සිකුරාදා, 20 දෙසැම්බර් 2019 10:49

කැටපෝල් ආනයනය තහනම් කරන්නේ කවදාද?

ලංකාවේ ගම්මිරිස් ගොවීන් කලකට ඉහත තම ගම්මිරිස් විකුණාගත නොහැකිව විරෝධතා දැක්වූයේ ගම්මිරිස් වැල් පිටින් ගෙනැවිත් මහමග ටයර් දමා පුළුස්සමිනි. බුබුළු ගම්මිරිස් ආනයනය කොට ඒවා ලංකාවේ ගම්මිරිස් සමග මිශ්‍ර කොට ප්‍රතිඅපනයනය නිසා ගම්මිරිස් ගොවීන්ට අත්වූ ඉරණම ගැන ලියන්නට අපනයන සංවර්ධන මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, වාණිජ මණ්ඩලය ආදී බොහෝ තැන්වලින් කරුණු විමසද්දී ගම්මිරිස් අපනයනය කරන ප්‍රධාන ආයතනය සොයා ගැනීමට හැකි විය.

මේ හැම තැනින්ම කියූ ආයතනයේ නම ‘ඉෂානා එක්ස්පෝට්’ නම් විය. නිව් මූර් ස්ට්‍රීට්හි පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේ ප්‍රධානියාගේ කාමරයේ අලංකාරයට තිබුණේ විවිධ විසිතුරු බඳුන්වල ඇසිරූ ගම්මිරිස්, කරදමුංගු, කරාබුනැටි, එනසාල් වැනි කුළුබඩුය. ඉෂානා එක්ස්පෝට් ගම්මිරිස් අර්බුදය ගැන කිව්වේ මෙවැන්නකි.

‘‘මොනාද බොසා ඔය රු. 300ට ගම්මිරිස් විකුණනව නම් ඉතින් මං දැන් කන්ටේනර් 20ක් ගන්න කැමතියි.’’

කියූ ඔහු තම මේසයේ වූ දඩ ලාච්චුව ඇද පෙන්නන්නට විය. එහි වූයේ කෝටියකට අධික පන්දහසේ කොළය.

‘‘ඕවා ඔක්කොම දේශපාලන වැඩ. මිනිස්සුන්ගේ ගම්මිරිස් මිල අඩු කරන්න තමයි ඕවා කරන්නේ. මොකද ඉතින් ගම්මිරිස්වලට පෝර දානවද බොසා, පීදිච්ච දවසේ ඉඳන් කප්පාදු කර කර ගන්නේ ආදායම තමා.’’

මේ ව්‍යාපාර හිමියා ගැන අපට නැවත මතකයට ආවේ කුරුඳු, ගම්මිරිස්, කරුංකා ආදිය රටින් ගෙන්වීම තහනම් කරමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමගය. මේ ලංකාවේ නොම්මර එකේ ගම්මිරිස් අපනයනකරු පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවේ සිටින ඉබ්‍රාහිම් හාජිය.

ඉබ්‍රාහිම් කියූ පරිදි ලංකාවේ කුළුබඩුවලට ඇති ඉල්ලුම කිසි කලෙක කිසිදු රටක නිෂ්පාදනවලට බිඳිය නොහැකි තත්ත්වයකි.

‘‘ලංකාවේ කුළුබඩු ගොවීන්ට පුදුම කඩිකුලප්පුවක් තියෙන්නේ බඩු ටික සල්ලි කරගන්න. ටිකක් ඩිමාන්ඩ් වෙනකම් තියාගන්නෙම නෑ. දැන් බොම්බයි ලූනු ඉන්දියාවේදි ගැලෙව්වහම ගහෙන් වැලක ගැටගහල මඳ පවනේ වේළෙන්න තියෙනවා තෙතමනේ යන්න. ඒකට මෙහේ අයියලා පස් පිටින් ගේනවා තෙත බොම්බයි ලූනු විකුණන්න. ලංකාවේ ලූනු ඉන්දියන් එකට වඩා කොලිටි. ලොරියක පටවලා ගෝලයට ඇතුළේ යන්න බැරි තරම් සැරයි.’’

ලංකාවේ කුළුබඩු පමණක් නොව ඕනෑම ව්‍යාපාරයක් පිටුපස ඇත්තේ දේශපාලනයයි. ආණ්ඩුව කුළුබඩු ආනයනය තහනම් කළාට රටේ උතුරන්නට රබර් කිරි තියෙද්දී රබර් කිරි ආනයනය තහනම් කළේ නැත. රුපියල් හත්සිය පනහට ගිය රබර් කිලෝව දැන් රුපියල් 200කටවත් දීගන්නට බැරි වී ඇත්තේ මේ නිසාය.

ආර්ථික විද්‍යාවේදී ආනයන ආදේශන හා අපනයනාභිමුඛ නමින් කර්මාන්ත වර්ගීකරණයට ලක්වේ. ආනයන ආදේශන ක්‍රියාවලියේදී සිදුවන්නේ ආනයනය කළ යුතු භාණ්ඩ වෙනුවට දේශීයව ඒවා නිෂ්පාදනයට යොමුවීමය. අපනයනාභිමුඛ ක්‍රියාවලියේදී සිදුවන්නේ මුළුමනින්ම අපනයනය ඉලක්ක කොටගත් නිෂ්පාදන ක්‍රියාවලියකි. එහෙත් දැන් ලංකාවේ වෙළෙඳපොළේ ඇති ආනයනික ද්‍රව්‍ය ඇසුවහොත් ඔබ මවිතයට පත්වනු ඇත.

​මේ ආනයනික ද්‍රව්‍ය අතර කැටපෝල්, සරුංගල්, පානීය ජලය මෙන්ම අපි කන පරිප්පු, හාල්, මුංඇට, සුදු කව්පි, රතු කව්පි මෙන්ම පපඩම් පවා ඇති බව කිවහොත් ඔබ මවිතයට පත්වනු ඇත. ප්‍රංශයෙන් ගෙනා වතුර මිලිලීටර් 330ක මිල රු. 295කි. ඒ අනුව ආනයනික වතුර හැන්දක මිල රු. 4.50යි. ඊටත් වඩා ලංකාවට පිටරටින් පුවක් ගේන බව ඇසුවොත් ඔබ කෙසේ නම් සිනා නොවී සිටින්නද? හැත්තෑව දශකය මුලදී තමිල්නාඩුවේ පවා හොඳ ප්‍රින්ටින් වැඩට පාවිච්චි කොට තිබුණේ ලංකාවේ ඇඹිලිපිටියේ හා වාලච්චේන කඩදාසි සංස්ථාවේ නිෂ්පාදිත වයිට් ප්‍රින්ටින් හා ක්‍රීම් වෝට් කඩදාසිය. එහෙත් දේශප්‍රේමීන් විසින් ඇඹිලිපිටිය කඩදාසි කම්හල ගිනි තැබීම නිසා දැන් සිදුවී ඇත්තේ අප ඉන්දියාවෙන්, චීනෙන්, ඉන්දුනීසියාවෙන් කඩදාසි ආනයනය කරන දීන ජාතියක් බවට පත්වීමය. 1977ට පෙර තමිල්නාඩුවේ ජනප්‍රියම කමිසය වූයේ ලංකාවේ දාස කොම්පැනියෙන් ගැසූ ඩියුරෝ කමිසය බව කාටත් අමතකය. ඒ සන්දියේ දෙමළ බයිස්කෝප්වල චණ්ඩියා එන්නේ ලංකාවේ නිෂ්පාදිත විනිවිද පේන සිල්ක් වැනි ඩියුරෝ කමිස සාක්කුවේ රුපියල් දහසේ නෝට්ටුවක්ද දාගෙනය.

කුරුඳු, ගම්මිරිස්, කරුංකා, සියඹලා ආදිය රටින් ගෙන්වීම වත්මන් ආණ්ඩුව තහනම් කරන ලැබුවේ පසුගිය පස්වැනි බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේය. ඊට අදාළව මුදල් අමාත්‍යංශය අති විශේෂ ගැසට් නිවේදන දෙකක්ද නිකුත් කරන ලදී. එම ගැසට් නිවේදනයෙන් කියැවෙනනේ කුරුඳු, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු, කරාබුනැටි, ගම්මිරිස්, කරුංකා යන සියඹලා යන සුළු අපනයන භෝග වර්ග ආනයන තහනම් කොට ඇති බවය.

මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇත්තේ මුදල් පනතේ වාණිජ කේන්ද්‍රස්ථාන නියෝග අනුවය. මෙම ගැසට් නිවේදනය ප්‍රකාර සෘජු ප්‍රතිඅපනයනයට සහ නැවත පැකට් කොට ප්‍රතිඅපනයනය අරමුණෙන් ආනයනය තහනම් කටයුත්තකි.

මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග මගින් කියැවෙන්නේ අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා විසින් වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය කිරීමද නියාමනයට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී ඇති බවය.

මුදල් අමාත්‍යාංශය පවසන්නේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිඅපනයන කටයුතු නිසා ලංකාවේ කුළුබඩුවලට ලෝක වෙළෙඳපොළ තිබුණු කීර්තිමත් සන්නාමයට හානි සිදුවීම නිසා මේ පියවර ගත් බවය. කෙසේ නමුත් ආණ්ඩුව විසින් ගන්නා ලද මෙම කුළුබඩු තහනම මෙරට සුළු අපනයන භෝග වගාකරුවන්ට දැවැන්ත සහනයක් වනු නියතය.

1977න් පසු මෙරට භාණ්ඩ ආනයනයට තිබුණේ වල්බූරු නිදහසක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කිංස්ලි ටී. වික්‍රමරත්න මහතා වෙළෙඳ ඇමැති වූ යුගයේ කංකුං පවා ඉන්දියාවෙන් ආනයනය කරන තත්ත්වයට අපේ දේශීය ගොවියා සමච්චලයට ලක් කරන්නට මෙනි. ලංකාව නමැති දූපතේ තවමත් වැඩිපුරම ටින් මාළු ආනයනය කෙරෙන්නේ යහපාලන ආණ්ඩුව විසින් ඔවුනට දෙන ලද බදු සහනය නිසා දේශීය ටින් මාළු ෆැක්ටරි 5ක් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයට පත්වී ඇත.

මෙරට දේශීය කර්මාන්ත රැකගන්නට එදා භාවිත කළ උදාන වාක්‍යය ‘සිරිලක දේ සිරි සැප දේය’ යන වදනයි. ඒත් පසුව එය ඉංග්‍රීසියෙන් Belankan-Buylankan විය. එයද දේශීය කර්මාන්තය ගැන කියන්නට ඉන්දියාවෙන් ආනයනය කළ පාඨයකි. ඉන්දියාවේ කියන්නේ Be indian-Bye indian යුනුවෙනි. ඊටත් වඩා ලක්ෂ්මි බායි ගායිකාව කලකට ඉහත ගායනා කරන ලද ‘පිටදීප දේශ ජයගත්තා ආදී සිංහලුන්’ යන ගීතය අදටත් ජනප්‍රියය. රට කිරි දීලා සිංහල දරුවො මරන්නා, ආදී ලෙස ආනයන භාණ්ඩ උපහාසයට ලක්කරන එම ගීතය අවසන් වන්නේ ‘අන්තිමේදී නිදියන පැදුරත් දැන් දැන් පිටරටින් එන්නා’ යනුවෙනි.

ලක්ෂ්මි බායි අද සිටියා නම් පිටකොටුවේ පැදුරු තොග වෙලෙඳපොළ දුටුවහොත් මවිතයට පත්වනු ඇත. එහි අපේ රටේ ගල්ලැහැ පැදුරක් සොයා ගැනීම පැය ගාණක් ඇවිදිය යුතුය. සියලු පැදුරු චීනයෙන්, ඉන්දියාවෙන් හා ඉන්දුනීසියාවෙන් ආනයනය කළ ඒවාය. ඊටත් වඩා ඛේදවාචකය වන්නේ ලක්ෂ්මි බායි දේශීය ව්‍යාපාර ගැන කියන ගීතයේ තනුවද ඉන්දියාවෙන් ආනයනය කළ එකක් වීමය.

ලංකාවේ කාර් හැදුවේ ඉන්දියාවටත් පෙරය. ඉස්කෝලේ යන කොලු කුරුට්ටන් අතර රැඳි ‘මෙටලික්ස්’ කවකටු පෙට්ටි දැන් සොයා ගැනීමටත් නැත. ලංකාවේ යුනික් රේඩියෝ, ටීවී, කැල්කියුලේටර් මෙන්ම ඩියුරෝ උණුවතුර බෝතල්ද අද ඇත්තේ මතකයේ පමණකි. රජය විසින් කුළුබඩු ආනයනය තහනම් කිරීමත් සමගම පිටකොටුවේ කුළුබඩු තොග වෙළෙඳපොළේ කරක් ගැසීමට අප අමතක කළේ නැත.

‘‘කුළුබඩු ආනයනය කොහොමත් තහනම්. නීති පොතෙන් රිංගලා ගිහිල්ලා තමයි මෙච්චර කල් මේ ජාවාරම කළේ. දැන් එනසාල් කිලෝව දහදාහයි. නීතියේ හැටියට නම් වෙළෙඳපොළේ මිල වගේ සියයට සීයක් ටැක්ස් ගහන්න ඕන. එතකොට ඉම්පෝට් කරපු එනසාල් කිලෝවක් නිකම්ම රු. 20,000ක් වෙනවා.’’

මේ​ වෙළෙඳපොළ තුළ සැරිසරද්දී අපට පැහැදිලිවම පෙනී ගිය කරුණක් නම් නියමිත වෙළෙඳ මිලක් නොමැති වීම නිසා බොහෝ කුළුබඩු ගොවීන් ගොවිතැනින් ඉවත් වී ඇති බවය. ආනයන තහනමත් සමග ලංකාවේ කුළුබඩුවලට අත්වූ ඉරණම එක වෙළෙන්දකු අපට පැහැදිලි කර සිටියේ ‘ලෝකල් බඩු හිතාගත නොහැකි තරමට ඩිමාන්ඩ්’ වූ බවය. පුවක් ආනයනය තහනම් වීමත් සමග හෙට අනිද්දාට පුවක් ගෙඩියක් රු. 20කට ගියද පුදුමයට කරුණක් නොවනු ඇත.

රජය විසින් ගත් මේ ආනයනික කුළුබඩු තහනමේ නිසි පළ ලබාගත හැක්කේ ඒවා වගාවේ නියුතු වූවන් නැවත වගාවට යොමු කොට මිලදී ගැනීමේ නිසි යාන්ත්‍රණයක් රාජ්‍ය මැදිහත්වීමක් මත ක්‍රියාත්මක කළහොත් පමණි.

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website