Saturday, 02 November 2019 11:55

අල් බග්දාදි ගියා

මෙහෙයුම නිමාකර විනාඩි කිහිපයක් ගතවනවිටම ජනාධිපති ට්‍රම්ප්, යුද හමුදා සාජන්ට් මැතිව් විලියම්ස්ට ගෞරව පදක්කම් පිරිනැමීය. ‘‘ඔබටත්, ජෙනරල් මැතිව්ටත්, සෙසු පිරිසටත් බොහොම ස්තූතියි. ඔබ විස්මිත කාර්යභාරයක් ඉටු කළා.’’ යනුවෙන් ඔහු පවසා තිබිණි. ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් වෙතද ජනාධිපතිවරයාගේ විශේෂ ස්තූතිය හිමිවිය.

අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දමා වසර නවයකට පසු අමෙරිකාව යළි උද්දාමයට පත්ව සිටී. ඒ, පසුගිය සති අන්තයේදී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ නිර්මාතෘ මෙන්ම එහි නායකයා ද වූ අබු බකර් අල් බග්දාදි දඩයම් කිරීමට අමෙරිකා හමුදා සමත්වීමත් සමඟය. අල් බග්දාදි යනු අමෙරිකාවට අල්ලාගැනීමට වඩාත්ම අවශ්‍ය කළ ත්‍රස්තවාදීන් අතර ඉහළින්ම සිටි තැනැත්තාය.

බින් ලාඩන් මරා දැමූ පසු ජාතිය අමතමින් ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කළේ; අල්ඛයිඩා නායකයාට යුක්තිය ඉටුකළ බවයි. අල් බග්දාදිගේ අවසානයෙන් ඉක්බිති ජනාධිපති ට්‍රම්ප් ජාතියට දැනුම් දුන්නේද අයි.එස්.අයි.එස්.නායකයාට යුක්තිය ඉටුකළ බවය. එහිදී තුවාල වූයේ සිය හමුදාවේ නිල සුනඛයකුට පමණක් බවද ඔහු පැවැසීය. තවදුරටත් ඔහු කියා සිටියේ අයි.එස්.අයි.එස්. නායකයා ජීවිතය වෙනුවෙන් ආයාචනා කරමින් හඬා වැලපෙමින් මරණය කරා ගිය බවය. කෙසේ වුවද, අල් බග්දාදිගේ අවසානය එබඳු වී දැයි නිල වශයෙන් තහවුරු කර නැත.

කයිලාමුලර් මෙහෙයුම

මුලදී වාර්තා වූයේ, අයි.එස්.අයි.එස්.නායකයා නිවෙස ආශ්‍රිත භූගත උමං මාර්ගයක් ඔස්සේ දරුවන් තිදෙනකුද සමඟ පලා යමින් සිටි බව සහ ඩෙල්ටා ෆෝස් සෙබළු හා නිල සුනඛයන් ඔහු ලුහුබඳිද්දී මරාගෙන මැරෙන ජැකට්ටුව පුපුරවා ගනිමින් මරු වැලඳගත් බවය. වැඩිදුර පරීක්ෂණවලින් පසු අමෙරිකා බලධාරීන් ඉකුත් බ්‍රහස්පතින්දා තහවුරු කළේ අල් බග්දාදි සමඟ දරුවන් දෙදෙනකු පමණක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

අයි.එස්.අයි.එස්.නායකයා දඩයම් කළ ‘කයිලාමුලර්’ මෙහෙයුම නිමාවන තුරුම සෙසු ලෝකය ඒ ගැන දැන සිටියේ නැත. අල් බග්දාදි ජීවත් වූ නිවාසය පිහිටි පරිශ්‍රයට අමෙරිකා හෙලිකොප්ටර් ගොඩබස්වන විට යමක් සිදුවෙමින් ඇතැයි ලෝකය දැනගත්තේ ය. එසේම තම ගුවන් සීමා හරහා එම යානා ගමන් කරද්දී ඒ පිළිබඳ විමසූ රටවලට අමෙරිකාව දන්වා තිබුණේ ඔබ අපේක්ෂාවෙන් සිටින දෙයක් සිදුවෙමින් ඇති බැවින් බලා සිටින්න යනුවෙනි. ජනාධිපති ට්‍රම්ප් නිකුත් කළ ට්විටර් පණිවිඩයකද දැක්වුණේ කුමක් හෝ විශාල යමක් සිදුවෙනවා අපි බලමු යනුවෙනි.

දෙපැයක මෙහෙයුමෙන් අනතුරුව සිදුවී ඇත්තේ කුමක්දැයි ලෝකයට දැනගැනීමට හැකිවිය. අල් බග්දාදිගේ මරණයෙන් විනාඩි 15 ක් ගතවනවිට එම ස්ථානයේදීම සිදුකළ DNA පරීක්ෂණයෙන් මියගොස් සිටින්නේ ඔහුම බව තහවුරු වූ බව අමෙරිකාව කියා සිටී. මීට වසර කිහිපයකට පෙර ඔහු ඉරාකයේදී අත්අඩංගුවට ගෙන රඳවා සිටියදී ලබාගත් රුධිර සාම්පල සමඟ එම සැසඳීම කර තිබිණි.

‘කයිලාමුලර්’ මෙහෙයුම සඳහා සහභාගි වූයේ අමෙරිකානු භටයන් පමණි. එහිදී නිල සුනඛයන්ගේ සහාය ලබාගැනීම සිදුවිය. කෙසේවුවද කුර්දිවරුන්ගේ නායකත්වය යටතේ සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන්වදිමින් සිටින ‘ප්‍රජාතන්ත්‍රවාදී හමුදා’ නම් සන්නද්ධ ව්‍යාපාරය පූර්ව බුද්ධි තොරතුරු ලබාදෙමින් මෙහි සාර්ථකත්වයට බෙහෙවින් උපකාරී වූ බව අමෙරිකා හමුදා ප්‍රධානී ජෙනරාල් ෆ්‍රෑන්ක් මැකන්සි කියා තිබේ.

මෙහෙයුම නිමාකර විනාඩි කිහිපයක් ගතවනවිටම ජනාධිපති ට්‍රම්ප්, යුද හමුදා සාජන්ට් මැතිව් විලියම්ස්ට ගෞරව පදක්කම් පිරිනැමීය. ඔබටත්, ජෙනරල් මැතිව්ටත්, සෙසු පිරිසටත් බොහොම ස්තූතියි ඔබ විශ්මිත කාර්යභාරයක් ඉටුකළා යනුවෙන් ඔහු පවසා තිබිණි. ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් වෙතද ජනාධිපතිවරයාගේ විශේෂ ස්තූතිය හිමිවිය.

අයි.එස්.අයි.එස්. නායකයගේ අවවසානය ගැන ලොව බොහෝ රටවල් කතා කළේ එය අගය කරමිනි. ඒ සමඟම ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා තවදුරටත් කටයුතු කළ යුතු යැයිද එම පණිවිඩවල සඳහන් විය. වැඩි දෙනා කීවේ මෙහෙයුම අවසන්ව නැති බවය. ඉරාකය නිකුත් කළ පණිවිඩයෙන් කියැවුණේ අමෙරිකාව තමන්ගේම නිර්මාණයක් විනාශ කර දැමූ බවය. ඊට වැඩි යමක් සිදුනොවූ බව ඔවුන් කියා තිබිණි. රුසියාව කියා සිටියේ අමෙරිකාව පවසන දේ විශ්වාස කිරීම හැරුණුවිට මේ ගැන වෙනත් සාක්ෂි නොමැති බවය.

මෙහෙයුමට දින 5ක් ගතවනවිට අමෙරිකාව එය සිදුවූ ආකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝ දර්ශන කිහිපයක් මාධ්‍යයට නිකුත් කර ඇත. අයි.එස්. අයි.එස්. නායකයාගේ අවසානය සිදු වූ දිනට පසුදිනම ඔවුන්ගේ ප්‍රකාශකයා ලෙස දැන සිටි අබු අල් හසන් අල් මුජීර් ද මරාදැමීමට අමෙරිකාවට හැකිවිය. ඒ ඔහු ගමන් ගත් වාහනයට එල්ල කළ ප්‍රහාරයකිනි. අයි.එස්.අයි.එස්. මීළඟ නායකයා ඔහු විය හැකි බවට මත පළවී තිබිණි. එහි සත්‍යතාවක් තිබේ නම්, මෙය ඔවුන්ට අත් වූ බරපතළ පරාජයකි. සිය සංවිධානයේ නායකයා වශයෙන් අබ්දුල්ලා කර්දාස් පත්කළ බව අයි.එස්.අයි.එස්. නිල පුවත් සේවය වන ‘අමාන්’ වාර්තා කළේ මේ අතරතුරදීය.

කර්දාස් පිළිබඳ වැඩිදුර තොරතුරු හෙළිදරව් වී නැතත් ඔහු ඉරාක ජනාධිපති සදාම් හුසේන්ගේ පාලන සමය තුළ හමුදා නිලධාරියකු වශයෙන් කටයුතු කර ඇතැයි හෙළි වී තිබේ. කර්දාස්, හජිඅබ්දුල්ලා අල් - අෆාරි යන නමින්ද පෙනී සිටී. ඉකුත් අගෝස්තු මාසයේදී අයි.එස්.අයි. එස්.නායකයා විසින් ඔහු වෙත සංවිධානයේ ‘මුස්ලිම් කටයුතු’ පවරා තිබූ බව දැනගැනීමට තිබිණි. එහෙත්, සංවිධාන‍ය එය නිල වශයෙන් තහවුරුකොට නොතිබිණි. එම පත්කිරීම මඟින් සිය අනුප්‍රාප්තිකයා ලෙස කර්දාස් පෙරට ගෙන ඒමට අල් බග්දාදි ක්‍රියා කළ බව සැලකිය හැකිය. එමෙන්ම, සංවිධානයේ එදිනෙදා මෙහෙයුම්වලට අල් බග්දාදි ක්‍රියාකාරීව මැදිහත්වූයේද නැත. ඔහු නායකයා ලෙස නාමිකව පෙනී සිටිමින් ඒවාට අවශ්‍ය අනුමැතිය ලබාදීම හැර ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූ බවත් නොපෙනෙන්නේය යන්න විශ්ලේෂකයන්ගේ අදහසය. එදිනෙදා මෙහෙයුම් සිදු වී ඇත්තේ කර්දාස් වැනි ප්‍රබලයන්ගේ මෙහෙයවීමෙන් බව ඉන් පැහැදිලි වේ.

අබු බකර් අල් බග්දාදි, සිරියාවේ මොසුල්හි මුස්ලිම් පල්ලියක සිට ‘කැලිපේටය’ හෙවත් ඉස්ලාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කළේ 2014 වර්ෂයේදීය. මුලදී ඊට අයත් වූයේ ඉරාකය හා සිරියාවයි. පසුව ලිබියාව ද ඊට ඈඳා ගැනිණි. අනතුරුව එය තවදුරටත් පුළුල් කෙරිණි.

අමෙරිකාව ඊට එරෙහිව සන්ධානගත වූයේ 2014 දී මයි. ඉරාකයට මෙන්ම සිරියාවටද ගුවන් ප්‍රහාරද එල්ල කෙරිණි. 2015 දී රුසියාවද සටනට අවතීර්ණ විය. ජනාධිපති පුටින් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව ප්‍රබල ක්‍රියාන්විතයක් දියත් ක‍ළේය. අයි.එස්.අයි.එස්.නායකයා අවසන් වරට පෙනී සිටියේ ඉකුත් අප්‍රේල් මාසයේදී නිකුත් වූ වීඩියෝවේ ය. ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරය ගැනද ඔහු එහිදී අදහස් දැක්වීය. මේ වීඩියෝව මොසුල් පල්ලියේදී ඔහු ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් පසු, එනම් වසර 5කට පසු නිකුත් වූ එකම වීඩියෝවය. එම නිහැඬියාව හේතුවෙන් ඇතැම් ආරංචි පළ වූයේ ඔහු ජීවතුන් අතර නැතැයි යනුවෙනි. කෙසේවුවද අප්‍රේල් වීඩියෝව නිසා ඔහු ජීවතුන් අතර සිටින බව තහවුරු විය.

නායකයාගේ අභාවයත් සමඟ අයි.එස්.අයි.එස්. සංවිධානය පසුබෑමකට ලක්ව තිබියදී, අයි.එස්.ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදිමින් සිටින රටවල් 30 ක් වොෂින්ටනයේදී හමුවීමට නියමිතය. එම හමුව සඳහා නොවැම්බර් 14 වැනිදාට දින නියම වී ඇත. එය සිදුවන්නේ ප්‍රංශයේ මැදිහත්වීමෙනි. සිරියානු සටන් බිමේදී ගතයුතු ඉදිරි පියවර පිළිබඳ එහිදී සාකච්ඡා කිරීමට නියමිතය. මෙවැනි හමුවක් සඳහා ප්‍රංශයෙන් අදහස් ඉදිරිපත් වූයේ අල් බග්දාදි ගේ මරණයට කලිනි. ජනාධිපති ට්‍රම්ප් සිරියානු යුදබිමේ සිටි අමෙරිකා සෙබළු 100ක් පමණ ඉවත් කර ගැනීම එවැනි හමුවක් පැවැත්වීමට එක් මූලික හේතුවක් ලෙස ඉදිරිපත් විය. කෙසේ වුව ඊට දින නියම වූයේ අල් බග්දාදිගේ මරණයෙන් පසුවය. ඇතැම් විශ්ලේෂණකයන්ගේ අදහස ‘කයිලාමුලර්’ මෙහෙයුමේ සාර්ථකත්වයට සිය භටපිරිස් ඉවත් කරගැනීමට ට්‍රම්ප් ගත් තීරණයද රුකුලක් වූ බවය.

දැඩි ආරක්ෂක පියවර

අයි.එස්.විරෝධී සන්ධානය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අමෙරිකාව අවධාරණය කර තිබේ. ලබන 14 වැනිදා පැවැත්වෙන හමුව එහි වැදගත් පියවරක් ලෙස සැලකිය හැක්කේ එබැවිනි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරියකු ප්‍රකාශ කර තිබුණේ, සිරියාවේ ඊසාන දිග සටන් පෙරමුණවලින් සිය භට පිරිස් ඉවත්කර ගැනීමට ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණය මඟින් අයි.එස්.ත්‍රස්තවාදීන්ට එරෙහි සටන අත්හැරදැමීමට අමෙරිකාව කටයුතු කළ බවක් අදහස් නොවන බවය. අල් බග්දාදිගේ මරණයෙන් එය සනාථවන බව ඔහු පෙන්වා දී තිබිණි. ජනාධිපතිවරයා එවැනි තීරණයක් ගත්තේ ඔහුට මුහුණදීමට සිදුවූ තත්ත්වයන් යටතේ බව එම නිලධාරියා සඳහන් කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප් සිය භට පිරිස් ඉවත්කර ගැනීමත් සමඟ තම දේශසීමා ඔස්සේ තුර්කිය සිය භට පිරිස් මෙහෙයුම් සඳහා යෙදවීය. එසේ නොකරන ලෙසට ට්‍රම්ප් තුර්කි ජනාධිපති ඒර්ඩොගාන්ගෙන් ඉල්ලා සිටියද ඔහු ඊට අවනත වූයේ නැත. මේ වනවිටද අමෙරිකා භටයින් සුළු පිරිසක් සිරියාවේ රැඳී සිටී. ඒ, තෙල් නිධිවල ආරක්ෂාව සඳහා බව ප්‍රකාශ වී ඇත. එම ප්‍රදේශවල පාලනය දැනට පවතින්නේ කුර්දිවරුන් අතය. අමෙරිකාවේ දැඩි වුවමනාව තෙල් නිධිවලට අත තැබීමට අයි.එස්. ත්‍රස්තවාදීන්ට ඉඩනොතැබීම බව ප්‍රකාශ වී තිබේ.

අල් බග්දාදිගේ අවසානයත් සමඟ අයි.එස්.ත්‍රස්තවාදී රඳවා සිටින බන්ධනාගාර හා රැඳවුම් කඳවුරුවලට දැඩි ආරක්ෂක විධිවිධාන යොදා ඇත. කුර්දි සටන්කාමීන්ගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා ලෙස හඳුන්වාගන්නා සන්නද්ධ කණ්ඩායම් එම ආරක්ෂක පියවර ශක්තිමත් කළ බව පවසයි.

අයි.එස්.අයි.එස්.ත්‍රස්තවාදීන් කවර අයුරකින් ප්‍රතිචාර දක්වනු ඇතිද යන්න අමෙරිකාවේ මෙන්ම සෙසු රටවලද අවධානයට යොමුවනු ඇත.

ජනාධිපති ට්‍රම්ප්, දෙවන වටය සඳහා ජනාධිපතිවරණ සටනට පිවිස සිටියදී අයි.එස්.නායකයා දඩයම් කිරීම පිළිබඳ පුවත අසන්නට ලැබීමද වැදගත්ය. එමෙන්ම එය වාර්තා වූයේ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් පිළිබඳ ආරංචි ද මතුව තිබියදීය. කෙසේ වුව, අයි.එස්.අයි.එස්.නායකයාගේ අවසානය පමණක් නොව එම සංවිධානයේද අවසානය ලෝක සාමය හා ස්ථාවරත්වය මෙන්ම සුරක්ෂිතභාවය කෙරෙහි අතිශයින්ම වැදගත් බව විශ්ලේෂකයන්ගේ අදහසය.

(Dinamina)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website