Tuesday, 24 September 2019 06:34

පාතරාසයට පාන් ගේන්න කඩේ ගියා මතකයි

නගරයේ හෝ ගමේ කියා වෙනසක් නැත. හිමිදිරි හෝරාව සංගීතවත් කරවමින් ‘චූන් පාන් රථය’ පාරක් පාරක් ගානේ සැරිසරන්නේ, ‘ආ, වරෙල්ලා-පාන් කාපල්ලා’ වැනි රිද්මයකිනි!

එහි ‘චූන් එක’ ඈතින් අැසෙත් ම, ගෙවල්වල අය පාරට පැමිණ එකත්පස්ව බලා සිටින්නේ පාන් ආදිය මිල දී ගනු පිණිස ය. පොඩි එවුන්ට ඉස්කෝලේ ගිහින් කන්නට ‘පේස්ට්‍රි’, ‘සොසේජස් බන්’, ‘මාළු පාන්’ සහ ‘බර්ගර්’ ආදී කෑම වර්ග ය. ලොකු එවුන්ට කන්නට පාන්, රෝස් පාන්, බිත්තර බනිස් සහ රෝල්ස් ආදී කෑම ජාති ය. මේ චූන් එක බොහොම අපූරු ය. පාන් පිටියෙන් හැදූ කෑම කන්නට කිසිදු අදහසක් නැති එවුන්ට ද, පාන් පිටි ගුලි ගිල්ලවමින් එය වීදි පුරා සැරිසරා චූන් එකේ ම ආපසු යයි!

උදේ කාලයට පමණක් නොවේ. චූන් පාන් රථ සවස් ජාමයට ද එයි. ඒ, ‘සවස පාන්’ විකුණන්නට ය. පාන් සහ රෝස් පාන්වලට අමතරව, පොල් කේක්, පෑන් කේක්, වඩේ සහ රෝල්ස්, බනිස්, බේකරි වණ්ඩු ආදී අනෙකුත් ‘සවස කෑම’ ජාති ද එහි වෙයි!

චූන් පාන් රථයෙන් ගෙනෙන කෙටි ආහාර සහ කැවිලිවලට අැබ්බැහි වුණු ඇතැම් කුඩා දරුවෝ, සවස් යාමයේ දී බලහත්කාර චූන් පාන් පාරිභෝගිකයන් බවට පත් වෙති. ඔවුන් ගෙන් ඇතැමෙක් චූන් හඬ ඇසෙත් ම, රස කැවිලි ඉල්ලමින් ගෙවල් දෙවනත් කරති!

කලකට ඉහත නම්, අපේ රටේ බොහොමයක් නිවෙස්වල උදෑසන කෙරෙන වැඩ රාජකාරි අතරින් ලොකුම තැනක් හිමිව තිබුණේ පාතරාසය පිණිස පාන් ගෙන ඒමට ය. බොහොමයක් නිවෙස්වල උදේ ආහාරය වූයේ පාන් ය. වෙනෙකක් තබා, වී-හාල් යහමින් තිබුණු ගොවි නිවෙස්වල පවා පාන් කෑම සුලබ සිද්ධියක් විය. වර්තමානයේ පාන් ගෙන ඒම පිණිස උදෑසන කඩේ යාමේ රාජකාරියක් නැත්තේ ය. චූන් පාන් රථ චූන් එකේ ගෙදර දොරකඩට ම එන නිසා එබඳු අවශ්‍යතාවක් ඇති නොවේ.

පාන් සහ පාන් පිටි සම්බන්ධයෙන් යළිත් කතාබහක් හට ගෙන තිබේ. එය ඉස්මත්තට ආවේ ඉකුත් සැප්තැම්බර් 06 වැනි දා පාන් පිටි කිලෝවක මිල (තිරිඟු පිටි) රුපියල් 5.50 ඉහළ යාමත් සමගිනි. එහි දී රුපියල් 87.00කට මිල කෙරී තිබුණු පාන් පිටි කිලෝවේ මිල රුපියල් 92.50ක් දක්වා ඉහළ නැගුණි. එයින් පසුව ග්‍රෑම් 450ක පාන් ගෙඩියේ මිල ද රුපියල් 2.00කින් ඉහළ දැමීමට, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පියවර ගත්තේ ය.

කෙසේ වෙතත් එය රජයෙන් කළ මිල ඉහළ දැමීමක් නො වීය. සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල මිලෙහි වෙනස්කම් කරන්නේ, රජයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ‘ජීවන වියදම් කමිටුවේ’ නිර්දේශ අනුව ය. එහෙත් මෙවර තිරිඟු පිටි මිල ඉහළ දැමුණේ, එවන් නිර්දේශයන් අනුව නොවේ. ලංකාවේ තිරිඟු පිටි ආනයනයේ සහ නිෂ්පාදනයේ ඒකාධිකාරය ඩැහැ ගෙන සිටින ‘ප්‍රීමා’ සහ ‘සෙරන්ඩිබ්’ යන සමාගම්වල තීන්දුව පරිදි ය.

මහජනයා අතර වැඩි ආකර්ෂණයක් සහිත ආහාරයක මිල උන්හිටි ගමන් ඉහළ යාම, බලයේ සිටින ආණ්ඩුව අපහසුතාවට ද, දෝෂ දර්ශනයට ද, ලක් වීමට තරම් ගැටලුවකි. එබැවින් ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ වූයේ පාන් පිටි මිල වැඩි කිරීම, ඔවුන්ගේ අනුමැතියෙන් සිදු වුණු දෙයක් නො වන බවයි.

ආණ්ඩුවේ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග, ධීවර සහ ජලජ සම්පත් ඇමති පී. හැරිසන් මහතා පවසා තිබුණු අන්දමට, පාන් පිටි මිල ඉහළ දැමීම රජයේ අනුමැතියක් සහිතව කෙරුණු එකක් නොවේ! එය එහෙමපිටින් ම, පාන් පිටි සමාගම්වල ඕනෑකමට කෙරුණු දෙයකි. එයින් පසුව ඇමතිවරයා පවසා තිබුණේ, තමන් මේ සම්බන්ධයෙන් ‘ජීවන වියදම් කමිටුවෙන්’ ද කරුණු විමසන බවයි.

මෙම තත්ත්වයත් සමගම, පාරිභෝගික අධිකාරිය වැඩි මිලට පාන් පිටි අලෙවි කරන වෙළෙන්දන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන්නට යන බව රටට කීවේ ය.

මේ අතර, ඇමති පී. හැරිසන් මහතා සැප්තැම්බර් 10 වැනි දා පැවසුවේ, තමන් පිටි සමාගම් සමග කළ සාකච්ඡාවක දී මිල වැඩි කිරීම අත්හිටුවන්නට ඔවුන් එකඟ වූ බවයි. ඇමතිවරයා එසේ කීව ද, ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් එක්වර ම සිය මිල වැඩි කිරීම හකුළා ගත්තේ නැත. එහෙත් පසුව ඔවුහු වැඩි කළ මිල යළි අඩු කළහ. ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම්වල ඒකාධිකාරී බලය ඒ තරම් ප්‍රබල ය.

නීති සහ අණ පනත්වල හැටියට තිරිඟු පිටි මිල තීරණය කළ යුත්තේ රජයේ ද එකඟතාවයෙනි. එහෙත් ඉකුත් (2019) ජූලි මාසයේ 15 වැනි දා ද ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් රජයට නො දන්වා ම පාන් පිටි කිලෝවේ මිල රුපියල් හතකින් ඉහළ දැමුවේ ය. ඉන් පසුව උණුසුම් තත්ත්වයක් ඇති විය. පසුව ජූලි 16 වැනි දා වැඩි කළ මිල, යළි අඩු කරන්නට සමාගම්වලට සිදු විය.

ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් හිතුවක්කාරී ලෙස තිරිඟු පිටි මිල වැඩි කරන්නේ, වරින්වර විවිධ හේතූන් ගෙනහැර දක්වමිනි. ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණ වීම, බදු වැඩි වීම සහ ලෝක වෙළෙඳපොළේ තිරිඟු ඇටවල මිල ගණන් ඉහළ යාම ආදී කරුණු ඒ අතර දැකිය හැකි ය. එහෙත් ඇත්ත කතාව නම්, ලෝක වෙළෙඳපොළෙහි තිරිඟු පිටි මිල ඔය තරම් ඉහළ ගොස් නැති බව ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවකට අනුව, 2015 වසරේ දී ජාත්‍යන්තර වෙළෙඳපොළේ තිරිඟු පිටි මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 215කි. 2017 දී එය ඩොලර් 170ක් දක්වා පහත වැටී තිබේ. මෙම වසරේ ජනවාරි මාසයේ එය ඩොලර් 150ක් දක්වා තවදුරටත් පහත බැස තිබිණි. තවත් මූලාශ්‍රයකට අනුව, වර්තමානයේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තිරිඟු පිටි මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 325කි ඒ අනුව, තිරිඟු පිටි මිල වැඩි වෙලා ය!

ලෝක වෙළෙඳපොළ මිල මට්ටම් ඉහළ ගිය ද, පහළ ගිය ද ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම්වලට එහි ගැටලුවක් නැත. ලංකාවේ ආණ්ඩුව, ඔවුන්ගේ වෙළෙඳපොළ තහවුරු වන සේ කටයුතුකර තිබීම ඊට හේතුවයි. රජය සමග එළඹ ඇති ගිවිසුම් අනුව, ලංකාවට තිරිඟු ඇට ගෙන්වීම සහ ඒවා ඇඹරීමේ ඒකාධිකාරී බලය ඇත්තේ ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම්වලට පමණකි. ඔවුහු තිරිඟු ඇට ආනයනය කර, අඹරා, පිටි වශයෙන් බෙදා හරිති. ඒ සඳහා රජය ඔවුන්ගෙන් අය කරන්නේ පිටි කිලෝවකට රුපියල් 6.70ක බද්දක් පමණකි. එය හරියට බදු සහනයක් වැන්න.

එහෙත් වෙනත් අයට ද, තිරිඟු පිටි ආනයනය කළ හැකි ය. එහෙත් ඒ සඳහා විවිධ කාරණා යටතේ අධික බදු මුදලක් පනවා තිබේ. එය එකතු කළ විට, ආනයනික පාන් පිටි කිලෝවකට වැටෙන බදු මුදල රුපියල් 37.50කි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පසුගිය 16 වැනි දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කළේ ය. එහි සඳහන් වූයේ කිලෝවකට රුපියල් 37.50 බද්දක් ගෙවමින් පාන් පිටි ආනයනය කිරීම නිෂ්ඵල දෙයක් බවයි. ඒ වෙනුවට ඔවුන්, ආනයන බදුවලින් නිදහස්ව තිරිඟු පිටි ආනයනය කරන්නට අවස්ථාව සලසන ලෙස ඉල්ලා තිබිණි. එවිට පිටි කිලෝවක් රුපියල් 60.00ක මිලකට ලංකාවට ගොඩ බෑ හැකි යැයි ඔවුන්ගේ ලිපියෙහි සඳහන් විය. එයින් පාන් රාත්තලක් රුපියල් 50.00ක මිලකට අලෙවි කළ හැකි බව ඔවුන්ගේ අදහස විය. එහෙත් පාලකයන් පිටි සමාගම්වල ඒකාධිකාරය බිඳින්නට කටයුතු කරන බවක් පෙනෙන්නට නැත.

ලංකාව දැන් යහපත් මට්ටමක වී අස්වැන්නක් ලබන රටකි. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, ඉකුත් 2018 වර්ෂයේ ද අපේ රටට මෙට්‍රික් ටොන් තිස් නම ලක්ෂයකට අධික වී අස්වැන්නක් ලැබී තිබේ. එය රටට ප්‍රමාණවත් ය. වී නිපැයුම කෙතෙක් ඉහළ ගිය ද සහල් කිලෝවේ මිල ලෙහෙසියෙන් පහත බසින්නේ නම් නැත. එය වෙන ම කතාවකි. කෙසේ වෙතත්, ගණන් බලා ඇති ආකාරයට දැන් අපේ රටේ ඒක පුද්ගල සහල් පරිභෝජනය වසරකට කිලෝග්‍රෑම් 107කි. එබැවින් උදේ ආහාරය පිණිස චූන් පාන් රථවලට අවනත වෙමින් පාන් වැළඳීමේ අවශ්‍යතාවක් ඇතැයි පෙනෙන්නේ නැත.

එහෙත් මහජනයා කියන විදිහට ‘පොඩි කොස්සක්’ තිබේ. එනම් ‘ආහාරයට සුදුසු පරිදි’ සකසා ගැනීමේ ප්‍රශ්නයයි. ‘පාන්’ නම් යාන්තම් ‘පරිප්පුවක්’ සමග හෝ ‘ප්ලේන්ටියක’ පොඟවා ගෙන හෝ වැළඳිය හැකි ය. වී-හාල් කොතෙක් තිබුණ ද එතරම් පහසුවෙන් ‘බතක්’ වළඳන්නට නො හැකි ය. බත් පිසින්නට දර, ගෑස් හෝ විදුලිය වැනි බලශක්තියක් අවශ්‍ය ය. බත් පිසීම සඳහා යම් කාලයක් ද ගත වේ. බත වුව නිකම්ම කෑ හැකි නොවේ. ඒ සඳහා අඩු තරමින් පොල් සම්බෝලයක් හෝ හොද්දක්වත් සකසා ගත යුතු ය. නාගරික සමාජය උදේ කාලයට මුහුණ දෙන කලබලකාරිත්වයේ හැටියට බත් කෑම සංකීර්ණ ය. පාන් කෑම සරල ය. ඉතින් නාගරික සමාජය පමණක් නොව, ගම්වල වුව ‘ආයතනික රැකියා’ කරන අය පාතරාසය පිරිමසා ගැනීම සඳහා තෝරා ගෙන ඇත්තේ පාන් ය. පාන් පිටියෙන් හැදූ ආහාර වර්ග ප්‍රචලිත කිරීම සඳහා ‘චූන් පාන්’ රථවලින් සිදු වන්නේ ද මහත් මෙහෙයකි!

නාගරිකයේ පමණක් නොවේ. වතුකරයේ ද ජනප්‍රිය ම ආහාරය පාන් පිටි රොටී ය. එය බොහොම කලක් තිස්සේ වතු කම්කරුවන් අතර පවතින ඇබ්බැහියකි. එබැවින් පාන් පිටි මිල වැඩිවීම, නාගරිකයට මෙන් ම වතුකරයට ද දැඩිව ‘දැනෙන’ ප්‍රශ්නයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනයේ තොරතුරු අනුව, වර්තමාන ලංකාවේ ඒක පුද්ගල සහල් පරිභෝජනය වසරකට කිලෝග්‍රෑම් 107කි. එසේම, ඒක පුද්ගල පාන් පිටි පරිභෝජනය වසරකට කිලෝග්‍රෑම් 1.8කි. මේ ජාතික මට්ටමයි. මතුපිටින් බලන විට නම්, එයින් පෙනී යන්නේ පාන් පිටි ඇබ්බැහියට පෙලඹී සිටින්නේ බොහොම සුළු පිරිසක් බව ය.

එසේ වුව ද රටේ ඇතැම් කලාපවල තත්ත්වය වෙනස් ය. සාමාන්‍යයෙන් නාගරිකව සහ වතුකරයේ පාන් පිටි පරිභෝජනය වැඩි බව කලක පටන් ම ප්‍රසිද්ධ වී ඇති කාරණයයි. වතුකරය ගත් විට, එහි ඒක පුද්ගල පාන් පිටි පරිභෝජනය වසරකට කිලෝග්‍රෑම් 10ක් තරම් අධික තත්ත්වයක පවතින්නේ ය. කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ඒක පුද්ගල සහල් පරිභෝජනය වසරකට කිලෝග්‍රෑම් 80ක් තරම් අඩු අගයක පවතියි. එහි තේරුම, කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල බත් කෑම අඩු බව ය. ඒ වෙනුවට, පාන් පිටි ආහාර සහ වෙනත් ආහාර පරිභෝජනය, රටේ සෙසු පළාත්වලට වඩා වැඩි මට්ටමක පවතින බව ය. නාගරික ජීවිතයේ ඇති කාර්යබහුලතාව නිසා පාන්, කොත්තු, ඉඳිආප්ප, පිට්ටු, පරාටා රොටී ආදී පාන් පිටි ආහාර පරිභෝජනය පහසු එකක් වීම ද, එයට එක් හේතුවකි. පාන් පිටි මිල ඉහළ යාම මේ කොයි කාහටත් බලපාන්නේ ය.

තිරිඟු පිටි සමාගම්වල ඒකාධිකාරය අවසන් නො වෙන තාක්, මේ තත්ත්වයන් නො නවතිනු ඇත්තේ ය.

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website