Tuesday, 03 September 2019 08:37

මේ කවුද මොනවද කරන්නේ තවමත් ප්‍රශ්නයක් ?

‘‘කුමන රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වෙමි දැයි’’ තීරණය කිරී‍මේ අපහසුව හැර කියන්නට තරම් වෙනත් ලොකු ගැටලුවක් අප රටෙහි බොහෝ දේශපාලනඥයන්ට මේ දිනවල නැත. මේවා නිකංම නිකං රාත්‍රී භෝජන සංග්‍රහ නොවේ. අනාගත ජනාධිපති අපේක්ෂකයකු සමග එක මේසේ වාඩිවී කෑම කන්නට ලැබෙන අගනා අවස්ථාවන්ය. මෙවැනි දුර්ලභ අවස්ථා ගැන සිහින දකිමින් සිටින අයට වෙනත් දේවල් ගැන හිතන්නට වෙලාවක් නැතුවා සේය.

එවැනි සංදර්ශනාත්මක භෝජන සංග්‍රහ අතරතුර මරාගෙන මැරෙන්නට දිවුරුම් දී සිටින එකා දෙන්නා දිනපතාම වාගේ අත්අඩංගුවට පත්වෙමින් තිබේ. එල්ටීටීඊ සංවිධානයෙහි අනුප්‍රාප්තිකයකු යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ. ඔහුගෙන් ලැබුණු තොරතුරු අනුව උතුරේ පොල් වත්තක සඟවා තිබූ ගිනි අවි, අත් බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බවද වාර්තා වේ. මේ පිළිබඳ කරන පරීක්ෂණවලදී සිටින ජනාධිපති, හිටපු ජනාධිපති මෙන්ම ඉදිරි ජනාධිපති අපේක්ෂකයකු පවා ඝාතනය කිරී‍මේ සැලසුමක් තිබුණේ යැයි තොරතුරු පළවුවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම තොරතුරු ප්‍රතික්ෂේප කරයි. තවත් තැනක මීට හාර මසකට පෙර මරාගෙන මැරුණු පුද්ගලයකුගේ හිස තම කනත්තේ වළ දැමුවේ යැයි කුපිත වූ පිරිසක් වීදි බැස සිටිති.

ඉතිහාසයේ සිදුවීම්වලට සාපේක්ෂව හා පරිමාණය අනුව බලන විට මේවා සුළු සිදුවීම් යැයි කෙනකුට කිව හැකිය. එහෙත් උදාවන අනාගතය පිළිබඳ ඉඟි පළ කරන සංඥා වශයෙන් බලන විට නම් මේ කිසිවක් සුළු සිදුවීම් ලෙස ලඝු කළ නොහැකිය. එබැවින් මේ සියලු රාත්‍රී භෝජන සංග්‍රහ සහ මීළඟ ජනාධිපති ධුර සංවාද අතරතුර කොයි කාගේත් අවධානය ඉහත ඉඟි කෙරෙන අනතුර කෙරෙහි බරපතළ ලෙස යොමුවිය යුතුව ඇත.

විශේෂයෙන් ලාංකිකයනට මේ සම්බන්ධයෙන් අතීතය උගන්වා ඇති පාඩම් බොහෝය. මේ අතරින් හොඳම පාඩම් උගන්වා ඇත්තේ 1988 ජනාධිපතිවරණයයි. පරිමාණයට අනුව වෙනස් වුවද මේ සිදුවන බොහෝ සිදුවීම් ඉතිහාසයේ පුනරුච්චාරණයන් ලෙස සැලකිය හැකිය. එහිදී විශේෂයෙන් කැපී පෙනෙන්නේ ප්‍රේමදාස භූමිකාවයි.

1988 ජනාධිපති ධුර අපේක්ෂකත්වය රණසිංහ ප්‍රේමදාස මහතාටද ලැබුණේ විසිතුරු බන්දේසියක් මත තබා නොවේ, ඉතා තියුණු අරගලයක ප්‍රතිඵලයක් ලෙසය. වෙනස වූවේ ඒ අරගලයෙහි වැඩි කොටසක් එදා සිදුවුණේ තිරය පිටුපසින් පමණි. ප්‍රේමදාස මහතා කල්තියාම ජනාධිපති ධුරයට ඇඳුම් මැදගෙන සිටියත් අවසාන මොහොතේ පක්ෂය තුළින් අලුත් අදහසක් ඉදිරිපත් වූ‍වේය. ඒ, එවකට සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා තුන්වැනි වරටත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුතුය යන අදහසයි. පැවති ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයට දෙවරකට වඩා ඉදිරිපත් විය නොහැකි වුවත් ඊට විකල්ප වශයෙන් යෝජනා දෙකක් ඉදිරිපත් වූවේය. එක් අදහසක් වූවේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමයි. අනෙක් අදහස වූවේ ඒ වන විට ජයවර්ධන මහතා දෙවරක් ජනාධිපති ධුරයට පත්වුවත් මැතිවරණයකට ඉදිරිපත්ව ජනාධිපති වූ‍වේ එක් වතාවක පමණක් නිසා යළි ඉදිරිපත්වීමේ ගැටලුවක් නැති බවයි. අද මෙන්ද එදාද මේ පිළිබඳ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය වැදගත් විය. කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සහ ඉන් බැහැර තත්ත්වය අද මෙන් එදාද සමපාතව තිබුණේ නැත.

ජයවර්ධන මහතා රටෙහි ජනප්‍රිය නායකයකුව සිටියේ නැත. විශේෂයෙන් ඉන්දු-ලංකා ගිවිසුම ඇතුළු කරුණු රැසක් ඊට බලපා තිබිණි. ප්‍රේමදාස මහතා සිටියේ ඊට වෙනස් ස්ථාවරයකය.

ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියානු විරෝධය, දේශප්‍රේමය මෙන්ම සන්නද්ධ බලයද යොදා ගනිමින් දකුණේ ප්‍රබල ජනමතයක් ගොඩනගා තිබිණි. ප්‍රේමදාස මහතා මුල සිටම සිටියේ ඒ ස්ථාවරයට ගැළපෙන පරිදිය. ඔහු සිටියේ දේශප්‍රේමයෙන් හා ඉන්දියානු විරෝධයෙන් වර්ණවත්වය. එම වර්ණය එවකට රටේ පැවති තත්ත්වය අනුව ප්‍රේමදාස මහතාට වාසිදායක වුවද පක්ෂ අභ්‍යන්තරයෙහි ඔහුට ඒ වාසිය තිබුණේ නැත.

ඒ පසුබිම යටතේ ජයවර්ධන මහතා තුන්වැනි වරටත් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් විය යුතුය යන යෝජනාව අගලවත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී මෙරිල් කාරියවසම් මහතා ඉදිරිපත් කළ අතර කුලියාපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රී ලයනල් ජයතිලක මහතා ස්ථිර කරන ලදී.

ස්වල්ප දිනකින් මේ දෙදෙනාටම එරෙහිව නාඳුනන තුවක්කුකරුවෝ ක්‍රියාත්මක වූහ. මෙසේ එම යෝජනාකරු මෙන්ම ස්ථිරකරුද එකසේ ඝාතනය වීම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ තිගැස්මක් ඇති කළ බවට සැකයක් නැත. ජයවර්ධන මහතා තුන්වැනි වරට තරග කිරී‍මේ උත්සාහය ඉන් ඔබ්බට ගමන් නොකළේය.

ජේ.ආර්. ජයවර්ධන මහතා ඉන්දියාව සමග ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ මොහොතේ සිට ප්‍රේමදාස මහතා සිටියේ ඉන්දියානු විරෝධී ස්ථාවරයකය. දේශප්‍රේමී මුහුණුවරක්ද පෙන්නුම් කළේය.

ආර්. ප්‍රේමදාස මහතාගේ පුත්‍ර සජිත් ප්‍රේමදාස මහතාද වෙනත් පරිමාණයකින් වුව අද අනුකරණය කරමින් සිටින්නේ ඒ භූමිකාවම බව පෙනෙයි. ‘‘රණවිරුවන්ගේ දෙපා මුලට පැමිණ සේවය කිරීමට මෙන්ම පන්සල් ගානේ ඇවිත් වෙහෙර විහාර ඉදි කිරීමට තමා සූදානම්’’ බව පැවසීමෙන් ගම්‍ය වන්නේ එයයි.

එහෙත් අද සජිත් ප්‍රේමදාස මහතාට නැති විශේෂ වාසිදායක තත්ත්වයක් එදා රණසිංහ ප්‍රේමදාස මහතාට තිබිණි. ඒ වනාහී එදා උතුරේ මෙන්ම දකුණේද ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වයයි. පසු කලෙක ප්‍රේමදාස මහතා මේ තත්ත්වය සමාන කළේ දෙකොන ගිනි ගත් විලක්කුවකටය. මෙසේ පැවති අරාජික තත්ත්වය තම ඉදිරි ගමනට හිනිමගක් කරගැනීමේ උත්සාහයක නියැළෙන අතරම ඒ ගින්න ඇවිලවීමටද ඔහු උත්සාහ ගත් අයුරු නිරීක්ෂණය කළ හැකිය.

ඉන්දියානු විරෝධය හා දේශප්‍රේමය ප්‍රකට කරන අතර මේ යුගයේ ඔහු කිසි දිනක ජවිපෙට එරෙහිව ගියේ නැත. සමහර විට ජවිපෙ වෙනුවෙන් පෙනී සිටි අවස්ථාද දක්නට ලැබිණි. දරුණු ලෙස රටේ ප්‍රචණ්ඩත්වය උග්‍ර වූ අවස්ථාවක කඩුවෙල පැවති රැස්වීමකදී ඔහු කළ ප්‍රකාශයක් ඔක්තෝබර් 21දා ඇත්ත පුවත්පත මෙසේ වාර්තා කර තිබිණි.

‘‘ජේවීපී යන අකුරු තුන ලියා ගැනීම පහසුයි. මිනීමැරුම් සහ අපරාධ කරන මිනිස්සු ඒවා රහසේ කරලා ජේවීපී අකුරු තුන ලියන බබාට භාර දෙනවා.’’

මෙමගින් ඔහු කියා සිටියේ නියම මිනීමරුවන් සැඟවී ජවිපෙ පිට වරද පටවනවා යනුවෙනි. එසේම මේ කිසිදු අපරාධයක් උසාවියේ ඔප්පු වී නැති බවද ඔහු කියා සිටියේය. එසේ කී ඔහුටම පසු කලෙක ජවිපෙට එරෙහි දරුණුම මර්දනය ක්‍රියාත්මක කිරීමට සිදුවීම දෛවයේ සරදමකි.

ඒ අතර ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැන්නවුන් දිගටම සිටියේ පක්ෂ නායකත්වය සමගය. එසේම මේ අර්බුදයෙන් ගොඩ ඒමට නම් ඉන්දියානු සහයෝගය අවශ්‍ය වන බවද ඔවුන්ගේ මතය විය. ජේ.ආර්. ජයවර්ධන මහතා තුන්වැනි වරත් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත් විය යුතුය යන මතයේ සිටිමින් මෙරිල් කාරියවසම් ඉදිරිපත් කළ යෝජනාව පිටුපස සිටියේද ඔවුන් බව කියැවේ.

කෙසේ වෙතත් පැවති අර්බුදකාරී තත්ත්වය කරණකොටගෙනම රණසිංහ ප්‍රේමදාස මහතාට ඉදිරියට ඒමේ අවස්ථාව ලැබිණි. ඔහුට ඒ අවස්ථාව ලැබීම පිටිපස ඔහු තුළ වූ ප්‍රබල උන්නතිකාමී හැඟීම මෙන්ම යුගයේ පැවති දැවැන්ත අර්බුදයද තීරණාත්මක ලෙස බලපෑ බවට සැකයක් නැත. එම අර්බුදයෙහි ස්වභාවය පිළිබිඹු කරන සිදුවීම් කිහිපයක් ආසන්න දින කිහිපය ආශ්‍රිතව මෙසේ උපුටා දැක්විය හැකිය.

* උතුරු නැගෙනහිර පළාත් සභා මැතිවරණයට නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් මස 03 වැනිදාට යෙදී තිබුණත් එල්ටීටීඊ තර්ජන හේතුවෙන් එම කච්චේරි වසා දමා තිබිණි.

* ගොවි නායකයකු හා ප්‍රකට සමාජ ක්‍රියාකාරියකු වූ ටී.බී. විජේසූරිය, පළාත් සභා අපේක්ෂක ආර්.ඩී. සුමතිරත්න, මහජන පක්ෂයේ සිරිමෙවන් වික්‍රමසිංහ හා පොඩි විජේසූරිය යන සිව්දෙනා ඔක්තෝබර් 03 වැනිදා කුරුණෑගල, මහව මඩගල්ලට නුදුරු තැනක වෙඩි තබා ඝාතනය කරන ලදී.

* එක්සත් ජාතික පක්ෂයේ වයඹ පළාත් සභාවට තරග කළ හැටදෙහැවිරිදි එස්.එච්. ටිකිරිබණ්ඩාර මහතා නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ගොදුරු වෙයි.

* ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරිකයකු මෙන්ම ප්‍රකට සමාජ සේවකයකුද වූ හෙන්රි පමුණුව මහතා ඔක්තෝබර් 01දා නාඳුනන ඝාතකයන් පිරිසකට ගොදුරු වෙයි.

මේ ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්ෂත්වය සඳහා පත්වීමට පෙර හා පසු පැවති තත්ත්වය සංකේතවත් කරන සිදුවීම් කිහිපයක් පමණි. මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණය ප්‍රතික්ෂේප කරන බව පැහැදිලිව ප්‍රකාශ කර තිබිණි. ඔවුන්ගේ නිල ප්‍රකාශයක් වූ ‘රතු බලය’ පුවත්පතෙහි ප්‍රධාන සිරස්තලයක් වී තිබුණේ ‘ජේ.ආර්. ක්‍රමයේ ඡන්ද එපා’ යනුවෙනි. සැප්තැම්බර් 25 දාතමින් ජවිපෙ නායක රෝහණ විජේවීර හා උපතිස්ස ගමනායකගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයකින් මේ බව වැඩිදුර පැහැදිලි කර තිබිණි. පවත්වන්නට යන ජනාධිපතිවරණය ඔවුන් නොපිළිගන්නා බව එයින් පැහැදිලි විය. ඒ නොපිළිගැනීම වචනයට සීමා වූ අහිංසාවාදී පිළිවෙතක් නොවන බව සනාථ කිරීමට ඔවුන් වැඩි කලක් ගත්තේ නැත.

මෙසේ ජනාධිපතිවරණය හේතු කොටගෙන අර්බුදය අලුත් වටයකින් උග්‍ර වූ බව කිව හැකිය. එහෙත් එම අර්බුදය තම යහපතට හේතුවන පරිදි ‘කළමනාකරණය කරගැනීමට’ ප්‍රේමදාස මහතා සමත් වූ අතර ඒ ‘කළමනාකරණය‘ කෙළවර වූවේ තවමත් ගණන් හිලව් නැති අප්‍රමාණ ජීවිත හා දේපළ විනාශයකිනි. මෙහෙයුම ආරම්භ වූයේ 1988 සැප්තැම්බර් මස 29 වැනිදා රාත්‍රියේ රට පුරා ඇලවූ පෝස්ටරයකිනි.

එය මුළු රට පුරා කුතුහලය මෙළවූ පෝස්ටරයක් ලෙස හැඳින්වීම වරදක් නැත. එතෙක් එවැනි පෝස්ටරයක් එක් රැයක් තුළ රට පුරා ඇලවීමේ හැකියාව තිබූ එකම සංවිධානය ලෙස ලංකාව හඳුනාගෙන සිටියේ ජනතා විමුක්ති පෙරමුණයි. එහෙත් මෙම පෝස්ටරය ජනතා විමුක්ති පෙරමුණේ අකුරින්ම ඇඳ ඔවුන්ගේ වැඩ ශෛලියටම අනුව එක් රැයක් තුළ රට පුරා අලවා තිබීමෙන් ජනමනස තරමක් ව්‍යාකූල වූ නමුත් ක්‍රමයෙන් කාරණය පැහැදිලි විය. වැඩකරුවා ප්‍රේමදාස මහතා බවත්, පෝස්ටරයේ අරමුණ ඒ මහතාගේ ප්‍රතිරූපය නැංවීම බවටත් පැහැදිලි විය. ඒ අනුව දෙකොණ ගිනි ගනිද්දී ප්‍රේමදාස මහතා දෙගිනි මැදින් තම ගමන ගියා පමණක් නොවේ, සමහර විට ඔහු එයින් ගිනි තපින අයුරුද දක්නට ලැබිණි. ‘නියම මිනීමරුවන් සැඟවී ජවිපෙ පිට වරද පටවනවා යැයි වරෙක ඔහු කීවේ එබැවිනි. ගින්න ඇවිළෙන තරමට එය ඔහුගේ ගමනට ශක්තියක් විය.

ඇවිළෙන ගින්නෙන් ගිනි තැපීමට උත්සාහ කළ තවත් බලවේගයක් වූවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මේ වන විට ශ්‍රීලනිප නායිකාව වූවේ සිරිමා බණ්ඩාරනායක මහත්මිය වූ නමුත් ගිනි තැපීමේ ව්‍යාපෘතියට කැපී පෙනෙන නායකත්වයක් දුන්නේ අනුර බණ්ඩාරනායක මහතාය. ශ්‍රීලනිපය හැරුණු විට එක්සත් ලංකා ජනතා පක්ෂය, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමය, මුස්ලිම් කොංග්‍රසය, මහජන එක්සත් පෙරමුණ, ලිබරල් පක්ෂය හා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය යන පක්ෂ හතක සහභාගිත්වයෙන් යුතු පෙරමුණක් මේ වන විට නිර්මාණය වී තිබිණි. ජනතා විමුක්ති පෙරමුණද මීට සම්බන්ධ කරගනිමින් පක්ෂ අටක පෙරමුණක් ලෙස මෙය ගොඩනැගීමටත් එහි පොදු අපේක්ෂිකාව ලෙස සිරිමා බණ්ඩාරනායක මැතිනිය ඉදිරිපත් කිරීමටත් හැකිවනු ඇතැයි මුලදී ශ්‍රීලනිපය කල්පනා කළ බව පෙනෙන්නට තිබේ. එහෙත් ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ වෙනම ගමනකි. ඔවුන් ඒ පෙරමුණට එක්වුණේ හෝ ශ්‍රීලනිපයේ බලාපොරොත්තු බිඳ දමා එක්වරම වෙන්වුණේ හෝ නැත. ජන පදනමක් සහිත පෙරමුණක් ලෙස ශ්‍රීලනිපයත්, රැකවරණය සඳහා පසුබිමක් ලෙස ප්‍රේමදාස සාධකයත්, භාවිත කිරීම මෙහිදී ජවිපෙ උපාය මාර්ගය වූ බව පෙනේ. මේ පසුබිම තුළ ජවිපෙ සහාය ලබාගැනීමට බණ්ඩාරනායක මහත්මිය මෙන්ම ප්‍රේමදාස මහතා එක්වර උත්සාහ කිරීම එකල ඇත්ත පුවත්පත දුටුවේ ජවිපෙ ආදරය දිනා ගැනීමට සිරිමා-ප්‍රේමදාස පොරයක් වශයෙනි. ‘සිරිමා බලයට ආවොත් ජවිපෙ එම රජයේ කොටස්කරුවකු වන බව’ අනුර බණ්ඩාරනායක මහතා සන්ඩේ ටයිම්ස් වෙත කළ ප්‍රකාශයක් ඔක්තෝබර් 10 දා ඇත්ත පුවත්පත උපුටනයක් ලෙස දක්වා තිබිණි.

මෙසේ වගකිවයුතු දෙපාර්ශ්වයම ගින්දර සමග සෙල්ලම් කිරීම හේතුවෙන් මුළු රටම තවදුරටත් එකම ගිනි ගොඩක් විය.​ මේ තත්ත්වය පාලනය කිරීමට දැනුවත්ව මැදිහත් වූවේ ස්වල්ප දෙනෙක් පමණි.

තලල්ල නාහිමි බැහැදැකීමට අනුර බණ්ඩාරනායක මහතා ගිය විට උන්වහන්සේ ඍජුව අනුශාසනා කරමින් කියා සිටියේ මේ සිදුවන ප්‍රචණ්ඩත්වයට තමන්ගේ සම්බන්ධයක් නැත්නම් ඒ බව ඍජුවම රටට ප්‍රකාශ කරන ලෙසයි. එහෙත් බහුතර නායකයන් කල්පනා කළේ පවතින අර්බුදයෙන් තමන්ට යහපතක් කරගන්නේ කෙසේද යන්න මිස අර්බුදය විසඳන මගක් ගැන නොවේ.

කෙසේ වෙතත් තත්ත්වය වර්ධනය වන්නේ තමාට හිතකර ලෙස නොවන බව බණ්ඩාරනායක මහත්මියට ටික දිනකින් වැටහුණි. ඔක්තෝබරයේ මුල මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා ක්‍රීඩාංගණයේ පැවති රැස්වීමක් අමතමින් අවසානයේ ඈ මෙසේ කීවාය.
‘‘මිනිසුන් මැරීම කරුණාකර නවත්වන්න. මේ මිනිස් ඝාතනවලට වගකිව යුත්තන් කවුරු වුවත් ඔවුන් එය නතර කළ යුතුයි. අප මේ නිහතමානී ආයාචනය කරන්නේ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහාත්, මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගැනීම වැළැක්වීම සඳහාත්ය.’’

එහෙත් කිසිවකු ඇගේ කීමට කන් දුන්නේ නැත. ප්‍රචණ්ඩත්වය නැවතුණේද නැත. ඒ වෙනුවට උග්‍ර වූවේය. එහෙත් ඇය කී පරිදි ආණ්ඩුව මැතිවරණ කල් දැම්මේද නැත.ඒ වෙනුවට ඔවුන් කළේ මැතිවරණ ජයග්‍රහණය සඳහා පවතින අර්බුදය යොදා ගැනීමයි.
ජනාධිපතිවරණයට නම් දීම නොවැම්බර් 10 වැනිදා සිදු වූ අතර එජාපයේ අපේක්ෂකයා ලෙස රණසිංහ ප්‍රේමදාස මහතාද, ශ්‍රීලනිප අපේක්ෂිකාව ලෙස සිරිමා බණ්ඩාරනායක මහත්මියද, ශ්‍රීලමප අපේක්ෂකයා ලෙස ඔසී අබේගුණසේකර මහතාද ඉදිරිපත් වූහ.

ජනාධිපතිවරණය වැළැක්වීමේ අරමුණින් රට පුරා කඩාකප්පල් ක්‍රියා නව වටයකින් ආරම්භ විය. දෙපාර්ශ්වයේම තර්ජන හා භීෂණය හමුවේ රටේ ජන ජීවිතය ශීඝ්‍රයෙන් බිඳ වැටුණු අතර නීතියක් නැති තත්ත්වයකට රට පත්විය.
දේශප්‍රේමීන් ශ්‍රීලනිපය තහනම් කර තිබූ නිසා බොහෝ ප්‍රදේශවල ශ්‍රීලනිප ආසන සංවිධායකවරු පෝස්ටරයක් පවා භාරගත්තේ නැත.

නොවැම්බර් 17 වැනිදා ඔසී අබේගුණසේකර මහතාගේ මංගල රැලිය කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි පැවැත්වූ අතර, ඊට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති අපේක්ෂක ඔසී අබේගුණසේකර මහතා ඝාතනය විය. නව සමසමාජ පක්ෂයේ සහ මහජන පක්ෂයේ ක්‍රියාකාරීන් ඇතුළු දෙදෙනකුද ඊට ගොදුරු වූහ. එවැනි ප්‍රහාර මාලාවක්ම එල්ල වූ අතර එය මුදුන්පත් වූවේ ඡන්දය දමන අයට මරණය යන සටන් පාඨයෙනි. ප්‍රේමදාස මහතා වැඩියෙන්ම ප්‍රයෝජන ගත්තේ එම සටන් පාඨයෙන් බව පෙනේ.

මෙම ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 9,375,742ක් වෙද්දී ඡන්ද භාවිත කර තිබුණේ 5,186,223කි. එය පවා කොතරම් නීත්‍යනුකූල ඡන්ද දැයි සැක සහිතය. කෙසේ වුවත් ඡන්දය දීමේ ප්‍රතිශතය වූවේ 55.32%කි. 1982 එම ප්‍රතිශතය 81.06%ක් වූ අතර ඊට සාපේක්ෂව බලන විට මෙය බරපතළ වැටීමකි.
සමස්තයක් ලෙස 55.32%ක් වුවද බොහෝ දිස්ත්‍රික්කවල 50% ඉක්මවා නොතිබුණි. මොනරාගල එම ප්‍රතිශතය 17.01%ක් වූ අතර වන්නි 13.79%ක් විය. 50% නොඉක්මවූ දිස්ත්‍රික් 10ක් තිබිණි. ආසන වශයෙන් බලන විට තත්ත්වය තවත් දරුණු වී තිබිණි. උදාහරණයක් ලෙස මොනරාගල මැතිවරණ කොට්ඨාසයේ 51,823ක් වූ ඡන්ද දායකයන් අතරින් ඡන්දය භාවිත කර තිබුණේ 3,373ක් පමණි. ප්‍රතිශතයක් ලෙස එය 6.51%කි.

අවසාන ප්‍රතිඵලය වූවේ මෙයයි.
* රණසිංහ ප්‍රේමදාස මහතා 2,596,199
* සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 2,289,960
* ඔස්වින් අබේගුණසේකර 235,719

ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීම හේතුවෙන් ප්‍රේමදාස මහතාට ලැබුණු විශේෂ වාසිය වටහා ගැනීමට මොනරාගල දිස්ත්‍රික්කය එක් උදාහරණයකි. එහි ඡන්දදායකයන් 161927ක් වූ අතර ඡන්දය දී තිබුණේ 17.01%ක් පමණි. එමගින් එජාපයට ලැබී ඇති ප්‍රතිශතය 63.21%කි. මීට ඉහත 1982 ජනාධිපතිවරණයේදී ඔවුනට මීට වැඩි වාසිදායක තත්ත්වයක සිටියදීත් එජාපය ලබා තිබුණේ 49.33%කි. හය වසරකට පසු ආණ්ඩුව වඩා පිරිහී තිබියදී එම ප්‍රතිශතය 63.4% දක්වා ඉහළ යාමට බලපෑ හේතුව ඡන්ද වර්ජනයෙන් සිදුවූ ජන මතයෙහි විකෘතිය බවට සැකයක් නැත. තවත් උදාහරණයක් වූවේ හම්බන්තොටයි. 1982 ජනාධිපතිවරණයේදී 45.90% ඡන්ද ප්‍රකාශ වූූ හම්බන්තොට දිස්ත්‍රික්කය මේ තරම් අර්බුදකාරී යුගයක 49.62%ක ප්‍රතිශතයක් ලබාගැනීමට ප්‍රේමදාස මහතා සමත් වූවේය. මීට එකම හේතුව ඡන්දය කඩාකප්පල් කිරීමත්, ඊට මුවා වී සිදු කළ අක්‍රමිකතාත් හැර අනෙකක් නොවේ.

සාක් රටවලින් පැමිණි නිරීක්ෂණ කමිටුවක් ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතුවල නිරත වූ අතර ඔවුන්ගේ කමිටුවෙහි අතුරු වාර්තාවේ මෙසේ සඳහන්ව තිබිණි.

‘‘සමහර දිස්ත්‍රික්කවල, විශේෂයෙන් යාපනයේ කිසිදු අපේක්ෂකයකු වෙනුවෙන් ඡන්ද නියෝජිතයෙක් නොසිටියේය… මෙවැනි ක්‍රියාදාමයන් නිසා මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 215කින් 49ක්ම වළක්වන ලද අතර එය ලියාපදිංචි ඡන්දදායකයන් 45,000කට බලපෑවේය.’’

ආසන්නයේ පැවති පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අපේක්ෂකයකු සොයා ගැනීමටත් නොහැකිව සිටි යාපනය දිස්ත්‍රික්කයේ එජාපයට ඡන්ද 33,650ක් ලැබී තිබීම තවත් එක් ආශ්චර්යයක් විය. 1982 ජනාධිපතිවරණයේදී 221613ක් ඡන්ද භාවිත කළ අතර එයින් එජාපයට ලැබුණේ ඡන්ද 44,780ක් පමණි. මේ කළු ජූලිය හා පුස්තකාල ගිනි තැබීම ආදියට පෙර තත්ත්වයයි. දැන් ඒ සියල්ලෙන් පසු 33650කි. ගිනි තැබීමට පෙර 20%ක්! ගිනි තැබූ පසු 28%ක්! ආශ්චර්යක්ම නොවේ නම් ඒ වෙන කුමක්ද? වෙනත් සුදුසු වචනයක් වේ නම් ඒ ව්‍යසන ධනවාදයයි. ව්‍යසනයක් නිර්මාණය කොට එමගින් තම අරමුණු ඉටුකර ගැනීම එයින් අදහස් වේ. 88-89 ව්‍යසනය යනු හුදු ප්‍රේමදාස මහතාගේම නිර්මාණයක් නොවේ. එහෙත් ඔහු එම ව්‍යසනය තම පැවැත්ම සහ ජයග්‍රහණ සඳහා ඉවහල් කර ගැනීමට මනාව සමත් වූවේය. පසුව ඔහුද එයින්ම ව්‍යසනයට පත් වූ බව වෙනම කරුණකි.

ඒ ඉතිහාසයට සාපේක්ෂව බලන විට අද අප මුහුණ දෙන අත්දැකීම් සුළු පරිමාණ බව පිළිගත හැකිය. එහෙත් පෙර කියා ඇති පිරිදි හෙට උදාවන අනාගතයට ඉඟි පළ කරන සංඥා වශයෙන් බලන විට නම් ඒ කිසිසේත් සුළු කොට තැකිය හැකි සංඥා නොවේ.

ඒ බරපතළකම වටහාගත හැකි නම් පමණක් ‘කුමන රාත්‍රී භෝජන සංග්‍රහදැයි’ තීරණය කිරීමේ ගැටලුවට වඩා ගැටලු ගණනාවක් අප ඉදිරියෙහි තිබෙන බව ඔවුන් වටහා ගනු ඇත.

(Aruna)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website