Tuesday, 08 October 2019 09:30

රුවන්වැලි සෑ බිමේ තවුසෝ

පුරා වසර විස්සකටත් වැඩි කාලයක් පෙරවරුවේ සහ පස්වරුවේ හෝරා කීපයක් අනුරාධපුර රුවන්වැලි සෑ මළුවට වී අව්, වැසි, සුළං ආදී කිසිදු බාධකයක් නොතකා හිටි ඉරියව්වෙන් රුවන්වැලි සෑ දාගැබ දෙස සමාධිගතව බලා සිටි ඉංගිරියේ විජිත හිමියන් ගැන බොහෝ දෙනකු දැන සිටියහ.

ඒ විජිත හිමියන් අද වන විට අප අතර නැත. එහෙත් තම නිවෙස් අතහැර පැමිණ අප්‍රකට ලෙස ආධ්‍යාත්මික ජීවිත ගත කරන තවුසන් සහ තවුසියන් ලෙස සැලකිය හැකි තවත් සැලකිය යුතු පිරිසක් මේ මොහොතේත් අනුරාධපුර පූජා භූමිය අවට දිවි ගෙවති. මේතාක් මෙරට සාමාන්‍ය ජනතාවගේ තබා සමාජ විද්‍යාඥයන්ගේවත් නිසි අවධානයට ලක් නොවූ මෙම අපූරු මිනිසුන් පිළිබඳව මුල් වරට මගේ අවධානයට යොමුවූයේ. මීට දස වසරකට පමණ පෙර සතියේ දිනයෙක පෙරවරුවේ අනුරාධපුර පූජා නගරයේ පැරණි රෝහල අද්දර දී හමුවූ පුද්ගලයකු මුල් කර ගනිමිනි. එවක වයස අවුරුදු හැටක හැටපහක තරමේ වයසකින් යුතු මොහු ඉතා පිරිසුදු චාම් සුදු කමිසයකින් සහ සරමකින් සැරසී සිටියේය. පිරිසුදු දත් දෙපළකට සහ ප්‍රසන්න සිනාවකට හිමිකම් කී ඔහු මනාව රැවුල බා කෙස් පීරා සිටි අතර ඔහුගේ අතුල් පතුල්වල පිරිසුදු බවද මගේ විශේෂ අවධානයට ලක් විය.

ඔහුගෙන් වැවඩිදුර කරුණු විමසීමේදී මට දැන ගත හැකි වූයේ ඔහු අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව හුදකලාව ජීවත් වන්නකු බවය. ඒ අනුව ඔහුගේ වත්මන් වාසස්ථානය පිළිබඳව විමසූ මට ඔහුගෙන් ලැබුණේ තරමක් විස්මය දනවන පිළිතුරකි. එනම් ඒ වන විට වසර එක හමාරක පමණ කාලයක් අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව ජීවත් වන මුත් තමන්ට නිශ්චිත නවාතැන්පළක් නොමැති බවය. තමන්ගේ බඩු මුට්ටු කිහිපය පමණක් ථූපාරාමය අද්දර අනුල මාවතේ නිවසක තබා ඇති අතර රාත්‍රිය ගත කිරීම සඳහා පූජා නගරයේ විවිධ ස්ථාන යොදා ගන්නා බවද හෙතෙම කීය.

එක්දහස් නවසිය හැටේ දශකයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා ගෙන ඉන් පසුව පරිපාලන සේවා විභාගය සමත්ව යම් නිලයක් දරන අතරේ 1971 අප්‍රේල් කැරැල්ලට පදනම් වූ හේතුවක් සහ එවක රජය එය මැඬලූ ආකාරය පිළිබඳව හටගත් කලකිරීමක් මත තමන් බිරිඳ සමග පළමුව එංගලන්තයටත් දෙවනුව ඩෙන්මාර්කයටත් පදිංචියට ගිය බව හෙතෙම කීය. දැනට ලෝකයේ ඇති විශිෂ්ටතම සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමයකින් යුතු එහිදී තමන්ට දාව දියණිවරුන් දෙදෙනෙක් ලැබුණු බවත් තම දරු පවුලද සමග ඉතා යහපත් සමාජ ආර්ථික තත්ත්වයකින් යුතුව එහි කලක් ජීවත් වූ බව ඔහු කීවේ ඒ සම්බන්ධයෙන් මා විසින් වරින් වර අසන ලද හරස් ප්‍රශ්න සියල්ලටම ක්ෂණික අති සාර්ථක පිළිතුරු ලබා දෙන අතරෛ්ය. ඒ වන විට ඩෙන්මාර්කය තුළ වර්ධනය වෙමින් තිබූ පරිසර හිතකාමී සමාජ ආර්ථිකය පිළිබඳ විශිෂ්ට දැනුමක් ඔහු තුළ තිබිණි. ඒ අනුව ඔහු පැවසූ ලෙසම එහි ජීවත් වූවකු බව තහවුරු කර ගැනීමට මට හැකි විය.

වසර දෙදහස පමණ වන විට තමන් අත් විඳින ඒ යහපත් සමාජ ආර්ථික ප්‍රතිලාභ තුළ පවා සැබෑ සැනසුමක් සහ සංතෘප්තියක් නොමැති බව තමන්ට කෙමෙන් වැටහෙන ලදුව එම අසංතෘප්ත බව පිළිබඳ බිරිඳට හා දියණිවරුන්ට වරින් වර කරුණු කියා වසර කිහිපයකට පසුව ඔවුන්ගෙන් අසීරුවෙන් ලබා ගත් අවසරය මත සියල්ල හැර දමා සැබෑ සතුටක් සැනසුම සහ සංතෘප්තිය උදා කර ගැනීම පිණිස තමන් ගිහිගෙයින් හා ඩෙන්මාර්කයෙන් සමුගෙන ශ්‍රී ලංකාවේ අනුරාධපුරයට පැමිණ මුළුමනින්ම නිදහස් ජීවිතයකට මුල පුරා හිඳින බව ඔහු කීවේ මා විස්මයට පත් කරමිනි.

ඒ අනුව අද වන විට තමන් සතු ආර්ථිකයක්, සමාජ තත්ත්වයක් නොමැති වුවද සැබෑ සතුට, සැනසුම සහ සංතෘප්තිය නොමඳවම තමන් වෙත හිමිව ඇතැයි එහෙම කීවේ සිත තුළින් දෝරේ ගලන අව්‍යාජ සතුටක් පිළිබිඹු කෙරෙන මඳ සිනාවකිනි.

දේවානම්පියතිස්ස රජතුමා (ක්‍රි.පූ. 307-267) විසින් මිහිඳු මාහිමියන් ප්‍රමුඛ සඟරුවනට පූජා කළ බව පැවසෙන මහමෙවුනා උයන ශ්‍රී ලංකාවේ පැරණි අටමස්ථාන අතරටද අයත් වූවකි. පසුව නම් කරන ලද අටමස්ථාන අතුරින් එය ඉවත්ව ගොස් තිබේ.
ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය ආදී අග්‍රහණ්‍ය බෞද්ධ පූජා භූමි පිහිටි මෙම සුවිසල් වන උද්‍යානය හෙක්ටයාර් එකසිය හැත්තෑ අටක් හෙවත් අක්කර හාරසිය හතළිහක භූමි ප්‍රමාණයකින් යුතුය. අද අපගේ මාතෘකාවට බඳුන්වන ගිහි ගෙය හැර පැමිණි මේ අපූරු තවුස් මිනිසුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් හිඳිනුයේ මෙම මහ මෙවුනා උයන ආශ්‍රිතවය.

‘‘නිශ්චිතව ගාණක් කියන්න බැරි වුණත් ඔය කියන විදිහේ අය සෑහෙන ගණනක් මේ මහමෙවුනා උයන ආශ්‍රිතව ජීවත් වෙනවා. ඒ අය විවිධ හේතු මත ගිහි ගෙවල්වලින් වෙන් වෙලා මුළුමනින්ම ආධ්‍යාත්මික ජීවිත ගත කරන්න ආපු අය. නමුත් මේ අය යාචකයෝවත්, සම්මාදම්කාරයොවත්, ජාවාරම්කාරයොවත් නෙවෙයි. බොහෝම දැහැමි අහිංසක මිනිස්සු. අනික වන්දනාකාරයෝ වැඩිපුර ගැවසෙන කාලවලට ඔය මිනිස්සු වැඩිය එළිපහලියට එන්නෙත් නැහැ. නමුත් අපි ඔය ප්‍රදේශවල නිතර සංචාරය කරන හින්දා ඔය වගේ අය මුණ ගැහිලා කතාබස් කරලා දැන අඳුනාගෙන සිටිනවා.’’

ඒ පිළිබඳව කළ විමසුමක දී මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ (අනුරාධපුර) සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග මහතා කීය. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ දැනට එලෙස අනුරාධපුර මහ මෙවුනා උද්‍යානය ආශ්‍රිතව ආධ්‍යාත්මික දිවි පෙවෙතකට යොමුව හිඳින පිරිස් අතරේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක ඉහළම තනතුරක් දරන්නකුගේ මවකද සිටින බවය. එමෙන්ම ගාල්ලේ සුප්‍රකට විද්‍යාලයක ඉගෙනුම ලබා පසුව ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් හැත්තෑව දශකයේදී උපාධියක් දිනූ සිසුවකුද පසුගිය කාලයේ වසර ගණනාවක් පුරා මහාමෙවුනා උයන ආශ්‍රිතව මෙවන් අධ්‍යාත්මික ජීවිතයක් ගත කොට සෞඛ්‍යමය හේතූන් මත මේ වන විට ඉන් ඉවත්ව සිටින බවද මහාචාර්ය ටී.ජී. කුලතුංග කීය.

අනුරාධපුර වන්දනාවේ පැමිණෙන්නවුන්ට පහසුවෙන් හඳුනා ගත නොහැකි ගිහි වෙසින් පෙනී සිටිමින් මෙලෙස තවුස් දම් පුරන පිරිස් අතරේ ස්ත්‍රී පුරුෂ යන දෙපර්ශ්වයම දක්නට ලැබේ. එහෙත් ප්‍රදේශවාසීන් මෙම තවුසන් තවුසියන් පිළිබඳව දැන හඳුනා ගෙන හිඳින බැවින් එම කාන්තා පාර්ශ්වයට සේම පිරිමින් හට බාහිර පුද්ගලයන්ගෙන් අයුතු බලපෑම් එල්ල වීමට කිසිදු ඉඩක් නැත.

කුරුවිට ප්‍රදේශයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් සිටියදී හිටිහැටියේ සියල්ල දමා ගසා අනුරාධපුර මහමෙවුනා උයන සීමාව තුළ පිහිටි රුවන්වැලි සෑය සමීපයේ වසර ගණනාවක් පුරා එබඳු ආධ්‍යාත්මික ජීවිතයක් ගත කළ කුරුවිට උපාසක මහත්තයා නමින් හඳුන්වනු ලැබූ තැනැත්තා එලෙස ප්‍රදේශවාසීන්ගේ නොමඳ ආදර ගෞරවයට ලක්වූ පුද්ගලයෙක් විය. දිනපතා අලුයම පිබිද තිසාවැවෙන් දිය නා නෙළුම් මල් මිටියක්ද රැගෙන රුවන්වැලි සෑ පුදබිමට පැමිණෙන කුරුවිට උපාසක මහත්තයාගේ දිවා කාලයෙන් වැඩි කොසටක් ගත වී ඇත්තේ රුවන්වැලි මහ සෑ රදුන් සෙවණේය. එමෙන්ම ඔහු තුළ විශේෂ ආශිර්වාදාත්මක බලයක් ඇතැයි විශ්වාස කළ ප්‍රදේශවාසීහු පසුව විවිධ සෙත් ශාන්ති කටයුතු සඳහාද කුරුවිට උපාසක මහත්තයා හමුවට පැමිණ තිබේ. නමුදු එවන් කටයුතු සම්බන්ධයෙන් මිල මුදලක් හෝ වෙනයම් ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකළ ඔහු සඳහා දිනපතා බත්පත සැපයීමට පසුව බොහෝ දෙනකු තුළ තරගයක් තිබූ බවද පැවසෙයි.

ඒ තරගයෙන් ජය ගනිමින් කුරුවිට උපාසක මහත්තයාට වැඩිම නිර්මාංශාහාර සහිත කෑම වේල් ගණනක් ප්‍රදානය කොට ඇත්තේ තිසා වැව ප්‍රදේශයේ මුස්ලිම් නිවසකින් වීමද විශේෂත්වයකි. නමුදු වියපත් වීම මත හටගත් රෝගී තත්ත්වයන් නිසා කුරුවිට උපාසක මහත්තයා මියගිය අතර ඔහුගේ අභාවයෙන් අනුරාධපුර පූජා නගරය ආශ්‍රිත බොහෝ දෙනෙක් දැඩි ලෙස ශෝක වූ බව ද දැන ගන්නට ලැබී ඇත. ගිහිගෙය හැර දමා පැමිණ ගිහි ස්වරූපයෙන් මහමෙවුනා උයන ආශ්‍රිතව ආධ්‍යාත්මික පිළිවෙත් පුරන මෙම තවුසන් සහ තවුසියන්ගේ ආහාර හා නවාතැන් ප්‍රශ්න විසඳෙන ආකාර කිහිපයක් තිබේ. ඔවුන්ගෙන් සමහරකු හට ප්‍රදේශයේ දන්නා හඳුනන පිරිස් විසින් සලාක ක්‍රමයට ආහාර සැපයේ. නොඑසේ නම් අනුරාධපුර පූජා නගරයේ ක්‍රියාත්මක වන දොළොස් මහේ දන්සලද ඔවුනට ආහාර සපයා ගත හැකි පහසු මංපෙතකි. මේ හැරුණු කොට සමහරුන් ඉතා සහන මිලක් යටතේ ප්‍රදේශයේ දන්නා අඳුනන ආපන ශාලාවලින් ආහාර ලබා ගන්නා අතර ඒ සඳහා වන වියදම මාසිකව එම ආපනශාලාව වෙත ගෙවීමට ඔහුට හෝ ඇයට හිතවත් පිරිස් කටයුතු කරති. මෙය එම ආධ්‍යාත්මික ජීවිත ගත කරන්නවුන් එහි ගත කරන දිවි පැවැත්ම පිළිබඳව ප්‍රදේශවාසීන් තුළ ඇති වන පැහැදීම මත හට ගන්නා තත්ත්වයකි.

රුවන්වැලි සෑය ආශ්‍රිතව ජීවත්වෙන ඔය වගේ ආධ්‍යාත්මික ජීවිත ගත කරන කිහිප දෙනෙක් ගැන අපි දන්නවා.
ඒත් ඒ අයගේ නම් ගම් ඡායාරූප මාධ්‍යවල පළ කරන්න එපා.! එතකොට ජීවිතවලට දැනට උරුම වෙලා තියෙන නිදහස සැනසුම වගේම ඔය කියන පිරිස ආරක්ෂා කර ගෙන තියෙන පෞද්ගලිකත්වය මුළුමනින්ම බිඳ වැටෙන්න පුළුවන්. ඒ වගේම භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා කිහිප නමකම රාත්‍රිය පුරා රුවන්වැලි මහ සෑ මළුවේ රැය පහන් වන තුරු බවුන් වඩන්න පසුගිය කාලයේ අපි විශේෂ අවසරයක් දීලා තියෙනවා. ඒකට හේතුව රෑ දහය අලුයම හය අතරේ සෑ මළුව වහලා. පොලිස් ආරක්ෂාව යටතේ තිබීමයි’‘ මේ සම්බන්ධයෙන් අප හා අදහස් පළ කළ අනුරාධපුර රුවන්වැලි මහ සෑ විහාරාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ කීහ. ඔය වගේ අය හුඟක් වෙලාවට නතර වෙන්නේ තමන්ට සම්බන්ධකම් තියෙන විශ්‍රාම ශාලාවක නැතිනම් දන්න හඳුනන ගෙදරක කාමරයක එහෙමත් නැත්නම් කඩ පිලක වගේ තැනක. ඔය අතරේ මේ කිට්ටුවෙන් පුංචි කාමර කුලියට අරගෙන නතරවෙලා ඉන්න අයත් ඉන්නවා. නමුත් ජීවන පැවැත්ම හුඟක් සැහැල්ලු නිසා මේ වගේ අයට නවාතැන් දීම කරදරයක් හැටියට කාටවත් පේන්නේ නැහැ. ඔය අතරේ සමහරු තමන්ගේ ස්ථානවල ආරක්ෂාවටත් මේ වගේ අයට නොමිලේ රාත්‍රියේ නවාතැන්දීලා තියෙනවා.

මෙම ගිහි තවුසන් තවුසියන් පිළිබඳව එම විස්තරය කරන ලද්දේ අනුරාධපුර, රුවන්වැලි මහා සෑයේ කැපකරුවකු වන පෙරිමියන්කුලමේ මුතු බණ්ඩා දසනායක මහතාය.

මේ වන්දනාකරුවන් තරමක් දුරට ජනාකීර්ණ බව මගහැර ජීවත් වන පිරිසක් බව කියන්නේ මහා විහාර පරිශ්‍ර භාර ව්‍යාපෘති කළමනාකරු මධ්‍යම සංස්කෘතික අරමුදලේ කළමනාකරු තුසිත හේරත් මහතාය.

මේ අනුරාධපුර පූජා භූමිය කියන්නේ බෞද්ධ සැදැහැවතුන්ට අමතරව රටේ විවිධ පළාත්වලින් විවිධ අරමුණු මුල් කර ගෙන විවිධ පුද්ගලයන් පවා සැරිසරන තැනක්. ඒ හින්දා ඔය වගේ අය ගැන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වුණාම විවිධ ජාවාරම්කාරයොත් ඔය කියන ආධ්‍යාත්මික ජීවිත ගත කරන අය අතරට රිංගන්න පුළුවන්. දැනටමත් මේ මහමෙවුනා උයන අවට තමන්ට විශ්ව බලයක්, ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා කියමින් මහජනතාව මුළා කරන කපටි ජාවාරම්කාරයන් සැරිසරන බවට තොරතුරු තියෙනවා.

නිවනට යන පාර බොහෝ දුර වුවත් ඔවුන් හොයන්නේ ආධ්‍යාත්මික සුවයකි. ඒ සුවයෙන් හිත සනසාගෙන නිවන් මග කෙටි කර ගැනීම මේ කාගෙත් හිත ඇති පැතුමය.

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website