Saturday, 05 October 2019 10:51

කාන්තා සිත වසඟ කරන "පිරිමි මායම්" වංචාවක් ද ?

"අලුත් ටෙලිනාට්‍යයකට ගැලපෙනම මුහුණක් මට තියනවා කිව්වා. ඇත්තටම සතුටක් දැනුණා චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් එහෙම කිව්වම. පසුව මට තිර පරීක්ෂණයකට එන්න කිව්වා ඇතුල් කෝට්ටේ තැනකට. එදා ඔහුම කැමරාවකුත් අරන් ඇවිත් මගේ ඡායාරුප ගන්න පටන්ගත්තා. එක්වරම ඔහු රස්නෙයි කියලා ඇඳගෙන හිටපු ටී ෂර්ට් එක ගැලෙව්වා. ටික වෙලාවකින් තමන් ඇඳ සිටි ඩෙනිම් කලිසමත් ගලවලා ගොඩක් කොට කලිසමක් ඇඳන් ආව. මට දැනුණා ඔහු ඔහුගේ වර්ධනය කරගත් මස් පිඩු මට පෙන්වන්න උත්සාහ කරනවා කියලා. අනවශ්‍ය සමීප වීමක් ඔහුට අවශ්‍ය බවත් තේරුණා. ඔහු සිතුවා ඔහු පිළිබඳව සමාජයේ තිබෙන ආකර්ෂණය නිසා මම ඕන දෙයකට කැමති වෙයි කියා. නමුත් මගෙන් ඊට එකඟතාවක් නැති තැන ඔහු තමන්ගේ උත්සාහය අත්හැරියා. අද වෙනකම් ඒ කියපු චිත්‍රපටිය කෙරුණේ නෑ"

ශ්‍රී ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සේම නළුවකු ද වන අයෙක් තමන් හමුවේ පළ කළ හැසිරීම නම හෙළි කිරීමට අකමැති නවක ටෙලිනාට්‍ය නිළියක් බීබීසී සිංහල සේවයට එළෙස විග්‍රහ කළාය.

සිය හැඩි දැඩි සිරුර සහ සමාජය තුළ කලාකරුවෙකු කෙරේ පවතින පිළිගැනීම උපයෝගී කරගනිමින් ඔහු තමන් අවනත කරගැනීමට උත්සාහ කළ බව එම තරුණිය කියා සිටියාය.

කාන්තාවකට ස්වභාවයෙන්ම පිරිමියා ආකර්ෂණය කරගැනීමේ හැකියාවක් පවතින බවට සමාජයේ මුල් බැසගෙන තිබෙන්නේ අතීතයේ සිට කියවෙන "මායම්" 64 ක් අනුසාරයෙනි.

වර්තමානය වන විට එය විවාදයට තුඩු දෙන්නක් වී ඇති පසුබිමක පිරිමි පිරිමියා කාන්තාවක ගේ ආකර්ෂණය දිනා ගැනීම සඳහා කෙබඳු පියවරට අවතීර්ණ වන්නේද යන්න සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීම වටී.

ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොතට අනුව "පිරිමි මායම්" වැන්නක් සම්බන්ධයෙන් ඉතිහාසය තුළ සුමටව අර්ථදක්වා නැත.

නමුත් ගෝති‍්‍රක යුගවල සිට පිරිමියා සිය බලය පතුරවමින් කාන්තා සිත උද්දීපනය කිරීමට දැඩි ගිජු කමක් දැක්වූ බව පැහැදිළි වන බවද ඔහු පෙන්වා දෙන්නේය.

"පිරිමි මායම් යන වචනය ඉතිහාසයේ භාවිත නොකෙරුනත් සූසැටක් වූ කලා ශිල්ප ප්‍රගුණ කිරීම පෙර ශිෂ්ටාචාරවල පැවතුණා. පිරිමියාගේ ශක්තිය උරගා බැලුණා. වේද ග්‍රන්ථවල පවා මේවා සඳහන් වෙනවා. දැන් බුද්ධ දර්ශනයේ පවා සිදුහත් කුමාරයට යසෝදරාව ඉදිරියේ ශිල්ප දක්වන්න සිදුවුණා ඇගේ සිත දිනාගැනීමට. තමන් ශක්තිමත් පුරුෂයෙක් කියන දේ පෙන්වා දුන්නේ. මේක කාන්තා සිරුරේ ලාලිත්‍යය ඇසුරින් වර්ග කෙරුණා වගේ මායම් ප්‍රමාණයක් නොවේ" ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත පෙන්වා දෙයි.

ගැමි ක්‍රීඩා බොහොමයකදී කාන්තාව "පුරුෂ ශක්තිය" දැක්කා. ඒකට කිව්වේ "බාහු බලය" බලනවා කියලා. අද වගේ ජිම් ගිහිං ඇඟ හදාගත් තරුණයෝ හිටියේ නැහැ
මහින්ද කුමාර දළුපොත, ජනශ්‍රැති පර්යේෂක
ගොවි සමාජයේ පිරිමියා කාන්තා සිත දිනා ගත් හැටි

"ගේ ඇතුළේ හැදෙන කැකුළු මල් කල වයස ආවම එළි බහිනවා. ඒත් කලාතුරකින්. බක් මහ සැණකෙළිය තමයි හොඳම අවස්ථාව තරුණ තරුණි දෙපාර්ශ්වයටම. බක් මහේ අවුරුදු ක්‍රීඩා බොහොමයක් පිරිමියාගේ කාය ශක්තිය පිළිඹිබු කරන ඒවා. අංකෙළිය, පොරපොල් , කොට්ටාපොර ක්‍රීඩා ඒ අතර ප්‍රධානයි. පුරුෂ ශක්තිය කාන්තාව දැක්කා. අපි එකට කියන්නේ "බාහු බලය" බලනවා කියලා තරුණයින්ගේ. ගොවිතැන් බත් කරන්න අම්බරුවෝ හේ කරන්න බාහු ශක්තිය අවශ්‍යයි. ගැමි ලියගේ හිත ඇදුනේ ඒකට. අදවගේ ජිම් ගිහින් ඇඟ හදාගත්ත තරුණයෝ එදා හිටියේ නෑ" ඔහු පැහැදිළි කරයි.

එලෙස පිරිමියාට ආකර්ෂණය වූ තරුණ කාන්තා සිත වැඩිහිටි පරම්පරාවේ අනුදැනුම මත පසුව අවාහ විවාහ චාරිත්‍ර කෙරෙහි යොමු කෙරිණ.

ශක්තිය මත පදනම් වූ පුරුෂයාගේ ආකර්ෂණය යටත් විජිත සමයේ ක්‍රමිකව වෙනස් වූ බව ද ඔහු පවසන්නේය. පිරිමියාගේ බාහිර පෙනුම මෙන්ම රැකියාව එහිදී මූලිකත්වය ගෙන තිබිණ.

"සුදු ඒජන්තවරු සමග හරි හරියට ඉංග්‍රීසි බස හසුරවන, ජාතික ඇඳුම වෙනුවට ටයි කෝට් පළඳින සමාජයක් බිහිවුණා. කාන්තාවන්ගේ සිත විනෝදකාමී පිරිමින් කෙරෙහි යොමු වුණා. 60 දශකයෙන් පසු ඉහළ පන්තියේ ධනවත් පිරිසක් රටේ බිහිවුණා. ඒ සමාජය ඇසුරු කළ කාන්තාව ඒ සමාජය ඇසුරු කළ පිරිමියාට ආකර්ෂණය වුණේ වත්කමට සහ බලයට. ලිංගිකත්වය කියන දේ ක්‍රමිකව සමාජය තුළ සාමාන්‍ය දෙයක් බවට පත්වෙන්න ගත්තා. දේශීය දේ අගය නොකරන පිටරට සබන් පවුඩර් සුවඳ විළවුන් පාවිච්චිකරන , පිටරට නළුවෝ විදිහට කොන්ඩේ පීරන සහ ඇඳුම් ආයිත්තම් දරණ පිරිමියාට කාන්තා සිත ඇදී ගියා"

ඉතිහාසයේ "පිරිමි උපක්‍රම " වර්ගීකරණය වූ හැටි

යටත් විජිත සමයෙන් පසුව 50 දශකයේ සිට අසූව දශකය දක්වා ගැහැණු සිත ආකර්ෂණය කිරීමට පිරිමියා දැරූ යම් යම් උත්සාහ පිළිබඳව ජනශ්‍රැති පර්යේෂකවරයා කරුණු දක්වයි.

ආඩම්බර ගතියක් පෙන්වීම
උඩු තොල පෙරළා යටි තොල පෙන්වීම
ස්ත්‍රීන්ගේ කකුල් පෑගීම
ස්ත්‍රීන්ට පෙනෙන්නට යහළුවන් සමග වැඩිපුර විහිළු කිරීම
ස්ත්‍රීන් දෙස අනුරාගයෙන් බැලීම
වෙනත් යුවතියන් සම්බන්ධයෙන් තමන් කැමති ස්ත්‍රිය සමග අගය කිරීම
අහි බැම හකුළුවා බැලීම
තම හිස කේ පිරිමැදීම
ඇඳ ඇති අභරණ සෙලවීම
සිරුර ඇඹරීම
තම අදහස් වහෙන් ඔරෝ කීම
ස්ත්‍රියට පෙනෙන්නට දරු සුරතල් කිරීම
ස්ත්‍රියට ඇසෙන්නට මිතුරා සමග දෙපිට කැපෙන වචන කීම
ස්ත්‍රියට ඇසෙන්නට කාම වාද කිරීම
ඇස් ගැසීම
කැමති ස්ත්‍රියට සැළකිල්ලක් නැති බව ඇයට ඇඟවීම
ස්ත්‍රියට පෙනෙන්නට බලු සුරතලය
තමා වගකීම් දරණ පුද්ගලයෙක් බව ඒත්තු ගැන්වීම
ප්‍රශ්ණ දරාගැනීමට හැකි අයෙක් බව පෙන්වීම
පපුවේ රෝම නිරාවරණය කර ඇඳුම් ඇඳීම
විනිවිද පෙනෙන කමිසයක උඩ සාක්කුවේ මුදල් නෝට්ටු තබා යෑම
ගීත ගායනා කිරීම
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඇතැම් පළකිරීම්වල "පිරිමි මායම්" සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් යම් අර්ථ නිරූපණ දී ඇති අයුරු දැකිය හැකිය. ඇතැම් පළකිරීම්වල කතෘ අඥාත ය.

එතුළින් වර්තමාන තරුණයා තරුණිය ආකර්ෂණය කිරීමට උත්සාහ දරන අන්දම විග්‍රහ කෙරේ.

ආකර්ශනීය facebook ඡායාරුප
ආකර්ශනීය whatsapp status දැමීම
ආකර්ශනීය instagram ඡායාරුප
ප්‍රසිද්ධ පුද්ගලයින් සමග හැසිරෙන බව පෙන්වීම
විමුක්තිකාමී / එඩිතර ගති පෙන්වීම
රැඩිකල් ගතියක් පෙන්වීම
චුවින්ගම් සැපීම
කාය වර්ධනය
කරාබු දැමීම
කොණ්ඩය / රැවුල අක්‍රමවත්ව වැවීම
පච්ච කෙටීම
යට ඇඳුමේ වාටිය පෙනෙන සේ කලිසම් ඇඳීම
ස්ත්‍රියගේ ඇඟේ හැප්පීම
වටිනා ජංගම දුරකථන භාවිතය
වටිනා මෝටර්රථ භාවිතය
බොරු වත්පොහොසත්කම පෙන්වීම
මෝටර්රථ යතුරක් කරකවමින් ඇවිදීම
හිර කමිස ඇඳීම
Headset කනේ ගසාගෙන යාම
Alice band දැමීම
ඇහිබැම සකස් කිරීම
සමාජ මාධ්‍ය තුළ වීර අදහස් පළකිරීම
බොරු අහිංසකකමක් පෙන්වීම
ඉංග්‍රීසි වචන දමමින් කතා කිරීම
ලොකු පසුම්බි භාවිත කිරීම
ඉතා කොට කලිසම් ඇඳ නිරාවරණ වූ දෙපා පෙන්වීම
දෙපා විහිදාගෙන සිටීම
මේ කිසිදු දෙයක් අතීත ජන සමාජයේ සිට අද දක්වා වර්ගීකරණයකට ලක්ව පැමිණි මාතෘකා නොවන බව ප්‍රකට දේශකයකු මෙන්ම ගේය පද රචකයකු වන නාරද විජේසුරිය පෙන්වා දෙයි .

"මම හිතන්නේ කාන්තාව මායම් වලට කොටු කරන්නේ යම් ද්වේශ සහගත අය. මොකද කාන්තා සිරුරේ ලක්ෂණ තමයි මායම් බහුතරය. නමුත් පිරිමියා මායම් දක්වනවා ආදරය ප්‍රකාශ කිරීම වගේ දේකදී. ආදර සම්බන්ධයක් ඇතුළේ කොච්චර අවස්ථාවක් පිරිමියා ඒක නවත්වන්න උත්සහ කරනවද? තමන්ගේ පෙම්වතිය ප්‍රතික්ෂේප කරනවද. නමුත් යටිහිතින් කැමතියි ඇය තමන්ගේ පස්සෙන් ගෙන්වාගන්න. ඒකෙන් සතුටක් ලබන්න. තමන් හැරගිය පෙම්වතිය තමන් ගැන තවමත් හිතනවා කියා සතුටුවන්න. හැබැයි ගැහැණිය පස්සෙන් නිතර නිතර එන පිරිමියාට ඒ ගැහැණිය කැමති නෑ. ඒ වගේම බොහෝ පිරිමි කැමතියි ගැහැණුන් ගණන් නොගෙන ඉන්න. ආඩම්බරය දක්වන්න. මේ වගේ ප්‍රතික්ෂේප කිරීමේ ලක්ෂණ පෙන්වන්නේ අතිශය අවශ්‍ය තැනදී.අන්න ඒවා පිරිමි මායම්. නමුත් ඒවා අහිංසක මායම්" ඔහු පවසන්නේය.

"ලිංගිකත්වය සහ කාන්තාව රැවටීම උදෙසා" පිරිමින්ගේ හැසිරීම

කාන්තාවක් දිනා ගැනීම උදෙසා සමාජයේ පිරිමියා දැරූ අවිහිංසක උත්සාහය පරයා අයුතු සබඳතා, මුල්‍ය වංචා මෙන්ම ලිංගික අල්ලස් වෙනුවෙන් කාන්තාව යොමු කර ගැනීමට වර්තමානයේ බොහෝ පිරිමින් උත්සාහ දරන බව ක්ෂේත්‍ර කිහිපයක කාන්තාවන් සහ තරුණියන්ගෙන් කළ විමසීම්වලදී ඔවුන්ගේ අදහස් ලෙස ඉදිරිපත් විණි.

විවාපත් කාන්තාවන් ඉලක්ක කර අවුරුදු 40 සහ 50 අතර වයස් කාණ්ඩයේ පිරිමි වැඩිදෙනෙක් ඒ සඳහා යොමුව සිටින බව එම තරුණියන් සහ කාන්තාවන් බහුතරයක ගේ අදහස වී තිබේ.

ධනය, බලයෙන් යුතුවුවන් පමණක් නොව, සමාජයේ වැදගත් යැයි සම්මත රැකියාවල නියුතු එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් අත්දැකීම් ඇති බව ඔවුහු පැවසූහ.

නම හෙළි කිරීමට අකමැති සරසවි සිසුවියක් ඇතැම් කථිකාචාර්යවරු සම්බන්ධයෙන් තම අත්දැකීම් හෙළිකළාය.

"නිතර නිතර එයාගේ කාමරයට එන්න කියනවා. මුළින් ආපන ශාලාවේ මුණගැහෙමු කියනවා. පස්සේ එළියට ගිහින් කෑමකට ආරාධනය කරනවා. මේ වගේ දේවල් තුළින් අපේ කැමැත්ත සොයනවා උපක්‍රමිකව. වාර අවසානයේ ලකුණු මෙන්ම පැමිණීමේ ලේඛනය රැදී තිබෙන්නේ ඔවුන් අත නිසා මේ බලපෑම තිබෙනවා සිසුවියන්ට"

"සමහර පිරිමි කැමති තමන්ගේ බිරිඳට සළකන ප්‍රමාණය කියන්න. හැබැයි ඒ කතාව ඇතුළේ තියනවා බිරිඳගෙන් ඊට නිසි ඇගයීමක් ලැබෙන්නේ නෑ කියන කළකිරීම. ඒ වගේම ලිංගිකව කරන ආරාධනය. ඒක හරිම ප්‍රේමනීයව තමන් අතින් වෙන දෙයක් කියල පැවසීම සහ තමන් ඊට අති දක්ෂයෙක් කියලා දැනෙන්න සැළැස්වීම. එහෙම දේකට කැමති උනොත් ඒ රහස පණ වගේ ආරක්ෂා කරනවා කියන දේ නිතර කියනවා. මේක පිරිමින්ගේ මායාවක් නෙවි තක්කඩි කමක්. ලේඛිකාවක මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ශිවන්ති ඒකනායක එලෙස පවසන්නීය.

විවාහක කාන්තාවක වූ සොනාලි ජයවීරට ඇත්තේ මීට මදක් වෙනස් අත්දැකීමකි.

" පිරිමි වැඩිපුරම මායම් දාන්නේ අවුරුදු 30 ඉක්මවූ විවාපත් කාන්තාවන්ට. මම සෘජුව කියනවා ලිංගික ආශාව මුල් කරගෙන කරන ආරාධනයක් ඒක. මොකද නොදන්නා අයට වඩා අපි හොඳින් ආශ්‍රය කරන අය තමයි මිතුරු වෙසින් ඇවිත් අවසානයේ මේ තත්ත්වයට පත්වෙන්නේ. එහෙම අවස්ථාවක සෘජුව ඔහුව ප්‍රතික්ෂේප කරනවා. ක්‍රමිකව අත්හැර දැමීම තමයි වැදගත් දේ"

බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසලක සේවය කරන නම හෙළි කිරීමට අකමැති ගුරුවරියක තමන් මුහුණ දුන් අත්දැකීම් බීබීසී සිංහල සේවය හමුවේ ප්‍රකාශ කළේ "පිරිමි මායම්" කියන වචනයට වඩා උපක්‍රම භාවිත කිරීමේ සූරයන් බව පවසමිණි.

"මට දුෂ්කර සේවයට මාරුවක් ලැබුණ. එතකොට මම අවිවාහකයි. ඒ පාසලේ හිටියා විවාහ නොවූ ගුරුවරයෙක්. ඉතින් ඒ ගුරුවරයාව මට ජෝඩු කරන්න සෙසු පිරිසට අවශ්‍ය වුණා. දරුවන් එක්ක යන අධ්‍යාපනික වැඩසටහන් වලට මාව ඒ ගුරුවරයා සමග යොමු කළා. සාහිත්‍ය සංගම් වලදී ඔහු මට පෙනෙන්න දස්කම් දක්වන්න ගත්තා. ළමයින්ට දෙන ආදර්ශ ප්‍රශ්නපත්‍ර වල පවා මම වෙනුවෙන් ආදර වැකි ලියන්න ගත්තා. හැබැයි මේක මාව ආදරයට පොළඹවා ගැනීමට ගත් උත්සහයක් මිස වෙන කාරණයක් නෙවි" ඇය පවසන්නීය.

පවුල් ජීවිත තුළ ඇති ගැටලු බලහත්කාරයෙන් විමසා ඊට මැදිහත්ව වෙනත් ප්‍රයෝජන ලබාගැනීමේ චේතනාවෙන් පසුවන පිරිමින් ඇති බව එක් දරු මවක වූ අනුරාධා ලියනගේ පැහැදිළි කරන්නීය.

"ගොඩක් පිරිමි කැමැති අනිත් කෙනාගේ පවුල් ප්‍රශ්ණ වලදී උපදෙස් දෙන්න. මුලින්ම සහෝදරයෙක් වගේ උපදෙස් දෙනවා. පස්සේ ක්‍රමයෙන් සැමියාගේ වැරදි අහලා තමන් ඒ වගේ සැමියෙක් නොවෙයි කියන දේ ඒ කාන්තාවට ඒත්තු ගන්වන්න බලනවා. මේක මායමක් නෙවි කපටි කමක්. උපදෙස් දෙන මුවාවෙන් වෙන වෙන දේවල් බලාපොරොත්තු වෙනවා. මේ තත්ත්වය එකම පිරිසක් නිතර ගැටෙන ආයතන වල වැඩියි."

ඇය පවසන්නීය.

ජනමාධ්‍යවේදිනියක මෙන්ම රුපවාහිනී නිවේදිකාවක ද මීට සමාන අත්දැකීමක් හෙළි කළාය. සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඇය ද ඉල්ලා සිටියාය.

"මට වඩා වයසින් තුන්ගුණයක් විතර වැඩි මාධ්‍ය ආයතනයක කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානියෙක් එයා. ඇත්තටම මගේ තාත්තගේ වයසේ. මුළින් මට නොකළ වරදටත් හැමෝම ඉදිරියේ හැමදාම බනින්න ගත්තා. ඒ මාව බයකරගන්න. මම දුකෙන් ඉන්නකොට සනසන්න කෙටි පණිවුඩ එවනව. මම ආයතනයේ වෙන පිරිමි ආශ්‍රය කරනවට එයා කැමති නැතිබව පෙන්වනවා. මට අදරෙයිලු එයා එක්ක එළියට යන්න ආරාධනය කරනවා . අවසානයේ ඒවාට කැමති නැති උනාම මම ආයතනයේ කළ වැඩට අදාළව බොරුවට බනිනවා" ඇය කීවාය.

"පිරිමි මායම්" ගැන පිරිමි අදහස

පිරිමින් "මායම්" හෝ උපක්‍රම භාවිත කරමින් කාන්තාවන් වසඟ කරගැනීමට වෙහෙසෙන්නේදැයි බීබීසී සිංහල සේවය කළ විමසීම්වලදී ඇතැම් පුරුෂයින් එය පිළිගත්ත ද තවත් කිහිප දෙනෙකුගේ අදහස වූයේ කාන්තාවන් සිය අවශ්‍යතාව උදෙසා පිරිමියා මත යැපී අවසානයේ ඔහු ප්‍රතික්ෂේප කිරීම සඳහා මෙවැනි චෝදනා ඉදිරිපත් කරන බවය.

" අද සමාජයේ කාන්තාව බලන්නේ පිරිමියාගේ ධනය බලය. අමුතුවෙන් පිරිමි අපිට මායම් දාන්න ඕන නෑ. ඔය දෙක තිබෙනවානම් පාලනය කරගන්න බැරිව කාන්තාවෝ ඇඟට එනවා. ඉස්සර රාත්‍රී සමාජ ශාලා යනවා කිව්වම ප්‍රශ්නයක් උනාට අද තරුණ කාන්තාවෝ බලන්නේ සල්ලි තියන කොල්ලෙක් එක්ක එහෙම ගිහින් කාලා බීල එන්න. ඉතින් මොකටද අපි මායම් දාන්නේ මේකයි සමාජේ හැටි" චින්තන පෙරේරා එවැනි අදහසකින් පසුවන්නේය.

ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයෙකු ගේ අදහස මෙසේ විණි.

"ගෑනු රවටන පිරිමි නැතුවා නොවෙයි . මට වයස අවුරුදු 57 ක්. මම තේ ව්‍යාපාරිකයෙක්. දැන් මේ 'SUGAR DADDY' කියන දේ ගැන මට හොඳ අත්දැකීම් තියනවා. පාසල් වල පොඩි ගෑනු ළමයි සමාජ මාධ්‍ය හරහා කෙලින්ම අහන්නේ සම්බන්ධකම් පවත්වන්න. අපේ වයස අදාළ නෑ . අපි ඉස්සර වෙන්න ඕනෙත්නෑ. ඔවුන්ට මේ දිගු කාලීන සබඳකම් ඕනේ නෑ. අවශ්‍ය සල්ලි පමණයි. අනික සිසිවන උවන ඇති කාන්තාවෝ දැන් කොහෙද? දැන් කොන්ඩේ දිග කාන්තාවක් හොයාගන්න සෑහෙන්න උත්සහ කරන්න ඕන. කාන්තාවන්ට දැන් මායම් දාන්නත් බෑ. ඒ මායම් වලට අපි අහුවෙන්නෙත් නෑ."

නම හෙළි කිරීමට අකමැති වූ ඔහු ද සාකච්ඡාවට තුඩුදෙන තවත් මාතෘකාවක් සපයමින් එසේ සිය අදහස් දැක්වීය.

(BBC)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website