බදාදා, 25 දෙසැම්බර් 2019 08:10

පුතා එක්ක සා.පෙළට ඉඳගත් උපකුලපති

මත්තේගොඩ විද්‍යාදීප මධ්‍ය මහා විද්‍යාලයේ පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානය ඉදිරියේ ඉකුත් 12දා මෝටර් රියක් නතර කෙරුණි. එදින පැවතියේ සාමාන්‍ය පෙළ විභාගයේ දෙමළ විෂයය. මෝටර් රියෙන් බැස ආවේ පිය-පුතුය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් ගේට්ටුවේ සිටි ආරක්ෂක නිලධාරියා විසින් වළක්වනු ලැබීය.

මේක විභාග මධ්‍යස්ථානයක්. මහත්තයාට යන්න දෙන්න බෑ. විභාගය ලියන පුතාට විතරක් ඇතුළට යන්න දෙන්න පුළුවන් ඔහු කීවේය. ආරක්ෂක නිලධාරියා එසේ කීවේ පුතාලා මිසක් තාත්තලා සාමාන්‍ය පෙළ ලියන වගක් ඔහු අසා නැති නිසා වෙන්නැතිය.

එහෙත් තමාද එදින දෙමළ ප්‍රශ්න පත්‍රයට ලියන බව ඔහු කීවේ තමා අත තිබූ විභාග ප්‍රවේශ පත්‍රයද පෙන්වමිනි. එය දුටු ආරක්ෂක නිලධාරියා ඔහුට විභාග ශාලාවට යන්නට ඉඩ දුන්නේය. විභාග ශාලාවේ වාඩි වූ ඔහු කාගේ කවුදැයි විභාග ශාලාධිපතිවරයා දැනගෙන සිටියේ නැත. ඒ විභාග ප්‍ර‍‍වේශ පත්‍රයේ කාගෙවත් තරාතිරමක් සඳහන් කරන්නේ නැති බැවිනි. තාත්තා විභාග ශාලාවේ දෙමළ ප්‍රශ්න පත්‍රයට මුහුණදෙන විට ඔහුගේ පුතාද විභාගය ලීවේ එම ශාලාවේමය.

මේ විභාගය ලියූ තාත්තා එසේ මෙසේ අයකු නොවේ. ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කපිල පෙරේරාය.

“මම සාමාන්‍ය පෙළ දෙමළ ප්‍රශ්න පත්‍රය ලිව්වෙ මගේ රැකියාවෙ තත්ත්වය උසස් කර ගැනීමට හෝ, වැටුප් වර්ධක ගැනීමේ අරමුණින් නෙමේ. මම විශ්වාස කරන දෙයක් තමයි ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා එකිනෙකා අතර වන අදහස් හුවමාරුව ඉතා වැදගත් කියල. ඒ සන්නිවේදන කාර්යය ඉටුකරන්නෙ භාෂාව. ඉතින් අන්‍ය ජාතිකයෙක් එක්ක අපේ අදහස් හුවමාරු කරගන්න නම් අපි ඒ ජාතිකයන්ගෙ භාෂාව දැනගැනීම ඉතා වැදගත්. ඒ මගින් ඒ ජාතිකයන්ගෙ සාහිත්‍යය, සංස්කෘතිය ගැන දැනුවත් වෙන්න හැකිවෙනවා. මම සාමාන්‍ය පෙළ දෙමළ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්නෙ ඒ අරමුණින්. දෙමළ භාෂාව ඉගෙනගැනීමේ මූලික පියවරක් ලෙසයි.”

තමන් සාමාන්‍ය පෙළ විභාගයේ දෙමළ ප්‍රශ්න පත්‍රය ලිවීමේ අරමුණ මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා පැහැදිලි කළේ එසේය.

මහාචාර්ය කපිල පෙරේරා මූලික අධ්‍යාපනය ලබන්නේ වෑවිට මෛත්‍රී විද්‍යාලයෙන්ය. ඔහුට පිය සෙනෙහස අහිමිවන්නේ කුඩා කාලයේදීමය. 6 ශ්‍රේණියේදී පානදුර ශ්‍රී සුමංගල විදුහලට ඇතුළත්වන ඔහු උසස් පෙළ සමත්වනුයේ විදුහලේ 1980 වසරේ ගණිත අංශයේ හොඳම ප්‍රතිඵලය වාර්තාකරමිනි. සාමාන්‍ය පෙළින් පසුව ඔහුව කොළඹ පාසලකට ඇතුළත් කිරීමට මව උත්සාහ කළාය. එකල සාමාන්‍ය පෙළ යනුවෙන් විභාගයක් තිබුණේ නැත. එය හැඳින්වූයේ එන්.පී.ජී.ඊ. විභාගය යනුවෙනි. ඊට එකල දෙමළ භාෂාව තිබුණේ නැත.

“මම සාමාන්‍ය පෙළ සමත්වුණාට පස්සෙ කොළඹ ආනන්දයට දාන්න අම්ම මාව එක්කගෙන ගියා. මට තාම මතකයි එහි විදුහල්පතිතුමා කිව්ව මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය අනුව ඇතුළත් කරගත හැක්කේ වාණිජ අංශයට කියල. මම වාණිජ විෂය ධාරාව හදාරන්න කැමැතිවුණේ නෑ. පස්සෙ අම්ම මාව කොළඹ රෝයල් එකට එක්කගෙන ගියා. එතනදි මට ඒ විදුහලට එන්න කියල කිව්ව. ඒත් මම රෝයල් එකට ගියෙ එක දවසයි. එදා ගෙදර එද්දි හවස 4.30 විතර වුණා. මම අම්මට කිව්ව මට රෝයල් එකට යන්න බෑ කියල. පහුවෙනිදා ආයෙත් මම සුමංගලෙට ගියා. මම තමයි පානදුර – හොරණ බාලදක්ෂ දිස්ත්‍රික්කයේ පළමු ජනාධිපති බාලදක්ෂයා.

“නමසිය අසූ එකේ මම විශ්වවිද්‍යාල වරම් ලබන්නෙ. ඒ මොරටුව විශ්වවිද්‍යාලයට. ඒ අතර මම කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයටත් ඉල්ලුම් පත්‍රයක් දාල තිබුණෙ. කොහොම හරි මාව කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට තේරුණා. එතනදි මට තීරණය කරන්න වුණා මම විශ්වවිද්‍යාලයට යනවද කොතලාවල ඇකඩමියට යනවද කියල. කොතලාවල ඇකඩමියෙ දෙවැනි කණ්ඩායමට තමයි මාව තේරිල තිබුණෙ. ඒ කාලෙ මගේ වාසනාවට කොතලාවල එකේ පුහුණුව ලබන ගමන් මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිය කරන්න අවසරය තිබුණ. ඒ නිසා ඒ දෙක එකටම කරන්න මට පුළුවන් වුණා. මම කොතලාවල එකෙන් අධිකාරිලත් නිලධාරී වුණා 85දි. මොරටුව විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගන්නෙ 86දි පළමු ශ්‍රේණියේ සාමාර්ථයක් සමග මම 86 කණ්ඩායමේ දෙවැනියා. එහෙම තියෙද්දී මම කෙළින්ම සම්බන්ධ වුණේ නාවික හමුදාවට. උපාධිය ඉවර කරල ක්‍රියාන්විත ප්‍රදේශවලට තමයි රාජකාරිය කරන්න ගියෙ. උප ලුතිනන්වරයකු විදිහට තමයි කොතලාවල ඇකඩමියෙන් මම අධිකාරි වුණෙ. අභීත, ඩෝරා, වික්‍රම වගේ යාත්‍රාවල සේවය කළේ. කරෙයිනගර්වලයි හිටියෙ. ඒ නාවික හමුදාවෙ ඉංජිනේරු අංශයෙ. එහෙම කාලය ගතවෙද්දි මට ෆුල් බ්‍රයිඩ් ශිෂ්‍යත්වය ලැබුණ පශ්චාත් උපාධිය කරන්න ඇමරිකාවට යන්න. මම මාස්ටර් එකයි, පී.එච්.ඩී. එකයි කරල නැවත ආවෙ 1993දි. ඇවිත් නේවි එකේ තමයි හිටියෙ. පස්සෙ 1995දි මම නේවි එකෙන් අයින් වුණා. එතකොට මම නිලයෙන් ලුතිනන් කමාන්ඩර්වරයෙක්. නාවික හමුදාවෙන් අයින්වෙලා. මම මොරටුව විශ්වවිද්‍යාලයට ගියා කථිකාචාර්යවරයෙක් විදිහට. ඒ යාන්ත්‍රික ඉංජිනේරු අංශයට. එතන ඉඳන් මොරටුව විශ්වවිද්‍යාලයෙ තමයි මම රැකියාව කළේ. මම නාවික හමුදාවෙ ඉන්න කාලෙ යුද්ධය පැවැතුණ සමය. ඒ කාලෙ මට ආසාවක් තිබුණ දෙමළ ඉගෙනගන්න. ඒත් මගේ රාජකාරිවල තිබුණු ස්වභාවයත් එක්ක ඒකට කාලය වෙන් කරගන්න බැරිවුණා. මහාචාර්ය කපිල පෙරේරා කියන්නේය. ඔහු මුල්වරට දෙමළ ප්‍රශ්න පත්‍රයට ලිවීමට සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටිමට උත්සාහ කළේ 2014දීය.

මගේ දුව පන්ති එක්කගෙන යද්දි මම දැක්ක පිළියන්දල පන්සලේ බැනර් එකක් දාල තියෙනව එස්. බී. අලුත්ගෙදර කියල මහත්තයෙක් කරන දෙමළ පන්තියක් ගැන. ඒකටත් ටික කාලයක් ගියා. හරියටම මාර්තු 14 වැනිදා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් මට කතා කරල කිව්ව විදුලිබල මණ්ඩලයේ උප සභාපති ධුරය භාරගන්න කියල. ඒකෙ උප සභාපති වෙලා මොරටුව විශ්වවිද්‍යාලයෙ ඉංජිනේරු අංශයෙ ප්‍රධානියා විදිහටත් කටයුතු කළ නිසා ඒ වසරේ මට දෙමළ විභාගය ලියන අදහස අත්හැර දාන්න සිදු වුණා. ඒත් මගේ අරමුණ අත්හැරියේ නෑ. මේ ජූලි මාසයෙ සාමාන්‍ය පෙළ දෙමළ ප්‍රශ්න පත්‍රය ලියන්න අයදුම්පතක් දැම්ම. එහෙම දාල මම තනියම දෙමළ ඉගෙන ගන්න උත්සාහ කළා.

ඒත් මට හිතුණ බැරිවෙලාවත් මේ විභාගය ෆේල් වුණොත් ලැජ්ජාවට පත්වෙන්න වෙනවනෙ. මොකද මොරටුව සරසවියෙ උපකුලපති ඕලෙවල් දෙමළ ෆේල් කියලනෙ කතාව යන්නෙ. ඒ හින්ද මම විභාගයට අදාළ දෙමළ පොත් ඔක්කොම ටික ගත්ත. මම ළඟ තියෙනව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් ගත්ත කථන දෙමළ, ලිඛිත දෙමළ, 1,2,3 පන්තියෙ පොත්. මගේ දුවගෙයි, පුතාගෙයි තිබුණු පොතුත් එකතු කරගෙන ඇප් එකකුත් දාගෙන, ශබ්දකෝෂත් අරගෙන තමයි විභාගයට සූදානම් වුණේ. පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකම්ම මම පිළියන්දල දෙමළ පන්තියකටත් ගියා. පාස්කු ඉරිදා දවසෙත් මම ඒ පන්තියෙ හිටියෙ. මේ පන්තිය තිබුණෙ රාත්‍රි කාලයෙ. පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක පන්තිය රෑට දාන එක නතර කරල දවල් කාලයෙ තිබ්බ. ඒ නිසා ඒ පන්තියටත් මට යන්න බැරිවුණා.

මෙලෙස තනිවම දෙමළ ඉගෙන ගනිමින් විභාගය සඳහා සූදානම් වූ මහාචාර්ය කපිල පෙරේරාගේ බාල පුතනුවන්ද මෙම දෙමළ විභාගය සඳහා සූදානම්වෙමින් සිටියේය. තමන් විභාගය සඳහා පාඩම් කරන සමයේ මුහුණ දුන් අත්දැකීම් විස්තර කළේ මෙසේය.

මම හැමදාම උදේ ව්‍යායාමෙට ඇවිදින්න යද්දි දෙමළ පොත්වල සමාන පද, විරුද්ධ පද පිටු මගේ දුරකථනයෙන් පොටෝ ගහගෙන ඒව පාඩම් කරකර තමයි ඇවිදින්නෙ. විභාගයට සුමානයකට ඉස්සරවෙලා තමයි දෙවැනි ප්‍රශ්න පත්‍රයට පාඩම් කරන්න පටන් ගත්තෙ. මම විභාගයට කියල හරියටම පාඩම් කළේ විභාගයට පෙර තිබුණු පෝය දවසෙ. එදා දවසෙම අනෙක් වැඩ සියල්ල නවත්තල පාඩම් කරන එක තමයි කළේ. එදා රෑ හොඳ සිද්ධියක් වුණා. මගේ විභාග අවසර පත්‍රය අත්සන් කරගෙන තිබුණෙ නෑ ඒ වෙනකම්. මම හිතාගෙන හිටියෙ අඟහරුවාදා හවස කැම්පස් එකේ රෙජිස්ට්‍රාර්ට කියල අත්සන් කර ගන්නව කියල. නමුත් එදා උදේ ඉඳන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ උත්සවයක හිටියෙ. මම ඒ උත්සවයෙ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවෙලා හිටියෙ. ඒ නිසා ඒක මග හැරුණා. ආපසු මම කැම්පස් එකට එද්දිත් රෑ 8යි. ගෙදර එද්දි රෑ 9ත් පහුවෙලා. පසුවදා නිවාඩුයි පෝය නිසා. ග්‍රාමසේවකගෙන් කරගන්නව කියල හිතන් ගෙදර ආවෙ. එහෙම ඇවිත් මම දුවට කිව්ව අම්මට කියල මේක අත්සන් කරගෙන සීල් එක ගහගමු කියල. මගේ බිරිඳ රත්නපුර මූලික රෝහලේ ළමා රෝග විශේෂඥවරියක්.

මම එහෙම කිව්වම බිරිඳ හිතුවෙ මම විහිළු කරනව කියල. බිරිඳ දැනගෙන හිටියත් මම ඕලෙවල් දාල කියල, ඇය හිතල නෑ ඇත්තටම මම විභාගෙ ලියයි කියල. ඒක හින්ද ඇය මට විහිළුවෙන් එක එක දේවල් කිව්ව. මම බිරිඳට කිව්ව මට අද කරදර කරන්න එපා මම විභාගයට පාඩම් කරනව කියල. මගෙ පුතත් මේ විභාගය ලිව්වනෙ. පුතත් පාඩම් කර කර හිටියෙ. පස්සෙ බිරිඳ පුතාට කියනව පුතේ මාර වැඩේ​ෙන ඔයා නම් කමක් නෑ, අර පල්ලෙහා ඉන්න ළමය. එයා මාර සිරානෙ. එයා මාර විදිහටනෙ පාඩම් කරන්නෙ කියල හිනාවුණා.

අඟහරුවාදා හවස තමයි විභාගයට නිවාඩු ඉල්ලල මම විශ්වවිද්‍යාලයෙන් නිවාඩු ඉල්ලුම් පත්‍රයක් දැම්මෙ. රියැදුරුට කිව්ව මම බ්‍රහස්පතින්ද එන්නෙ නෑ. පොඩි වැඩක් තියෙනව කියල. හැබැයි මගේ පෞද්ගලික ලේකම්ට කිව්ව විභාගෙ ලියනව කියල. මම විශ්වවිද්‍යාලයෙ මගේ කාර්යාලය ඇතුළෙත් විවේක ලැබෙන හැම අවස්ථාවකම පුළුවන් විදිහට පාඩම් කළා. මගේ පෞද්ගලික ලේකම් මට හැමදාම හිනාවෙනව මම ඕලෙවල් ලියනව කියල.

විභාගය දිනයේදි තම පුතණුවන් සමග විභාගය ලිවීමට නිවසින් පිටත්වුණු මහාචාර්ය කපිල පෙරේරාට තවත් අපූරු අත්දැකීම් කිහිපයකට මුහුණදීමට සිදුවන්නේය.

“විභාග ශාලාවට ගියාට පස්සෙ මට පිටිපස්සෙ තමයි පුතා හිටියෙ. අපි දෙන්නම එකට තමයි විභාගය ලිව්වෙ. ඒකත් හරි අපූරු අත්දැකීමක් වුණා. තාත්තයි පුතයි සාමාන්‍ය පෙළදි එකම ප්‍රශ්න පත්තරයට ලියපු පළමු අවස්ථාවත් මේකද දන්නෙ නෑ. තව වැඩිහිටි අය විභාග ශාලාවෙ හිටිය. වුවමනාවෙන් විභාග ශාලාවෙ හිටියෙ කවුද කියලවත් මට බලන්න වෙලාවක් තිබුණෙ නෑ. මොකද විභාගෙ තියෙන තැන සොයන්න කාලයක් ගතවුණ නිසා වෙලාවටම වගේ තමයි විභාග ශාලාවට එන්න ලැබුණෙ. අඩුම තරමේ ගෙනිච්ච වතුර බෝතලයවත් බොන්න වෙලාවක් ලැබුණෙ නෑ. ගොඩක් ළමයි විභාගයට මුලින්ම පැන්සලකින් තමයි ප්‍රශ්නවලට පිළිතුරු සැපයුවෙ. මම එකවරම පෑනෙන් ඒ වැඩේ කළා.

විභාග ප්‍රශ්න පත්‍රයට මම හොඳට මුහුණ දුන්න කියල හිතෙනව. පුතාගෙ එකේ 40න් 38ක් හරි. මගෙ 40න් 32ක් හරි. මම දන්නව පාස් කියල. රචනාව නම් එතරම් හොඳට ලිව්වෙ නෑ. එතනදි වුණේ මේකයි. මට පොඩි අතපසුවීමක් වුණා ප්‍රශ්න පත්තරේ පළමු කොටසින් ප්‍රශ්න 2කම අනිවාර්යයි කියන එක මම දැක්කෙ නෑ. ඡේදය කියවල උත්තර ලියන එක හොඳටම කළා. ඒ නිසා පාස් එකක් ඇති කියල හිතෙනව. වෙනදට අන්තිම ප්‍රශ්න පහ එන්නෙ ප්‍රස්ථාරය දීල ප්‍රස්ථාරයෙන් ප්‍රශ්න පහක් අහනවා. විභාගයට පෙර මම පසුගිය වසර ප්‍රශ්නපත්‍රවලදි මේ ප්‍රශ්නයට සාර්ථකව පිළිතුරු ලියල හොඳට පුහුණු වුණා පුතත් එක්ක එකතුවෙලා. ඒත් මේ පාර ඒක ආවෙ නෑ. අන්තිම ප්‍රශ්න තුන ආවෙ වාක්‍ය හතරක් දීල ඒක රටාවකට ලියන්න.”

“උප කුලපතිවරයෙක් විදිහට සාමාන්‍ය පෙළ විභාගය ලියනව කියල මට හැඟුණෙ නෑ. සාමාන්‍ය ළමයෙක් විභාගයක් ලියනව වගේ හැඟීමක් තමයි මට තිබුණෙ. මම උසස් පෙළ විභාගයෙ ගණිතය ප්‍රශ්න පත්‍රයට ලිව්ව වගේ හැඟීම මට ආයෙත් දැනුණා. මේ විභාගයෙන් පාස්වෙනවට වඩා මට වැදගත් දෙමළ භාෂාව ගැන ලබාගත් දැනුම. සමාන පද, විරුද්ධ පද, යුගල පද, ව්‍යාකරණ ඒව ඉගෙන ගත්ත. මට ලොකු සතුටක් තියෙනව මුළු ප්‍රශ්න පත්‍රයම මට කියවලා තේරුම් ගන්න හැකියාව තිබීම ගැන. මම කොහොමත් ඉගෙනීමේ කටයුතු කළේ බොහොම ආසාවෙන්. තාමත් එහෙමයි. මම යම් සාර්ථකත්වයක් තියෙනව ඒකෙ රහසත් එයයි.

මට ලොකු ආසාවක් තියෙනව උතුරට ගිහින් සේවය කරන්න. මහාචාර්ය කන්දසාමි යාපනයේ උපකුලපති. මම ඔහුට කිව්ව මං මේ උපකුලපතිකමේ තව අවුරුද්දයි ඉන්නෙ කියල. ඔහු කිව්ව තව කල් උපකුලපතිකමේ ඉන්න මට පුළුවන්නෙ කියල. නමුත් භාරගත්ත කාලය හැරෙන්න එක දවසක් වත් තනතුරුවල ඉන්න මම කැමැති නෑ. මම රාජකාරිය කළ හැම තැනම එහෙම තමයි. මම මහාචාර්ය කන්දසාමිට කිව්ව 2020 නොවැම්බර්වලින් පස්සෙ මම යාපනයෙ එනව. මට යාපනයේ සිංහල, ඉංග්‍රීසි දන්නෙ නැති අය ඉන්න ප්‍රදේශයක නැවතිලා දෙමළ කතාකරන්න ඉගෙන ගන්න ඕන කියල. මගේ එහෙම අරමුණකුත් තියෙනව. ඒ නිසා තමයි මම ඕලෙවල් ලිව්වෙ. විභාග ඉවර වුණා කියල මම දෙමළ ඉගෙන ගැනීම නතර කරන්නෙ නෑ. මගේ ගාව දෙමළ කථන පුහුණු පොත් තියෙනව. ඒවා ඇසුරින් මම කොහොම හරි දෙමළ කතා කරන්න පුරුදු වෙනව.

98දි මම ජපන් ඉගෙන ගත්ත. සසකාව එකට පන්ති ගිහින්. ජපන් කතා කරන්න මම එතනදි ඉගෙන ගත්ත. ඒ වගේ දෙමළ කතාකරන්නත් මට ලොකු වුවමනාවක් තියෙනව. සුනාමි කාලයෙ මම හිටියෙ නාරා එකේ සභාපති විදිහට. ඒ කාලේ ධීවර ඇමැති චන්ද්‍රසේන විජේසිංහ සුනාමියෙන් පස්සෙ දවසක් ජපන් තානාපතිවරයා ආව ගාලු වරායෙ බෝට්ටු බෙදාදීමෙ උත්සවයට. ඔහුගේ කතාව සිංහලටයි, ඉංග්‍රීසියටයි පරිවර්තනය කළේ මම. ඒ නිසා ඉගෙනගන්න දේ කවදාවත් අපතේ යන්නෙ නෑ.

“මගේ එතරම් කැමැත්තක් තිබුණෙ නෑ මම විභාගෙ ලියපු එක පත්තරේ යනවට. මගේ ශිෂ්‍යයෙක් ඉන්නව ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්. නම රංජිත් අමරසිංහ. ඔහු යම් පෞද්ගලික කාරණයකට මාව හම්බවෙන්න ආව. ඔහු කිව්ව සර් මම ඊයෙ දවසෙම සර්ගෙ ෆෝන් එකට කෝල් කළා. ඒත් සර්ව සම්බන්ධ කරගන්න බැරිවුණා, සර් විභාගය ලිව්ව කියන්නෙ ඇත්තද කියල. මම කිව්ව ඔව් කියල. ඔහු තමයි මේක පත්තරේක දාන්න ඕන කියල කිව්වෙ. මේ සිදුවීමෙන් පස්සෙ මට අපේ කුලපතිතුමා හමුවුණා. මහාචාර්ය ජයන්ත විජේසේකර ආව මගේ කාර්යාලයට. ඒ අය හැමෝම කියන්නෙ මේක අධ්‍යාපනය ලබන ළමයින්ට ලොකු ආදර්ශයක් කියල. ඒ නිසයි මම ඔයගොල්ලන් එක්ක කතා කරන්න කැමැති වුණේ. ”

මම ජීවිතයෙ ලැබූ හැම ජයග්‍රහණයක් පිටුපසම තිබ්බෙ මා ලැබූ අධ්‍යාපනය. මගෙ තාත්ත මම පුංචි කාලෙදිම නැතිවෙනව. ඒත් මම මගේ අධ්‍යාපන කටයුතු බොහොම ආසාවෙන් කරනව. අපි යම් දෙයක් ඉගෙන ගන්න ඕන මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් පමණක්ම නෙමේ. ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගන්න, සමාජයේ තව අයෙකුට කරදරයක් නොවී ජීවත්වෙන්න අධ්‍යාපනය වැදගත්. ඒ නිසා අද තියෙනව වගේ විභාග පාස් කරන අධ්‍යාපන රටාවෙන් නම් වැඩක් නෑ. තමන් කුමක් හෝ ඉගෙන ගන්නව නම් ඒක ආසාවෙන් ඉගෙන ගන්න ඕන. ඔහු කියන්නේය.

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website