Tuesday, 17 September 2019 07:10

ඇඩ්‍රස් නැති ලක්ෂ 5ක් රට පුරා

ශ්‍රී ලාංකිකයකු බව තහවුරු කිරීම සඳහා තිබෙන ලියකියවිලි අතරින් ප්‍රධාන වන්නේ ජාතික හැඳුනුම්පතයි. මෙසේ ගත් කල ජාතික හැඳුනුම්පතක් නොමැත්තකු ශ්‍රී ලාංකිකයකුද නොවන්නේය. මේ නිසාම වයස අවුරුදු දහඅට සම්පූර්ණ වූ සැවොම ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සිදු කරන්නේය. ඒ අවශ්‍ය විටකදී තම අනන්‍යතාව තහවුරු කර පෙන්වීමට ඒ තුළින් හැකියාව ලැබෙන බැවිනි.

නමුත් තමන් ලාංකිකයන් බවට අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි ලක්ෂ පහකට අධික පිරිසක් මෙරට සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. ඔවුන් මෙම සොයාබැලීම සිදුකර ඇත්තේ පසුගිය වසරේ ඡන්ද හිමි නාමලේඛනය පදනම් කරගනිමිනි. එහිදී ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමි සංඛ්‍යාවගෙන් කීදෙනකු තම හැඳුනුම්පත් අංකය නාමලේඛනයට ඇතුළත් කර නැත්තේද යන්න පිළිබඳව ගණන් බලා ඇත්තේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසන ආකාරයට ජාතික හැඳුනුම්පතක් නොමැති බවට සටහන් කරන පිරිසගෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් හිතාමතාම සිය අනන්‍යතාව සැඟවීමේ අරමුණින් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් නොකරන අයයි. මෙසේ ඇතැමුන් තම අනන්‍යතාව සඟවන්නේ යටි අරමුණක් ඇතිව බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ පවසයි.

‘‘මේ පිළිබඳව සොයා බැලීමේදී අපිට කරුණු කිහිපයක් තහවුරු වුණා. ඇතැමුන්ට ඇත්තටම ජාතික හැඳුනුම්පතක් නැහැ. තවත් සමහරු නමගිය අපරාධකරුවන්. ඔවුන් අකැමැතියි තම ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කරන්නට. තවත් පිරිසක් හිටියා අපරාධ වරෙන්තුකරුවන්.’’

නමුත් සත්‍ය ජාතික හැඳුනුම්පත සැඟවුවද මොවුනට ව්‍යාජ හැඳුනුම්පත් තිබෙන්නට හැකිය. පසුගිය සමයේ අත්අඩංගුවට ගත් බොහෝ අපරාධකරුවන් සතුව විවිධ නම්වලින් යුතු ව්‍යාජ ජාතික හැඳුනුම්පත් බොහෝ සංඛ්‍යාවක් තිබුණු බැවිනි.
ඇතැම් විට ඔවුන් තම සියලු රාජකාරි සිදු කරගන්නේ මෙවැනි ව්‍යාජ හැඳුනුම්පත් ඉදිරිපත් කර වන්නට පුළුවන.

ලක්ෂයකට ආසන්න පිරිසක් එලෙස තම අනන්‍යතාව සඟවද්දී ලක්ෂ හතරක පිරිසකට ඇත්තටම ජාතික හැඳුනුම්පතක් නැත්තේය. සුරංගි ආරියවංශ පවසන ආකාරයට මොවුනට ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකිව ඇත්තේ ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අවශ්‍ය මූලික ලියකියවිලි සම්පාදනය කරගැනීමට නොහැකි වීම, ස්ථිර ලිපිනයක් නොමැති වීම හා තිබූ හැඳුනුම්පත අස්ථානගත වී නැවත හැඳුනුම්පතක් ලබාගැනී‍මේ උනන්දුවක් නොමැති වීම යන කරුණු මුල්කරගෙනය.

මෙම හේතු සාධක වැඩියෙන්ම බලපා ඇත්තේ යාපනය ප්‍රදේශයේ ජනතාවටය. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සොයා බැලීමට අනුව යාපනයේ ඡන්දය සඳහා ලියාපදිංචිව සිටින පිරිසගෙන් සියයට හයකට පමණ හැඳුනුම්පත් නැත්තේය. තවදුරටත් සොයා බැලීමේදී මෙසේ වැඩි පිරිසකට ජාතික හැඳුනුම්පතක් නොමැති වීමට හේතු වී ඇත්තේ ඉතා සරල කරුණු කිහිපයකි. සුරංගි ආරියවංශ ඒ පිළිබඳව ප්‍රකාශ කළේ මෙලෙසිනි.

‘‘යාපනය කියන්නේ යුද්ධයෙන් බොහෝ පීඩාවට පත්වුණු ප්‍ර‍දේශයක්. යුද්ධය කාලේ මේ ප්‍රදේශවල අයට ජාතික හැඳුනුම්පතක අවශ්‍යතාව තදින්ම දැනුණේ නැහැ. ඔවුනට ජාතික හැඳුනුම්පතක අවශ්‍යතාව දැනෙන්න පටන් ගත්තේ දකුණ සමග ගනුදෙනු ආරම්භ කිරීමත් සමගයි. ඒ සමග තමයි ඔවුන් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට උනන්දු වූයේ. නමුත් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමේදී උප්පැන්න සහතිකයේ මුල් පිටපත අනිවාර්ය වෙනවා. මේ ප්‍රදේශයේ බොහෝ පිරිසකට උප්පැන්න සහතික නැහැ. ඇතැමුන් තමන්ගේ නිසි වයස දන්නෙත් නැහැ. මේ වාගේ සුළු සුළු ගැටලු නිසා තමයි මොවුන් ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට උනන්දුවක් දක්වලා නැත්තේ.’’

මොවුන් සිදු කළ මෙම පරීක්ෂාවේදී ජාතික හැඳුනුම්පත නොමැති පිරිසගෙන් සියයට අසූහතක්ම (87%) වතුකරයේ හා ග්‍රාමීය ආන්තික ප්‍රදේශවල ජීවත්වන පිරිස් බව හඳුනාගෙන ඇත. අනුරාධපුරය හා නුවරඑළිය ප්‍රදේශවල තත්ත්වය සොයා බැලීමේදී මෙය තවත් තහවුරු වේ. යාපනයට පසුව ජාතික හැඳුනුම්පත් ලබා නොගත් වැඩිම පිරිසක් සිටින්නේ අනුරාධපුරයේය. ඉන් අනතුරුව නුවරඑළියේය. ඡන්දයට ලියාපදිංචිව සිටින පිරිසගෙන් සියයට පහකට ආසන්න පිරිසකට ජාතික හැඳුනුම්පත් තමන් සතුව නොමැති බව සටහන් කර ඇත. නුවරඑළියේ මෙම තත්ත්වය සියයට හතරට වඩා වැඩිය. සුරංගි ආරියවංශ ඒ ගැන කියා සිටියේ මෙලෙසිනි.

‘‘යාපනය වගේම තමයි වතුකරයේ බොහෝ දෙනකුට උප්පැන්න සහතික නැහැ. ඒ වාගේම ඔවුන් බාහිර ලෝකයත් සමග ගනුදෙනු කරනවා හරිම අඩුයි. ඔවුන්ගේ ජීවිතයම වත්ත තමයි. මෙසේ ජාතික හැඳුනුම්පත් නොමැතිව සිටි බොහෝ දෙනකු කාන්තාවන්. ඔවුන්ගෙන්ද වැඩි පිරිසක් මැදිවිය පසු කරමින් සිටිනා පිරිස්. ඔවුනට ඇත්තටම හැඳුනුම්පතක අවශ්‍යතාව නැහැ. ඡන්දය කාලෙට පමණක් තාවකාලික හැඳුනුම්පත් සාදා ගන්නවා. එතැනින් ඒකත් අවසානයි.’’

වතුකරයේ ග්‍රාමීය ප්‍රදේශවල පිරිස් විවිධ අපහසුතා මත ජාතික හැඳුනුම්පතක් ලබා නොගත්තා වන්නට පුළුවන්. කොළඹ ප්‍රදේශයේද බොහෝ පිරිසක් සතුව ජාතික හැඳුනුම්පත් නැත්තේය. මැතිවරණ කාර්යාලයේ නම් කිරීමට අනුව කොළඹ නම්කර ඇත්තේ කොළඹ නාගරික හා කොළඹ දිස්ත්‍රික්කය යනුවෙනි. මින් කොළඹ නාගරිකයන් සියයට තුනකට ආසන්න පිරිසකට ජාතික හැඳුනුම්පත් නැත්තේය. මොවුන්ට ජාතික හැඳුනුම්පත් නොමැති වීමට ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ ස්ථිර ලිපිනයන් නොමැතිකම හා අනන්‍යතාව තහවුරු කිරීම හිතාමතා සැඟවීම බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ වාර්තාවලට අනුව ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට වැඩියෙන්ම උනන්දුව ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පිරිසෙන්. එම ප්‍රදේශයේ ජනගහනයද පවතින්නේ අඩු මට්ටමකය. එම පිරිසත් තම අනන්‍යතාව තහවුරු කරගැනීමට ජාතික හැඳුනුම්පත් සාදා නොගෙන සිටින්නේ සියයට දෙකකට ආසන්න පිරිසක් වේ. යුද්ධය පැවති මෙම ප්‍රදේශයේ පිරිස් නිතරම එකල දකුණ සමග ගනුදෙනු කළ බැවින් ඔවුන් තම අනන්‍යතාව තහවුරු කරගැනීමට පියවර ගෙන තිබේ.

උතුර නැගෙනහිර ජනතාවට මෙන්ම වතුකරයේ ජනතාවටද ජාතික හැඳුනුම්පත් සාදා ගැනීමට අවශ්‍ය ලියකියවිලි වන උප්පැන්න සහතිකයේ මුල් පිටපත, ස්ථිර පදිංචිය සනාථ කිරීමේ ග්‍රාමසේවා සහතිකය ලබා ගැනීමට අපහසුතාවන් තිබී ඇත්තේය. මෙම කරුණු මුල් කරගනිමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙයට පිළියමක් සපයා දී ඇත්තේය.

‘‘පුද්ගලයන් ලියාපදිංචි කිරී‍මේ දෙපාර්තමේන්තුව ලියකියවිලි නැති අයට සීරෝ ඩොකියුමන්ට් නම් ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. මෙහිදී අවශ්‍ය වන්නේ ඥාතීන් වන තිදෙනකුගේ අත්සන සහ ඥාතීන් නොවන තිදෙනකුගේ අත්සන් පමණයි. නමුත් මේ ක්‍රමය යටතේ හෝ තම අනන්‍යතාව තහවුරු කරගැනීමට ජාතික හැඳුනුම්පතක් ලබානොගන්නා පිරිසක් මෙරට සිටිනවා.’’

ඇතැම් වතු ජනතාව මෙම ක්‍රමය යටතේ ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට යොමු කළද දවසක් නිවාඩු ලබාගැනීමට පවතින අකැමැත්ත හේතුවෙන් මෙම ක්‍රමයට හෝ යොමු නොවන බව සුරංගි ආරියවංශ ප්‍රකාශ කළාය.

ජාතික හැඳුනුම්පතක් නොමැති පිරිසගෙන් බහුතරය කාන්තා පාර්ශ්වය වේ. බොහෝ කාන්තාවන් නිවසේම රැඳී සිටින බැවින් ඔවුනට ජාතික හැඳුනුම්පතක අවශ්‍යතාව නොදැනෙන්නට ඇතැයි සුරංගි ආරියවංශ පවසයි. එසේම වයස් මට්ටම ගත් කල ජාතික හැඳුනුම්පත නොමැති වූවන් වයස අවුරුදු පනහත් හැටත් අතර වයසේ පසුවන්නන්ය. වතුකරයේ මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල බහුතර ග්‍රාම නිලධාරීන්ද ජාතික හැඳුනුම්පත් නොමැති වූවන්ට හැඳුනුම්පත් ලබාගැනීමට උනන්දු කිරීමක් නොකරන බවක් පැවසේ. ඇතැම් පිරිස් ඇතැම් ග්‍රාම නිලධාරීන් මුණ ගැසී නොමැති තරම්ය. එසේම සුරංගි ආරියවංශ පවසන ආකාරයට දිළිඳු බවෙන් බරිත වූවන් ජාතික හැඳුනුම්පත සාදා ගැනීමට අවශ්‍ය ඡායාරූප ගැනීමට තරම් හෝ වත්කමක් නොමැති වූවන්ය.

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website