Wednesday, 02 October 2019 08:23

කපුවන් නැති ගලේ දේවාලය

දේවාලයට කපුවාත්, කපුවා දේවාලයටත් බෙහෙවින් සමීපය. කපුවකු නැති දේවාලයක් නැතැයි ඇතැමෙකුට සිතෙන්නටද ඉඩ තිබේ. එහෙත් ලක්ෂ ගණනින් ජනයා යන එන කපුවන් නැති දේවාලයක් ගැන අපට තොරතුරු දැනගන්නට ලැබුණි. සතියේ සාමාන්‍ය දිනවල පන්දහසක් පමණ පිරිසක්ද, අඟහරුවාදා, බදාදා දිනවල එමෙන් දෙතුන් ගුණයක්ද සෙනසුරාදා දිනයේ පනස් දහසක් පමණ බැතිමතුන් පිරිසක්ද මෙම දෙවොල වැඳ පුදා ගන්නට පැමිණෙති. මෙම පිරිසද දෙගුණයක් වන්නේ මාසයේ අවසන් සෙනසුරාදා පැවැත්වෙන විශේෂ දේව පූජාවදාටය.

වසර දහයක පහළොවක සිට මෙසේ ජනප්‍රියත්වයට පත්වෙමින් ඇති මෙම දේවාලය පිහිටා ඇත්තේ ගම්පහ මිනුවන්ගොඩ වෑගොව්ව ගමේ ගල්තලාවක් මතය. මේ නිසාම එය ‘ගලේ දේවාලය’ යැයි නම් ලැබ තිබේ. මෙහි ඇතැයි කියන හාස්කම් පිළිබඳවත් ඒ ගැන තවත් තොරතුරුත් සොයා පසුගිය දිනක බදාදා අපි එහි ගියෙමු.

වෑගොව්ව ගමේ පුරන් වූ වෙල් යායක් මැද පිහිටි ගල් තලාව මත වූ මෙම දෙවොල ආශ්‍රිත ස්වාභාවික පරිසරය එහි ඉදිකිරීම් සහ මග දෙපස ඉදිවී ඇති සිය ගණනක් වූ වෙළෙඳසල් නිසා මුළුමනින් ආවරණය වී තිබිණි .මල්, පහන්, හඳුන්කූරු, මල් මාලා , පලතුරු පූජා වට්ටිවල සිට ආහාරපාන, ළමා ඇඳුම් පැලඳුම්, සෙල්ලම් බඩු, ලොතරැයි පත්, ජංගම දුරකථන කාඩ් සේම විසිතුරු මල්ද අලෙවි කිරීම පිණිස වූ අලෙවිහල් ඒ මොහොතේද තරමක් ජනාකීර්ණව පැවැතීම මත ඒ දොවොලෙහි ජනප්‍රියත්වය පිළිබඳ මූලික අනුමානයක් ඇති කර ගැනීමට මට හැකිවිය.

දෙවොලට පිවිසෙන තැනට නුදුරින් ආරක්ෂක කුටියක් වූ අතර ඊට ඇතුළු වන දොරටුව අබියස පෞද්ගලික ආරක්ෂක භටයකු එහි පිවිසෙන්නවුන්ගේ ගමන්මලු පරීක්ෂා කරමින් සිටි අතර ඒ අද්දර තිබූ බැනරයක්ද එසැණින් මගේ නෙත ගැටුණි.
‘‘ආරක්ෂක හේතූන් මත වන්දනාමාන කටයුතු හැකි ඉක්මනින් නිමකර දේවාල භූමියෙන් පිටව යන ලෙස කාරුණිකව දන්වා සිටිමු – සිදුහත් සමිතිය ගලේ දේවාලය’’ යනුවෙන් එහි දක්වා තිබුණි.

මරණ බිය ඇතුළු අනේකවිධ බියජනක තත්ත්වයන් ඇතුළු දුක් දොම්නස් දුරුකර ගැනීම පිණිස දෙවියන් හමුවට පැමිණෙන බැතිමතුන්ට වුව හැකි ඉක්මනින් දේවාලයෙන් පිටවන ලෙස සිදුහත් සමිතිය යන නමින් දැනුම් දීමක් කර තිබිණි.
‘‘තදබදය මගහරවා ගැනීම සඳහා පිටවීම වම්පසින්’’ යනුවෙන් කාටත් පෙනෙන සේ සවිකළ දැන්වීම් පුවරුවක්ද ඒ අසල තිබිණ. මෙය කොතරම් ජනාකීර්ණ පුදබිමක්ද යන්නට එයද කදිම සාක්ෂියක් විණි.

‘‘මම ආවේ සතිඅග අරුණ පත්තරෙන්. මේ දේවාලේ ගැන විස්තර ටිකක් දැනගන්න, මම කාවද ඒකට හම්බුවෙන්න ඕනේ’’ එම දෙවොල් බිමේ කාර්යාලය අද්දර සිටි මැදිවියේ අයකුගෙන් මම ඇසීමි.

‘‘මේ දේවාලෙ ගැන මාධ්‍යවලට තොරතුරු දෙන්නේ නැහැනේ’’
එහෙත් එම දෙවොලට පිවිසෙන තැනම සවිකොට තිබූ පුවරුවක එම දේවාලය පිළිබඳ මාධ්‍ය අනාවරණයක් කිරීමට පෙර සිදුහත් සමිතියෙන් අවසර ගන්නා ලෙස සටහන්ව තිබූ අතර ඔවුන්ගේ ජංගම දුරකථන අංකද ඒ සමග තිබිණ.
‘‘ඒක පරණ දැන්වීමක්. දැන් මාධ්‍යයට අවසර දෙන්නේම නැහැ’’ මා එම දැන්වීම පිළිබඳව විමසූ පසු ඔහු කීවේ තම ස්වරය මඳක් උච්ච කරමිනි.

‘‘මේක ජනප්‍රිය කළේ මාධ්‍යවලින් නෙවෙයි. ඒ හින්දා ඉතුරු ටිකත් අපිම බලාගන්නම්. ඒ හින්දා මහත්තයා යන්න’’ ඒ සමගම ඔහු පවසන ලද්දේ මා සම්බන්ධ තියුණු නොරිස්සුමකිනැයි මට සිතිණ. එහෙත් ඊට හේතු කවරේදැයි මට වැටහුණේ නැත.

මෙම ගලේ දේවාලය සූනියම් දෙවියන් උදෙසා කැප කරන ලද්දකි. යක්ෂ ගණයට අයත් මෙම දෙවියා ඔඩ්ඩිස යනුවෙන්ද හැඳින්වෙයි. ඒ කෙසේ හෝ ඔහු එලෙසින් මා ප්‍රතික්ෂේප කළා මිස එහි දෙවියන්ගේ ස්වරූපය ගෙන ප්‍රකෝපකාරී ලෙස නොහැසුරුණු බව නම් විශේෂයෙන් මෙහිදී කිව යුතුය.

මෙම ගලේ දේවාලයේ ජනප්‍රියත්වය මීට වසර දහයක පමණ සිට ඇරඹුණද මීට වසර විස්සකට පෙර සිට මෙම ස්ථානය පිළිබඳ යම් දැනුමක් අවබෝධයක් මා තුළද තිබේ. ඒ ක්‍රිස්තු වර්ෂ පසළොස්වන සියවසත් දහසය වන සියවත් අතර කෝට්ටේ යුගයේ උඩුගම්පොළ රජකම් කළ සකල කලා වල්ලභ රජු පිළිබඳ ජනප්‍රවාද සෙවීම පිණිස එම ප්‍රදේශයේ සංචාරය කිරීමත් සමගිනි. සියලු සටන් කලාවන් හි කෙළ පැමිණි යන අරුතින් සකල කලා වල්ලභ නමින් කෝට්ටේ රාජධානි සමයේ උඩුගම්පොළ උප රාජධානියේ රජ කළ එම රජු පිළිබඳවත් ඔහුගේ රණශූරත්වය පිළිබඳවත් අලකේශ්වර යුද්ධය, රාජාවලිය වැනි පැරණි දේශීය මූලාශ්‍රවල සේම වැලන්ටයින් ආදී අපරදිග ඉතිහාසඥයන් ගේ මූලාශ්‍රවලද සඳහන් වේ.

රජක කුල බිසවක හා විවාහ වී සිටි රජතුමාට දාව එම බිසවගේ කුසින් උපන් කුමරෙකු රජතුමා ඝාතනය කොට රජකම ලබා ගැනීම පිණිස රජු දිය නාන මඟුල් පොකුණේ දිය යට උල් සිටවූ ප්‍රවෘත්තිය දේව කන්නලව් යාදිනිවල සේම මෑත කාලීන සාහිත්‍ය කෘතීන් කිහිපයකද අඩංගුය. පසුව එම කුමන්ත්‍රණය සකල කලා වල්ලභ රජතුමන්ට දැන ගැනීමට ලැබීමෙන් පසු රාජ උදහසට බියෙන් වීරා නම් තම සගයකුද සමග සිරිපා සමයේ කුණුදිය පර්වතයට පලා ගිය කුමරා එහි දුෂ්කර ජීවිතයට මුහුණදීමට නොහැකිව තම සගයාද සමග ඉන් පැන දිවි තොර කර ගත් පුවතද එම කන්නලව් යාදිනි ඇසුරින් මෑතකාලීන සාහිත්‍යට එක්ව තිබේ. ඉන්පසුව උඩුගම්පොළ කළු කුමාර නමින් දේවත්වයට පත් ඔහු යක්ෂ සම්භවයේ දෙවියකු ලෙස අදද සියනෑ, හාපිටිගම්, අළුත්කුරු කෝරලවල පිදුම් ලබයි. ඒ වී ඇට තැලීම, යකුන් පිදුම හා යක් මඩුව යන ශාන්ති කර්මවලදීය.
රණශූරයකු සේම දක්ෂ වාරි ඉංජිනේරුවකු ද වන සකල කලා වල්ලභ රජු දිය නෑ මඟුල් පොකුණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිසංස්කරණය කරන ලදුව ගම්පහ, උඩුගම්පොළ ආදාහනාගාරය අද්දර අදත් දක්නට ලැබේ. ඒ සම්බන්ධ ගවේෂණ සහ ප්‍රතිසංස්කරණ කටයුතු භාරව කටයුතු කළ හිටපු පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා පවසන අන්දමට අප රටේ පමණක් නොව සමස්ත දකුණු ආසියාවේම ඇති සුවිසල්ම රාජකීය පොකුණ ද එය වෙයි. ඒ අනුව සකල කලා වල්ලභ රජුගේ රාජකීය ප්‍රතාපය සහ වාරි තාක්ෂණික හැකියාව කෙතරම්දැයි අපට සිතාගත හැකිය.

කෙසේ හෝ තම පුතුගේ මරණින් පසු රජතුමා භින්න මානසිකත්වයකින් පසුවන අතරේ ඇදහැළුණු මහා වර්ෂාවකින් ඔහු අත්තනගලු ඔයේ ශාඛාවක් හරස් කොට බැඳ තිබූ සුවිසල් වැවේ වාන කැඩී මහා විනාශයක් සිදුව තිබේ. මෙහිදී රජතුමාට උපදෙස් දුන් දෛවඥයන් ඇමැතියන් ගේ මගපෙන්වීම යටතේ කුමන්ත්‍රණකාරී ලෙස පවසා ඇත්තේ රජතුමාගේ රජක කුල බිසව එම වාන සිඳුණු තැනින් ජල කඳට බිලිදෙන තුරු එම මහා විනාශය නොනවතින බව ය. කෙසේ හෝ තම රාජධානිය සහ වැසියන් රැක ගැනීම පිණිස තම බිසව එසේ එම ජල කඳට බිලි කළ රජතුමා පසුව ඒ මුල් කොට හටගත් සිත් තැවුල දරාගත නොහැකිව එම ස්ථානයේම දියකඳට පැන දිවි නසා ගත් බව ජනකතා සාහිත්‍යයට ඇතුළත්ව තිබේ.

රජතුමා එසේ වේල්ල හෙවත් වාන ඉදිකළ ප්‍රදේශය වාන ඉදිකළ යන අරුතින් කලවාන යනුවෙන් අදටත් හැඳින්වෙන අතර එම වාන බිඳී ගිය හෙවත් අස් වූ ස්ථානය අද හැඳින්වෙනුයේ අස්වාන යන නමිනි. එමෙන්ම එලෙස මියගිය සකල කලා වල්ලභ රජතුමා ඉන්පසු අස්වානේ දෙවියන් වශයෙන් දේවත්වයට පත්වන ලදුව එම අස්වානේ දෙවියන් සඳහා කැපවූ එකම දේවාලය මිනුවන්ගොඩ මාතම්මන, අස්වානේ ශ්‍රී රාජසුන්දරාරාම විහාර භූමියේ පිහිටා තිබේ. නමුදු අස්වානේ දෙවියන් කළු කුමාර දෙවියන් තරම් ජනප්‍රිය නැත.

එක්දහස් නවසිය අනූවේ දශකයේ මෙම ඓතිහාසික පුරාවෘත්ත ලුහුබැඳ ගිය මා හට එවක එම ප්‍රදේශවල සිටි වයෝවෘද්ධ පිරිස් වෙතින් සකල කලා වල්ලභ රජු පිළිබඳ තවත් අප්‍රකට ජන ප්‍රවාද කිහිපයක් දැනගන්නට හැකිවිය. රජතුමා තම සෙබළුන්ට හෙවත් යෝධයන්ට රා බෙදා දුන් ස්ථානය අදත් ‘රාවල’ නමින් හැඳින්වෙන බවත් රජතුමා අසුපිටින් පැමිණ වැවත් කුඹුරු යායත් පරීක්ෂා කළ ප්‍රදේශය වෑගොව්ව ලෙසත් රජු විනෝදයට වාඩිලා ගෙන සිටි ගල්පොත්ත සහිත වෙල්යාය ගලේවෙල නමින් හැඳින්වෙන බවත් මට එවක දැනගන්නට හැකිවිය. එමෙන්ම එම ස්ථාන සියනෑ කෝරලයෙන් අපට රටට දායාද වූ විශිෂ්ටතම කලාකරු දෙපලක් වන මහගම සූරීන්ගේත් දයානන්ද ගුණවර්ධනයන්ගේත් නිරීක්ෂණයට ලක්වූ බවද එම වැඩිහිටියෝ කීහ.

ඔවුන්ගේ එම ප්‍රකාශය සත්‍යයක් ලෙස මනාව තහවුරු කරගත හැක්කේ එම ගවේෂණ අසුරින් ‘‘සකල කලා වල්ලභ; උඩුගම්පොළ රජතුමා’’ යන නමින් දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් 1969 කෘතියක් සම්පාදනය කිරීමෙනි.
කෙසේ හෝ අනූව දශකයේ එම පුරාවෘත්තයට සම්බන්ධ ගල්පොත්ත සොයා ගැනීමට පවා දුෂ්කර වූ අතර ඒ වනවිට වල්බිහිවී තිබූ එය මැද පිහිටි කිරිනුග වෘක්ෂය මට හොඳින් මතකය.

එම සිද්ධියෙන් පසු මා මීට වසර නවයකට පමණ පෙර නැවත එහි යනවිට වත්මන් ගලේ දේවාලය තැනී එය ශීඝ්‍රයෙන් දියුණුවෙමින් පැවතිණ. එවිට මා අපේක්ෂා කරන ලද්​දේ එම ගල්පොත්ත සමග පවත්නා අතීත පුරාවෘත්තමය සබැඳියාව මත එහි අස්වානේ ​දෙවියන් සඳහා වන දේවාලයක් ස්ථාපිත වී ඇති බවකි.

නමුදු ඒ වන විට එම දේවාලය තැනීමේ කටයුතුවලදී පුරෝගාමීත්වය ගෙන සිටි ‘වික්ටර්’ නමැති මහතකු පැවසුවේ, ඒ වන විට එය සූනියම් දේවාලයක් ලෙස ස්ථාපිත වන බවයි. ඉතා ප්‍රසන්න නිවුණු ගති පැවතුම්වලින් යුතු සහ ආචාර විචාරශීලී කතා බහකින් යුතු ඔහු ගුරුවරයකු යැයි මා අනුමාන කළද ඔහු සිනාසෙමින් කියා සිටියේ තමන් පොළවල්වල එළවළු අලෙවි කරන සාමාන්‍ය සංචාරක වෙළෙන්දෙක් බවය.

කලින් දුම්කොළ වෙළෙඳාමේ යෙදුණද දුම්කොළ යනු මිනිසුන්ට අහිතකර මත්ද්‍රව්‍යයක් නිසා එය අතහැර තමන් දැහැමි එළවළු වෙළෙඳාමට පිවිසි බව කී ඔහු දැන් මෙම දේවාලය සූනියම් දෙවියන්ගෙන් අස්වානේ දෙවියන්ට පැවරීමේ ක්‍රමයක් නොමැති බව ද කීය. ඒ කෙසේ හෝ එම දෙවිවරුන් දෙදෙනාම අශ්වයා වාහනය කරගත් නිසා එහි එතරම් ගැටලුවක් නොමැති බවද ඔහුගේ සිත නොරිදෙනු පිණිස මම අවසානයේ කීවෙමි. යළිත් මම මාස කිහිපයකට පසු පසුගිය සතිඅන්තියේ පෙරවරුවක එහි ගියෙමි.

එවිටද එහි සැලකිය යුතු ජනතාවක් රැස්ව සිටි අතර දේවාලයට පිවිසෙන දොරටුවේ පෙර සේම ආරක්ෂක නිලධාරියකු ඊට පිවිසෙන්නවුන්ගේ ගමන්මලු පරීක්ෂා කරමින් හිඳිනු පෙනිණ. ඔහු සමීපයේ සිදුහත් සමිතිය ගලේ දේවාලය යන සඳහන සහිත සුදු ටීෂර්ට් එකකින් සැරසුණු තරුණයෙක් විය. මම ඔහුගෙන් වික්ටර් ගැන ඇසුවෙමි. වික්ටර් කලකට ඉහත මියගිය බව මා දැනගත්තේ එවිටය. අනතුරුව ඔහු මගේ ප්‍රශ්නවලටද පිළිතුරු දුන්නේය.

ඔහු කී අන්දමට එම ගලේ දේවාලයේ කටයුතු කපුවන්ට භාර නොදීමට එය පාලනය කරන සිදුහත් සමිතිය තීරණය කොට ඇත්තේ කපුවන් අතින් නොයෙකුත් හොර මැර වංචා දූෂණ සිදුවන බැවිනි. ඒ අනුව කපුවන්ගේ එම සොරකම් නතර කිරීමට දෙවියන්ටවත් නොහැකි බව සිදුහත් සමිතියද අනියමින් හෝ පිළිගෙන තිබේ. මීට පෙර දේව පූජාවන් සඳහා ජනකාන්ත පුදබිමක්ව පැවැති බොරලැස්ගමුවේ පිල්ලෑව බෝධියේ දේවාල සඳහා අවසානයේ දවස් කුලියට පවා වැඩට ගත් කපුවන් එහි භාරකරුවන්ගේ සේම දෙවියන්ගේ ‘දේවකන්නලව්වට’ රහසින් රුපියල් ලක්ෂ ගණන් පිල්ලි ගැසූ බවට තොරතුරු එහි භාරකරුවන් වෙතින්ම එවක මට ලැබී තිබේ.

එමෙන්ම උත්සව මාසයේ කතරගම රුහුණු මහා දේවාලයේ රාජකාරි කටයුතු සම්බන්ධයෙන් එහි කපුවකු දෙදෙනකු හිටපු බස්නායක නිලමේවරයා සමග ඇතිකරගත් හබයක ප්‍රතිඵලයක් වූයේ නිලමේවරයාගේ පාර්ශ්වයේ දෙදෙනකු රෝහල්ගත වනතුරුම කපුවන්ගේ ගුටිබැටවලට ලක්වීමය. එමෙන්ම කතරගම කිරිවෙහෙරේ නාහිමියන් ‘‘අපවත් කරනු’’ පිණිස වෙඩි උණ්ඩ පූජාවක් කරනු ලැබුවේද එහි දේවාලයේ කපුවකුගේ පාර්ශ්වයෙනි. එහෙත් ඉන් අනූනවයෙන් දිවි ගලවා ගැනීමට උන්වහන්සේ සමත් වූහ.

මෙවන් පසුබිමක් යටතේ දේවාල කළමනාකාරීත්වයට පමණක් නොව දෙවිවරුන්ට පවා බැතිමතුන් ගසන පොල් වෙනුවට එලොව පොල් පෙන්වමින් මහා පරිමාණ වශයෙන් මුදල් ගසාකන කපුවන්ගෙන් බැතිමතුන් සේම දෙවියන්ද බේරා ගැනීම සම්බන්ධයෙන් මිනුවන්ගොඩ ගලේ දේවාලය පාලනය කරන සිදුහත් සමිතිය කටයුතු කිරීම ඉතා වැදගත්ය.
එමෙන්ම එම දේවාලය වෙනුවෙන් තම සමිතිය වෙත ලැබෙන මුදල් හැරුණු කොට වෙනත් පුදබිම්වල මෙන් බැතිමතුන් සූරාකෑමක් සිදුනොකිරීම සම්බන්ධයෙන්ද ඔවුනට අපගේ ස්තූතිය පුද කළ යුතුය.

නමුදු සකල කලා වල්ලභ හෙවත් අස්වානේ දෙවියන්ට උරුම තැනක් ලෙසට ජනප්‍රවාද ඇතුළු මානව විද්‍යාත්මක සාක්ෂි මගින් මනාව තහවුරු කළ හැකි පුදබිමක එම බිම්කඩ සඳහා සනාථ කළ හැකි කිසිම හිමිකමක් නැති හූනියම් දෙවියා හෝ යකා රඳවා තබා ගැනීම තවමත් ගැටලුවකි.

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website