Monday, 30 September 2019 11:21

වර්ජනයේ අතුරු කතා

මීට වසර කිහිපයකට උඩ දී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ‘සෙල්ලම් ගෙදර’ නමින් ළමා වැඩසටහනක් විකාශය විය. සෙල්ලම්​ ගෙදර ළමයින්ගේ වුව සෙල්ලම් ගෙදරකට මුවා වී කතා කළේ එදා දවසේ රටේ තොටේ ප්‍රශ්නයකි. නැතිනම් සමාජයේ අඩුපාඩු තැනකි.

එහි එක් සතියක මාතෘකාව වී තිබුණේ ලංකාවේ වර්ජන රැල්ලයි.
සෙල්ලම් ගෙදර සක්‍ර දේවේන්ද්‍රයාට ඇඳගත් දරුවා සිනාමුසු මුහුණින් විත් පඬුපුල් ආසනය මත ඉඳගන්නේය. ඒත් පඬුපුල් අසුන ගිනියම් වී ඇති නිසා මොහොතක්වත් සක්‍ර දේවේන්ද්‍රයාට එහි වාඩි වී සිටිනන්නට නොහැකි වන්නේය.

ඒ ඇයි දැයි දිවනෙතින් බලන සක්‍ර දේවේන්ද්‍රයාට පඬුපුල් අසුන උණුවීමට හේතුව ලංකාවේ ජනතාවගේ ප්‍රශ්නයක් නිසා බව පෙනෙන්නේය. සක්දෙවි වහා ලංකාවට වටින්නේය. වෛද්‍යවරු වර්ජනයේය. අසුන උණු වී ඇත්තේ රෝගීන්ගේ දුකිනි.
වෛද්‍යවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳා යළි දෙව්ලොව වඩින සක්‍් දෙවිඳු ගිමන් නිවාගන්නට පඬුපුල් අසුනේ වාඩිවෙයි. යළිත් එය රත් වී ඇත්තේය. දිවනෙත යොමන සක් දෙව්ඳුට යළි පෙනෙන්නේ ලංකාවයි. යළිත් දුක රෝගීන්ගේය.

වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීමෙන් තමන්ට අසාධාරණයක් වෙතැයි හෙදියෝ වර්ජනයකය. රෝගීහු පෝලිම්වලය.
සක් දෙවිඳුන් ප්‍රශ්නය ද විසඳා යළි සදෙව් ලොව වැඩ ගිමන් නිවාගන්නට පඬුපුල් අසුනේ ඇලවේ. එවරද එය රත් වී ඇත. දිවැසින් බලන කල ප්‍රශ්නය යළිත් ලංකාවේය. දුක දුම්රිය මගීන්ගේය.

හෙදියන්ගේ වැටුප් වැඩි කිරීම නිසා තමන්ට අසාධාරණයක් විනැයි, කියමින් දුම්රිය රියදුරන් වැඩ වරා ඇත. මගීහු අතරමං වී ඇත.

ලක්දිව වඩින සක් දෙවිඳු ඒ ප්‍රශ්නය ද විසඳා ආපසු වඩින්නේ කකුල් කඩෙත්තුවට ටිකක් වාඩි වී සිටිය යුතුයැයි කියමිනි. ඒත් පලක් නැත. අසුන යළි උණු වී ඇත.

නැවතත් ප්‍රශ්නය ලංකාවේය. දුම්රිය මගීන්ගේය. රියදුරකුගේ වැටුප් වැඩි කළැයි දුම්රිය ස්ථානාධිපතිවරු නියාමකවරු වැඩ වරා තිබේ.

වෙහෙස නොබලා ලංකාවට යළි පැමිණ ඒ ප්‍රශ්නය ද විසඳන සක් දෙවියන් යළි දෙව්ලොව වැඩ පඬුපුල් අසුන ළඟ බිම පැදුරක් එලා ඇලවෙන්නේ ලංකාවේ වෘත්තිය සමිති තියනකල් අරකෙ නම් වාඩි වෙන්නට ලැබෙන්නේ නෑ යැයි කියමින් දෙකකුල් ද අතගාමිනි.

ඒ මීට මාස හත අටකට පෙර දිනෙකය. කන්තෝරුවේ වැඩ හමාර වී සවස කොටුව දුම්රිය කොළඹ එනවිට දුම්රියපො​ළේ වෙනදා නැති තරම් සෙනගකි. ඒත් එකම දුම්රියක්වත් නැත.

‘‘කෝච්චි ස්ට්‍රයික්’’ කවුදෝ කියනු ඇසිනි. දුම්රියපොළට එනතුරුම දුම්රිය වර්ජනයක් ගැන නොදැන සිටියෙමු. වර්ජනය හදිසියේ සවස දෙකට තීරණය කළ එකකි. හේතුව රියදුරු වැටුප් ප්‍රශ්නයකට රාජ්‍ය බලධාරීන්ගෙන් ‘හොඳ ප්‍රතිචාරයක්’ නොලැබීමයි.

පෙර දැනුම් දීමක් නොමැති හදිසි වර්ජනය නිසා සවස වැඩ ඇරී ගෙදර යන්නට ආ දුම්රිය මගීන්ගේ රතු කට්ටද පැන තිබුණි. කුපිත වූ ඇතැම්හු දුම්රිය ස්ථානාධිපති කාර්යාලයට ගල්මුල් එල්ල කිරීමට මාන බලමින් සිටියහ. පොලිසිය ද එහි විය. එතැන එකම කලබලයකි.

ඒ සමගම දුවගෙන ආ අවුරුදු දොළහක දහතුනක පුංචි පැටියෙක් ‘අංකල්’ යැයි කියමින් අතේ එල්ලුනේය.
‘අංකල් මම අහවලාගෙ පුතා’ කොලුවාගේ මුහුණේ තිබුණේ ‘යන්තං ඇති’ කියන්නාක් වැනි හැඟීමකි.
පුංචි කොලුවා අප මිත්‍රයෙකුගේ පුත්‍රයෙකි. ගම මීරිගමය. කොළඹ පළමු පෙළ පිරිමි විදුහලක හත වසරේ සිසුවෙකි. වෙනදාට පාසල නිම වී ගෙදර යන්නේ ලොකු අයියලාත් සමග සුපුරුදු දුම්රියෙනි. ඒත් එදා පාසලේ අමතර වැඩක් නිසා සවස් වී තිබුණි.
කෝච්චි නෑනෙ අංකල් ගෙදර යන්ඩ විදියක් නෑ. පහයි කාලෙ කෝච්චියට තාත්ත දෙමටගොඩින් ගොඩවෙනව කිව්ව. ඒකෙම ගොඩවෙන්න ආවේ.

ඒත් තාත්තාට දෙමටගොඩින් ගොඩවීමට දුම්රියක් නැත. කොලුවාට දෙමටගොඩට යන්නට ක්‍රමයක් ද නැත. අතමිට මුදල් ද නැත. මුදල් තිබුණ ද කරන්නේ කුමක්දැයි දන්නේ නැත.

‘‘ඉතින් පුතේ මාව මුණ නොගැහුනා නම් මොකද කරන්නේ’’
මඳ වේලාවක් මුහුණ දෙස බලා සිටි කොලුවා හඬන්නට ගත්තේය. දරුවාට පියා සොයා දීමේ වගකීම අපට භාර විය.
පිටකොටුව බස් නැවතුමේ දී තාත්තා මුණගැසුණු විට කොලුවා තාත්තාගේ ඇඟේ එල්ලී ඉකිගසමින් හඬන්නට ගත්තේය. එහෙත් ඒ දරුවා තුළ වූ බිය ඔහු පහකර ගත්තේ තාත්තාගේ කලිසමේ එල්ලී ඇති තරම් හැඬීමෙනි. දරුවාගේ පියා අපට ස්තුති කළේ මිත්‍රයෙකුට ස්තුති කරන ස්වරයෙන් නොවේ. දරාගත නොහැකි ණය බරකින් තමා නිදහස් කළ දෙවියෙකුට කතා කරන ස්වරයෙනි.

මේ කතා දෙකම හදිසියේම අප මතකයට ආවේ පසුගිය බදාදා ආරම්භ වූ දුම්රිය වැඩ වර්ජනයත් ඊට මගී ජනතාව දැක්වූ ප්‍රතිචාරත් සමගිනි.

දශක තුනක් තිස්සේ උදේ සවස දුම්රියෙන් කොළඹ යන එන අපට දුම්රිය ප්‍රමාද, දුම්රිය අකුරට වැඩ, දුම්රිය වර්ජන ගැන විවිධ මතයන්, අත්දැකීම් ඇත්තේය.

අද දුම්රිය සේවකයන් මතු නොව, පෙර කල දෙවියන් සේ සැලකූ වෛද්‍යවරුන් ද වැඩ වරන්නේ පෙර දැනුම් දීමකින් තොරවය. මීට දශක තුනකට ඉහත දී නම් දුම්රිය වර්ජනයක් ඇති විට සති දෙකක පමණ පෙර සිට දුම්රිය මගීහු ඒ ගැන දැනුවත්ය. ඒ වෘත්තීය සමිති, තම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන පෙර සිටම දැනුම් දුන් නිසාය. එවිට මගීහු ඊට සූදානම් වූහ. වර්ජකයන්ට දෙස් දෙවොල් නොකීහ. සාප ​නොකළහ.

අප ඉහත සඳහන් කළ කුඩා කොලුවා හමු වූ දිනයේ සවස පහ වන විටත් කොටුව දුම්රියපොළ යුද පිටියක්ව තිබුණි. හතර වටින් කොළඹට පැමිණි මගීහු හදිසියේම එකමුතු වී දුම්රියපොළ යුද පිටියක්ව තිබුණි. එකිනෙකා නාඳුනන හතර වටින් කොළඹට පැමිණි මගීහු හදිසියේම එකමුතු වී දුම්රියපොළ ඉදිරිපිට පරේ වාඩි වූයේ විසඳුමක් ලැබෙනතුරු කිසිදු වාහනයකට මේ පාරෙන් යන්නට නොදෙමුයි කියමිනි. ඒ නිසා මුළු කොළඹම අකර්මණ්‍ය විය. රාත්‍රී දහය පමණ වන තුරුම මාර්ග අවහිරය තිබූ බව රූපවාහිනී මාධ්‍ය ඔස්සේ දකින්නට ලැබුණි.

මගීන්ගේ තර්ජන අස්සේ වර්ජනයේ සාධාරණත්වය ගැන කියන්නට එහි ආ දුම්රිය නියෝජිතයන් දෙදෙනකුට මගීන් එළව එළවා පහර දුන්නේ බලා සිටිවුන්ගේ ප්‍රීති ඝෝෂා මැදය.

මිනිහෙකුට පහර දෙන විට තවත් මහා පිරිසක් ඔල්වරසෙන් නගනු හුරේ දමනු මගේ ජීවිතයේ දී දුටු පළමු වතාව ද එකම වතාව ද එය විය.

පසුගිය දා දුම්රිය වර්ජනය දිනයේ දී අප දුම්රියට ගොඩවෙන දුම්රියපොළේ සිටි තරුණ දියණියක සහ මවකි. දෙදෙනාම දුම්රියට ඒ තරම් පළ පුරුදු අය නොවන බව ඔවුන්ගේ කතා බහෙන් පැහැදිලි විය.

දියණිය උදේ 10.30ට රාජ්‍ය ආයතනයක විභාගයකට පෙනී සිටින්නට නියමිතව තිබුණි. එකම දුම්රියක්වත් කොයි ආකාරයකට ගියත් නියමිත වෙලාවට කොළඹට යන්නට මගක් නැති බව පැහැදිලිය. දියණිය හඬන්නට පටන්ගත්තේය.
ඒ ඇගේ ජීවිතය තීරණය වන දිනයයි. මවද කඳුළු අතරින්ම සාප කරන්නට ගත්තේය.

එකෙක් කරන කවර අන්දමේ වරදකට හෝ ඔහුගේ දරුවන්ට සාප කරනු අප සිංහල ජන සමාජයේ දැක නැත. ඒත් එදා ඒ මව ‘මුං පඩි ගන්නේ අ​පේ සල්ලිවලින්. අපේ සල්ලිවලින් පඩි අරං මෙහෙම කරන උන්ගේ දරුවන්ටත් ලේ බඩ යන්ඩ ඕනෑයි සාප කළාය. අවට සිටියවුන් ද නිහඬවම එය අනුමත කළා මිස ඔය කතාව නරක නේදැයි අසන්නට කට ඉස්සර කළේ නැත.
බොහෝ විට මාසික වාර ප්‍රවේශ පත්‍රය ගන්නා කාර්යාල සේවකයෝ ඇතැම් විට කොළඹ එන්නේ වැඩි මුදලක් අතමිට ඇතිව නොවේ. සීසන් ටිකට්ටුවත් බත් පතත් පමණක් රැගෙනය. කාර්යාලය නිම වී දුම්රියපොළට පැමිණි විට දුම්රිය නැති බව දැන ගන්නා ඔවුන් වැටෙන්නේ විශාල කරදරවලටය. දුර බැහැර සිට එන පිරිමි නම් මිත්‍රයෙකුගේ කාමරයක හෝ ගෙදරක හෝ ඥාතියෙකුගේ ගෙදරකට රිංගා ගනිති. ඒත් කාන්තා පක්ෂය වැටෙන්නේ අලි අමාරුවකය. ඇතැම්හු කිරි දෙන මව්වරුන්ය. කුඩා දරුවන් සිටින්නන්ය. මේ කලබල අස්සේ ඔවුන්ව ඩැහැගන්නට බලන උන්ද ඕනෑ තරම්. මීට වසර කීපයකට ඉහත දී දුම්රියකදීම අප හැඳිනගත් කාන්තාවක් වූවාය. දෙදරු මවක් වූ ඇය අමාත්‍යාංශයක සේවය කළාය. දිනපතා සේවයට පැමිණියේ කුරුණෑගලට නුදුරු නාරම්මල සිටය. සැමියා කිසි දිනක රැකියාවට කොළඹ නොපැමිණි ගම් පළාතේම පෞද්ගලික ආයතනයක රැකියාව කළ අයෙකි. ඒ සියල්ල අලුත් අවුරුදු සමය විය.

දිනය සෙනසුරාදාවකි. එදිනෙදා සවස දුම්රියපොළට එන විට දුම්රිය වැඩ වර්ජනයකි.
‘‘අනේ මල්ලි අද නම් කෝච්චි නෑ කිව්වට මහත්තය පිළිගන්නෙ නෑ’’ ඇය මා හා කීවේ මහා කලකිරීමකිනි.
එයද මැතිවරණයක් ප්‍රකාශ කිරීමට ඔන්න මෙන්න කියා තිබූ කාලයක්. ඇයට සෙනසුරාදා සේවයට පැමිණීමට වූයේ අමාත්‍යාංශයට අලුතෙන් බඳවා ගැනීමට නියමිතව තිබූ අයගේ පත්වීම් ලිපි සකස් කිරීමටය.

ඇයට නාරම්මල සිට තවත් සැතපුම් තුනක් යෑමට අවසන් බසය තිබුණේ රාත්‍රි අටටය. සවස පහ හමාරටත් ඇය කොටුව දුම්රියපොළේය.

අද කොහොමත් ගෙදර යන කොට රෑ දහය දොළහ වේවි. මහත්තයාගෙන් ගුටි කන්න තමයි වෙන්නේ. ඇය කීවාය. මෙදා වර්ජනයත් සමග එදා ඇය කියූ හැටි මට මතක් විය. දිනපතාම අප සමග එකම මැදිරියක උදේ කෝච්චියේ කොළඹ ආ ඇයගෙන් එදා මොකද වුණේ යැයි අසන්නවත් අද වන තුරුම අපට ඇය මුණගැසුණේ නැත. ඇතැම් විට ඇය රැකියාවට ආ අවසන් දිනය එදා වෙන්නට ද ඇත.

දුම්රිය සේවකයන් හදිසියේම වර්ජනය කළ තවත් දවසක් විය. මෙවැනි දිනවල දුම්රිය සේවකයන් හා මගීන් අතර උස් හඬින් කෙරෙන කතා බහද ඕනෑ තරම්ය.

මේ කියන දවසේ දුම්රිය වර්ජනය ගැන අසන්නට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක්තරා දුම්රියපොළකට පැමිණි මගියෙකුට දුම්රිය ස්ථානාධිපතිවරයා පිළිතුරු දුන්නේ, ඇයි තමුසෙ කලින් ගිහින් ගෑනිත් එක්ක..යනුවෙනි

ඒ පිළිතුරෙන් අධික ලෙස කුපිත වුවත් ඒ මගියා එදා පිළිතුරු ලෙස කීවේ තමුසෙට විතරක් නෙවෙයි මහත්තය අපටත් එහෙම ඕනෑ එපාකම් තියෙනව තමයි යන්න පමණකි.

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website