Monday, 04 November 2019 06:51

තැඹිලි, නෙල්ලි දෙළුම් ලොරි ගණන් දැන් දෙන සිංහලයා

අදින් වසර දහයකට පෙර අපේ රටේ යුද්ධයක් තිබුණේය. අවුරුදු තිහක් තිස්සේ ඇවිලෙමින් තිබූ ඒ යුද්ධයේ සාපයට හසුවූ මිනිසුන් සැවොම ජීවත් වූයේ බියෙන් සැකෙනි. මගට බැස්සේ ජීවිත අවිනිශ්චිතතාවයෙනි. ඒත් උතුරේ සටන් දරුණුවටම ඇවිලෙමින් තිබූ දෙදහස් හය වසරේ සිට යුද්ධය අවසන්වනතුරු මැදවච්චිය පසුකර කැබිතිගොල්ලෑවට, අරිසිමලේට සහ පදවියට සඳලංකාවේ සිට මසකට වරක් අවුරුදු තුනක් මෝටර් සයිකලයක් පැදගෙන ගිය මිනිසෙක් සිටියේය. ඔහු නමින් රංජිත් රත්නායකයි. එදා රංජිත් බයිසිකලය පැද ගියේ තනිව නොවේ. බරට බරේ බෙහෙත් නෙල්ලි ගෝනි දෙකකුත් අරගෙනය. ඔහු බෙහෙත් නෙල්ලි මෝටර් බයිසිකලයේ බැඳගෙන ඒ ගියේ වෙළඳාමකට නොවේ. එදා ගිනි අවිය අතදරා නිදිවරමින් බංකරයට වී මව්බිම රැකි වීරෝදාර හමුදා සෙබළුන්ට හපමින් සිටින්නට නෙල්ලි දෙන්නටයි.

නෙල්ලි හපද්දී නිදිමතක් ඒනම් එය වැළැක්වේයැයි රංජිත් විශ්වාස කළේය. ඔවුන් හමුවට යෑම එදා ලේසි පහසු ගමනක් නොවුණත් රංජිත් හමුදා සෙබළුන්ට නෙල්ලි සමග දයාව ගෙන එහි ගියේ දුෂ්කරතා ගෙවාගෙනය. සියලු මුර කපොලු පරික්ෂා කිරීම්වලට නතුව හමුදා සෙබළුන් කරා ගිය රංජිත් රට වෙනුවෙන් තමන්ට කළ හැකි උපකාරය කළේ එසේය.
‘‘අපේ රට නිදහස් කරගෙන හැමෝටම නිදහසේ හුස්ම ගන්න රටක් හදන වැඩේදී ජීවිත පරිත්‍යාගයෙන්ම කැපවන හමුදාවේ රත්තරං දරුවෝ දැක්කම ඔවුන් වෙනුවෙන් මට කරන්න පුළුවන් මොකක්ද අපේ ගමෙන්ම කඩා ගත්තා බෙහෙත් නෙල්ලි ගෝණි දෙකක්. මගේ මොටර් සයිකලේම බැඳගත්තා. කැබිතිගොල්ලෑවේ කෑම්ප් එකේ කැප්ටන් පීරීස්වත් දැනුවත් කරලා ඒ අයට ගිහින් දුන්නා.

“ඒවා බොහොම ආදර ගෞරවයෙන් බාරගත්තේ ඒ සෙබළුන්. ඉතින් මම කල්පනා කළා මේ කෑම්ප් එකට විතරක් නොවෙයි අනිත් කෑම්ප්වලටත් නෙල්ලි ගිහින් දෙන්න ඕන කියලා. අපේ ගම් පැත්තේ නෙල්ලි හැදෙනවානෙ ඕන තරම්. ඔහොම අනික් කෑම්ප් වලටත් දුන්නා. ඊට පස්සෙ මාසෙකට සැරයක්වත් නෙල්ලි ගෝණි දෙකක් මම සඳ ලංකාවේ සිට වැලිඔයට කැබිතිගොල්ලෑවට අරිසිමලේට අරං ගියා.”

ආර්.එම්.ඒබ්‍රහම්ටත් එම්.ඒ.අංගනෝනාටත් දාව ආර්.එම්.රංජිත් රත්නායක1954 ඔක්තෝබර් 10 වැනිදා උපදින්නෙ දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා ලෙස. ඒ සඳලංකාවේ ගෝනුල්ලේදීය. ගෝනුල්ල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ඔහු සඳලංකාව මධ්‍ය විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් වී ඇත.

” ඒ කාලේ හැටියට මට නිදහස් තරුණ ජීවිතයක් තිබ්බා. තාත්තට පොල් වතු කීපයක් වගේම කුඹුරු කීපයක්ම තිබ්බා. වතු ආදායම අපට ඉහටත් උඩින් ජීවත් වෙන්න.”
තරුණ රංජිත් ගමේ තරුණ සංගම්වල පෙරමුණේම සිට පොදු කාර්යයන්ට හුරුවක් ලබාගත් අයෙකි. එකල ගලයායේ සුමේධ යතිවරයාණන්ගේ රුවන් වැලිසෑ අසදෘෂ මහා දානය පැවති වරෙක රංජිත් රත්නායක තම පුද්ගලික මුදල් වැඩි කොටසක් වැය කර සිසිල් පැන් දන්සලක් ද දුන්නේය.

” ඒ පිංකමට දායක වුණාම මට ලොකු හැඟීමක් ආවා. මම ඉපදිලා ඉන්නෙම පොදු වැඩට කියලා. 1984 තන්තිරිමලේට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බොහෝ දෙනෙක් අසරණ වුණා. ඒ වෙලාවෙ අනුරාධපුර දිසාපති ව සිටි රත්නායක මහතාගේ අනුදැනුමද සමග පවුල් දෙසීයකට අත්‍යවශ්‍ය ආහාර වියළි සලාක ලබා දෙන්න මට මුල් වෙන්න පුළුවන් වුණා, සඳලංකාවෙ මගෙ මිත්‍රයෝ ඒකට උදව් කළා.”

ඔය අතරේ ලංකාවේ නොඉඳ රට රස්සාවකට යාමට සිතූ රංජිත් තම මිත්‍රයන් සිටින ඉතාලියේ ෆාමසි සහායකයකු ලෙස වසර දෙකක් එහි සිට සිය වතු පිටි රැකගනු වස් යළි ලංකාවට පැමිණ තිබේ. 1987 නෑකමට නෑනා සීතා නිස්සංක සමග විවාහ වූයේය. ඇයද පොදු වැඩවලට කැමති කෙනෙක් වූවාය.

ඒ අවුරුද්දෙ ඉඳලා මම මහරගම අපේක්ෂා රෝහලට තැඹිලි පරිත්‍යාග කිරීමට පටන් ගත්තා. ආසන්න ආරණ්‍ය සේනාසනවලට අවශ්‍ය පහසුකම් වගේ ඒවත් කර දෙන්න මට පුළුවන් වුණා. අපි හැම අවුරුද්දෙම මහරගම අපේක්ෂා රෝහලට තැඹිලි ගෙඩි 2500ක් වගේ දුන්නා. ඒක එදා ඉඳලා අදටත් අඛණ්ඩව කරනවා.”

2004 සුනාමි විපත මොහොතේත් සඳලංකාවේ ළතෙත් මිනිස්සු සමග ඇඳුම් පැලඳුම් පිඟන් කෝප්ප හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිරවූ ලොරි කීපයක්ම දකුණු පළාතේ අවතැන් අයට පරිත්‍යාග කිරීම රංජිත්ගේ මූලිකත්වයෙන් සිදුකළේය.

“ඔහොම මම ඔය වැඩ කර කර ඉද්දි 2006 කැබිතිගොල්ලෑවෙ බස් එකකට කොටි බෝම්බ ගැහුවා. ඒකෙන් තුවාල වූ අහිංසක මිනිස්සු කොළඹ ජාතික රෝහලටත් අරන් ඇවිත් තිබුණා. මම ජාතික රෝහලට අවස්ථා ගාණකම ගිහින් එයාලට අවශ්‍ය දෑ සපයා දුන්නා. එහෙම කරලා පහුවදා මම කැබිතිගොල්ලෑවේ ගියා ඒ බෝම්බෙන් මිය ගිය අයට අවසන් ගෞරව දක්වන්න. ඒ එක්කම ඒ අවතැන් කඳවුරටත් ගියා. එහේ ගිහින් තත්ත්වේ දැකලා මම ගෙදර ඇවිත් හිතවතුන්ටත් කියලා හාල් පොල් සීනි බිස්කට් වැනි වියළි ආහාර අවතැන් කඳවුරු තුනටම දුන්නා.”

රංජිත් රත්නායක යළිත් ගමට පැමිණ ඒ අවතැන් කඳවුරුවල ඉන්න අයට තවත් යමක් කළ යුතු යැයි සිතා ගමේ අයත් හිතවතුනුත් එක්කරගෙන අවතැන් 4000ක් පමණ වූ පිරිසට රසවත් ගුණවත් ආහාර වේලක්ද ලබා දී තිබුණි.

රංජිත් රත්නායක මෙසේ සමාජ සත්කාර කරමින් මහා සැනසුමකින් හිත සනසාගනිද්දී 2006 වර්ෂයේදීම මාවිල්ආරු වතුර ගැටලුව ආවේය. එයින් අසරණ වී කඳවුරුගතව සිටි ජනතාව බලන්නටද ඔහු ගියේය. එසේ ගොස් කරුණු දැක සිය ගමේ නෑදෑ හිතවතුන් හා එක්ව 2006 දෙසැම්බර් 28 දින 8000ක් පමණ වූ කඳවුරුගත මිනිසුන්ට දිවා ආහාර වේලක් ලබා දුන්නේ ඔහුගේ උත්සාහයෙනි. 2007 වර්ෂයේ වැලිඔය ඇතා වැටුණු වැව ගම්මානයට එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ පසුව එම ගම්මානයේ නායක හාමුදුරුවන් සමග රංජිත් රත්නායක එම පීඩාවට පත් පිරිස් වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දී තිබේ. අහිංසක අසරණ මිනිසුන් දුටු සැණින් හදවත උණුවෙන රංජිත් රත්නායක මෙසේ උතුරටත් නැගෙනහිරටත් යමින් එමින් මිනිස්සුන්ට දයාව කරුණාව රැගෙන ගියේ කොටි හා හමුදාව අතරේ දරුණු සටන් පැවති යුගයේය.

“මට මේ අපේම මිනිස්සු මෙහෙම අසරණ වෙලා ඉද්දි කිසිවක්ම නොකර ඉන්න බැරි වුණා. අපේ ඇතා වැටුණු වැව නායක හාමුදුරුවන්ගේ අනුශාසනා සහිතව අපේ ගමේ අයගේද සහාය සහිතව තැඹිලි කොස් අලිගැට පේර ආදිය සහිතව ලොරියක් පුරෝලා බඩු හැලඹවැව හමුදා කඳවුරට දුන්නා. මේජර් කිත්සිරි සර්ගෙ අනුදැනුම මත බෙහෙත් වර්ග පොල් අතු කළු ඉටිරෙදි තැඹිලි ආදී බොහෝ දෑ අපි ලොරි හත අටක්ම ගිහින් දුන්නා. වැලිඔය ඇතා වැටුණු වැව පන්සලේ නායක හාමුදුරුවො එක්ක රස්නේ දවස්වල සව් කැඳ හදලා කෑම්ප්වලට ගිහින් දුන්නා.”

සඳලංකාවේ රංජිත් රත්නායකට වැලිඔය කැබිතිගොල්ලෑව අරිසිමලේ ආදී ගම් පෙදෙස් තමන්ගෙ ගම තරම්ම සමීප බව දැනෙන්න වැඩි කල් ගියේ නැත. 2008 මානුෂික මෙහෙයුමේ යුද තත්ත්වය දරුණුවට තිබි යුගයේ නෙළුම් වැව යුද හමුදා කඳවුරට අත්‍යවශ්‍ය දෑ ලබා දී එන අතර ඔහු ගමන් ගත් රථය ඉදිරියට මෝටාර් උණ්ඩයක් එකවරම වැටුණද කරපු යහපත් වැඩවල ආශීර්වාදෙන් හෝ කිනම් හෝ හේතුවකට එම උණ්ඩය පිපිරුණේ නැත. එකල ඇතැම් අවතැන් කඳවුරු වෙත ගමන් කිරීම රෑ පමණක් කරන්නට අවසර ලැබුණේ ආරක්ෂක තත්ත්වය මතය.

“රෑ විතරයි යන්න දුන්නේ. අපට සැරයක් එහෙම යන්න වුණේ වැව් බන්ට් උඩින්. ඒත් ලයිට් දාගෙන යන්න බෑ. දුරට එළිය දැක්කොත් කොටි වෙඩි තියනවා. අපි ලයිට් නිවාගෙන හෙමින් ගිහින් එහෙම උදව් කරපු අවස්ථා තියෙනවා”

එසේ ජීවිතය ගැන හෝ නොසිතා අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් කළ රංජිත්ට යුද්ධය නිමවා සාමය උදා වුවත් ඒ ගම් බිම් හා මිනිසුන්, හමුදාව අමතක කර ඉන්නට සිතුණේ නැත.

යුද්ධය නිමා වූ මේජර් රොහාන් ජයකොඩි සර්ගේ අනුදැනුම මත වැලිඔය වෙහෙර තැන්නෙ හැම පවුලකටම මගෙ ගමේ අය හා හිතවතුන්ගේ උපකාරද ලබා වියළි ආහාර ලබා දුන්නා. ඒ වගේම වැලිඔය කල්‍යාණපුර හැම නිවසටම වියළි ආහාර මල්ලක් දෙන්නත් අපට පුළුවන් වුණා. මේජර් මහානාම මහත්තයගෙ සම්බන්ධීකරණයෙන් රණවන දමින්ද හාමුදුරුවන්ගෙද අනුශාසනයෙන් සීනි තේකොළ හාල් කිරිපිටි සහිත වියළි ආහාර මල්ල බැගින් මොනරවැව හැම ගෙදරටම දෙන්න හැකි වුණා.”

රංජිත් රත්නායක මෙසේ උදව් කළ ගම්මාන රැසක් වේ. වැලිඔය වෙහෙර තැන්නෙ මිනිස්සුන්ට වියළි ආහාර පමණක් නොව පොල් පැළ ආදී අනාගත ප්‍රයෝජනයට ගත හැකි පැළ වර්ගද ලබා දී තිබේ. වැලිඔයේ වෙහෙරතැන්නෙ ලබා දුන් පොල් පැළ සිටුවා අද වන විට ඒවායේ පල ලබන්නෝද සිටී. කම්බිලියාව කොහොඹගස්තැන්න ආදී ප්‍රදේශයන්හි ජනතා අවශ්‍යතා වෙනුවෙන්ද හේ මැදිහත් වී තිබේ. යුද්ධය නිමා වුවද ඒ මිනිසුන් මනසින් අතැර නොගිය රංජිත් අදද ඒ ගම්මානයන්හි තමන්ට කළ හැකි මෙහෙවර කරමින් සිටී.
“දැනට අවුරුදු 6ක් තිස්සේ කල්‍යාණපුර, හැලඹවැව, ඇතාවැටුනුවැව, පරාක්‍රමපුර ආදී ප්‍රදේශයන්හි ගැබිනි මව්වරුන්ට අවශ්‍ය කළමනා හා පෝෂණ මල්ලක් වාර්ෂිකව අපි පරිත්‍යාග කරනවා. ඒ සඳහා සඳලංකාව ප්‍රදේශයේ නිශාන්ත, සුනිමල්, සෙනරත් ඇතුළු මගේ හිතෛෂී මහත්වරු උපකාර කරනවා.”

මේ කාර්යයන් සඳහා ඔහුට ඔහුගේ හිතවතුන් උපකාර කරන අතර මේ කාර්යයන් සඳහාම බොලෙරෝ රථයක් හේ මිලදී ගෙන ඇත. සිය වතුපිටි ආදායම් සියල්ලම වගේ රංජිත් මේ පොදු කාර්යයන්ට යොදවා තිබීම විශේෂය. සඳලංකාව ආසන්න යෝගියාන, ඇටියාවල, සිංගක්කුලිය, පන්නල ඇතුළු ගම්මාන රැසක මිනිසුන් ඔහුගේ මේ පරිත්‍යාග කිරීම් කටයුතු වෙනුවෙන් සිය වතුවල ඇති තැඹිලි කොස් ආදී දෑ ඕනෑම වෙලාවක ඔහුට නොමිලේ ලබා ගන්නට අවසර දී තිබේ. කැබිතිගොල්ලෑවේ හිටපු මහෙස්ත්‍රාත්වරයෙකුට අයිති තැඹිලි වත්තක්ද ඔහුගේ පරිත්‍යාගයන්ට අවශ්‍ය තැඹිලි නොමිලේ ගන්නට අවසර ලබා දී තිබේ. එබැවින් වර්තමානයේ ඔහුට වැය වන්නේ කැපුම් කුලී සහ ප්‍රවාහන කුලී හා කාලය පමණි.

“අපි උපකාර කරපු ගම් සියල්ල දින වකවානු එක්ක මගේ මතකයේ නෑ. 2010 සිට මේ දක්වාම මාසෙකට වරක් අනුරාධපුර පිළිකා වාට්ටුවේ ලෙඩුන්ට තැඹිලි අරං එනවා මම. ඒවගෙම වකුගඩු වාට්ටුවට යෝගට් දෙන එකත් 2014 සිට අඛණ්ඩව මාසෙකට වරක් කරනවා. 2010 සිටම අනුරාධපුර කුරුන්දන්කුලම පිළිකා වාට්ටුවට මාසෙකට වරක් තැඹිලි හා දෙළුම් පරිත්‍යාග කරනවා. එහෙම එද්දි අනුරාධපුර අභිමංසලටත් දෙන්න අමතක කරන්නෙ නෑ.

මගේ බොලෙරො එකේ තැඹිලි දෙළුම් පුරවගෙන එනව. රාගම රණවිරු සෙවණටත් යෝගට් තැඹිලි දීම කාලයක සිටම කරනවා. දැන් මම උදේ නැගිටලා හිතන්නෙ කාටද මම අද පොඩි උපකාරයක් හරි කරන්නෙ කියලා. තැඹිලි අරං අනුරාධපුරේ එද්දි මුලින්ම කරන්නෙ ශ්‍රීමහා බෝධි රාජයාණන්ට තැඹිලි පූජා කරන එක.”

“2010 ඉඳලා හැම අවුරුද්දෙම සැප්තැම්බර් ඔක්තෝබර් කාලයෙ කල්පිටියෙන් රුපියල් ලක්ෂ දෙකක දෙළුම් ගන්නවා. වතුවලින්ම ගන්නෙ. ඒ වතු අයිති අය තොග මිලටත් අඩුවෙන් අපට දෙළුම් දෙනව. ඊට අමතරවත් දෙළුම් ප්‍රමාණයක් ඔවුන්ගෙ ගානෙ දෙනවා. ඒ සම්පූර්ණ මුදල මගේ හිතවත් අය දරනවා.

“මේ වැඩවලට මට උදව් කරන ගොඩාක් අය ඉන්නවා. මගේ නෑදෑ සහෝදර අශෝක මල්ලි මා සමග බොහෝ වැඩවලට එක් වෙනවා. මාසෙකට වරක් මම බයිසිකලේ පදවියට වැලිඔයට අනුරාධපුරයට පුල්මුඩේට අරිසිමලේට එනවා. ඒ ඇවිත් බලාගෙන ගිහින් ඒ මාසේම ලොරියේ අවශ්‍ය දෑ අවශ්‍ය තැන්වලට ගෙනත් පරිත්‍යග කරනවා. මම හිතන්නෙ මම ඉපදිලා තියෙන්නෙ මේ සමාජ සේවෙට කියලා. මගේ නෝනාත් මේ සියල්ලටම මට උපකාර කරනවා.”

මසකට වරක් මෝටර් සයිකලේක දුෂ්කර ගම්මාන කරා එන ඔහු ඒ එන්නේද හිස් අතින් නොවේ. ඒ ඒ ගම්මානවල පුංචි දරුවෝ ඔහු දුටු සැණින් ඔහු වෙත දිව එන අතර ඒ හැමට දීමට ඔහු ළඟ එක්කො යෝගට් එක්කෝ ටොපි බෝතල් කීපයක් වරදින්නේ නැත. ඉතාම අප්‍රසිද්ධියේ උපන් බිම වෙනුවෙන් ධනය ශ්‍රමය සමග ජීවිතය කැප කර ඇති රංජිත් රත්නායක හෙටත් බයිසිකලයේ හෝ බොලෙරෝවේ පටවාගත් මනුස්සකමත් දයාවත් උතුරට නැගෙනහිරට පමණක් නොව රටටම බෙදනු ඇත.

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website