ‍්‍රී ලංකාව වැනි මුස්ලිම් නොවන රටවලදී මුස්ලිම් නීතිය එම රටේ පවත්නා නීතිය තුළ එක් නීති ක‍්‍රමයක් පමණි. එසේ හෙයින් අප රටේ ෂරියා නීතිය හෙවත් මුස්ලිම් නීතිය ඒ ආකාරයෙන් භාවිත කිරීමට යෑම තුළින් විවිධ ගැටලූ මතුවිය හැකිය.



අප රටේ ජීවත් වන මුස්ලිම්වරුන්ගේ විවාහය, දික්කසාද, දරුවන්ගේ භාරකාරත්වය, නඩත්තුව වැනි කරුණු සම්බන්ධයෙන් බල පැවැත්වෙන්නේ 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වේ. එකී පනත අවස්ථා ගණනාවකදීම සංශෝධනයට ලක්වූවද, එකී පනතේ තවදුරටත් අඩංගු ඇතැම් විධිවිධාන අප රටේ පවත්නා වූ සාමාන්‍ය නීතිය වෙතින් මෙන්ම වර්තමාන සමාජ වටපිටාව මගින්ද බරපතළ ලෙස විවේචනයට ලක්වෙමින් පවතී.

පසුගිය වසර කිහිපය තුළදී මුස්ලිම් ජන සමාජය නියෝජනය කරන මුස්ලිම් කාන්තාවන්ගෙන් පවා සාකච්ජාවට බඳුන් වූ මූලිකම කරුණ වූයේ මුස්ලිම් ළමා විවාහයන්ය. නිදර්ශනයක් ලෙස වර්ෂ 2014 දි කාත්තන්කුඩි ප‍්‍රදේශයේ ළමා විවාහ අනුපාතය 14% ක් වූ අතර, එකී ළමා විවාහ අනුපාතය 2015 වන විට 22‍%‍ දක්වා ඉතා සීඝ‍්‍ර ලෙස වර්ධනය වී ඇත. එනම් වයස අවුරුදු 12 වයසේ පසුවන ඕනෑම ගැහැනු දරුවෙකු සමඟ විවාහ වීම සඳහා වන අවසරය මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 47 (1) (1) වගන්තිය ප‍්‍රකාරව හිමිකර දී ඇත. මුස්ලිම් නීතිය වෙතින් දක්වා ඇති විවාහ වීමේ වයස් සීමා වැඩිකළ යුතු බවට අන් කවරදාකටත් වඩා විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන් විසින් සමාජය තුළ සිය හඩ අවධි කරමින් පවතී.

අප රටේ අපරාධ වැරදි සම්බන්ධයෙන් මූලික වශයෙන් බලපැවැත්වෙන්නේ අපරාධ නඩු විධාන සංග‍්‍රහය හා දණ්ඩ නීති සංග‍්‍රහ වේ. වර්ෂ 1995 දී එකී දණ්ඩ නීති සංග‍්‍රහය සඳහා සිදුකරනු ලැබූ සංශෝධනය මගින් වයස අවුරුදු 16 කට වඩා අඩු ගැහැනු දරුවෙකු සමඟ ඇයගේ කැමැත්ත ඇතිව හෝ නොමැතිව ලිංගිකව එක්වීම අපරාධමය වරදකි. එවිට ව්‍යවස්ථාපිත ස්ත‍්‍රි දූෂණය නම් වූ වරද සංයුක්ත කරනු ඇත. ඒ අනුව මුස්ලිම් නීතිය තුළ පවතින මෙම විවාහ වීමේ අවම වයස මෙම අපරාධ නීතිය අභිබවමින් පවතින්නක් බව ඒ අනුව පෙනී යයි. එනම් අප රටේ මුස්ලිම් නොවන වෙනත් තැනැත්තෙකු වයස අවුරුදු 16 ට අඩු ගැහැනු දරුවෙකු සමඟ ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගිකව එක්වීම වරදක් වුවද මුස්ලිම් නීතිය යටතේ එය වරදක් ලෙස නොසැලකේ.

අපරාධ නීතිය පැත්තෙන් පමණක් නොව මුස්ලිම් නීතිය යටතේ වන මෙම විවාහ වීමේ අවම වයස ළමා අයිතිවාසිකම්, සමාජීය හා ජීව විද්‍යාත්මක වශයෙන් වුවද බරපතල ගැටලූ මතුවිය හැකි කරුණකි. අද වන විට ශ‍්‍රී ලංකාව තුළ වයස අවුරුදු 18 ට අඩු සෑම ළමයෙකුටම පාසල් අධ්‍යාපනය යන්න අනිවාර්ය කරුණකි. එය ළමයින්ගේ අයිතිවාසිකමකි. නමුදු මෙම මුස්ලිම් වයස් සීමාවන් හේතුවෙන් එකී මුස්ලිම් ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනික අයිතිය මුළුමනින්ම පාහේ උල්ලංඝනය වේ. තවද පාසල් අධ්‍යාපනය නොලැබීමේ තත්ත්වය තුළ අනාගතයේ ඔවුනට මුහුණ දීමට සිදුවන අභියෝග රාශියකි. එනම් දැනුම ප‍්‍රාග්ධනය ලෙස සැලකෙන මෙම සියවස තුළ ඔවුනට ලෝකයේ හුදෙකලා වීමට සිදුවේ. ඒ තුළ වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට සමාජය පිළිබඳව ප‍්‍රබල අත්දැකීම්, අවබෝධයක් නොමැත. එම අඩු පරිනතභාවය තුළ විවාහ ජීවිතයට ඇතුළත් වීම ඔවුන්ගේ මුළු ජීවිතයම සිරකර තැබීමකි.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත 23 වගන්තිය ප‍්‍රකාරව වයස අවුරුදු 12 ට අඩු ගැහැනු ළමයෙකු සමග වුවද විවාහ විය හැකි අතර, ඒ සඳහා මෙම දරුවා වාසය කරන ප‍්‍රදේශයේ කාතිවරයාගේ අවසරය ලබාගත යුතු බව දක්වා ඇත. මෙහිදී කිසිදු විටක මනාලියගේ කැමැත්ත අනිවාර්ය සාධකයක් නොවේ. එසේ හෙයින් ඇයගේ කැමැත්ත දක්වා විවාහ ලේඛනයේ අත්සන යෙදීමක්ද මෙහිදී සිදු නොවේ. මෙම තත්ත්වය තුළ කවර වයසේ පසුවන මුස්ලිම් කාන්තාවකගේ කැමැත්ත වුවද, නොවිමසන බව පෙනේ. මෙලෙස නොවිමසීමට එක් හේතුවක් විය හැක්කේද මෙම විවාහ වීමේ වයස් සීමාව විය හැකිය. මන්දයත් එකී අවුරුදු 12 වයසේ පසුවන මුස්ලිම් ළමයෙකුගෙන් කැමැත්ත විමසීම කිසිසේත්ම ප‍්‍රායෝගික නොවේ. එවැනි වයසේ පසුවන ළමයෙකුට එවැනි තීරණයක් කරා එළඹීමට පවතින සමාජ අත්දැකීම් ඉතාම අල්පය.

අප රටේ පවතින මුස්ලිම් නීතිය යටතේ යම් පුද්ගලයෙකුට එක් කාන්තාවකට වඩා වැඩි ගණනාවක් සමඟ විවාහ විය හැකිය. එනම් තමන් විවාහ වන භාර්යාවන් සඳහා සමානව සිය වෛවාහක යුතුකම් දැරීමට හැකි පුරුෂයෙකු සඳහා උපරිම වශයෙන් භාර්යාවන් 04 දෙනකු සමග විවාහ වීම සඳහා අවකාශ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 44 වගන්තිය මගින් පිරිනමා ඇත. මෙම තත්ත්වය තුළ මුස්ලිම් ළමා විවාහ සඳහා අවසරය ලබාදීම බරපතළ ගැටලූ නිර්මාණය කෙරේ. සාමාන්‍ය සමාජ තත්ත්වය තුළ ප‍්‍රායෝගිකව අඩු වයසේ පසුවන ළමයෙකුට සිය ස්වාමි පුරුෂයාගේ අනෙකුත් වැඩිහිටි භාර්යාවන්ගෙන්/කාන්තාවන්ගෙන් එල්ල විය හැකි ඇනුම් බැණුම්, තාඩන පීඩන වැඩි විය හැකිය. එවැනි වටපිටාවක් නිර්මාණය වුවහොත් එම කටුක අත්දැකීම සඳහා මුහුණ දීම සඳහා මෙම මුස්ලිම් ගැහැනු දරුවාගේ අත්දැකීම් මුහුකුරා ගොස් නොමැත.

තවද මුස්ලිම් ළමා විවාහයන් තුළ සිදුවිය හැකි ප‍්‍රබල අර්බුදයක් වන්නේ එකී නීතිය තුළ ලිංගභේදය තුළ දික්කසාද වීමේ අයිතිය පිරිමැමීම තුළින් වඩාත් ඛේදනීය ඉරනම් වලට මුහුණ දීමට ඔවුනට සිදුවේ. එනම් පුරුෂයෙකුට කිසිදු හේතුවක් නොමැතිව ඒකපාර්ශ්වික ලෙස වුවද විවාහය අවසන් කිරීමට හැකියාවක් පවතී. මෙම තත්ත්වය වඩාත් බරපතළ වන්නේ පසුගිය කාලවකවානුව පුරාවටම කාති අධිකරණ තුළ කාතිවරයාගේ ක‍්‍රියාපටිපාටිය ප‍්‍රබල ලෙස විවේචනයට ලක් වීමය. එහිදී කාතිවරයා කාන්තාවන්ගේ දුක් ගැනවිලි, සාක්ෂි විමසීම්, ඉල්ලීම් වලට ඇහුම්කන් දීමකට වඩා පුරුෂ පාර්ශ්වයන් කෙරෙහි වැඩි හෝ ඒකපාර්ශ්වීය වූ පක්ෂපාතීත්වයෙන් යුක්තව කටයුතු කරන බවක් පෙනේ. තවද මුස්ලිම් කාන්තාවකට සිය සැමියාගෙන් වෙන් වීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔහු කළ වරද පිළිගත හැකි ස්වාධීන සාක්ෂි දෙකක් මගින් එකී වරද තහවුරු කළ යුතුය. එය මුස්ලිම් ජන සමාජ ආගමික වටපිටාව තුළ බෙහෙවින්ම අසීරු කරුණකි. එනම් වයස 16 ට අඩු ළමුන් බොහෝ විට සිය දෙමව්පියන් යටතේ හැදෙති. ඔවුහු සැහැල්ලූවෙන් ප‍්‍රීතිමත්ව කෙලිදෙලෙන් කටයුතු කරති. ඔවුන්ගේ සම වයසේ සිටින යෙහෙලියන් සමඟ විනෝද වෙති. එවැනි සමාජ පරිසරයක් තුළ කල් ගත කරන දරුවන් උදෙසා විවාහය කඩා වැටීම වැනි අතිශය කටුක අත්දැකීම් වලට මුහුණ දීමට තරම් ශක්තියක් නොමැත. එමගින් බරපතළ සමාජ ව්‍යසනයන්් නිර්මාණය කරයි.

අද වන විට මුස්ලිම් ළමා ගැබ් ගැනීම් වාර්තාගත ලෙස වර්ධනය වී ඇත. එකී ගැබ් ගැනීම් ළමා මාතාවට මෙන්ම ඇයගේ කුස තුළ වැඩෙන දරුවාටද ජීව විද්‍යාත්මකව වුවද යෝග්‍ය නොවේ. මෙවැනි වපසරියක් තුළ මුස්ලිම් ළමුන්ගේ අඩුබර උපත්, ගබ්සාවීම්, විටමින් ඌනතා රෝග වැනි බරපතළ සෞඛ්‍ය ගැටලූ පවා ඇති කරවයි.

ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය දැනටමත් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් ඒකමතිකව සම්මත කොට එම ප‍්‍රඥ්පත්තියට ශ‍්‍රී ලංකාවද අනුමැතිය දී අත්සන් තබා ඇත. ඒ අනුව ළමුන්ගේ වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත‍්‍රී පුරුෂ භාවය යනාදිය පිළිබඳව විශේෂයක් නොකර සියලූම ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප‍්‍රවර්ධනය කිරීම යනාදිය ඵලදායි ක‍්‍රියාමාර්ග තුළින් සපථ කර ගැනීම අප සියලූ දෙනාගේම මූලික යුතුකමක් මෙන්ම වගකීමක්ද වේ.

(Divaina)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website