Tuesday, 01 October 2019 10:27

ආර්ථිකයේ නිදිමත හැරීම

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනයෙන් සියයට 40ක් ඇඟලුම්ය. 2018 අපේ ඇඟලුම් අපනයනය ඇ. ඩොලර් දසලක්ෂ 5317කි. ඇඟලුම් අංශයේ ඍජු රැකියා ලක්ෂ 3ක් ද වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් ද සහිත නිසා රටේ සංවර්ධනයට මෙන්ම සමාජ සංවර්ධන කාර්යයේදී ද ඇඟලුම් කර්මාන්තය රැකගත යුතුව ඇත. එහෙත් එසේ කළ හැකිවන්නේ සෙසු රටවල් සමඟ ඉදිරියට යමිනි. එම රටවල් කාර්මික විප්ලවයේ හතරවන පියවරේ ගමන් කරනවිට අපට මන්දගාමී විය නොහැක.

ජනාධිපතිවරණය සහ නව පාලන තන්ත්‍රයක් පිළිබඳව සමාජය තුළ පවතින සංවාදය දැන් වඩාත් උණුසුම්ය. දවසින් දවස ඒ උණුසුම ඉහළ යයි. ඉදිරි පාලනයක ආර්ථික ගමන් මග විමසන සාකච්ඡා මණ්ඩපද ඒ අතර වේ.

මේ සාකච්ඡා මණ්ඩපයන්හිදී දේශපාලනඥයෝද ආර්ථික විද්‍යාඥයෝද, ව්‍යාපාරික ප්‍රජාවද සෙසු විද්‍යාර්ථීහුද තමන්ගේ අදහස් දක්වති. මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයෝද, සමාජ මාධ්‍යයද මෙබඳු සාකච්ඡා සඳහා “වේදිකා” සකස් කර දෙති. එසේම විවිධ අංශයනට අයත් ලැයිස්තුගත සමාගම්වල වාර්ෂික රැස්වීම්වලදී සහ වාර්ෂික වාර්තා මගින්ද රටේ ආර්ථික ඉදිරි ගමන පිළිබඳ විවරණ ඉදිරිපත් කරනු දක්නට ලැබේ.

යටිතල පහසුකම් සංවර්ධනය, ආර්ථික වැවිලි ප්‍රතිසංස්කරණය, ඩිජිටල්කරණය, ඍජු විදේශ ආයෝජනය ඇඟලුම් කර්මාන්තය මෙන්ම හතරවන කාර්මික විප්ලවය සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම ඉකුත් කාලය තුළ සංවාදයට ලක්වූ කරුණු කීපයකි.

ආර්ථික සමුළුව

මේ සාකච්ඡා මණ්ඩප අතරින් වැදගත් තැනක් ගත්තේ ලංකා වාණිජ මණ්ඩලය හෙවත් සිලෝන් චේම්බර්ස් කොමර්ස් ආයතනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආර්ථික සමුළුවයි. කොළඹදී දෙදිනක් පුරා පැවැති සමුළුවට, ප්‍රතිපත්ති සම්පාදකයෝද ව්‍යාපාරික ප්‍රධානීහුද, ජාත්‍යන්තර මට්ටමේ ආර්ථික විද්‍යාර්ථියෝද පොදුවේ රටේ අනාගතය ගැන උනන්දුවූ පිරිස්ද සහභාගිව 2025 දක්වා ශ්‍රී ලංකා ආර්ථිකය හැඩගස්වා ගැනීම ගැන සාකච්ඡා කළහ.

චේම්බර්ස් කොමර්ස් ආයතනය සුබසාධක සංගමයක් හෝ එන්ජීඕ නඩයක් හෝ නොවේ. මේ රටේ කෘෂිකර්මාන්තමය සහ වාණිජ කටයුතු නංවා ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව 1839 මාර්තු 25 වන දින කොළඹ කුමාරවීදියේ කොමර් හවුස්හිදී පිහිටුවාගන්නා ලද ආයතනයකි. එවක ආණ්ඩුකාරවරයාව සිටි ස්ටුවට් මැකන්සිගේ මෙහෙයවීම පිට පිහිටුවාගත් මේ ආයතනය ලංකාවේ වාණිජ පරිසරය සකස්කිරීමේදී ලෝකයේ සෙසු වාණිජ මණ්ඩල සමඟ ඉකුත් වසර 180 තිස්සේ උරෙන්නුර ගැටී කටයුතු කළ ආයතනයකි.

පෞද්ගලික අංශය මෙවැනි සමුළුවලින් උපරිම ඵලනෙළාගන්නා නමුත් තවමත් රටේ ආර්ථිකය හැසිරවීමේ වගකීමෙන් වැඩිබරක් උසුලන රාජ්‍ය අංශය මෙවැනි සමුළුවකදී කියැවෙන හා ඉදිරිපත්වන නව අදහස් සැලකිල්ලට ගන්නේ නම් රාජ්‍ය ආයතන මෙතරම් පාඩු ලබන්නේ නැත. දූෂණ ඉහවහා යන්නේද නැත.

පෞද්ගලික ආයතන පාලනයේදී ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල ආයතන පරිපාලන ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබයි. මෙය CORPORATE GOVERNANCE යනුවෙන් හැඳින්වේ. රටට මහත් බරක්ව ඇති රාජ්‍ය ව්‍යාපාර ද එවැනි පාලනයකට යටත් කළ යුතුය යන්න ආර්ථික සමුළු කීපයකදී අසන්නට ලැබුණි. ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව චේම්බර්ස් කොමර්ස් සමුළුවේදී ද අවධාරණය වූ අතර එහිදී ප්‍රධාන දේශනය කළ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රකාශ කෙළේ ඉදිරි වසර පහ තුළ අපනයනය පදනම් කරගත් ආර්ථිකයක් ඉදිකර ගත යුතු බවයි.

සිලෝන් චෙම්බර්ස් කොමර්ස් සභාපති ආචාර්ය හැන්ස් විජේසූරිය මහතා එම සමුළුවේදී ප්‍රකාශ කෙළේ “දැනට ඇ. ඩොලර් බිලියන 89ක් වන ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වනවිට ඇ. ඩොලර් බිලියන 134ක ආර්ථිකයක් බවට පත්කර ගත යුතුව ඇති බවත්, සියලු අංශයන්ගේ සහාය ඇත්නම් එය අමාරු කාර්යයක් නොවන බවත්ය.

මෙලෙස රටේ ආර්ථිකය පුළුල් කිරීමට අපනයන ආදායම වැඩිකර ගැනීම එක් උපාය මාර්ගයකි. ලෝක ඇඟලුම් වෙළෙඳ පොළ සහ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය පිළිබඳව සංවාදයකදී අවධාරණය වූ කරුණක් නම් ලෝක ඇඟලුම් කර්මාන්තයට රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළුව ඇති අන්දමයි. වෙනත් වචනවලින් කිවහොත් හතරවන කාර්මික විප්ලවයේ අංගෝපාංග ඇඟලුම් කර්මාන්තයට එකතුවී නිෂ්පාදන ධාරිතාව උපරිම තලයට ගෙනයන බවයි.

ජුකී ඔපරේටර්වරු යනුවෙන් කටට හුරු මහන මැෂින් ක්‍රියාකරුවනගේ කටයුතු දැන් රොබෝවරුනට බාරදීම දක්නට ලැබේ. ඇඳුම් මහන රොබෝවරු වඩා ඉක්මනින් විශාල නිෂ්පාදනයකට දායකවෙති. මේ SEWBOTS රොබෝවරු ඇඟලුම් කර්මාන්තයට එක්වූයේ 2012 දීය. ඒ සඳහා පේටන්ට් බලපත්‍රද ලබාගෙන ඇත.

ඇඟලුම් අපනයනයට සම්බන්ධ බොහෝ රටවල් දැන් රොබෝ තාක්ෂණය පිහිට කොට ගනිති. චීනයේ TIANYVAN GARMENTS සමාගමය පිහිටා ඇත්තේ SUZIHON ප්‍රදේශයේය. ලෝක ප්‍රසිද්ධ අඩිඩාස් වර්ල්ඩ්වයිඩ් සමාගමයට ටී ෂර්ට් සපයන ඉහත කී චීන සමාගමය රොබෝවරුනගේ සහායයෙන් දිනකට නිෂ්පාදන ඒකක අටලක්ෂයක් නිපදවීමට සමත්ය.

ඇණවුම් සැපිරීමේ පහසුව සඳහා හෝන්ඩුරාස් මෙක්සිකෝ ආදි රටවලට දැන් අමරිකාවේ ඇඟලුම් ගලාඑයි. එහෙයින් දුරබැහැර රටවලට අපනයන අවස්ථා මඟහැරී යන බවට බියක් පවතී.

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනයෙන් සියයට 40ක් ඇඟලුම්ය. 2018 අපේ ඇඟලුම් අපනයනය ඇ. ඩොලර් දසලක්ෂ 5317කි. ඇඟලුම් අංශයේ ඍජු රැකියා ලක්ෂ 3ක් ද වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් ද සහිත නිසා රටේ සංවර්ධනයට මෙන්ම සමාජ සංවර්ධන කාර්යයේදී ද ඇඟලුම් කර්මාන්තය රැකගත යුතුව ඇත. එහෙත් එසේ කළ හැකිවන්නේ සෙසු රටවල් සමඟ ඉදිරියට යමිනි. එම රටවල් කාර්මික විප්ලවයේ හතරවන පියවරේ ගමන් කරනවිට අපට මන්දගාමී විය නොහැක.

තාක්ෂණ විප්ලවය

කාර්මික විප්ලවයේ පළමු පියවර වාෂ්ප බලයයි. දෙවන පියවර තෙල් හා විදුලි බලයයි. තෙවන පියවර, විකල්ප බලශක්තිය සහ පරිගණකයයි. සිව්වන පියවර රොබෝ සහ කෘත්‍රිම බුද්ධියයි. රොබෝ තාක්ෂණය දක්වා ගමන් කළ හැකි අධ්‍යාපන මාර්ගයක් සකස් කරදීම අවශ්‍ය බවද ඇතැම් සාකච්ඡාවන්හිදී කියැවිණි. අපට බොහෝ පසුපසින් සිටි ඉතියෝපියාව රොබෝ තාක්ෂණය කරා මඟ පෙන්වන විද්‍යා, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය යන විෂයයන්ගෙන් යුතු (STEM) අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින් සිටී. ඉතියෝපියාව උප සහරා කලාපය, ආක්‍රමණයට සූදානම් වන්නේ මෑතක සිටය. ශ්‍රී ලංකාවේ රොබෝ තාක්ෂණ හපන්කම් ROBOFETS 2019 තුළින් දැකගැනීමට පිළිවන. අන්තර් ජාතික කම්කරු සංවිධානය සිය WORKING PAPER NO 326 මගින් රෙදිපිළි, ඇඟලුම්, සම්භාණ්ඩ සහ පාවහන් කර්මාන්තයේ අනාගතය පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරයි. “තාක්ෂණ විප්ලවය” රැකියා අහිමියට හේතුවන බව එම සමීක්ෂණ වාර්තාවද සඳහන් කරයි.

ඩිජිටල්කරණය පිළිබඳව සමුළුවලදී විවිධ මත පළවේ. ඩිජිටල්කරණය නිසා රාජ්‍ය කටයුතු වඩාත් පහසුවූ බවද, රාජ්‍ය ආයතනයන්ගෙන් බලාපොරොත්තු වූ මහජන සේවාවන් වහා ඉටුකරදීමට රාජ්‍ය අංශයට හැකියාව ලැබුණු බවද ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර මහතා දිනමිණට ප්‍රකාශ කරයි.

සිසුන්ගේ සහ ගුරුවරුනගේ ඩිජිටල් සාක්ෂරතාව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තොරතුරු සාක්ෂරතාව, රජයේ සේවකයන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතය සහ සිසුනගේ තාර්කික විශ්ලේෂණ හැකියාව නැංවීම පිණිස මේ වනවිට වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කර ඇති බව ද ලේකම්වරයා කියයි.

ඩිජිටල්කරණය පිළිබඳ දැනුවත්භාවය වැඩිකිරීම සඳහා රූපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් ද ක්‍රියාත්මක කර ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ලංකා රාජ්‍ය ජාලය තුළ සිදුකළ වැඩසටහන්වලට අනුව 2018 වසර තුළ රාජ්‍ය ආයතන 860ක් ඩිජිටල්කරණයෙන් සම්බන්ධව තිබේ.

ව්‍යාපාරික සමුළුවලදී ඩිජිටල්කරණය පිළිබඳව අදහස් පළකිරීමේ සාධාරණත්වයක් තිබේ. ඩිජිටල්කරණය තුළින් අඩු පිරිවැයක් තුළින් ගනුදෙනු සිදුකර ගැනීමේ හැකියාවක් ලැබේ. එක කවුළුවකින් සියලු කටයුතු කර ගැනීමේ ක්‍රියාවලිය සහ ඩිජිටල්කරණය අතර ඍජු සබඳතාවක් තිබීමෙන් කාලය ඉතිරිවීමක් මෙන්ම අනවශ්‍ය ලිපි කඩදාසි හුවමාරුවක්ද නවතී.

ඉහත සඳහන් දේ පිළිබඳව කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු මගින් උදාහරණයක් සැපයීමට පිළිවන. කොටස් වෙළෙඳ පොළෙන් කොටස් මිලයට ගැන්මක් හෝ විකිණීමක් සිදු කළහොත් එම ගනුදෙනුව පිළිබඳ විස්තර ප්‍රකාශයක් එදිනට සවස්භාගය වනවිට විද්‍යුත් තැපෑලෙන් (ඊමේල් මගින්) ගනුදෙනුකරුවාට ලැබේ. මේ නිසා ලියුම්කවර මුද්දර නාස්තියක් සිදුනොවේ. ප්‍රශ්නය ඇත්තේ රටේ පරිගණක සාක්ෂරතාව අඩු මට්ටමක පැවතීමයි. එය සියයට 27 ක පමණ පහළ මට්ටමක පවති. එහෙයින් ව්‍යාපාරික කටයුතු වඩාත් කාර්යක්ෂම කර ගැනීමේ පහසුකම් ලබාගැනීමට මහජන උනන්දුවක්ද වර්ධනය විය යුතුය.

අපනයනය සහ ඩිජිටල්කරණය මෙන්ම කෘෂිකර්මාන්තයද වැදගත්ම අංශයකි. කෘෂිකර්මාන්තය අමතක කොට රට සංවර්ධනය කළ හැකිවන්නේ නැත. කොළඹ පැවැති වෘත්තිකයන්ගේ සම්මේලනයට සහභාගි වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා ප්‍රකාශ කෙළේ ඉදිරි අවුරුදු දහය තුළ කෘෂිකර්මාන්තයේ විශාල පෙරළියක් සිදුවන බවයි.

ඔහු පවසන අන්දමට ලොකුම ප්‍රශ්නය මිනිසාගේ ආහාර රටාව වෙනස්වීමයි. මේ නිසා ලෝක ධාන්‍ය ඉල්ලුම ඉහළ යයි. සත්ත්ව ආහාර සඳහා වන අවශ්‍යතා ඉහළ යෑම නිසාද ධාන්‍ය ඉල්ලුම ඉහළ යයි. අනාගතයේ මේ ගැටලුවට පිළියම් සොයාගත යුතුවේ.

කෘෂිකාර්මික නිෂ්පාදනයන් අතරින් සියයට 20 – 40 අතර ප්‍රමාණයක් පශ්චාත් අස්වනු හානියට පත්ව විනාශ වේ. මේ නිසා නව අන්දමකට කටයුතු කළ යුතුවේ.

අතීතයේ බටහිරට අයත්ව තිබුණු ආර්ථික බලය ක්‍රමයෙන් නැඟෙනහිරට අයත්වෙමින් තිබේ. ඉදිරි වසර 15 – 20 ක කාලය ඇතුළත ඉන්දියාව, චීනය, කොරියාව සහ ඉන්දුනීසියාව බලවත් ආර්ථික ශක්තින් බවට පත්වේ. අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයනට ලක්විය යුතුව තිබේ යැයි ද එම සමුළුවේදී කියැවිණි.

විදේශ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පාලිත කො‍හන මහතා ප්‍රකාශ කෙළේ අපේ අපනයනයන්ගෙන් සියයට 57ක් බටහිර රටවලට යන අතර සියයට 27ක් එක්සත් ජනපද වෙළෙඳ පොළට පිවිසෙන බවයි. මැදපෙරදිග තවත් වෙළෙඳ පොළක් යැයි කී කොහන මහතා මේ සියලු වෙළෙඳ පොළවල් තුලනය කර ගැනීමට අප පෙලඹිය යුතු යැයිද කීය.

අප්‍රිකාවේ වර්ධනය

අප්‍රිකාව ගැන සඳහන් කළ ඔහු කියා සිටියේ චීන ආයෝජන නිසා අප්‍රිකාව සියයට 6ක ආර්ථික වර්ධනයක් වාර්තා කරන බවයි. අප්‍රිකාව මේ වර්ධනය ලබාගන්නේ වසර 30කට පසුවයි. අපේ විදේශ ප්‍රතිපත්තියේදී ඉන්දියාව අමතක කළ නොහැකි යැයි ද, ඉන්දියානු සාගරයෙන් හිමිව ඇති වාසිය ශ්‍රී ලංකාව විසින් අත්කරගත යුතුව ඇතැයි ද කොහන මහතා තවදුරටත් ප්‍රකාශ කෙළේය.

ඉන්දියාවෙන් පැමිණි නියෝජිතවරියක් වූ දොස්තර වර්ෂා තර්වේදි මහත්මිය පවසා සිටියේ අනාගත ලෝකයේ ආහාර රටාව වෙනස්වන නමුත් සිරුරට අවශ්‍ය පෝෂණය ලබාදෙන ආහාර සඳහා අනාගතයේදී වඩාත් සැලකිලි දැක්විය යුතු බවයි.

එසේ නැත්නම් විකල්ප පෝෂණයන් සඳහා විශාල මුදලක් වැය කිරීමට සාමාන්‍ය ජනතාවට සිදුවනු ඇතැයි ද ඒ මහත්මිය පැවසුවාය. අනාගත ලෝකයේ සිදුවිය හැකි කෘෂිකාර්මික, ආර්ථික හා සාමාජික පෙරළි මේ විද්‍යාර්ථීන් අතින් මනාව ප්‍රකාශව ඇත.

පාලිත කොහන මහතා මේ සමුළුවේදී ප්‍රකාශ කෙළේ මේ කරුණු පිළිබඳව සිතා බලා කටයුතු කිරීමේ වගකීම පැවරෙන්නේ අනාගත ප්‍රතිපත්ති සකසන්නන්ට බවයි.

මෙවැනි සමුළු ගණනාවක් ඉකුත් සතියේ පැවැත්වුණ අතර ඉදිකිරීම්කරුවන්ගේ වාර්ෂික සමුළුවේදී ඉදිකිරීම් කර්මාන්තයේ අනාගතය පිළිබඳවද, වැවිලිකරුවන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවේදී වතු වගාවේ අනාගතය පිළිබඳවද කරුණු ඉස්මතු විය.

කොටස් වෙ‍ෙළඳපොළ

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉකුත් සිකුරාදා ගනුදෙනු අවසන් වූ සතියේ දෛනික පිරිවැටුම රුපියල් දසලක්ෂ 331 කි. එහෙත් සැප්තැම්බර් 20 වැනි සිකුරාදායින් අවසන් වූ සතියේ දෛනික පිරිවැටුප රුපියල් දසලක්ෂ 1410 කි. වර්ෂයකට පෙර රුපියල් දසලක්ෂ 417 කි.

පසුගිය සතියේ ගනුදෙනු අවසන් වනවිට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 5771කි. ඊට පෙර සතියේ දර්ශකය 5793 ක්ව තිබූ නිසා ඒකක 22ක අඩුවීමක් දක්නට ලැබුණි.

දේශපාලන උණුසුම මැද කොටස්වෙළෙඳ පොළ සමාන්තර ස්වභාවයක් දක්නට ලැබෙන බවත් එජාප ජනපති අපේක්ෂකයා නම් කිරීම ආයෝජක සිත් තුළට සැනසිල්ලක් ගෙනදුන් බවත් බ්‍රොකර් වාර්තා විශ්ලේෂණ කියයි.

සැප්තැම්බර් 24 – 25 පැවැත්වූ තේ වෙ‍න්දේසියට කිලෝ දසලක්ෂ 6.6 ක් ඉදිරිපත් විය.

අයහපත් කාලගුණය තේ වගාවට අහිතකර අන්දමින් බලපෑම්කර ඇතැයි බ්‍රොකර් වාර්තා කියයි. එසේම කළුතර, ගාල්ල සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිසා තේ නිෂ්පාදනයේ අඩුවක් ඉදිරියේදී ද වාර්තා වනු ඇතැයි තවත් වාර්තාවක් කියයි.

සෑම වගා දිස්ත්‍රික්කයකම සේවක පැමිණීම් අඩුවීම අස්වනු නෙළීමට බාධාව ඇත. රුසියාව සහ ජපානය වෙන්දේසියේදී සක්‍රීය ගැනුම්කරුවෝ වූහ.

මේ අතර ජූලි අපනයනය සියයට 7 ක පසුබෑමක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. එසේම සීනි මිල ඉහළ ගොස් තිරිඟු මිල පහත වැටුණු බවද එම වාර්තාව කියයි.

(Dinamina)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website