Wednesday, 18 September 2019 07:09

උඩමාලිබොඩින් සොයාගත් හූණාට ඇන්ස්ලම්ගේ නම

සිරිපාද රක්ෂිතයේ පහළ මායිමේ උඩමාලිබොඩ ප්‍රදේශයෙන් නව දිවාසැරි හූණන් විශේෂයක් පරිසරවේදී සමීර සුරන්ජන් කරුණාරත්න සහ ආචාර්ය කණිෂ්ක උකුවෙල විසින් සොයාගෙන තිබේ. ශ්‍රී ලංකාවට ආවේණික මෙම හූණා Cnemaspis anslemi ලෙස නම් කොට ඇති අතර ඒ , සත්ත්ව විද්‍යාඥ ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වාට ගෞරව පිණිසය. ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා ශ්‍රේෂඨතම උභය සහ උරග විද්‍යාඥයෙකි. අවුරුදු පනහකට එහා ගිය අත්දැකීම් සමුදායක් ඇති ඔහු විසින් මේ වන විට සම්පාදනය කර ඇති ග්‍රන්ථ සහ ශාස්ත්‍රීය ලිපි සංඛ්‍යාව 400 කට අධිකය.

මේ වසරේ මාර්තු මාසයේදී සොයාගත් මෙම හූණන් පිළිබඳ පර්යේෂණ වාර්තාව පසුගියදා එළිදැක්විණි. පරිසරවේදී සුරන්ජන් පවසන පරිදි, ශ්‍රී ලංකාවට ආවේණික සිරිපාද රක්ෂිතයේ පමණක් දැකිය හැකි මෙම හූණු විශේෂය පූර්ණ රුක්වාසින්ය. අඩි පහලවක් තරම් උස කඳන් ඇති ,ඉහළින් පමණක් අතුබෙදෙන, කඳේ පොතු ගැලවෙන ගස්වල මෙම සත්ත්ව විශේෂය වාසය කරයි. වාතයේ ආද්‍රතාවය අඩු සහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ක් 28 ක් තරම් වන සුමට පරිසරයකට මොවුන් අනුගතව ඇත. මොවුන් සොයාගත් උඩමාලිබොඩ ප්‍රදේශයේ හොඳින් ව්‍යාප්තව සිටින අතර එවැනි සතුන්ගේ ව්‍යාප්තිය මඟින් වනාන්තර හොඳ තත්ත්වයේ පවතින්නේද යන්න පවා මැන බැලිය හැකිය.

මේ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දක්වන පරිසරවේදී සුරන්ජන් කරුණාරත්න
“මේ සොයා ගැනීමට මාත් එක්ක ආචාර්ය කණිෂ්ක උකුවෙල එකතුවුණා. සිරිපාද රක්ෂිත භූමිය කියන්නේ සංවේදී පරිසර කලාපයක්. නමුත් ක්‍රමයෙන් සිදුවන පරිසර හායනය මේ ප්‍රදේශයෙත් දකින්න පුළුවන්. උඩමාලිබොඩ ප්‍රදේශයේ මේ වන විට ජලාශ අවහිර කරලා කුඩා ජල විදුලි බලාගාර කිහිපයක්ම හදන්න කටයුතු කරලා තියෙනවා. එතනදි ගංගා ජලය ගලායාම අවහිර වෙන නිසා ඒවා වියළෙනවා. කැළේ ගස් මැරෙනවා. මේ හොයාගත්ත හූණු විශේෂයට ඒ අය ඉන්න ගහ විතරක් තිබිලා මදි. පරිවාර ගස් අත්‍යවශ්‍යයි. එවැනි තත්ත්වයක් තුළ ඇතැම් ස්ථාවල හිතන්න බැරි ප්‍රමාණයෙන් ගස් කපලා. තේ වගාව රක්ෂිතය කපා දමමින් තහනම් භූමි කොටසෙත් පැතිරිලා. එය වණජීවි දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක් වුණත් පෙනෙන මායිමක කාර්යාලයක් නෑ”.

ඔහු පවසන පරිදි සංචාරකයන් මේ ප්‍රදේශයේ වැඩි වශයෙන් සැරිසරන අතර එහිදී ඔවුන් සතුන් හෝ ජාන සිය රටවලට රැගෙන යන්නේද පිළිබඳව සොයාබැලීමක් කරන්නේ නැත. මේ ප්‍රදේශයෙන්ම සොයාගත් “නොසිලු කටුස්සා” නම් කටුසු විශේෂය මේ වනවිට විදේශ රටවල වෙළෙඳපොළට එක්කර ඇති මෙරටට ආවේණික සත්ත්ව විශේෂයකි. මෙරට ජනතාවට මෙම ජීවීන්ගේ වටිනාකමක් නැති වුවද දුර්ලභ ගණයේ සතුන් සඳහා විදේශිකයන් තුළ ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

පසුගියදා ජිනීවාවල පැවති සයිටස් සමුළුවේදී මෙරට ජීවීන් විදෙස් වෙළෙඳපොළට යාම පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී මෙරටින් රහසේ ගෙන යන සත්තව විශේෂ අන්තර්ජාතික වෙළෙඳාමට යොදා නොගන්නා ලෙස ඉල්ලීමක්ද කෙරිණි. ඒ අනුව ඔවුන් එම සතුන් ඇමුණුම් අංක එක කාණ්ඩයට එක් කරන ලෙසද ඉල්ලීය. ඇණවුම් කාණ්ඩ එක යටතේ සතුන් හෝ ශාක රටවල් අතර හුවමාරුවට පමණක් ඉඩ දෙනු ලැබේ. ඒ අනුව වෙළෙඳාම මුළුමනින්ම තහනම්ය. රටවල් අතර හුවමාරුව වුවද, සතුන් නම් සත්ත්ව උද්‍යානයක් හරහා සිදුවිය යුතු අතර ශාඛයක් නම් උද්භිද උද්‍යානයක් හරහා හුවමාරු විය යුතුය. කිසිලෙසකින්වත් මුදල්මය වටිනාකමක් ලබාදිය නොහැකි අතර සතුන් පමණක් හුවමාරු විය යුතුවේ .

ඇමුණුම් අංක දෙක යටතේ සීමා සහිතව වෙළෙඳාමට ඉඩ ඇත. ඒ සඳහා අදාළ රටේ අදාළ වන දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගත යුතු අතර කැළෙන් අල්ලාගත් සතුන් සෘජුවම වෙළෙඳාම් කළ නොහැකිය. එහිදී ගැහුණු සහ පිරිමි සතුන් රැගෙන විත් වෙනම ඔවුන් බෝවීමට ඉඩ හැර අනතුරුව විකිණිය යුතුය. එයද සීමාවකට යටත්වය . එ් අයුරින් සතුන් බෝ කිරීමක් ලංකාවේ සිදු නොවන නමුත් විදෙස් රටවල මෙකී සතුන් විකිණීමට තිබීම මඟින් නීතිමය අවසරයකින් තොරව මෙරටින් සතුන් රැගෙන යන බවට සාක්ෂි සපයයි.

කෙකටිය, කොතලහිඹුටු වැනි ශාඛ එසේ සීමාවන්ට යටත්ව කොන්දේසි සහිතව අපනයනය කිරීමට ඉඩ ලබාදුන් ශාඛ වුවද ඒවා වෙනත් රටවලට යන්නේ නීතියෙන් පරිබාහිරවය. කෙසේ නමුත් මෙකී ශාඛ සතුන් පිළිබඳව විද්‍යාත්මක අධ්‍යනයක් කිරීමට ප්‍රමාණවත් තරම් විද්‍යාඥයෝ නොමැති බැවින් නීතියේ යම් යම් ස්ථානවලින් රිංගා ගොස් කටයුතු කිරීමට ඇතැමුන්ට හැකියාව ලැබී ඇත.

සිය නම යෙදීම පිළිබඳව අදහස් දැක්වූ ආචාර්ය ඇන්ස්ලම් ද සිල්වා,
“පසුගිය කාලේ අපේ රටේ සත්ත්ව නාමකරණය පිළිබඳව ආන්දෝලනයක් ඇති වුණා. නමුත් සුරන්ජන්ගේ අලුත් සොයාගැනීමට මගේ නම දීම මට කරපු ගෞරවයක්. මීට පෙරත් ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් සිකනලාගේ බඩේ ඉන්න කොකු පණුවෙකුට “ෆැල්කුස්ට්‍රා ද සිල්වා” ලෙස මගේ නම දීලා තියෙනවා. කටුස්සෙකුටත් “කැලෝටස් ද සිල්වා” ලෙස මගේ නම යොදලා තියෙනවා. තව සතුත් 100 ක් මගේ නමින් නම් කළත් ඒක මට ගෞරවයක්” යැයි පැවසීය.
මේ සම්බන්ධව අදහස් දැක්වූ පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන,

“සිරිපාද රක්ෂිතයේ පහළ මායිමේ පිහිටි උඩමාලිබොඩ කියන්නේ ජෛව විවිධත්වයෙන් අනූන ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයෙන් එක සතෙක් සොයාගැනීමෙන් තවත් සත්තු සිටීමේ වැඩි විභවයක් තියෙන වා කියන්න පුළුවන්. ඒ වගේම කලින් තවත් සත්තු ඉඳලා දැනට ඉතිරිව සිටින්නේ මේ ප්‍රමාණයද දන්නෙත් නෑ. මේ සොයාගැනීම ඉතාම වැදගත්. ඒ අනුව පරිසර සංරක්ෂණයට වගකිව යුතු ආයතනවලට වගකීමක් තියෙනවා මේ පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීමට” යැයි පැවසීය.

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website