Saturday, 07 September 2019 12:16

බෝ නොවන බෝරා

බෝරා සමුළුව මේ දිනවල බම්බලපිටියේ මහ බෝරා පල්ලියේ පැවැත්වෙයි. ලොව නන් දෙසින් බෝරාවරු 21000 එයට පැමිණ සිටිති.

මේ ලංකාවේ පැවැත්වෙන පළමු බෝරා සම්මේලනය නොවේ. සාමාන්‍යයෙන් හතර පස් වසරකට පසු බෝරාවරු ලංකාවට පැමිණ මේ පල්ලියේ සම්මන්ත්‍රණයේ යෙදෙති. එහෙත් වෙනදා සිද්ධ නොවන දෙයක් මෙවර සිද්ධ විණි.

බෝරාවරු ලංකාවට ඇවිත් බම්බලපිටියෙන් පාර වසා පාරේ යනෙන වාහන පරීක්ෂා කරන බවට සමාජ මාධ්‍ය මුර ගෑවේ උදේට ශබ්ද විකාශන යන්ත්‍රයෙන් අල්ලාහු අක්බර් කියන හඬටත් වැඩි හඬකිනි. ඔවුන් දැනටමත් බම්බලපිටිය ප්‍රදේශයේ අත්පත් කරගෙන ලංකාවේ ස්වෛරීත්වය උදුරා ගෙන ඇතැයි කියා පෑවේ ජේ.ආර්. ඉන්දියා හමුදා ලංකාවට ගෙන්වා ගත් කාලයේ විරෝධය පෑ පරිදිය.

සැබවින්ම බෝරාවරු එසේ කළේද? බෝරාවරු කරන්නේ වෙළෙඳාමය. 1830 දී වෙළෙඳ නැව කැඩීම නිසා මුල්ම බෝරාවරයා වන ජැෆර්ජි ඊසාජ් ගාලු වරායට ආවේය. ඉන්දියාවේ ගුජරාටයේ නියං සමයක මෙරටට ආ බෝරා වෙළෙන්දා තම හිතවත් වෙළෙඳුන්ද, නෑයන්ද ගාල්ලට ගෙන්වාගෙන හාල්, කරවල, රටින් රට වෙළෙඳාම් කළේය. ගාල්ලේ මුල්ම පල්ලිය ඉදි කළ ඔවුහු කාලයාගේ ඇවෑමෙන් කොළඹ වරාය බලවත් වූ කල බම්බලපිටිය ප්‍රදේශය තම නිජබිම බවට පත් කරගත්හ.

අද වන විට ඔවුහු මේ රටේ ප්‍රධාන ව්‍යාපාරිකයෝය. අක්බාර් බ්‍රදර්ස්, ආදම් ජී ලුක්මාන්ජි, ජැපර්ජි බ්‍රදර්ස්, ඊ.පී. ආදමාලි, ටී.ඒ.ජේ. නූර්බායි, හේමාස් ආදී ව්‍යාපාර ඔවුන්ගේය. මුස්ලිම්වරු මෙන් තොප්පි පැලඳියද බෝරාවරුන්ගේ තොප්පිය වෙනස්ය. ඔවුන් පලඳින්නේ රන් ගෙත්තම් කළ තොප්පිය. අල්ලා ඇදහීමට කාන්තාවන්ටද පල්ලියට ඇතුළු වීමට අවසර ඇත්තේය. ඔවුන්ගේ නිජබිම ඉන්දියාව, පාකිස්තානයය. බෝරාවරු බොහෝ රටවල් බෝඩිම් කරගෙන විසුවද බෝවීම වැඩි කරගෙන රටවල් අල්ලා ගැනීමට අල්ලා ඇදහුවද කැමැත්තක් නොදක්වති. මුල්ම බෝරාවරයා ලක්දිවට ඇවිත් වසර 200ක් ගෙවී ඇතත් තවමත් මේ රටේ ඉන්නේ බෝරාවරු 2500යකි. කොළඹින් පිටත ඉන්නේ පවුල් හතර පහකි. නැවෙන් වෙළෙඳාම් කළත් ජනගහනය ඉන්නේ බෝට්ටුවලින් එහා මෙහා යා හැකි තරමටය. ලෝක ජනගහනයෙන් ඔවුන් මිලියනයකි.

කරුණු එසේ තිබියදී අපේ රටේ ඇත්තන් බෝරා සම්මේලනය ඇදේට දැක්කේ ඇයි?

නොයෙක් ජාතීන් විසිපහක් අපි රටේ ජීවත් වෙති. බෝරා මේමත්, පරවර්, වැදි, අහිගුණ්ඨීක කාබරි ආදී වශයෙනි. එහෙත් අප දන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් , මැලේ යන ජාතීන් හතර ගැන පමණකි. එයද වසරකට වතාවක් නිදහස් දිනයේදී රාජ්‍ය නායකයාගේ කතාවේදී මේ ජාතීන් හතර වතාවක් හෝ මතක් කරන නිසාය.

මේ කුඩා ජාතීන් ගැන අවබෝධයක් ලබා ගන්නට ලබා දෙන්නට මගක් කිසිදු ආණ්ඩුවක් පාදා නැත. මේ ජාතීන් විසිපහ ගැන අගනා ගවේෂණයක් කර රටට කීවේ අද අප පුවත්පතට ‘‘සිංගරු’’ නම් ලිපි පෙළක් ලියන ලක්බිම පත්තරේ සේවය කළ නුවන් ගන්කන්ද මාධ්‍යවේදියාය. අප නොදන්නා ලාංකිකයෝ නමින් වැඩේටම ගැළපෙන නමක් සහිත පොත නිකුත් වීමෙන් පසුය ආණ්ඩු පවා මේ ජාතීන් ගැන දැන ගත්තේ. අද තිබෙන සංහිඳියා අමාත්‍යාංශයද මේ පොතෙන් සංඥාව ලැබ මේ ජාතීන් විසිපහ ගැන පොතේ අච්චු ගස්වා එය බත් ගෙඩියක් කර ගත්තේය.

මේ ආණ්ඩුවද පෙර ආණ්ඩුසේම ජාතීන් අතර සංහිඳියාවට කළ දෙයක් නැත. වියතුන් නමින් පෙනී සිටින බඩවියතුන් ආණ්ඩුවලට ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කර සිනමා පට ගීත නිපදවා බඩ වඩා ගැනීමට මගක් සාදා ගැනීම මිස සුළු ජාතීන්ගේ සිත පහදවන වැඩක් සිද්ධ වූයේ නැත.
ජාතීන් කොහොමත් සංසිඳී සිටියහ. කොහොමත් මෙරට ජනතාව තුළ ආගම් භේද නොතකා වරින් වර ඉස්මතු වූ මනුෂ්‍යත්වය නිසාය. බෝරා සංගමයේ නායකයකුව සිටි අක්බර් අලි ඛාන් බෝයි තම නිවසට එන සිංහල බෞද්ධයාට පුටුව දී හෙතෙම බිම ඉඳ ගත්තේය. ඊට පසු ඔහු මෙසේ කියන්නේය.

‘‘ඉන්දියාවේ බුද්ධගයා පන්සලේ නායක හාමුදුරුවො මගේ හොඳ යාළුවා. වතාවක් මම බුද්ධගයා මහා බෝධි පන්සලේ රෑක නතර වුණා. අපි දවසට පස් පාරක් පල්ලි ගිහින් යාච්ඤා කරනවා. මම කාමරේට වෙලා කල්පනා කර කර ඉන්නකොට නායක හාමුදුරුවො මා ළඟට ආවා.’’

‘‘බායි මහත්තයා’’

‘‘හාමුදුරුවො මට කියන්නේ බායි මහත්තයා කියලා. බායි මහත්තයාට යාච්ඤා කරන්න තැනක් නැතිව නේද කල්පනා කරන්නේ. ඔන්න ඔය කාමරේ මුල්ලක් අල්ලලා දෙවියන්ට යාච්ඤාව කර ගන්න.’’

හාමුදුරුවො එහෙම කීවාම යාච්ඤා කරන්න කලින් මට ඇහුණා, දෙවියනේ මේ බුදු හාමුදුරුවො ඉන්න තැන නේද මට යාච්ඤාවට අවසර දුන්නේ. එදා ඉඳන් බෞද්ධයකුගෙ පා පාමුල බිම ඉඳගන්න අපිට ලජ්ජ නෑ.’’ ඒ බෝරාවරු අප ගැන හිතන හැටිය.

අපේ මනුෂ්‍යත්වයේ හැඟීම බෝරාවරයාට දුන්නේ ආණ්ඩුව නොව ශ්‍රී ලාංකික මහ ජනයාට අයත් හාමුදුරුවෝය.

බෝරාවරයාට බුද්ධගයාවේ යාච්ඤා කරන්නට ඉඩ දීමෙන් බුද්ධ රශ්මියට කිසිදු හානියක් වූයේ නැත. ඒ පිළිගැනීමෙන් වූයේ බුදුන්ගේ ශ්‍රාවකයින්ගේ බුදුනුවන්ගේ රශ්මිය වැඩිවීමයි. ආගන්තුකයින් පිටු දැකීමෙන් එබඳු කීර්ති රශ්මි ධාරාවක් අපට උපදවා ගත හැකිද?

(Aruna)

Features

Stats

There are 28649 listings, 863 categories and 102 owners in our website