බ්‍රහස්පතින්දා, 02 ජනවාරි 2020 09:56

වඳුරන්ට ගෙවල් දොරවල් දී ගම්මුන්ට කැලෑ වදින්න වේවිද?

‘ගසින් ගසට ගිය වඳුරා තෙමී නසී’ යන්න, පැරණි කියමනකි. එහි ‘ගසින් ගසට යනවා’ යන්නෙහි අරුත, ‘ගසින් ගසට පනිනවා’ යන්නයි. එහෙත් දැන් දැන් ගෙවතු පරිසරයට අරක් ගෙන සිටින වඳුරන් ‘පනින්නේ’ නැති තරම් ය. ගෙවතුවලට කඩා වදින වඳුරන් පලවා හරින්නට මාන බලමින් සිටින මිනිසුන්ට හොරෙන් උන් ගසින් ගසට යන්නේ අතු දිගේ ඇවිද ගෙන ය. ආවරණිත විදුලි රැහැන් දිගේ බොහොම සීරුවට සිවුපයින් ඇවිදින වඳුරන් නාගරික පරිසරෙයහි සුලබ ය.

වඳුරන් පමණක් නොවේ. කලකට ඉහත ගම්බද කැලෑ රොදවල විසූ වල් ඌරන්, රිළවුන්, දඬු ලේනුන්, ඉත්තෑවුන් සහ මොනරුන් ආදී වන සතුන්, දැන් ජීවත් වන්නේ ගෙවතු ආශ්‍රිත පරිසරයේ ය. එය වර්තමානයේ බොහොම කලබැගෑනියකි. බොහොමයක් පෙදෙස්වල මිනිසුන්ට අද සිදුව ඇත්තේ, තම ආහාර භෝග පංගුව බේරා ගැනීම වෙනුවෙන් මේ වන සතුන් සමග සටන් කරන්නට ය. උන් ක්‍රම ක්‍රමයෙන් ‘මිනිස් ආහාරවලට’ හුරු පුරුදු වීම, ඊට හේතුව ය!

වන සතුන් අරභයා ලංකාවේ ලොකුවට ම කතා කෙරෙන ප්‍රශ්නය වන්නේ ‘අලි-මිනිස් ගැටුම’ ය. එයින් දැන් දශක කීපයක් තිස්සේ වල් අලිත් මියයති. මිනිසුනුත් මියයති. ගැටුම නිසා ගොවීන්ගේ කෘෂිකාර්මික ජීවන රටාව පවා බරපතළ ලෙස බිඳ වැටී තිබෙනු පෙනෙයි. ලංකාව මුහුණ දෙන සත්ත්ව මිනිස් ගැටුමෙහි අලුත්ම සංගදිය වන්නේ වඳුරන්, වල් ඌරන්, රිළවුන්, දඬු ලේනුන්, ඉත්තෑවුන් සහ මොනරුන් ආදී වන සතුන් ගම් වැදීම ය. ග්‍රාමීය පෙදෙස්වල භව භෝග වගාවන්ට උන් විසින් කරන හානිය ඉතා විශාල ය. ඇතැම් පෙදෙසක ගම් මට්ටමේ කුඩා වාණිජ ගොවීන්ගේ සියලු අස්වනු උන්ට බිලි වන අයුරු දැකගත හැකි ය.

ලියුම්කරු ජීවත්වන ගාල්ලේ, බද්දේගම, කීඹිය ප්‍රදේශයේ දැන් මෙලෝ වගාවක් කරන්නට බැරි ය. ගෙවතුවල හැදෙන කෙසෙල්, අඹ, දෙහි, පැපොල් සහ එළවළු භෝග ආදිය වඳුරන්ට බිලි වෙයි. උන් පොල් ගස්වල නො මේරූ පොල් මල්, පලා එහි ඇතුළත ඇති කොටස් සූරා ගෙන කති. ඉතින් මිනිසුන්ට පොල් නැත. පැපොල් ගස්වල කරටි කඩා කා දමති. ඉතින් පැපොල් ගස් හැදෙන්නේ නැත. කෙසෙල් කැනක් මලෙන් එළියට එන විට ම, එය ලෑටි ගෑම වඳුරන්ගේ පුරුද්දයි. දඬු ලේනුන්, පොල් ගස්වලට වැදී, පොල් ගෙඩිවල යටි පැත්ත ලෑටි ගා සිදුරක් සාදා ඇතුළත මදය කති.

දිනක් එක් වඳුරෙක් විනාඩි විස්සක් වැනි කෙටි කාලයක දී ඇඹුල් කෙසෙල් කැනක් එහැමපිටින් ම කා දැම්මේ ය. උන් කනවා යයි කීවාට, ගිල දමන්නේ සොච්චමකි. කෙසෙල් කැන බදා ගත් වඳුරා, ඉන් ගෙඩියක් කඩා ගෙන, කුඩා කොටසක් කා, ඉතිරි හරිය ඉවත දැම්මේ ය. ඉන් පසුව තවත් ගෙඩියක් කඩා ගෙන, කුඩා කොටසක් කා ඉතිරි හරිය විසිකර දැමුවේ ය. ඊළඟට තවත් කෙසෙල් ගෙඩියකි. එය කා දමන්නේ ද කලින් කළ ආකාරයට ම ය. ඉන් පසුව තවත් ගෙඩියකි. අන්තිමේ දී කෙසෙල් කැනම අවසන් වේ. බාගෙට කෑ කෙසෙල් ගෙඩි ටික බිම ය! අඹ, ජම්බු ආදී පලතුරු භෝගවලට ද සිදු වන්නේ ඒ ආනිශංසයම ය. ගෙවතුවල සිටුවා ඇති බටු, මිරිස් සහ මෑකරල් වැනි භෝග මොනරුන්ට රාජ භෝජන වැනි ය. ගොයම් පැසෙන කාලයට කුඹුරුවලට කඩා වදින මොනර රංචු එක පැයෙන් වී කරල් ටික කා දමන අවස්ථා තිබේ. මඤ්ඤොක්කා, කිරි අල, පොල් පැල ආදිය වල් ඌරන් සහ ඉත්තෑවුන් ගෙන් බේරා ගන්නට බැරි ය. ළපටි ගොලෑ පුවක් ගෙඩි වඳුරන්ගේ ප්‍රියතම ආහාරයකි.

ගෙවතු පරිසරයෙහි ගැවසෙන වඳුරන් බෙහෙවින් කල්පනාකාරයන් ය. ගම් පෙදෙස්වල තුරුවියන් මතින් සැරිසරන උන් මිනිසුන් ගැන ‘ඔත්තු බැලීමේ’ රුසියන් ය. ආහාර සොයා යාමේ දී ගෙවල් දොරවල් සහිත පරිසරයේ බල්ලන් සිටී ද-නැති ද යන්න දැන ගැනීම, වඳුරන්ගේ දෛනික කටයුතුවල ප්‍රධාන අංගයකි. බල්ලන් නැතැයි දැනගත් කල උන් හීන් සීරුවේ ගස්වලින් බිමට බසිති. මුරුංගා කොළ ඉත්තක් හෝ මඤ්ඤොක්කා කරටියක් කඩා ගෙන යළිත් ගසට නැග ගනිති. යම් නිවසක ආහාර පිණිස ගෙනා මඤ්ඤොක්කා අල කිහිපයක් පිළිකන්නක තිබිණැයි සිතමු. වඳුරන් ඒවා ද ඩැහැ ගෙන ගස් නගිති!

වඳුරන් පැනීම නිසා නිවෙස්වල වහලවල් බිඳී යන අවස්ථා සහ බිඳුණු උළු කැට කැබිලිති ඇතුළට ඇද වැටෙන අවස්ථා ද එමට ය. ඇතැම් විට නිවැසියන්ට තුවාල ද සිදු වේ. ඇතැම් මොනරුන් අව්ව තපින්නේ වහලවල් මත නැගී ගෙන ය. උන් ඇවිදින විට මුදුන් උළු කැටවලට හානි සිදු වන අවස්ථා බහුල ය.

වන රොදවල සිටි මේ සතුන් ගම් වදින්නට වූයේ මෑතක සිට ය. එනම්, ගම් පෙදෙස්වල පැවති කුඩා වන රොදවල් මිනිස් අවශ්‍යතා වෙනුවෙන් එළි පෙහෙළි වීමත් සමග ය. එකල ගම් ඉහත්තාවෙහි ද, ඇළ දොළ ආශ්‍රිතව ද කුඩා කැලෑ තිබිණි. ඒවායෙහි වන සතුන්ට ආහාරයට ගත හැකි ශාක වර්ග එමට තිබිණි. ඒවා අතර වල් අඹ සහ ඇටඹ වර්ග, ඩොංගා, ඇට හෙරළිය, ඊරිය, වල් දෙල්, වල් ගොරකා, වෙරළු සහ වල් රඹුටන් ආදී පලතුරු වර්ග ද විය. එයින් වන සතුන්ගේ ආහාර මෙන්ම, වාසස්ථාන අවශ්‍යතාවන් ද සැපිරිණි. එබැවින් උන්ට ගම් වදින්නට හෝ ආහාර පිණිස මිනිසුන් හා තරගකරන්නට අවශ්‍යතාවක් තිබුණේ නැත.

වර්තමාන තත්ත්වය බොහොම වෙනස් ය. රටක් හැටියට ගත් විට, ජාතික වන ආවරණය ද සමස්ත භූමියෙන් සියයට විස්සක් තරම් පහත වැටිලා ය. දැන් ගම් ආශ්‍රිතව කුඩා කැලෑ රොදවල් ද නැත. ඒවා එක්කෝ ජනාවාසකරණයට නතුව ගොසිනි. නැතිනම් තේ හෝ එළවළු ආදී වගාවන්ට නතුව ගොසිනි. වඳුරන් ඇතුළු සතුන් ගණනාවකට ආහාර සහ වාසස්ථාන සැපයුණු රබර් වගාවන් ඉවත්කර, මෙලෝ සතෙකුට වසන්නට බැරි ‘කටු පොල්’ (පාම් ඔයිල්) වගා කරලා ය! ගම්වල තිබුණු ඇල්බීසියා ආදී ගස් වර්ග, ලොරිවල නැගී හොරණ ප්‍රදේශයේ ‘පදම් කළ ලෑලි’ කම්හලට ගියේ ය. අන්තිමේ දී වන සතුන්ට වාසස්ථාන සහ ආහාර ටික නැතිවී ගොසිනි. මේ ක්‍රියාවලියෙහි ප්‍රතිඵලය වන්නේ උන් රංචු පිටින් ගම් වැදීම යි!

පරිසරවේදියකු සහ සත්ත්ව පර් යේෂකයකු වන පුබුදු වීරරත්න පවසන අන්දමට, වන සතුන් ගෘහාශ්‍රිත පරිසරයට කඩා වැදීම හේතු කාරණා කිහිපයක් නිසා හට ගත් එකකි. ඉන් එකක් වන්නේ උන්ට හුරු පුරුදු වාසස්ථාන, සැරිසැරුම් භූමි සහ ආහාර සොයා ගන්නා මාර්ග මිනිසුන්ගේ ග්‍රහනයට හසු වීමයි. අනෙක් කාරණා අතර වන සතුන්ගේ ආහාරයට ගෝචර විය හැකි දෑ ඇතුළත් කැළිකසළ අවිධිමත්ව බැහැර කිරීම, වන සතුන්ට මිනිස් ආහාර පුරුදු කිරීම ආදිය ද වේ. විලෝපික සතුන් පරිසරයෙන් ඉවත් වීම, තවත් හේතුවකි.

‘රිළවු සාමාන්‍යයෙන් ඕනෑම දෙයක් කනවා. උන්ගේ හානිය වැඩිම තැන් ගත්තාම, ඒ හැම තැනකම ආහාර ද්‍රව්‍ය සහිත කැළිකසළ අවිධිමත්ව බැහැරකර ඇති බව පෙනෙනවා. මේවා අවිධිමත්ව බැහැරලන එක නතර කළොත් උන් ඉබේම පාලනය වේවි. අපි වඳුරා කියල කිව්වාට, ලංකාවේ ඉන්නේ ‘කළු වඳුරා’. මෑතක පටන් උන්ගේ වාසස්ථාන සහ ආහාර ශාක අහිමිවී ගිහින්. උන්ට කන්නත් නෑ, ඉන්නත් නෑ. ඉතින් ගම් වදිනවා ඇරෙන්න උන්ට කරන්න දෙයක් නෑ. මොනරාගේ බෝවීමේ වැඩි කමක් තියෙනවා. මොනරුන්ගේ විලෝපිකයා තමයි නරියා. මොනරුන් පැටවු කාලයේ දී නරින්ගේ ආහාරයට හසු වෙනවා. එයින් මොනර ගහණය පාලනය වුණා. මෑතක පටන් නරි දකින්න නෑ. උන් ගම්වල පරිසරයෙන් වඳවෙලා ගිහින්. මෑතක පටන් ගෘහාශ්‍රිත බල්ලන් සංඛ්‍යාත්මකව වැඩි වුණා. බල්ලන් සහ නරියන් එකම කුලයකට අයිති සත්තු. බල්ලන්ට ‘පාවෝ ඩිස්ටෙම්පර්’ වගේ ලෙඩ හැදෙනවා. ඒවා නරින්ට බෝ වනවා. ඉතින් නරි නැතිව ගියා. දැන් මොනරුන්ට විලෝපිකයන් නෑ. ඉතින් මොනර ගහනය පාලනය වෙන්නේ නෑ. දැන් දැන් දක්ෂිණ අධිවේගී මාර්ගය දිගේ මොනරු කොළඹ ආසන්නයටත් ඇවිත්. අනෙක ආගමික කාරණා නිසා මිනිස්සු මොනරුන්ට හානි කරන්නෙත් නෑ’, පුබුදු වීරරත්න කියන්නේ ය.

ඇතැමුන් සතුන්ට ඇති කැමැත්ත නිසා උන්ට ගෙදර දොරේ ඇති කෑම ජාති කන්නට දමති. එයින් උන්ට ඒවා ගැන ඇබ්බැහියක් ඇති වේ. එය ද උන් මිනිස් ආහාරවලට හුරු වීමට හේතුවකි. සමහර අය තම ගෙවත්තට එන කුරුල්ලන් සහ ලේන ආදී සතුන් සඳහා ආහාර බඳුන් තබති. උන්ගේ කුස පිරෙන බව ඇත්ත ය. එහෙත් එයින් උන් ස්වාභාවික පරිසරයෙන් ආහාර සොයා ගන්නා රටාව බිඳ වැටේ. ආහාර බඳුන නො තැබූ දාට උන් කුසගින්නේ ය.

රතිඤ්ඤා, අහස් ගුණ්ඩු සහ වායු රයිපල් ආදී විවිධ උපක්‍රම භාවිත කරමින් කොතෙක් පලවා හැරිය ද, ටික වේලාවකින් යළිත් ගම් වැදීම මේ සතුන්ගේ සිරිතයි. උන් ඕනෑම තත්ත්වයකට අනුවර්තනය වන්නට හපන්නු ය. ගම් වැසියන් උන් පලවා හරින්නට සැරසෙන විට, තුරු මුදුන් මත සැඟවීම, වඳුරන්ගේ පිළිවෙතයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කරන්නේ ගම් වදින වඳුරන් සහ රිළවුන් අල්ලා රක්ෂිත වනාන්තරවලට ගෙන ගොස් දැමීමයි.

ඇතැම් පෙදෙසක වඳුරන් පලවා හරින්නට වෙනස් වෙනස් ක්‍රම ද භාවිත කෙරේ. ‘රෞද්‍ර වඳුරකු’ දැක්වෙන වෙස් මුහුණක් හෝ සතුන් බියපත් වන ආකාරයේ ඇඳුම් ආධාරයෙන් උන් පලවා හැරීම එක් ක්‍රමයකි. වඳුරකු කෙසේ හෝ අල්ලා ගෙන, වෙනත් සතෙකු මෙන් වර්ණ ගන්වා, වඳුරු රංචුවට මුදා හැරීම තවත් ක්‍රමයකි. එවිට ‘අමුතු සතෙකැයි’ බියට පත්ව උන් පලා යන බව කියති. වාඩියට කඩා වදින රිළවුන්ගේ කරදරය ඉවසන්නට බැරිම තැන, රත්නපුරයේ මැණික් පතලයක පිරිසක් වරක් හරි අපූරු ක්‍රමයක් සොයා ගත්හ.

‘අපි මුලින්ම උන්ට පාන් කන්න පුරුදු කළා. ඊට පස්සේ ‘කසිප්පු’ පොඟවාපු පාන් කෑලි කන්න සැලැස්සුවා. රිළව් වෙරිවෙලා වැටුණාම, ගෝනියක දාලා මෝටර් සයිකල්වලින් දුර ඇත කැලේකට ගිහින් අත හැරියා’, ඔවුහු කීහ.

වල් ඌරන්, රිළවුන්, වඳුරන්, දඬු ලේනුන්, ඉත්තෑවුන් සහ මොනරුන් ආදී වන සතුන් ගම් වැදීමේ ප්‍රශ්නයෙන් මිදීම පිණිස කළ හැකි ලොකු කටයුත්තක් තිබේ. වන ආඥා පනතේ පවා සඳහන්ව ඇති ‘ගම්බද කැලෑ’ යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම එයට ගත හැකි හොඳම පියවරයි. කුඩා කඳු මුදුන්, ඇළ දොළ දෙපස භූමි, වගුරු භූමි, ගම්බද මූකලාන්, ඕවිටි සහ ළඳු කැලෑ තීරු යළිත් වන වැස්මෙන් පුරවා දැමීම එහි දී කළ හැකි ය. වල් අඹ, ඇටඹ, ඩොංගා, පුවක්, ගොරකා, වල් දෙල් වැනි ශාක වර්ග ඒවායෙහි වගා කළ හැකි ය. එවිට, ගම් වදින වන සතුන්ට වාසස්ථාන මෙන්ම ආහාර ද යළි ලැබෙනු ඇත්තේ ය.

(Aruna)

Features

Stats

There are 28560 listings, 863 categories and 102 owners in our website