බ්‍රහස්පතින්දා, 26 දෙසැම්බර් 2019 10:41

ආයුර්වේදයට දේශීය පිළියම් අවශ්‍යව ඇත

‘‘සිය රට දේ සිරි සැප ‍‍දේ’’ ප්‍රකට කියමනකි. ශ්‍රී ලංකාවේ වගා කළ හැකි ආහාර භෝග කිසිවක් ආනයනය නොකරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබිණි. මේ වනවිට දේශීය සහල් මිල ඉහල ෙගාස් ඇතත් තවමත් රටින් හාල් ආනයනය නොකිරීමට රජය තීරණය කිරීමෙන් එම ප්‍රතිපත්තිය රජය සුරකින බව පැහැදිලිය. සුළු අපනයන භෝග වර්ග හයක් ප්‍රති අපනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එය වත්මන් රජයේ සාධනීය ලක්ෂණයක් වෙයි.

ආහාර භෝග මෙන්ම ශ්‍රී ලංකාවේ වගා කළ හැකි දේශීය ආයුර්වේදය භාවිත කරන ඇතැම් ඖෂධද ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශය ආනයනය කරති.

ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවක සඳහන් වන්නේ 2018 වර්ෂය තුළ බදු රහිතව මෙරටට ආනයන කර ඇති ඖෂධ වර්ග ගණන 115ක් බවයි. ඈත අතීතයේ දේශීය හෙළ වෙදකමට අවශ්‍ය ඖෂධ වර්ග සොයා ගනු ලැබුවේ පරිසරයෙනි. කැලෑවේ එවැනි ඖෂධ අවශ්‍ය තරම් තිබුණි. එහෙත් සංවර්ධනය සහ විවෘත වෙළෙඳපොළ ක්‍රමය තුළ පරිසරයෙන් සොයාගත් ඖෂධද ආනයනය කිරීම ආරම්භ විය.

ආයුර්වේද ඖෂධ වැඩි වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි. එම අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවට සැපයීම ඉන්දියාවද සීමා කරමින් සිටියි. ඉන්දියාව තරගකාරී ඖෂධ නිෂ්පාදනය කිරීම ඊට හේතුවයි. දියුණු ප්‍රමිතිකරණයෙන් යුත් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ඉන්දියාව ලෝක වෙළෙඳපොළට එක්කර තිබේ. ආයුර්වේද මෙන්ම බටහිර ඖෂධද ඉන්දියාව ලෝක වෙළෙඳපොළට අලෙවි කරන්නේ අපනයනය තුළින් ජාතික ආර්ථිකයට ආදායමක් එකතු කරමිනි. ශ්‍රී ලංකාවේ වගා කළ නොහැකි ඖෂධ වර්ග 30ක් අනිවාර්යයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කළ යුතු වෙයි. රත් හඳුන් වැනි ඖෂධ ආනයනය කළ යුත්තේ පාරිසරික සාධක මත ශ්‍රී ලංකාවේ වගා කළ නොහැකිවීම නිසාය.

මෙලෙස ආනයනය කරන ඇතැම් ආයුර්වේද ඖෂධ අමුද්‍රව්‍යවල තොග මිලද ඉහළ ගොස් තිබේ. 2019 වර්ෂය තුළදී කටුකරෝෂණ කිලෝවක් රුපියල් 6000කටත්, වාල් මොගු රුපියල් 7980කටත්, වලඟ සහල් රුපියල් 2650, වසාවාසි රුපියල් 4420, ගස් තිප්පිලි රුපියල් 2450, සත්ති සායම් රුපියල් 1500, තිප්පිලි රුපියල් 2400, එනසාල් රුපියල් 9300, රත් හඳුන් රුපියල් 5600, පෙරුම්කායන් රුපියල් 11000, අතිවිඩයන් රුපියල් 17500, ඉරමුසු රුපියල් 2150 වශයෙන් තොග ආනයනය කර තිබේ.

ආයුර්වේදය අවශ්‍ය රස ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කරන ඖෂධ මීට වඩා මිල අධික වෙයි. සාදිලිංගම් ඖෂධය කිලෝව රුපියල් 22000ක් පමණ වෙයි. ඉන්දියාව තුළ ආයුර්වේද ඖෂධ දිගින් දිගටම වැඩි වී තිබේ. මෙය දේශීය ඖෂධ නිෂ්පාදනයටද මරු පහරකි. ඖෂධ නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය නාගරීකරණය, ජනගහන වර්ධනය හේතුවෙන් විනාශ වෙයි. පොල් වගාව තුළ ද්විවාර්ගික පැළෑටි ලෙස ඖෂධ වගා කළ හැකි වුවද එවැනි වගාවක් දක්නට නොලැබේ. ආයුර්වේදයට භාවිත කරන බැබිල, ඉරමුසු වැනි ඖෂධද විනාශ වී ආනයනය කිරීමට සිදුව ඇත.

ඖෂධ නිෂ්පාදනයේදී ගුණාත්මක ඖෂධ අවශ්‍ය වෙයි. නමුත් දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමේදී ගුණාත්මක ඖෂධ නොලැබෙන බව ආයුර්වේද වෛද්‍යවරුන්ගේ මතය වෙයි. උදාහරණයක් ලෙස ගංජා ගත හැකිය. පොලිසිය හෝ සුරාබදු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත ආයුර්වේදයට ලැබෙන ගංජා ගුණාත්මක භාවයෙන් තොරය.

පරිසර දූෂණය නිසාද ආයුර්වේද ඖෂධ පැළෑටි විනාශ වී ඇත. බැරලෝහ, විෂ රසායනික හේතුවෙන් ස්වාභාවික පරිසරය විනාශ වී තිබේ. වැව් තාවුල්ලෙන් ලබාගන්නා ලුණුවිල අද දුර්ලභ ආයුර්වේද ඖෂධයකි. ජලය දූෂණය වීම හේතුවෙන් කොහිලවල ආසනික් අඩංගු වී තිබේ. ගුණාත්මක ඖෂධ නොලැබීම නිසා ආයුර්වේදය තුළ පර් යේෂණ පවා සිදුකිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ. ස්වාභාවික ධර්මයාගෙන් ලබාදුන් පැළෑටි විනාශ වීම වළක්වා ගත නොහැකි ගැටලුවක් බවට පත්ව ඇත. මේ නිසා මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග ආනයනය කිරීමට සිදුව ඇත. ඖෂධ නිෂ්පාදනය රජයේ තිරසර භාවිතයටද රුකුලක් වෙයි.

මෙරට ඖෂධ වගාවට සහ නිෂ්පාදනයට යම් යම් නීති සමුදායක් බාධා වී ඇත. එම නීති පරිසරයට හිතකාමී ලෙස උචිත ආකාරයට සකස් විය යුතුය. ශ්‍රී ලංකාවේ ගොවිජනතාව සම්ප්‍රදායික ආහාර භෝග වගාවෙන් මිදී ඉතා ඉහළ වෙළෙඳ ලාභයක් ලබාගත හැකි ආයුර්වේද ඖෂධ වගාවට හුරු පුරුදු කළ යුතුය. ඒ සඳහා ගොවි ජනතාවට සුවිශේෂි ණය ක්‍රම හඳුන්වා දිය යුතුය. නිෂ්පාදන සඳහා නිශ්චිත වෙළෙඳපොළක් තිබිය යුතුය. එමගින් නිෂ්පාදන ලෝකය පුරා අලෙවි කළ හැකිය.

අප වගා කරන ඖෂධ ලෝකයට අලෙවි කිරීමෙන් විදේශ විනිමය උපයා ගත හැකිය. එවැනි අවකාශයක් ලෝකය තුළ පවති. දුක් මහන්සියෙන් වගා කරන ගොවියාට නිසි මිලක් නොලැබීම වර්තමානයේ දැකිය හැකි ඛේදවාචකයකි.

තවද ඖෂධ වගාවට දේශීය ගොවියා නැඹුරු කිරීම තුළින් ඉතාමත් පිරිසුදු, ගුණාත්මක ඖෂධ නිපදවිය හැකිය. නැතිනම් වාර්ෂිකව ඩොලර් ලක්ෂ ගණනාවක් වටිනා ඖෂධ මෙරටට ආනයනය කිරීමට සිදුවෙයි. ආයුර්වේද දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව 2018 වර්ෂය තුළ පමණක් ඖෂධ වර්ග 115 ආනයනය කිරීම සඳහා ඇමරිකා ඩොලර් 7097556ක මුදලක් වැය කර ඇත. එය ශ්‍රී ලංකා මුදලින් ගත් විට රුපියල් එකසිය විසිහත් කෝටි හැත්තෑපන් ලක්ෂ හැටදහස් අසූවකි.

වියළි ඉඟුරු කිලෝ ග්‍රෑම් 520200ක් ආනයනය කර තිබේ. වැය කළ මුදල ඇමරිකා ඩොලර් 1067161කි. හීන් ඉරමුසු කිලෝ ග්‍රෑම් 40150ක් ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 264130ක මුදලක් වැය කර ඇත. මී පැණි කිලෝ ග්‍රෑම් 65630ක් ආනයනය කර ඇත. වැය කළ මුදල ඇමරිකානු ඩොලර් 240047කි. අබ තෙල් කිලෝ ග්‍රෑම් 205254ක් ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල ඩෝලර් 259166කි. කටුවැල් බටු කිලෝග්‍රෑම් 176450ක් ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල ඩොලර් 199848කි. වියළි නෙල්ලි කිලෝ ග්‍රෑම් 128150 ආනයනය කර ඇත. වැය කර ඇති මුදල ඩොලර් 337555කි.
මේ ආකාරයට ඖෂධ වර්ග 115ක් ආනයනය කිරීම සඳහා සුවිශාල මුදලක් වැයකර ඇත.

මෙලෙස ආනයනය කර ඇති ඖෂධ වර්ග රැසක් මෙරට වගා කිරීමට හැකි වීමද විශේෂත්වයකි. අපේ රටේ සම්පත් තිබියදී එවැනි මුදලක් විදේශීය රටවලට ඇදී යාම සැබැවින්ම අපරාධයකි. ආනයනය කිරීමේදී ප්‍රමිතිය පිළිබඳ ගැටලු පවතියි. ඖෂධ ගුණ හීන වෙයි. මෙම ඖෂධ නෙළා ගත් දිනයක් හෝ ආයු කාලයක් සඳහන් නොවීමද ගැටලුවකි. ඖෂධය නෙළා ගත් දිනයේ සිට ජීව කාලය රැඳී පවතින කාලය සටහන් වී තිබීම ඉතාම වැදගත් වෙයි. ප්‍රමිතියෙන් තොර ඖෂධ භාවිත කිරීම තුළින් නියම ප්‍රතිඵල ළඟාකර ගැනීමට නොහැකි වෙයි. වර්තමානයේ නිෂ්පාදනය කරන ඇතැම් ඖෂධ ගුණාත්මක බවින් තොර වන්නේ එම නිසාය.

ආයුර්වේද ඖෂධ ගබඩා කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීමද තවත් ගැටලුවකි. පෞද්ගලික අංශය ශ්‍රී ලංකාවට ආනයනය කරන ඖෂධ ගබඩා කර ඇත්තේ පිටකොටුව ‘ගබෝස්’ වීදියේය. මාර්ගය දෙපස අව්වට වැස්සට තෙමෙමින් ඖෂධ අලෙවි කරන අතර නිසි අයුරින්ද ගබඩා කර නොමැත. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ භාවිත කරන ඖෂධ නියමිත උෂ්ණත්වය මත ශීතාගාර පහසුකම් යටතේ ගබඩා කර ඇත. ආයුර්වේද ඖෂධ ගබඩා කළ හැකි මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමේ නිර්නායකද සකස් කර නොමැත.

අත්‍යවශ්‍ය ආයුර්වේද ඖෂධ ආනයනයට හෝ රජය මැදිහත් විය යුතුය. රජය ඉන්දියාව සහ පාකිස්තානය අතර අත්සන් කර ඇති වෙළෙඳ ගිවිසුම්වලට අනුව ආයුර්වේද ඖෂධ ආනයනය කිරීමේ ක්‍රවවේදයක් සකස් කිරීම කාලෝචිත පියවරකි. ආයුර්වේද ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කිරීම දුරාතීතයේ සිට සිදුවන්නකි. ආයුර්වේද ඖෂධ වගා කිරීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සතුව ඔසු උයන් රැසක් පවතී. කොස්ලන්ද. හල්දුම්මුල්ල, නිකවැරැටිය, මැදවච්චිය, අබන්පොළ, පදවිය යන ප්‍රදේශවල එම ඔසු උයන් ස්ථාපිත කර ඇත. නමුත් මෙම ඔසු උයන්වලින් ලැබෙන අස්වැන්න ප්‍රමාණවත් නොවෙයි.

මෙම ඔසු උයන්වලින් වැඩි භූමි ප්‍රමාණය කැලෑවට ගොස් ඇත. ඔසු උයන් සංවර්ධනය කර ප්‍රාදේශීය මට්ටමින් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කිරීම තුළින් නව උද්දීපනයක් රට තුළ උදාකර ගත හැකිය. දරුවන්ටද ආයුර්වේද ඖෂධ පිළිබඳ දැනුමක් ලබාදිය යුතුය. පවතින ආයුර්වේද ඖෂධ අවශ්‍යතාවට මෙරට වෙළෙඳපොළක් බිහි කිරීමට රජය දක්වන කැප කිරීම මෙහිදී ඉතා වැදගත් වෙයි.

බටලන්ද සෙන්සුව ආයුර්වේද රෝහලේ වෛද්‍ය සුජීව විතානගේ සමග කළ සාකච්ඡාවක් ඇසුරෙනි.

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website