Monday, 28 October 2019 09:57

හද ගින්නෙන් ගලේවාඩියේ දුම් කරවල

ගලේවාඩිය ධීවර ගම්මානයට පිවිසෙද්දීම මා නෙත ගැටුණේ එහි ගෙපැලි මතින් ඉහළට ඇදෙනා දුම් රොටු ගොන්නකි. රෑ කළුවර ඉහිරෙන්නට වැඩි වේලාවක් නැති බැවින් ඒ රාත්‍රි බත ඉදෙන බව සලකුණකි. එහෙත් ඒ සිතිවිල්ල ඊළඟ මොහොතේ වෙනස් වූයේ දුම් ගැහෙන කරවල කූරියකු සිහිවීමෙනි. ගලේවාඩිය හෙවත් ශාන්ත අන්තෝනි ධීවර ගම්මානයේ දුම් රොටු ඉහළ නගින්නේ බත ඉදෙන බව කියන්නට පමණක්ම නොවේ.

වැව් කරවල, ලුණු කරවල, දුම් කරවල පදමට සැකසෙන බව කියන්නටය. ගලේවාඩිය ගමට ඇතුළු වද්දීම මා නෙත ගැටුණේ අව්වේ වේළෙන්නට දැමූ කරවලය. තවත් පිරිසක් වැව් තොටේ සිට දැල් ආම්පන්න බේරමින් හිඳී. ඇතැමකු ඔරු කඳට නැගී ඔරුව යාත්‍රා කරන අතරේ වැව් දිය මත ඇදෙන අපූර්ව සිතුවම්ද දර්ශනය වේ.

මේ ගෙවී යන මොහොත මට මහත් ආස්වාදය ගෙන දෙන්නකි. එහෙත් මේ ඔරු මතට වී වැව් දිය වෙත දහඩිය කඳුළු මුහුකරන ගලේවාඩිය ධීවර ගමේ ඇත්තන්ට මෙය සිය ජීවිත අපේක්ෂාවන්, සන්තාපයන්, ආයාචනාවන් එකිනෙක පරයමින් පොදිකන තවත් දිනයක එක් සැඳෑවක් පමණි.

මිරිදිය මාළු සම්පතට සේම වැව් කරවල නිෂ්පාදනය කෙරෙහිද ගලේවාඩිය ප්‍රකටව පවතී. සැඳෑ සමයේදී ද ජීවිත සටනින් අත් නොමිදුණු හැට හය වියැති ගලේවාඩිය ගමේ ‘ෂෙල්ටන් පුනාන්දු’ මහතා දශක හතරකට වැඩි කලක් ධීවර රස්සාවේ යෙදෙන අයෙකි. මෙසමයෙහි ‘වැව් කරවල’ නිෂ්පාදන ක්‍රියාවලියට ඇති තැන ගැන ඔහු හොඳ විවරණයක් කළේය.

“ගොඩක් වෙලාවට පිට පළාත්වලින් මෙහෙට එන අය තමයි දුම් කරවල ඉල්ලන්නේ. මෙහේ අයත් අපෙන් කරවල ගන්නවා. හැබැයි දුම් කරවල රහ දන්න ඕනම කෙනෙක් එක පාරක් ගෙනිච්චොත් දෙවැනි පාර හොයාගෙන එනවා. එකම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගාන ටිකක් වැඩියි. ඒත් ඇත්තම කතාව අපිටත් මේකෙන් මහ ලොකු ලාභයක් නෑ. කරවල හදන හන්දා ඉතුරුවෙන මාළු ටික අපතේ යන එක නවතිනවා. වැව් කරවල හදන්නේ තාමත් එදා ඉඳන්ම මේ ගම්මැදිවල මිනිස්සු හොයාගත්ත ක්‍රමවලින්. අලුත් තාක්ෂණයක් ගැන කාටවත් තේරුමක් නෑ. කවුරුවත් එහෙම දේවල් ගැන හරිහමන් විදිහට මග පෙන්වීමක් කරන්නෙත් නෑ.”
මාළුවලට නො‍දෙවෙනිව වැව් කරවලද බත්පතට නැතිවම බැරි පිරිස් හිඳී. ගම්මැදි කොටු වැවෙන් නෙළාගන්නා මත්ස්‍ය අස්වැන්නෙන් දුම් කරවල මෙන්ම ලුණු කරවල සැකසීම මෙරට සාම්ප්‍රදායික ජන ජීවිතය හා බැඳී පැවතුණු කාර්යයකි. පරිභෝජනය සඳහා ගෙන ඉතිරිවෙන මාළු පිරිසිදු කොට, ලුණු දමා දින කිහිපයක් අව්වේ වියළා ලුණු කරවල සැකසූ ගැමියන් මුළුතැන්ගෙයි දුම් මැස්ස මත දිනක් හමාරක් මඳ ගින්නේ වේලා දුම් කරවල පිළියෙල කරගත්හ. රසින් සපිරි වැව් කරවල එවක ගැමියන්ගේ ආහාරවේලේ අනිවාර්ය අංගයක්ව පැවතිණි.

වැව් බැඳි රජරටට ආවේණික වූ කළු තෙප්පිලියා, ලූලා, කොරලියා, කාවයියා ආදී මත්ස්‍ය සම්පතින් මනා සේ වැව් කරවල සැකසීමට ගැමියන් සමර්ථ වී ඇත. රජරට සමහර සාම්ප්‍රදායික ගම්මැදිවල සැකසෙන වැව් කරවල නගරබදව උණු කැවුම් සේ අලෙවි වේ. කොතරම් රසවත් වුවත් වැව් කරවල සැකසීම අසීරු සහ වෙහෙසකර කටයුත්තකි. විශේෂයෙන් රසයෙන් අනූන දුම් කරවල සැකසීමට ඉමහත් වෙහෙසක් දැරීමට ගැමියන්ට සිදුවේ. පැය ගණනාවක් ගිනි කමින් හරි පදම ගැනීමට ඔවුහු වෙහෙස වෙති.

කරවල කිලෝවක් සැකසීමට වැව් මාළු කිලෝ කිහිපයක් අවශ්‍ය වෙයි. දිය සිඳී, වේළී නිසි පදමට එන විට මාළු කිලෝ පහ හයකින් දුම් කරවල කිලෝවක් සකසා ගත හැකිය. අමු මාළු කිලෝ තුන හමාරකින් පමණ ලුණු කරවල කිලෝවක් පිළියෙල කරගත හැකිය.

මෙසේ දුක් විඳ සකසන කරවල කිලෝවක් රුපියල් දහසකට පමණ අලෙවි කෙරේ. නැතිනම් ඊට මඳක් අඩුවෙයි. මාළු වර්ගය අනුවද මිල වෙනස් වේ. ගින්නේ වේළාගත් ලූල් කරවල කිලෝවක් රුපියල් එක්දහස් දෙසීයක් පමණ වේ. ගින්නේ පදම් කළ තෙප්පිලි කරවල කිලෝවක් රුපියල් දාහකි. ලුණු කරවල මිල අඩුය. කිලෝවක් රුපියල් හත්සියයකට පමණ ගත හැකිය. කරවල මිල හෙට්ටු කරන බොහෝදෙනෙකු නොදන්නා කතාවක් තිබේ. ගලේවාඩිය ධීවර ගමේ ගිනිගහන ගල්තලාව මත හොඳහැටි පදම් වී ඇති හැට වියැති ‘කේ. රන්තිලකා’ මහත්මිය ඒ ගැන මෙසේ කීවාය.

“දුම් කරවල කිලෝ එකක් හදන්න අමු මාළු කිලෝ හයක් විතර ඕන. මාළු පුංචි වුණොත් ඊටත් වැඩිය යනවා. මාළු කපලා සුද්ද කරලා, දුමේ ගින්දර දාලා පැය දහයක් විතර මාළු වේලන්ඩ ඕන. පැය තුන හතරකට පස්සේ මාළුවගේ පැත්ත පෙරළනවා. එක දිගට අඩු කරන් නැතිව ගින්දර දාන්ඩ ඕන. එහෙම කෙරුවොත් තමයි හොඳ ගාණට පදම ගන්ඩ පුළුවන් වෙන්නේ. මේක ලේසි නෑ. ලොකු දුකක් විඳින්න වෙනවා. හරියට පදම ගත්තොත් උම්බලකඩ වගේ අමුවෙන් කන්ඩ වුණත් පුළුවන්. රසයි. ඒත් මේක ලේසි වැඩක් නෙමෙයි. එහෙම කරලත් මේකෙන් මහ ලොකු ලාභයක් නෑ. ඒත් අපිත් ජීවත් වෙන්ඩ ඕනනේ.”

මිහින්තලය, මහකනදරා වැව් බැම්ම වැව් කරවල සඳහා ප්‍රසිද්ධව ඇත්තේ කලක සිටය. මනාව පදම් කළ දුම් කරවල සහ ලුණු කරවල එහි ඇත. මග පසෙකින් ඇති පොල් අතු හෝ තහඩු හෙවිලු කුඩා මඩු කරවල සුවඳින් පිරී යයි. වැව් කරවල රස දන්නා ඇතැමකු මේ කඩ අසල මඳක් නැවතී යන්නේ කීයක් හෝ අඩුවෙන් කරවල ටිකක් මිලට ගැනීමේ ඕනෑකම නිසාය. මේ වැව් කන්ද මතදී මුණගැසෙන ඩබ්ලිව්.කේ. සුමනා ලක්ෂ්මී මහත්මිය මාළු සහ කරවල එකම මඩුවේ තබා විකුණන්නීය. ඇය පවසනුයේ කරවල අඩුම මිලට ගත හැක්කේ එහිදී බවය. විවෘත වෙළෙඳපොළ හා සංසන්දනය කිරීමේදී මේ ධීවර ගම්වල කරවල මිල ගණන්වල පැහැදිලි අඩුවක් ඇති බව නම් සැබෑවකි. ඒත් යමෙකු ඒ සඳහාද හෙට්ටු කරනුයේ වැව් කරවල මිල වැඩි බව පවසමිනි.

දහසක් වැව් අමුණු ඇති මුත් රජරට වැව් කරවල නිෂ්පාදන ක්‍රියාවලිය තවමත් ඇත්තේ ප්‍රාථමික අවධියක බවට නිදසුන් එමටය. ඒ සඳහා ඇති දිරිගැන්වීම හා මග පෙන්වීමද සවිමත් නැත. අලෙවි නොවන මසුන් කරවල කිරීමෙන් ඔබ්බට ගොස් නිසි ප්‍රමිතියෙන් යුතු වැව් කරවල නිෂ්පාදන ක්‍රියාවලියක් වෙත ධීවර ප්‍රජාව යොමුකරන වැඩපිළිවෙළ තවමත් බොහෝ ඈතය. වසර ගණනාවක සිට රාජාංගණය වැව සරණ කොට ධීවර රස්සාවෙන් දවස සරි කරන ඩබ්ලිව්. නිලන්ත රොෂාන් කරවල කතාව තවත් මානයකට පෙරළුවේය.

“ඇත්තටම අපිට කරවල හදන එක පාඩුයි. ගන්න මහන්සිය බලපුවහම ලොකු ලාභයක් නෑ. මේ කතාව මිනිස්සු දන්නේ නෑ. මාළු කිලෝ එකක් අපි තොටුපොළෙන් වෙළෙන්දන්ට විකුණන්නේ රුපියල් දෙසීයකට විතර. කරවල කිලෝ එකක් හදන්ඩ අමු මාළු කිලෝ පහ හයක් ඕන. එහෙම බලනකොට මාළු ටික අල්ල ගත්ත හැටියේ විකුණගන්න එක අපිට ලාභයි. ඒත් සමහර දවස්වලට ඉතුරුවෙන පොඩි මාළු එහෙම අහක දාන්ඩ බෑනේ. එහෙම ඉතුරු වෙන මාළු ලුණු කරවල කරනවා. නැත්නම් ගින්නේ දාලා වේළලා කරවල කරනවා. ලුණු කරවල අව්වේ වේලන හන්දා ලොකු කරදරයක් නෑ. ඒත් දුම් කරවල හදන්ඩ දහ දුකක් විඳින්ඩ ඕන. අලුත් ක්‍රම ඇති. කවුරුවත් ඒ දේවල් ගැන නොදන්න එක තමයි ප්‍රශ්නේ.”

එකල ගැමියා මත්ස්‍ය සම්පත නෙළා ගැනීම සඳහා භාවිත කළ ක්‍රමවේදයන් හා මෙවලම්ද එහි සුරක්ෂිත බව සඳහා මහත් රුකුලක් වී ඇත. කරක, කෙමන, නියමිත ප්‍රමාණයේ දැල් සහ වළවල් ඉසීම ඒ අතර ප්‍රධාන වී ඇත. නියමිත ප්‍රමාණයට නොවැඩුණු මසුන් අසුවූ විට නැවත ජලයට මුදාහැරීමට දුර්දර්ශී වූ ගැමියන් වරෙක එකාවන්ව එකතුව එකම දිනක මත්ස්‍ය සම්පත නෙළාගැනීමට යොමුවීමත් එවක සුලබ දසුනක් වී ඇත. මත්ස්‍ය සම්පත සුරැකිව රැක ගැනීමට මෙම සියලු කාරණා එවක ඉවහල් වී ඇතත්, අද තත්ත්වය හාත්පසින්ම වෙනස් වී ඇත්තේ බාගෙන කෑමට ඇති වළ ඉහගෙන කෑම හේතුවෙනි. ගලේවාඩියේ සුනිල් ගාමිණි‘ පැවසූයේ වැව් කරවල හැදිල්ලෙන්ද හොද්ද බොර වී ඇත්තේ සතියකට හමාරකට වරක් වාඩියට එන කරවල මුදලාලිගේ බවය.

1999 වර්ෂයේදී ජලජීවී වගා සංවර්ධන අධිකාරිය ස්ථාපිත වන්නේ මිරිදිය මත්ස්‍ය සම්පත නගා සිටුවීමේ ඒකායන අරමුණ පෙරදැරිවය.

මත්ස්‍ය ඇඟිල්ලන් නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය, පොකුණු තුළ ආහාර සඳහා මසුන් වගාව, මිරිදිය මාළු මගින් උම්බලකඩ, කරවල, දුම් කරවල ආදිය නිෂ්පාදනය කිරීමේ පසු අස්වනු තාක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ කාර්භාරය අතර වේ. එහෙත් අණ පනත්වල ඇති බොහෝ දේ පොඩි මිනිසුන් උදෙසා පහළට එන්නේ ඉතා සෙමිනි. වැව් කරවල ටිකට සිදුවී ඇත්තේද එයමය.

කලාවැව, නුවරවැව, රාජාංගණය, වාහල්කඩ, මහ කණදරාව, මහවිලච්චිය, හුරුළුවැව, පදවිය, අංගමුව ආදී අනුරාධපුරයේ ප්‍රධාන වැව් ආශ්‍රිතව මෙන්ම ගමින් ගම බැඳි දෙදහස් පන්සියය ඉක්මවූ මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ වැව් අමුණු ආශ්‍රිතව දිවි සරි කරන ධීවර ප්‍රජාවද දහස් ගණනකි. දෛනිකව නෙළන මත්ස්‍ය අස්වැන්නද කිලෝ දස දහස් ගණනකි. එහෙත් වැව් කරවල කිලෝවක් රුපියල් දහස ඉක්මවයි. එය යම් පමණක පුදුමයට හේතුවකි. අලෙවිය සීමා වීමට මග පාදන්නකි. සමහරෙකු වැව් කරවල සඳහා කොතෙක් ලොල් වුවද මේ ඉහළ මිල ගණන් නිසාම ඇති ආසාව යටපත් කර ගනිති.

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website