Wednesday, 06 November 2019 10:35

සර්පයෙක් දුටු ගමන් මරන්නෙ ඇයි

ලංකාවේ සර්ප දෂ්ටන අතර වැඩිපුරම වාර්තා වෙන්නේ කුණකටුවා දෂ්ට කළ අවස්ථා ගැනයි.


ඒත් තවම කුණකටු විෂට ප්‍රතිඵල එන්නතක් සොයාගෙන නැහැ.

වසරකට ලංකාවේ 80,000ක් පමණ සර්ප දෂ්ටන සිදුවෙනවා. නිසි ප්‍රතිකාර නැතිකමින් හාරසිය දෙනෙක් පමණ මියයනවා.

සර්පයන් යනු උරග ලෝකයේ වැඩිම අවධානයකට ලක්වන ජීවීන් කොටසකි. 2012 ජාතික රතු දත්ත පොත දක්වන පරිදි ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සර්ප විශේෂ ගණන 103ක් වන අතර ඉන් 49ක්ම මෙරටට ආවේණිකය. සර්පයන් වර්ගීකරණය කිරීමේදී උග්‍රවිෂ, මඳ විෂ හා නිර්විෂ වශයෙන් වර්ග කිරීම සිදුවේ. මේ වර්ගීකරණයට අනුව ශ්‍රි ලංකාවේ හමුවන සර්පයන් 100ක් පමණ අතුරින් උග්‍ර විෂ සර්පයන් සිටින්නේ අතළොස්සකි. සංඛ්‍යාත්මකව 8ක් පමණ වේ. එම උග්‍ර විෂ සර්පයන් නම් නයා, නාගයා, තිත් පොළඟා, වැලිපොළඟා, තෙල් කරවලා, මඟ මරුවා, මූදු කරවලා සහ කුණ කටුවා / පොළොන් තෙලිස්සාය. මේ අතරින් වැලි පොළඟුන් දෂ්ට කිරීම නිසා සිදුවන මරණ වාර්තා නොවන තරම් බැවින් එම සර්පයාද මද විෂ යන කාණ්ඩයට ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකාවේ වාර්තාවන සර්ප දෂ්ටන අතරින් වැඩිම සංඛ්‍යාවක් කුණකටුවන් විසින් කරන දෂ්ටනය.

ලංකාව අවට මුහුද කලාපයේ මුහුදු සර්ප විශේෂ 15ක් පමණ හඳුනාගෙන ඇති අතර ඒම සර්ප විශේෂ සියල්ල උග්‍ර විෂ සහිතය. කෙසේ වුවද එම සර්ප දෂ්ටන වාර්තා වන්නේ අවම වශයෙනි. මරණ වාර්තා වන්නේද ඉතා අවම වශයෙනි.

වසරකට ලෝකයේ වාර්තාවන සර්ප දෂ්ටන සංඛ්‍යාව මිලියන 1.8 – 2.7ක් පමණ වේ. ඉන් 81000-138000 අතර සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වෙති. ලොව වැඩිම සර්ප දෂ්ටන සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු ආසියා කලාපයෙනි. ශ්‍රී ලංකාව ලෝකයේ සර්ප දෂ්ටන වැඩිම රටක් ලෙස සටහන්ව ඇත. අපේ රට ඝර්ව කලාපීය මෙන්ම කෘෂිකාර්මික රටක් වීම සර්පයන්ගේ ව්‍යාප්තියට හිතකර වීම ඊට හේතුවය. ලංකාවේ වියළි කලාපයේ උග්‍රවිෂැති සර්ප ගහනය අධිකය.

‘‘ශ්‍රී ලංකාවේ වසරකදී සාමාන්‍යයෙන් සර්ප දෂ්ටන 80,000ක් පමණ සිදුවෙනවා. ඉන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නේ 40,000ක් වැනි සංඛ්‍යාවක් ඒ අතරින් 400 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්වේ. වඩාත් වැදගත් කාරණය තමයි මේ 400න් 390 දෙනකුගේ පමණ මරණ වළක්වා ගත හැකිවීම ජීවත් කිරීමට අසීරු වන්නේ ඉතා සුළු සංඛ්‍යාවක්. ඒ නිසා මේ ගැන විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතුයි.’’
මහාචාර්ය කළණ මාදුවගේ එලෙස අවධාරණය කරන්නේ නොපමාව අවධානය යොමුවිය යුතු තත්ත්වයකි. එහිදී අපට අනුගමනය කළ හැකි කෙටි කාලීන පියවර මෙන්ම දිගු කාලීන පියවරද තිබේ.

අප රටේද බොහෝ දෙනකු හුරු වී සිටින්නේ සර්පයකු දුටු විගස තලා දැමීමටය. පළමුව ජීවිතාරක්ෂාව බව පිළිගත යුතුය. එහෙත් තලා දමන සර්පයන්ගෙන් වැඩි දෙනකු සර්ප නිර්විෂ සර්පයන්ද විය හැකිය. ‘‘උරගයෙක් වුණාට අපි කවුරුවත් කටුස්සෙක්ව තලා දාන්නේ නෑ. මොකද අපි දන්නවා කටුස්සාගෙන් අපට හානියක් නෑ කියලා.

හැබැයි සර්පයකු දුටුවොත් දෙවරක් නොසිතාම තලා දමන්න බොහෝ දෙනා පෙලඹෙනවා. ඒ උග්‍ර විෂ සහිතයි කියලා. මේක වෙන්නේ සර්පයන් නිවැරදිව හඳුනා ගැනීමට අපොහොසත් වීම නිසා.’’

සර්පයන් නිවැරදිව හඳුනා ගැනීමේ දැනුම 3,4 ශ්‍රේණිවල පටන්ම දරුවන්ට ලබාදිය යුතු බව මහාචාර්ය කලණගේ අදහසයි.

‘‘සර්පයන් නිවැරදිව හඳුනා ගැනීම පාසල් පෙළ පොතට ඇතුළත් කළ යුතුයි. මේ දැනුම අ.පො.ස. සාමාන්‍ය පෙළ, අ.පො.ස. උසස් පෙළ වැනි විභාගවලදී පරීක්ෂාවට ලක් කළ යුතුයි. එවිට මේ සතුන් ගැන දැනගැනීමට ළමුන් පෙලඹෙනවා. විභාගයට අහන්නේ නැත්නම් ළමුන් ඒ ගැන දැනුවත් වෙන්නේ නැහැ. ඒ තමයි දැනට තියෙන අධ්‍යාපන රටාව.’’

කුඩා වියේදීම ළමයින්ට සර්පයන් ගැන එවැනි දැනුමක් ලබාදීමට හැකිනම් සර්ප දෂ්ටන නිසා සිදුවන අනතුරු හා ජීවිත හානි අවම කර ගැනීමට හැකිවනවා පමණක් නොව සර්පයන් සංරක්ෂණය වෙනුවෙන්. තැබෙන වැදගත් හා ප්‍රායෝගික පියවරක් ලෙසද එය සැලකිය හැකිය. එලෙස සර්පයන් තලා දැමීමට නීතියෙන් අවසර නොමැත. එසේ කිරීම පවා වරදකි. නීති තත්ත්වය එසේ වුවද නිර්විෂ සර්පයන් පවා නිකරුණේ වඳවෙමින් පවතින්නේ සර්පයන් පිළිබඳ ඇති නොදැනුම නිසා බව කල්පනා කළ යුතුය. මේ තත්ත්වයට විසඳුමක් සැපයීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. මහාචාර්ය කලණ මාදුවගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සර්පයන් හඳුනා ගැනීමේ වෙබ් අඩවිය එයයි.

WWW.snakesidentification.org නම් එම වෙබ් අඩවියට පිවිසෙන ඕනෑම අයකුට මෙරට හමුවන සර්පයන් හඳුනා ගැනීමේ පහසුව සැලසී තිබේ. ‘‘යම් සර්පයකු හඳුනා ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ සර්පයාගේ ඡායාරූපයක් මේ වෙබ් අඩවිය වෙත යොමු කිරීමයි. කෙටි කාලයක් තුළ එම සර්පයා පිළිබඳ හා විෂෙහි ප්‍රබලතාව ගැන ඔබට දැන්වීමට එය වගබලා ගන්නවා’‘

එමගින් වඳවීයාමේ තර්ජනයට පවා මුහුණ දී සිටින ඇතැම් නිර් විෂ සර්පයන් සංරක්ෂණය කර ගැනීමට රුකුලක් ලැබෙන බව පැහැදිලිය. එමෙන්ම සර්ප දෂ්ටනයක් සිදුවූ විට දෂ්ට කළ සර්පයා හඳුනා ගැනීමටද ඉන් හැකියාව ලැබේ. එසේ හඳුනා ගැනීම මගින් නිකරුණේ කලබලයට පත්වීමට ඇති ඉඩප්‍රස්ථා අවම කරගත හැකිය.

කෙසේ වුවද සර්ප දෂ්ටනයක් යනු ඊට ලක්වූ තැනැත්තාගේ ජීවිතයට හානිවිය හැකි තත්ත්වයන් බැවින් ඉතා ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු කිරීම වැදගත්ය. එහිදී රෝගියා කලබලයට පත් නොවන අයුරින් ක්‍රියාත්මක වීමට වගබලා ගත යුතුය. හැකි ඉක්මනින් රෝහලට රැගෙන ඒමට වග බලා ගැනීම අතිශයින් වැදගත්ය. එසේ පැමිණෙන විට සර්පයාද මරා රැගෙන ආ යුතු බවට මතයක් පැවැතියද එසේ කිරීම අනවශ්‍යය. රෝගියාගේ ස්වභාවය හා ලක්ෂණ අනුව වෛද්‍යවරු සර්පයා හඳුනා ගන්නා අතර ඊට ගැළපෙන ප්‍රතිවිෂ එන්නත ලබාදීම සිදුවේ.

සර්ප ප්‍රතිවිෂ එන්නත සර්ප දෂ්ටනයකදී ලබාදිය හැකි ප්‍රමුඛ ප්‍රතිකාරයයි. දැනට ලංකාවේ භාවිත වන ප්‍රතිවිෂ එන්නත ඉන්දීය නිෂ්පාදනයකි. එරට ව්‍යාප්තව සිටින සර්පයන්ගේ විෂ යොදාගනිමින් නිපදවා ඇති එය ලංකාවේ සිටින උග්‍ර විෂ ඇති සර්පයන් 4 දෙනකු දෂ්ට කළ අවස්ථාවලදී ප්‍රතිකාර කිරීමට යොදා ගනී. ඒ නයා, තිත් පොළඟා, වැලි පොළඟා සහ තෙල් කරවලා දෂ්ට කළ විටය.

උග්‍ර විෂ සර්පයන් දෂ්ට කළ සියලු රෝගීන්ට එම විෂ ශරීරගත වීම සිදුවන්නේ නැත. එබැවින් එවැනි සෑම දෂ්ටනයකදීම ප්‍රතිවිෂ එන්නත ලබාදීම සිදුවන්නේද නැත. එසේ ලබාදිය යුතුද යන්න තීරණය කරන්නේ වෛද්‍යවරුය. රුධිර පරීක්ෂාවන් සිදු කර විෂ ශරීර ගත වී තිබේදැයි දැන ගැනීමෙන් පසු එම එන්නත ලබාදීම සිදුවේ. ඊට හේතුව මෙම එන්නත ලබාදීම ඇතැම් රෝගීන් සම්බන්ධයෙන් ආසාත්මිකතා පෙන්වීමට ඉඩ ඇති බැවිනි. කෙසේ වුවද රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගියකුට ප්‍රතිවිෂ එන්නත ලබාදීම පවා නොකළ යුතුය. එසේ පමාවීමෙන් රෝගියාගේ අවයව ගණනාවකට හානි සිදුවන බැවිනි.

මෙරටදී වැඩියෙන්ම වාර්තාවන සර්ප දෂ්ටනය වන කුණකටුවාගේ විෂට එරෙහිව ප්‍රතිවිෂ එන්නතක් නොමැත. සර්ප දෂ්ටන නිසා සිදුවන ජීවිත හානි වැඩිවීමට මෙය බලපා තිබේ. මෙවැනි කාරණා පිළිබඳ අවධානය යොමු කරමින් මෙරට හමුවන සර්පයන් දෂ්ට කළ විට භාවිත කළ හැකි ප්‍රතිවිෂ එන්නතක් නිපදවීම කෙරෙහි මෙරට විද්‍යාඥයන්ගේ අවධානය යොමු විය. එහි ප්‍රගතිය පිළිබඳ මහාචාර්ය කලණ අප සමග කීවේ මෙලෙසය.

‘‘මහාචාර්ය ඉන්දික ගවරම්මානගේ නායකත්වය යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් මේ ගැන පර්යේෂණ කරනවා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා කොස්ටාරිකා විශ්වවිද්‍යාලයත් එහිදී ඔවුන් සමග එක්ව සිටිනවා. දැනට මේ ප්‍රතිවිෂ එන්නත සායනය පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. තව වසර එක හමාරක් පමණ ගත වන විට මේ පර්යේෂණ සාර්ථක වේවි කියලා අපි බලාපොරොත්තුවෙන් සිටිනවා.’’

ඒ පර්යේෂණ සාර්ථක වුවොත් සර්ප දෂ්ටන නිසා මෙරටින් වාර්තාවන මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට විශාල රුකුලක් වනු ඇත.

සෑම සර්ප දෂ්ටනයක් සඳහාම ප්‍රතිවිෂ එන්නත ලබාදීමද අවශ්‍ය නොවේ. නිදසුනක් ලෙස කරවැල් දෂ්ටනයකදී සිදුකරන්නේ කෘත්‍රිම ශ්වසනය ලබාදීම මගින් රෝගියාගේ ශ්වසනය නිසියාකාරව පවත්වා ගැනීමය. වෙනත් ප්‍රතිකාරයන් අවශ්‍ය නොවන අතර ශ්වසනය යථා තත්ත්වයට පත් වූ පසු රෝගියාට රෝහලෙන් නික්ම යා හැකිය.

ඇතැම් සර්පයන් දෂ්ට කළ විට ප්‍රතිකාර ලබා ගෙදර ගොස් යම් කලකට පසුවද වකුගඩු නරක් වීම වැනි තත්ත්ව ඇතිවිය හැකිය. එබැවින් ප්‍රතිකාර සඳහා යොමුවීම බෙහෙවින්ම වැදගත්ය.
‘‘සර්ප දෂ්ටනයකදී කළ යුතු නොකළ යුතු දෑ ගැන දැනුවත්ව සිටීමත් ඉතා වැදගත්. එය ජීවිත හානි අවම කර ගැනීමට නිසැකවම බලපානවා. විශේෂයෙන් ප්‍රථමාධාර ගැන දැනුවත්ව සිටිය යුතුයි. ඒත් මේ ගැන තියෙන්නේ ඉතා අවම මට්ටමක්. උසස් පෙළ ජීවවිද්‍යා අංශයෙන් වැඩ 3 සම්මාන සහිතව ළමයකුට පවා මේ ප්‍රථමාධාර දැනුම නෑ. මේක වෙනම සාකච්ඡා කළ යුතු කාරණයක්. ඇත්තටම මේ දැනුම විෂයය නිර්දේශයට සහ පෙළපොතට ඇතුළත් කළ යුතුයි. එය තමයි මේක සමාජගත කරන්න පුළුවන් හොඳම විදිහ.’’

මහාචාර්ය මාදුවගේ පෙන්වා දෙන මේ කාරණය අපේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට නොපමාව ලක්වන්නේ නම් නිකරුණේ අහිමි වන ජීවිත විශාල ප්‍රමාණයක් මරණයෙන් ගලවාගත හැකි වනු ඇත. එහිදී ප්‍රතිපත්ති සම්පාදකයන්ට සෞඛ්‍ය බලධාරීන්ට, පර්යේෂකයන්ට, වෛද්‍යවරුන්ට මෙන්ම පුරවැසි අප කාටත් පැවරෙන්නේ වගකීමකි. එමෙන්ම එය අප කා අතිනුත් ඉටු විය යුතු යුතුමකමකි.

(ඔක්තෝබර් 21 වැනිදාට යෙදුණු ලෝක උරග දිනය නිමිත්තෙන් සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තිනානි කටයුතු අමාත්‍යාංශයේ වනජීවී අංශය සංවිධාන කළ වැඩමුලුවේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීටයේ මාහාචාර්යය කළන මාධුවගේ දැක් වූ අදහස් ඇසුරින් මේ ලිපිය සැකසුණි.)

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website